‘ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත’ සඳහා තොරතුරු
සැප්තැම්බර් 2-8
දේවවචනය නිධානයක් | හෙබ්‍රෙව් 7-8
“මෙල්කිසදෙක් හා සමානව පූජකයෙක් ලෙස සදහටම සේවය කරන්නෙහිය”
it-2-E 366
මෙල්කිසදෙක්
මෙල්කිසදෙක් කියන්නේ සාලම් නුවරේ රජු. එයා “මහෝත්තම දෙවිගේ පූජකයා” විදිහටත් කටයුතු කළා. (උත් 14:18, 22) බයිබලයේ මෙල්කිසදෙක්ව තමයි පූජකයෙක් විදිහට මුලින්ම හඳුන්වලා තියෙන්නේ. එයා යෙහෝවා දෙවියන්ගේ පූජකයෙක් විදිහට කටයුතු කරලා තියෙන්නේ ක්‍රි.පූ. 1933ට කලින් යම් කාලයකදීයි. සාලම් කියන වචනයේ තේරුම “සමාදානය.” ඒ වගේම මෙල්කිසදෙක් කියන නමේ අර්ථය “ධර්මිෂ්ඨකමේ රජු.” ඒ නිසයි පාවුල් මෙල්කිසදෙක්ව “සමාදානයේ රජු” විදිහටත් “ධර්මිෂ්ඨකමේ රජු” විදිහටත් හඳුන්වලා තියෙන්නේ. (හෙබ්‍රෙ 7:1, 2) පස්සේ කාලෙක යෙරුසලම කියන නගරය ගොඩනැඟුවේ පුරාණයේ සාලම් නුවර පිහිටි ස්ථානයේ කියලා විශ්වාස කරනවා. ඒ වගේම යෙරුසලම කියන නම හැදිලා තියෙන වචනවලට සාලම් කියන වචනයත් ඇතුළත් වෙනවා. සමහර අවස්ථාවලදී යෙරුසලම “සාලම්” විදිහටත් හඳුන්වලා තියෙනවා.—ගීතා 76:2.
කෙදොර්ලායොමෙර් රජුවත් එයාත් එක්ක හිටිය අනිත් රජවරුන්වත් පැරැද්දුවාට පස්සේ ආබ්‍රම්ට (ආබ්‍රහම්ට) ෂාවේ තැනිතලාවේදී මෙල්කිසදෙක්ව මුණගැහුණා. ෂාවේ තැනිතලාව රජුගේ තැනිතලාව විදිහටත් හැඳින්නුවා. ඒ අවස්ථාවේදී මෙල්කිසදෙක් ‘එතැනට රොටි සහ වයින්’ අරන් ඇවිත් ආබ්‍රම්ට මෙහෙම ආශීර්වාද කළා. “අහසත් පොළොවත් සෑදූ මහෝත්තම දෙවිගෙන් ඔබට ආශීර්වාද ලැබේවා! ඔබේ සතුරන්ව ඔබේ අතට හසු කර දුන් මහෝත්තම දෙවිට ප්‍රශංසා වේවා!” ඊටපස්සේ ආබ්‍රම් “තමා ළඟ තිබූ සියල්ලෙන් දසයෙන් කොටසක්” මෙල්කිසදෙක්ට දුන්නා. පැරදුණු රජවරුන්ගෙන් “කොල්ලයක්” විදිහට ලබාගත්ත “හොඳම දේවලින්” තමයි ආබ්‍රම් දසයෙන් කොටස දුන්නේ.—උත් 14:17-20; හෙබ්‍රෙ 7:4.
it-2-E 367 4¶
මෙල්කිසදෙක්
මෙල්කිසදෙක් “ඉපදුණු දවස” ගැනවත් “මිය ගිය දවස” ගැනවත් කවුරුත් දන්නේ නැහැ.
මෙල්කිසදෙක් අනිත් අයට වඩා විශේෂ කෙනෙක් වුණා. ඒ ගැන පාවුල් විස්තර කරන්නේ මෙහෙමයි. “ඔහුගේ පියා හෝ මව හෝ ඔහුගේ පෙළපත ගැන හෝ කිසි තොරතුරක් නැත. ඔහු ඉපදුණු දවස හෝ ඔහු මිය ගිය දවස ගැන හෝ කිසිවෙකු දන්නේද නැත. දෙවිගේ පුත්‍රයාට සමානව ඔහු සදහටම පූජකයෙකි.” (හෙබ්‍රෙ 7:3) අනිත් මිනිසුන් වගේම මෙල්කිසදෙකුත් ඉපදිලා කාලයක් ජීවත් වෙලා මැරිලා ගියා. ඒත් එයාගේ දෙමාපියන්ගේ නම් කොහෙවත් සඳහන් වෙලා නැහැ. එයා ආපු පෙළපත ගැනවත් එයාගේ දරු මුනුපුරන් ගැනවත් කිසි සඳහනක් නැහැ. එයා ඉපදුණු දවස, මැරුණු දවස ගැනවත් බයිබලයේ සඳහන් වෙන්නේ නැහැ. ඒ නිසා මෙල්කිසදෙක්ගෙන්, සදහටම පූජකයෙක් විදිහට කටයුතු කරන යේසුස් ක්‍රිස්තුස්ව නියෝජනය වෙනවා කියලා කියන්න පුළුවන්. මෙල්කිසදෙක්ට කලින්වත් එයාගෙන් පස්සෙවත් එයාට සමාන පූජකයෙක් හිටියා කියලා කොහෙවත් සඳහන් වෙන්නේ නැහැ වගේ යේසුස්ට සමාන පූජකයෙක් කවදාවත් හිටියේවත් ඒ වගේ පූජකයෙක් කවදාවත් බිහි වෙන්නේවත් නැහැ. ඒ විතරක් නෙවෙයි යේසුස් යූදා ගෝත්‍රයට අයිති, දාවිත්ගේ රාජකීය පෙළපතින් ආපු කෙනෙක්. ඒ නිසා ඔහුව පූජකයෙක් විදිහට පත් කරලා තියෙන්නේ ඔහුගේ පෙළපත නිසා නෙවෙයි කියලා පැහැදිලි වෙනවා. පූජක තනතුරත් රජ තනතුරත් කියන තනතුරු දෙකම යේසුස්ට ලැබිලා තියෙන්නේ යෙහෝවා දෙවියන්ගෙන් මිසක් ඔහුගේ පෙළපතින් නෙවෙයි. ඒ තනතුරු දෙකටම යේසුස්ව පත් කරනවා කියලා දෙවියන් කලින්ම දිවුරුමක් මගින් පොරොන්දු වෙලා තිබුණා.
