‘ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත’ සඳහා තොරතුරු
සැප්තැම්බර් 6-12
දේවවචනය නිධානයක් | ද්විතීය කතාව 33-34
“යෙහෝවාගේ ‘සවිමත් දෑතේ’ රැකවරණය ලබන්න”
it-2-E 51
යෙෂුරූන්
යෙෂුරූන් කියන්නේ ඊශ්‍රායෙල් ජාතිය හඳුන්වන්න පාවිච්චි කරපු ගෞරවාන්විත නමක්. “යෙෂුරූන්” කියන නම ඇහෙද්දී ඊශ්‍රායෙල්වරුන්ට වැදගත් දේවල් දෙකක් මතක් වුණා. ඒ තමයි එයාලා යෙහෝවා දෙවියන් එක්ක ගිවිසුමක් ඇති කරගෙන ඉන්නවා සහ යෙහෝවා දෙවියන් කැමති විදිහට ජීවත් වෙන්න එයාලා බැඳිලා ඉන්නවා කියන දේ. (ද්වි 33:5, 26; යෙසා 44:2) හැබැයි ඊශ්‍රායෙල්වරු ඒ නමට එකඟව ජීවත් වුණේ නැහැ. එයාලා යෙහෝවා දෙවියන්ව අත්හැරියා. ගැලවුම්කරුව පිළිගත්තෙත් නැහැ.—ද්වි 32:15.
දේවවචනයෙන් මැණික්
it-2-E 439 3¶
මෝසෙස්
මෝසෙස්ගේ සිරුර භූමදානය කරපු තැන යෙහෝවා දෙවියන් හෙළි කළේ නැහැ. ඒ ඇයි? සමහරවිට ඔහු එහෙම කරන්න ඇත්තේ ඊශ්‍රායෙල්වරු ඒ තැන දැනගත්තොත් එයාලා ඒක පූජනීය තැනක් විදිහට සලකලා ඒකට නමස්කාර කරයි කියලා දෙවියන් දැනන් හිටපු නිසා වෙන්න ඇති. පේන විදිහට සාතනුත් හරිම ආසාවෙන් ඉඳලා තියෙනවා ඊශ්‍රායෙල්වරු මෝසෙස්ගේ සිරුරට නමස්කාර කරනවා දකින්න. යූද් පොතේ තියෙන මේ දෙයින් ඒක හොඳටම පැහැදිලි වෙනවා. “නමුත් මෝසෙස්ගේ මළ සිරුර ගැන අග්‍රදේවදූත මිකායෙල් සහ යක්ෂයා අතර මතභේදයක් ඇති වූ විට ඔහු යක්ෂයාට විරුද්ධව දැඩි විනිශ්චයක් දීමට එඩිතර වූයේ නැත. ඒ වෙනුවට, ‘ඔබට යෙහෝවා දෙවිගෙන් නියමිත විනිශ්චය ලැබෙයි’ කියා ඔහු පැවසුවේය.”—යූද් 9.
සැප්තැම්බර් 20-26
දේවවචනය නිධානයක් | යොෂුවා 3-5
“විශ්වාසය ක්‍රියාවෙන් පෙන්නන්න”
it-2-E 105
යොර්දාන්
සාමාන්‍යයෙන් යොර්දාන් ගඟේ ගැඹුර අඩි 3ත් 10ත් (මීටර් 1ත් 3ත්) අතර වෙනවා. ගඟේ පළල සාමාන්‍යයෙන් අඩි 90ත් 100ත් (මීටර් 27ත් 30ත්) අතර වෙනවා. හැබැයි වසන්ත කාලේදී යොර්දාන් ගඟ පිටාර ගලන නිසා ගඟේ ගැඹුරත් පළලත් තව වැඩි වෙනවා. (යොෂු 3:15) ඒ වගේ කාලෙක විශේෂයෙන්ම යෙරිකෝව ළඟින් යොර්දාන් ගඟ හරහා යන එක හරිම භයානකයි. ඒක කොච්චර භයානකද කියනවා නම් මෑත කාලෙකත් එතන නාන්න ගිය අය ගිලිලා මැරිලා තියෙනවා. හැබැයි ඊශ්‍රායෙල්වරුන්ට කිසිම කරදරයක් නැතුව යොර්දාන් ගඟ හරහා යන්න පුළුවන් වුණේ යෙහෝවා දෙවියන් ගඟේ වතුර ගලාගෙන එන එක නතර කරලා වියළි බිමක් ඇති වෙන්න සලස්වපු නිසයි.—යොෂු 3:14-17.
