-
පාස්කුව සමරන අතරතුරේදී නිහතමානිකම ගැන පාඩමක්මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
-
-
116වෙනි පරිච්ඡේදය
පාස්කුව සමරන අතරතුරේදී නිහතමානිකම ගැන පාඩමක්
මතෙව් 26:20 මාක් 14:17 ලූක් 22:14-18 යොහන් 13:1-17
යේසුස් අවසන් වතාවට නියෝජිතයන් එක්ක පාස්කු භෝජනයට සහභාගි වෙයි
නියෝජිතයන්ගේ පාද සේදීමෙන් ඔහු වටිනා පාඩමක් උගන්වයි
යේසුස් කියපු විදිහට පේතෘස් සහ යොහන් පාස්කුව පවත්වන්න අවශ්‍ය දේවල් සූදානම් කරන්න යෙරුසලමට ගිහිල්ලයි ඉන්නේ. දවාල ගෙවීගෙන යද්දී යේසුස් අනිත් නියෝජිතයන් එක්ක ඔලීව කන්දේ ඉඳන් යෙරුසලමට යන්න පටන්ගන්නවා. තම මරණයට කලින් ඔලීව කන්දේ ඉඳන් දවල් වරුවකදී යේසුස්ට මේ ප්‍රදේශය දැකගන්න ලැබෙන අවසන් වතාව මේකයි.
ටික වෙලාවකින් යෙරුසලමට එන යේසුස් සහ නියෝජිතයන් පාස්කුව පවත්වන්න සූදානම් කරලා තියෙන විශාල උඩුමහලට යනවා. මේ වෙද්දී පාස්කු භෝජනයට ඕන කරන හැම දෙයක්ම සූදානම් කරලයි තියෙන්නේ. යේසුස් දැන් නියෝජිතයන්ට මෙහෙම කියනවා. “වධ විඳින්න කලින් ඔබ සමඟ මේ පාස්කු භෝජනයට සහභාගි වෙන්න මා තුළ තිබුණේ මහත් ආශාවක්.”—ලූක් 22:15.
පාස්කුව සමරද්දී වයින් කුසලාන අතින් අත යවන චාරිත්‍රය පටන් අරන් තියෙන්නේ හුඟ කාලෙකට කලින් ඉඳලයි. දැන් පාස්කු භෝජනය අතරතුරේදී වයින් කුසලානයක් අතට ගන්න යේසුස් දෙවිට ස්තුති කරලා මෙහෙම කියනවා. “මෙය එකිනෙකා අත යවන්න. මන්ද දෙවිගේ රාජ්‍යය පැමිණෙන තුරු මම නැවත වයින් බොන්නේ නැහැ.” (ලූක් 22:17, 18) ඒකෙන් නියෝජිතයන් තේරුම්ගන්න ඇති යේසුස් මිය යන මොහොත ළං වෙලා කියලා.
සාමාන්‍යයෙන් කෙනෙක්ව නිවසකට ආරාධනා කළාම ඔහුගේ පාද සෝදනවා. ඔහුට ආරාධනා කරපු කෙනා තමයි සේවකයෙක් මාර්ගයෙන් හරි ඒ දේ කරන්න වගබලා ගන්නේ. (ලූක් 7:44) හැබැයි මේ පාස්කු භෝජනයට යේසුස්ට සහ නියෝජිතයන්ට ආරාධනා කරපු කෙනෙක් හිටියේ නැහැ. ඒ නිසා ඕනෙ නම් නියෝජිතයන්ගෙන් කෙනෙක්ට පාද සෝදන්න අවස්ථාව තිබුණා. ඒත් කිසිම කෙනෙක් ඒකට ඉදිරිපත් වෙන්නේ නැහැ. ඒ, අනිත් අයට වඩා තමන් උසස් කියලා ඔවුන් හිතන නිසා වෙන්න ඇති. දැන් සිද්ධ වෙන්නේ හාත්පසින්ම වෙනස් දෙයක්. තමන්ගේ පිට වස්ත්‍රය ගලවලා තුවායක් ඉණේ බැඳගන්න යේසුස් බේසමකට වතුර පුරවලා නියෝජිතයන්ගේ පාද සෝදන්න පටන්ගන්නවා. ඒකෙන් නියෝජිතයන් අපහසුතාවට පත් වුණු බවට නම් සැකයක් නැහැ.
