-
අත්තික්කා ගස යොදාගෙන විශ්වාසය ගැන උගන්වයිමාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
-
-
105වෙනි පරිච්ඡේදය
අත්තික්කා ගස යොදාගෙන විශ්වාසය ගැන උගන්වයි
මතෙව් 21:19-27 මාක් 11:19-33 ලූක් 20:1-8
විශ්වාසය ගැන පාඩමක්
යේසුස්ට තියෙන අධිකාරිය ගැන ප්‍රශ්න කරයි
යේසුස් සඳුදා දවාලේ ආයෙත් ඔලීව කන්දේ නැඟෙනහිර බෑවුමේ පිහිටලා තියෙන බෙතානියට යනවා. පෙනෙන විදිහට ඔහු රෑ නතර වෙන්නේ ලාසරුස්, මරියා සහ මාර්තාගේ නිවසේ.
ඊළඟ දවසේ උදේ ඒ කියන්නේ නීසාන් 11වෙනිදා යේසුස් ගෝලයන් එක්ක ආපහු යෙරුසලමට යනවා. මේක තමයි ඔහු දේවමාලිගාවට යන අන්තිම වතාව සහ සේවයේ හවුල් වෙන අන්තිම දවස. තව ටික දවසකින් නියෝජිතයන් එක්ක පාස්කුව සමරන යේසුස් තමන්ගේ මරණය සිහි කරන විදිහ ඔවුන්ට උගන්වන්නත් අසාධාරණ නඩුවකට මුහුණ දීලා මරණය අද්දකින්නත් නියමිතයි.
බෙතානියේ ඉඳන් යෙරුසලමට එද්දී කලින් දවසේ යේසුස් ශාප කරපු අත්තික්කා ගහ දකින පේතෘස් පුදුමයෙන් මෙහෙම කියනවා. “ගුරුතුමනි, අර බලන්න! ඔබ ශාප කළ අර අත්තික්කා ගස මැලවී ගිහිල්ලා.”—මාක් 11:21.
යේසුස් ඒ ගහ මැලවිලා යන්න සැලැස්සුවේ ඇයි? ඒකට හේතුව ඔහු මෙහෙම පැහැදිලි කරනවා. “ඇත්තෙන්ම මා ඔබට කියන්නේ, ඔබ කිසිම සැකයක් ඇති කරගන්නේ නැතුව විශ්වාසයකින් සිටියොත් මා අත්තික්කා ගසට කළ දේ ඔබටත් කරන්න හැකි වෙයි. ඒ විතරක් නොවෙයි, ඔබ මේ කන්දට, ‘මෙතැනින් ඉවත් වී මුහුදේ ගිලෙන්න’ කියා කීවොත් එයද සිදු වෙයි. මෙයාකාරයට විශ්වාසයක් ඇතුව ඕනෑම දෙයක් ඔබ යාච්ඤාවෙන් ඉල්ලුවොත් ඒ දේ ඔබට ලැබෙයි.” (මතෙව් 21:21, 22) සැබෑ විශ්වාසයක් තියෙනවා නම් කන්දක් වුණත් ඉවත් කරන්න පුළුවන් කියලා ඔහු කලින් වතාවකත් කියලා තිබුණා. අත්තික්කා ගහ සම්බන්ධ සිද්ධියෙනුත් ඔහු උගන්වන්නේ ඒ දේම තමයි.—මතෙව් 17:20.
ඔහු තවදුරටත් ඒ ගැන කියන්නේ මෙහෙමයි. “ඔබ යාච්ඤාවෙන් ඉල්ලන සෑම දෙයක්ම ඔබට මේ වන විටත් ලැබී තිබෙනවා කියා විශ්වාස කරන්න. එවිට ඒ දේවල් ඔබට අනිවාර්යයෙන්ම ලැබෙයි.” (මාක් 11:24) ඒ පාඩම යේසුස්ගේ අනුගාමිකයන්ට මොන තරම් ප්‍රයෝජනවත්ද! ළඟදීම නියෝජිතයන්ට දරුණු පීඩාවලට මුහුණ දෙන්න වෙන නිසා ඒ පාඩම ඔවුන්ට විශේෂයෙන්ම වැදගත් වෙනවා. අත්තික්කා ගහට සිද්ධ වුණු දෙයින් තවත් පාඩමක් ඉගෙනගන්න පුළුවන්.
ඒ අත්තික්කා ගහ සහ ඊශ්‍රායෙල් සෙනඟ අතරත් සමානකමක් තියෙනවා. ඔවුන් දෙවියන් එක්ක ගිවිසුමකින් බැඳිලයි ඉන්නේ. ඔවුන් දෙවිගේ නීතියට කීකරු සෙනඟක් කියලා පෙනෙන්න තිබුණත් ඔවුන්ගේ විශ්වාසයේ අඩුවක් තියෙනවා කියලත් ඔවුන් පල දරන්නේ නැහැ කියලත් දැන් පැහැදිලිවම ඔප්පු වෙලා තියෙනවා. ඔවුන් දෙවිගේ පුතාවත් ප්‍රතික්ෂේප කරනවා. පල හටගෙන තිබුණේ නැති අත්තික්කා ගහ මැලවී යෑමට සලස්වපු එකෙන් යේසුස් පැහැදිලි කරන්නේ ඒ හා සමානව පල දරන්නේ නැති, විශ්වාසයක් නැති මේ ජාතියට අනාගතයේදී මුහුණ දෙන්න වෙන දේ ගැනයි.
ටික වෙලාවකට පස්සේ යේසුස් සහ ගෝලයන් යෙරුසලමට එනවා. පුරුදු විදිහට දේවමාලිගාවට යන යේසුස් උගන්වන්න පටන්ගන්නවා. ඔහුට අභියෝග කරන නායක පූජකයන් සහ ජනතාව අතර හිටිය වැඩිමහල්ලන් ඔහුගෙන් අහන්නේ මෙහෙමයි. “අවසරයක් ඇතුවද ඔබ මේ දේවල් කරන්නේ? කවුද ඔබට ඒ අවසරය දුන්නේ?” (මාක් 11:28) ඔවුන් එහෙම අහන්නේ කලින් දවසේ යේසුස් එතැන හිටිය මුදල් මාරු කරන අයට කරපු දේ නිසා වෙන්න ඇති.
යේසුස් දැන් මෙහෙම කියනවා. “මමත් කැමතියි ඔබෙන් ප්‍රශ්නයක් අසන්න. ඔබ ඒ ප්‍රශ්නයට පිළිතුරු දුන්නොත් මා කරන දේවල් කරන්න මට අවසර ලැබුණේ කාගෙන්ද කියා මමත් ඔබට කියන්නම්. යොහන් මිනිසුන්ව බව්තීස්ම කළේ දෙවිගේ අවසරයෙන්ද නැත්නම් මිනිසුන්ගේ අවසරයෙන්ද කියා මට කියන්න පුළුවන්ද?” යේසුස්ට අභියෝග කරපු ඔවුන්ට දැන් අභියෝගයක් එල්ල වෙලා. ඒ නිසා ඔවුන් මෙහෙම කතා වෙනවා. “අප ‘දෙවිගේ අවසරයෙන්’ කියා කිව්වොත්, ‘ඔබ ඔහුව විශ්වාස නොකළේ ඇයි’ කියා ඔහු අපෙන් අසයි. නමුත් ‘මිනිසුන්ගේ අවසරයෙන්’ කියා පවසන්නත් අපට බැහැ.” ඔවුන් එහෙම කියන්න බය වුණේ සෙනඟ ‘යොහන්ව අනාගතවක්තෘවරයෙකු ලෙස පිළිගත් නිසයි.’—මාක් 11:29-32.
උත්තරයක් දෙන්න බැරුව ළත වෙන ඔවුන් අන්තිමේදී කියන්නේ “අපි දන්නේ නැහැ” කියලයි. ඒ නිසා යේසුස් ඔවුන්ට මෙහෙම කියනවා. “එසේනම් මම මේ දේවල් කරන්නේ කාගේ අවසරයෙන්ද කියා මමත් ඔබට කියන්නේ නැහැ.”—මාක් 11:33.
-
-
මිදිවතු ගැන නිදර්ශන දෙකක්මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
-
-
106වෙනි පරිච්ඡේදය
මිදිවතු ගැන නිදර්ශන දෙකක්
මතෙව් 21:28-46 මාක් 12:1-12 ලූක් 20:9-19
පුතුන් දෙදෙනා ගැන නිදර්ශනය
මිදිවත්තක වැවිලිකරුවන් ගැන නිදර්ශනය
යේසුස් දේවමාලිගාවේ ඉද්දී නායක පූජකයන් සහ ජනතාව අතර හිටිය වැඩිමහල්ලන් ඔහුට තියෙන අධිකාරිය ගැන ප්‍රශ්න කළාම ඔහුත් ඔවුන්ගෙන් ප්‍රශ්නයක් ඇහුවා. ඒ නිසා ඔවුන්ට කටඋත්තරත් නැතුව ගියා. ඔවුන් මොන වගේ අයද කියලා පැහැදිලි කරන්න යේසුස් දැන් මේ නිදර්ශනය කියනවා.
“එක්තරා මිනිසෙකුට දරුවන් දෙදෙනෙක් සිටියා. ඔහු පළමුවෙනි පුතා ළඟට ගොස්, ‘පුතාට පුළුවන්ද අද ගිහින් මිදිවත්තේ වැඩ කරන්න’ කියා ඇසුවා. එවිට ඔහු, ‘පියාණෙනි, මම යන්නම්’ කියා කිව්වත් ඔහු ගියේ නැහැ. ඉන්පසු එම මිනිසා දෙවෙනි පුතා ළඟට ගොස් ඒ දේම ඇසුවා. ඔහු, ‘මට යන්න බැහැ’ කියා පැවසුවත් පසුව ඔහු තමන් කී දේ ගැන කනගාටු වී මිදිවත්තේ වැඩට ගියා. ඒ දෙදෙනා අතරින් තම පියාගේ කැමැත්ත කළේ කවුද?” (මතෙව් 21:28-31) අන්තිමේදී දෙවෙනි පුතා තමයි තාත්තාගේ කැමැත්ත කළේ.
යේසුස් ඔහුට විරුද්ධ අයට දැන් කියන්නේ ‘බදු එකතු කරන්නන් සහ ගණිකාවන් ඔබට පළමුවෙන් දෙවිගේ රාජ්‍යයට ඇතුල් වෙනවා’ කියලයි. ඔව්, ඒ අය මුලින් දෙවිට සේවය කළේ නැහැ. ඒත් දෙවෙනි පුතා වගේ ඔවුන් වැරදි ගැන පසුතැවිලා දෙවිට සේවය කරනවා. හැබැයි පළවෙනි පුතා වගේ හැසිරෙන ආගමික නායකයන් දෙවිට සේවය කරනවා කියලා කිව්වත් එහෙම කරන්නේ නැහැ. ඊළඟට යේසුස් මෙහෙම කියනවා. “යොහන් [බව්තීස්ත] ඔබට ධර්මිෂ්ඨ මාර්ගය පෙන්වමින් ඔබ වෙතට ආවත් ඔබ ඔහුව විශ්වාස කළේ නැහැ. එනමුත් බදු එකතු කරන්නන් සහ ගණිකාවන් ඔහුව විශ්වාස කළා. ඒ සියල්ල දුටුවත් ඔබ කළ දේ ගැන පසුතැවිලි වී ඔබ ඔහුව විශ්වාස කළේ නැහැ.”—මතෙව් 21:31, 32.
ඒ ආගමික නායකයන්ගේ දුෂ්ටකම පැහැදිලි කරන්න යේසුස් දැන් මේ නිදර්ශනය කියනවා. “මිදිවත්තක් වැවූ එක්තරා මිනිසෙක් සිටියා. ඔහු එය වටා වැටක් බැඳ, මිදි පෑගීම සඳහා වළක් හාරා, ටැඹක් ඉදි කර එය වැවිලිකරුවන් පිරිසකට බද්දට දී පිටරට ගියා. පලදාව නෙළන කාලය පැමිණි විට මිදිවත්තේ පලදාවෙන් යමක් ලබාගැනීමට ඔහු ඒ වැවිලිකරුවන් වෙතට ඔහුගේ දාසයෙකුව යැව්වා. නමුත් ඔවුන් ඔහුව අල්ලාගෙන ඔහුට තැළුවා. ඔහු එතැනින් පිටත් වූයේ හිස් අතින්. පසුව ඔහු තවත් දාසයෙකුව ඔවුන් වෙතට යැව්වා. ඔවුන් මේ දාසයාගෙත් හිසට පහර දී ඔහුට නින්දා කළා. ඔහු තවත් දාසයෙකුව යැවූ විට ඔවුන් ඔහුව මරණයට පත් කළා. ඉන්පසුව ඔහු දාසයන් බොහෝදෙනෙකුව යැව්වා. ඔවුන්ගෙන් සමහරදෙනෙකුටද ඔවුන් තැළුවා. තවත් සමහරෙකුව මරා දැම්මා.”—මාක් 12:1-5.
