ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • jy 99 පරි. 230 පි.-231 පි. 3 ¶
  • යේසුස් අන්ධ මිනිසුන්ටත් සකෙවුස්ටත් දයාව පෙන්වයි

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • යේසුස් අන්ධ මිනිසුන්ටත් සකෙවුස්ටත් දයාව පෙන්වයි
  • මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
  • සමාන තොරතුරු
  • යේසුස් යෙරිකෝවේදී උගන්වයි
    මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා
  • අපේ යාළුවෝ දෙවිට ආදරේ කරන අය වෙන්න ඕනේ
    උතුම් ගුරුවරයාගෙන් ඉගෙනගනිමු
  • ප්‍රතිසංස්කරණවලට වඩා හොඳ දෙයක්
    2004 පිබිදෙව්!
  • නිර්භීත වෙන්න
    ගෝලයන් වෙන්න ආදරෙන් උදව් කරමු
තව තොරතුරු
මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
jy 99 පරි. 230 පි.-231 පි. 3 ¶
සකෙවුස් ගසක් උඩ සිටියි

99වෙනි පරිච්ඡේදය

යේසුස් අන්ධ මිනිසුන්ටත් සකෙවුස්ටත් දයාව පෙන්වයි

මතෙව් 20:29-34 මාක් 10:46-52 ලූක් 18:35–19:10

  • යෙරිකෝවේදී අන්ධ මිනිසුන් දෙන්නෙක්ව සුව කරයි

  • බදු අය කරන්නෙක් වන සකෙවුස් පසුතැවිලි වෙයි

යේසුස් දැන් ඉන්නේ යෙරිකෝවේ. එතැන ඉඳන් යෙරුසලමට දවසකින් විතර යන්න පුළුවන්. යෙරිකෝව කියන නමින් නගර දෙකක් තියෙනවා. පරණ යෙරිකෝවේ ඉඳන් අලුතින් ගොඩනඟපු යෙරිකෝවට තියෙන්නේ කිලෝමීටර් එකහමාරක විතර දුරක්. යේසුස් සහ ඔහු එක්ක එන සෙනඟ දැන් ඒ එක නගරයක ඉඳන් අනිත් නගරයට යනවා.

පාරේ ඉන්න අන්ධ හිඟන්නන් දෙන්නෙක්ට තේරෙනවා ලොකු සෙනඟක් ඔවුන්ව පහු කරගෙන යනවා කියලා. ඒ අතරින් එක් කෙනෙක්ගේ නම බාතිමේයස්. ඒ සෙනඟ අතරේ යේසුස් ඉන්නවා කියලා ඔවුන් දැනගත්තාම ඒ දෙන්නාම “ස්වාමීනි, දාවිත්ගේ පුත්‍රය, අපට අනුකම්පා කරන්න” කියලා කෑගහනවා. (මතෙව් 20:30) සෙනඟ අතරේ ඉන්න සමහර අය නිහඬ වෙන්න කියලා ඔවුන්ට සැරෙන් කිව්වත් ඔවුන් කලින්ටත් වඩා හයියෙන් කෑගහනවා. ඒ සද්දේ ඇහුණාම යේසුස් නතර වෙලා ඔවුන්ට අඬගහන්න කියලා තමන් එක්ක ඉන්න අයට කියනවා. ඒ හිඟන්නන් දෙන්නා ළඟට යන ඔවුන් එක් කෙනෙක්ට කියන්නේ මෙහෙමයි. “කිසිම දෙයකට භය වෙන්න එපා. නැඟිටලා යන්න. ඔහු ඔබට අඬගසනවා.” (මාක් 10:49) ඒ ගැන සතුටු වෙන ඒ මිනිසා පිට වස්ත්‍රයත් ගලවලා ඉක්මනින්ම යේසුස් ළඟට යනවා.

යේසුස් අන්ධ මිනිසෙකුව සුව කරයි

එතකොට යේසුස් ඔවුන්ගෙන් අහන්නේ “මා ඔබ වෙනුවෙන් කුමක් කරනවාට කැමතිද” කියලයි. ඒ දෙන්නාම “ස්වාමීනි, අපේ ඇස් පාදන්න” කියලා යේසුස්ගෙන් ඉල්ලනවා. (මතෙව් 20:32, 33) ඔවුන් ගැන අනුකම්පාවෙන් පෙලඹෙන යේසුස් ඔවුන්ගේ ඇස් අල්ලලා එක්කෙනෙක්ට මෙහෙම කියනවා. “ඔබේ විශ්වාසය නිසා ඔබට සුවය ලැබෙනවා. ඔබට දැන් යන්න පුළුවන්.” (මාක් 10:52) ඒ දෙන්නාටම දැන් පෙනීම ලැබිලා. ඔවුන් ඒ ගැන දෙවියන්ට ප්‍රශංසා කළ බවට නම් සැකයක් නැහැ. සිද්ධ වුණු ඒ දේ දැකපු අනිත් අයත් දෙවිට ප්‍රශංසා කරනවා. සුවය ලබපු මිනිසුන් දෙන්නත් දැන් යේසුස්ගේ අනුගාමිකයන් වෙලා.

