‘ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත’ සඳහා තොරතුරු
දෙසැම්බර් 3-9
දේවවචනය නිධානයක් | ක්‍රියා 9-11
ගැඹුරින් හොයමු
nwtsty ක්‍රියා 10:6 සටහන
සීමොන් නමැති සම් පදම් කරන්නෙකුගේ: අතීතයේ හම් පදම් කරන අය හුණු ද්‍රාවණයක් පාවිච්චි කරලා සතුන්ගේ හම්වල ඉතුරු වෙලා තිබුණු රෝම, මස්, තෙල් වගේ දේවල් ඉවත් කළා. ඊටපස්සේ ඒ හම් සැර රසායන ද්‍රව්‍යයක ගිල්වලා තියලා භාණ්ඩ හදන්න පුළුවන් විදිහට සකස් කළා. හම් පදම් කරද්දී උහුලාගන්න අමාරු ගඳක් පිට වෙනවා. ඒ වගේම හම් පදම් කරන්න සෑහෙන වතුර ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. සීමොන් මුහුද ළඟ ජීවත් වුණේ ඒ හේතු නිසා වෙන්න ඇති. සමහරවිට සීමොන්ගේ නිවස පිහිටලා තිබුණේ යොප්පා නගරයේ දේශ සීමාව කිට්ටුව වෙන්න ඇති. සතුන්ගේ මළ කඳන් ස්පර්ශ කරන අය අපවිත්‍රයි කියලා මෝසෙස්ට දුන්න නීතියේ සඳහන් වෙලා තියෙනවා. (ලෙවී 5:2; 11:39) ඒ නිසා හුඟක් යුදෙව්වරුන් හම් පදම් කරන අයව පිළිකුල් කළා. ඒ වගේ කෙනෙක්ගේ නිවසේ නවාතැන් ගන්න එයාලා කොහොමටවත් කැමති වුණේ නැහැ. හම් පදම් කරන අයගේ වැඩ, සතුන්ගේ අසූචි එකතු කරන අයගේ වැඩවලටත් වඩා පහත් කියලයි තල්මුඩයේ සඳහන් වෙන්නේ. හම් පදම් කරන අයව සමාජයෙන් කොන් කළත් පේතෘස්, සීමොන්ගේ නිවසේ නවාතැන් ගත්තා. පේතෘස් ඒ අවස්ථාවේදී තරාතිරම් බලන්නේ නැතුව වැඩ කළා. යුදෙව් ජාතියට අයිති නැති කෙනෙක්ගේ නිවසට යන්න කියලා දෙවි කියද්දී ඒකට කීකරු වෙන්න ඒක එයාට උදව් වෙන්න ඇති. ‘හම් පදම් කරන්නෙක්’ විදිහට පරිවර්තනය කරලා තියෙන ග්‍රීක වචනය “බෝර්සූස්.” සමහර විශාරදයන් හිතනවා ඒක සීමොන්ගේ වාසගම කියලා.
දෙසැම්බර් 10-16
දේවවචනය නිධානයක් | ක්‍රියා 12-14
ගැඹුරින් හොයමු
nwtsty ක්‍රියා 13:9 සටහන්
පාවුල් යන නමින්ද හැඳින්වූ සාවුල්: මේ පදයේ සඳහන් වෙන අවස්ථාවේ ඉඳන් තමයි සාවුල්ව පාවුල් විදිහට හඳුන්වන්න පටන්ගත්තේ. හෙබ්‍රෙව් ජාතිකයෙක් වුණු පාවුල් ඉපදුණු දවසේ ඉඳලාම රෝම පුරවැසියෙක් වුණා. (ක්‍රියා 22:27, 28; ෆිලි 3:5) සාවුල් කියන්නේ හෙබ්‍රෙව් නමක්. පාවුල් කියන්නේ රෝම නමක්. පොඩි කාලේ ඉඳලාම එයාට ඒ නම් දෙකෙන්ම කතා කළා කියලා හිතන්න පුළුවන්. මොකද ඒ කාලයේ හිටපු හුඟක් යුදෙව් ජාතිකයන්ට, විශේෂයෙන්ම ඊශ්‍රායෙල් දේශයෙන් පිට