යේසුස්ට සවන් දෙන අය ඒ නිදර්ශනය තේරුම්ගනියිද? සමහරවිට යෙසායා කියපු මේ දේ ඔවුන්ට මතක ඇති. “මේ මිදිවත්තේ අයිතිකරු ස්වර්ගයේ සේනාවල අධිපති වූ යෙහෝවා දෙවි වන මමය. මිදිවත්තෙන් සංකේතවත් කරන්නේ ඊශ්‍රායෙල් ජාතියවයි. මා ප්‍රිය කළ මිදිවැල නම් යූදා ගෝත්‍රයයි. ඔවුන් යුක්තිය ඉටු කරයි කියා මා බලාපොරොත්තු වූ නමුත් ඔවුහු නීතියට ගරු නොකළෝය.” (යෙසායා 5:7) යේසුස් කියපු නිදර්ශනයෙත් මිදිවත්තේ අයිතිකරුගෙන් නියෝජනය වෙන්නේ යෙහෝවා දෙවිව. වැටකින් ආරක්ෂා වෙලා තියෙන මිදිවත්තෙන් නියෝජනය වෙන්නේ දෙවිගේ නීතියෙන් ආරක්ෂාව ලබන ඊශ්‍රායෙල් සෙනඟව. ඔවුන්ට මඟ පෙන්වන්නත් හොඳින් පල දරන්න උදව් කරන්නත් යෙහෝවා දෙවියන් ඔවුන් වෙතට අනාගතවක්තෘවරුන්ව යැව්වා.
ඒත් “වැවිලිකරුවන්” ඔවුන් වෙතට එවපු “දාසයන්ව” මරලා දැම්මා. යේසුස් තවදුරටත් මෙහෙම කියනවා. ‘අවසානයේදී ඔවුන් වෙත යැවීමට ඔහුට ඉතුරුව සිටියේ එක් කෙනෙක් පමණයි. ඒ ඔහුගේ ප්‍රේමණීය පුත්‍රයායි. “ඔවුන් මාගේ පුත්‍රයාට ගරු කරයි” කියා සිතාගෙන ඔහු ඔහුවත් ඔවුන් වෙතට යැව්වා. එවිට ඒ වැවිලිකරුවන් තම තමන් අතරේ කතා කරගනිමින්, “මොහු තමයි උරුමක්කාරයා. එන්න, අපි මොහුව මරා දමමු. එතකොට ඔහුගේ උරුමය අයිති වන්නේ අපටයි” කියා පැවසුවා. එමනිසා ඔවුන් ඔහුව අල්ලාගෙන මරා දැමුවා.’—මාක් 12:6-8.
“මිදිවත්තේ අයිතිකරු පැමිණි විට ඔහු ඒ වැවිලිකරුවන්ට කුමක් කරයිද” කියලා යේසුස් අහද්දී ආගමික නායකයන් මෙහෙම කියනවා. “ඔවුන් නපුරු නිසා ඔහු ඔවුන් පිට දරුණු විනාශයක් ගෙනැවිත් නියම කාලයේදී තමන්ට පලදාව ලබා දෙන වෙනත් වැවිලිකරුවන්ට ඒ මිදිවත්ත බද්දට දෙයි.”—මාක් 12:9; මතෙව් 21:41.
යෙහෝවා දෙවිගේ “මිදිවත්තේ” “වැවිලිකරුවන්” වන ඔවුන් නොදැනුවත්වම කිව්වේ ඔවුන්ට මුහුණ දෙන්න වෙන විනිශ්චය ගැනයි. ඔවුන් නිපදවයි කියලා යෙහෝවා දෙවියන් බලාපොරොත්තු වෙන පල අතරට තම පුත්‍රයා වන මෙසියස් ගැන විශ්වාසය තියන එකත් ඇතුළත්. ආගමික නායකයන් දිහා බලන යේසුස් ඔවුන්ට මෙහෙම කියනවා. “මේ දේ ඔබ ශුද්ධ ලියවිල්ලෙන් කවදාවත් කියවා නැද්ද? එනම්, ‘ඉදි කරන්නන් ඉවත දැමූ ඒ ගල ප්‍රධාන ගල වී ඇත. එය යෙහෝවා දෙවි විසින්ම කළ මහත් ක්‍රියාවක්ය. අපේ ඇස්වලට එය අදහාගත නොහැකි තරම්ය.’” (මාක් 12:10, 11) කාරණය පැහැදිලි කරමින් යේසුස් දැන් කියන්නේ ‘දෙවිගේ රාජ්‍යය ඔබෙන් ගෙන රාජ්‍යය වෙනුවෙන් පල උපදවන වෙනත් ජාතියකට එය දෙනු ලබනවා’ කියලයි.—මතෙව් 21:43.
නීතිය පිටපත් කරන්නන් සහ නායක පූජකයන් තේරුම්ගන්නවා යේසුස් “එම උපමාව කිව්වේ තමන් ගැන” කියලා. (ලූක් 20:19) ඒ නිසා ඒ වෙලාවේම “උරුමක්කාරයා” වන ඔහුව මරා දමන්න ඔවුන්ට උවමනා වෙනවා. ඒත් යේසුස්ව අනාගතවක්තෘවරයෙක් විදිහට සලකන සෙනඟට තියෙන බය නිසා ඒ වෙලාවේ ඔවුන් යේසුස්ව මරා දමන්න උත්සාහ කරන්නේ නැහැ.
-
-
විවාහ උත්සවයට ආරාධනා ලැබූ අයව රජ කැඳවයිමාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
-
-
107වෙනි පරිච්ඡේදය
විවාහ උත්සවයට ආරාධනා ලැබූ අයව රජ කැඳවයි
විවාහ උත්සවය ගැන නිදර්ශනය
දැන් ගෙවීගෙන යන්නේ යේසුස් පොළොවේදී සේවය කරන අන්තිම හෝරා කිහිපය. ඔහු නිදර්ශන මාර්ගයෙන් නීතිය පිටපත් කරන අයගේ සහ ආගමික නායකයන්ගේ වැරදි හෙළි කරමිනුයි ඉන්නේ. ඒ නිසා තමයි ඔවුන් යේසුස්ව මරලා දාන්න උත්සාහ කරන්නේ. (ලූක් 20:19) යේසුස් දැන් ඔවුන් ගැන තවත් නිදර්ශනයක් කියනවා.
“තම පුත්‍රයාගේ විවාහය වෙනුවෙන් උත්සවයක් පිළියෙල කළ රජෙකුට ස්වර්ග රාජ්‍යය සමාන කළ හැකියි. විවාහ උත්සවය සඳහා ආරාධනා කළ අයව කැඳවාගෙන ඒමට ඔහු තම දාසයන්ව යැව්වත් ඒ ආරාධිතයන් එන්න කැමති වුණේ නැහැ.” (මතෙව් 22:2, 3) යේසුස් මේ නිදර්ශනයේදී “ස්වර්ග රාජ්‍යය” ගැන සඳහන් කරන නිසා ඔහු ‘රජ’ විදිහට හඳුන්වන කෙනාගෙන් නියෝජනය වෙන්නේ යෙහෝවා දෙවිව කියලා හිතන්න පුළුවන්. ඒ අනුව බලද්දී රජගේ පුතාගෙන් නියෝජනය වෙන්නේ යේසුස්ව කියලත් ආරාධනා ලබපු අයගෙන් නියෝජනය වෙන්නේ ස්වර්ග රාජ්‍යය උරුම කරගන්න අවස්ථාව ලැබෙන අයව කියලත් පැහැදිලි වෙනවා.
ඒ ආරාධනාව මුලින්ම ලැබුණේ කාටද? යේසුස් සහ ඔහුගේ නියෝජිතයන් දෙවිගේ රාජ්‍යය ගැන දේශනා කළේ කාටද කියලා හිතන්න. ඔවුන් දේශනා කළේ යුදෙව්වන්ට. (මතෙව් 10:6, 7; 15:24) ක්‍රි.පූ. 1513දී දෙවියන් ඊශ්‍රායෙල් සෙනඟ එක්ක නීතිය මාර්ගයෙන් ගිවිසුමක් ඇති කරගත්ත නිසා ඔවුන්ට තමයි “පූජකයන්ගෙන් යුත් රාජ්‍යයක්” වෙන්න මුලින්ම අවස්ථාව ලැබුණේ. (නික්මයාම 19:5-8) ඒත් “විවාහ උත්සවයට” ඔවුන්ව කැඳෙව්වේ කවදා ඉඳලද? ඒක ආරම්භ වුණේ ක්‍රි.ව. 29දී යේසුස් ස්වර්ග රාජ්‍යය ගැන දේශනා කරන්න පටන්ගත්ත අවස්ථාවේ ඉඳලයි.
ඒ ආරාධනාව ලබපු හුඟක් යුදෙව්වන් කළේ මොනවාද? යේසුස් කිව්වේ ඔවුන් “එන්න කැමති වුණේ නැහැ” කියලයි. ඔව්, ආගමික නායකයන් සහ මිනිසුන් අතරේ හිටිය හුඟදෙනෙක් යේසුස්ව මෙසියස් විදිහටත් දෙවියන් පත් කරපු රජ විදිහටත් පිළිගත්තේ නැහැ.
ඒත් ඔවුන්ට තවත් අවස්ථාවක් ලැබෙනවා කියලා යේසුස් මෙහෙම පැහැදිලි කරනවා. “නැවත වරක් ඔහු තවත් දාසයන් කිහිපදෙනෙකුව යවා, ‘“මෙන්න! දහවල් භෝජනය පිළියෙල කර තිබෙනවා. මගේ ගවයන්වත් තර කළ සතුන්වත් මරා, සියල්ල සූදානම් කර තිබෙනවා. විවාහ උත්සවයට එන්න” කියා ආරාධිතයන්ට කියන්න’ කියා පැවසුවා. නමුත් ආරාධිතයන් එය නොසලකා, කෙනෙක් තමාගේම කෙතටත් තව කෙනෙක් තමාගේ ව්‍යාපාරික කටයුතු සඳහාත් ගියා. නමුත් අනික් අය එම දාසයන්ව අල්ලාගෙන ඔවුන්ට අගෞරවනීය ලෙස සලකා ඔවුන්ව මරා දැමුවා.” (මතෙව් 22:4-6) ක්‍රිස්තියානි සභාව පිහිටෙව්වාට පස්සේ වෙන දෙයක් ගැන තමයි යේසුස් ඒකෙන් පැහැදිලි කරන්නේ. දෙවිගේ රාජ්‍යයට ඇතුල් වෙන්න ඒ වෙද්දිත් යුදෙව්වන්ට අවස්ථාව තියෙනවා. ඒත් ඒ අවස්ථාවත් ප්‍රතික්ෂේප කරන යුදෙව්වන් ‘රජගේ දාසයන්ටත්’ පීඩා කරනවා.—ක්‍රියා 4:13-18; 7:54, 58.
අන්තිමේදී ඔවුන්ට මුහුණ දෙන්න වෙන්නේ මොනවාටද? යේසුස් කියන මේ දෙයින් ඒක පැහැදිලි වෙනවා. “රජ උදහස් වී, තමාගේ සේනාව යවා ඒ මිනී මරුවන්ව විනාශ කර ඔවුන්ගේ නුවර ගිනිබත් කළා.” (මතෙව් 22:7) ක්‍රි.ව. 70දී යුදෙව්වන්ට ඒක අද්දකින්න ලැබෙනවා. ඔව්, රෝමවරුන් ඇවිත් “ඔවුන්ගේ නුවර” සම්පූර්ණයෙන්ම විනාශ කරනවා.
නිදර්ශනයේ ඊළඟට වෙන දේ ගැන යේසුස් මෙහෙම කියනවා. “ඉන්පසු ඔහු [රජ] තම දාසයන්ව කැඳවා, ‘විවාහ උත්සවය සූදානම් කර තිබෙනවා. නමුත් ආරාධිතයන් ඊට හවුල් වීමට වටින අය නම් නොවෙයි. ඒ නිසා නුවරින් පිට විහිදී ඇති මාවත්වලට ගොස් ඔබට හමු වන සියල්ලන්ටම විවාහ උත්සවයට ආරාධනා කරන්න’ කියා පැවසුවා. ඒ අනුව එම දාසයන් මාවත්වලට ගොස් තමුන්ට හමු වූ සියල්ලන්ව එනම්, දුෂ්ට හා යහපත් යන දෙපිරිසම එකට රැස් කළා. කෑමට ඉඳගෙන සිටි අයගෙන් විවාහ උත්සව ශාලාව පිරී ගියා.”—මතෙව් 22:8-10.
යුදෙව්වන් ආරාධනාව ප්‍රතික්ෂේප කරන නිසා තවත් පිරිසකට ඒ ආරාධනාව ලැබෙනවා කියලා ඒකෙන් පැහැදිලියි. ඒක වෙන්න පටන්ගන්නේ ක්‍රි.ව. 36දී පේතෘස්, රෝම හමුදා නිලධාරියෙක් වුණු කොර්නේලියස්ට සහ ඔහුගේ පවුලේ අයට ක්‍රිස්තියානීන් වෙන්න උදව් කරන අවස්ථාවේ ඉඳලයි. එදා ඉඳන් තමයි යුදෙව් නොවන ජාතීන්ටත් ස්වර්ග රාජ්‍යයට ඇතුල් වෙන්න අවස්ථාව ලැබෙන්නේ.—ක්‍රියා 10:1, 34-48.
