‘ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත’ සඳහා තොරතුරු
මාර්තු 1-7
දේවවචනය නිධානයක් | ගණන් කතාව 7-8
“ඊශ්‍රායෙල්වරුන්ගේ කඳවුරෙන් ඉගෙනගන්න පුළුවන් දේවල්”
it-1-E 497 3¶
සභාව
හුඟක් වෙලාවට ඊශ්‍රායෙලයේ වගකීම් දරපු පුරුෂයන් සෙනඟව නියෝජනය කරමින් කටයුතු කළා. (එස්රා 10:14) ශුද්ධ කූඩාරම හදලා ඉවර වුණාට පස්සේ “ඊශ්‍රායෙල් සෙනඟ අතරේ සිටි අධිපතීන්” පරිත්‍යාග කරන්න විවිධ දේවල් ගෙනාවා. (ගණන් 7:1-11) නෙහෙමියාගේ කාලේ හිටපු පූජකයන්, ලෙවීවරුන් සහ “අධිපතීන්” දෙවියන් “ ඉදිරියේ පොරොන්දුවක්” වෙලා ඒක ලියවිල්ලක සටහන් කරලා මුද්‍රාවෙන් සහතික කළා. (නෙහෙ 9:38–10:27) මෝසෙස් යෙහෝවා දෙවියන් කියපු විදිහට “සෙනඟ බලාගැනීමේ වගකීම” ඉටු කරන්න වැඩිමහල්ලන් හැත්තෑදෙනෙක්ව පත් කළා. (ගණන් 11:16, 17, 24, 25) ලෙවී කතාව 4:15 “සෙනඟ අතරේ සිටි වැඩිමහල්ලන්” කියලා කියද්දී ඒකෙන් අදහස් කළේ සෙනඟව නියෝජනය කරපු “ඊශ්‍රායෙල්වරුන්ගේ වැඩිමහල්ලන්, නායකයන්, විනිශ්චයකරුවන් සහ නිලධාරීන්වයි.”—ගණන් 1:4, 16; යොෂු 23:2; 24:1.
it-2-E 796 1¶
රූබෙන්
ශුද්ධ කූඩාරමට දකුණු පැත්තේ, සිමියොන් ගෝත්‍රයේ අයගේ සහ ගාද් ගෝත්‍රයේ අයගේ කඳවුරු දෙක මැද රූබෙන් ගෝත්‍රයේ අය කඳවුරු බැඳන් හිටියා. ඊශ්‍රායෙල්වරුන් ගමන් කරන්න පටන්ගත්තාම යූදා, ඉසකාර් සහ සෙබ්‍යූලන් ගෝත්‍ර පිටත් වුණාට පස්සේ රූබෙන් ගෝත්‍රය සහ එයාලා එක්ක කඳවුරු බැඳන් හිටපු අනිත් ගෝත්‍ර දෙක පිටත් වුණා. (ගණන් 10:14-20) ශුද්ධ කූඩාරම කැප කරපු අවස්ථාවෙදි එක් එක් ගෝත්‍රවල අය තමන්ගේ පරිත්‍යාග අරගෙන ආවෙත් ඒ අනුපිළිවෙළටමයි.—ගණන් 7:1, 2, 10-47.
දේවවචනයෙන් මැණික්
it-1-E 835
කුලුඳුලන්
ඊශ්‍රායෙල්වරුන්ගේ කුලුඳුල් පිරිමි දරුවන් පවුල්වල ප්‍රධානීන් වෙන්න නියමිතව තිබුණ නිසා එයාලා මුළු ජාතියවම නියෝජනය කළා. ඊජිප්තුවේදී යෙහෝවා දෙවියන් කුලුඳුලන්ව ආරක්ෂා කරන්න පියවර ගත්තා. ඒ නිසයි “ඊශ්‍රායෙල් සෙනඟ අතරේ සිටින සෑම කුලුඳුල් පිරිමි දරුවෙක්වම හා සතෙක්වම මට කැප කරන්න” කියලා දෙවියන් අණ කළේ. (නික් 13:2) ඒ විදිහට හැම කුලුඳුලෙක්වම යෙහෝවා දෙවියන්ට අයිති වුණා.