ජීවත් වුණු අයට නම් දෙකක් තිබුණා. (ක්‍රියා 12:12; 13:1) පාවුල්ගේ නෑදෑයන් කිහිපදෙනෙක්ටත් එයාලගේ හෙබ්‍රෙව් නමට අමතරව රෝම නමක් හරි ග්‍රීක නමක් හරි තිබුණා. (රෝම 16:7, 21) “වෙනත් ජාතීන්ට අයත් මිනිසුන් වෙතට යවනු ලැබූ නියෝජිතයෙක්” වුණු පාවුල්ට යුදෙව් ජාතියට අයිති නැති අයට ශුභාරංචිය ප්‍රකාශ කරන්න පැවරුමක් ලැබුණා. (රෝම 11:13) තමන්ගේ රෝම නම පාවිච්චි කරන්න තීරණය කරන්න ඇත්තේ පාවුල්ම වෙන්න ඇති. එහෙම තීරණය කරන්න ඇත්තේ වෙනත් ජාතීන්ට අයත් අය එක්ක කතා කරන්න ඒක පහසුවක් වෙයි කියලා හිතපු නිසා වෙන්න ඇති. (ක්‍රියා 9:15; ගලා 2:7, 8) පාවුල් තමන්ගේ රෝම නම පාවිච්චි කරන්න පටන්ගත්තේ සයිප්‍රසයේ ආණ්ඩුකාරයා වන සර්ජියස් පාවුලස්ට ගෞරවය දක්වන්නයි කියලා සමහර අය හිතනවා. හැබැයි ඒ අදහස හරියි කියලා පිළිගන්න බැහැ. මොකද සයිප්‍රසයෙන් පිට වෙලා ගියාට පස්සෙත් පාවුල් ඒ නම පාවිච්චි කරලා තියෙනවා. සාවුල් කියන නමට ළඟින්ම යන තවත් ග්‍රීක වචනයක් තියෙනවා. ඒ වචනයෙන් අර්ථවත් වෙන්නේ ආඩම්බර ලීලාවෙන් ඇවිදින කෙනෙක්වයි (නැත්නම් සතෙක්වයි). සමහර අය කියන්නේ පාවුල් තමන්ගේ හෙබ්‍රෙව් නම පාවිච්චි නොකරන්න ඒක හේතු වෙන්න ඇති කියලයි.
පාවුල්: ග්‍රීක භාෂාවෙන් ඒ නම සඳහන් වෙලා තිබුණේ “පවුලොස්” කියලයි. ඒ නම හැදිලා තියෙන්නේ “චූටි; පොඩි” කියන අර්ථ දෙන “පාවුලස්” කියන ලතින් නමින්. මුල් ග්‍රීක ලියවිලිවල නියෝජිත පාවුල්ව 157 වතාවක්ම “පවුලොස්” කියන නමින් හඳුන්වලා තියෙනවා. එක පදයක සයිප්‍රස් දූපතේ ආණ්ඩුකාරයා වන සර්ජියස් පාවුලස්වත් ඒ නමින් හඳුන්වලා තියෙනවා.—ක්‍රියා 13:7.
දෙසැම්බර් 17-23
දේවවචනය නිධානයක් | ක්‍රියා 15-16
ගැඹුරින් හොයමු
nwtsty ක්‍රියා 16:37 සටහන
රෝමයේ පුරවැසියන් වන අපිව: පාවුල්ට වගේම පේන විදිහට සීලස්ටත් රෝම පුරවැසිභාවය තිබුණා. රෝම නීතියට අනුව වරදකට චෝදනා ලබපු රෝම පුරවැසියෙක්ට අයිතිය තිබුණා අධිකරණයක් ඉදිරියට ගිහින් එයාගේ නිර්දෝෂකම ඔප්පු කරන්න. වරදකරුවෙක් කියලා ඔප්පු කරන්න කලින් රෝම පුරවැසියෙක්ට ප්‍රසිද්ධියේ දඬුවම් කරන්න කිසිම කෙනෙක්ට අවසර තිබුණේ නැහැ. රෝම අධිරාජ්‍යයේ මොන ප්‍රදේශයකට ගියත් රෝම පුරවැසියෙක්ට විශේෂ අයිතිවාසිකම් හිමි වුණා. අනිත් අයට ලැබුණේ නැති වරප්‍රසාදත් ලැබුණා. එයාලා