it-2-E 366
මෙල්කිසදෙක්
පූජකයෙක් විදිහට කටයුතු කරන ක්‍රිස්තුස්ව නියෝජනය කරයි. ගීතාවලිය පොතේ ගැලවුම්කරු ගැන තියෙන අනාවැකියක යෙහෝවා දෙවියන් දාවිත්ගේ ස්වාමීන්ට දිවුරලා පොරොන්දු වුණු දෙයක් ගැන මෙහෙම සඳහන් වෙනවා. “ඔබ මෙල්කිසදෙක් හා සමානව පූජකයෙක් ලෙස සදහටම සේවය කරන්නෙහිය.” (ගීතා 110:1, 4) ඒ අනාවැකිය නිසා ගැලවුම්කරු රජෙක් වගේම පූජකයෙක් විදිහටත් කටයුතු කරයි කියන විශ්වාසය හෙබ්‍රෙව් ක්‍රිස්තියානීන්ට ඇති වුණා කියලා හිතන්න පුළුවන්. “මෙල්කිසදෙක් මෙන් සදහටම උත්තම පූජකයෙක් වී සිටින” තැනැත්තා “යේසුස්” කියලා පාවුල් පැහැදිලිවම කියපු නිසා ඒක එයාලට තවත් ස්ථිර වෙන්න ඇති.—හෙබ්‍රෙ 6:20; 5:10.
it-1-E 1113 4-5¶
උත්තම පූජකයෙක් විදිහට සේවය කරන යේසුස් ක්‍රිස්තුස්. ස්වර්ගයට නැවත නැඟිටෙවූ දවසේ ඉඳන් යේසුස් ක්‍රිස්තුස් “මෙල්කිසදෙක් මෙන් සදහටම උත්තම පූජකයෙක්” විදිහට කටයුතු කරනවා කියලා පාවුල් කිව්වා. (හෙබ්‍රෙ 6:20; 7:17, 21) ඒ වගේම මෙල්කිසදෙක්ට රජෙක් වගේම පූජකයෙක් වෙන්න අවස්ථාව ලැබුණේ සියලු බලැති දෙවියන් එයාට ඒ තනතුර ලබා දුන්න නිසා මිසක් එයාගේ පෙළපතින් හිමිකම ලැබුණු නිසා නෙවෙයි කියලා පාවුල් පැහැදිලි කළා. ඒකෙන් එයා කාවැද්දුවේ ආරොන්ගේ පෙළපතින් ආපු පූජකයන්ට වඩා ක්‍රිස්තුස් මොන තරම් ශ්‍රේෂ්ඨ පූජකයෙක්ද කියන එකයි. මොකද යේසුස් ක්‍රිස්තුස් ලෙවී ගෝත්‍රයට අයිති ආරොන්ගේ පෙළපතින් ආපු කෙනෙක් නෙවෙයි. ඔහු යූදා ගෝත්‍රයට අයිති දාවිත්ගේ පෙළපතින් ආපු කෙනෙක්. ඒ නිසා ඔහුව උත්තම පූජකයෙක් විදිහට පත් කරලා තියෙන්නේ ඔහුගේ පෙළපත නිසා නෙවෙයි. යෙහෝවා දෙවියන්මයි ඔහුව ඒ තනතුරට පත් කරලා තියෙන්නේ. (හෙබ්‍රෙ 5:10) ඒ වගේම දෙවියන් යේසුස්ට දුන්න පොරොන්දුවක් ගැන ගීතාවලිය 110:4 මෙහෙම සඳහන් වෙනවා. “‘ඔබ මෙල්කිසදෙක් හා සමානව පූජකයෙක් ලෙස සදහටම සේවය කරන්නෙහිය’ කියා යෙහෝවා දෙවි දිවුරා පොරොන්දු වුණේය. ඔහු ඒ ගැන කනගාටු නොවන්නේය.” ඒකෙන් පැහැදිලි වෙනවා ක්‍රිස්තුස්ට ස්වර්ගයේ රජකම් කරන්න විතරක් නෙවෙයි පූජකයෙක් විදිහට සේවය කරන්නත් අවස්ථාව ලබා දෙනවා කියලා දෙවියන් කලින්ම පොරොන්දු වෙලා තිබුණා කියන එක. ඒ විතරක් නෙවෙයි ක්‍රිස්තුස් දාවිත්ගේ රාජකීය පෙළපතින් ආපු කෙනෙක් නිසා ඔහුට රජකම් කිරීමේ අයිතිය හිමි වෙනවා. මොකද දෙවියන් දාවිත්ටත් පොරොන්දු වෙලා තිබුණා එයාගේ පෙළපතින් එන කෙනෙක්ට රාජ්‍යය භාර දෙනවා කියලා. (2සාමු 7:11-16) ඒ නිසා මෙල්කිසදෙක්ට වගේ ක්‍රිස්තුස්ටත් රජ තනතුර සහ පූජක තනතුර කියන තනතුරු දෙකම හිමි වෙනවා.
නීතියට අනුව පූජකයන් තමයි සෙනඟගෙන් දසයෙන් කොටසක් ලබාගත්තේ. ඒත් ලෙවීගේ මුතුන්මිත්තා වන ආබ්‍රහම් මෙල්කිසදෙක්ට දසයෙන් කොටසක් දුන්න නිසා ලෙවීගේ පෙළපත පවා මෙල්කිසදෙක්ට දසයෙන් කොටස දුන්නා කියලා කියන්න පුළුවන්. ඒ වගේම ලෙවීගේ පෙළපතට මෙල්කිසදෙක්ගෙන් ආශීර්වාද ලැබුණා කියලා කියන්නත් පුළුවන්. සාමාන්‍යයෙන් ආශීර්වාද කරන්නේ උතුම් තැනැත්තා. ආශීර්වාද ලබන්නේ සුළු තැනැත්තා. එහෙම බලද්දී මෙල්කිසදෙක් ලෙවීගේ පෙළපතට වඩා උතුම් කියලා කියන්න පුළුවන්. (හෙබ්‍රෙ 7:4-10) ලෙවීගේ පෙළපතෙන් පූජක තනතුරට පත් වෙන අයට වඩා ක්‍රිස්තුස් ශ්‍රේෂ්ඨ උත්තම පූජකයෙක් කියලා කියන්න ඒකත් එක හේතුවක්. පාවුල් මෙල්කිසදෙක් ගැන මෙහෙමත් සඳහන් කළා. “ඔහුගේ පියා හෝ මව හෝ ඔහුගේ පෙළපත ගැන හෝ කිසි තොරතුරක් නැත. ඔහු ඉපදුණු දවස හෝ ඔහු මිය ගිය දවස ගැන හෝ කිසිවෙකු දන්නේද නැත.” (හෙබ්‍රෙ 7:3) ඒකෙන් පාවුල් පෙන්නුවේ “කිසිවෙකුට විනාශ කළ නොහැකි ජීවිතයක්” භුක්ති විඳින, සදහටම උත්තම පූජකයෙක් විදිහට කටයුතු කරන යේසුස් ක්‍රිස්තුස්ව මෙල්කිසදෙක්ගෙන් නියෝජනය වෙනවා කියන එකයි.—හෙබ්‍රෙ 7:15-17.