යේසුස් පේතෘස් ළඟට ආවාම “ඔබට කවදාවත් මගේ පාද සෝදන්න මම ඉඩ දෙන්නේ නැහැ” කියලා ඔහු කියනවා. එතකොට යේසුස් කියන්නේ “මා ඔබේ පාද සේදුවේ නැත්නම් ඔබ හා මා අතර කිසි සම්බන්ධයක් නැහැ” කියලයි. ඒ නිසා පේතෘස් “ස්වාමීනි, මගේ පාද විතරක් නොවෙයි, මගේ අත් දෙකත් හිසත් සෝදන්න” කියලා කියනවා. යේසුස් ඔහුට කියන්නේ මෙහෙමයි. “කෙනෙක් වතුරෙන් නාගෙන සිටිනවා නම් ඔහුගේ මුළු ශරීරයම පවිත්‍රයි. ඒ නිසා ඔහුගේ පාද සේදුවත් ඇති. ඔබ නම් පවිත්‍රයි. නමුත් සෑම කෙනෙක්ම පවිත්‍ර නැහැ.” (යොහන් 13:8-10) ඒ ගැන පේතෘස් මොන තරම් පුදුම වෙන්න ඇද්ද!
යූදස් ඇතුළු නියෝජිතයන් 12දෙනාගේම පාද සේදුවාට පස්සේ පිට වස්ත්‍රය ඇඳගන්නා යේසුස් මෙහෙම කියනවා. “මම ඔබ වෙනුවෙන් කළ මේ දේ ඔබට තේරුණාද? ඔබ මට කියන්නේ, ‘ගුරුතුමනි’ සහ ‘ස්වාමීනි’ කියායි. මම ඔබේ ගුරුතුමා හා ස්වාමීන් වන නිසා ඔබ එහෙම කියන එකත් හරියි. ඔබේ ස්වාමීන් සහ ගුරුතුමා වන මම ඔබේ පාද සේදුවා නම් ඔබත් එකිනෙකාගේ පාද සේදිය යුතුයි. මා ඔබට කළා වගේ ඔබත් කළ යුතුයි. ඔබට අනුගමනය කරන්න මම තබන ආදර්ශය එයයි. ඇත්තෙන්ම මම ඔබට කියන්නේ, දාසයෙක් තමාගේ ස්වාමියාට වඩා උතුම් නොවන බවයි. එවන ලද තැනැත්තාත් ඒ වගේමයි. ඔහුත් ඔහුව එවූ තැනැත්තාට වඩා උතුම් වන්නේ නැහැ. ඔබ මේ දේවල් දැන සිටින නිසා ඔබ ඒවා පිළිපැද්දොත් ඔබට සතුටු විය හැකියි.”—යොහන් 13:12-17.
නිහතමානීව අනිත් අයට සේවය කරන එක ගැන යේසුස් ඉගැන්නුවේ මොන තරම් වටිනා පාඩමක්ද! අනිත් අයට වඩා තමන් උසස් කියලා යේසුස්ගේ අනුගාමිකයන් හිතන්න හොඳ නැහැ. ඔවුන් යේසුස්ව ආදර්ශයට ගන්න ඕනේ. යේසුස් කළා වගේ ඔවුනුත් අනිත් අයගේ පාද සෝදන්න ඕනෙ කියලා ඒකෙන් අදහස් වෙන්නේ නැහැ. ඒ වෙනුවට තරාතිරම් බලන්නේ නැතුව නිහතමානීව අනිත් අයට සේවය කරන්න ඔවුන් සූදානමින් ඉන්න ඕනේ.
-
-
ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනයමාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
-
-
117වෙනි පරිච්ඡේදය
ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනය
මතෙව් 26:21-29 මාක් 14:18-25 ලූක් 22:19-23 යොහන් 13:18-30
යූදස් ඉස්කාරියොත් ද්‍රෝහියෙක් බව හෙළි වෙයි
මුල්ම වතාවට යේසුස් සිහි කිරීමේ භෝජනය පවත්වයි
මේ වෙද්දී යේසුස් නිහතමානිකම ගැන කදිම පාඩමක් උගන්වලයි තියෙන්නේ. පෙනෙන විදිහට පාස්කු භෝජනයෙන් පස්සේ, යේසුස් දාවිත්ගේ අනාවැකියක් උපුටා දක්වමින් මෙහෙම කියනවා. “මා සමඟ හිඳ මගේම කෑම කෑ, මා විශ්වාස කළ මගේම මිත්‍රයා මට ද්‍රෝහි වී ක්‍රියා කළේය.” ඒ දේ පැහැදිලි කරන ඔහු කියන්නේ “ඔබ අතරේ සිටින කෙනෙක් මාව පාවා දෙනවා” කියලයි.—ගීතාවලිය 41:9; යොහන් 13:18, 21.
