ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwbr18 ඔක්තෝබර් 1-7 පි.
  • වැඩපොත සඳහා තොරතුරු - 2018 ඔක්තෝබර්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • වැඩපොත සඳහා තොරතුරු - 2018 ඔක්තෝබර්
  • 2018 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත සඳහා තොරතුරු
  • උපමාතෘකා
  • ඔක්තෝබර් 1-7
  • ඔක්තෝබර් 8-14
  • ඔක්තෝබර් 15-21
  • ඔක්තෝබර් 22-28
  • ඔක්තෝබර් 29–නොවැම්බර් 4
2018 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත සඳහා තොරතුරු
mwbr18 ඔක්තෝබර් 1-7 පි.

‘ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත’ සඳහා තොරතුරු

ඔක්තෝබර් 1-7

දේවවචනය නිධානයක් | යොහන් 9-10

“යේසුස් තමන්ගේ බැටළුවන් ගැන සැලකිලිමත් වෙනවා”

nwtsty යොහ 10:1 මීඩියා

බැටළු ගාල

එඬේරුන් රාත්‍රී කාලයේදී බැටළුවන්ව ආරක්ෂිත බැටළු ගාලකට ඇතුල් කළා. එහෙම කළේ උන්ව හොරුන්ගෙනුත් දරුණු සතුන්ගෙනුත් ආරක්ෂා කරගන්න. ඉස්සර කාලේ බැටළු ගාල් හදලා තියෙන්නේ වහලක් නැතුව. හුඟක් වෙලාවට ගලින් නිමැවුණු තාප්පවලින් වට කරලයි ඒවා හදලා තිබුණේ. විවිධ හැඩයන්වලින් සහ විවිධ ප්‍රමාණයන්ගෙන් හදලා තිබුණු ඒ බැටළු ගාල්වලට තිබුණේ එක දොරක් විතරයි. (ගණන් 32:16; 1සාමු 24:3; ශෙප 2:6) ‘දොරටු පාලකයෙක්’ මුර කරමින් ඉන්න බැටළු ගාලකට “දොරටුවෙන්” ඇතුල් වෙන එක ගැන යොහන් සඳහන් කරලා තියෙනවා. (යොහ 10:1, 3) බැටළු රැළවල් කීපයක්ම ඇතුල් කරන්න පුළුවන් විදිහටත් ඒ කාලේ බැටළු ගාල් හදලා තිබුණා. දොරටු පාලකයා තමයි මුළු රෑම බැටළුවන්ගේ ආරක්ෂාව ගැන බලාගත්තේ. පහුවෙනිදා උදේට දොරටු පාලකයා බැටළු රැළවල් අයිති එඬේරුන්ට බැටළු ගාල ඇතුළට යන්න අවසර දෙනවා. එතකොට ඒ එක් එක් එඬේරා තමන්ට අයිති බැටළුවන්ට අඬගහලා තමයි රැළ එකතු කරගත්තේ. එඩේරාගේ හඬ බැටළුවන් හොඳින්ම අඳුනන නිසා ඒ දේ කරන්න අමාරු වුණේ නැහැ. (යොහ 10:3-5) එඬේරා බැටළුවන්ව එකතු කරගත්ත විදිහ ගැන යේසුත් කතා කළා. ඔහු ඒ දේ කිව්වේ තමන්ගේ ගෝලයන් ගැන ඔහු කොයි තරම් සැලකිලිමත් වුණාද කියන එක කාවද්දන්නයි.—යොහ 10:7-14.

nwtsty යොහ 10:16 සටහන

මඟ පෙන්විය යුතුයි: මේ විදිහට පරිවර්තනය කරලා තියෙන “ආගො” කියන ග්‍රීක ක්‍රියා පදය “ගේන්න” කියලත් පරිවර්තනය කරන්න පුළුවන්. ක්‍රි.ව. 200දී විතර ලියවිලා තියෙන අත්පිටපතක “ආගො” වෙනුවට යොදාගෙන තියෙන්නේ ඒකට සමාන අර්ථයක් තියෙන “සුනාගො” කියන වචනයයි. සාමාන්‍යයෙන් ඒ වචනය යොදාගන්නේ “එකතු කරන්න” කියන අර්ථය දෙන්නයි. උතුම් එඬේරා වන යේසුස් “මේ ගාලට” (ලූක් 12:32 “කුඩා රැළ” විදිහටත් හඳුන්වලා තියෙනවා) අයිති බැටළුවන්වත් වෙනත් බැටළුවන්වත් එකතු කරනවා. ඔහු ඒ බැටළුවන්ට මඟ පෙන්වන්න, එයාලව ආරක්ෂා කරන්න සහ පෝෂණය කරන්න පියවර ගන්නවා. ඒ දෙගොල්ලන්ම එක එඬේරෙක් යටතේ ඉන්න එක රැළකට අයිති වෙනවා. යේසුස්ගේ අනුගාමිකයන් අතරේ මොන තරම් එකමුතුකමක් තියෙනවාද කියලා ඒ දේවලින් හොඳින්ම පැහැදිලියි.

