ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwbr20 ජූලි 1-5 පි.
  • වැඩපොත සඳහා තොරතුරු - 2020 ජූලි

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • වැඩපොත සඳහා තොරතුරු - 2020 ජූලි
  • 2020 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත සඳහා තොරතුරු
  • උපමාතෘකා
  • ජූලි 6-12
  • ජූලි 13-19
  • ජූලි 20-26
  • ජූලි 27–අගෝස්තු 2
2020 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත සඳහා තොරතුරු
mwbr20 ජූලි 1-5 පි.

‘ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත’ සඳහා තොරතුරු

ජූලි 6-12

දේවවචනය නිධානයක් | නික්මයාම 6-7

“මා පාරාවෝට කරන්න යන දේ දැන් බලාගන්න”

it-2-E 436 3¶

මෝසෙස්

ඊශ්‍රායෙල් සෙනඟට මඟ පෙන්වන්න යෙහෝවා දෙවියන් මෝසෙස්ව පත් කළා කියලා ඊශ්‍රායෙල්වරු මුලදී පිළිගත්තා. හැබැයි පාරාවෝ තව තවත් වැඩියෙන් එයාලට වැඩ පවරද්දී එයාලා මෝසෙස්ට විරුද්ධව මැසිවිලි නඟන්න පටන්ගත්තා. ඒ වෙලාවේ මෝසෙස් කොච්චර දුක් වුණාද කිව්වොත් එයා ඒ ගැන යෙහෝවා දෙවියන්ට කන්නලව් කළා. (නික් 4:29-31; 5:19-23) ඒ නිසා යෙහෝවා දෙවියන් මෝසෙස්ව ශක්තිමත් කළා. ඊශ්‍රායෙල් සෙනඟව ගලවගන්නවා කියලත් ආබ්‍රහම්ට, ඊසාක්ට සහ යාකොබ්ට පොරොන්දු වුණු දේශයට එයාලව අරන් ගිහින් යෙහෝවා කියන තමන්ගේ නමේ අර්ථය හැමෝටම පැහැදිලිව දැකගන්න සලස්වනවා කියලත් දෙවියන් ඒ වෙලාවේ මෝසෙස්ට කිව්වා. (නික් 6:1-8) ඒ ගැන මෝසෙස් ඊශ්‍රායෙල් සෙනඟට කිව්වත් එයාලා ඒ දේවල් පිළිගත්තේ නැහැ. හැබැයි දෙවියන් නවවෙනි පීඩාව ගෙනාවාට පස්සේ ඊශ්‍රායෙල් සෙනඟ මෝසෙස් දීපු මඟ පෙන්වීම්වලට කැමැත්තෙන්ම කීකරු වුණා. ඒ නිසා දහවෙනි පීඩාවට පස්සේ මෝසෙස්ට පුළුවන් වුණා ඊශ්‍රායෙල් සෙනඟව “යුද්ධයට යන හමුදාවක්” වගේ සංවිධානය කරගෙන ඊජිප්තුවෙන් පිටතට අරන් යන්න.—නික් 13:18.

it-2-E 436 1-2¶

මෝසෙස්

පාරාවෝ ඉදිරියට යයි. මෝසෙස් සහ ආරොන් පාරාවෝ ඉදිරියට ගිහින් යෙහෝවා දෙවියන්ගේ බලයෙන් ආශ්චර්යයක් කරද්දී පාරාවෝ එයාලට අභියෝග කරන්න මන්තර ගුරුකම් කරන පූජකයන්ව එතැනට කැඳෙව්වා. ඒ පූජකයන් යන්නෙස් සහ යම්බ්‍රෙස් කියන පූජකයන් යටතේ සේවය කරපු අය වෙන්න ඇති. (2තිමෝ 3:8) ඒ පූජකයන්ව එතැනට කැඳවපු එකෙන් පාරාවෝට පෙන්වන්න ඕන වුණේ යෙහෝවා දෙවියන්ට වඩා ඊජිප්තුවේ දෙවිවරුන් හුඟක් බලවත් කියලයි. මෝසෙස්ගේ මඟ පෙන්වීම යටතේ ආරොන් කරපු ඒ පළවෙනි ආශ්චර්යයෙන්ම පැහැදිලිව ඔප්පු වුණා ඊජිප්තුවරුන්ගේ දෙවිවරුන්ට වඩා යෙහෝවා දෙවියන් කොයි තරම් බලවත්ද කියන එක. ඒත් පාරාවෝ තව තවත් එයාගේ හිත මුරණ්ඩු කරගත්තා. (නික් 7:8-13) හැබැයි තුන්වෙනි පීඩාවට මුහුණ දෙද්දී පූජකයන්ට පවා පිළිගන්න වුණා ඒ හැම දෙයක්ම වුණේ “දෙවිගේ බලයෙන්” කියලා. මොකද මෝසෙස් ඉදිරියට යන්න බැරි වෙන තරමටම පූජකයන්ගේ ශරීර පුරා සැරව ගෙඩි හටගෙන තිබුණා.—නික් 8:16-19; 9:10-12.