මාර්තු 8-14
දේවවචනය නිධානයක් | ගණන් කතාව 9-10
“දෙවියන් ඔහුගේ සෙනඟට මඟ පෙන්වන්නේ කොහොමද?”
it-1-E 398 3¶
කඳවුර
වලා ටැඹ ශුද්ධ කූඩාරමට ඉහළින් තිබුණ තාක් කල් ඊශ්‍රායෙල්වරුන් කඳවුරු බැඳගත්ත ස්ථානයේම හිටියා. වලා ටැඹ ගමන් කරද්දී සෙනඟත් ගමන් කළා. “යම් ස්ථානයක කඳවුරු බැඳගන්න කියා යෙහෝවා දෙවි අණ කළ විටද එතැනින් පිටත්ව යන්න කියා යෙහෝවා දෙවි අණ කළ විටද ඔවුහු යෙහෝවා දෙවිට කීකරු වූහ.” (ගණන් 9:15-23) යෙහෝවා දෙවියන්ගේ අණ සෙනඟට දැනුම් දුන්නේ හොරණෑ දෙකක් පිඹලයි. (ගණන් 10:2, 5, 6) උස් හඬක් සහ පහත් හඬක් එන විදිහට හොරණෑව පිඹිද්දී කඳවුරු බැඳන් හිටපු සෙනඟ ගමන් කරන්න පටන්ගත්තා. ඒ දේ මුල් වතාවට වුණේ “දෙවෙනි අවුරුද්දේ [ක්‍රි.පූ. 1512] දෙවෙනි මාසයේ විසිවන දිනයේයි.”—ගණන් 10:11-28.
දේවවචනයෙන් මැණික්
it-1-E 199 3¶
එක්රැස්වීම
එක්රැස්වීමේ වැදගත්කම. නමස්කාර කරන්න එකට එකතු වෙන්න තියෙන අවස්ථාවලින් උපරිම ප්‍රයෝජන ගන්න එක කොච්චර වැදගත්ද කියලා පාස්කු උත්සවයෙන් අපිට පැහැදිලි වෙනවා. මොකද දෙවියන් අණ කරලා තිබුණා පවිත්‍රව හිටපු එහෙමත් නැත්නම් දුර ගමනක් නොගිය පුරුෂයෙක් පාස්කුව පැවැත්තුවේ නැත්නම් එයාව මරලා දාන්න කියලා. (ගණන් 9:9-14) හෙසකියා රජගේ කාලේ පැවැත්තුව පාස්කු උත්සවයට ආරාධනා කරද්දී රජ සෙනඟට මෙහෙම කිව්වා. “ඊශ්‍රායෙල් වැසියෙනි, ඔබේ වැරදි මාර්ග අත්හැර . . . යෙහෝවා දෙවි වෙතට නැවත එන්න. . . . යෙහෝවා දෙවිට කීකරු වී ඔහුගේ ශුද්ධස්ථානයට පැමිණ ඔහුට නමස්කාර කරන්න. මන්ද පරිශුද්ධ නමස්කාරය සඳහා එම ස්ථානය වෙන් කළේ යෙහෝවා දෙවි විසින්මයි. ඔබ දෙවිට එසේ නමස්කාර කළොත් ඔබට විරුද්ධව ඇවුළුණු ඔහුගේ උදහස නිවී යයි. . . . ඔබේ දෙවි යෙහෝවා දයාන්විත මෙන්ම කරුණාවන්ත දෙවි කෙනෙක් නිසා ඔබ ඔහු වෙතට හැරී ආවොත් ඔහු ඔබව කිසි දිනක අත් නොහරියි.” (2ලේක 30:6-9) කෙනෙක් හිතාමතාම පාස්කුවට සහභාගි නොවී හිටියා නම් එයාව සැලකුවේ යෙහෝවා දෙවියන්ව අත්හැරිය කෙනෙක් විදිහටයි. අද අපි පාස්කුව වගේ උත්සව සමරන්නේ නැති වුණත් දෙවියන්ගේ සෙනඟ එක්ක එකට එකතු වෙන්න තියෙන අවස්ථාවන් මඟහරින්නේ නැතුව ඉන්න ඕනේ. ඒ දේ කාවද්දන්න පාවුල් මෙහෙම කිව්වා. “එලෙසම අපි එකිනෙකා සඳහා උනන්දුවක් හා සැලකිල්ලක් දක්වමින් ප්‍රේමය පෙන්වීමට හා යහපත් ක්‍රියා කිරීමට එකිනෙකාව පොලඹවමු. සමහරුන් පුරුදු වී සිටින ආකාරයට එකට රැස්වීම සඳහා අපට තිබෙන අවස්ථාවන් අතපසු නොකිරීමටද අප වගබලා ගත යුතුයි. එලෙසම අපි එකිනෙකාව දිරිගන්වමු. ඒ මහත් දවස ළඟා වන බව අපට පැහැදිලිව පෙනෙන නිසා වැඩි වැඩියෙන් එසේ කරමු.”—හෙබ්‍රෙ 10:24, 25.