ගැඹුරින් හොයමු

nwtsty යොහ 9:38 සටහන

යේසුස් ඉදිරියේ දණින් වැටුණේය: “හිස නැමුවේය; දණින් වැටී පොළොව දෙසට හිස පහත් කළේය; ආචාර කළේය” කියලත් පරිවර්තනය කරන්න පුළුවන්. දෙවි කෙනෙකුට හරි දේවතාවියකට හරි කරන නමස්කාරය ගැන කියද්දී “ප්‍රොස්කුනේයො” කියන ග්‍රීක ක්‍රියා පදය පරිවර්තනය කරලා තියෙන්නේ “නමස්කාර කරන්න” කියලයි. (මතෙ 4:10; ලූක් 4:8) යොහ 9:38 සඳහන් වෙන යේසුස්ගෙන් සුවය ලබපු උපතින් අන්ධ මිනිසා යේසුස් ඉදිරියේ දණින් වැටුණේ යේසුස්ව දෙවි කෙනෙක් විදිහට සලකපු නිසා නෙවෙයි. ඒ වෙනුවට එයා ඒක කළේ යේසුස්, දෙවිගේ නියෝජිතයෙක් කියලා තේරුම්ගත්ත නිසයි. පොරොන්දු වුණු “මනුෂ්‍ය පුත්‍රයා” ඒ කියන්නේ දෙවිගේ අධිකාරිය ලැබිලා තියෙන ගැලවුම්කරු විදිහටයි එයා යේසුස්ව සැලකුවේ. (යොහ 9:35) පේන විදිහට ඒ මිනිසා යේසුස් ඉදිරියේ දණින් වැටිලා තියෙන්නේ අතීතයේදී දෙවිගේ සේවකයන් කරලා තියෙන විදිහට වෙන්න ඕනේ. ඒ අය අනාගතවක්තෘවරුන්, රජවරුන් ඇතුළු දෙවිගේ නියෝජිතයන්ව මුණගැහුණාම එයාලා ඉදිරියේ දණින් වැටිලා තියෙනවා. (1සාමු 25:23, 24; 2සාමු 14:4-7; 1රාජා 1:16; 2රාජා 4:36, 37) දෙවිගේ අනුමැතිය යේසුස්ට තියෙනවා කියලා පැහැදිලි වුණු අවස්ථාවලදීත් දෙවි එයාලට යම් දෙයක් හෙළි කරපු අවස්ථාවලදීත් අගය පෙන්වන්නයි මිනිසුන් හුඟක් වෙලාවට යේසුස් ඉදිරියේ දණින් වැටිලා තියෙන්නේ.

nwtsty යොහ 10:22 සටහන

කැප කිරීමේ උත්සවය: මේ උත්සවය හෙබ්‍රෙව් භාෂාවෙන් හඳුන්වන්නේ “කැප කිරීම; විවෘත කිරීම” කියන අදහස් ඇතුළත් “හනූකා” (“කනකා”) යන නමිනුයි. මේ උත්සවය කිස්ලෙව් කියන මාසේ 25වෙනිදා ඉඳන් දවස් අටක් පුරාම පවත්වලා තියෙනවා. ඒ උත්සවය පවත්වලා තියෙන්නේ දෙසැම්බර් මාසයේ අගභාගයේදියි. (sgd 19වෙනි කොටස බලන්න) මේ උත්සවය පවත්වලා තියෙන්නේ ක්‍රි.පූ. 165දී යෙරුසලමේ දේවමාලිගාව නැවත කැප කරපු එක සමරන්න. සිරියානු රජෙක් වුණු හතරවන ඇන්ටියෝකස් එපිෆනස් දේවමාලිගාව අපවිත්‍ර කළා. ඒකෙන් එයා පෙන්නුවේ යෙහෝවා දෙවිට පොඩ්ඩක්වත් ගරු කළේ නැහැ කියලයි. ඇන්ටියෝකස් දේවමාලිගාවේ තිබුණු පූජාසනය උඩින් තවත් පූජාසනයක් හැදුවා. දේවමාලිගාවේ තිබුණු පූජාසනයේ තමයි යෙහෝවා දෙවිගේ සෙනඟ දිනපතා දවන පූජාවන් ඔප්පු කළේ. ක්‍රි.පූ. 168 කිස්ලෙව් 25වෙනිදා ඇන්ටියෝකස් දේවමාලිගාවේ පූජාසනය මත ඌරෙක්ව පූජා කළා. පුලුස්සපු මස්වල ඉස්ම දේවමාලිගාව පුරාම ඉහින්න කියලා එයා අණ කරලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි දේවමාලිගාවේ දොරටු පුච්චලා, පූජකයන්ගේ කාමර කඩලා, රන් පූජාසනයත් දෙවිට පුදන රොටි තියලා තිබුණු මේසයත් රන් පහන් රුකත් අරන් ගියා. එයා සියුස් කියන බොරු දෙවියාට දේවමාලිගාව කැප කළා. අවුරුදු දෙකකට පස්සේ යූදස් මකබියස් ආපහු යෙරුසලමත් පූජාසනයත් තමන් යටතට අරන් මුළු දේවමාලිගාවම පිරිසිදු කළා. ක්‍රි.පූ. 165 කිස්ලෙව් 25වෙනිදා ඒ කියන්නේ ඇන්ටියෝකස් පූජාසනය මත සියුස් දෙවියාට පූජාවක් ඔප්පු කරලා හරියටම අවුරුදු තුනකට පස්සේ යූදස් මකබියස් දේවමාලිගාව ආයෙත් දෙවිට කැප කළා. එදා ඉඳන් දේවමාලිගාවේ ආපහු යෙහෝවා දෙවිට දවන පූජා පවත්වන්න පටන්ගත්තා. යූදස් මකබියස්ට ජයග්‍රහණය ලබා දුන්නෙත් දේවමාලිගාව ආයෙත් ගොඩනඟන්න කිව්වෙත් යෙහෝවා දෙවි කියලා බයිබලයේ කොහෙවත් කියලා නැහැ. හැබැයි සමහර අවස්ථාවලදී යෙහෝවා දෙවි තම අරමුණ ඉටු කරන්න පර්සියාවේ සයිරස් ඇතුළු වෙනත් ජාතීන්ට අයිති අයව යොදාගෙන තියෙනවා. (යෙසා 45:1) ඒ නිසා අපිට හිතන්න පුළුවන් ඔහුගේ අරමුණ ඉටු කරන්න දෙවි යුදෙව් ජාතියට අයිති කෙනෙක්ව යොදාගනියි කියලා. ගැලවුම්කරු සම්බන්ධයෙනුත් ඔහු ඉටු කරන සේවය සම්බන්ධයෙනුත් ඔහුගේ ජීවිත පූජාව සම්බන්ධයෙනුත් අනාවැකි ඉටු වෙන්න නම් දේවමාලිගාවේ වැඩකටයුතු නියමිත ආකාරයෙන් සිද්ධ වෙන්න ඕනෙ කියලා බයිබලයේ තියෙනවා. ඒ වගේම ගැලවුම්කරු මිනිස් වර්ගයා වෙනුවෙන් තමන්ගේ ජීවිතය පූජා කරන කල් ලෙවී ගෝත්‍රයේ පූජකයන් පූජාවන් ඔප්පු කරන්න ඕනෙ කියලත් බයිබලයේ තියෙන තොරතුරුවලින් පැහැදිලි වෙනවා. (දානි 9:27; යොහ 2:17; හෙබ්‍රෙ 9:11-14) කැප කිරීමේ උත්සවය පවත්වන්න කියලා යේසුස් ඔහුගේ අනුගාමිකයන්ට අණ කළේ නැහැ. (කොලො 2:16, 17) හැබැයි ඒ උත්සවය සමරන එක යේසුස්වත් ඔහුගේ ගෝලයන්වත් හෙළාදැකලා නැහැ.

