‘ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත’ සඳහා තොරතුරු
ජනවාරි 7-13
දේවවචනය නිධානයක් | ක්‍රියා 21-22
ගැඹුරින් හොයමු
nwtsty ක්‍රියා 22:16 සටහන
යේසුස්ගේ නම කියා කන්නලව් කරන්න. ඔබේ පව්වලට සමාව ලබාගෙන පවිත්‍ර වෙන්න: කෙනෙක්ගේ පව්වලට සමාව ලැබිලා එයා පවිත්‍ර වෙන්නේ බව්තීස්ම වෙද්දී එයාව වතුරේ ගිල්වලා ගන්න නිසා නෙවෙයි. ඒ වෙනුවට එයා පවිත්‍ර වෙන්නේ යේසුස්ගේ නම කියලා කන්නලව් කරන නිසයි. යේසුස්ගේ නම කියලා කන්නලව් කරන එකට යේසුස් ගැන විශ්වාසය තියන එකත් ඒ විශ්වාසය ක්‍රියාවෙන් පෙන්වන එකත් ඇතුළත් වෙනවා.—ක්‍රියා 10:43; යාකො 2:14, 18.
ජනවාරි 14-20
දේවවචනය නිධානයක් | ක්‍රියා 23-24
ගැඹුරින් හොයමු
nwtsty ක්‍රියා 23:6 සටහන
මමත් පරිසිවරුන්ගේ නිකායට අයිති කෙනෙක්: පාවුල් කතා කරමින් හිටපු සෙනඟ අතරේ පාවුල්ව දන්න අයත් හිටියා. (ක්‍රියා 22:5) යුදෙව් මහාධිකරණයේ හිටපු පරිසිවරුන් දැනගෙන හිටියා පාවුල් උද්‍යෝගයෙන් සේවය කරන ක්‍රිස්තියානියෙක් කියලා. ඒ නිසා පාවුල්, මගේ පියාත් පරිසිවරයෙක් කියලා කියද්දී ඒකෙන් අදහස් කළේ එයා තවමත් පරිසිවරුන්ගේ නිකායට අයිති කෙනෙක් කියන එක නෙවෙයි කියලා එයාලා තේරුම්ගන්න ඇති. පාවුල් කලින් පරිසිවරයෙක් වෙලා හිටිය නිසා එයාලගේ විශ්වාසයන් ගැන එයාට හොඳ අවබෝධයක් තිබුණා කියලත් එයාලට තේරෙන්න ඇති. ඒ අවස්ථාවේ පාවුල් තමන් පරිසිවරුන්ගේ නිකායට අයිති කෙනෙක් කියලා විශේෂයෙන්ම සඳහන් කරන්න ඇත්තේ සද්දුසිවරුන්ට වඩා වෙනස්ව එයාත් පරිසිවරුන් වගේ නැවත නැඟිටීම ගැන විශ්වාස කළා කියලා පෙන්වන්න වෙන්න ඇති. පාවුල් පරිසිවරුන් එක්ක එකඟ වෙන්න පුළුවන් කාරණයක් ගැන කතා කරමින් එයාලව දිනාගන්න උත්සාහ කළා. සමහරවිට පාවුල් සද්දුසිවරුන් සහ පරිසිවරුන් අතරේ මතභේදයට ලක් වුණු දෙයක් ගැන සඳහන් කරන්න ඇත්තේ අඩුම තරමින් මන්ත්‍රණ සභාවේ කිහිපදෙනෙක්වත් තමන්ගේ පැත්තට කතා කරයි කියලා හිතාගෙන වෙන්න ඇති. ඒ දේ ඒ විදිහටම සිද්ධ වුණා. (ක්‍රියා 23:7-9) තවත් අවස්ථාවකදී පාවුල් අග්‍රිපා රජු ඉදිරියේ කතා කරද්දීත් තමන්ව පරිසිවරුන්ගේ නිකායේ සාමාජිකයෙක් විදිහට හඳුන්වලා තියෙනවා. (ක්‍රියා 26:5) ඒ වගේම රෝමයේ ඉඳන් ෆිලිප්පියේ සහෝදරයන්ට යවපු ලිපියකත් පාවුල් තමන්ව ඒ විදිහටම හඳුන්වලා තියෙනවා. (ෆිලි 3:5) කලින් පරිසිවරුන් වෙලා හිටපු යේසුස්ගේ අනුගාමිකයන් වුණු තවත් අයවත් ක්‍රියා 15:5 හඳුන්වලා තියෙන්නේ පරිසිවරුන්ගේ නිකායට අයිති වෙලා හිටිය අය විදිහටයි.