විවාහ උත්සවයට ඇවිත් ඉන්න සමහර අයට “රජගේ” අනුමැතිය ලැබෙන්නේ නැහැ. යේසුස් කියන මේ දෙයින් ඒක පැහැදිලි වෙනවා. “අමුත්තන්ව බැලීමට රජ පැමිණි විට උත්සවයට සුදුසු නැති වස්ත්‍රයක් ඇඳගෙන සිටි මිනිසෙකුව ඔහු දුටුවා. එහෙයින් ඔහු ඒ මිනිසාට කතා කරමින්, ‘ඔබ උත්සවයට සුදුසු වස්ත්‍රයක් අඳින්නේ නැතුව මෙතැනට ඇතුල් වුණේ කොහොමද’ කියා ඇසුවා. එයට කිසි පිළිතුරක් දීමට ඒ මිනිසාට හැකි වුණේ නැහැ. එවිට රජ තම සේවකයන්ව කැඳවා, ‘මොහුගේ අත් පා බැඳ, පිටතට ඇද දමා අන්ධකාරයට දමන්න. එහිදී ඔහුට හඬමින්ද දත්මිටි කමින්ද කල් ගෙවන්න සිදු වෙයි’ කියා ඔවුන්ට පැවසුවා. ‘ආරාධිතයන් නම් බොහෝයි. නමුත් තෝරාගන්නේ ස්වල්පදෙනෙක්වයි.’”—මතෙව් 22:11-14.
යේසුස් කියපු නිදර්ශනයෙන් අදහස් වෙන්නේ මොනවාද කියලා ආගමික නායකයන් තේරුම්ගත්තේ නැතුව ඇති. හැබැයි යේසුස් කියන දේවල් නිසා ඔවුන්ට යේසුස් එක්ක තියෙන කේන්තිය තව තවත් වැඩි වෙනවා.
-
-
යේසුස් ආගමික නායකයන්ට හසු නොවෙයිමාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
-
-
108වෙනි පරිච්ඡේදය
යේසුස් ආගමික නායකයන්ට හසු නොවෙයි
මතෙව් 22:15-40 මාක් 12:13-34 ලූක් 20:20-40
සීසර්ගේ දේ සීසර්ට දෙන්න කියා පවසයි
නැවත නැඟිටින අයගේ විවාහය ගැන ප්‍රශ්න කරයි
උතුම්ම ආඥා දෙක ගැන කියයි
යේසුස් නිදර්ශන මාර්ගයෙන් ආගමික නායකයන්ගේ වැරදි හෙළි කරන නිසා ඔවුන් ඉන්නේ කේන්තියෙන්. ඒ නිසා යේසුස්ගේ කටින් රෝම ආණ්ඩුවට විරුද්ධව දෙයක් කියවගෙන ඔහුව ආණ්ඩුකාරයා ළඟට ගෙනියන්නයි පරිසිවරු උත්සාහ කරන්නේ. ඒ වෙනුවෙන් තම ගෝලයන්ව යේසුස් ළඟට යවන ඔවුන් ඒ අයට යම් ගෙවීමකුත් කරනවා.—ලූක් 6:7.
යේසුස් ළඟට යන ඔවුන් කියන්නේ මෙහෙමයි. “ගුරුතුමනි, ඔබ නිවැරදි ආකාරයට කතා කරන කෙනෙක් බවත් ඔබේ ඉගැන්වීම් නිවැරදි බවත් ඔබ කාගෙවත් පැත්ත නොගෙන කතා කරන බවත් දෙවි කියා දී තිබෙන මාර්ගය සත්‍යය පදනම් කරගෙන උගන්වන බවත් අපි දන්නවා. ඒ නිසා සීසර්ට බදු ගෙවිය යුතුද නැද්ද කියා අපට කියන්න පුළුවන්ද?” (ලූක් 20:21, 22) ඔවුන්ගේ කපටිකමත් කුහකකමත් තේරුම්ගන්න යේසුස් ඒ චාටු කතාවලට රැවටෙන්නේ නැහැ. ‘බදු ගෙවන්න ඕනෙ නැහැ’ කියලා යේසුස් කිව්වොත් රෝම ආණ්ඩුවට විරුද්ධව කතා කළා කියලා ඔහුව අත්අඩංගුවට ගනියි. ‘බදු ගෙවන්න ඕනේ’ කියලා කිව්වොත් රෝම පාලනයෙන් පීඩා විඳින මිනිසුන් යේසුස්ට විරුද්ධව කෝලහලයක් කරයි. යේසුස් මොනවා කියයිද?
ඔහු මෙහෙම කියනවා. “ඔබ මොන තරම් කුහකයෝද? ඔබ මගේ වරදක් අල්ලාගන්න උත්සාහ කරන්නේ ඇයි? බදු ගෙවීමට භාවිත කරන කාසියක් මට දෙන්න.” ඔවුන් ඩිනාරි කාසියක් ගෙනාවාම “මෙහි තිබෙන රූපයත් නමත් කාගේද” කියලා යේසුස් අහනවා. ඔවුන් උත්තර දෙන්නේ “සීසර්ගේ” කියලයි. “එසේනම් සීසර්ට අයිති දේ සීසර්ට දෙන්න. දෙවිට අයිති දේ දෙවිට දෙන්න” කියලා යේසුස් කියනවා.—මතෙව් 22:18-21.
ඒ ගැන පුදුම වෙන ඔවුන් එතැනින් පිට වෙනවා. පරිසිවරුන්ගේ උත්සාහය අසාර්ථක වුණත් සද්දුසිවරු යේසුස්ගේ වරදක් අල්ලාගන්න හිතාගෙන ඔහු ළඟට එනවා.
නැවත නැඟිටීම විශ්වාස නොකරන ඔවුන් යේසුස්ගෙන් මෙහෙම අහනවා. “ගුරුතුමනි, ‘මිනිසෙකු දරුවන් නැතුව මිය ගියොත් ඔහුගේ සහෝදරයෙක් ඔහුගේ බිරිඳව විවාහ කරගෙන තම සහෝදරයාගේ නමින් දරුවන් බිහි කළ යුතුයි’ කියා මෝසෙස් පැවසුවා. අප අතර සහෝදරයන් හත්දෙනෙක් සිටියා. පළමුවෙනියා විවාහ වූ පසුව මිය ගියා. ඔහුට දරුවන් නොසිටි නිසා ඔහුගේ බිරිඳව ඔහුගේ සහෝදරයාට විවාහ කර දුන්නා. දෙවෙනියාත් තුන්වෙනියාත් දරුවන් නැතුව මිය ගියා. එයාකාරයට හත්දෙනාම ඇයව විවාහ කරගත්තත් ඔවුන් සියලුදෙනාම දරුවන් නැතුව මිය ගියා. පසුව ස්ත්‍රියත් මිය ගියා. ඒ හත්දෙනාම ඇයව විවාහ කරගත් නිසා නැවත නැඟිටීමේදී ඇය බිරිඳ වෙන්නේ ඒ හත්දෙනා අතරින් කුමන කෙනාගේද?”—මතෙව් 22:24-28.
යේසුස් උත්තර දෙන්නේ මෙහෙමයි. “ඔබට මේ ගැන තිබෙන්නේ වැරදි වැටහීමක්. ශුද්ධ ලියවිල්ල ගැනවත් දෙවිගේ බලයේ ක්‍රියාකාරිත්වය ගැනවත් හරි අවබෝධයක් ඔබට නැති බව මෙයින් පෙනෙනවා. මන්ද නැවත නැඟිටීමේදී මිනිසුන් විවාහ වන්නේවත් ස්ත්‍රීන්ව විවාහ කර දෙන්නේවත් නැහැ. ඔවුන් ස්වර්ගයේ සිටින දේවදූතයන්ට සමාන වෙනවා. මිය ගිය අය නැවත නැඟිටුවනු ලබන බව මෝසෙස්ගේ ලියවිල්ලෙහි සඳහන් කටු පඳුර අසල සිද්ධියෙන් පැහැදිලි වෙනවා. ඒ ගැන ඔබ කියවා නැද්ද? එම වාර්තාවේ ‘මම ආබ්‍රහම්ගේද ඊසාක්ගේද යාකොබ්ගේද දෙවිය’ කියා දෙවි මෝසෙස්ට කිව්වා. එයින් පැහැදිලි වන්නේ ඔහු මිය ගොස් ඇති අයගේ දෙවි නොව ජීවත් වන අයගේ දෙවි බවයි. එහෙයින් ඔබේ නිගමනය සම්පූර්ණයෙන්ම වැරදියි.”—මාක් 12:24-27; නික්මයාම 3:1-6.
යේසුස් පරිසිවරුන්ව සහ සද්දුසිවරුන්ව නිහඬ කරපු නිසා ඒ දෙගොල්ලන්ම දැන් එකතු වෙලා යේසුස්ගේ වරදක් අල්ලාගන්න උත්සාහ කරනවා. නීතිය පිටපත් කරන්නෙක් යේසුස්ගෙන් මෙහෙම අහනවා. “ගුරුතුමනි, නීතියේ උතුම්ම ආඥාව කුමක්ද?”—මතෙව් 22:36.
යේසුස් උත්තර දෙන්නේ මෙහෙමයි. “පළමුවෙනි ආඥාව මෙයයි. ‘ඊශ්‍රායෙල්වරුනි, සවන් දෙන්න. අපගේ දෙවි යෙහෝවායි. යෙහෝවා යන නමින් සිටින්නේ එකම දෙවි කෙනෙක් පමණයි. ඔබේ දෙවි වන යෙහෝවාට ඔබේ මුළු හදවතින්ම ප්‍රේම කරන්න. ඔහු වෙනුවෙන් ඔබේ මුළු ජීවිතයම කැප කරන්න. එලෙසම ඔබේ මුළු ශක්තියම ඔහු වෙනුවෙන් වැය කරන්න. නිතරම ඔබේ මනසේ මුල් තැන හිමි විය යුත්තේ ඔහුටයි.’ දෙවෙනි ආඥාව මෙයයි. ‘ඔබට මෙන් ඔබේ අසල්වැසියාටද ප්‍රේම කරන්න.’ ඒ ආඥා දෙකට වඩා උතුම් ආඥාවක් නැහැ.”—මාක් 12:29-31.
එතකොට ඔහු මෙහෙම කියනවා. “ගුරුතුමනි, ‘දෙවි එක් කෙනෙක්. ඔහු හැර වෙන කිසි දෙවි කෙනෙක් නැහැ’ කියා ඔබ පැවසූ දේ ඉතා නිවැරදියි. එය සත්‍යයක්. ඔහුට මුළු හදවතින්ම ප්‍රේම කිරීමත් ඔහු වෙනුවෙන් මුළු ශක්තිය යොදා උපරිමය කිරීමත් ඔහුව සතුටු කිරීම ගැන නිතරම මනස යොමු කර තැබීමත් තමන්ට මෙන් තම අසල්වැසියාට ප්‍රේම කිරීමත් අවශ්‍යයි. ඒ වගේම ඒ දේවල් සියලුම දවන පූජා හා යාගවලට වඩා වටිනවා.” බුද්ධිමත්ව උත්තර දීපු ඔහුට යේසුස් කියන්නේ “දෙවිගේ රාජ්‍යයට ඇතුල් වෙන්න ඔබට තව වැඩි දුර යන්න අවශ්‍ය නැහැ” කියලයි.—මාක් 12:32-34.
නීසාන් 9, 10 සහ 11 කියන දවස් තුනේම යේසුස් දේවමාලිගාවේදී ඉගැන්නුවා. නීතිය පිටපත් කරන්නා සහ තවත් අය උනන්දුවෙන් යේසුස්ට ඇහුම්කන් දුන්නා. ඒත් යේසුස්ගෙන් ‘කිසි ප්‍රශ්නයක් අහන්න ධෛර්යයක්’ නැති ආගමික නායකයන් නම් ඊට වඩා වෙනස්.
-
-
ආගමික නායකයන්ව හෙළාදකියිමාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
-
-
109වෙනි පරිච්ඡේදය
ආගමික නායකයන්ව හෙළාදකියි
මතෙව් 22:41–23:24 මාක් 12:35-40 ලූක් 20:41-47
ක්‍රිස්තුස් කාගේ පුත්‍රයාද කියා අසයි
විරුද්ධවාදීන්ගේ කුහකකම යේසුස් හෙළි කරයි
යේසුස් ගැන මිනිසුන්ගේ සිත්වල සැකයක් ඇති කරන්නත් රෝම ආණ්ඩුවට විරුද්ධ දෙයක් යේසුස් ලවා කියවාගන්නත් විරුද්ධවාදීන් දරපු වෑයම අසාර්ථක වෙලා. (ලූක් 20:20) නීසාන් 11වෙනිදා තවමත් දේවමාලිගාවේ ඉන්න යේසුස් පරිසිවරුන්ගෙන් මෙහෙම අහනවා. “ඔබ ක්‍රිස්තුස් ගැන සිතන්නේ කුමක්ද? ඔහු කාගේ පුත්‍රයාද?” (මතෙව් 22:42) ඔවුන් කියන්නේ ක්‍රිස්තුස් දාවිත්ගේ පෙළපතින් එනවා කියලයි.—මතෙව් 9:27; 12:23; යොහන් 7:42.
යේසුස් තවදුරටත් මෙහෙම අහනවා. “එසේනම් දාවිත් දෙවිගේ මඟ පෙන්වීමෙන් ඔහුට ‘ස්වාමීන්’ කියා පැවසුවේ ඇයි? මන්ද දාවිත් එක් අවස්ථාවක, ‘යෙහෝවා දෙවි මාගේ ස්වාමීන්ට මෙසේ කීවේය. “මාගේ දකුණු පැත්තේ ඉඳගන්න. මා ඔබේ සතුරන්ව ඔබේ පාද යට දමන තුරු එසේ සිටින්න”’ කියා පැවසුවා. දාවිත් ඔහුට ‘ස්වාමීන්’ යයි කියනවා නම් ඔහු දාවිත්ගේ පුත්‍රයා වන්නේ කොහොමද?”—මතෙව් 22:43-45.