පීඩා දහය නිසා සමහර අයට දෙවියන් ගැන ලොකු විශ්වාසයක් ඇති වුණා. තවත් අයට දිගින් දිගටම දෙවියන්ට විරුද්ධව වැඩ කරන්න පෙලඹීමක් ඇති වුණා. පීඩා දහය ගේන්න කලින් දෙවියන් ඒ හැම පීඩාවක් ගැනම මෝසෙස් සහ ආරොන් මාර්ගයෙන් දැනුම් දුන්නා. එයාලා කියපු විදිහටම දේවල් සිද්ධ වුණු එකෙන් පැහැදිලිවම ඔප්පු වුණා මෝසෙස් යෙහෝවා දෙවියන්ගේ නියෝජිතයෙක් කියලා. ඒ විතරක් නෙවෙයි ඊජිප්තු දේශය පුරාම යෙහෝවා දෙවියන්ගේ නම ගෞරවයට පත් වුණා. ප්‍රතිඵලයක් විදිහට ඊශ්‍රායෙල්වරුන්ට සහ සමහර ඊජිප්තුවරුන්ට යෙහෝවා දෙවියන් ගැන ලොකු විශ්වාසයක් ඇති වුණා. හැබැයි පාරාවෝට සහ එයාට සහයෝගය දීපු අයට දිගින් දිගටම යෙහෝවා දෙවියන්ට විරුද්ධව වැඩ කරන්න පෙලඹීමක් ඇති වුණා. (නික් 9:16; 11:10; 12:29-39) ඊජිප්තුවරු හොඳින්ම තේරුම් අරන් හිටියා පීඩාවලට මුහුණ දෙන්න වෙන්නේ යෙහෝවා දෙවියන් එයාලා නමස්කාර කරන දෙවිවරුන්ට විරුද්ධව කටයුතු කරන නිසා මිසක් එයාලගේ දෙවිවරු එයාලා එක්ක කෝප වෙලා ඉන්න නිසා නෙවෙයි කියලා. නවවෙනි පීඩාවෙන් පස්සේ ‘ඊජිප්තු දේශයේ සියලු වැසියෝ හා පාරාවෝගේ සේවකයෝ මෝසෙස්වත් ඉතා ශ්‍රේෂ්ඨ පුද්ගලයෙකු ලෙස’ සලකන්න පටන්ගත්තා.—නික් 11:3.

ගැඹුරින් හොයමු

it-1-E 78 3-4¶

සියලු බලැති

ආබ්‍රහම්ට ඊසාක් සම්බන්ධයෙන් පොරොන්දුව දෙද්දී යෙහෝවා දෙවියන් තමන්ව හඳුන්වලා දුන්නේ “සියලු බලැති දෙවි” (“ඒල් ෂෙඩායි”) හැටියටයි. මොකද ඒ පොරොන්දුව ගැන ස්ථිර විශ්වාසයක් ඇති කරගන්න නම් දෙවියන්ට ඒ පොරොන්දුව ඉටු කරන්න බලය තියෙනවා කියන එක ගැන ආබ්‍රහම්ට විශ්වාසයක් තියෙන්නම ඕනෙ වුණා. ආබ්‍රහම් එක්ක ඇති කරගත්ත ගිවිසුම ඊසාක් සහ යාකොබ් මාර්ගයෙන් ඉටු වෙනවා කියලා බයිබලයේ සඳහන් වෙන අවස්ථාවලදීත් දෙවියන්ව හඳුන්වලා තියෙන්නේ සියලු බලැති දෙවියන් විදිහටයි.—උත් 17:1; 28:3; 35:11; 48:3.