ඔක්තෝබර් 8-14

දේවවචනය නිධානයක් | යොහන් 11-12

“යේසුස් වගේ දයානුකම්පිත කෙනෙක් වෙන්න”

nwtsty යොහ 11:24, 25 සටහන්

ඔහු නැඟිටින බව මම දන්නවා: මාර්තා හිතුවේ යේසුස් අනාගතයේදී ඉටු වීමට නියමිත නැවත නැඟිටීම ගැන කතා කරනවා කියලයි. මාර්තාට නැවත නැඟිටීම ගැන කිසිම සැකයක් තිබුණේ නැහැ. එයාට ඒ වගේ විශ්වාසයක් තිබුණු එක හරි විශේෂයි. මොකද ඒ ඉගැන්වීම ගැන ශුද්ධ ලියවිල්ලේ පැහැදිලිව සඳහන් කරලා තිබුණත් ඒ කාලේ හිටිය සද්දුසිවරු විදිහට හඳුන්වපු ආගමික නායකයන් ඒක පිළිගත්තේ නැහැ. (දානි 12:13; මාක් 12:18) ඒ වගේම පරිසිවරු විශ්වාස කළේ මැරුණාට පස්සේ නොමැරී පවතින දෙයක් ඉතුරු වෙනවා කියලයි. හැබැයි යේසුස් නැවත නැඟිටීමේ බලාපොරොත්තුව ගැන උගන්වනවා කියලත් මිය ගිය අයට ආයෙත් ජීවිතය දීලා තියෙනවා කියලත් මාර්තා හොඳින්ම දැනගෙන හිටියා. ඒත් යේසුස් එද්දී ලාසරුස් මිය ගිහින් දවස් හතරක්ම ගෙවිලයි තිබුණේ. යේසුස් ඊට කලින් කවදාවත් මැරිලා දවස් කීපයක් ගිහින් තිබුණු කෙනෙක්ව නැවත නැඟිට්ටවලා තිබුණේ නැහැ.

නැවත නැඟිටීමත් ජීවනයත් ලැබීමට මඟ මමයි: යේසුස්ගේ මරණය සහ නැවත නැඟිටීම නිසා මිය ගිය අයට නැවත නැඟිටීමක් ලබන්න මඟ විවර වුණා. යෙහෝවා දෙවි යේසුස්ව නැවත නැඟිටෙව්වාට පස්සේ මිය ගිය අයව නැවත නැඟිටුවන්න විතරක් නෙවෙයි සදාකාලයටම ජීවත් වෙන්න මිනිසුන්ට අවස්ථාව ලබා දෙන්නත් ඔහුට බලය දුන්නා. “ජීවමාන තැනැත්තා මමය” කියලත් “මරණයෙත් මිනී වළෙත් යතුරු මා සතුය” කියලත් යේසුස්ම කිව්වා. (එළි 1:18) මිය ගිය අයට ආයෙත් ජීවත් වෙන්නත් ජීවත් වෙලා ඉන්න අයට සදාකාලයටම ජීවත් වෙන්නත් අවස්ථාව ලැබෙන්නේ යේසුස් නිසයි කියලා ඒකෙන් පැහැදිලි වෙනවා. මිය ගිය අයට ආයෙත් ජීවිතය දෙනවා කියලා යේසුස් පොරොන්දු වෙලා තියෙනවා. (යොහ 5:28, 29) ඒ අතරින් සමහර අයට ආයෙත් ජීවිතය ලැබෙන්නේ ස්වර්ගයේදී යේසුස් එක්ක රජකම් කරන්න. ඉතිරි අයට ආයෙත් ජීවිතය ලැබෙන්නේ දේවරාජ්‍යයේ පාලනය යටතේ මේ පොළොවේ ජීවත් වෙන්න.—2පේතෘ 3:13.

nwtsty යොහ 11:33-35 සටහන්

හඬා වැලපෙමින්: මේ විදිහට පරිවර්තනය කරලා තියෙන ග්‍රීක වචනය හුඟක් වෙලාවට යොදාගෙන තියෙන්නේ ශබ්ද නඟා අඬන අවස්ථාවන් විස්තර කරද්දියි. යේසුස් යෙරුසලමට එන්න යන විනාශය ගැන කියපු සිද්ධිය විස්තර කරද්දීත් යොදාගෙන තියෙන්නේ ඒ ග්‍රීක ක්‍රියා පදයමයි.—ලූක් 19:41.

යේසුස්ට මහත් ශෝකයක් දැනිණ. ඔහු මහත් වේදනාවකින්: මේ සිද්ධිය වුණු වෙලේ යේසුස්ට හැඟුණු විදිහ විස්තර කරන්න ග්‍රීක වචන දෙකක් යොදාගෙන තියෙන එකෙන් පැහැදිලි වෙනවා යේසුස්ට ඒ වෙලාවේ මොන තරම් වේදනාවක් දැනුණාද කියලා. “මහත් ශෝකයක් දැනිණ” විදිහට පරිවර්තනය කරලා තියෙන ග්‍රීක ක්‍රියා පදය (“එම්බ්‍රිමාඔමයි”) හුඟක් වෙලාවට යොදාගන්නේ ලොකු දුකක් දැනෙනවා කියන අදහස විස්තර කරන්න. හැබැයි මේ අවස්ථාවේදී ඒ වචනය යොදාගෙන තියෙන්නේ යේසුස්ගේ හිතට ලොකු වේදනාවක් දැනුණ නිසා ඔහු සුසුම් හෙළා තියෙනවා කියලා අඟවන්නයි. “මහත් වේදනාවකින්” කියලා පරිවර්තනය කරලා තියෙන ග්‍රීක වචනය (“ටරාසො”) මූලිකවම යොදාගන්නේ සිත කැලඹිලා කියන අදහස දෙන්න. ඒත් යොහ 11:33 මේ වචනය යොදාගෙන තියෙන්නේ “ඇතුළාන්ත හැඟීමක්; හිතට දැනෙන මහත් වේදනාවක්” විස්තර කරන්නයි කියලා එක විශාරදයෙක් කියලා තියෙනවා. යූදස් යේසුස්ව පාවලා දීපු වෙලේ යේසුස්ට දැනුණු විදිහ විස්තර කරන්න යොහ 13:21 යොදාගෙන තියෙන්නෙත් ඒ ග්‍රීක ක්‍රියා පදයමයි.—යොහ 11:35 සටහන බලන්න.