ගැඹුරින් හොයමු
it-1-E 523 5¶
ගිවිසුම
නීතික ගිවිසුම “අවලංගු” වුණේ කවදාද?
යෙහෝවා දෙවියන් තමන් ඇති කරන්න යන අලුත් ගිවිසුමක් ගැන යෙරෙමියා මාර්ගයෙන් කියපු වෙලාවේ නීතික ගිවිසුම අවලංගු වුණා කියලා කියන්න පුළුවන්. (යෙරෙ 31:31-34; හෙබ්‍රෙ 8:13) ඒත් ක්‍රි.ව. 33දී යේසුස් වධකණුවේ මිය ගිය අවස්ථාවේදී තමයි දෙවියන් නීතික ගිවිසුම සම්පූර්ණයෙන්ම නැති කරලා දැම්මේ. (කොලො 2:14) ඒ වෙනුවට දෙවියන් අලුත් ගිවිසුමක් ඇති කළා.—හෙබ්‍රෙ 7:12; 9:15; ක්‍රියා 2:1-4.
සේවය හොඳින් කරන්න ඉගෙනගමු
it-1-E 524 3-5¶
අලුත් ගිවිසුම. තමන් අලුත් ගිවිසුමක් ඇති කරගන්න යනවා කියලා යෙහෝවා දෙවියන් ක්‍රි.පූ. 7වෙනි සියවසේදී යෙරෙමියා මාර්ගයෙන් දැනුම් දුන්නා. ඊශ්‍රායෙල්වරුන් කඩ කරපු නීතික ගිවිසුමට වඩා ඒ ගිවිසුම වෙනස් කියලා දෙවියන් එදා සඳහන් කළා. (යෙරෙ 31:31-34) ක්‍රි.ව. 33 නීසාන් 14වෙනිදා යේසුස් ක්‍රිස්තුස් ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනය කියන සැමරීම තම අනුගාමිකයන්ට හඳුන්වලා දීපු අවස්ථාවේදී ඔහුගේ ජීවිත පූජාව මාර්ගයෙන් ස්ථිර කරන්න යන අලුත් ගිවිසුමත් හඳුන්වලා දුන්නා. (ලූක් 22:20) දෙවියන් යේසුස්ව නැවත නැඟිටුවලා දවස් 50කට පස්සේ (ඒ කියන්නේ ස්වර්ගයට ගිහින් දවස් 10කට පස්සේ) යේසුස් තමන්ට දෙවියන්ගෙන් ලැබුණු බලය යෙරුසලමේ එක් රැස් වෙලා හිටිය තම ගෝලයන්ට ලබා දුන්නා.—ක්‍රියා 2:1-4, 17, 33; 2කොරි 3:6, 8, 9; හෙබ්‍රෙ 2:3, 4.
යෙහෝවා දෙවියන් අලුත් ගිවිසුම ඇති කරගෙන තියෙන්නේ ‘දෙවිගේ ඊශ්‍රායෙල්’ විදිහට හඳුන්වන ක්‍රිස්තුස් සමඟ එකට බැඳී සිටින ඔහුගේ අනුගාමිකයන් එක්කයි. ඒ අයව ක්‍රිස්තුස්ගේ සභාව විදිහටත් ශරීරය විදිහටත් හඳුන්වලා තියෙනවා. (හෙබ්‍රෙ 8:10; 12:22-24; ගලා 6:15, 16; 3:26-28; රෝම 2:28, 29) යේසුස් ක්‍රිස්තුස් වැගිරෙවූ රුධිරය (ඔහුගේ ජීවිත පූජාව) මාර්ගයෙන් තමයි අලුත් ගිවිසුම ස්ථිර කරන්නේ. ක්‍රිස්තුස් ස්වර්ගයට ගිහින් යෙහෝවා දෙවියන් ඉදිරියේ පෙනී හිටිය අවස්ථාවේදී ඔහු තම ජීවිත පූජාවේ වටිනාකම දෙවියන්ට ඔප්පු කළා. (මතෙ 26:28) කෙනෙක්ට ස්වර්ගයට යෑම සඳහා දෙවියන්ගෙන් කැඳවීමක් ලැබෙද්දී දෙවියන් ක්‍රිස්තුස්ගේ ජීවිත පූජාව මාර්ගයෙන් ඒ කෙනාව අලුත් ගිවිසුමට ඇතුළත් කරගන්නවා. (හෙබ්‍රෙ 3:1; ගීතා 50:5; හෙබ්‍රෙ 9:14, 15, 26) අලුත් ගිවිසුමේ මැදිහත්කරු යේසුස් ක්‍රිස්තුස්. (හෙබ්‍රෙ 8:6; 9:15) ඒ වගේම ආබ්‍රහම්ගෙන් පැවතෙන ප්‍රධාන තැනැත්තා වන්නෙත් ඔහුයි. (ගලා 3:16) ක්‍රිස්තුස් අලුත් ගිවිසුමේ මැදිහත්කරු විදිහට අභිෂේක ලත් අයට ඇත්තටම ආබ්‍රහම්ගෙන් පැවතෙන අය වෙන්න උදව් කරනවා. (හෙබ්‍රෙ 2:16; ගලා 3:29) ඒ දේ කරන්න පුළුවන් වෙලා තියෙන්නේ ක්‍රිස්තුස්ගේ පූජාව පදනම් කරගෙන එයාලගේ පව්වලට සමාව ලැබෙන නිසයි. යෙහෝවා දෙවියන් එයාලව ධර්මිෂ්ඨයන් විදිහට ප්‍රකාශ කරනවා.—රෝම 5:1, 2; 8:33; හෙබ්‍රෙ 10:16, 17.