පරිසිවරු පිළිතුරු දෙන්නේ නැහැ. මොකද ඔවුන් හිතන්නේ දාවිත්ගේ පෙළපතින් එන මිනිසෙක් ඔවුන්ව රෝම පාලනයෙන් මුදවාගනියි කියලයි. ඒත් ගීතාවලිය 110:1, 2 පදවලට අනුව මෙසියස් මිනිසෙකුට වඩා ශ්‍රේෂ්ඨයි කියලා යේසුස් කියනවා. ඒ පදවල දාවිත් ඔහුව හඳුන්වන්නේ තම ස්වාමියා විදිහට. ඒ වගේම දෙවිගේ දකුණු පැත්තේ ඉඳගත්තාට පස්සේ ඔහුට පාලන බලය ලැබෙනවා. ඒ දේවල් ඇහෙද්දී විරුද්ධවාදීන් නිහඬ වෙනවා.
ඒ සාකච්ඡාව යේසුස්ගේ ගෝලයන් සහ තව හුඟදෙනෙක් අහගෙනයි හිටියේ. නීතිය පිටපත් කරන්නන් සහ පරිසිවරු නීතිය ගැන උගන්වන අය විදිහට පෙනී ඉන්න නිසා ඔවුන් ‘මෝසෙස්ගේ තැන හිමි කරගෙන’ ඉන්නවා. ඔවුන් ගැන අනතුරු අඟවන යේසුස් සෙනඟට කියන්නේ මෙහෙමයි. “ඔවුන් ඔබට කියන සියල්ල කරන්න. ඒවා පිළිපදින්න. නමුත් ඔවුන් කරන දේවල් නම් කරන්න එපා. මන්ද ඔවුන් කියනවා මිස කරන්නේ නැහැ.”—මතෙව් 23:2, 3.
ඊළඟට යේසුස් ඔවුන්ගේ කුහකකම හෙළි කරනවා. “ඔවුන් තම ආරක්ෂාවට කුඩා පෙට්ටි සාදා ශුද්ධ ලියවිල්ලේ කොටස් ඒවාට දමා ඒවා තම නළල්වල පළඳිනවා.” සමහර යුදෙව්වන් පොඩි පෙට්ටිවලට නීතියේ කොටසක් දාලා ඒවා නළලේ නැත්නම් අත්වල බැඳගන්නවා. ඒත් පරිසිවරු නීතියට හුඟක් ළැදියි කියලා පෙන්වන්න ඒ පෙට්ටිවල ප්‍රමාණය ලොකු කරලා තියෙනවා. දෙවියන් ඊශ්‍රායෙල්වරුන්ට කියලා තිබුණා වස්ත්‍රවල වාටියක් මහන්න කියලා. (ගණන් කතාව 15:38-40) හැබැයි පරිසිවරු තමන් ධර්මිෂ්ඨයි කියලා පෙන්වන්න ‘වස්ත්‍රවල වාටි තවත් පළල් කරලා’ තියෙනවා. ඔවුන් ඒ හැම දෙයක්ම කරන්නේ “මිනිසුන්ට පෙනෙන්නයි.”—මතෙව් 23:5.
යේසුස්ගේ ගෝලයන්ටත් කැපිලා පේන්න ආසාවක් ඇති වෙන්න පුළුවන් නිසා යේසුස් ඔවුන්ට මෙහෙම අනතුරු අඟවනවා. “අන් අය ඔබට රබ්බි කියා ඇමතිය යුතුයි කියා නොසිතන්න. මන්ද ඔබට සිටින්නේ එකම ගුරුවරයෙක්. ඔබ සියලුදෙනාම සහෝදරයෝයි. පොළොවෙහි සිටින කාටවත් ‘පියාණන්’ කියා නොකියන්න. මන්ද ඔබට සිටින්නේ එකම පියෙක්. ඒ ස්වර්ගයෙහි සිටින තැනැත්තායි. ඔබ අතරේ සිටින කිසිම කෙනෙකුට ‘නායකයා’ කියා නොකියන්න. මන්ද ඔබට සිටින්නේ එකම නායකයෙක්. ඒ ක්‍රිස්තුස්.” ගෝලයන් තමන් ගැනම හිතන්න ඕන විදිහ ගැන යේසුස් මෙහෙම කියනවා. “ඔබ අතරේ සිටින උතුම්ම තැනැත්තා ඔබේ සේවකයා විය යුතුයි. උසස් වෙන්න උත්සාහ කරන කෙනෙකුව පහත් කරනු ලබයි. නමුත් නිහතමානීව සේවය කරන කෙනෙකුව උසස් කරනු ලබයි.”—මතෙව් 23:8-12.
නීතිය පිටපත් කරන අයට සහ පරිසිවරුන්ට මුහුණ දෙන්න වෙන දේ ගැන යේසුස් දැන් කියන්නේ මෙහෙමයි. “නීතිය පිටපත් කරන්නෙනි, පරිසිවරුනි, කුහක වූ ඔබට මොන තරම් දරුණු ප්‍රතිඵලවලට මුහුණ දෙන්න සිදු වෙයිද! මන්ද ඔබ ස්වර්ග රාජ්‍යයට ඇතුල් වීමට ඇති දොරටුවලට අගුල් දමා මිනිසුන්ට ඊට ඇතුල් වෙන්න ඉඩ දෙන්නේ නැහැ. ඔබ එයින් ඇතුල් වෙන්නෙත් නැහැ. ඇතුල් වෙන්න උත්සාහ කරන අයට ඇතුල් වෙන්න ඔබ ඉඩ දෙන්නෙත් නැහැ.”—මතෙව් 23:13.
පරිසිවරු ක්‍රියා කරන විදිහෙන් පැහැදිලි වෙනවා යෙහෝවා දෙවියන් වැදගත් විදිහට සලකන දේවල් ගැන ඔවුන්ට තැකීමක් නැහැ කියලා. උදාහරණයකට “යමෙකු දේවමාලිගාවේ නාමයෙන් දිවුරුවොත් එය වලංගු නැහැයි කියාත් යමෙකු දේවමාලිගාවේ රන්වල නාමයෙන් දිවුරුමක් කළොත් ඔහු එම දිවුරුම ඉටු කිරීමට බැඳී සිටියි” කියාත් ඔවුන් කියනවා. ඒ විදිහට ඔවුන් යෙහෝවා දෙවියන් එක්ක කිට්ටු බැඳීමක් ඇති කරගන්න උදව් වෙන දේවමාලිගාවට වඩා එතැන තියෙන රන් වඩාත් වැදගත් විදිහට සලකනවා. ඒ වගේම ‘යුක්තිය, දයාව, විශ්වාසවන්තකම යන නීතියේ වඩා බැරෑරුම් කාරණාවලට ඔවුන් කිසිම සැලකිල්ලක් දක්වන්නේ නැහැ.’—මතෙව් 23:16, 23; ලූක් 11:42.
යේසුස් පරිසිවරුන්ව හඳුන්වන්නේ මදුරුවාව අයින් කර ඔටුවාව ගිලින අන්ධ මඟ පෙන්වන්නන් විදිහට. (මතෙව් 23:24) මදුරුවාව සැලකුවේ අපවිත්‍ර කෘමියෙක් විදිහට නිසා වයින්වලට මදුරුවෙක්ව වැටුණොත් ඔවුන් ඌව අයින් කරනවා. නීතියේ සඳහන් පුංචි කාරණා ගැන සැලකිලිමත් වුණත් ඔවුන් නීතියේ සඳහන් බැරෑරුම් කාරණා නොසලකාහරිනවා. ඒක හරියට මදුරුවාට වඩා හුඟක් ලොකු, අපවිත්‍ර සතෙක් විදිහට සැලකුව ඔටුවෙක්ව ගිලිනවා වගෙයි.—ලෙවී කතාව 11:4, 21-24.
-
-
යේසුස් දේවමාලිගාවේ ගෙවන අවසන් දවසමාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
-
-
110වෙනි පරිච්ඡේදය
යේසුස් දේවමාලිගාවේ ගෙවන අවසන් දවස
මතෙව් 23:25–24:2 මාක් 12:41–13:2 ලූක් 21:1-6
යේසුස් ආගමික නායකයන්ව තව තවත් හෙළාදකියි
දේවමාලිගාව විනාශ වෙන බව කියයි
දිලිඳු වැන්දඹුවක් කුඩා කාසි දෙකක් දමයි
යේසුස් අන්තිම වතාවට දේවමාලිගාවේ ඉන්න දවසේ නීතිය පිටපත් කරන්නන්ව සහ පරිසිවරුන්ව කුහකයන් විදිහට ප්‍රසිද්ධියේම හඳුන්වමින් දිගටම ඔවුන්ගේ කුහකකම හෙළි කරනවා. ඔහු නිදර්ශනයක් යොදාගෙන මෙහෙම කියනවා. “ඔබ කුසලානයත් දීසියත් පිටතින් පවිත්‍ර කළත් එහි ඇතුළත ඔබේ කොල්ල කෑම්වලින් හා කිසිම පාලනයකින් තොරව ඔබ කරන ක්‍රියාවලින් පිරී තිබෙනවා. අන්ධ පරිසිවරුනි, කුසලානයත් දීසියත් පිටතින් පවිත්‍ර කරන්න කලින් ඒවායේ ඇතුළත පවිත්‍ර කරන්න.” (මතෙව් 23:25, 26) පරිසිවරුන් චාරිත්‍රානුකූලව පවිත්‍රව ඉන්න එක ගැන හුඟක් සැලකිලිමත් වුණත් සිතුවිලි පවිත්‍රව තියාගන්න එක ගැන නම් පොඩ්ඩක්වත් සැලකිලිමත් වෙන්නේ නැහැ.
අනාගතවක්තෘවරුන් වෙනුවෙන් සොහොන් ගෙවල් හදලා ඒවා සරසන එකෙනුත් ඔවුන්ගේ කුහකකම පැහැදිලි වෙනවා. මොකද යේසුස් ඔවුන්ව හඳුන්වන්නේ “අනාගතවක්තෘවරුන්ව මරණයට පත් කළ අයගේ පුත්‍රයන්” විදිහට. (මතෙව් 23:31) යේසුස්වත් මරලා දාන්න උත්සාහ කරපු ඔවුන්ට ඒ නම හොඳින්ම ගැළපෙනවා.—යොහන් 5:18; 7:1, 25.
ඔවුන් පසුතැවුණේ නැත්නම් ඔවුන්ට අත් වෙන ප්‍රතිඵල ගැන යේසුස් මෙහෙම කියනවා. “සර්පයෙනි, පොළඟුන්ගෙන් පැවතෙන්නෙනි! ගෙහෙන්නාවේ විනිශ්චයෙන් ඔබ පලා යන්නේ කොහොමද?” (මතෙව් 23:33) මිනිසුන් කැළි කසළ පුලුස්සන හින්නොම් නිම්නය (ගෙහෙන්නාව) තිබුණේ ඒ කිට්ටුවමයි. ඒ නිසා යේසුස් කියපු දෙයින් නීතිය පිටපත් කරන අයට සහ පරිසිවරුන්ට අත් වෙන්න යන විනාශය හොඳින්ම සංකේතවත් වෙනවා.
යේසුස්ගේ ගෝලයන් ඔහුව නියෝජනය කරමින් “අනාගතවක්තෘවරුන්ද ප්‍රඥාවන්තයන්ද ප්‍රසිද්ධියේ උගන්වන්නන්ද” විදිහට සේවය කරන්න නියමිතයි. ඔවුන් ගැන සඳහන් කරමින් යේසුස් ආගමික නායකයන්ට මෙහෙම කියනවා. ‘ඔබ ඔවුන්ගෙන් [ගෝලයන්ගෙන්] සමහරෙකුව මරා කණුවල ඇණ ගසයි. ඇතමෙකුට ඔබේ සිනගෝගවලදී කසයෙන් තළා සෑම නුවරකදීම ඔවුන්ට පීඩා කරයි. ඒ අනුව ධර්මිෂ්ඨ වූ ආබෙල් පටන් සෙකරියා දක්වා පොළොවෙහි වැගිරෙවූ සියලු ධර්මිෂ්ඨයන්ගේ ලේවලට වග කිව යුත්තේ ඔබයි.’ ඒ ගැන අනතුරු අඟවන යේසුස් කියන්නේ “ඒ සියල්ලම මේ පරම්පරාව පිටට පැමිණෙයි” කියලයි. (මතෙව් 23:34-36) ක්‍රි.ව. 70දී රෝම හමුදාව යෙරුසලම විනාශ කරලා යුදෙව්වන් දහස් ගාණක් මරලා දාද්දී යේසුස් කියපු ඒ දේ ඇත්තක් වෙනවා.
ඒ ගැන හිතද්දීත් යේසුස්ට දැනෙන්නේ පුදුම දුකක්. ඔහු කියන මේ දෙයින් ඒක පැහැදිලියි. “යෙරුසලම! යෙරුසලම! අනාගතවක්තෘවරුන්ව මරා දැමූ, තමන් වෙතට එවූ අයට ගල් ගැසූ නුවර! කිකිළියක් තමන්ගේම පැටවුන්ව තම පියාපත් යටට එකතු කරගන්නා සේ ඔබේ දරුවන්ව එකතු කරගන්න මම කී වරක් නම් කැමති වුණාද! නමුත් ඔබ ඊට කැමති වූයේ නැහැ. බලන්න! ඔබට ඉතුරු වන්නේ පාළු වූ සියලුදෙනා අත්හැර දැමූ දේවමාලිගාවක් පමණයි.”—මතෙව් 23:37, 38.