දෑස් කඳුළින් පිරී ගියේය: ලූක් 7:38; ක්‍රියා 20:19, 31; හෙබ්‍රෙ 5:7; එළි 7:17; 21:4 වගේ පදවල යොදාගෙන තියෙන “කඳුළු” කියන අර්ථය දෙන ග්‍රීක නාම පදයේ ක්‍රියා පදය (“ඩාකෘඔ”) තමයි මේ පදයේ යොදාගෙන තියෙන්නේ. පේන විදිහට යොහ 11:35 වැඩි අවධානයක් දෙන්නේ ශබ්ද නඟා අඬනවා කියන අදහසට වඩා කඳුළු සැළුවා කියන එකටයි. ග්‍රීක ලියවිල්ලේ මේ ග්‍රීක ක්‍රියා පදය යොදාගෙන තියෙන්නේ මේ වගන්තියේ විතරයි. මරියා සහ යුදෙව්වන් වැලපෙන සිද්ධිය විස්තර කරන්න යොහ 11:33 (සටහන බලන්න) යොදාගෙන තියෙන්නේ ඊට වඩා වෙනස් වචනයක්. යේසුස් හොඳින්ම දැනගෙන හිටියා ඔහු ලාසරුස්ව නැවත නැඟිටුවන්න යනවා කියලා. ඒත් තමන්ගේ කිට්ටු යාළුවන් හඬා වැලපෙනවා දකිද්දී යේසුස්ටත් ලොකු දුකක්, අනුකම්පාවක් දැනුණා. ඒ වෙලාවේ යේසුස් තමන්ගේ ඇස්වලට ආපු කඳුළු හංගන්න උත්සාහ කළේ නැහැ. කෙනෙක් මැරෙද්දී ඒ කෙනාගේ පවුලේ අයට, මිතුරන්ට දැනෙන වේදනාව යේසුස්ටත් දැනෙනවා කියලා මේ සිද්ධියෙන් හොඳින්ම පැහැදිලි වෙනවා.

ගැඹුරින් හොයමු

nwtsty යොහ 11:49 සටහන

උත්තම පූජකයා: ඊශ්‍රායෙල්වරුන් නිදහස් ජාතියක් විදිහට හිටිය කාලේ උත්තම පූජකයා විදිහට පත් වෙන කෙනා තමන්ගේ ජීවිත කාලය පුරාවටම ඒ තනතුරේ රැඳිලා හිටියා. (ගණන් 35:25) ඒත් ඊශ්‍රායෙල්වරුන් රෝමවරුන්ගේ පාලනයට යටත් වුණාට පස්සේ උත්තම පූජකයා හැටියට කෙනෙක්ව පත් කරන්නත් ඒ තනතුරෙන් කෙනෙක්ව ඉවත් කරන්නත් රෝම පාලකයන්ට අවසර ලැබුණා. රෝමයෙන් ඒ තනතුරට පත් වුණු කායෆස් හරිම උපායශීලි කෙනෙක්. එයාට කලින් හිටපු උත්තම පූජකයන්ට වඩා වැඩි කාලයක් එයා ඒ තනතුරේ රැඳිලා හිටියා. එයාව ඒ තනතුරට පත් කරලා තියෙන්නේ ක්‍රි.ව. 18දී විතර. ක්‍රි.ව. 36දී විතර තමයි එයා ඒ තනතුරෙන් ඉවත් වෙලා තියෙන්නේ. යොහ 11:49 “ඒ අවුරුද්ද” කියන එකෙන් යොමු දක්වලා තියෙන්නේ ක්‍රි.ව. 33 ගැනයි. යොහන් ඒ ගැන සඳහන් කරන්න ඇත්තේ යේසුස්ව මරලා දාපු අවස්ථාවෙත් උත්තම පූජකයා වෙලා හිටියේ කායෆස් කියලා අඟවන්න වෙන්න ඇති.—කායෆස්ගේ නිවස තිබුණා කියලා සැලකෙන තැන sgd 16වෙනි කොටසෙන් බලන්න.

nwtsty යොහ 12:42 සටහන්

නායකයන්: පේන විදිහට මේ පදයේ “නායකයන්” විදිහට පරිවර්තනය කරලා තියෙන ග්‍රීක වචනය යොදාගෙන තියෙන්නේ යුදෙව් මහාධිකරණය වන සැන්හෙඩ්‍රිනයේ සාමාජිකයන්ව හඳුන්වන්න. ඒකේ සාමාජිකයෙක් වුණු නිකදේමස්ව හඳුන්වන්න යොහ 3:1 යොදාගෙන තියෙන්නෙත් ඒ ග්‍රීක වචනයමයි.

සිනගෝගයෙන් නෙරපා දමයි: “සිනගෝගයෙන් පන්නා දමයි” නැත්නම් “සිනගෝගයට එන එක තහනම් කරයි” කියලත් පරිවර්තනය කරන්න පුළුවන්. යොහ 12:42ට අමතරව “අපොසිනාගොගොස්” කියන ග්‍රීක වචනය යොදාගෙන තියෙන්නේ යොහ 9:22 සහ 16:2 පදවල විතරයි. කෙනෙක්ව නෙරපා දැම්මාම ඒ කෙනාව සමාජයෙන් කොන් වෙනවා. යුදෙව්වන් අතරින් කෙනෙක්ව නෙරපලා දැම්මාම ඒ කෙනාගේ පවුලේ අයටත් හුඟක් ආර්ථික ප්‍රශ්නවලට මුහුණ දෙන්න වෙනවා. සිනගෝග මූලිකවම භාවිතයට ගැනුණේ ඉගැන්වීමේ කටයුතුවලට. ඒ වගේම කෙනෙක්ව සමාජයෙන් කොන් කරන්න හරි කෙනෙක්ට කසයෙන් තළන්න හරි නියම කරන්න බලය තියෙන උසාවියක වගේ නඩු විභාග පවත්වන්නත් සිනගෝග යොදාගෙන තියෙනවා.