මාර්තු 15-21
දේවවචනය නිධානයක් | ගණන් කතාව 11-12
“මැසිවිලි නඟන එකෙන් වළකින්න ඕනෙ ඇයි?”
it-2-E 719 4¶
රණ්ඩුව
මැසිවිලි නැඟීම. මැසිවිලි නඟන එකෙන් අනිත් අය අධෛර්යයට පත් වෙනවා. ඊජිප්තුවෙන් පිට වෙලා වැඩි කල් යන්න කලින් ඊශ්‍රායෙල්වරුන් යෙහෝවා දෙවියන් එයාලට මඟ පෙන්වන්න පත් කරලා තිබුණ මෝසෙස්ට සහ ආරොන්ට විරුද්ධව මැසිවිලි නැඟුවා. ඒකෙන් එයාලා ඇත්තටම මැසිවිලි නැඟුවේ යෙහෝවා දෙවියන්ට විරුද්ධවයි. (නික් 16:2, 7) තවත් අවස්ථාවකදී ඊශ්‍රායෙල්වරුන් මැසිවිලි නඟපු එකෙන් මෝසෙස් කොච්චර අධෛර්යය වුණාද කියනවා නම් තමන්ව මරලා දාන්න කියලා එයා දෙවියන්ගෙන් ඉල්ලුවා. (ගණන් 11:13-15) මැසිවිලි නඟන එකෙන් මැසිවිලි නඟන කෙනාටත් වෙන්නේ ලොකු හානියක්. මැසිවිලි නඟපු අය මෝසෙස් ගැන කිව්ව දේවල් යෙහෝවා දෙවියන් සැලකුවේ පාලනය කරන්න තමන්ට තියෙන අයිතියට විරුද්ධව කරපු කැරලිගැසීමක් විදිහටයි. (ගණන් 14:26-30) ඒ විදිහට වැරදි හොයපු එකෙන් වුණේ හුඟදෙනෙක්ට එයාලගේ ජීවිත පවා නැති වුණ එකයි.
දේවවචනයෙන් මැණික්
it-2-E 309
මන්නා
විස්තරය. මන්නා කියන්නේ “කොත්තමල්ලි ඇටයකට සමාන” සුදු පාට දෙයක්. ඒවා විනිවිද පෙනෙන, මුතු හා සමාන පෙනුමක් තිබුණ, ඇලෙනසුලු ඩෙලියම් ලාටු වගෙයි. ඒ වගේම ඒවාවල රස “තෙල් මිශ්‍ර කර සාදාගත් කැවිලිවල” රසට සහ “පැණි දමා සෑදූ කැවිලිවල රසට” සමාන වුණා. ඇඹරුම් ගලකින් හරි වංගෙඩියකින් හරි මන්නා කුඩු කරගත්තාට පස්සේ ඒක තම්බගත්තා. එහෙමත් නැත්නම් ඒවායින් රවුම් කැවිලි හදාගත්තා.—නික් 16:23, 31; ගණන් 11:7, 8.
මාර්තු 22-28
දේවවචනය නිධානයක් | ගණන් කතාව 13-14
දේවවචනයෙන් මැණික්
it-1-E 740
දෙවියන් ඊශ්‍රායෙල්වරුන්ට දුන්න දේශය
දෙවියන් ඊශ්‍රායෙල්වරුන්ට දුන්න දේශය සරුසාර දේශයක්. මෝසෙස් පොරොන්දු දේශය ගැන හොයලා බලන්නත් එහේ පලදාවෙන් ටිකක් අරන් එන්නත් ඔත්තුකරුවන්ව යැව්වා. එයාලා මිදි පොකුරකුත් දෙළුම් ගෙඩි සහ අත්තික්කා ගෙඩි කිහිපයකුත් අරන් ආවා. එයාලා ගෙනාව මිදි පොකුර කොච්චර ලොකුද කියනවා නම් මිනිසුන් දෙන්නෙක්ට ඒක අත්තක ගැටගහලා උස්සන් එන්න සිද්ධ වුණා. විශ්වාසය අඩු නිසා එයාලගේ ධෛර්යය අඩු වෙලා තිබුණත් එයාලා මෙහෙම කිව්වා. “ඇත්තටම ඒ දේශය කිරියෙන් හා පැණියෙන් ඉතිරෙන දේශයක්.”—ගණන් 13:23, 27.