ඔක්තෝබර් 4-10
දේවවචනය නිධානයක් | යොෂුවා 8-9
“ගිබියොන්වරුන්ගෙන් පාඩමක්”
it-1-E 930-931
ගිබියොන්
යොෂුවාව මුණගැසීම. ගිබියොන්වරු පැවත ආවේ හිවීයවරුන්ගෙන්. කානාන් දේශයේ ජීවත් වුණු විනාශ වෙන්න නියම කරලා තිබුණු ජාතීන් හත අතරට එයාලත් අයිති වුණා. හැබැයි කානාන් දේශයේ හිටපු අනිත් ජාතීන්ට වඩා වෙනස්ම විදිහකටයි ගිබියොන්වරු වැඩ කළේ. එයාලගේ විශාල නගරය ආරක්ෂා කරගන්න තරම් ශක්තිමත් හමුදාවක් එයාලට නැහැ කියලා ගිබියොන්වරු තේරුම්ගත්තා. අනික යෙහෝවා දෙවියන් ඊශ්‍රායෙල්වරු එක්ක ඉන්න නිසා එයාලා එක්ක සටන් කරලා දිනන්න බැහැ කියලා ගිබියොන්වරු දැනන් හිටියා. ඒ නිසා යෙරිකෝවයි, ආයි නගරයයි විනාශ වුණා කියලා දැනගත්ත ගමන්ම එයාලා යොෂුවාව මුණගැහෙන්න ගියා. එයාලා එහෙම ගියේ යොෂුවා එක්ක සාම ගිවිසුමක් ඇති කරගන්න. හැබැයි එයාලා ඒක කළේ හරිම ඥානවන්ත විදිහට. එයාලට ඕනෙ වුණා එයාලා ආවේ හුඟක් දුර ඈතක ඉඳන් කියලා අඟවන්න. ඒ නිසා එයාලා පරණ ඇඳුම් ඇඳගෙන, ගෙවුණු පාවහන් දාගෙන, වේලුණු රොටි එයාලගේ මලුවලට දාගෙන, පැළිලා තිබුණු පරණ සම් භාජනත් අරන් තමයි එහෙට ගියේ. යෙහෝවා දෙවියන් ඊජිප්තුවේදී කරපු බලවත් දේවල් ගැනත් සීහොන් සහ ඕග් කියන අමෝරිවරුන්ගේ රජවරු දෙන්නාව විනාශ කරපු එක ගැනත් එයාලට ආරංචි වුණා කියලා ගිබියොන්වරු යොෂුවාට කිව්වා. හැබැයි එයාලා තැනට සුදුසු නුවණ පාවිච්චි කරපු නිසා යෙරිකෝවේ සහ ආයි නගරයේ විනාශය ගැන එයාලා දැනන් හිටියා කියලා පොඩ්ඩක්වත් ඇඟෙව්වේ නැහැ. මොකද දුර ඈත පළාතකට ඒ ආරංචිය එච්චර ඉක්මනින් දැනගන්න විදිහක් නැති නිසා එහෙම කිව්වා නම් තමන් කියපු බොරුව අහු වෙනවා කියලා ගිබියොන්වරු දැනන් හිටියා. අන්තිමේදී ගිබියොන්වරු කියපු දේ විශ්වාස කරපු ඊශ්‍රායෙල්වරු එයාලව පරික්ෂා කරලා බලලා එයාලා එක්ක සාම ගිවිසුමක් ඇති කරගත්තා.—යොෂු 9:3-15.
දේවවචනයෙන් මැණික්
it-1-E 1030
එල්ලා තැබීම
යෙහෝවා දෙවියන් ඊශ්‍රායෙල්වරුන්ට දීපු නීතියේ සඳහන් වෙලා තිබුණා කෙනෙක් මරණ දඬුවම ලබන්න තරම් වරදක් කළොත් එයාව මරලා එයාගේ සිරුර ලී කණුවක එල්ලලා තියන්න කියලා. “දෙවිගෙන් ශාප ලැබූ” ඒ කෙනාගේ මළ සිරුර දකින එක ඊශ්‍රායෙල්වරුන්ට අනතුරු ඇඟවීමක් වුණා. කණුවක එල්ලලා තිබුණු ඒ වගේ මළ සිරුරක් අඳුර වැටෙන්න කලින් ගුහාවක තැන්පත් කරන්න කියලත් ඒ නීතියේ කියලා තිබුණා. (ද්වි 21:22, 23) අපරාධකරු ඊශ්‍රායෙල් ජාතිකයෙක් වුණේ නැති අවස්ථාවලදීත් ඊශ්‍රායෙල්වරු ඒ නීතිය පිළිපැද්දා.—යොෂු 8:29; 10:26, 27.