ඔක්තෝබර් 15-21

දේවවචනය නිධානයක් | යොහන් 13-14

“ඔබට අනුගමනය කරන්න මම තබන ආදර්ශය එයයි”

nwtsty යොහ 13:5 සටහන

ගෝලයන්ගේ පාද සෝදන්නත්: අතීතයේදී ඊශ්‍රායෙල්වරු හුඟක් වෙලාවට දැම්මේ පැතලි අඩියක් තිබුණු පටි සහිත පාවහන්. ඒ නිසා දූවිලි හරි මඩ හරි වැදිලා ඉක්මනින්ම කකුල් කිලුටු වෙනවා. ගෙදරකට යද්දී පාවහන් ගලවලා යන එක චාරිත්‍රයක් වෙලා තිබුණේ ඒ නිසයි. ඒ වගේම ආගන්තුක සත්කාරයට ළැදි අය තමන්ගේ ගෙදරට එන අමුත්තන්ගේ කකුල් සෝදන්නත් අමතක කළේ නැහැ. ඒ වගේ අවස්ථාවන් කීපයක් ගැන බයිබලයෙත් සඳහන් වෙනවා. (උත් 18:4, 5; 24:32; 1සාමු 25:41; ලූක් 7:37, 38, 44) ඒ හොඳ පුරුද්ද අනුගමනය කරමින් යේසුස් ගෝලයන්ගේ පාද සෝදපු එකෙන් ඔහු නිහතමානීව එකිනෙකාට සේවය කරන එක ගැන කදිම පාඩමක් කියා දුන්නා.

nwtsty යොහ 13:12-14 සටහන

යුතුයි: මේ විදිහට පරිවර්තනය කරලා තියෙන ග්‍රීක ක්‍රියා පදය “කරන්න බැඳිලා ඉන්නවා” කියලත් පරිවර්තනය කරන්න පුළුවන්. ඒ ක්‍රියා පදය හුඟක් අවස්ථාවලදී යොදාගෙන තියෙන්නේ මූල්‍යමය කාරණාවලදී “තව කෙනෙක්ට ණය වුණාම ඒක දෙන්න බැඳිලා ඉන්නවා” කියන අදහස කාවද්දන්නයි. (මතෙ 18:28, 30, 34) මේ පදයෙත් තව පදවලත් ඒ වචනය යොදාගෙන තියෙන්නේ යම් දෙයක් කරන්න බැඳිලා ඉන්නවා කියන අදහස දෙන්නයි.—1යොහ 3:16; 4:11; 3යොහ 8.

ගැඹුරින් හොයමු

nwtsty යොහ 14:6 සටහන

මාර්ගයත් සත්‍යයත් ජීවනයත් මමයි: මිනිසුන්ට දෙවි එක්ක කතා කරන්න පුළුවන් වෙන්නෙත් දෙවි එක්ක බැඳීමක් ඇති කරගන්න පුළුවන් වෙන්නෙත් යේසුස් මාර්ගයෙන් විතරයි. (යොහ 16:23; රෝම 5:8) ඒ නිසයි යේසුස්ව මාර්ගය විදිහට හඳුන්වන්නේ. ඔහුව සත්‍යය විදිහට හඳුන්වන්නේ ඇයි? යේසුස් කතා කළෙත් ක්‍රියා කළෙත් සත්‍යයට එකඟව. ඒ වගේම අනාවැකි ගණනාවක්ම ඔහු මාර්ගයෙන් ඉටු වුණු එකෙන් පැහැදිලි වෙනවා දෙවිගේ අරමුණ ඉටු කරන්න ප්‍රධාන වශයෙන්ම දායක වෙන්නේ ඔහුයි කියලා. (යොහ 1:14; එළි 19:10) ඒ හැම අනාවැකියක්ම “එසේය” වුණේ [ඒ කියන්නේ ඉටු වුණේ] ඔහු මාර්ගයෙන්. (2කොරි 1:20) යේසුස්ව ජීවනය විදිහට හඳුන්වන්නේ ඇයි? “සදාකාල ජීවනය” ඒ කියන්නේ “සැබෑ ජීවිතය” අත් කරගන්න මිනිසුන්ට පුළුවන් වෙන්නේ යේසුස්ගේ ජීවිත පූජාව මාර්ගයෙන්. (1තිමෝ 6:12, 19; එෆී 1:7; 1යොහ 1:7) ඒ වගේම අනාගතයේදී නැවත නැඟිටුවන ලබන මිනිසුන් මිලියන ගාණකටත් පාරාදීස පොළොවක සදහටම ජීවත් වෙන්න අවස්ථාව ලැබෙන්නේ ඔහුගේ ජීවිත පූජාව නිසයි.—යොහ 5:28, 29.

nwtsty යොහ 14:12 සටහන

මීටත් වඩා මහත් ක්‍රියා: එහෙම කියපු එකෙන් යේසුස් අදහස් කළේ ඔහුගේ ගෝලයන් ඔහු කළාටත් වඩා වැඩියෙන් ආශ්චර්යයන් කරයි කියන එක නෙවෙයි. ඒ වෙනුවට ඔහු නිහතමානීව කිව්වේ ගෝලයන් තමන් කළාටත් වඩා වැඩියෙන් දේශනා කරන කාර්යය සහ උගන්වන කාර්යය කරයි කියලයි. ඒ කියන්නේ ඔහු දේශනා කළාටත් වඩා වැඩි ප්‍රදේශ ගණනක, ලොකු පිරිසකට දීර්ඝ කාලපරිච්ඡේදයක් පුරා දේශනා කරයි කියලයි ඔහු කිව්වේ. ඔහු කියපු දෙයින් පැහැදිලි වෙනවා තමන්ගේ අනුගාමිකයන් ඒ කාර්යය දිගටම ඉටු කරයි කියන එක ඔහු බලාපොරොත්තු වුණා කියලා.

