‘ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත’ සඳහා තොරතුරු
සැප්තැම්බර් 3-9
දේවවචනය නිධානයක් | යොහන් 1-2
ගැඹුරින් හොයමු
nwtsty යොහ 1:1 සටහන්
වචනය: මේ විදිහට පරිවර්තනය කරලා තියෙන්නේ “හෝ ලෝගොස්” කියන ග්‍රීක වචනයයි. මේ පදයේ ඒ වචනය යොදාගෙන තියෙන්නේ පදවි නාමයක් විදිහට. යොහ 1:14 සහ එළි 19:13 පදවලත් ඒ ග්‍රීක වචනය පදවි නාමයක් විදිහට යොදාගෙන තියෙනවා. ඒ පදවියෙන් යොමු දක්වන්නේ යේසුස්ව කියලා යොහන් පෙන්වලා දුන්නා. පොළොවට එන්න කලිනුත්, පොළොවට ආවාට පස්සෙත් ආයෙත් ස්වර්ගයට ගියාට පස්සෙත් යේසුස්ව ඒ විදිහට හැඳින්නුවා. ‘වචනය’ කියලා යේසුස්ව හැඳින්නුවේ දෙවිගේ වචනය ඒ කියන්නේ පණිවිඩය ප්‍රකාශ කරන ප්‍රධානතම තැනැත්තා ඔහු නිසයි. දෙවිගේ වචනය විදිහට යේසුස්, දෙවි වෙනුවෙන් කතා කරනවා. ඒ කියන්නේ දෙවි ලබා දෙන තොරතුරු සහ මඟ පෙන්වීම් දේවදූතයන්ටත් මිනිසුන්ටත් දැනුම් දෙනවා. යේසුස් පොළොවට එන්න කලිනුත් යෙහෝවා දෙවි මිනිසුන් එක්ක අදහස් හුවමාරු කරගන්න වචනය විදිහට හඳුන්වන යේසුස්ව යොදාගත්තා කියලා හිතන්න පුළුවන්.—උත් 16:7-11; 22:11; 31:11; නික් 3:2-5; විනි 2:1-4; 6:11, 12; 13:3.
සමඟය: මේ විදිහට පරිවර්තනය කරලා තියෙන “ප්‍රොස්” කියන ග්‍රීක නිපාත පදය මේ අවස්ථාවේදී යොදාගෙන තියෙන්නේ එක ළඟ ඉන්නවා සහ කිට්ටු ඇසුරක් තියෙනවා කියන අදහස් දෙන්නයි. වචනය හැටියට හඳුන්වන තැනැත්තා සහ එකම සැබෑ දෙවියන් කියන්නේ දෙන්නෙක් කියලා ඒකෙන් පැහැදිලියි.
‘වචනය’ නමැති එම තැනැත්තා දෙවිට සමානකමක් ඇති බලවත් කෙනෙකි: මේ විදිහට පරිවර්තනය කරලා තියෙන අදහස “වචනය නමැති තැනැත්තා දෙවි කෙනෙක් [නැත්නම් “දෙවි වගේ කෙනෙක්”]” කියලත් පරිවර්තනය කරන්න පුළුවන්. යොහන් සඳහන් කරන මේ දෙයින් “වචනය නමැති තැනැත්තා” (ග්‍රීක භාෂාවෙන් “හෝ ලෝගොස්”) වන යේසුස් මොන වගේ කෙනෙක්ද කියලා දැනගන්න පුළුවන්. වචනය නමැති තැනැත්තා දෙවිගේ කුළුඳුල් පුත්‍රයා වන නිසාත් අනිත් හැම දෙයක්ම නිර්මාණය කරන්න දෙවි ඔහුව යොදාගෙන තියෙන නිසාත් දෙවිගේ අනිත් හැම නිර්මාණයකටම වඩා ඔහුට සුවිශේෂී තැනක් හිමි වෙනවා. ඔහුව “දෙවිට සමානකමක් ඇති බලවත් කෙනෙක්; දෙවි කෙනෙක්; දෙවි වගේ කෙනෙක්” විදිහට හඳුන්වන්න හේතුව ඒකයි. ඒ කොහොමවුණත් හුඟක් පරිවර්තකයන් මේ කොටස පරිවර්තනය කරලා තියෙන්නේ “වාක්‍යයාණෝ දෙවියන්ව සිටියේය” කියලයි. ඒකෙන් එයාලා කියන්න හදන්නේ සියලු බලැති දෙවි සහ යේසුස් එක් කෙනෙක් කියන එකයි. හැබැයි යොහන් මේ වාක්‍යයෙන් කොහොමටවත් ඒ වගේ දෙයක් අදහස් කළේ නැහැ කියලා කියන්න හේතු කිහිපයක්ම තියෙනවා. එක හේතුවක් තමයි “‘වචනය’ නමැති තැනැත්තා” “සිටියේ දෙවි සමඟය” කියලා යොහ 1:1, 2 පදවල දෙවතාවක්ම සඳහන් වෙලා තියෙන