යටත් වුණේ රෝම අධිරාජ්‍යයෙන් පනවපු නීතිවලට මිසක් තමන් ජීවත් වුණු පළාත්වල තිබුණු නීතිවලට නෙවෙයි. වරදකට චෝදනා ලබපු රෝම පුරවැසියෙක්ට එයා ජීවත් වෙන ප්‍රදේශයේ අධිකරණයක් ඉදිරියට ගිහින් එයාගේ නඩුව විසඳගන්න නිදහස තිබුණා. හැබැයි එහෙම ගියත් රෝම අධිකරණයක් ඉදිරියට ගිහින් තමන්ගේ නිර්දෝෂකම ඔප්පු කරන්න එයාට තිබුණු අවස්ථාව අහිමි වුණේ නැහැ. මරණ දඬුවම නියම වුණු කෙනෙක්ට රෝම අධිරාජ්‍යයාගෙන් තීන්දුවක් ඉල්ලන්නත් අයිතිය තිබුණා. පාවුල් රෝම අධිරාජ්‍යය පුරාම ශුභාරංචිය දේශනා කළා. රෝමයේ පුරවැසියෙක් විදිහට තමන්ට තිබුණු අයිතිවාසිකම්වලින් පාවුල් ප්‍රයෝජන ගත්ත අවස්ථා තුනක් ගැන බයිබලයේ සඳහන් වෙනවා. මුලින්ම ඒ ගැන සඳහන් වෙන්නේ ක්‍රියා 16:37. ෆිලිප්පියේ ආණ්ඩුකාරයන් එයාගේ අයිතීන් උල්ලංගනය කරමින් එයාට කෝටුවලින් තැළුවා කියලා ඒකේ සඳහන් වෙනවා. අනිත් අවස්ථා දෙක සඳහන් වෙලා තියෙන්නේ ක්‍රියා 22:25 සහ 25:11 පදවල.
දෙසැම්බර් 24-30
දේවවචනය නිධානයක් | ක්‍රියා 17-18
“දේශනා කරද්දීත් උගන්වද්දීත් පාවුල්ව ආදර්ශයට ගන්න”
nwtsty ක්‍රියා 17:2, 3 සටහන්
තර්කානුකූලව පහදා දුන්නේය: මේ විදිහට පරිවර්තනය කරලා තියෙන්නේ “ඩියාලෙගොමායි” කියන ග්‍රීක වචනයයි. පාවුල් මිනිසුන්ට නිකම්ම ශුභාරංචිය කිව්වේ නැහැ. එයා ශුද්ධ ලියවිල්ල පදනම් කරගෙන ඒ කාරණා නිවැරදියි කියලා ඔප්පු කරමින් ඒවා හොඳින් පැහැදිලි කරලා දුන්නා. එයාට සවන් දුන්න අයට එයා හෙබ්‍රෙව් ශුද්ධ ලියවිලි ඇහෙන්න කියෙව්වා විතරක් නෙවෙයි, ඒ එක් එක් කෙනාට ගැළපෙන විදිහට ඒ ලියවිලි පාවිච්චි කරලා කාරණා තර්කානුකූලව පහදලා දුන්නා. “ඩියාලෙගොමායි” කියන ග්‍රීක වචනයට “සංවාදයක යෙදීම; කතාබහ කිරීම; සාකච්ඡා කිරීම” කියන අර්ථත් ඇතුළත්. ඒ ග්‍රීක වචනය ක්‍රියා 17:17; 18:4, 19; 19:8, 9; 20:7, 9 පදවලත් යොදාගෙන තියෙනවා.
ශුද්ධ ලියවිල්ලේ දක්වා තිබෙන ආකාරය . . . පැහැදිලිව පෙන්නුවේය: මේ විදිහට පරිවර්තනය කරලා තියෙන ග්‍රීක වචනයේ මූලික අදහස “එක ළඟ තියාගෙන සසඳනවා” කියන එකයි. ඒකෙන් පැහැදිලි වෙනවා පාවුල් ගැලවුම්කරු ගැන හෙබ්‍රෙව් ලියවිල්ලේ සඳහන් වෙලා තියෙන අනාවැකිත් එක්ක යේසුස්ගේ ජීවිතේ සිද්ධීන් සංසන්දනය කරලා ඒ අනාවැකි යේසුස් තුළින් ඉටු වුණු විදිහ මිනිසුන්ට පහදලා දුන්නා කියලා.