පස්සේ කාලෙක යෙහෝවා දෙවියන් මෝසෙස්ට මෙහෙම කිව්වා. “මම ආබ්‍රහම්ටද ඊසාක්ටද යාකොබ්ටද සියලු බලැති දෙවි ලෙස [“බිඒල් ෂෙඩායි”] ප්‍රකාශ වුණෙමි. නමුත් යෙහෝවා යන නමින් මම ඔවුන්ට මාව හඳුන්වා නොදුන්නෙමි.” (නික් 6:3) දෙවියන් කියපු ඒ දෙයින් අදහස් වුණේ නැහැ ඒ විශ්වාසවන්ත සේවකයන් යෙහෝවා කියන දෙවියන්ගේ පෞද්ගලික නම දැනගෙන හිටියේ නැහැ කියලා. මොකද ඒ විශ්වාසවන්ත සේවකයන් ගැන සඳහන් වෙන උත්පත්ති පොතේ මුල් හෙබ්‍රෙව් පිටපත්වල යෙහෝවා කියන නම 172 වතාවක්ම සඳහන් වෙලා තිබුණත් “සියලු බලැති” කියන යෙදුම සඳහන් වෙලා තියෙන්නේ 6 වතාවක් විතරයි. ඒකෙන් පැහැදිලි වෙනවා එයාලත් එයාලට කලින් ජීවත් වුණු අයත් යෙහෝවා කියන නම නිතරම වගේ පාවිච්චි කරලා තියෙනවා කියලා. (උත් 4:1, 26; 14:22; 27:27; 28:16) දෙවියන් කොයි තරම් බලවත් කෙනෙක්ද කියලා ඒ විශ්වාසවන්ත අය අද්දැකලා තිබුණු නිසා “සියලු බලැති තැනැත්තා” කියන පදවිය ඔහුට හොඳින්ම ගැළපුණා කියලා එයාලා තේරුම් අරන් හිටියා. හැබැයි යෙහෝවා කියන දෙවියන්ගේ පෞද්ගලික නම එයාලා දැනගෙන හිටියත් ඒ නමින් අර්ථවත් වන දේ එයාලා තේරුම් අරන් හිටියේ නැහැ. මොකද දෙවියන් ඒ නමට එකඟව ක්‍රියා කරන විදිහ අද්දකින්න එයාලට අවස්ථාවක් ලැබිලා තිබුණේ නැහැ. එක ශබ්දකෝෂයක මෙහෙම සඳහන් වෙනවා. “දෙවියන් අතීතයේ ජීවත් වුණු විශ්වාසවන්ත සේවකයන්ට එළිදරව් වුණු අවස්ථාවලදී අනාගතයේදී ඉටු වෙන්න නියමිත පොරොන්දු ගැන එයාලට දැනුම් දුන්නා. ඒ පොරොන්දු ගැන දැනගන්න ලැබුණු අවස්ථාවලදී ‘යාහ්වේ’ කියන දෙවියන්ට (“ඒල්”) ඒ පොරොන්දු ඉටු කරන්න හැකියාව තියෙනවා (“ෂෙඩායි” කියන වචනයට ඒ අර්ථයත් ඇතුළත් කියලා හිතන්න පුළුවන්) කියන එක ගැන ඒ අයට සහතිකයක් ලැබුණා. හැබැයි කටු පඳුර ළඟදී මෝසෙස්ට කතා කරපු අවස්ථාවේදී දෙවියන් ඊටත් වඩා ශ්‍රේෂ්ඨ ආකාරයකින් තමන් කවුද කියන එක ගැන හෙළි කළා. ඒ අවස්ථාවේදී ‘යාහ්වේ’ කියන නම ගැන නිශ්චිතව සඳහන් කරපු නිසා තමන් කොයි තරම් බලවත් දෙවි කෙනෙක්ද කියන එක ගැන විතරක් නෙවෙයි තමන් හැමදාමත් එයාලා එක්ක ඉන්නවා කියන එක ගැනත් දෙවියන් එයාලට සහතිකයක් ලබා දුන්නා.”—The Illustrated Bible Dictionary, Vol. 1, p. 572; Edited by J. D. Douglas, 1980.