එක. තව හේතුවක් තමයි මුල් පිටපත්වල “තෙඔස්” කියන ග්‍රීක වචනය යොහ 1:1, 2 යොදාගෙන තියෙන විදිහ. ඒ පදවල 1වෙනි වතාවේදී සහ 3වෙනි වතාවේදී “තෙඔස්” කියන වචනය සඳහන් වෙලා තියෙන්නේ උක්ත පදයක් විදිහට. ඒත් 2වෙනි වතාවේදී ඒක අනුක්ත පදයක් විදිහටයි සඳහන් වෙන්නේ. “තෙඔස්” කියන වචනය අනුක්ත පදයක් විදිහට යොදාගෙන තියෙද්දී ඒකේ අර්ථය වෙනස් වෙනවා කියලා හුඟක් විශාරදයන් පිළිගන්නවා. මේ පදවල “තෙඔස්” කියන වචනය උක්ත පදයක් විදිහට සඳහන් කරන අවස්ථාවලදී ඒකෙන් යොමු දක්වන්නේ සියලු බලැති දෙවිවයි. හැබැයි ඒක අනුක්ත පදයක් විදිහට යොදාගනිද්දී ඒක විශේෂණ පදයක ස්වරූපය ගන්නවා. ඒ කියන්නේ “වචනය නමැති තැනැත්තා” මොන වගේ කෙනෙක්ද කියලා විස්තර කරන්නයි ඒක යොදාගෙන තියෙන්නේ. ඉංග්‍රීසි, ප්‍රංශ සහ ජර්මන් බයිබල් පරිවර්තන කිහිපයකම ඒ වාක්‍යය පරිවර්තනය කරලා තියෙන්නේ ‘නව ලොව පරිවර්තනයේ’ සඳහන් අදහසට සමාන අදහසක් එන විදිහටයි. ඒ පරිවර්තනවල “වචනය නමැති තැනැත්තාව” “දෙවිට සමානකමක් ඇති කෙනෙක්; දෙවි කෙනෙක්; දේවත්වයේ ලා සැලකිය යුතු කෙනෙක්; දෙවිට සමාන ගතිලක්ෂණ තියෙන කෙනෙක්” විදිහට හඳුන්වලා තියෙනවා. ඒ පරිවර්තනවල තියෙන අදහසට සමාන අදහසක් ක්‍රි.ව. 3වෙනි සහ 4වෙනි සියවසට අයිතියි කියලා සැලකෙන සමහර බයිබල් පරිවර්තනවලත් (සහිදික් කොප්ටික් සහ බොහෑරික් කොප්ටික් භාෂාවලින්) දකින්න තියෙනවා. ඒ පරිවර්තනවලත් “වචනය නමැති තැනැත්තාව” විස්තර කරලා තියෙන්නේ දෙවිට සමාන ගතිලක්ෂණ තියෙන කෙනෙක් විදිහට මිසක් පියාණන් වන සියලු බලැති දෙවියන් විදිහට නෙවෙයි. ඒ දේ බයිබලයේ තියෙන වෙනත් පදවලිනුත් තහවුරු වෙනවා. උදාහරණෙකට “දෙවිගේ ගතිලක්ෂණවල මුළු පරාසයම පූර්ණ ලෙස පිළිබිඹු වන්නේ ක්‍රිස්තුස් තුළින්” කියලා කොලො 2:9 සඳහන් වෙනවා. ඒ වගේම 1 යොහ 3:2 සඳහන් වෙනවා ක්‍රිස්තුස් එක්ක ස්වර්ගයේ රජකම් කරද්දී අභිෂේක ලත් අය පවා ‘දෙවිගේ ස්වරූපයට සමාන වෙනවා’ කියලා. ඒකෙන් පැහැදිලි වෙනවා යේසුස්ට වගේම අභිෂේක ලත් අයටත් දෙවිගේ ගතිලක්ෂණ පිළිබිඹු කරන්න හැකියාව ලැබෙනවා කියලා. එහෙනම් දෙවි සහ යේසුස් එක් කෙනෙක් නෙවෙයි කියලා ඒ පදවලිනුත් තහවුරු වෙනවා. යොහ 1:1 නියම අර්ථය තේරුම්ගන්න “සෙප්ටුඅජින්ට්” පරිවර්තනයත් අපිට උදව් වෙනවා. ඒ පරිවර්තනයේ දෙවි කියන අර්ථය දෙන “එල්” සහ “එලෝහිම්” කියන හෙබ්‍රෙව් වචන පරිවර්තනය කරන්න යොදාගෙන තියෙන්නේ “තෙඔස්” කියන ග්‍රීක වචනයයි. ඒ කියන්නේ “තෙඔස්” කියන වචනයට තියෙන්නෙත් “එල්” සහ “එලෝහිම්” කියන වචනවලට සමාන අර්ථයක්. ඒ වචනවලට “බලවත්; ශක්තිමත්” කියන අදහසුත් ඇතුළත් වෙනවා. ඒ නිසා බයිබලයේ සියලු බලැති දෙවි ගැන විතරක් නෙවෙයි වෙනත් දෙවිවරුන් සහ මිනිසුන් ගැන කතා කරද්දීත් “එල්” සහ “එලෝහිම්” කියන