යේසුස් තවදුරටත් මෙහෙම කියනවා. “‘යෙහෝවා දෙවිගේ නාමයෙන් එන තැනැත්තාට ආශීර්වාද ලැබේවා’ කියා ඔබ කියන තුරු මෙතැන් සිට ඔබ මාව කිසිසේත් දකින්නේ නැහැ.” (මතෙව් 23:39) ඔහු උපුටා දක්වන්නේ ගීතාවලිය 118:26 සඳහන් මේ දෙයයි. “යෙහෝවා දෙවිගේ නාමයෙන් පැමිණෙන තැනැත්තාට ආශීර්වාද ලැබේවා! යෙහෝවා දෙවිගේ ගෘහයේ සිට අපි ඔබට ආශීර්වාද කළෙමු.” දේවමාලිගාව සම්පූර්ණයෙන්ම විනාශ වෙලා ගියාට පස්සේ කිසිම කෙනෙක් දෙවිගේ නාමයෙන් එතැනට එන්නේ නැහැ.
යේසුස් දැන් යන්නේ දේවමාලිගාවේ මුදල් බඳුන් තියෙන තැනට. හොරණෑවක හැඩයට හදලා තියෙන මේ මුදල් බඳුන්වලට සල්ලි දාන්න යුදෙව්වන් හුඟදෙනෙක් එතැනට එනවා. පොහොසත් අය “කාසි බොහොමයක්” ඒ බඳුන්වලට දමන විදිහ යේසුස් දකිනවා. ඒ වගේම දුප්පත් වැන්දඹුවක් “ඉතා සුළු වටිනාකමක් ඇති කුඩා කාසි දෙකක්” දාන විදිහත් යේසුස් දකිනවා. (මාක් 12:41, 42) ඒ වැන්දඹුව ගැන යෙහෝවා දෙවියන් මොන තරම් සතුටු වෙනවාද කියලා යේසුස් හොඳින්ම දන්න බවට නම් සැකයක් නැහැ.
ගෝලයන්ට අඬගහන යේසුස් ඔවුන්ට කියන්නේ මෙහෙමයි. “මා ඔබට කියන මේ දේට සවන් දෙන්න. ඇත්තෙන්ම මේ දිලිඳු වැන්දඹුව මුදල් බඳුන්වලට මුදල් දැමූ අනික් සියලුදෙනාට වඩා දැම්මා.” එහෙම කියන්න හේතුව ඔහුම කියන මේ දෙයින් තේරුම්ගන්න පුළුවන්. “ඒ සියලුදෙනාම දැම්මේ තමන්ට වැඩිපුර තිබුණු දෙයිනුයි. නමුත් ඇයට අගහිඟකම් තිබුණත් තමන් සතුව තිබුණු සියල්ල එනම්, ජීවිතය ගෙන යෑමට තිබුණු සියල්ලම ඇය දැම්මා.” (මාක් 12:43, 44) ආගමික නායකයන්ට වඩා ඒ වැන්දඹුව මොන තරම් වෙනස්ද!
නීසාන් 11වෙනිදා ඒ කියන්නේ යේසුස් දේවමාලිගාවේ ඉන්න අන්තිම දවසේ ඔහු එතැනින් පිට වෙලා යද්දී ගෝලයෙක් මෙහෙම කියනවා. “ගුරුතුමනි, බලන්න මේ අලංකාර ගොඩනැඟිලි දිහා! එහි ගල් කොයි තරම් විශාලද!” (මාක් 13:1) දේවමාලිගාවේ සමහර බිත්ති හදන්න පාවිච්චි කරලා තියෙන ගල් හුඟක් ලොකු නිසා බැලූ බැල්මට පේන්නේ ඒක හැමදාමත් පවතියි කියලයි. ඒත් යේසුස් දැන් කියන්නේ ඊට වඩා හාත්පසින්ම වෙනස් දෙයක්. “ඔබ දකින මේ මහත් ගොඩනැඟිලි සම්පූර්ණයෙන්ම විනාශ වෙනවා. මෙහි තිබෙන සෑම ගලක්ම බිමට හෙළනු ලබනවා.”—මාක් 13:2.
ඒ දේවල් කිව්වාට පස්සේ යේසුස් නියෝජිතයන් එක්ක කිද්‍රොන් නිම්නය හරහා ඔලීව කන්දට යනවා. දැන් යේසුස් එක්ක ඉන්නේ ඔහුගේ නියෝජිතයන් වන පේතෘස්, අන්දෘ, යාකොබ් සහ යොහන් විතරයි. ඔවුන් ඉන්න තැනේ ඉඳන් බලද්දී දේවමාලිගාව පැහැදිලිවම දැකගන්න පුළුවන්.
-
-
නියෝජිතයන් ලකුණක් ඉල්ලයිමාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
-
-
111වෙනි පරිච්ඡේදය
නියෝජිතයන් ලකුණක් ඉල්ලයි
මතෙව් 24:3-51 මාක් 13:3-37 ලූක් 21:7-38
ගෝලයන් හතරදෙනෙක් ලකුණක් ඉල්ලයි
පළවෙනි සියවසටත් අනාගතයටත් අදාළ අනාවැකි කියයි
අපි සෝදිසියෙන් සිටිය යුතුයි
නීසාන් 11වෙනි අඟහරුවාදා දවස ගෙවී යන්න ආසන්නයි. ඒ විතරක් නෙවෙයි යේසුස් පොළොවේදී කරන සේවයත් දැන් අවසන් වේගන යනවා. පහුගිය දවස්වල දවල් කාලයේ දේවමාලිගාවේ උගන්වපු ඔහු රාත්‍රියේ නවාතැන් ගත්තේ නුවරෙන් පිට තැනක. මිනිසුන් හුඟදෙනෙක් “ඔහුට සවන් දීම සඳහා දේවමාලිගාවට උදෑසනින්ම” ආවා. (ලූක් 21:37, 38) දැන් ඒ හැම දෙයක්ම අතීතයට සීමා වෙලා. නියෝජිතයන් හතරදෙනෙක් වුණු පේතෘස්, අන්දෘ, යාකොබ් සහ යොහන් එක්ක යේසුස් දැන් ඉන්නේ ඔලීව කන්දේ.
ටිකකට කලින් යේසුස් ඔවුන්ට කිව්වා දේවමාලිගාවේ හැම ගලක්ම බිමට හෙළනු ලබනවා කියලා. යේසුස්ව තනිවම මුණගැහෙන්න ඇවිත් ඉන්න නියෝජිතයන් හතරදෙනා ඒ ගැන කල්පනා කරනවා. හැබැයි ඔවුන් කල්පනා කරන්නේ ඒ ගැන විතරක් නම් නෙවෙයි. කලින් වතාවක යේසුස් මෙහෙම කියලා තිබුණා. “ඔබත් නිතරම සූදානමින් සිටිය යුතුයි. මන්ද මනුෂ්‍ය පුත්‍රයාත් එන්නේ ඔබ නොසිතන පැයකදීයි.” (ලූක් 12:40) ඒ වගේම ‘මනුෂ්‍ය පුත්‍රයා එළිදරව් වීමට නියමිත දවස’ ගැනත් යේසුස් කියලා තිබුණා. (ලූක් 17:30) නියෝජිතයන් ඒ හැම දෙයක් ගැනම කල්පනා කරන බවට නම් සැකයක් නැහැ. යේසුස් කියපු ඒ දේවල් සහ ඔහු දේවමාලිගාව ගැන කියපු දේ අතර සම්බන්ධයක් තියෙනවාද? යේසුස් කියපු දේවල් ගැන දැනගන්න ලොකු ආශාවකින් ඉන්න නියෝජිතයන් ඔහුගෙන් මෙහෙම අහනවා. “ඔබ පැවසූ ඒ දේ සිදු වන්නේ කවදාද? ඔබ පැමිණ සිටින කාලය හා පවතින සමාජයේ අවසාන කාල පරිච්ඡේදය දැනගන්න කුමක් හෝ ලකුණක් තිබෙනවාද?”—මතෙව් 24:3.
තමන්ට පෙනෙන දුරකින් තියෙන දේවමාලිගාවට වෙන්න යන දේ ගැන නියෝජිතයන් කල්පනා කරනවා ඇති. මනුෂ්‍ය පුත්‍රයා පැමිණ සිටින කාලය හඳුනාගන්නේ කොහොමද කියලා ඔවුන් යේසුස්ගෙන් අහනවා. කලින් වතාවක රජකම ලබාගෙන “ආපසු පැමිණීමේ අදහසින් දුර රටකට” ගිය “වංශවත් මිනිසෙක්” ගැන යේසුස් කියපු නිදර්ශනය ඔවුන්ට මතක ඇති. (ලූක් 19:11, 12) ඒ වගේම “පවතින සමාජයේ අවසාන කාල පරිච්ඡේදය” දැනගන්නේ කොහොමද කියලත් ඔවුන් අහනවා.
ඔවුන් අහපු ප්‍රශ්නයට උත්තර දෙන යේසුස් දේවමාලිගාවේ විනාශය ඇතුළු යුදෙව් සමාජයේ අවසානය හඳුනාගන්න උදව් වෙන තොරතුරු රැසක් ඇතුළත් ලකුණක් ගැන කියනවා. අනාගතයේදී ක්‍රිස්තියානීන්ට ක්‍රිස්තුස් “පැමිණ සිටින කාලය” හඳුනාගන්න වගේම පවතින සමාජයේ අවසානය ළඟා වෙලා කියලා හඳුනාගන්න උදව් වෙන තොරතුරුත් ඒ ලකුණට ඇතුළත්.
අවුරුදු කිහිපයකට පස්සේ යේසුස් ලකුණක් විදිහට කියපු අනාවැකිය ඉටු වෙන විදිහ නියෝජිතයන් තේරුම්ගන්නවා. ඔව්, යේසුස් කියපු හුඟක් දේවල් ඔවුන්ගේ කාලයේදී ඉටු වෙනවා. අවුරුදු 37කට පස්සේ ඒ කියන්නේ ක්‍රි.ව. 70දී යුදෙව් සමාජයත් දේවමාලිගාවත් විනාශ වෙද්දී සෝදිසියෙන් ඉන්න ක්‍රිස්තියානීන් ඒකෙන් ගැලවෙනවා. කොහොමවුණත් යේසුස් කියපු අනාවැකියට ඇතුළත් හැම දෙයක්ම ක්‍රි.ව. 70ට කලින්වත් ක්‍රි.ව. 70දීවත් ඉටු වෙන්නේ නැහැ. එහෙමනම් යේසුස් දෙවිගේ රාජ්‍යයේ රජු විදිහට පැමිණ සිටින කාලය හඳුනාගන්න පුළුවන් වෙන්නේ කොහොමද?
යේසුස් පැහැදිලි කරන විදිහට ඒ කාලයේදී “යුද්ධ ගැනත් යුද්ධ පිළිබඳ ආරංචි ගැනත්” අහන්න ලැබෙනවා. ‘ජාතියක් ජාතියකට විරුද්ධවත් රාජ්‍යයක් රාජ්‍යයකට විරුද්ධවත් නැඟී සිටිනවා.’ (මතෙව් 24:6, 7) ‘මහත් භූමිකම්පාත් ඇති වෙනවා. ඒ වගේම එක් තැනක් පාසා තවත් තැනක වසංගතද ආහාර හිඟකම්ද ඇති වෙනවා.’ (ලූක් 21:11) යේසුස් ගෝලයන්ට අනතුරු අඟවමින් කියන්නේ ‘මිනිසුන් ඔබව අල්ලාගෙන ඔබට පීඩා කරයි’ කියලයි. (ලූක් 21:12) ඒ විතරක් නෙවෙයි බොරු අනාගතවක්තෘවරුන් හුඟක් අයව නොමඟ යවනවා. අධර්මිෂ්ඨ ක්‍රියාවන් වැඩි වෙනවා. හුඟක් අයගේ ප්‍රේමය අඩු වෙනවා. යේසුස් මේ ගැනත් කියනවා. “රාජ්‍යය පිළිබඳ මේ ශුභාරංචිය සියලු ජාතීන්ට සාක්ෂියක් වන පිණිස ජනාවාස වූ මුළු පොළොව පුරාම දේශනා කරනු ලබයි. එවිට අවසානය පැමිණෙයි.”—මතෙව් 24:14.
යේසුස් කියපු අනාවැකිය රෝමවරු යෙරුසලම විනාශ කරන්න කලින් සහ ඒ විනාශය අතරතුරේදී යම් ප්‍රමාණයකින් ඉටු වුණා. ඒ අනාවැකිය කියද්දී අනාගතයේදී වෙන්න යන දේවල් ගැනත් යේසුස්ගේ මනසේ තියෙන්න ඇද්ද? එදාට වඩා මේ කාලයේදී ඒ අනාවැකිය සම්පූර්ණයෙන්ම ඉටු වෙනවා කියලා කියන්න තියෙන සාක්ෂි ඔබට පෙනෙනවාද?