අප්‍රියෙල් 5-11
දේවවචනය නිධානයක් | ගණන් කතාව 17-19
දේවවචනයෙන් මැණික්
g02 6/8 14 2¶
ලුණු වටිනා වෙළඳ ද්‍රව්‍යයක්
සදාකාලික බව සහ වෙනස් නොවන බව සංකේතවත් කරන්නත් ලුණු යොදාගත්තා. ඒ නිසා බයිබලයේ දිගුකාලීන ගිවිසුමක් “ලුණු ගිවිසුමක්” විදිහට හඳුන්වනවා. (ගණන් කතාව 18:19) ඒ වගේ ගිවිසුමක් වලංගු කරන්න ඒකට හවුල් වෙන අය එකට එකතු වෙලා ලුණු අඩංගු ආහාරයක් භුක්ති වින්දා. මෝසෙස්ට දුන්න නීතියේ, පූජාසනය මත ඔප්පු කරපු පූජාවන්වලට ලුණු එකතු කරන්න කියලා අණ කරලා තිබුණා. එහෙම කරන්න කියලා කිව්වේ ලුණුවලින් දූෂ්‍ය නොවීම සහ දිරාපත් නොවීම නියෝජනය වුණු නිසයි.
අප්‍රියෙල් 19-25
දේවවචනය නිධානයක් | ගණන් කතාව 22-24
“යෙහෝවා දෙවියන් ශාපයක් ආශීර්වාදයකට පෙරළයි”
it-2-E 291
මෝඩකම
යෙහෝවා දෙවියන්ට විරුද්ධ වෙන එක මෝඩකමක්. බාලාම් කියන අනාගතවක්තෘවරයා බාලාක් රජගෙන් මුදල් ලබාගන්න මෝඩ විදිහට ඊශ්‍රායෙල්වරුන්ට ශාප කරන්න උත්සාහ කළා. ඒත් යෙහෝවා දෙවියන් එහෙම වෙන්න දුන්නේ නැහැ. දෙවියන් ඒක කරපු විදිහ ගැන පේතෘස් කිව්වේ මෙහෙමයි. “බර අදින ගොළු සතෙක් මිනිසෙකුගේ හඬින් ඒ අනාගතවක්තෘවරයාට කතා කරමින් ඔහුගේ උමතු ක්‍රියාකලාපය නතර කර දැමීමට උත්සාහ කළේය.”—2පේතෘ 2:15, 16; ගණන් 22:26-31.
අප්‍රියෙල් 26–මැයි 2
දේවවචනය නිධානයක් | ගණන් කතාව 25-26
දේවවචනයෙන් මැණික්
it-1-E 359 1-2¶
සීමා මායිම්
ගෝත්‍රවලට ඉඩම් බෙදා දෙද්දී දාදු දාලා එන ප්‍රතිඵලය සහ ගෝත්‍රයේ ප්‍රමාණය කියන කාරණා දෙක සැලකිල්ලට ගත්තා. දාදු දාන එකෙන් තමයි යම් ගෝත්‍රයකට දෙන්න ඕනෙ කොයි ප්‍රදේශයද කියලා තීරණය කළේ. දාදු දාලා එන තීරණය යෙහෝවා දෙවියන්ගෙන් ලැබෙන තීරණයක් නිසා ගෝත්‍ර අතර ඊර්ෂ්‍යාවක් ඇති වෙන එක සහ රණ්ඩු ඇති වෙන එක වැළකුණා.—හිතෝ 16:33.
එක් එක් ගෝත්‍රයේ ප්‍රමාණය අනුව ඒ ගෝත්‍රයට කොයි තරම් ඉඩම් ප්‍රමාණයක් ලැබෙනවාද කියන එක තීරණය කළා. ඒ ගැන බයිබලයේ මෙහෙම කියනවා. “එක් එක් ගෝත්‍රයට හා එක් එක් පවුලට දිය යුතු ප්‍රදේශය තීරණය කළ යුත්තේ දාදු දැමීමෙනුයි. දාදු වැටෙන ආකාරයට අනුව ඔවුන්ට අයිති වන ප්‍රදේශය නියම වෙයි. විශාල පවුල්වලට විශාල ඉඩම් ප්‍රමාණයක්ද කුඩා පවුල්වලට කුඩා ඉඩම් ප්‍රමාණයක්ද උරුමයක් ලෙස දිය යුතුයි. ඔබේ ගෝත්‍රයට අනුව ඔබට උරුමයක් ලැබෙයි.”—ගණන් 33:54.