වචන යොදාගෙන තියෙනවා. වචනය නමැති තැනැත්තාව “දෙවි කෙනෙක්” නැත්නම් “බලවත් කෙනෙක්” විදිහට හඳුන්වන එක වැරදි නැහැ. මොකද යෙසා 9:6 කියලා තියෙනවා ගැලවුම්කරුව “බලවත් දෙවි” (“සියලු බලැති දෙවි” නෙවෙයි) විදිහටත් හඳුන්වන කාලයක් එනවා කියලා. ඒ වගේම ඔහු තම පාලනය යටතේ ජීවත් වෙන හැමෝගෙම “සදාකාල පියාණන්” වෙනවා කියලත් ඒ පදයේ සඳහන් වෙනවා. ඔහුගේ පියා වන “ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි” තමයි ඒ අනාවැකියේ සඳහන් දේ මහත් ආශාවකින් ඉටු කරන්නේ.—යෙසා 9:7.
nwtsty යොහ 1:29 සටහන
දෙවිගේ බැටළු පැටවා: බව්තීස්ම වුණාට පස්සේ, යක්ෂයා යේසුස්ව වරදට පොලඹවන්න උත්සාහ කළත් යේසුස් අහු වුණේ නැහැ. පස්සේ දවසකදී යොහන් බව්තීස්ත යේසුස්ව “දෙවිගේ බැටළු පැටවා” කියලා මිනිසුන්ට හඳුන්වලා දුන්නා. මේ පදයේ සහ යොහ 1:36 විතරයි යේසුස්ව ඒ විදිහට හඳුන්වලා තියෙන්නේ. (sgd 4වෙනි කොටස බලන්න.) යේසුස්ව බැටළුවෙක්ට සමාන කරපු එක හොඳින්ම ගැළපෙනවා. මොකද අතීතයේ ඉඳන්ම පව්වලට සමාව ලබාගන්නත් දෙවි එක්ක හොඳ බැඳීමක් ඇති කරගන්නත් දෙවිගේ සේවකයන් බැටළුවන්ව පූජාවක් විදිහට ඔප්පු කරලා තිබුණා. යේසුස් මිනිසුන් වෙනුවෙන් ඔහුගේ පරිපූර්ණ ජීවිතය පූජාවක් විදිහට ඔප්පු කරන එක ඒ පූජාවලින් සංකේතවත් වුණා. බැටළුවන් ගැන සඳහන් වෙන වාර්තා කිහිපයක්ම හෙබ්‍රෙව් ලියවිල්ලේ තියෙනවා. ආබ්‍රහම් තමන්ගේ පුතා වුණු ඊසාක් වෙනුවට බැටළුවෙක්ව පූජා කරපු අවස්ථාව (උත් 22:13), ඊජිප්තුවේ වහල්භාවයේ හිටිය ඊශ්‍රායෙල්වරුන්ව බේරාගන්න දෙවි බැටළුවෙක්ව මරන්න කියලා කියපු අවස්ථාව (නික් 12:1-13), යෙරුසලමේ තිබුණු පූජාසනයේ හැමදාම උදේටත් හවසටත් බැටළුවෙක්ව පූජා කරන්න කියලා දීලා තිබුණු නීතිය (නික් 29:38-42) සහ “මාගේ සේවකයා” ‘මරන්න ගෙන යන බැටළුවෙකු මෙන් රැගෙන යනවා’ කියලා යෙහෝවා දෙවි යෙසායා මාර්ගයෙන් කියලා තිබුණු අනාවැකිය (යෙසා 52:13; 53:5, 7, 11) ඒ අතරින් කිහිපයක්. හෙබ්‍රෙව් ලියවිල්ලේ සඳහන් දේවල් ගැන යොහන් බව්තීස්ත හොඳින් දැනගෙන හිටිය නිසා යේසුස්ව “දෙවිගේ බැටළු පැටවා” කියලා හඳුන්වද්දී ඒ වාර්තාවලින් එකක් හරි එයාගේ මනසේ තියෙන්න ඇති. පාවුල් කොරින්තිවරුන්ට ලියපු පළවෙනි ලිපියේ යේසුස්ව “පාස්කු යාගය” විදිහට විස්තර කරලා තියෙනවා. (1කොරි 5:7) ඒ වගේම පේතෘස් “කිසි කැළැලක් හෝ අපවිත්‍රකමක් නැති බැටළු පැටවෙකුගේ ලේ හා සමාන වූ ක්‍රිස්තුස්ගේ අනර්ඝ ලේ” ගැන කතා කළා. (1පේතෘ 1:19) නැවත නැඟිටලා ස්වර්ගයේ තේජසට පත් වෙලා ඉන්න යේසුස්ව එළිදරව් පොතේ 25 වතාවකටත් වඩා “බැටළු පැටවා” විදිහට හඳුන්වලා තියෙනවා.—උදාහරණ කීපයක් බලන්න. එළි 5:8; 6:1; 7:9; 12:11; 13:8; 14:1; 15:3; 17:14; 19:7; 21:9; 22:1.