ඔක්තෝබර් 11-17
දේවවචනය නිධානයක් | යොෂුවා 10-11
“යෙහෝවා දෙවියන් ඊශ්‍රායෙල්වරු වෙනුවෙන් සටන් කළා”
it-1-E 50
අදොනි-ෂෙදෙක්
අදොනි-ෂෙදෙක් කියන්නේ ඊශ්‍රායෙල්වරු පොරොන්දු දේශය අත් පත් කරගත්ත කාලේදී යෙරුසලම පාලනය කරපු රජ. එයා යොෂුවාට විරුද්ධව සටන් කරන්න යොර්දාන් ගඟට බටහිර පැත්තෙන් හිටපු රජවරුන්ව එකතු කරගත්තා. (යොෂු 9:1-3) හැබැයි ඒ වෙද්දී ගිබියොන්වරු යොෂුවා එක්ක සාම ගිවිසුමක් ඇති කරගෙනයි හිටියේ. ඒ ගැන අදොනි-ෂෙදෙක්ට ආරංචි වුණාම එයා අමෝරිවරුන්ගේ තවත් රජවරු හතරදෙනෙක්ව එකතු කරගෙන ගිබියොන්වරුන්ට විරුද්ධව සටන් කරන්න ලෑස්ති වුණා. හැබැයි එයාලා හිතුවේවත් නැති විදිහට යොෂුවා ගිබියොන්වරු වෙනුවෙන් සටන් කළා. ඒ නිසා ගිබියොන්වරුන්ට විරුද්ධව ආපු ඒ රජවරු පස්දෙනා මක්කේදාවලට පලා ගිහින් ගුහාවක හැංගුණා. අන්තිමේදී යොෂුවා අදොනි-ෂෙදෙක්වයි අනිත් රජවරු හතරදෙනාවයි අල්ලගෙන, එයාලව මරලා කණුවල එල්ලුවා. ඊටපස්සේ ඉර බැහැගෙන යද්දී ඒ රජවරුන්ගේ මළ කඳන් එයාලා හැංගිලා හිටපු ගුහාවටම දැම්මා.—යොෂු 10:1-27.
it-1-E 1020
හිම කැට
යෙහෝවා දෙවියන් යොදාගත්තා. යෙහෝවා දෙවියන් අතීතයේදී තමන්ගේ අරමුණ ඉටු කරන්නත් තමන්ට කොයි තරම් බලයක් තියෙනවාද කියලා පෙන්නන්නත් හිම කැට වර්ෂාවන් පාවිච්චි කරලා තියෙනවා. (ගීතා 148:1, 8; යෙසා 30:30) ඊජිප්තුවරුන්ට ගෙනාපු 7වෙනි පීඩාවේදී තමයි බයිබලේ මුල්ම වතාවට හිම කැට වර්ෂාවක් ගැන සඳහන් වෙන්නේ. ඒ හිම කැට වර්ෂාවෙන් ඊජිප්තුවරුන්ට, එයාලගේ වගාබිම්වලට, ගස් කොළන්වලට, සතුන්ට ලොකු හානියක් වුණත් ගෝෂෙන් දේශයේ හිටපු ඊශ්‍රායෙල්වරුන්ට නම් කිසිම හානියක් වුණේ නැහැ. (නික් 9:18-26; ගීතා 78:47, 48; 105:32, 33) පස්සේ ඊශ්‍රායෙල්වරු පොරොන්දු දේශයට ගියාම යොෂුවා ගිබියොන්වරු වෙනුවෙන් සටන් කරපු අවස්ථාවේදීත් අමෝරිවරුන්ට පහර දෙන්න යෙහෝවා දෙවියන් හිම කැට වර්ෂාවක් යොදාගත්තා. ඊශ්‍රායෙල්වරුන් එක්ක කරපු සටනේදී මැරුණාට වඩා වැඩි ගාණක් ඒ හිම කැට වර්ෂාවෙන් මැරුණා.—යොෂු 10:3-7, 11.