it-2-E 435 5¶

මෝසෙස්

ලැබුණු පැවරුම ඉටු කරන්න තමන් සුදුසු නැහැ කියලා මෝසෙස්ට හිතුණත් දෙවියන් එයාව ප්‍රතික්ෂේප කළේ නැහැ. අවුරුදු 40කට කලින් මෝසෙස් හිතුවේ ඊශ්‍රායෙල්වරුන්ව ගලවගන්න තමන් සුදුසු තත්වයක ඉන්නවා කියලයි. හැබැයි මේ අවස්ථාවේදී එයා හිතන්නේ ඊට වඩා හාත්පසින්ම වෙනස් විදිහට. මෝසෙස් දිගින් දිගටම තමන් කතාවට දක්ෂ කෙනෙක් නෙවෙයි කියලා කියමින් දෙවියන් එක්ක තර්ක කළා. අන්තිමේදී පැවරුම වෙන කෙනෙක්ට භාර දෙන්න කියලත් එයා යෙහෝවා දෙවියන්ට කිව්වා. ඒ වෙලාවේ දෙවියන්ට හුඟක් කේන්ති ගියත් ඔහු මෝසෙස්ව ප්‍රතික්ෂේප කරනවා වෙනුවට මෝසෙස් වෙනුවෙන් කතා කරන්න එයාගේ සහෝදරයා වුණු ආරොන්ව පත් කළා. ඒ කියන්නේ යෙහෝවා දෙවියන් තමන් වෙනුවෙන් කතා කරන්න මෝසෙස්ව පත් කළා වගේ මෝසෙස් වෙනුවෙන් කතා කරන්න ආරොන්ව පත් කළා කියන එකයි. ඊශ්‍රායෙල් වැඩිමහල්ලන් ඉදිරියෙත් පාරාවෝ ඉදිරියෙත් කියන්න, කරන්න ඕන දේවල් ගැන දෙවියන් මෝසෙස්ට දැනුම් දුන්නාට පස්සේ මෝසෙස් ඒ දේවල් ආරොන්ට දැනුම් දුන්නා කියලා හිතන්න පුළුවන්. එහෙම බලද්දී මෝසෙස් සහ ආරොන් පාරාවෝ ඉදිරියට ගිය හැම වතාවකදීම පාරාවෝ එක්ක කතා කළේ ආරොනුයි කියලා හිතන්න පුළුවන් (මෙතැන කතා කරන පාරාවෝ අවුරුදු 40කට කලින් මෝසෙස් ඊජිප්තුවෙන් පැනලා ආපු අවස්ථාවේදී හිටපු පාරාවෝ නෙවෙයි). (නික් 2:23; 4:10-17) පස්සේ යෙහෝවා දෙවියන් කිව්වා ආරොන් “අනාගතවක්තෘවරයෙකු” විදිහට මෝසෙස් වෙනුවෙන් කතා කරයි කියලා. ඒකෙන් අදහස් කළේ තමන්ට කියන්න ඕන දේවල් දෙවියන් මෝසෙස් ලවා දැනුම් දුන්නා වගේ මෝසෙසුත් තමන්ට කියන්න ඕන දේවල් ආරොන් ලවා දැනුම් දෙනවා කියන එකයි. මෝසෙස් “පාරාවෝ ඉදිරියේ දෙවි කෙනෙකු මෙන්” වෙනවා කියලා දෙවියන් කියපු එකෙන් අදහස් කළේ පාරාවෝට වඩා බලයක් සහ අධිකාරියක් දෙවියන් මෝසෙස්ට දුන්නා කියන එකයි. ඒ නිසා ඊජිප්තුවේ රජුට බය වෙන්න මෝසෙස්ට කිසිම හේතුවක් තිබුණේ නැහැ.—නික් 7:1, 2.

ජූලි 13-19

දේවවචනය නිධානයක් | නික්මයාම 8-9

“පාරාවෝ නොදැනුවත්වම දෙවියන්ගේ අරමුණ ඉටු කරන්න දායක වුණා”

it-2-E 1040-1041

මුරණ්ඩුකම

යෙහෝවා දෙවියන් හුඟක් ඉවසීමෙන් කටයුතු කරන නිසා සමහර අවස්ථාවලදී විනාශ වෙන්න සුදුසු තත්වයක ඉන්න පුද්ගලයන්ව සහ ජාතීන්ව විනාශ නොකර ඉන්න තීරණය කරලා තියෙනවා. (උත් 15:16; 2පේතෘ 3:9) සමහර අය දෙවියන් දීලා තියෙන ඒ අනර්ඝ අවස්ථාව අගය කරමින් ඔහුගේ අනුමැතිය ලබාගැනීමට අවශ්‍ය පියවර අරන් තියෙනවා. (යොෂු 2:8-14; 6:22, 23; 9:3-15) හැබැයි තවත් අය දිගින් දිගටම මුරණ්ඩු විදිහට හැසිරෙමින් දෙවියන්ටත් ඔහුගේ සේවකයන්ටත් විරුද්ධව කටයුතු කරන්න පෙලඹිලා තියෙනවා. (ද්වි 2:30-33; යොෂු 11:19, 20) යෙහෝවා දෙවියන් කෙනෙක්ට තමන්ගේ ‘සිත මුරණ්ඩු කරගන්න’ එහෙමත් නැත්නම් ‘සිත දැඩි කරගන්න’ ඉඩහරිනවා කියලා බයිබලයේ සඳහන් වෙනවා. යෙහෝවා දෙවියන් කවදාවත් මුරණ්ඩු විදිහට වැඩ කරන කෙනෙක්ව බලෙන් තමන්ගේ පැත්තට ගන්නේ නැහැ කියලා ඒකෙන් පැහැදිලියි. දිගින් දිගටම මුරණ්ඩු විදිහට කටයුතු කරන අයව නියමිත කාලයේදී දෙවියන් විනාශ කරනවා. ඔහු ඒ දේ කරද්දී ඔහුගේ බලය ගැනත් ඔහුගේ නාමය ගැනත් හැමෝටම දැනගන්න ලැබෙනවා.—නික් 4:21 බලන්න; යොහ 12:40; රෝම 9:14-18.