සැප්තැම්බර් 10-16
දේවවචනය නිධානයක් | යොහන් 3-4
“යේසුස් සමරිතානු ස්ත්‍රියකට සාක්ෂි දැරුවා”
nwtsty යොහ 4:6 සටහන
වෙහෙසට පත්ව සිටි නිසා: යේසුස් “වෙහෙසට පත් වෙලා” හිටියා කියලා සඳහන් වෙන්නේ මේ බයිබල් පදයේ විතරයි. මේ සිද්ධිය වෙද්දී දවල් 12ට විතර ඇති. පේන විදිහට එදා උදේ යේසුස් යුදයේ යොර්දාන් නිම්නයේ ඉඳන් සමාරියේ සිකාර් නුවරට ඇවිත් තිබුණා. නිම්නයේ ඉඳන් හුඟක් ඉහළින් තිබුණු සිකාර් නුවරට එන්න යේසුස්ට මීටර් 900කටත් වඩා වැඩි දුරක් ඇවිදන් එන්න සිද්ධ වුණා.—යොහ 4:3-5; sgd 4වෙනි කොටස බලන්න.
ගැඹුරින් හොයමු
nwtsty යොහ 3:29 සටහන
මනාලයාගේ මිත්‍රයා: ඒ කාලේදී මනාලයාගේ කිට්ටු යාළුවෙක් තමයි එයාගේ නියෝජිතයා විදිහට වැඩ කරමින් විවාහ උත්සවයට අදාළ වැඩකටයුතු සැලසුම් කරන්න මූලිකත්වය ගත්තේ. මනාලයාට මනාලියව හඳුන්වලා දීලා තියෙන්නෙත් ඒ යාළුවාමයි. මනාලයාගේ හරි මනාලයාගේ තාත්තාගේ හරි ගෙදර තමයි විවාහ උත්සවය පවත්වන්නේ. ඒ නිසා මනාලියයි, එයාගේ නෑදෑ හිතවතුනුයි විවාහ උත්සවය සමරන්න ඒ ගෙදරට යනවා. ඒ උත්සවය අතරතුරේදී මනාලිය එක්ක කතා කරන මනාලයාගේ හඬ ඇහෙද්දී මනාලයාගේ යාළුවා හුඟක් සතුටු වෙනවා. මොකද තමන්ට භාර දීපු වැඩේ තමන් විශ්වාසවන්තව ඉටු කරලා තියෙනවා කියන හැඟීම එයාට ඇති වෙනවා. යොහන් බව්තීස්ත තමන්ව “මනාලයාගේ මිත්‍රයා” විදිහට හැඳින්නුවා. මනාලයා වුණේ යේසුස්. අභිෂේක ලත් 1,44,000දෙනා තමයි යේසුස්ගේ සංකේතාත්මක මනාලිය. ගැලවුම්කරුට මඟ සූදානම් කරපු යොහන් බව්තීස්ත යේසුස් ක්‍රිස්තුස්ගේ ‘මනාලියට’ අයිති මුල් සාමාජිකයන්ව හඳුන්වලා දුන්නා. (යොහ 1:29, 35; 2කොරි 11:2; එෆී 5:22-27; එළි 21:2, 9) “මනාලයාගේ මිත්‍රයා” තමන්ට හිමි කාර්යභාරය හරියට ඉටු කරපු නිසා එයාට තවත් කරන්න දෙයක් ඉතුරු වෙලා තිබුණේ නැහැ. තමන්ට භාර දුන්න වැඩේ ඉවර කරපු නිසයි යොහන් මෙහෙම කිව්වේ. “ඔහුට සිටින ගණන වැඩි වෙයි. මා ළඟ සිටින ගණන නම් දිගටම අඩු වී යයි.”—යොහ 3:30.