ක්‍රිස්තුස්ගේ අභිෂේක ලත් සහෝදරයන්ව “රාජකීය පූජක පන්තියක්” විදිහට හඳුන්වලා තියෙනවා. (1පේතෘ 2:9) ඒ කියන්නේ එයාලා ශ්‍රේෂ්ඨ උත්තම පූජක වන ක්‍රිස්තුස් යටතේ පූජකයන් විදිහට සේවය කරන්න යනවා කියන එකයි. (එළි 5:9, 10; 20:6) පූජකයන් විදිහට එයාලා ‘මහජනයා වෙනුවෙන් සේවයක්’ කරනවා. (ෆිලි 2:17) ඒ වගේම “අලුත් ගිවිසුමක දේවසේවකයන්” විදිහටත් එයාලව හඳුන්වලා තියෙනවා. (2කොරි 3:6) ඒ අය ක්‍රිස්තුස්ගේ පිය සටහන් කිට්ටුවෙන් අනුගමනය කරමින් මරණය දක්වාම දෙවියන්ට විශ්වාසවන්තව ඉන්න ඕනේ. (1පේතෘ 2:21; රෝම 6:3, 4) ඊටපස්සේ දෙවියන් සතු ස්වර්ගයේ ජීවිතයක් හිමි කරගැනීමටත් දේවරාජ්‍යයේ ක්‍රිස්තුස් එක්ක රජවරුන් සහ පූජකයන් විදිහට සේවය කිරීමටත් යෙහෝවා දෙවියන් එයාලට අවස්ථාව ලබා දෙනවා. (2පේතෘ 1:4) ඒ විතරක් නෙවෙයි දෙවියන් ඒ අවස්ථාවේදී එයාලට දිරා නොයන ශරීරයක් වගේම අමරණීය ජීවිතයක් ලබා දෙනවා. (1කොරි 15:53; 1පේතෘ 1:4) අලුත් ගිවිසුම ඇති කරලා තියෙන්නේ ආබ්‍රහම්ගෙන් “පැවතෙන අය” අතරින් යෙහෝවා දෙවියන්ගේ නාමය දැරීමට සෙනඟක්ව තෝරගන්නයි. (ක්‍රියා 15:14) ක්‍රිස්තුස් ඒ අයව තම “මනාලිය” විදිහට තෝරගෙන එයාලා එක්ක රාජ්‍යයක් සඳහා ගිවිසුමක් ඇති කරගෙන තියෙනවා. (යොහ 3:29; 2කොරි 11:2; එළි 21:9; ලූක් 22:29) යේසුස් ඒ අය එක්ක රාජ්‍යයක් සඳහා ගිවිසුමක් ඇති කරගෙන තියෙන නිසා ඔහුත් එක්ක රජකම් කරන්න එයාලට අවස්ථාව ලැබෙනවා. (එළි 1:4-6; 5:9, 10; 20:6) අලුත් ගිවිසුම ක්‍රියාත්මක වෙන්නේ ඒ අයගේ මුළු ගණනම ස්වර්ගයේ අමරණීය ජීවිතයකට නැවත නැඟිටුවන කල් විතරයි. ඒත් ඒ ගිවිසුමෙන් ලැබෙන ප්‍රයෝජන සදාකාලයටම පවතිනවා. ඒ නිසයි ඒක “සදාකල් පවතින ගිවිසුමක්” විදිහට හඳුන්වන්නේ.—හෙබ්‍රෙ 13:20.
සැප්තැම්බර් 9-15
දේවවචනය නිධානයක් | හෙබ්‍රෙව් 9-10
“සැබෑ දෙයෙහි ඡායාවක්”
it-1-E 862 1¶
සමාව දීම
කෙනෙක්ගේ අතින් දෙවියන්ට විරුද්ධව හරි වෙන කෙනෙක්ට විරුද්ධව හරි වරදක් වුණොත් වරදට සමාව ලබාගන්න ඕන විදිහ ගැන ඊශ්‍රායෙල්වරුන්ට දුන්න නීතියේ සඳහන් වුණා. සමාව ලබාගන්න නම් මුලින්ම ඒ කෙනාට නීතියේ සඳහන් වුණු ක්‍රියාමාර්ග අනුගමනය කරන්න සිද්ධ වුණා. හුඟක් අවස්ථාවලදී පූජා කළ සතෙකුගේ ලේ යෙහෝවා දෙවියන්ට ඔප්පු කරන්නත් සිද්ධ වුණා. (ලෙවී 5:5–6:7) ඒ නිසා තමයි පාවුල් මේ විදිහට සඳහන් කළේ. “නීතියට අනුව සෑම දෙයක්ම පාහේ පවිත්‍ර කරනු ලබන්නේ ලේ මාර්ගයෙනි. ඒ අනුව ලේ වැගිරීමක් සිදු වන්නේ නැත්නම් පව්වලට සමාවක් ලැබෙන්නේද නැත.” (හෙබ්‍රෙ 9:22) හැබැයි සතුන්ගේ ලේවලින් කෙනෙක්ගේ පාපය ඉවත් කරන්න හැකියාවක් නැහැ. ඒ වගේම ඒ මාර්ගයෙන් කෙනෙක්ට දෙවියන් ඉදිරියේ සම්පූර්ණයෙන්ම නිදොස් හෘදය සාක්ෂියක් ලැබෙන්නෙත් නැහැ. (හෙබ්‍රෙ 10:1-4; 9:9, 13, 14) ඒත් අලුත් ගිවිසුමට අනුව යේසුස් ක්‍රිස්තුස්ගේ ජීවිත පූජාව පදනම් කරගෙන සම්පූර්ණයෙන්ම සමාව ලබාගන්න කෙනෙක්ට පුළුවන් වෙනවා. (යෙරෙ 31:33, 34; මතෙ 26:28; 1කොරි 11:25; එෆී 1:7) යේසුස්ට සමාව දෙන්න හැකියාව තියෙනවා කියලා ඔහු පොළොවේ ඉන්න කාලේ අංශභාග රෝගියෙක්ව සුව කරපු සිද්ධියෙනුත් පැහැදිලි වුණා.—මතෙ 9:2-7.