nwtsty ක්‍රියා 24:24 සටහන
දෘසිලා: ක්‍රියා 12:1 සඳහන් වෙන හෙරොද් රජුගේ ඒ කියන්නේ 1වෙනි හෙරොද් අග්‍රිපා රජුගේ බාල දියණිය (තුන්වෙනි දියණිය) තමයි දෘසිලා. එයා ඉපදිලා තියෙන්නේ ක්‍රි.ව. 38දී විතර. එයාගේ අයියාගේ නම 2වෙනි අග්‍රිපා. අක්කාගේ නම බර්නීස්. දෘසිලා මුලින්ම විවාහ කරගත්තේ සිරියානු රජෙක් වුණු ඇසිසුස්ව. ඒත් දෘසිලා එයාගෙන් දික්කසාද වෙලා ක්‍රි.ව. 54දී විතර ආණ්ඩුකාර ෆීලික්ස් එක්ක විවාහ වුණා. ඒ වෙද්දී එයාට වයස 16ක් විතර වෙන්න ඇති. “ධර්මිෂ්ඨකම, තමාව පාලනය කරගැනීම සහ මතු පැමිණෙන විනිශ්චය ගැන” පාවුල් ෆීලික්ස්ට කතා කරපු අවස්ථාවේදී දෘසිලාත් එතැන ඉන්න ඇති කියලා හිතන්න පුළුවන්. (ක්‍රියා 24:25) ෆීලික්ස්ගෙන් පස්සේ ආණ්ඩුකාරයා විදිහට පත් වුණේ ෆෙස්ටස්. ඒ වෙද්දිත් ෆීලික්ස් පාවුල්ව සිරභාරයෙන් නිදහස් කරලා තිබුණේ නැහැ. එයා එහෙම කළේ “යුදෙව්වරුන්ගේ ප්‍රසාදය ලබාගැනීමට කැමති වූ” නිසයි. සමහර අය හිතනවා එයා එහෙම කළේ යුදෙව්වෙක් වුණු, තරුණ වයසේ හිටිය තම බිරිඳව සතුටු කරන්න කියලා.—ක්‍රියා 24:27.
ජනවාරි 21-27
දේවවචනය නිධානයක් | ක්‍රියා 25-26
ගැඹුරින් හොයමු
nwtsty ක්‍රියා 26:14 සටහන
කෙවිටට පයින් ගැසීම: කෙවිටක් කියන්නේ සතුන්ව දක්කගෙන යන්න පාවිච්චි කරපු දිග පොල්ලක්. ඒකට යකඩ උලක් සවි කරලා තිබුණා. (විනි 3:31) “කෙවිටට පයින් ගැසීම” කියන්නේ ග්‍රීකවරුන් අතරේ තිබුණු ප්‍රසිද්ධ කියමනක්. කෙවිටෙන් දක්කද්දී ඒකට පයින් ගහන නිසා තුවාල කරගන්න මුරණ්ඩු පහේ හරකෙක්ව මනසේ තියාගෙනයි “කෙවිටට පයින් ගැසීම” කියන යෙදුම හදලා තියෙන්නේ. ක්‍රිස්තියානියෙක් වෙන්න කලින් සාවුල් හැසිරුණෙත් ඒ විදිහටමයි. දෙවියන්ගේ අනුමැතිය තිබුණු ක්‍රිස්තුස්ගේ අනුගාමිකයන්ට විරුද්ධව වැඩ කරපු නිසා එයාගේ ජීවිතේට ලොකු හානියක් වෙන්න ඉඩ තිබුණා. (ක්‍රියා 5:38, 39; 1තිමෝ 1:13, 14 බලන්න.) දේශ 12:11 “කෙවිට” කියන වචනය සමාන කරලා තියෙන්නේ හරි දේ කරන්න අනිත් අයව පොලඹවන ප්‍රඥාවන්ත කෙනෙක්ගේ වදන්වලටයි.