nwtsty යොහ 4:10 සටහන
ජීවනදායක වතුර: මේ විදිහට පරිවර්තනය කරලා තියෙන ග්‍රීක යෙදුමෙන් ගලා යන ජලය, උල්පත් ජලය, ළිඳකින් ඇදගත්ත නැවුම් ජලය අදහස් වෙනවා. එක තැන පල් වෙන වතුරට වඩා ඒ වතුර වෙනස්. ලෙවී 14:5 “නැවුම් ජලය” කියලා පරිවර්තනය කරලා තියෙන හෙබ්‍රෙව් යෙදුමෙන් මූලිකවම අර්ථවත් වෙන්නේ “ජීවනදායක වතුර” කියන එකයි. යෙරෙ 2:13 සහ 17:13 පදවල සංකේත අර්ථයකින් යෙහෝවා දෙවිව “ජීවනදායක දිය උල්පත” විදිහට හඳුන්වලා තියෙනවා. ඒ විදිහට ඔහුව හඳුන්වලා තියෙන්නේ සදාකාල ජීවනය ලබාගන්න ඕන කරන හැම දෙයක්ම ලබා දෙන්නේ ඔහු නිසයි. සමරිතානු ස්ත්‍රිය එක්ක කතා කරද්දී යේසුස් “ජීවනදායක වතුර” කියන යෙදුම පාවිච්චි කළේ සංකේත අර්ථයකින් වුණත් පේන විදිහට ඒ ස්ත්‍රිය හිතලා තියෙන්නේ යේසුස් ඇත්ත වතුර ගැන කතා කළා කියලයි.—යොහ 4:11.
සැප්තැම්බර් 17-23
දේවවචනය නිධානයක් | යොහන් 5-6
“වැරදි චේතනාවකින් යේසුස්ගේ අනුගාමිකයෙක් වෙන්න එපා”
nwtsty යොහ 6:10 සටහන
සෙනඟ අතර පුරුෂයන් පන්දහසක් පමණ සිටියෝය: මේ සිද්ධිය ගැන වාර්තා කරද්දී “ස්ත්‍රීන් හා කුඩා දරුවන්” ගැන සඳහන් කරලා තියෙන්නේ මතෙව් විතරයි. (මතෙ 14:21) එදා යේසුස් කරපු ඒ ආශ්චර්යයෙන් 15,000කටත් වඩා වැඩි පිරිසකට කෑම ලැබෙන්න ඇති කියලා ඒකෙන් තේරුම්ගන්න පුළුවන්.
nwtsty යොහ 6:14 සටහන
අනාගතවක්තෘ: ක්‍රි.ව. පළවෙනි සියවසේ හිටිය හුඟක් යුදෙව්වන් හිතුවා ද්වි 18:15, 18 පදවල සඳහන් කරන අනාගතවක්තෘවරයා ගැලවුම්කරු වෙන්න ඕනෙ කියලා. සෙනඟ ගැලවුම්කරුගේ පැමිණීම බලාපොරොත්තුවෙන් හිටිය නිසා වෙන්න ඇති මේ පදයේ ලෝකයට එන්න සිටින කියන යෙදුම යොදාගෙන තියෙන්නේ. මේ තොරතුර වාර්තා කරලා තියෙන්නේ යොහන් විතරයි.
නැති වී යන මෙවැනි ආහාර . . . නැති වී නොයන සදාකාල ජීවනයට මඟ පාදන ආහාර: සමහර මිනිසුන් තමන්වත් තමන්ගේ ගෝලයන්වත් ඇසුරු කරන්නේ වාසි ප්‍රයෝජන බලාපොරොත්තුවෙන් කියලා යේසුස් තේරුම්ගත්තා. කෑම බීමවලින් එදිනෙදා ජීවිතය පවත්වාගන්න පුළුවන් තමයි. හැබැයි දෙවිගේ වචනයෙන් ලැබෙන ‘ආහාරවලින්’ පෝෂණය වුණොත් සදාකාලයටම ජීවත් වෙන්න අවස්ථාව ලැබෙනවා. ඒ නිසයි යේසුස් කිව්වේ “සදාකාල ජීවනයට මඟ පාදන ආහාර ලබාගන්න උත්සාහ කරන්න” කියලා. ඒකෙන් යේසුස් අදහස් කළේ දෙවි එක්ක තියෙන බැඳීම ශක්තිමත් කරගන්න උදව් වෙන තොරතුරු ගැන ඉගෙනගන්නත් ඒ දේවල් ගැන විශ්වාසයක් ඇති කරගන්නත් වෑයම් කරන්න ඕනෙ කියන එකයි.—මතෙ 4:4; 5:3; යොහ 6:28-39.