ඔක්තෝබර් 22-28

දේවවචනය නිධානයක් | යොහන් 15-17

“ඔබ මේ ලෝකයේ මිනිසුන්ට සමාන නොවන නිසා”

nwtsty යොහ 15:19 සටහන

ලෝකයේ: මේ විදිහට පරිවර්තනය කරලා තියෙන “කොස්මොස්” කියන ග්‍රීක වචනයෙන් යොමු දක්වන්නේ දෙවිගේ සෙනඟගෙන් වෙන් වෙලා ඉන්න, දෙවිගෙන් ඈත් වෙලා ඉන්න අධර්මිෂ්ඨ මිනිස් සමාජයයි. තමන්ගේ අනුගාමිකයන් මේ ලෝකයේ මිනිසුන්ට සමාන නොවී ඉන්නවා කියලා යේසුස් කියපු බව වාර්තා කරලා තියෙන්නේ යොහන්ගේ සුවිශේෂයේ විතරයි. යේසුස් තමන්ගේ විශ්වාසවන්ත නියෝජිතයන් එක්ක කරපු අන්තිම යාච්ඤාවෙදිත් ඒ යෙදුම දෙවතාවක් යොදාගෙන තියෙනවා.—යොහ 17:14, 16.

nwtsty යොහ 15:21 සටහන

මාගේ නාමය දරන නිසා: බයිබලයේ “නාමය” කියන වචනය සඳහන් වෙන සමහර අවස්ථාවලදී ඒ නම දරන පුද්ගලයාව, එයා ඇති කරගෙන තියෙන නම සහ එයාගෙන් නියෝජනය වෙන දේවල් අදහස් කරනවා. යේසුස්ගේ නාමය කියලා කියද්දී ඒකෙන් පියාණන්ගෙන් යේසුස්ට ලැබිලා තියෙන අධිකාරිය සහ තනතුර අදහස් වෙනවා. (මතෙ 28:18; ෆිලි 2:9, 10; හෙබ්‍රෙ 1:3, 4) යොහ 15:21 පදයේ යේසුස් පැහැදිලි කරමින් හිටියේ ලෝකයේ මිනිසුන් තමන්ගේ අනුගාමිකයන්ට විරුද්ධ වෙන්නේ ඇයි කියන එක ගැන. ඔහු කිව්වේ ලෝකයේ මිනිසුන් එහෙම විරුද්ධ වෙන්නේ ඔහුව එවූ තැනැත්තාව ඔවුන් හඳුනන්නේ නැති නිසා කියලයි. යේසුස්ගේ නාමයෙන් නියෝජනය වෙන දේ ගැන තේරුම්ගන්නත් ඒ දේ පිළිගන්නත් මිනිසුන්ට පුළුවන් වෙන්නේ එයාලා දෙවිව හොඳින් හඳුනාගත්තොත් විතරයි. (ක්‍රියා 4:12) ජීවනය අත් කරගන්න නම් දෙවි පත් කරලා තියෙන පාලකයා වන රජවරුන්ගෙත් රජ යේසුස් කියලා පිළිගෙන යටහත්පහත්ව ඔහුට කීකරු වෙන්නත් ඕනේ. යේසුස්ගේ නාමයෙන් නියෝජනය වෙන දේවල් අතරට රජවරුන්ගෙත් රජ විදිහට ඔහුට ලැබිලා තියෙන අධිකාරියත් ඇතුළත් වෙනවා.—යොහ 17:3; එළි 19:11-16; ගීතා 2:7-12 බලන්න.

it-1-E 516

ධෛර්යය

යෙහෝවා දෙවිගෙන් ඈත් වෙලා ඉන්න මිනිසුන්ගේ සිතුවිලිවලින් සහ ක්‍රියාවන්වලින් අපවිත්‍ර නොවී ඉන්නත් ලෝකයේ මිනිසුන්ගේ වෛරයට ලක් වුණත් දිගටම දෙවිට විශ්වාසවන්තව ඉන්නත් ධෛර්යය තියෙන්නම ඕනේ. යේසුස් තමන්ගේ ගෝලයන්ට මෙහෙම කිව්වා. “ඔබට මේ ලෝකයෙන් නොයෙකුත් පීඩා ඇති වෙයි. නමුත් කිසි දෙයකට අධෛර්යය වෙන්න එපා. මම ලෝකයෙන් ජය ගත්තා.” (යොහ 16:33) දෙවිගේ පුත්‍රයා ලෝකයේ බලපෑමට අහු වුණේ නැහැ. කිසිම ආකාරයකින්වත් මේ ලෝකයට සමාන නොවී හිටිය ඔහු ලෝකයෙන් ජය ගත්තා. ඔහුගේ ඒ කදිම ආදර්ශයත් ඔහු ඒ විදිහට කටයුතු කරපු නිසා ලැබුණු ප්‍රයෝජන ගැනත් හිතනවා නම් ධෛර්යවන්තව මේ ලෝකයට සමාන නොවී, නිකැළැල්ව ඉන්න අපිටත් පුළුවන් වෙයි.—යොහ 17:16.

ගැඹුරින් හොයමු

nwtsty යොහ 17:21-23 සටහන්

එකඟතාවක්: මේ විදිහට පරිවර්තනය කරලා තියෙන ග්‍රීක වචනය “එකට බැඳී සිටිනවා” නැත්නම් “එක්සත්ව ඉන්නවා” කියලත් පරිවර්තනය කරන්න පුළුවන්. යේසුස් දෙවිගෙන් ඉල්ලා සිටියේ තම සැබෑ අනුගාමිකයන් අතරේ “එකඟතාවක්” ඇති වෙන්න කියලයි. ඔහුට ඕන වුණේ පියාණන් සමඟ තමන් එකට බැඳී සිටිනවා වගේ තම අනුගාමිකයනුත් එකිනෙකා සමඟ එකට බැඳී සිටිනවා දකින්නයි. යේසුස් සහ ඔහුගේ පියාණන් හිතන්නේ එකම විදිහට. ඔවුන් දෙදෙනා එකම අරමුණක් වෙනුවෙන් සහයෝගයෙන් වැඩ කරනවා. යේසුස්ට ඕන වුණේ ඔහුගේ අනුගාමිකයනුත් ඒ විදිහටම සහයෝගයෙන්, එකමුතුව වැඩ කරනවා දකින්නයි. (යොහ 17:22) දෙවිගේ හවුල් වැඩකරුවන් එකිනෙකා සමඟ සහයෝගයෙන් වැඩ කරද්දී අද්දකින ඒ එකමුතුකම ගැන පාවුල් 1කොරි 3:6-9 විස්තර කරලා තියෙනවා.—1කොරි 3:8 බලන්න.