it-2-E 1181 3-5¶

දුෂ්ටකම

යෙහෝවා දෙවියන්ට පුළුවන් දුෂ්ට අයව වුණත් යොදාගෙන තමන් ඉටු කිරීමට බලාපොරොත්තු වන දේ ඉටු කරන්න. හිතෝපදේශ 16:4 සඳහන් මේ දෙයින් ඒක හොඳින්ම තහවුරු වෙනවා. “යෙහෝවා දෙවි තම අරමුණ ඉටු කරගැනීම සඳහා සියල්ල සාදා ඇත. ඔහු දුෂ්ටයාව පවා විපත්ති දවසට නියම කර ඇත.” සමහර අවස්ථාවලදී තමන්ට විරුද්ධව වැඩ කරන්න දෙවියන් දුෂ්ටයන්ට ඉඩහැරියත් අවශ්‍ය නම් මැදිහත් වෙලා තමන්ගේ විශ්වාසවන්ත සේවකයන්ව දුෂ්ටයන්ගේ අතින් බේරගන්න පියවර ගන්න ඔහුට පුළුවන්. ඒ විතරක් නෙවෙයි දුෂ්ටයන් කරන වැරදි දේවල් මාර්ගයෙන් තමන් මොන තරම් ධර්මිෂ්ඨ කෙනෙක්ද කියලා පැහැදිලිව දකින්න සලස්වන්නත් ඔහුට පුළුවන්.—රෝම 3:3-5, 23-26; 8:35-39; ගීතා 76:10.

යෙහෝවා දෙවියන් ඊශ්‍රායෙල්වරුන්ව වහල්භාවයෙන් නිදහස් කරන්න කියලා පාරාවෝට දැනුම් දුන්නු අවස්ථාව ගැන ටිකකට හිතන්න. දෙවියන් ඒ පාලකයාව දුෂ්ට කෙනෙක් වෙන්න සැලැස්සුවේ නැහැ. ඒ වෙනුවට ඔහු එයාට දිගටම ජීවත් වෙන්න අවස්ථාව දීලා යම් තත්වයන්වලට මුහුණ දෙන්න ඉඩහැරියා. පාරාවෝ ඒ තත්වයන්ට මුහුණ දීපු විදිහෙන් පැහැදිලිව ඔප්පු වුණා එයා මරණය ලබන්න සුදුසු දුෂ්ට කෙනෙක් කියලා. යෙහෝවා දෙවියන් ඒ දේ කළේ ඇයි කියලා නික්මයාම 9:16 සඳහන් මේ දෙයින් පැහැදිලි වෙනවා. “මා මේ වන තුරු ඔබට ජීවත් වීමට ඉඩහැරියේ ඔබට මගේ බලය දැකගැනීමට හැකි වන පිණිසත් මාගේ නාමය පොළොවේ සිටින සියල්ලන් දැනගන්නා පිණිසත්ය.”

දහවෙනි පීඩාවෙන් පස්සේ යෙහෝවා දෙවියන් තම මහත් බලය යොදාගෙන පාරාවෝවත් එයාගේ හමුදාවවත් රතු මුහුදේ ගිලෙන්න සැලැස්සුවා. (නික් 7:14–12:30; ගීතා 78:43-51; 136:15) ඒ දේ සිද්ධ වෙලා අවුරුදු ගණනාවක් ගත වුණාට පස්සෙත් අවට ජාතීන් ඒ ගැන කතා කළා. ඒ නිසා යෙහෝවා දෙවියන්ගේ නම පොළොවේ ඉන්න සියලුදෙනාටම දැනගන්න ලැබුණා. (යොෂු 2:10, 11; 1 සාමු 4:8) එකපාරටම පාරාවෝව මරලා දැම්මා නම් තමන්ගේ මහත් බලය හැමෝටම දැකගන්න සලස්වමින් තමන්ගේ සෙනඟව බේරගන්නත් තමන්ගේ නාමය ගෞරවයට පත් කරන්නත් යෙහෝවා දෙවියන්ට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ.

ගැඹුරින් හොයමු

it-1-E 878

ගඩු මැස්සන්

ඊජිප්තුවරුන්ට මුහුණ දෙන්න වුණ හතරවෙනි පීඩාවේදී මුළු දේශයම ගඩු මැස්සන්ගෙන් පිරුණා. හැබැයි ගෝෂෙන් ප්‍රදේශයේ හිටිය ඊශ්‍රායෙල්වරුන්ට ඒ පීඩාව බලපෑවේ නැහැ. ගඩු මැස්සන් විදිහට පරිවර්තනය කරලා තියෙන “අරෝව්” කියන හෙබ්‍රෙව් වචනයෙන් යොමු දක්වන්නේ මොන කුරුමිණි වර්ගයටද කියලා නිශ්චිතව කියන්න බැහැ. (නික් 8:21, 22, 24, 29, 31; ගීතා 78:45; 105:31) ඒ වචනය “ගඩු මැස්සන්” (‘නව ලොව පරිවර්තනය’), “කුරුමිණියා” (Yg), “මැසි රංචු” (‘පැරණි අනුවාදය,’ ‘නව අනුවාදය’), “මැක්කන්” (AT) සහ “බලු මැස්සන්” (LXX) විදිහට පරිවර්තනය කරලා තියෙනවා.