මගේ ශරීරය කෑමට ගෙන මගේ රුධිරය බොන: යේසුස් ඒ දේ කිව්වේ සංකේතාත්මක අර්ථයකින් කියලත් ඒකෙන් ඔහු අදහස් කළේ තමන් ගැන විශ්වාසය තියන එක ගැනයි කියලත් මේ පදයට කලින් තියෙන පද දිහා බලද්දී පැහැදිලි වෙනවා. (යොහ 6:35, 40) යේසුස් ඒ දේ කිව්වේ ක්‍රි.ව. 32දී නිසා ඔහු ඒ අවස්ථාවේදී කතා කළේ ස්වාමින්ගේ සන්ධ්‍යා භෝජනය ගැනයි කියලා හිතන්න බැහැ. ඔහු ඒ සැමරීම හඳුන්වලා දුන්නේ ඊට අවුරුද්දකට පස්සෙයි. යේසුස් ඒ දේ කිව්වේ “යුදෙව්වරුන්ගේ උත්සවයක් වූ පාස්කුව” සමරන්න ටික දවසකට කලින්. (යොහ 6:4) ඒ නිසා ළඟදීම පවත්වන්න නියමිත පාස්කු උත්සවය ගැනත් ඊජිප්තුවේ වහල්භාවයේ හිටිය සෙනඟගේ ජීවිත බැටළුවෙකුගේ ලේ නිසා බේරුණු එක ගැනත් ඒ වෙලාවේ ගෝලයන්ට මතක් වෙන්න ඇති (නික් 12:24-27). යේසුස් ඒ අවස්ථාවේදී කාවද්දමින් හිටියේ තමන් වගුරුවන ලේ මාර්ගයෙන් තමන්ගේ ගෝලයන්ට සදාකාල ජීවනය අත් කරගන්න මඟ විවර වෙන එක ගැනයි.
ගැඹුරින් හොයමු
nwtsty යොහ 6:44 සටහන
ආශාවක් ඇති කළොත්: මේ විදිහට පරිවර්තනය කරලා තියෙන ග්‍රීක ක්‍රියා පදයට ඇදගන්නවා කියන අර්ථයත් ඇතුළත්. ඒ ග්‍රීක ක්‍රියා පදය මූලිකවම යොදාගන්නේ මාළු දැලක් අදිනවා කියන අර්ථය දෙන්න (යොහ 21:6, 11). හැබැයි ඒකෙන් අදහස් කරන්නේ නැහැ දෙවි මිනිසුන්ව බලෙන් ඔහු වෙතට ඇදලා ගන්නවා කියලා. මොකද ඒ ක්‍රියා පදයට “ආශාවක් ඇති කරනවා” කියන අර්ථයත් ඇතුළත් වෙනවා. සමහරවිට යේසුස් ඒ දේ කියද්දී “මා ඔබව මහත් ආදරයකින් මා ළඟට ගත්තේ” කියලා යෙහෝවා දෙවි ඊශ්‍රායෙල්වරුන්ට යෙරෙ 31:3 කියපු දේ ඔහුගේ මනසේ තියෙන්න ඇති. (“සෙප්ටුඅජින්ට්” පරිවර්තනයෙත් යෙරෙ 31:3 “ළඟට ගත්තේ” කියන අදහස දෙන්න යොදාගෙන තියෙන්නේ ඒ ග්‍රීක ක්‍රියා පදයමයි.) යොහ 12:32 කියනවා යේසුත් පියා වගේ සියලු ජාතීන්ට අයත් මිනිසුන්ව තමන් වෙතට ඇදගන්නවා කියලා. බයිබලයේ පැහැදිලිවම කියනවා දෙවි මිනිසුන්ට තීරණ ගන්න නිදහස දීලා තියෙනවා කියලා. ඒ නිසා තමන් දෙවිට සේවය කරනවාද නැද්ද කියලා තේරීමක් කරන්න හැමෝටම පුළුවන්. (ද්වි 30:19, 20) ඒත් සත්‍යය පිළිගන්න කෙනෙක්ට කැමැත්තක් තියෙනවා කියලා දැක්කාම යෙහෝවා දෙවි ඒ කෙනාව ආදරෙන් තමා වෙතට ඇදගන්නවා. (ගීතා 11:5; හිතෝ 21:2; ක්‍රියා 13:48) දෙවි ඒ දේ කරන්න බයිබලයේ තියෙන පණිවිඩයත් ඔහුගේ බලයත් යොදාගන්නවා. යෙසා 54:13 සඳහන් අනාවැකිය තමයි යොහ 6:45 උපුටලා දක්වලා තියෙන්නේ. ඒ අනාවැකියේ කතා කරන්නේ පියාණන් තමන් වෙතට ඇදගෙන තියෙන අය ගැනයි.—යොහ 6:65 බලන්න.