it-2-E 602-603
පරිපූර්ණත්වය
මෝසෙස් මාර්ගයෙන් දුන්න පරිපූර්ණ නීතිය. ඊශ්‍රායෙල්වරුන්ට පූජකයන්ව පත් කරන්න කියලත් විවිධ සත්ව පූජා ඔප්පු කරන්න කියලත් දෙවියන් මෝසෙස් මාර්ගයෙන් දුන්න නීතියේ සඳහන් කරලා තිබුණා. ඒ නීතිය දෙවියන් දීපු එකක් නිසා ඒක පරිපූර්ණ එකක් කියලා කියන්න පුළුවන්. ඒත් නීතිය මාර්ගයෙන් කිසිම කෙනෙක්ව පරිපූර්ණ තත්වයකට ගේන්න පුළුවන් වුණේ නැහැ. ඒ කියන්නේ පූජකයන් මාර්ගයෙන්වත් සත්ව පූජා ඔප්පු කරන එකෙන්වත් කෙනෙක්ට පරිපූර්ණ තත්වයකට එන්න පුළුවන් වුණේ නැහැ. (හෙබ්‍රෙ 7:11, 19; 10:1) නීතිය ඊශ්‍රායෙල්වරුන්ට එයාලගේ පව්කාර ස්වභාවය අවබෝධ කර දුන්නා මිසක් එයාලට පාපයෙන් සහ මරණයෙන් නිදහසක් නම් ලබා දුන්නේ නැහැ. (රෝම 3:20; 7:7-13) ඒ කොහොමවුණත් දෙවියන් නීතිය සහ ඒකට ඇතුළත් සෑම දෙයක්ම ඇති කළේ ක්‍රිස්තුස් ළඟට ගෙන යන “උපදේශකයෙක්” විදිහට ක්‍රියා කරන්නයි. දෙවියන් අරමුණු කරපු ඒ දේ ඉටු වුණා. (ගලා 3:19-25) ‘නීතිය සැබෑ දෙයෙහි ඡායාවක් පමණි. එය අපට දෙනු ලැබුවේ ඉදිරියේදී පැමිණෙන වඩාත් හොඳ දේවල් පිළිබඳ යම් අදහසක් අපට ලබා දීම සඳහාය’ කියලා පාවුල් කිව්වා. (හෙබ්‍රෙ 10:1) “මිනිසුන්ගේ පව්කාර ස්වභාවය නිසා ඔවුන්ට නිදහස ලබා දෙන්න නීතියට හැකියාවක් තිබුණේ නැහැ” කියලත් එයා කිව්වා. (රෝම 8:3) පාවුල් ඒකෙන් කාවැද්දුවේ හෙබ්‍රෙව් 7:11, 18-28ත් පැහැදිලි කරලා තියෙන දේමයි. ඒ කියන්නේ (සමඟි කිරීමේ දවසේදී පූජා ඔප්පු කරන සැලැස්ම භාරව හිටිය, අතිශුද්ධස්ථානයට සතුන්ගේ ලේ අරන් ගිය) උත්තම පූජකයාට තමන් වෙතට ආපු අයව “සම්පූර්ණයෙන්ම ගලවාගැනීමට” හැකියාවක් තිබුණේ නැහැ කියන එකයි. ආරොන්ගේ පෙළපතට අයිති පූජකයන් ඔප්පු කරපු පූජා නිසා ඊශ්‍රායෙල්වරුන්ට පුළුවන් වුණා යම් දුරකට දෙවියන් ඉදිරියේ පවිත්‍ර තත්වයක ඉන්න. ඒත් ඒ පූජාවලට එයාලව පාපයෙන් නිදහස් කරන්නවත් එයාලට සම්පූර්ණයෙන්ම නිදොස් හෘදය සාක්ෂියක් ඇති කරගන්න උදව් කරන්නවත් බැරි වුණා. පාවුලුත් කිව්වා “දෙවි වෙතට ළං වන අයව පාපයෙන් තොර පරිපූර්ණ අය බවට පත් කිරීමට” සමඟි කිරීමේ දවසේදී ඔප්පු කරපු පූජාවලට හැකියාවක් නැහැ කියලා. ඒ කියන්නේ “දෙවි ඉදිරියේ සම්පූර්ණයෙන්ම නිදොස් වූ හෘදය සාක්ෂියක් ලබා දීමට” ඒවාට පුළුවන්කමක් නැහැ කියන එකයි. (හෙබ්‍රෙ 10:1-4; හෙබ්‍රෙ 9:9 බලන්න.) පාපයෙන් සම්පූර්ණ නිදහසක් ලබා දෙන්න පුළුවන් පූජාවක් ඔප්පු කරන්න උත්තම පූජකයාට හැකියාවක් තිබුණේ නැහැ. අපි වෙනුවෙන් ජීවිතය පූජා කරපු, හැමදාටම පූජකයෙක් විදිහට සේවය කරන යේසුස් ක්‍රිස්තුස්ට විතරයි පාපයෙන් සම්පූර්ණ නිදහසක් ලබා දෙන්න පුළුවන් වෙන්නේ.—හෙබ්‍රෙ 9:14; 10:12-22.
ගැඹුරින් හොයමු
w92-E 3/1 31 4-6¶
පාඨකයන්ගෙන් ප්‍රශ්න
දෙවියන් මිනිසුන් එක්ක ඇති කරගන්න ගිවිසුමක්, ස්ථිර කරන්න ගිවිසුමට සම්බන්ධ පුද්ගලයෙක් මිය යන්න ඕනෙ කියලා පාවුල් සඳහන් කළා. දෙවියන් ඊශ්‍රායෙල්වරුන් එක්ක ඇති කරගත්ත නීතික ගිවිසුම ඒකට හොඳ උදාහරණයක්. ඒ ගිවිසුමේ මැදිහත්කරු විදිහට කටයුතු කළේ මෝසෙස්. ගිවිසුම ඇති කරපු වෙලාවේ මෝසෙස් මැදිහත්කරු විදිහට ප්‍රධාන කාර්යයක් ඉටු කළා කියලා කියන්න පුළුවන්. ඒ අවස්ථාවේදී මෝසෙස් හිටියේ ඊශ්‍රායෙල්වරුන් එක්කමයි. එයා ඊශ්‍රායෙල්වරුන් ඉදිරියේ දෙවියන්ගේ නියෝජිතයා විදිහට පෙනී හිටියා වගේම දෙවියන් ඉදිරියේ ඊශ්‍රායෙල්වරුන් වෙනුවෙනුත් පෙනී හිටියා. ඒ නිසා නීතික ගිවිසුම ඇති කළේ යෙහෝවා දෙවියන් වුණත් මෝසෙස් ඒකට සම්බන්ධ වෙලා හිටියා කියලා කියන්න පුළුවන්. හැබැයි ඒකෙන් අදහස් කළාද ගිවිසුම ස්ථිර කරන්න මෝසෙස්ට මැරෙන්න සිද්ධ වුණා කියලා? නැහැ. මොකද ඒ අවස්ථාවේදී සත්ව පූජා ඔප්පු කරලා මෝසෙස්ගේ ලේ වෙනුවට සතුන්ගේ ලේවලින් ගිවිසුම වලංගු කළා.—හෙබ්‍රෙව් 9:18-22.