තමන් පැමිණ සිටින කාලය හඳුනාගන්න උදව් වෙන ලකුණ ගැන කියද්දී “විනාශය සිදු කරන පිළිකුල් දෙය” ගැනත් යේසුස් සඳහන් කරනවා. (මතෙව් 24:15) පිළිකුල් දෙය ඒ කියන්නේ රෝම “සේනාවන්” ක්‍රි.ව. 66දී ඔවුන්ගේ ජාතික සහ ආගමික කොඩිත් ලාංඡනත් අරන් ඇවිත් යෙරුසලමේ කඳවුරු බැඳගන්නවා. (ලූක් 21:20) ඊටපස්සේ ඔවුන් දේවමාලිගාවේ පවුර හාරන්න පටන්ගන්නවා. ඒ විදිහට “විනාශය සිදු කරන පිළිකුල් දෙය” නොතිබිය යුතු තැනක ඒ කියන්නේ “ශුද්ධස්ථානයක” තියෙනවා යුදෙව්වන් දකිනවා.
යේසුස් තවදුරටත් කියන්නේ “ලෝකයේ පටන්ගැන්මේ සිට මේ දක්වා නොවූ නැවත කිසිදාක සිදු නොවන මහත් පීඩාවක් එදාට පැමිණෙයි” කියලයි. ක්‍රි.ව. 70දී රෝමවරුන් දේවමාලිගාව ඇතුළු “ශුද්ධ නුවර” විනාශ කරද්දී ඒක මහත් පීඩාවක් වෙනවා. (මතෙව් 4:5; 24:21) ඔව්, ඒ විනාශයෙන් දහස් ගණන් දෙනෙක් මිය යනවා. ඒ වගේ විනාශයක් යුදෙව්වන් කවදාවත් අද්දැකලා නැහැ. ඒ විනාශයත් එක්කම යුදෙව්වන් සියවස් ගණනාවක් තිස්සේ කරගෙන ආපු නමස්කාර ක්‍රමය නතර වෙනවා. යේසුස් කියපු ඒ අනාවැකිය වඩාත් පුළුල් විදිහට අනාගතයේ ඉටු වෙද්දී ඒක හරිම භයානක, දරුණු කාලයක් වෙයි.
අනාවැකි ඉටු වෙන කාලයේදී විශ්වාසය ශක්තිමත්ව තබාගැනීම
යේසුස් දෙවිගේ රාජ්‍යයේ රජු විදිහට පැමිණ සිටින කාලය ගැනත් පවතින සමාජයේ අවසානය ගැනත් කෙරෙන සාකච්ඡාව තවමත් ඉවර නැහැ. දැන් ඔහු නියෝජිතයන්ට අනතුරු අඟවන්නේ “බොරු ක්‍රිස්තුස්වරුන්ද බොරු අනාගතවක්තෘවරුන්ද” ගැනයි. ඔවුන් ‘තෝරාගත් අයව පවා නොමඟ යැවීමට’ උත්සාහ කරනවා කියලා ඔහු කියනවා. (මතෙව් 24:24) ඒත් තෝරාගත් අය නම් කවදාවත් නොමඟ යන්නේ නැහැ. බොරු ක්රිස්තුස්වරුන්ව හැමෝටම දැකගන්න ලැබුණත් දෙවිගේ රාජ්‍යයේ රජු විදිහට යේසුස් පැමිණ සිටින එක කාටවත් දැකගන්න ලැබෙන්නේ නැහැ.
පවතින සමාජයේ අවසානයේදී පටන්ගන්නා මහත් පීඩාව ගැන යේසුස් මෙහෙම කියනවා. “හිරු අඳුරු වී යයි. සඳෙන් කිසි එළියක් නොලැබෙයි. තාරකා අහසින් වැටෙයි. අහසේ සියලු බලයන්ද සොලවනු ලබයි.” (මතෙව් 24:29) යේසුස් කියන ඒ දේවල් අහගෙන ඉන්න නියෝජිතයන්ට ඒ දේ සිද්ධ වෙන විදිහ තේරුම්ගන්න බැහැ. කොහොමවුණත් ඒක සිද්ධ වෙද්දී හැමෝටම ඒක ලොකු කම්පනයක් වෙයි කියලා නම් නිසැකයි.
ඒ පීඩාව මිනිසුන්ට බලපාන විදිහ ගැන යේසුස් මෙහෙම කියනවා. “ලොවට සිදු වෙන්න යන දේවල් ගැන මිනිසුන් නිතරම කල්පනා කරමින් සිටින නිසාත් ඔවුන්ට දැනෙන බිය නිසාත් ඔවුන් ක්ලාන්ත වී ඇද වැටෙයි. මන්ද අහසේ තිබෙන සියලු බලයන් සොලවනු ලබයි.” (ලූක් 21:26) යේසුස් ඒ විදිහට පැහැදිලි කරන්නේ මිනිසාගේ පැවැත්මේ ඉඳන් කිසිදාක සිද්ධ වෙලා නැති දරුණුම, භයානකම කාලය ගැනයි.
‘බලයෙන්ද මහත් තේජසින්ද යුතුව අහසේ වලාකුළු මත පැමිණෙන මනුෂ්‍ය පුත්‍රයාව’ දකිද්දී ඒ ගැන ශෝක වෙන්නේ නැති පිරිසකුත් ඉන්නවා කියලා යේසුස් දැන් නියෝජිතයන්ට පැහැදිලි කරනවා. (මතෙව් 24:30) “තෝරාගත් අය” වෙනුවෙන් දෙවියන් මැදිහත් වෙනවා කියලා ඔහු මේ වෙද්දීත් පැහැදිලි කරලයි තියෙන්නේ. (මතෙව් 24:22) යේසුස් කියපු ඒ භයානක දේවල් වෙද්දී දෙවියන්ට විශ්වාසවන්තව ඉන්න ඔහුගේ සේවකයන් ක්‍රියා කරන්න ඕනෙ කොහොමද? ඒ ගැන යේසුස් තම අනුගාමිකයන්ට මෙහෙම කියනවා. “ඒ දේ සිදු වෙන්න පටන්ගන්නා විට ඔබ ධෛර්යය උපදවාගෙන නැඟිටින්න. ඔබේ හිස් ඔසවන්න. මන්ද ඔබේ ගැලවීම ළඟයි.”—ලූක් 21:28.
යේසුස් කියපු අනාවැකිය ඉටු වෙන කාලයේ ජීවත් වෙන අයට අන්තිමය ළං වෙලා කියලා තේරුම්ගන්න පුළුවන් වෙන්නේ කොහොමද? ඒක තේරුම් කරන්න යේසුස් අත්තික්කා ගහක් ගැන නිදර්ශනයක් කියනවා. “එහි අලුතින් වැඩුණු අත්තේ දලු ලියලන විට ගිම්හානය ළඟ බව ඔබ දන්නවා. එලෙසම ඔබ මේ සියල්ල දකින විට ඔහු දොරකඩ අසලම සිටින බව දැනගන්න. ඇත්තෙන්ම මා ඔබට කියන්නේ, මේ සියල්ල සිදු වන තුරු මේ පරම්පරාව කිසි ලෙසකින්වත් පහව යන්නේ නැති බවයි.”—මතෙව් 24:32-34.
යේසුස් ලකුණක් විදිහට කියපු දේවල් සිද්ධ වෙද්දී අවසානය ළඟා වෙලා කියලා ගෝලයන් තේරුම්ගන්න ඕනේ. යේසුස් කියපු අනාවැකිය ඉටු වෙන කාලයේ ජීවත් වෙන අයට ඔහු මේ අනතුරු ඇඟවීම දෙනවා.
“පියාණන් මිස ඒ දේ සිදු වන දවස හා වේලාව කිසිවෙක් දන්නේ නැහැ. ස්වර්ගයෙහි දේවදූතයන්වත් පුත්‍රයාවත් දන්නේ නැහැ. මනුෂ්‍ය පුත්‍රයා පැමිණ සිටින කාලයේ සිදු වන දේවල් නෝවාගේ කාලයේ සිදුවීම්වලට සමානයි. ජලගැල්මට පෙර කාලය පුරාම එනම්, නෝවා නැවට ඇතුල් වූ දවස දක්වාම ඔවුන් කමින් බොමින් විවාහ වෙමින් සහ විවාහ කර දෙමින් සිටියා. ජලගැල්ම ඇවිත් ඔවුන් සියල්ලන්වම ගසාගෙන යන තුරු ඔවුන් සිදු වන දේ ගැන කිසි තැකීමක් කළේ නැහැ. මනුෂ්‍ය පුත්‍රයා පැමිණ සිටින කාලයද ඒ හා සමානයි.” (මතෙව් 24:36-39) ඔව්, මනුෂ්‍ය පුත්‍රයා පැමිණ සිටින කාලයේදී සිද්ධ වෙන දේවල් යේසුස් සමාන කරන්නේ මුළු ලෝකයටම බලපාපු සිදුවීමකටයි.
සෝදිසියෙන් ඉන්න එක මොන තරම් වැදගත්ද කියලා ඔලීව කන්දේ ඉඳන් යේසුස් කියන දේවලට ඇහුම්කන් දෙන නියෝජිතයන් අනිවාර්යයෙන්ම තේරුම්ගන්න ඇති. දැන් යේසුස් කියන්නේ මෙහෙමයි. “ඔබ ගැන හොඳ අවධානයකින් සිටින්න. එසේ නොකළොත් අධික කෑමෙන් හා බීමෙන් නැතහොත් එදිනෙදා ජීවිතයේ ඇති වන කරදර නිසා ඔබේ සිත් බර විය හැකියි. එවිට හදිස්සියේම ඔබ නොසිතූ මොහොතක ඒ දවසට මුහුණ දෙන්න ඔබට සිදු වෙයි. එවිට එම දවස ඔබට උගුලක් වෙයි. පොළොව පුරා ජීවත් වන සෑම කෙනෙකුටම ඒ දවසට මුහුණ දෙන්න සිදු වෙයි. එමනිසා අවදිව සිටින්න. නිතරම දෙවිට කන්නලව් කරමින් සිටින්න. එවිට අනිවාර්යයෙන්ම පැමිණෙන ඒ සියල්ලෙන් ගැලවී මනුෂ්‍ය පුත්‍රයා ඉදිරියෙහි පෙනී සිටීමට ඔබට හැකි වෙයි.”—ලූක් 21:34-36.
යේසුස් කියන අනාවැකිය තව දශක කිහිපයකින් යෙරුසලමට සහ යුදෙව් ජාතියට සිද්ධ වෙන්න යන දේවලට විතරක් සීමා වෙන්නේ නැහැ. මොකද ඔහු කියන්නේ ඒ කාලයේදී සිද්ධ වෙන දේවලට ‘පොළොව පුරා ජීවත් වන සෑම කෙනෙකුටම මුහුණ දෙන්න’ වෙනවා කියලයි.
ගෝලයන් අවදිව, සෝදිසියෙන් වගේම සූදානමින් ඉන්න එක කොයි තරම් වැදගත්ද කියලා කාවද්දන්න යේසුස් දැන් නිදර්ශනයක් කියනවා. “මේ දේ දැනගන්න. එනම් සොරා කොයි රැකවල් යාමයේ එනවාද කියා ගෙහිමියා දැන සිටියා නම් ඔහු අවදිව සිට තමාගේ ගෙය බිඳීමට ඉඩ දෙන්නේ නැහැ. එහෙයින් ඔබත් සූදානමින් සිටින බව පෙන්වන්න. මන්ද මනුෂ්‍ය පුත්‍රයා එන්නේ ඔබ නොසිතන පැයකදීයි.”—මතෙව් 24:43, 44.
ගෝලයන්ට බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන් දෙයක් ගැන පවසමින් යේසුස් කියන්නේ අනාවැකිය ඉටු වෙන කාලයේදී හරිම කාර්යක්ෂමව වැඩ කරන ‘දාසයෙක්’ ඉන්නවා කියලයි. ඒ ගැන ඔහු මෙහෙම පැහැදිලි කරනවා. “ස්වාමියා විසින් තම මෙහෙකරුවන්ට නියම වේලාවට ආහාර දීම සඳහා ඔවුන් කෙරෙහි පත් කළ විශ්වාසවන්ත නුවණ ඇති දාසයා කවුද? ඔහුගේ ස්වාමියා පැමිණි විට ඔහු එසේ කරනවා දකී නම් ඒ දාසයා සන්තෝෂවත්ය! ඇත්තෙන්ම මා ඔබට කියන්නේ, ඒ ස්වාමියා තමන් සතු සියලු දේවල් බලා කියා ගැනීම සඳහා ඔහුව පත් කරන බවයි.” හැබැයි ඒ “දාසයා” දුෂ්ට විදිහට හැසිරුණොත් ස්වාමියා ‘ඔහුට ඉතා තදින් දඬුවම් කරනවා.’—මතෙව් 24:45-51; ලූක් 12:45, 46.
ඒ නිදර්ශනයෙන් යේසුස් පැහැදිලි කරන්නේ තමන්ගේ අනුගාමිකයන් අතරේ ඉන්න කණ්ඩායමක් දුෂ්ට විදිහට වැඩ කරනවා කියලා නම් නෙවෙයි. ඒ වෙනුවට ඔහු කාවද්දන්නේ සෝදිසියෙන් වගේම උද්යෝගයෙන් සේවය කරන එක කොයි තරම් වැදගත්ද කියන කාරණයයි. ඒක හොඳින් පැහැදිලි කරන්න ඔහු තවත් නිදර්ශනයක් කියනවා.