සැබෑ සමඟියක් හා එකමුතුකමක්: මේ විදිහට පරිවර්තනය කරලා තියෙන ග්‍රීක යෙදුම “සම්පූර්ණ එකඟතාවක්” කියලත් පරිවර්තනය කරන්න පුළුවන්. යේසුස් ඊළඟට කියන දෙයින් පැහැදිලි වෙනවා ඔහුගේ අනුගාමිකයන් අතරේ ඒ වගේ සැබෑ සමඟියක් සහ එකමුතුකමක් පවතින්නේ එයාලා පියාණන්ගේ ආදරය ලබන නිසයි කියලා. ‘එක්සත්කමට දායක වන හොඳම බැඳීම ප්‍රේමයයි’ කියලා කොලො 3:14 කියන දෙයිනුත් ඒ අදහස තහවුරු වෙනවා. යේසුස්ගේ අනුගාමිකයන් අතරේ සැබෑ සමඟියක් සහ එකමුතුකමක් තියෙනවා කියන එකෙන් අදහස් වෙන්නේ එයාලා කටයුතු කරන විදිහ, විශ්වාස කරන දේවල් සහ උගන්වන දේවල් එකිනෙකට සමානයි කියන එකයි. හැබැයි ඒකෙන් අදහස් වෙන්නේ නැහැ එයාලගේ පෞද්ගලිකත්වයන්, හැකියාවන්, පුරුදු සහ හෘදය සාක්ෂිය වැඩ කරන විදිහ එකිනෙකට සමානයි කියලා.—රෝම 15:5, 6; 1කොරි 1:10; එෆී 4:3; ෆිලි 1:27.

nwtsty යොහ 17:24 සටහන

පොළොවේ දරුවන් බිහි වීමට: “බිහි වීමට” කියලා පරිවර්තනය කරලා තියෙන ග්‍රීක වචනය හෙබ්‍රෙ 11:11 පරිවර්තනය කරලා තියෙන්නේ “පිළිසිඳගැනීම” විදිහට. එතැන කතා කරන්නේ සාරාට “දරුවෙකු” පිළිසිඳගැනීම ගැනයි. හැබැයි යොහ 17:24 “පොළොවේ දරුවන් බිහි වීමට කලින්” කියන යෙදුමේ ඒ ග්‍රීක වචනය යොදාගෙන තියෙන්නේ වෙන අර්ථයක් දෙන්නයි. පේන විදිහට ඒකෙන් යොමු දක්වලා තියෙන්නේ ආදම් සහ ඒවට බිහි වුණු දරුවන්ව. යේසුස් ලූක් 11:50, 51 ඒ ග්‍රීක යෙදුම යොදාගෙන තියෙන්නේ ආබෙල්ට යොමු දක්වන්නයි. පේන විදිහට ආබෙල් තමයි දෙවිගේ විශ්වාසවන්ත සේවකයෙක් විදිහට මුලින්ම මිය ගිහින් තියෙන්නේ. ඒ වගේම “පොළොවේ දරුවන් බිහි වූ දා පටන් පිළියෙල කර තිබෙන ජීවන ලියවිල්ලෙහි” මුලින්ම ලියවිලා තියෙන්නෙත් ආබෙල්ගේ නම කියලා හිතන්න පුළුවන්. (එළි 17:8) හුඟ කාලෙකට කලින් ඉඳලාම ඒ කියන්නේ ආදම් සහ ඒව දරුවන්ව බිහි කරන්න කලින් ඉඳලාම දෙවි තමන්ගේ එකම පුත්‍රයාට හුඟක් ආදරේ කරලා තියෙනවා කියන එකත් යොහ 17:24 යේසුස් කියලා තියෙන දෙයින් පැහැදිලි වෙනවා.

ඔක්තෝබර් 29–නොවැම්බර් 4

දේවවචනය නිධානයක් | යොහන් 18-19

“යේසුස් සත්‍යය ගැන සාක්ෂි දැරුවා”

nwtsty යොහ 18:37 සටහන්

සාක්ෂි දැරීමටයි: ග්‍රීක ලියවිල්ලේ “සාක්ෂි” (“මාර්තුරීයා” “මාර්තුස්”) සහ “සාක්ෂි දැරීමට” (“මාර්තුරෙයියො”) විදිහට පරිවර්තනය කරලා තියෙන ග්‍රීක වචනවල ලොකු අදහසක් ඇතුළත් වෙනවා. ඒ වචනවලින් මූලිකවම අදහස් වෙන්නේ ඇසින් දුටු දෙයක් ගැන එහෙමත් නැත්නම් පෞද්ගලිකව දන්නා දෙයක් ගැන සාක්ෂි ඉදිරිපත් කරන එකයි. හැබැයි යමක් “ප්‍රකාශ කරන එක, සනාථ කරන එක සහ හදවතින්ම අගය කරන එක” වගේ අදහසුත් ඒකට ඇතුළත් වෙන්න පුළුවන්. යේසුස් තමන් දැනන් හිටිය සත්‍යයන් ගැන සාක්ෂි ඉදිරිපත් කළා විතරක් නෙවෙයි ඔහු ජීවත් වුණු විදිහෙන් පියාණන් කියපු හැම දෙයක්ම ඇත්තයි කියලා ඔප්පු කළා. ඒ නිසා ඔහු ගැන කියලා තිබුණු හැම අනාවැකියක්ම ඉටු වුණා. (2කොරි 1:20) දෙවිගේ රාජ්‍යය සහ ඒ රාජ්‍යයේ රජු සම්බන්ධයෙන් දෙවිට තිබුණු අරමුණ ගැන හැම පුංචි තොරතුරක්ම පැහැදිලිව කියලා තිබුණා. යේසුස් ජීවත් වුණු විදිහ නිසාත් පූජාවක් විදිහට තමන්ගේ ජීවිතය ඔප්පු කරපු නිසාත් ඔහු සම්බන්ධයෙන් දෙවි කියලා තිබුණු හැම අනාවැකියක්ම ඉටු වුණා. ඔහු සම්බන්ධයෙන් ඉටු වුණු දේවල් අතරට මෝසෙස්ගේ නීතික ගිවිසුමේ ඔහු ගැන කියලා තිබුණු දේවලුත් ඇතුළත්. (කොලො 2:16, 17; හෙබ්‍රෙ 10:1) කියපු කරපු හැම දේකින්ම යේසුස් “සත්‍යය ගැන සාක්ෂි” දැරුවා කියලා හොඳින්ම පැහැදිලියි.