යෙහෝවා දෙවියන් සහ “දෙවිගේ ඊශ්‍රායෙල්” විදිහට හඳුන්වන අභිෂේක ලත් අය අතර තියෙන අලුත් ගිවිසුම ගැන කියන්න පුළුවන් මොනවාද? ඒ ගිවිසුමේ මැදිහත්කරු විදිහට කටයුතු කිරීමේ වටිනා අවස්ථාව ලැබිලා තියෙන්නේ යේසුස් ක්‍රිස්තුස්ටයි. ඒ ගිවිසුම ඇති කළේ යෙහෝවා දෙවියන් තමයි. ඒත් ඒ ගිවිසුම ක්‍රියාත්මක වෙන්න යේසුස් ක්‍රිස්තුස්ගේ මැදිහත් වීම අවශ්‍යම වුණා. ඒ වගේම මේ පොළොවේ ඉද්දී යේසුස්ට අවස්ථාව ලැබුණා ඒ ගිවිසුමට ඇතුළත් වුණු මුල්ම සාමාජිකයන්ව ඒ කියන්නේ ඔහුගේ නියෝජිතයන්ව ආශ්‍රය කරන්න. (ලූක් 22:20, 28, 29) ඒ විතරක් නෙවෙයි ගිවිසුම ස්ථිර කරන්න අවශ්‍ය වුණු පූජාව සපයන්නත් ඔහුට පුළුවන් වුණා. මොකද ඔහු පූජාවක් විදිහට ඔප්පු කළේ සතුන්ව නෙවෙයි තමන්ගේම පරිපූර්ණ ජීවිතයයි. ඒ නිසයි අලුත් ගිවිසුමට සම්බන්ධව සිටින පුද්ගලයා විදිහට ක්‍රිස්තුස්ව හඳුන්වන්න පාවුල්ට පුළුවන් වුණේ. ‘ක්‍රිස්තුස් ස්වර්ගයට ඇතුල් වී අප වෙනුවෙන් දෙවි ඉදිරියේ පෙනී’ සිටියාට පස්සේ අලුත් ගිවිසුම වලංගු වුණා.—හෙබ්‍රෙව් 9:12-14, 24.
මෝසෙස්වයි, යේසුස්වයි ගිවිසුම්වලට සම්බන්ධ වී සිටින අය විදිහට හඳුන්වපු එකෙන් පාවුල් අදහස් කළේ ඒ ගිවිසුම් ඒ දෙන්නා විසින් ඇති කළා කියන එක නෙවෙයි. ඒ වෙනුවට පාවුල් කාවැද්දුවේ ඒ දෙන්නා මැදිහත්කරුවන් විදිහට යෙහෝවා දෙවියන් ඇති කරපු ඒ ගිවිසුම් ක්‍රියාත්මක වෙන්න ප්‍රධාන කාර්යයක් ඉටු කළා කියන එකයි. ඒ අවස්ථා දෙකේදීම කවුරු හරි කෙනෙක් මිය යන්න අවශ්‍ය වුණා. ඒ නිසා ඊශ්‍රායෙල් සෙනඟ සමඟ ඇති කරගත්ත ගිවිසුමේදී මෝසෙස්ගේ ජීවිතය වෙනුවට සතුන්ව පූජා කළා. අලුත් ගිවිසුමේ අය වෙනුවෙන් යේසුස් තමන්ගේම ජීවිතය පූජා කළා.
it-1-E 249-250
බව්තීස්මය
බව්තීස්ම වුණු අවස්ථාවේදී යේසුස් යාච්ඤා කරමින් හිටියා කියලා ලූක් සඳහන් කරනවා. (ලූක් 3:21) ඒ වගේම ක්‍රිස්තුස් “මෙලොවට පැමිණි විට” (ඒ කියන්නේ ඔහු බව්තීස්ම වෙලා දෙවියන්ට සේවය කරන්න ඉදිරිපත් වුණු අවස්ථාවේදී) ඔහු ගීතාවලිය 40:6-8ට (LXX) එකඟව මෙහෙම කිව්වා කියලා පාවුල් සඳහන් කළා. “ඔබ පූජාවලටත් යාගවලටත් කැමති වූයේ නැත. ඒ වෙනුවට ඔබ මා වෙනුවෙන් ශරීරයක් සූදානම් කළේය. . . . ‘මෙන්න, මාගේ දෙවියනි, ඔබේ කැමැත්ත කිරීමට මම ඇවිත් සිටිමි. (අකුළන ලද ලියවිල්ලේ මා ගැන ලියා ඇත.)’” (හෙබ්‍රෙ 10:5-9) යේසුස් උපතෙන් යුදෙව් ජාතිකයෙක්. ඒ වෙද්දීත් යුදෙව්වරුන් එක්ක යෙහෝවා දෙවියන් නීතික ගිවිසුම ඇති කරලයි තිබුණේ. (නික් 19:5-8; ගලා 4:4) ඒ නිසා යේසුස් බව්තීස්ම වෙන්නත් කලින් යෙහෝවා දෙවියන් එක්ක ගිවිසුමකින් බැඳිලා හිටියා කියලා කියන්න පුළුවන්. ඔහු තමන්ව බව්තීස්ම කරන්න කියලා යොහන්ට කිව්වේ නීතියේ සඳහන් දෙයක් ඉටු කරන්න ඕන වුණු නිසා නෙවෙයි. ඒ වෙනුවට ඒ අවස්ථාවේදී ඔහු කළේ තම පියාණන්ගේ “කැමැත්ත” ඉටු කිරීමට කැමැත්තෙන්ම ඉදිරිපත් වුණු එකයි. යේසුස් තමන් වෙනුවෙන් දෙවියන් “සූදානම්” කරලා තිබුණු ශරීරය පූජාවක් විදිහට ඔප්පු කරලා සත්ව පූජා ඔප්පු කරන්න නීතියේ තිබුණු සැලැස්ම නැති කරලා දානවා දකින එක තමයි දෙවියන්ගේ කැමැත්ත වුණේ. පාවුල් ඒ ගැන මෙහෙම සඳහන් කළා. “ඒ අනුව දෙවිගේ ‘කැමැත්ත’ වන්නේ යේසුස් ක්‍රිස්තුස්ගේ ජීවිතය පූජා කිරීමය. එය ඔප්පු කරන්නේ එක් වරක් පමණි. එහි ප්‍රතිඵලයක් ලෙස අපව පවිත්‍ර කර දෙවි සඳහා වෙන් කරනු ලැබේ.” (හෙබ්‍රෙ 10:10) දෙවියන්ගේ රාජ්‍යය ගැන හැමෝටම කියන එකත් දෙවියන්ගේ කැමැත්තට ඇතුළත් වුණා. බව්තීස්ම වුණු අවස්ථාවේදී ඒ දේ කරන්නත් යේසුස් කැමැත්තෙන්ම ඉදිරිපත් වුණා. (ලූක් 4:43; 17:20, 21) යේසුස් දෙවියන්ගේ කැමැත්ත කිරීමට ඉදිරිපත් වුණු එක යෙහෝවා දෙවියන් හුඟක් අගය කළා. ඒ අවස්ථාවේදී ඔහු යේසුස්ව තම බලයෙන් අභිෂේක කරමින් ඔහුගේ කැමැත්ත ඉටු කිරීමේ කාර්යය ඔහුට භාර දීලා මෙහෙම කිව්වා. “මාගේ ප්‍රේමණීය පුත්‍රයා ඔබයි. මම ඔබව අනුමත කළෙමි.”—මාක් 1:9-11; ලූක් 3:21-23; මතෙ 3:13-17.