“ගඩු මැස්සන්” විදිහට හඳුන්වන්නේ විවිධ වර්ගයේ ඇට මැස්සන්ව. උන්ගේ ගැහැනු සතා මිනිසුන්ගෙත් සතුන්ගෙත් ලේ උරා බොනවා. කීට අවදියේදී උන් මිනිසුන්ගේ සහ සතුන්ගේ ශරීර තුළ පරපෝෂිතයන් විදිහට ජීවත් වෙනවා. මිනිසුන්ගේ ඇඟේ වහන ඇට මැස්සන්ව උණුසුම් දේශගුණයක් සහිත රටවල දැකගන්න පුළුවන්. ඒ තොරතුරු ගැන හිතද්දී ගඩු මැස්සන් නිසා ඊජිප්තුවරුනුත් එයාලගේ සතුනුත් මොන තරම් පීඩා විඳින්න ඇද්ද කියලා අපිට තේරුම්ගන්න පුළුවන්. සමහරවිට ඒ පීඩාව නිසා මිනිසුන් සහ සතුන් මරණයට පත් වෙන්නත් ඇති.

ජූලි 20-26

දේවවචනය නිධානයක් | නික්මයාම 10-11

“මෝසෙස් සහ ආරොන් හුඟක් ධෛර්යවන්තව කටයුතු කළා”

it-2-E 436 4¶

මෝසෙස්

පාරාවෝ ඉදිරියට යන්න ලොකු ධෛර්යයක් සහ විශ්වාසයක් ඕන වුණා. යෙහෝවා දෙවියන් තම බලය මාර්ගයෙන් මෝසෙස්වයි, ආරොන්වයි ශක්තිමත් කළේ නැත්නම් කවදාවත් දෙවියන්ගෙන් ලැබුණු පණිවිඩය පාරාවෝට දැනුම් දෙන්න එයාලට පුළුවන් වෙන්නේ නැහැ. ටිකකට හිතන්න පාරාවෝ ඉදිරියට යන එක මොන වගේ අද්දැකීමක් වෙන්න ඇද්ද කියලා. ඒ කාලේ හිටිය බලවත්ම ලෝක අධිරාජ්‍යයා වුණු පාරාවෝව ඊජිප්තුවරු සැලකුවේ දෙවි කෙනෙක් විදිහට. පාරාවෝට සහ ඊජිප්තුවේ දෙවිවරුන්ට සහයෝගය දෙන විශාල පිරිසක් පාරාවෝ ඉදිරියට ඇවිත් හිටියා. උපදේශකයන්ගෙන්, හමුදාපතීන්ගෙන්, ආරක්ෂක නිලධාරීන්ගෙන් සහ සේවකයන්ගෙන් පාරාවෝ වට වෙලයි හිටියේ. මෝසෙස්ට විරුද්ධව වැඩ කරපු ආගමික නායකයන් සහ මන්තර ගුරුකම් කරන පූජකයනුත් එතනට ඇවිත් හිටියා. එයාලා තමයි පාරාවෝට පස්සේ හිටිය බලවත්ම අය වුණේ. වතාවක් දෙවතාවක් නෙවෙයි කිහිප වතාවක්ම මෝසෙස්ටයි, ආරොන්ටයි පාරාවෝ ඉදිරියට යන්න වුණා. එයාලා පාරාවෝ ඉදිරියට ගිය හැම වතාවකදීම පාරාවෝ එයාගේ හිත තව තවත් මුරණ්ඩු කරගත්තා. මොකද එයාට ඕනෙ වුණේ ඊශ්‍රායෙල් සෙනඟව හැමදාටම වහල්භාවයේ තියාගන්නයි. මෝසෙස් සහ ආරොන් අටවෙනි පීඩාව ගැන දැනුම් දුන්නාට පස්සේ පාරාවෝ එයාලව එළවලා දැම්මා. නවවෙනි පීඩාවෙන් පස්සේ එයාලා පාරාවෝ ඉදිරියට ගියාම ආයේ ආවොත් මරනවා කියලා පාරාවෝ එයාලට තර්ජනය කළා.—නික් 10:11, 28.