nwtsty ක්‍රියා 17:17 සටහන
වෙළඳපොළෙහි: ඇක්‍රොපොලිස් නම් බලකොටුවට වයඹ දෙසින් පිහිටි ඇතන්ස් නගරයේ වෙළඳපොළ (ග්‍රීක බසින්, “අගරා”) අක්කර 12ක (හෙක්ටාර 5ක) ප්‍රදේශයක් පුරා විහිදිලා තිබුණා. මේ වෙළඳපොළේ සිද්ධ වුණේ බඩු මිල දී ගන්න එක, විකුණන එක විතරක් නෙවෙයි. නගරයේ ප්‍රධාන මංසන්ධිය විදිහටත් සැලකුණු මේ වෙළඳපොළ ව්‍යාපාර, දේශපාලන සහ විනෝද කටයුතු සිද්ධ වුණු ප්‍රධාන මධ්‍යස්ථානයක් වුණා. ඇතන්ස් නගරයේ ජීවත් වුණු අය වෙළඳපොළට ගිහින් දර්ශනවාදී අදහස්, දේශපාලනික කාරණා වගේ දේවල් ගැන සාකච්ඡා කරන්න කැමති වුණා.
nwtsty ක්‍රියා 17:22, 23 සටහන
නාඳුනන දෙවි කෙනෙකුටය: ඇතන්ස් නගරයේ පූජාසනයක සඳහන් විස්තරයක “අග්නොස්ටොයි තියොයි” කියන ග්‍රීක වචන සඳහන් වෙලා තිබුණා. ඒ නගරයේ ජීවත් වුණු අය දෙවි දේවතාවන්ට හුඟක් බයෙන් හිටපු නිසා හුඟක් දේවස්ථාන සහ පූජාසන ගොඩනැඟුවා. එයාලා කීර්තිය, විනීතකම, ජවය, බලපෑම් කිරීම සහ අනුකම්පාව වගේ නම්වලින් හඳුන්වපු මනඃකල්පිත දෙවි දේවතාවන්ටත් පූජාසන හැදුවා. එයාලා “නාඳුනන දෙවි කෙනෙකුට” කියලත් පූජාසනයක් කැප කරලා තිබුණා. එහෙම කරන්න ඇත්තේ වැරදීමකින්වත් එක දෙවි කෙනෙක්ව හරි අමතක වුණොත් ඒ දෙවියන්ගේ අප්‍රසාදයට ලක් වෙයි කියන බය නිසා වෙන්න ඇති. තමන් නොදන්නා දෙවි කෙනෙක් ඉන්නවා කියන එක ඒ අය පිළිගත්තා කියලා ඒ පූජාසනය හදපු එකෙන් පැහැදිලි වෙනවා. ඒ පූජාසනයේ සඳහන් වෙලා තිබුණු දේ යොදාගෙන පාවුල් දක්ෂ විදිහට සැබෑ දෙවිව එයාලට හඳුන්වලා දුන්නා.
ගැඹුරින් හොයමු
nwtsty ක්‍රියා 18:21 සටහන
යෙහෝවා දෙවි කැමති නම්: මේ යෙදුම යොදාගෙන තියෙන්නේ ඕනෑම දෙයක් කරන්න කලිනුත් ඕනෑම දෙයක් සැලසුම් කරන්න කලිනුත් දෙවි ඒ දේට කැමතිද නැද්ද කියලා හොයලා බලන එකේ වැදගත්කම කාවද්දන්නයි. එහෙම කරන එකේ වැදගත්කම නියෝජිත පාවුල් හොඳින් තේරුම් අරන් හිටියා. (1 කොරි 4:19; 16:7; හෙබ්‍රෙ 6:3) යාකොබ් පවා ඒකේ වැදගත්කම කාවද්දමින් මෙහෙම කිව්වා. “එය යෙහෝවා දෙවිගේ කැමැත්ත නම් අපි ජීවත් වී මේ දේ හෝ ඒ දේ හෝ කරමු.” (යාකො 4:15) ඒත් “යෙහෝවා දෙවි කැමති නම්” කියන යෙදුම පාවිච්චි කරන්න ඕනෙ අවංකවමයි. ඒක වචනයට සීමා නොකර ක්‍රියාවෙන් ඔප්පු කරන්න ඕනේ. අපි නිතරම ඒ යෙදුම කිව්වේ නැතත් දෙවිගේ කැමැත්තට එකඟව ජීවත් වෙන්න අපේ හිතේ ලොකු කැමැත්තක් ඇති කරගන්න ඕනේ.—sgd 2වෙනි කොටස බලන්න.