nwt ශබ්දකෝෂය
කෙවිට. කෙවිටක් කියන්නේ සතුන්ව දක්කගෙන යන්න පාවිච්චි කරපු දිග පොල්ලක්. ඒකට යකඩ උලක් සවි කරලා තිබුණා. “කෙවිට” කියන වචනය සමාන කරලා තියෙන්නේ හරි දේ කරන්න අනිත් අයව පොලඹවන ප්‍රඥාවන්ත කෙනෙක්ගේ වදන්වලටයි. “කෙවිටට පයින් ගැසීම” කියන යෙදුම හදලා තියෙන්නේ කෙවිටෙන් දක්කද්දී ඒකට පයින් ගහන නිසා තුවාල කරගන්න මුරණ්ඩු පහේ හරකෙක්ව මනසේ තියාගෙනයි.—ක්‍රියා 26:14; විනි 3:31.
ජනවාරි 28–පෙබරවාරි 3
දේවවචනය නිධානයක් | ක්‍රියා 27-28
ගැඹුරින් හොයමු
nwtsty ක්‍රියා 27:9 සටහන
සමඟි කිරීමේ දවස වෙනුවෙන් නිරාහාරව සිටීමේ කාල සීමාව: මේ විදිහට පරිවර්තනය කරලා තියෙන යෙදුමෙන් මූලිකවම අදහස වෙන්නේ “නිරාහාරව සිටීම” කියන එකයි. මෝසෙස් මාර්ගයෙන් දුන්න නීතියේ අවුරුද්දකට වතාවක් පවත්වපු සමඟි කිරීමේ දවසට විතරයි යුදෙව්වන්ට නිරාහාරව ඉන්න කියලා අණ කරලා තිබුණේ. ඒ නිසා ඒ ග්‍රීක යෙදුමෙන් යොමු දක්වන්නේ සමඟි කිරීමේ දවසේ යුදෙව්වන් නිරාහාරව හිටපු එකටයි කියලා හිතන්න පුළුවන්. යුදෙව්වන්ට කියලා තිබුණා සමඟි කිරීමේ දවසේ ‘පව් ගැන දුක් වෙන්න’ කියලා. (ලෙවී 16:29-31; 23:26-32; ගණන් 29:7) නිරාහාරව ඉන්න එක ඇතුළුව තමන් ආස කරන සමහර දේවලින් වැළකිලා ඉන්න එක ඒකෙන් අදහස් කළා කියලා හුඟක් අය පිළිගන්නවා. (ලෙවී 16:29, පාදසටහන) ක්‍රියා 27:9 “නිරාහාරව සිටීමේ කාල සීමාව” ගැන සඳහන් කරලා තියෙන නිසා සමඟි කිරීමේ දවසේ පව් ගැන දුක් වෙනවා කියලා පෙන්වන්න යුදෙව්වන් වැඩියෙන්ම කළේ නිරාහාරව ඉන්න එකයි කියලා පැහැදිලියි. සැප්තැම්බර් මාසයේ අගභාගයේ නැත්නම් ඔක්තෝබර් මාසයේ මුල දවසක තමයි සමඟි කිරීමේ දවස යෙදුණේ.
nwtsty ක්‍රියා 28:11 සටහන
සියුස්ගේ පුත්‍රයෝ: මේ විදිහට පරිවර්තනය කරලා තියෙන්නේ “ඩියොස්කුරෝයි” කියන ග්‍රීක වචනයයි. ග්‍රීක සහ රෝම ප්‍රබන්ධ කතාවලට අනුව “සියුස්ගේ පුත්‍රයෝ” විදිහට හඳුන්වලා තියෙන්නේ සියුස්ගේ (ජුපිටර්ගේ) නිවුන් පුතුන් දෙදෙනා වන කැස්ටර් සහ පොලොක්ස්වයි. ස්පාර්ටා නුවරෙන් ආපු ලීඩ කියන රැජිනව තමයි එයාලගේ මව විදිහට සැලකුවේ. “සියුස්ගේ පුත්‍රයෝ” මුහුදු ගමන්වලදී නාවිකයන්ට ආරක්ෂාව ලබා දෙනවා කියලා මිනිසුන් විශ්වාස කළා. ක්‍රියා 28:11 නැවේ ලාංඡනය ගැනත් සඳහන් කරලා තියෙන එකෙන් පැහැදිලි වෙනවා ඒ තොරතුරු වාර්තා කරලා තියෙන්නේ ඒ සිද්ධිය ඇසින් දුටු කෙනෙක් විසින් කියලා.