ගැඹුරින් හොයමු

it-1-E 783 5¶

නික්මයාම

යෙහෝවා දෙවියන් පුදුමාකාර විදිහට තමන්ගේ නම ගෞරවයට පත් කරමින් ඊශ්‍රායෙල්වරුන්ව ඊජිප්තුවරුන් අතින් බේරගෙන රතු මුහුදේ නැඟෙනහිර වෙරළට ගෙනාවා. ඒ අවස්ථාවේදී මෝසෙස් ඊශ්‍රායෙල් පුරුෂයන්ව එකතු කරගෙන යෙහෝවා දෙවියන්ට ප්‍රශංසා ගීයක් කියන්න පටන්ගත්තා. අනාගතවක්තෘවරියක් වගේම මෝසෙස්ගේ සහෝදරිය වුණු මිරියමුත් අනිත් ස්ත්‍රීනුත් රබන් ගසමින්, නටමින් ඒ අයට එකතු වුණා. (නික් 15:1, 20, 21) ඊශ්‍රායෙල්වරු ඊජිප්තුවෙන් පිට වෙලා යද්දී එයාලට කිසිම මනුෂ්‍යයෙක්වත් සතෙක්වත් හිරිහැර කරන්නේ නැහැ කියලත් අඩුම තරමින් බල්ලෙක්වත් එයාලට බුරන්නේ නැහැ කියලත් දෙවියන් කියලා තිබුණා. (නික් 11:7) ඒකෙන් අදහස් වෙන්නේ ඊශ්‍රායෙල්වරුන්ට කිසිම හානියක් කරන්න තවදුරටත් ඊජිප්තුවරුන්ට පුළුවන් වෙන්නේ නැහැ කියන එකයි. ඊජිප්තු හමුදාව එක්ක පාරාවෝත් රතු මුහුදේ ගිලුණා කියලා නික්මයාම පොතේ සඳහන් වෙලා නැහැ. ඒත් ගීතාවලිය 136:15 සඳහන් වෙනවා යෙහෝවා දෙවියන් “පාරාවෝද ඔහුගේ හමුදාවද ඒ මහ මුහුදේ ජල පහරට ගසාගෙන යෑමට සැලැස්වුවා” කියලා. ඒ හැමෝම රතු මුහුදේ විනාශ වෙලා ගිය නිසා ඊජිප්තුවරුන් අතින් හිරිහැර විඳින්න ඊශ්‍රායෙල්වරුන්ට සිද්ධ වුණේ නැහැ.

ජූලි 27–අගෝස්තු 2

දේවවචනය නිධානයක් | නික්මයාම 12

“ක්‍රිස්තියානීන්ට පාස්කුවෙන් අර්ථවත් වෙන දේ”

it-2-E 583 6¶

පාස්කුව

පාස්කුවට සම්බන්ධ සමහර දේවල් යේසුස් මාර්ගයෙන් ඉටු වුණා. බැටළු පැටවෙක්ගේ ලේ නිවසේ උළුවහුවල තැවරීමෙන් කුලුඳුලන්ගේ ජීවිත ආරක්ෂා වුණු එක එයින් එකක්. පාවුල් අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ව කුලුඳුලන්ගේ සභාව (හෙබ්‍රෙ 12:23) හැටියට හඳුන්වපු එකෙනුත් යේසුස් ක්‍රිස්තුස් තම රුධිරය මාර්ගයෙන් ඒ අයව ගලවගත්තා කියලා සඳහන් කරපු එකෙනුත් තේරුම්ගන්න පුළුවන් කුලුඳුලන්ගෙන් සහ උළුවහුවල තවරපු ලේවලින් නියෝජනය වුණේ මොනවාද කියලා. (1තෙස 1:10; එෆී 1:7) පාස්කු බැටළුවාගේ එක ඇටයක්වත් කඩන්න එපා කියලා ඊශ්‍රායෙල්වරුන්ට කියපු දේත් යේසුස් මාර්ගයෙන් ඉටු වුණා. යේසුස්ගේ එක ඇටයක්වත් බිඳෙන්නේ නැහැ කියලා සඳහන් වෙලා තිබුණු අනාවැකිය යේසුස් මිය ගිය අවස්ථාවේදී ඒ විදිහටම ඉටු වුණු එකෙන් ඒක ඉටු වුණා. (ගීතා 34:20; යොහ 19:36) ඉදිරියේදී පැමිණෙන දේවල් පිළිබඳ යම් ඡායාවක් ලබා දුන්න නීතියට ඇතුළත් වුණු පාස්කු උත්සවය ඊශ්‍රායෙල්වරු සියවස් ගණනාවක් පුරා සමරලා තියෙනවා. පාස්කු බැටළුවාගෙන් නියෝජනය වුණේ ඉදිරියේදී පැමිණෙන්න නියමිතව තිබුණු “දෙවිගේ බැටළු පැටවා” වන යේසුස් ක්‍රිස්තුස්වයි.—හෙබ්‍රෙ 10:1; යොහ 1:29.