nwtsty යොහ 6:64 සටහන්
යේසුස් . . . තමාව පාවා දෙන්නේ කවුද කියා . . . දැන සිටි නිසා: මේ අවස්ථාවේදී යේසුස් කතා කරමින් හිටියේ යූදස් ඉස්කාරියොත් ගැන. යේසුස් නියෝජිතයන් 12දෙනාව තෝරාගන්න කලින් මුළු රැයක්ම ඒ වෙනුවෙන් යාච්ඤා කළා. (ලූක් 6:12-16) යේසුස් යූදස්වත් නියෝජිතයෙක් විදිහට තෝරාගත්තේ එයා ඒ වෙද්දී දෙවිට විශ්වාසවන්තව හිටිය නිසයි. හැබැයි තමන්ව කිට්ටුවෙන්ම ආශ්‍රය කරන අය අතරින් කෙනෙක් තමන්ව පාවලා දෙනවා කියලා හෙබ්‍රෙව් ලියවිල්ලේ සඳහන් කරලා තිබුණු අනාවැකි යේසුස් හොඳින්ම දැනගෙන හිටියා. (ගීතා 41:9; 109:8; යොහ 13:18, 19) අනිත් අයගේ හිතේ තියෙන දේවල් යේසුස්ට තේරුම්ගන්න පුළුවන් නිසා යූදස් වැරදි විදිහට හිතන්න පටන්ගද්දීම ඔහුට ඒක තේරුණා. (මතෙ 9:4) යේසුස්ව ළඟින්ම ආශ්‍රය කරන කෙනෙක් ඔහුව පාවලා දෙයි කියලා කලින්ම හෙළි කරන්න දෙවිට පුළුවන් වුණේ අනාගතයේ සිද්ධ වෙන ඕනම දෙයක් ගැන දැනගන්න ඔහුට හැකියාව තියෙන නිසායි. හැබැයි ඒ දේ යූදස්ගේ අතින්ම සිද්ධ වෙන්න දෙවි නියම කළා කියලා ඒකෙන් අදහස් වෙන්නේ නැහැ. මොකද එහෙම වුණා නම් ඒකෙන් අදහස් වෙන්නේ දෙවිට විරුද්ධව වැඩ කරන්න යූදස්ව පෙලඹුවේ දෙවිමයි කියන එකයි. අතීතයේ ඉඳන් දෙවි මිනිසුන් එක්ක කටයුතු කරපු විදිහ ගැනත් දෙවිගේ ගතිලක්ෂණ ගැනත් හිතද්දී ඔහු එහෙම දෙයක් කරයි කියලා හිතන්නවත් බැහැ.
ඒ අවස්ථාවේ සිටම: මේ විදිහට පරිවර්තනය කරලා තියෙන ග්‍රීක යෙදුම “මුල පටන්” විදිහටත් පරිවර්තනය කරන්න පුළුවන්. ඒත් මේ යෙදුමෙන් අදහස් කරන්නේ යූදස් ඉපදුණ අවස්ථාව ගැනවත් යේසුස් රැයක් පුරාම යාච්ඤා කරලා ඔහුගේ නියෝජිතයෙක් වෙන්න යූදස්ව තෝරපු අවස්ථාව ගැනවත් නෙවෙයි. (ලූක් 6:12-16) ඒ වෙනුවට මේ යෙදුමෙන් අදහස් කරන්නේ යූදස් ද්‍රෝහී වෙන්න පටන්ගත්ත මොහොත ගැනයි. යූදස් ද්‍රෝහී විදිහට වැඩ කරන්න පටන්ගත්ත මුල්ම අවස්ථාවෙම යේසුස්ට ඒක තේරුණා. (යොහ 2:24, 25; එළි 1:1; 2:23) ඒ කියන්නේ යේසුස්ව පාවලා දෙන අදහස එකපාරටම යූදස්ගේ හිතට පහළ වුණේ නැහැ. එයා හොඳට හිතලා, සැලසුම් කරලා තමයි ඒ දේ කළේ. “මුල පටන්” කියන අර්ථය තියෙන යෙදුම (ග්‍රීක භාෂාවෙන් “ආර්ක්හෙ”) ග්‍රීක ලියවිල්ලේ තැනට ගැළපෙන විදිහට යොදාගෙන තියෙනවා. උදාහරණෙකට 2පේතෘ 3:4 ඒ යෙදුම යොදාගෙන තියෙන්නේ දෙවි හැම දෙයක්ම නිර්මාණය කරන්න පටන්ගත්ත අවස්ථාවට යොමු දක්වන්නයි. ක්‍රියා 11:15දීත් පේතෘස් ඒ යෙදුම යොදාගෙන තියෙනවා. ඒ පදයේ කියන්නේ “මුලින්ම අපටත් ලැබුණා සේම ඔවුන්ට දෙවිගේ බලය ලැබුණා” කියලයි. එතැන පේතෘස් කතා කරමින් හිටියේ ක්‍රි.ව. 33 පෙන්තකොස්ත දවසේදී, දෙවි තම බලයෙන් යේසුස්ගේ අනුගාමිකයන්ව අභිෂේක කරපු ‘මුල්ම’ අවස්ථාව ගැන මිසක් එයා ඉපදුණ මොහොත ගැනවත් යේසුස්ගේ නියෝජිතයෙක් වෙන්න එයාව තෝරාගත්ත අවස්ථාව ගැනවත් නෙවෙයි. (ක්‍රියා 2:1-4) ලූක් 1:2; යොහ 15:27 සහ 1යොහ 2:7 පදවල යොදාගෙන තියෙන්නෙත් මේ ග්‍රීක යෙදුමමයි.