-
-
සෝදිසියෙන් සිටීම ගැන පාඩමක්මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
-
-
112වෙනි පරිච්ඡේදය
සෝදිසියෙන් සිටීම ගැන පාඩමක්
යේසුස් අවිවාහක තරුණියන් දහදෙනා ගැන නිදර්ශනය කියයි
තමන් පැමිණ සිටින කාලය සහ පවතින සමාජයේ අවසානය ගැන නියෝජිතයන් අහපු ප්‍රශ්නයට යේසුස් පිළිතුරු දුන්නේ දැන් ටිකකට කලින්. ඒකත් මනසේ තියාගෙන යේසුස් දැන් තවත් නිදර්ශනයකින් ඔවුන්ට අනතුරු ඇඟවීමක් දෙනවා. මේ නිදර්ශනයෙන් යේසුස් පැහැදිලි කරන දේ ඉටු වෙන විදිහ ඔහු පැමිණ සිටින කාලයේ ජීවත් වෙන අයට දැකගන්න පුළුවන්.
යේසුස් කියන්නේ මෙහෙමයි. “පහන් රැගෙන මනාලයා හමු වන්න පිටත්ව ගිය අවිවාහක තරුණියන් දහදෙනෙකුට ස්වර්ග රාජ්‍යය සමානයි. ඔවුන් අතරෙන් පස්දෙනෙක් නුවණ නැති අයයි. අනික් පස්දෙනා නුවණ ඇති අයයි.”—මතෙව් 25:1, 2.
යේසුස් පැහැදිලි කරන්නේ දෙවිගේ රාජ්‍යය උරුම කරගන්නා නියෝජිතයන්ගෙන් භාගයක් නුවණ නැති අය විදිහට කටයුතු කරනවා කියලා නෙවෙයි. ඒ වෙනුවට ඔහු පැහැදිලි කරන්නේ සෝදිසියෙන් ඉන්නවාද නැත්නම් වෙන දේකට අවධානය දෙනවාද කියන තේරීම කරන්න ඒ හැමෝටම අවස්ථාව තියෙනවා කියලයි. දිගටම විශ්වාසවන්තව ඉඳලා තම පියාගෙන් ආශීර්වාද ලබන්න තමන්ගේ සේවකයන් හැමෝටම පුළුවන් කියලා යේසුස් හොඳින්ම දන්නවා.
නිදර්ශනයේ සඳහන් වෙන විදිහට අවිවාහක තරුණියන් දහදෙනාම බලාපොරොත්තුවෙන් ඉන්නේ මනාලයාව පිළි අරන් විවාහ උත්සවයට සහභාගි වෙන්න. මනාලියව නිවසට කැන්දාගෙන එන මනාලයාට ගෞරව කිරීමක් හැටියට පහන් දල්වලා මාර්ගය ආලෝකවත් කරන්නයි ඔවුන් බලාගෙන ඉන්නේ. ඒත් අන්තිමේදී සිද්ධ වුණේ මොකක්ද?
ඒ ගැන යේසුස් කියන්නේ මෙහෙමයි. “නුවණ නැති අය තම පහන් ගෙන ගියත් තෙල් ගෙන ගියේ නැහැ. නමුත් නුවණ ඇති අය තමන්ගේ පහන් සමඟ තෙල් පිරවූ බඳුන්ද ගෙන ගියා. මනාලයා එන්න ප්‍රමාද වෙද්දී ඒ සියල්ලන්ම නිදිබර වී නිදාගත්තා.” (මතෙව් 25:3-5) බලාපොරොත්තු වුණු තරම් ඉක්මනින් මනාලයා එන්නේ නැහැ. ඔහු එන්න හුඟක් පරක්කු වෙන නිසා තරුණියන්ට නින්ද යනවා. ඒ නිදර්ශනය අහගෙන ඉද්දී නියෝජිතයන්ට මතක් වෙන්න ඇති දුර රටකට ගිහින් ‘කලක් ගත වී රජකම ලබාගෙන නැවත ආපු’ වංශවත් මිනිසෙක් ගැන යේසුස් කියපු නිදර්ශනය.—ලූක් 19:11-15.
මනාලයා ආවාම සිද්ධ වෙන දේ ගැන යේසුස් දැන් මෙහෙම කියනවා. “එකවරම ‘මෙන්න මනාලයා ඇවිත්! ඔහුව හමු වන්න පිටත්ව යන්න’ කියන හඬක් මධ්‍යම රාත්රියේදී ඔවුන්ට ඇසුණා.” (මතෙව් 25:6) මනාලයා එද්දී අවිවාහක තරුණියන් සෝදිසියෙන් සහ සූදානමින් ඉඳියිද?
යේසුස් ඒ ගැන කියන්නේ මෙහෙමයි. “ඒ සියලු තරුණියන් නැඟිට තම පහන් සකස් කළා. නුවණ නැති අය, නුවණ ඇති අය ළඟට ගොස්, ‘අපේ පහන් නිවීගෙන යනවා. ඒ නිසා ඔබේ තෙල්වලින් ටිකක් අපට දෙන්න’ කියා ඉල්ලුවා. නුවණ ඇති අය මෙසේ පිළිතුරු දුන්නා. ‘අපි ඔබට තෙල් දුන්නොත් අපි දෙගොල්ලන්ටම තෙල් මදි වෙන්න පුළුවන්. ඒ නිසා තෙල් විකුණන්නන් ළඟට ගොස් තෙල් මිල දී ගන්න.’”—මතෙව් 25:7-9.
නුවණ නැති තරුණියන් පස්දෙනා මනාලයාගේ පැමිණීම ගැන සෝදිසියෙන්වත් සූදානමින්වත් හිටියේ නැහැ. ඔවුන් ළඟ ඇති තරම් තෙල් තිබුණේ නැති නිසා අන්තිම මොහොතේදී තෙල් හොයන්න වෙනවා. ඊටපස්සේ වුණු දේ ගැන යේසුස් කියන්නේ මෙහෙමයි. “ඔවුන් තෙල් මිල දී ගැනීමට පිටත්ව යන අතරතුර මනාලයා පැමිණි අතර සූදානම්ව සිටි තරුණියන් ඔහු සමඟ විවාහ උත්සවයට ගියා. ඉන්පසුව දොර වසා දමනු ලැබුවා. අනික් තරුණියන් පසුව ඇවිත්, ‘මහත්මයාණෙනි, මහත්මයාණෙනි, අපට දොර අරින්න’ කියා පැවසුවා. එවිට ඔහු මෙසේ පිළිතුරු දුන්නා. ‘ඇත්තෙන්ම මම ඔබව හඳුනන්නේ නැහැ.’” (මතෙව් 25:10-12) සෝදිසියෙන්වත් සූදානමින්වත් හිටියේ නැති නිසා අන්තිමේදී ඔවුන්ට සිද්ධ වුණේ මොන තරම් දුක්ඛිත දෙයක්ද!
මේ නිදර්ශනයේ සඳහන් වෙන මනාලයාගෙන් නියෝජනය වෙන්නේ යේසුස්ව කියලා නියෝජිතයන් ලේසියෙන්ම තේරුම්ගන්නවා. මොකද කලින් වතාවකදීත් යේසුස් තමන්ව මනාලයෙකුට සමාන කරලා තිබුණා. (ලූක් 5:34, 35) නුවණ ඇති තරුණියන්ගෙන් නියෝජනය වෙන්නේ කාවද? දෙවිගේ රාජ්‍යයට ඇතුල් වෙන “කුඩා රැළ” ගැන කියද්දී යේසුස් කියලා තිබුණා “සූදානම් වී සිට ඔබේ පහන් දල්වා තබාගන්න” කියලා. (ලූක් 12:32, 35) ඒ නිසා නිදර්ශනයේ සඳහන් වෙන අවිවාහක තරුණියන්ගෙන් නියෝජනය වෙන්නේ තමන් ඇතුළු දෙවිගේ රාජ්‍යයට ඇතුල් වෙන අයවයි කියලා නියෝජිතයන් තේරුම්ගන්නවා. ඇත්තටම යේසුස් මේ නිදර්ශනයෙන් කාවද්දන්නේ මොකක් ගැනද?
නිදර්ශනය අවසන් කරමින් ඔහු කියන මේ දෙයින් ඒක පැහැදිලි වෙනවා. “සෝදිසියෙන් සිටින්න. මන්ද ඔබ ඒ දවසවත් පැයවත් දන්නේ නැහැ.”—මතෙව් 25:13.
ඔව්, යේසුස් තම විශ්වාසවන්ත අනුගාමිකයන්ට කාවද්දන්නේ තමන් පැමිණ සිටින කාලය අතරතුරේදී “සෝදිසියෙන්” ඉන්න එක මොන තරම් වැදගත්ද කියලයි. නිදර්ශනයේ සඳහන් වුණු නුවණ ඇති තරුණියන් පස්දෙනා වගේ ඔවුනුත් සෝදිසියෙන් සහ සූදානමින් ඉන්න ඕනේ. එහෙම කළොත් විතරයි යේසුස් ආවාම ඔවුන්ට ලැබෙන්න නියමිත වරප්‍රසාදය භුක්ති විඳින්න පුළුවන් වෙන්නේ.
-
-
පැවරුම කඩිසරව ඉටු කිරීම ගැන පාඩමක්මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
-
-
113වෙනි පරිච්ඡේදය
පැවරුම කඩිසරව ඉටු කිරීම ගැන පාඩමක්
යේසුස් තලෙන්ත ගැන නිදර්ශනය කියයි
දෙවිගේ රාජ්‍යය පිහිටුවන්න තව සෑහෙන කාලයක් තියෙනවා කියලා පැහැදිලි කරන්න යේසුස් මීනා ගැන නිදර්ශනය කිව්වේ මීට දවස් කිහිපයකට කලිනුයි. ඒ වෙද්දී ඔහු හිටියේ යෙරිකෝවේ. දැන් නියෝජිතයන් එක්ක ඔලීව කන්දේ ඉන්න යේසුස් තවත් නිදර්ශනයක් කියනවා. මේ නිදර්ශනයත් මීනා ගැන කියපු නිදර්ශනයත් අතර සමානකම් කිහිපයක්ම තියෙනවා. ඔහු මේ නිදර්ශනය කියන්නේ තමන් පැමිණ සිටින කාලය සහ පවතින සමාජයේ අවසානය ගැන අහපු ප්‍රශ්නයට පිළිතුරු දෙන අතරතුරේදියි. මේ නිදර්ශනයෙන් ඔහු කාවද්දන්නේ තමන් විශ්වාසයෙන් ගෝලයන්ට භාර දෙන පැවරුම ඔවුන් කඩිසරව ඉටු කරන එක මොන තරම් වැදගත්ද කියලයි.
යේසුස් නිදර්ශනය පටන්ගන්නේ මෙහෙමයි. ‘පිටරට යන්න සූදානම් වූ මිනිසෙකු තම දාසයන්ව කැඳවා තමා සතු දේ ඔවුන්ට භාර දුන්නා.’ (මතෙව් 25:14) කලින් වතාවක යේසුස් “රජකම ලබාගැනීම සඳහා” දුර රටකට ගිය මිනිසෙකුට තමාව සමාන කළා. (ලූක් 19:12) ඒ නිසා දැන් කියන නිදර්ශනයේ සඳහන් වෙන “මිනිසාගෙන්” නියෝජනය වෙන්නේ යේසුස්ව කියලා නියෝජිතයන් ලේසියෙන්ම තේරුම්ගන්නවා.
ඒ මිනිසා පිටරටකට යන්න කලින් තමන් සතු වටිනා දේවල් සේවකයන්ට භාර දුන්නා. යේසුත් ඒ හා සමාන දෙයක් කරනවා. අවුරුදු තුනහමාරක් පුරා දේශනා සේවයේ හවුල් වුණු අතරතුරේදී ඔහු තමන්ගේ ගෝලයන්ව ඒ සඳහා හොඳින් පුහුණු කළා. ඊටපස්සේ යේසුස් දේශනා සේවය ගෝලයන්ට පවරනවා. යේසුස් එහෙම කරන්නේ තමන් ස්වර්ගයට ගියාට පස්සේ ගෝලයන් ඒ කාර්යය විශ්වාසවන්තව ඉටු කරයි කියන බලාපොරොත්තුවෙනුයි.—මතෙව් 10:7; ලූක් 10:1, 8, 9; යොහන් 4:38; 14:12 බලන්න.
නිදර්ශනයේ සඳහන් වෙන මිනිසා තමා සතු දේ දාසයන්ට භාර දුන්නේ කොහොමද? “ඔහු ඒවා භාර දුන්නේ එකිනෙකාගේ හැකියාව අනුවයි. ඔහු එක් කෙනෙකුට තලෙන්ත පහක්ද තව කෙනෙකුට දෙකක්ද තවත් කෙනෙකුට එකක්ද බැගින් දී පිටරට ගියා.” (මතෙව් 25:15) දාසයන් ඒ තලෙන්ත කොහොම පාවිච්චි කරයිද? ඔවුන් ඒවා යොදාගෙන ස්වාමියා සතු දේවල් තවත් වර්ධනය කරයිද?
“තලෙන්ත පහ ලැබූ තැනැත්තා වහාම ගොස් ඒවායින් වෙළඳාම් කොට තව පහක් උපයාගත්තා. එලෙසම තලෙන්ත දෙක ලැබූ තැනැත්තාද තවත් දෙකක් උපයාගත්තා. නමුත් එක තලෙන්තයක් පමණක් ලැබූ තැනැත්තා ගොස් පොළොවෙහි වළක් හාරා, තම ස්වාමියා දුන් රිදී මුදල එහි සඟවා තැබුවා.” (මතෙව් 25:16-18) ස්වාමියා ආයෙත් ආවාම මොනවා වෙයිද?