සැප්තැම්බර් 16-22
දේවවචනය නිධානයක් | හෙබ්‍රෙව් 11
ගැඹුරින් හොයමු
it-1-E 804 5¶
විශ්වාසය
අතීතයේදී විශ්වාසය සම්බන්ධයෙන් කදිම ආදර්ශයක් තැබූ අය. පාවුල් සඳහන් කරපු “විශාල වලාකුළක් හා සමාන” සාක්ෂිකරුවන් සමූහයට අයිති හැම කෙනෙක්ටම දෙවියන්ව විශ්වාස කරන්න ස්ථිර පදනමක් තිබුණා. (හෙබ්‍රෙ 12:1) ආබෙල් ගැන හිතන්න. ස්ත්‍රියගෙන් “පැවත එන තැනැත්තා” ‘සර්පයාගේ’ හිස පොඩි කරනවා කියලා දෙවියන් දුන් පොරොන්දුව ආබෙල් අනිවාර්යයෙන්ම දැනන් හිටියා කියලා හිතන්න පුළුවන්. ඒදන් උයනේදී යෙහෝවා දෙවියන් එයාගේ දෙමාපියන්ට නියම කරපු දඬුවම ඉටු වෙන විදිහ එයා ඇස් දෙකෙන්ම දැක්කා. මොකද දෙවියන් භූමියට ශාප කළ නිසා කටු පඳුරු සහ වල් පැළෑටි අතරින් දහඩිය මහන්සියෙන් කෑම හොයන්න ආදම්ටයි, එයාගේ පවුලේ අයටයි සිද්ධ වුණා. ඒ වගේම ඒවට ආදම් ගැන අධික ඇල්මක් ඇති වුණු විදිහත් ආදම් ඒවව පාලනය කරපු විදිහත් ආබෙල් දකින්න ඇති. දරුවන් බිහි කරද්දී තමන් විඳපු වේදනාව ගැන ආබෙල්ගේ අම්මා කතා කරලා තිබුණා කියලත් හිතන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි දෙවියන් කෙරුබ්වරුන් සහ දැවෙමින් තිබුණු කඩුවක් මාර්ගයෙන් ඒදන් උයන මුර කරපු විදිහත් ආබෙල් දකින්න ඇති. (උත් 3:14-19, 24) ස්ත්‍රියගෙන් ‘පැවතෙන තැනැත්තා’ මාර්ගයෙන් දෙවියන් ගැලවීම ලබා දෙනවා කියන දේට ඒ හැම දෙයකින්ම ආබෙල්ට “ස්ථිර සාක්ෂි” ලැබුණා. ඒ සාක්ෂිවලින් මොන තරම් විශ්වාසයක් ඇති වුණාද කිව්වොත් “වටිනා පූජාවක් දෙවිට” ඔප්පු කරන්න එයා පෙලඹුණා. ඒ පූජාව කායින්ගේ පූජාවට වඩා හුඟක් වටිනවා කියලා බයිබලයේ සඳහන් වෙලා තියෙනවා.—හෙබ්‍රෙ 11:1, 4.
සැප්තැම්බර් 23-29
දේවවචනය නිධානයක් | හෙබ්‍රෙව් 12-13
“දෙවියන් අපිව හික්මවන්නේ ආදරේ නිසයි”
it-1-E 629
සමහර අවස්ථාවලදී තම සේවකයන්ට පීඩාවලට මුහුණ දෙන්න යෙහෝවා දෙවියන් ඉඩහරිනවා. එක අතකින් ඒක ඒ අයට ලැබෙන හික්මවීමක් නැත්නම් පුහුණුවක් කියලා කියන්න පුළුවන්. ඒ හික්මවීමෙන් ලැබෙන පුහුණුව නිසා ධර්මිෂ්ඨ ජීවිතයක් ගත කරන්න ඒ අය ඉගෙනගන්නවා. ඒ පීඩාවලට මුහුණ දීලා ඉවර වුණාම සමාදානය අද්දකින්නත් පුළුවන් වෙනවා. (හෙබ්‍රෙ 12:4-11) අපේ දුර්වලකම් ගැන අනුකම්පාවක් දැනෙන උත්තම පූජකයෙක් වෙන්න යේසුස්ට අවශ්‍ය පුහුණුව ලැබුණේ දුක් පීඩාවලට මුහුණ දෙන්න දෙවියන් ඔහුට ඉඩහැරිය නිසයි.—හෙබ්‍රෙ 4:15.