ගැඹුරින් හොයමු

it-2-E 582 2¶

පාස්කුව

ඊජිප්තුවරුන්ට ආපු පීඩා දහයෙන් විශේෂයෙන්ම කුලුඳුලන්ව මරණයට පත් කළ දහවෙනි පීඩාවෙන් ඊජිප්තුවරුන්ගේ දෙවිවරුන්ට කිසිම බලයක් නැහැ කියලා ඔප්පු වුණා. (නික් 12:12) උදාහරණෙකට ඊජිප්තුවරු බැටළුවාව (පිරිමි සතාව) සැලකුවේ රා කියන දෙවියාට කැප කරපු සතෙක් විදිහටයි. ඒ නිසා පාස්කු බැටළුවාගේ ලේ උළුවහුවල තවරපු එක ඊජිප්තුවරු සැලකුවේ රා කියන දෙවියාට කරපු ලොකු නින්දාවක් හැටියටයි. ඔසිරිස් කියන දෙවියාව නියෝජනය කරපු ගවයාවත් එයාලා සැලකුවේ ශුද්ධ සතෙක් විදිහට. ඒ නිසා දහවෙනි පීඩාවේදී කුලුඳුල් ගවයන් මැරුණු එක ඔසිරිස් දෙවියාට ලොකු නින්දාවක් වුණා. ඒ වගේම ඊජිප්තුවරු පාරාවෝව සැලකුවෙත් දෙවි කෙනෙක් විදිහට. මොකද එයාලා විශ්වාස කළේ පාරාවෝ කියන්නේ රා කියන දෙවියාගේ පුතෙක් කියලයි. හැබැයි පාරාවෝගේ කුලුඳුල් පුතා මැරුණාම පාරාවෝටවත් රා කියන දෙවියාටවත් කිසිම බලයක් නැහැ කියලා පැහැදිලිවම ඔප්පු වුණා.

it-1-E 504 1¶

උත්සව

දෙවියන්ව ගෞරවයට පත් කරන්න පවත්වපු හැම උත්සවයකම පොදු දෙයක් තිබුණා. ඒ උත්සව දිනවල වෙහෙස මහන්සි වෙලා කිසි වැඩක් කරන්න එපා කියලා දෙවියන් පැහැදිලි නියෝගයක් දීලයි තිබුණේ. උදාහරණෙකට මුහුන් නොදැමූ රොටි උත්සවය පවත්වපු පළවෙනි සහ හත්වෙනි දවස් ගැන යෙහෝවා දෙවියන් කියලා තිබුණේ මෙහෙමයි. “ඒ දවස්වලදී කිසි වැඩක් නොකරන්න. නමුත් තම තමාට අවශ්‍ය ආහාර පමණක් සූදානම් කරගත හැකියි.” (නික් 12:15, 16) හැබැයි ඒ උත්සව දිනවලදී පූජකයන් යෙහෝවා දෙවියන්ට පූජා ඔප්පු කරන එක නැවැත්තුවේ නැහැ. (ලෙවී 23:37, 38) මොකද දෙවියන් ඊශ්‍රායෙල්වරුන්ට කිව්වේ ඒ දවස්වලදී එදිනෙදා කරන වැඩවලින් විවේක ගන්න කියලා මිසක් නමස්කාර කටයුතුවලින් විවේක ගන්න කියලා නෙවෙයි. ඊශ්‍රායෙල්වරු ඒ දවස්වලදී ඔහේ විවේක සුවයෙන් ඉන්නවා වෙනුවට දෙවියන් එක්ක තියෙන බැඳීම ශක්තිමත් කරගන්න පියවර ගනියි කියලා දෙවියන් බලාපොරොත්තු වුණා. හැම සතියකම පවත්වපු සබත් දවසේදී දෙවියන්ට නමස්කාර කරන්නත් දෙවියන්ගෙන් ඉගෙනගන්නත් ඊශ්‍රායෙල්වරු එකට එකතු වුණා. පස්සේ කාලෙක සබත් දවස්වල සිනගෝගවලදී දේවවචනය ශබ්ද නඟා කියවන්නත් ඒකේ තියෙන තොරතුරු පැහැදිලි කරන්නත් පටන්ගත්තා. (ක්‍රියා 15:21) සබත් දවස්වලදීත් දෙවියන් වෙනුවෙන් පවත්වපු උත්සව දවස්වලදීත් ඊශ්‍රායෙල්වරුන් නිර්මාතෘ ගැන සහ ඔහුගේ අරමුණ ගැන ගැඹුරින් කල්පනා කරන්නත් යාච්ඤා කරන්නත් කාලය යෙදෙව්වා කියලා ඒ තොරතුරුවලින් පැහැදිලි වෙනවා.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න