යේසුස් කියන්නේ “බොහෝ කලකට පසු ඒ දාසයන්ගේ ස්වාමියා ඔවුන් සමඟ ගණන් හිලව් බැලීමට පැමිණියා” කියලයි. (මතෙව් 25:19) මුල් දාසයන් දෙන්නා ඔවුන්ගේ “හැකියාව අනුව” උපරිමය කළා. කඩිසරව වැඩ කරපු ඔවුන් තමන්ට භාර දීපු දේ ඵලදායක විදිහට පාවිච්චි කරපු නිසා ලැබුණු මුදල වගේ දෙගුණයක් උපයාගන්න ඔවුන්ට පුළුවන් වුණා. (ඒ කාලයට අනුව කෙනෙක්ට තලෙන්තයක් උපයාගන්න නම් අවුරුදු 19ක්ම වැඩ කරන්න සිද්ධ වුණා.) ඒ සේවකයන් දෙන්නාවම එකම විදිහට අගය කරපු ස්වාමියා කිව්වේ මෙහෙමයි. “ඔබ ඉතා යහපත්, විශ්වාසවන්ත දාසයෙක්! මට ඔබ ගැන ඉතාමත් සතුටුයි. ඔබ ස්වල්පයක් ගැන විශ්වාසවන්තව කටයුතු කළා. බොහෝ දේවල් භාරව සිටීමට මම දැන් ඔබව පත් කරනවා. ඇවිත් ඔබේ ස්වාමියා සමඟ ප්‍රීති වන්න.”—මතෙව් 25:21.
ඒ සේවකයන් දෙන්නාට වඩා වෙනස් විදිහට ක්‍රියා කරපු අනිත් සේවකයා මෙහෙම කියනවා. “ස්වාමීනි, ඔබ වපුරන්නේ නැති තැන්වලින් කපාගන්නා, පොළා නොගත් තැන්වලින් රැස් කරගන්නා තද හිතක් ඇති මිනිසෙකු බව මම දැනගෙන හිටියා. ඒ නිසා, මම භය වී ඔබේ තලෙන්තය පොළොවේ වළක් හාරා සඟවා තැබුවා. මෙන්න, ඔබ සතු දේ.” (මතෙව් 25:24, 25) ඔහු අඩුම තරමින් තමන්ට ලැබුණු මුදල බැංකුවක තැන්පත් කළා නම් ඒකට පොලියක් හරි එකතු වෙනවා. ස්වාමියාගේ වත්කම වැඩි කරන්න ඔහුට කිසිම උවමනාවක් තිබුණේ නැහැ කියලා ඔහු ක්‍රියා කරපු විදිහෙන් පැහැදිලියි.
ස්වාමියා ඔහුව හඳුන්වන්නේ “ඉතා දුෂ්ට, කම්මැළි දාසයෙක්” විදිහට. අන්තිමේදී ඔහුට භාර දීපු තලෙන්තයත් අරගෙන තලෙන්ත දහයක් තිබුණු දාසයාට දෙන්න කියලා නියෝග කරන ස්වාමියා මෙහෙම කියනවා. “යමක් ඇති සෑම කෙනෙකුටම තවත් දෙනු ලබනවා. එවිට ඔහුට බොහෝ දේවල් භුක්ති විඳිය හැකියි. නමුත් යමෙකුට නැත්නම් ඔහුට තිබෙන දේ පවා ඔහුගෙන් ගනු ලබනවා.”—මතෙව් 25:26, 29.
ඒ නිදර්ශනයෙන් ගෝලයන්ට හුඟක් දේවල් ඉගෙනගන්න පුළුවන්. යේසුස් ඔවුන්ට භාර දෙන කාර්යය ඒ කියන්නේ මිනිසුන්ට යේසුස්ගේ ගෝලයන් වෙන්න උදව් කරන කාර්යය මොන තරම් වටිනවාද කියලා ඔවුන් ඒකෙන් තේරුම්ගන්නවා. යේසුස් බලාපොරොත්තු වෙන්නේ ඔවුන් ඒ කාර්යය කඩිසරව ඉටු කරයි කියලයි. ඒත් හැම කෙනෙක්ම එකම විදිහට දේවල් කරයි කියලා ඔහු බලාපොරොත්තු වෙන්නේ නැහැ. නිදර්ශනයෙන් පැහැදිලි කරපු විදිහට හැමෝම තමන්ගේ “හැකියාව අනුව” දේවල් කරන්න ඕනේ. හැබැයි “කම්මැළි” විදිහට සේවය කරමින් ස්වාමියා සතු දේ වර්ධනය කරන්න කිසිම වෙහෙසක් දරන්නේ නැති අය ගැන නම් යේසුස් පොඩ්ඩක්වත් සතුටු වෙන්නේ නැහැ.
“යමක් ඇති සෑම කෙනෙකුටම තවත් දෙනු ලබනවා” කියලා යේසුස් කියපු දේ ගැන නියෝජිතයන් මොන තරම් සතුටු වෙන්න ඇද්ද!
-
-
ක්‍රිස්තුස් බැටළුවන්ව සහ එළුවන්ව විනිශ්චය කරයිමාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
-
-
114වෙනි පරිච්ඡේදය
ක්‍රිස්තුස් බැටළුවන්ව සහ එළුවන්ව විනිශ්චය කරයි
යේසුස් බැටළුවන් සහ එළුවන් ගැන නිදර්ශනයක් කියයි
ඔලීව කන්දේ ඉන්න යේසුස් අවිවාහක තරුණියන් දහදෙනා සහ තලෙන්ත ගැන නිදර්ශන කිව්වේ ටිකකට කලිනුයි. තමන් පැමිණ සිටින කාලය ගැනත් පවතින සමාජයේ අවසාන කාල පරිච්ඡේදය ගැනත් නියෝජිතයන් අහපු ප්‍රශ්නයට උත්තර දෙමින් ඉන්න ඔහු අවසානයේදී තවත් නිදර්ශනයක් කියනවා. මේ නිදර්ශනයෙන් කියවෙන්නේ බැටළුවන් සහ එළුවන් ගැනයි.
යේසුස් නිදර්ශනය මේ විදිහට පටන්ගන්නවා. “මනුෂ්‍ය පුත්‍රයා තම තේජසින් සියලු දේවදූතයන් සමඟ එන අවස්ථාවේදී ඔහු තම තේජවත් සිංහාසනයේ ඉඳගනියි.” (මතෙව් 25:31) කලින් වතාවලදීත් යේසුස් තමන්ව “මනුෂ්‍ය පුත්‍රයා” විදිහට හඳුන්වලා තියෙන නිසා මේ නිදර්ශනයේ ප්‍රධාන චරිතය කවුද කියලා හඳුනාගන්න අමාරු නැහැ.—මතෙව් 8:20; 9:6; 20:18, 28.
ඒත් මේ නිදර්ශනයේ සඳහන් දේ ඉටු වෙන්නේ කවදාද? ඒක සිද්ධ වෙන්නේ යේසුස් “මහත් තේජසින්” දේවදූතයන් එක්ක ඇවිත් ‘සිංහාසනයේ ඉඳගන්නා’ අවස්ථාවේදියි. දේවදූතයන් එක්ක මනුෂ්‍ය පුත්‍රයා “බලයෙන්ද මහත් තේජසින්ද යුතුව අහසේ වලාකුළු මත පැමිණෙනවා” කියලා යේසුස් කලිනුත් කියලා තිබුණා. ඇත්තටම යේසුස් මහත් තේජසින් එන්නේ කවදාද? ඒක සිද්ධ වෙන්නේ “පීඩාව ඇති වූ සැණින්මයි.” (මතෙව් 24:29-31; මාක් 13:26, 27; ලූක් 21:27) එහෙමනම් බැටළුවන් සහ එළුවන් ගැන නිදර්ශනය ඉටු වෙන්නේ අනාගතයේදී ඔහු තේජසින් එන අවස්ථාවේදී කියලා පැහැදිලියි. මනුෂ්‍ය පුත්‍රයා ආවාම මොනවා වෙයිද?
ඒ ගැන යේසුස් මෙහෙම කියනවා. ‘මනුෂ්‍ය පුත්‍රයා එන අවස්ථාවේදී සියලු ජාතීන් ඔහු ඉදිරියට රැස් කරනු ලබයි. ඉන්පසුව එඬේරෙකු එළුවන්ගෙන් බැටළුවන් වෙන් කරන්නා සේ ඔහු මිනිසුන්ව වෙන් කරයි. ඔහු බැටළුවන්ව තම දකුණු පැත්තටත් එළුවන්ව තම වම් පැත්තටත් දමයි.’—මතෙව් 25:31-33.
බැටළුවන්ට ලැබෙන විනිශ්චය ගැන යේසුස් මෙහෙම කියනවා. “රජ තම දකුණු පැත්තේ සිටින අයට මෙසේ කියයි. ‘මාගේ පියාණන්ගෙන් ආශීර්වාද ලද්දෙනි, එන්න. පොළොවේ දරුවන් බිහි වූ දා සිට ඔබට සූදානම් කර තිබෙන රාජ්‍යය උරුමයක් වශයෙන් ලබාගන්න.’” (මතෙව් 25:34) ඔවුන්ට රජගේ අනුමැතිය ලැබෙන්නේ ඇයි?
ඒ ගැන රජ මෙහෙම කියනවා. “මට බඩගිනි වූ විට ඔබ මට කන්න යමක් දුන්නා. මට පිපාස වූ විට ඔබ මට බොන්න යමක් දුන්නා. ආගන්තුකයෙකුව සිටි මාව ඔබ සාදරයෙන් පිළිගත්තා. මට ඇඳුම් නොතිබුණු විට ඔබ මට ඇඳුම් ලබා දුන්නා. මට අසනීප වූ විට ඔබ මට සාත්තු කළා. මම සිරගෙයි සිටි විට ඔබ මාව බලන්න ආවා.” අපි ඒ දේවල් කළේ කවදාද කියලා බැටළුවන් විදිහට හඳුන්වන “ධර්මිෂ්ඨයන්” රජගෙන් අහද්දී ඔහු පිළිතුරු දෙන්නේ මෙහෙමයි. “මගේ මේ සහෝදරයන් අතරින් සුළුම තැනැත්තන්ගෙන් කෙනෙකුට හෝ ඔබ එසේ කළා නම් ඔබ ඒ දේ කළේ මටයි.” (මතෙව් 25:35, 36, 40, 46) ස්වර්ගයේ ඉන්න අය අසනීපවත් බඩගින්නවත් අද්දකින්නේ නැති නිසා ඔවුන් ඒ විදිහට සැලකුවේ ස්වර්ගයේ ඉන්න අයට කියලා හිතන්න බැහැ. ඒ වෙනුවට ඔවුන් ඒ විදිහට සලකලා තියෙන්නේ පොළොවේ ජීවත් වෙන ක්‍රිස්තුස්ගේ සහෝදරයන්ට කියලා පැහැදිලියි.
එළුවන්ට සිද්ධ වෙන දේ ගැන යේසුස් මෙහෙම කියනවා. “ඔහු [රජ] තම වම් පැත්තේ සිටින්නන්ට මෙසේ කියයි. ‘ශාප ලද්දෙනි, මා වෙතින් ඉවත් වී යක්ෂයාටත් ඔහුගේ දූතයන්ටත් සූදානම් කර තිබෙන සදාකාල ගින්නට යන්න. මන්ද මට බඩගිනි වූ විට ඔබ මට කන්න කිසිවක් දුන්නේ නැහැ. මට පිපාස වූ විට ඔබ මට බොන්න යමක් දුන්නේ නැහැ. ආගන්තුකයෙකුව සිටි මාව ඔබ සාදරයෙන් පිළිගත්තේ නැහැ. ඇඳුම් නැතුව සිටි විට ඔබ මට ඇඳුම් දුන්නේ නැහැ. අසනීප වී සිටියත් සිරගෙයි සිටියත් ඔබ මාව බලාගත්තේ නැහැ.’” (මතෙව් 25:41-43) ඔවුන්ට ඒ වගේ විනිශ්චයක් ලැබෙන්නේ ඔවුන් ක්‍රිස්තුස්ගේ සහෝදරයන්ට කාරුණිකව සැලකුවේ නැති නිසයි.
යේසුස් තවදුරටත් මෙහෙම කියනවා. “එවිට ඔහු [රජ] ඔවුන්ට මෙසේ පිළිතුරු දෙයි. ‘ඇත්තෙන්ම මා ඔබට කියන්නේ, මේ ඉතා සුළු තැනැත්තන්ගෙන් එක් කෙනෙකුට වුණත් ඔබ එසේ කළේ නැත්නම් ඔබ ඒ දේ නොකළේ මටයි.’ ඔවුන්ට හිමි වන්නේ සදාකාල මරණයයි. නමුත් ධර්මිෂ්ඨයන්ට සදාකාල ජීවනය හිමි වෙයි.” (මතෙව් 25:45, 46) යේසුස් අනාගතයේදී ලබා දෙන විනිශ්චය සදහටම බලපාන එකක් කියලා නියෝජිතයන් ඒකෙන් තේරුම්ගන්නවා.
නියෝජිතයන් අහපු ප්‍රශ්නයට යේසුස් දීපු පිළිතුරෙන් ඔහුගේ අනුගාමිකයන්ට හුඟක් දේවල් ඉගෙනගන්න පුළුවන්. ඔව්, ඔවුන්ගේ ආකල්ප සහ ක්‍රියාවන් ගැන සෝදිසි කරලා බලන්න ඒ තොරතුරු උදව් වෙනවා.
-