සත්‍යය: “සත්‍යය” කියලා කියද්දී යේසුස් අදහස් කළේ දෙවිගේ අරමුණට සම්බන්ධ සත්‍යයන් ගැන මිසක් පොදුවේ හැමෝම පිළිගන්න සත්‍යයන් ගැන නෙවෙයි. ඔහු උගන්වපු සත්‍යයන් අතරින් ප්‍රධාන කරුණක් තමයි “දාවිත්ගෙන් පැවතෙන” යේසුස්, දෙවිගේ රාජ්‍යයේ පාලකයා විදිහටත් උත්තම පූජකයා විදිහටත් සේවය කරනවා කියන එක. (මතෙ 1:1) යේසුස් පැහැදිලිවම කිව්වා දේවරාජ්‍යය ගැන සත්‍යය මිනිසුන්ට උගන්වන එක ඔහු පොළොවට ආපු ප්‍රධාන හේතුවලින් එකක් කියලා. යේසුස් යුදයේ බෙත්ලෙහෙම් නගරයේ ඉපදෙන්න කලිනුත් ඔහු ඉපදුණු වෙලාවෙත් දේවදූතයන් ඒ හා සමාන පණිවිඩයක් ගැන දැනුම් දීලා තියෙනවා.—ලූක් 1:32, 33; 2:10-14.

nwtsty යොහ 18:38අ සටහන

සත්‍යය? ඒ මොකක්ද?: පේන විදිහට පිලාත් අහලා තියෙන්නේ යේසුස් කතා කරපු “සත්‍යය” ගැන නෙවෙයි. (යොහ 18:37) පිලාත් ඒ දේ ඇහුවේ අවංක චේතනාවකින් නම් යේසුස් උත්තර නොදී ඉන්න එකක් නැහැ. ඒත් පේන විදිහට එයා එහෙම කියලා තියෙන්නේ යේසුස් කියපු දේ ගැන එයාට තිබුණු සැකය නිසා මිසක් උත්තරයක් දැනගන්න තියෙන උවමනාව නිසා නෙවෙයි. ඒක හරියට එයා මෙහෙම කිව්වා වගෙයි. “සත්‍යය කියන්නේ මොකක්ද? එහෙම දෙයක් නැහැ.” අනික පිලාත් ඒ ප්‍රශ්නේ අහපු ගමන් එතනින් පිට වෙලා යුදෙව්වන් ළඟට ගිහින් තියෙනවා.

ගැඹුරින් හොයමු

nwtsty යොහ 19:30 සටහන

අවසන් හුස්ම හෙළුවේය: මේ විදිහට පරිවර්තනය කරලා තියෙන ග්‍රීක යෙදුම “මිය ගියේය; හුස්ම ගන්න එක නතර කළේය” කියලත් පරිවර්තනය කරන්න පුළුවන්. “හුස්ම” විදිහට පරිවර්තනය කරලා තියෙන ග්‍රීක වචනයට (“නියුමා”) “ජීව බලය” කියන අර්ථයත් ඇතුළත් වෙනවා. “හෙළුවේය” විදිහට පරිවර්තනය කරලා තියෙන ග්‍රීක වචනය යොදාගෙන තියෙන එකෙන් යේසුස් අවසන් හුස්ම පිට කරද්දී ජීවත් වෙන්න දැඟළුවේ නැහැ කියන එක පැහැදිලි වෙනවා කියලා සමහරු කියනවා. තමන් සම්බන්ධයෙන් ඉටු වීමට තිබුණු හැම දෙයක්ම යේසුස් ඉටු කළ නිසා ඔහු ‘තම දිවි පිදුවේ’ කැමැත්තෙන්මයි.—යෙසා 53:12; යොහ 10:11.

nwtsty යොහ 19:31 සටහන

ඒ සබත් දවස මහ සබත් දවසක් විය: නීසාන් 15වෙනිදා ඒ කියන්නේ පාස්කුවට පස්සේ දවස සතියේ මොන දවසක වැටුණත් ඒක සබතක් වුණා. (ලෙවී 23:5-7) ඒ දවස සාමාන්‍යයෙන් සබත පවත්වන දවසක (යුදෙව්වන් සතියේ හත්වෙනි දවස විදිහට සලකපු දවස ඒ කියන්නේ සිකුරාදා හිරු බැස යෑමේ සිට සෙනසුරාදා හිරු බැස යෑම දක්වා කාලය) වැටුණොත් ඒක “මහ සබත් දවසක්” විදිහට හැඳින්නුවා. යේසුස් මිය ගිය දවසට (සිකුරාදා) පස්සේ දවස ඒ වගේ සබතක්. ක්‍රි.ව. 29 ඉඳන් ක්‍රි.ව. 35 අතර කාලයේදී නීසාන් 14වෙනිදා සිකුරාදා දවසක වැටිලා තියෙන්නේ ක්‍රි.ව. 33දී විතරයි. යේසුස් මිය ගියේ ක්‍රි.ව. 33 නීසාන් 14වෙනිදා කියලා කියන්න ඒක හොඳ සාක්ෂියක්.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න