මේ වෙද්දී ලොකු සෙනඟක් යේසුස් එක්ක එකතු වෙලා ඉන්නවා. අන්ධ මිනිසාව සුව කරපු කෙනාව දැකගන්න ඒ හැමෝම ඉන්නේ ලොකු ආසාවකින්. ඒත් සමහර අයට යේසුස්ගේ ඡායාවක්වත් පේන්නේ නැහැ. යෙරුසලමේ සහ ඒ අවට ප්‍රදේශවල බදු එකතු කරන අයගේ ප්‍රධානියෙක් වන සකෙවුස් ඒ අතරින් කෙනෙක්. ඔහු මිටි නිසා සිද්ධ වෙන කිසිම දෙයක් ඔහුට පේන්නේ නැහැ. ඒ නිසා තමයි ඔහු කලින්ම ගිහින් ළඟපාත තියෙන අත්තික්කා ගහකට නඟින්නේ. දැන් නම් හැම දෙයක්ම ඔහුට පැහැදිලිවම පේනවා. යේසුස් ඒ ගහ ළඟට ආවාම ඔහු දිහා බලලා මෙහෙම කියනවා. “සකෙවුස් ඉක්මන් කර බිමට බහින්න. මම කැමතියි අද ඔබේ ගෙදර නවතින්න.” (ලූක් 19:5) ඒක අහලා සතුටු වෙන සකෙවුස් ගහෙන් බිමට බැහැලා මේ විශේෂ අමුත්තාව පිළිගන්න ඉක්මනින්ම තමන්ගේ නිවසට යනවා.

මිනිසුන්ගෙන් වංක විදිහට බදු අය කරලා තමයි සකෙවුස් පොහොසත් වෙලා තියෙන්නේ. මිනිසුන් ඔහුව සලකන්නේ පව්කාරයෙක් විදිහට. ඒ නිසා යේසුස් එහෙට යන එක ගැන මිනිසුන් කොඳුරන්න පටන්ගන්නවා.

යේසුස් සකෙවුස්ගේ නිවසට ගියාම ඔවුන් කියන්නේ “ඔහු දැන් ගියේ පව්කාර මිනිසෙකුගේ නිවසට” කියලයි. ඒත් සකෙවුස් තමන් අතින් වුණු වැරදි ගැන පසුතැවෙයි කියලා යේසුස් කලින්ම තේරුම්ගන්නවා. ඇත්තටම ඔහු තමන්ගේ වැරදි ගැන පසුතැවෙනවා කියලා ඔහු කියන මේ දෙයින් තේරුම්ගන්න පුළුවන්. “ස්වාමීනි, බලන්න! මා සතු දෙයින් භාගයක් මම දිලිඳුන්ට දෙනවා. මා කවුරු හරි කෙනෙකුට විරුද්ධව බොරු චෝදනා ඉදිරිපත් කර ඔහුගෙන් අයුතු ලෙස යමක් අරගෙන තිබෙනවා නම් මම කැමතියි ඔහුට අහිමි වූ ඒ දේ මෙන් හතර ගුණයක් නැවත ගෙවන්න.”—ලූක් 19:7, 8.

සමහරවිට බදු වාර්තාවලින් ඔහුට දැනගන්න පුළුවන් ඇති අනිත් අයගෙන් ඔහු කොච්චර මුදලක් අරන් තියෙනවාද කියලා. ඒ අයගෙන් තමන් අයුතු විදිහට අරන් තියෙන ප්‍රමාණය වගේ හතර ගුණයක් ගෙවන්න ඔහු පොරොන්දු වෙනවා. ඒක දෙවියන් දීපු නීතියට අනුව වන්දියක් විදිහට ගෙවන්න ඕන ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක්. (නික්මයාම 22:1; ලෙවී කතාව 6:2-5) තමන් සතු දෙයින් භාගයක් දිලිඳු අයට දෙන්නත් ඔහු පොරොන්දු වෙනවා. ඒ හැම දේකින්ම තේරෙනවා ඔහු අවංකවම පසුතැවෙනවා කියලා.

ඒ ගැන සතුටු වෙන යේසුස් ඔහුට කියන්නේ මෙහෙමයි. “අද මේ නිවසට ගැලවීම ලැබිලා. මේ මිනිසාත් ආබ්‍රහම්ගේ පුත්‍රයෙක් කියා මතක තබාගන්න. මනුෂ්‍ය පුත්‍රයා ආවේ, නැති වූ අයව සොයා ඔවුන්ව ගලවාගැනීමටයි.”—ලූක් 19:9, 10.

මෑතකදී තමයි යේසුස් නැති වුණු පුතා ගැන නිදර්ශනය කිව්වේ. (ලූක් 15:11-24) හැබැයි නැති වුණු කෙනෙක්ව හොයාගන්න එක ගැන සිද්ධියක් ඇස් පනාපිටම බලාගන්න දැන් ඔහු අවස්ථාව දුන්නා. සකෙවුස් වගේ අයව යේසුස් ආශ්‍රය කරන නිසා ආගමික නායකයන් සහ ඔවුන්ගේ අනුගාමිකයන් ඔහුව විවේචනය කරනවා. ඒත් නැති වුණු අයව හොයලා පසුතැවෙන්න ඒ අයට උදව් කරන එක යේසුස් නතර කරන්නේ නැහැ.

  • යේසුස්ට අන්ධ හිඟන්නන් දෙන්නාව මුණගැහෙන්න ඇත්තේ කොහේදීද? යේසුස් ඔවුන් වෙනුවෙන් කළේ මොනවාද?

  • සකෙවුස් කවුද? ඔහු ඇත්තටම පසුතැවුණා කියලා කියන්න පුළුවන් ඇයි?

  • යේසුස් සකෙවුස්ට සලකපු විදිහෙන් ඉගෙනගන්න පුළුවන් මොනවාද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න