සැප්තැම්බර් 24-30
දේවවචනය නිධානයක් | යොහන් 7-8
ගැඹුරින් හොයමු
nwtsty යොහ 8:58 සටහන
මම ජීවත්ව සිටි බවයි: යේසුස් “ආබ්‍රහම්ව දැක්කා” කියලා කියපු නිසා “තවම අවුරුදු පනහක්වත් නැති” ඔහු එහෙම දෙයක් කියන්නේ කොහොමද කියලා යුදෙව්වන් ප්‍රශ්න කළා. (යොහ 8:57) එතකොට යේසුස් කිව්වේ ආබ්‍රහම් ඉපදෙන්නත් කලින් හුඟක් බලවත් කෙනෙක් විදිහට තමා ස්වර්ගයේ ජීවත් වුණා කියලයි. ඒ නිසා යුදෙව්වන් ඔහුට ගල් ගහන්න ලෑස්ති වුණා. සමහරු කියනවා මේ පදයේ යේසුස් තමන්ව සියලු බලැති දෙවි විදිහට හඳුන්වලා දෙනවා කියලා. මේ පදයේ “මම ජීවත්ව සිටි” කියලා පරිවර්තනය කරලා තියෙන “එගොඅයිමි” කියන ග්‍රීක යෙදුමම (සමහර පරිවර්තනවල සඳහන් වෙන්නේ “මම සිටිමි” කියලා), “සෙප්ටුඅජින්ට්” පරිවර්තනයේ නික් 3:14 යොදාගෙන තියෙනවා. ඒ නිසා යේසුස් ඒ අවස්ථාවේ කිව්වේ නික් 3:14 දෙවි තමන්ව හඳුන්වලා දෙද්දී කියපු දේමයි කියලත් ඒ පද දෙකම එකම විදිහට පරිවර්තනය කරන්න ඕනෙ කියලත් සමහරු කියනවා. ඒත් මේ පදයේ “අයිමි” කියන ග්‍රීක ක්‍රියා පදයෙන් විස්තර කරන්නේ ආබ්‍රහම් ඉපදෙන්නත් කලින් පටන්ගත්ත, දිගටම සිදු වෙමින් පවතින ක්‍රියාවක් මිසක් යේසුස් තමන් ගැන කරපු හඳුන්වා දීමක් නෙවෙයි. ඒ නිසා සමහර පැරණි පරිවර්තනවල වගේම මෑතකදී කරපු පරිවර්තනවල ඒ ක්‍රියා පදය “ජීවත්ව සිටිනවා” කියලත් පරිවර්තනය කරලා තියෙනවා. යොහ 14:9 “ෆිලිප්, මම මෙතරම් කලක් ඔබ සියල්ලන් සමඟ කාලය ගත කර තිබියදීත් ඔබ මාව හඳුනන්නේ නැද්ද?” කියලා යේසුස් කියපු අවස්ථාවේදීත් පාවිච්චි කරලා තියෙන්නේ ඒ ක්‍රියා පදයමයි. හුඟක් බයිබල්වල යොහ 14:9 “අයිමි” කියන ක්‍රියා පදය පරිවර්තනය කරලා තියෙන්නෙත් දිගටම සිදු වෙන ක්‍රියාවක් විදිහටයි. යොහ 8:54, 55 යේසුස්ම කියපු දෙයින් අපිට තවත් තහවුරු වෙනවා ඔහු තමන්ව සියලු බලැති දෙවි විදිහට හඳුන්වා දුන්නේ නැහැ කියලා.