යහපත් ක්‍රිස්තියානීන් වෙමු
යෞවනයෙනි, යෙහෝවා දෙවියන් ඔයාගේ හොඳම යාළුවාද?
ඔයාගේ යාළුවෙක්ට මොන වගේ ගුණාංග තියෙනවාටද ඔයා කැමති? එයා විශ්වාසවන්තයි නම්, කරුණාවන්තයි නම්, ත්‍යාගශීලියි නම් ඔයා කැමති ඇති. යෙහෝවා දෙවියන්ට ඒ ගුණාංග හැම එකක්ම තියෙනවා. (නික් 34:6; ක්‍රියා 14:17) ඔයා දෙවියන්ට යාච්ඤා කරද්දී ඔහු ඔයාට ඇහුම්කන් දෙනවා. ඕනෙම වෙලාවක ඔයාට උදව් කරන්න ඔහු ආසාවෙන් බලන් ඉන්නවා. (ගීතා 18:19, 35) ඔයාගේ අතින් වැරදි වුණාම ඔහු සමාව දෙනවා. (1යොහ 1:9) යෙහෝවා දෙවියන් මොන තරම් හොඳ යාළුවෙක්ද!
ඔයාට යෙහෝවා දෙවියන්ගේ හොඳ යාළුවෙක් වෙන්න පුළුවන් කොහොමද? දෙවියන්ගේ වචනය කියවලා ඔහු ගැන තවත් හොඳින් දැනගන්න. ඔයාගේ හිතේ තියෙන හැම දෙයක්ම ඔහුට කියන්න. (ගීතා 62:8; 142:2) දෙවියන් හුඟක් වටින දේවල් විදිහට සලකන ඔහුගේ පුතාව, ඔහුගේ රාජ්‍යය සහ ඔහු අනාගතය ගැන දීලා තියෙන පොරොන්දු වගේ දේවල් ඔයාටත් හුඟක් වටිනවා කියලා පෙන්වන්න. දෙවියන් ගැන අනිත් අයටත් කියන්න. (ද්වි 32:3) ඔයා දිගටම යෙහෝවා දෙවියන් එක්ක කිට්ටු බැඳීමක් තියාගත්තොත් ඔහු හැමදාටම ඔයාගේ යාළුවෙක් වෙලා ඉඳියි.—ගීතා 73:25, 26, 28.
‘යෞවනයෙනි, “යෙහෝවා දෙවි යහපත් බව රස බලා දැනගන්න”’ කියන වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න.
දෙවියන්ට කැප වෙලා බව්තීස්ම වෙන්න නම් ඔයාගේ පැත්තෙන් ඔයාට කරන්න පුළුවන් මොනවාද?
යෙහෝවා දෙවියන්ට සේවය කරන්න ඔයාට උදව් කරන්න සභාවේ අයට පුළුවන් කොහොමද?
සේවයේ හවුල් වෙන එකෙන් දෙවියන් එක්ක ඔයාට තියෙන බැඳීම ශක්තිමත් වෙන්නේ කොහොමද?
යෙහෝවා දෙවියන් එක්ක තියෙන යාළුකම හැමදාටම තියාගන්න පුළුවන් එකක්
යෙහෝවා දෙවියන් වෙනුවෙන් වැඩි සේවයක් කරන්න ඔයාට පුළුවන් ක්‍රම මොනවාද?
යෙහෝවා දෙවියන් ගැන ඔයාගේ හිතේ ආදරයක් ඇති වෙලා තියෙන්නේ ඇයි?