ඔක්තෝබර් 18-24
දේවවචනය නිධානයක් | යොෂුවා 12-14
දේවවචනයෙන් මැණික්
it-1-E 902-903
ගෙබල්වරු
යොෂුවාගේ කාලේදී ඊශ්‍රායෙල්වරු යටත් කරගන්නවා කියලා යෙහෝවා දෙවියන් කියලා තිබුණු දේශ අතරේ “ගෙබල්වරුන්ගේ දේශයත්” තිබුණා. (යොෂු 13:1-5) හැබැයි සමහර විවේචකයන් කියනවා ගෙබල් දේශය තිබුණේ ඊශ්‍රායෙල් දේශයේ උතුරට වෙන්න සෑහෙන ඈතකින් (කි.මී. 100ක් විතර ඈතකින්) නිසාත් ඊශ්‍රායෙල්වරු ගෙබල් දේශය යටත් කරගත්තා කියලා කියන්න පැහැදිලි සාක්ෂි නැති නිසාත් බයිබලේ සඳහන් වෙන ඒ තොරතුර නිවැරදි නැහැ කියලා. හැබැයි අපි මතක තියාගන්න ඕනෙ දෙයක් තියෙනවා. ඒ තමයි යොෂුවා 13:2-7 සඳහන් දේශයන් අත් කරගන්න නම් ඊශ්‍රායෙල්වරු යෙහෝවා දෙවියන්ට කීකරු වෙන්න ඕනෙ වුණා කියන දේ. ඒත් ඊශ්‍රායෙල්වරු යෙහෝවා දෙවියන්ට අකීකරු වුණ නිසා එයාලට කවදාවත් ගෙබෙල්වරුන්ගේ දේශය අත් කරගන්න බැරි වෙන්න ඇති.—යොෂු 23:12, 13.
ඔක්තෝබර් 25-31
දේවවචනය නිධානයක් | යොෂුවා 15-17
“ඔයාගේ වටිනා උරුමය රැකගන්න”
it-1-E 1083 3¶
හෙබ්‍රොන්
ඊශ්‍රායෙල්වරු කානාන් දේශය යටත් කරගද්දී හෙබ්‍රොන් නගරයත් විනාශ කරලා එහේ රජවයි, නගරේ හිටපු හැමෝවමයි මරලා දැම්මා. (යොෂු 10:36, 37) පස්සේ කාලෙක ඒක ආරක්ෂිත නගරයක් විදිහටත් පූජකයන්ට අයිති නගරයක් විදිහටත් නම් කළා. ඒ කොහොමවුණත් හෙබ්‍රොන් “නගරයේ කෙත්වතු සහ ගම්මාන” යෙහෝවා දෙවියන් කාලෙබ්ට උරුමයක් විදිහට දීලයි තිබුණේ.—යොෂු 14:13, 14; 20:7; 21:9-13.
it-1-E 848
මෙහෙකාරකම
යෙහෝවා දෙවියන් ඊශ්‍රායෙල්වරුන්ට කිව්වා පොරොන්දු දේශයට ගියාට පස්සේ කානානිවරුන්ව සම්පූර්ණෙන්ම විනාශ කරලා දාන්න කියලා. හැබැයි ඒගොල්ලෝ ඒ ආඥාවට කීකරු වෙන්නේ නැතුව කානානිවරුන්ව මෙහෙකාරකමට තියාගත්තා. ඒක ඊශ්‍රායෙල්වරුන්ට කොච්චර නරක විදිහට බලපෑවාද කියනවා නම් කානානිවරු නිසා එයාලා බොරු දෙවිවරුන්ටත් නමස්කාර කළා.—යොෂු 16:10; විනි 1:28; 2:3, 11, 12.
it-1-E 402 3¶
කානානිවරු
ඊශ්‍රායෙල්වරු පොරොන්දු දේශය අත් පත් කරගද්දී හුඟක් කානානිවරුන්ව යටත් කරගන්න බැරි වුණත් ‘යෙහෝවා දෙවි ඊශ්‍රායෙල්වරුන්ගේ මුතුන්මිත්තන්ට පොරොන්දු වුණ විදිහටම’ ඒ දේශය උරුමයක් විදිහට එයාලට දුන්නා. (යොෂු 21:43-45) යෙහෝවා දෙවියන් කලින්ම කියලා තිබුණා කානානිවරුන්ව දේශයෙන් පන්නලා දාන්නේ “ටිකෙන් ටික” කියලා. මොකද එහෙම වුණේ නැත්නම් වනසතුන්ගේ ගාණ වැඩි වෙලා ඒකෙන් ඊශ්‍රායෙල්වරුන්ට හානියක් වෙන්න ඉඩ තිබුණා. (නික් 23:29, 30; ද්වි 7:22) කානානිවරුන්ට තිබුණ දියුණු යුධ උපකරණ, යකඩ උල් සවි කරපු අශ්ව රථ නිසා කානාන් දේශයේ තිබුණු සමහර ප්‍රදේශ යටත් කරගන්න බැරි වුණත් ඒකෙන් කියන්න බැහැ යෙහෝවා ඔහු දුන්න පොරොන්දුව ඉටු කළේ නැහැ කියලා. (යොෂු 17:16-18; විනි 4:13) ඇත්තටම ඊශ්‍රායෙල්වරු සමහර යුද්ධවලදී පැරදුණේ එයාලා යෙහෝවා දෙවියන්ට විශ්වාසවන්තව හිටියේ නැති නිසයි.—ගණන් 14:44, 45; යොෂු 7:1-12.