ගැඹුරින් හොයමු
w89-E 12/15 22 10¶
යෙහෝවා දෙවියන් සතුටු වෙන විදිහේ පූජා ඔප්පු කරන්න
අන්තවාදී මත දැරූ යුදෙව්වරු “විවිධාකාර, නුහුරු ඉගැන්වීම්” පතුරුවමින් හිටපු නිසා ඒ ඉගැන්වීම්වලින් “ගසාගෙන නොයෑමට වගබලා ගන්න” කියලා පාවුල් හෙබ්‍රෙව් ක්‍රිස්තියානීන්ට අනතුරු ඇඟෙව්වා. (ගලාති 5:1-6) පාවුල් ඒ අයට මෙහෙමත් කිව්වා. “සිත ශක්තිමත් විය යුත්තේ දෙවිගේ මහත් කරුණාවෙන් මිස ආහාරවලින් නොවේ. ආහාරවලට අනවශ්‍ය අවධානයක් ලබා දෙන අය එයින් ප්‍රයෝජනයක් ලබා නැත.” පේන විදිහට සභාවේ හිටපු සමහර අය කෑම බීම සහ පුද පූජා ඔප්පු කරන එක ගැන වාද විවාද කරමින් එයාලගේ මත පතුරුවමින් ඉඳලා තියෙනවා. සත්‍ය නමස්කාරය තුළ රැඳී සිටින්න අපේ “සිත ශක්තිමත්” වෙන්නේ “දෙවිගේ මහත් කරුණාවෙන් මිසක්” ඒ වගේ මතවලට අවධානය දීමෙන් නෙවෙයි. ඒ වගේම විශේෂ දවස් සැමරීමෙන්වත් කෑම බීම ගැන අනවශ්‍ය අවධානයක් දීමෙන්වත් කෙනෙක්ට දෙවියන් එක්ක කිට්ටු බැඳීමක් ඇති කරගන්න බැහැ. ආදරයෙන් පෙලඹිලා දෙවියන්ට සේවය කිරීමෙන් සහ යේසුස්ගේ ජීවිත පූජාව ගැන ලොකු අගයක් ඇති කරගැනීමෙන් තමයි අපිට ඒ දේ කරන්න පුළුවන් වෙන්නේ. (රෝම 14:5-9) යේසුස් ක්‍රිස්තුස් අපි වෙනුවෙන් තම ජීවිතය පූජා කරලා තියෙන නිසා මෝසෙස්ගේ නීතියට අනුව පුද පූජා ඔප්පු කරන එකෙන් කිසිම ප්‍රයෝජනයක් ලැබෙන්නේ නැහැ.—හෙබ්‍රෙව් 9:9-14; 10:5-10.
සැප්තැම්බර් 30–ඔක්තෝබර් 6
දේවවචනය නිධානයක් | යාකොබ් 1-2
ගැඹුරින් හොයමු
it-2-E 253-254
ආලෝකය
යෙහෝවා දෙවියන් තමයි “ආලෝක වස්තුවල නිර්මාතෘ.” (යාකො 1:17) “දහවල් කාලයේදී ආලෝකය දෙන පිණිස හිරු පිහිටෙවූ රාත්‍රිය ආලෝකවත් කරන පිණිස සඳට හා තාරකාවලට නීති දුන්නාවූ” තැනැත්තාත් ඔහුයි. (යෙරෙ 31:35) ඒ විතරක් නෙවෙයි සත්‍යාලෝකය ඒ කියන්නේ දෙවියන්ව දැන හඳුනා ගන්න උදව් වෙන නිවැරදි දැනුම ලබා දෙන්නෙත් ඔහුයි. (2කොරි 4:6) ඔහුගේ මඟ පෙන්වීම් අදාළ කරගන්න කැමති අයට ඔහුගේ නීති, ඔහු දෙන තීන්දු සහ ඔහුගේ වදන් ආලෝකයක් වෙනවා. (ගීතා 43:3; 119:105; හිතෝ 6:23; යෙසා 51:4) ගීතිකාකරු එක අවස්ථාවකදී කිව්වා “ඔබෙන් ලැබෙන ආලෝකය නිසා ආලෝකය යනු කුමක්ද කියා අපි හඳුනාගන්නෙමු” කියලා. (ගීතා 36:9; ගීතා 27:1; 43:3 බලන්න.) අලුයම සිට මධ්‍යාහ්න දක්වා හිරු ආලෝකය ක්‍රමක්‍රමයෙන් වැඩි වෙනවා වගේ දෙවියන්ගෙන් ලැබෙන ප්‍රඥාව නිසා ධර්මිෂ්ඨයන්ගේ මාවත් ක්‍රමක්‍රමයෙන් ආලෝකවත් වෙනවා. (හිතෝ 4:18) දෙවියන්ගේ ආලෝකයේ ගමන් කරනවා කියන්නේ ඔහුගේ මඟ පෙන්වීම්වලට කීකරු වෙනවා කියන එකයි. (යෙසා 2:3-5) අනිත් අතට කෙනෙක්ගේ හිතේ වැරදි චේතනා තියෙනවා නම් එහෙමත් නැත්නම් දුෂ්ට අදහස් තියෙනවා නම් එයා ඉන්නේ අන්ධකාරයේ කියලා කියන්න පුළුවන්. ඒ කියන්නේ එයා ඉන්නේ දෙවියන්ගෙන් හුඟක් ඈත් වෙලා. යේසුස් ඒ ගැන මෙහෙම කිව්වා. “ඔබේ ඇස වෙනතකට ගොස් දුෂ්ට දේවලට යොමු වෙයි නම් ඔබේ මුළු ජීවිතයම අඳුරු වෙයි. ඔබව ආලෝකවත් කළ යුතු ඇස ඔබේ ජීවිතය අඳුරු කරයි නම් එය කොතරම් භයානක දෙයක්ද!”—මතෙ 6:23; ද්වි 15:9; 28:54-57; හිතෝ 28:22; 2පේතෘ 2:14 බලන්න.
it-2-E 222 4¶
නීතිය
“රාජකීය නීතිය.” මිනිස් පාලකයෙක් මිනිසුන්ට පනවන නීතිවලට වඩා බයිබලයේ සඳහන් ‘රාජකීය නීතියට’ වැදගත් තැනක් හිමි වෙනවා. (යාකො 2:8) රාජකීය නීතිය ඇතුළත් මෝසෙස්ගේ නීතික ගිවිසුම පදනම් වුණේ ප්‍රේමය මතයි. ඒකේ සඳහන් දෙවෙනි ආඥාව වුණේ ‘ඔබට මෙන් ඔබේ අසල්වැසියාට ප්‍රේම කරන්න (රාජකීය නීතිය)’ කියන එකයි. ඒ ආඥාව “මුළු නීතියත් සියලු අනාවැකිත් රඳා පවතින” ආඥා දෙක අතරින් එකක්. (මතෙ 22:37-40) ක්‍රිස්තියානීන් විදිහට අපි මෝසෙස් මාර්ගයෙන් දීපු නීතියට බැඳිලා නැහැ. ඒ වෙනුවට අපි බැඳිලා ඉන්නේ රජවරුන් වන යෙහෝවා දෙවියන් සහ යේසුස් ක්‍රිස්තුස් අලුත් ගිවිසුමට සම්බන්ධව පනවලා තියෙන නීතියටයි.