ඒක අහලා කලබල වෙන නියෝජිතයන් හැමෝම “ස්වාමීනි, ඒ මමද” කියලා අහනවා. යූදස් ඉස්කාරියොත් පවා එහෙම අහනවා. ඒ අතරතුරේදී පේතෘස්, යේසුස් ළඟින්ම වාඩි වෙලා ඉන්න යොහන්ට කියනවා ඒ කෙනා ගැන යේසුස්ගෙන් දැනගන්න කියලා. ඒ නිසා යේසුස්ගේ ළයට හේත්තු වෙන යොහන් “ස්වාමීනි, ඒ කවුද” කියලා ඔහුගෙන් අහනවා.—මතෙව් 26:22; යොහන් 13:25.
“ඒ මා රොටි කැබැල්ලක් පොඟවා දෙන තැනැත්තායි” කියලා යේසුස් කියනවා. ඊටපස්සේ රොටි කැබැල්ලක් අරන් ඒක පොඟවලා යූදස්ට දෙන ඔහු කියන්නේ මෙහෙමයි. “මනුෂ්‍ය පුත්‍රයා ගැන ලියා තිබෙන ආකාරයට ඔහු ඔබෙන් අනිවාර්යයෙන්ම සමුගනියි. නමුත් මනුෂ්‍ය පුත්‍රයාව පාවා දෙන ඒ තැනැත්තාට මොන තරම් දරුණු විපතකට මුහුණ දෙන්න සිදු වෙයිද! ඔහු ඉපදුණේ නැත්නම් ඔහුට වඩාත් හොඳයි.” (යොහන් 13:26; මතෙව් 26:24) යූදස් දැන් සාතන්ගේ බලපෑමට හසු වෙනවා. මේ වෙද්දීත් ඔහුගේ සිතුවිලි දූෂිත වෙලයි තියෙන්නේ. යක්ෂයාගේ කැමැත්ත කරන ඔහු “විනාශ වන තැනැත්තා” බවට පත් වෙනවා.—යොහන් 6:64, 70; 12:4; 17:12.
යේසුස් යූදස්ට කියන්නේ “ඔබට කරන්න තිබෙන දේ ඉක්මනින් ගොස් කරන්න” කියලයි. අනිත් නියෝජිතයන් හිතන්නේ යූදස් මුදල් පෙට්ටිය භාරව ඉන්න නිසා ‘උත්සවය සඳහා අවශ්‍ය දේවල් මිල දී ගන්න’ එහෙමත් නැත්නම් “දිලිඳුන්ට යමක් දෙන්න” කියලා යේසුස් ඔහුට කිව්වා කියලයි. (යොහන් 13:27-30) ඒත් ඇත්තටම යූදස් යන්නේ යේසුස්ව පාවා දෙන්න.
පාස්කු භෝජනයෙන් පස්සේ යේසුස් අලුත් සැමරීමක් හඳුන්වලා දෙනවා. ඔහු රොටියක් අතට අරන් දෙවිට ස්තුති කරලා ඒක කඩනවා. ඊටපස්සේ ඒක නියෝජිතයන්ට දෙන ඔහු මෙහෙම කියනවා. “මෙයින් නියෝජනය වන්නේ ඔබ වෙනුවෙන් මා පූජා කරන්න යන මගේ ශරීරයයි. මාව සිහි කිරීමට මේ දේ නොකඩවා කරන්න.” (ලූක් 22:19) කඩපු රොටිය නියෝජිතයන් අතින් අතට යවද්දී හැමෝම ඒකෙන් කනවා.
දැන් වයින් කුසලානයක් අරන් දෙවිට ස්තුති කරන යේසුස් ඒක නියෝජිතයන්ට දීලා මෙහෙම කියනවා. “මේ කුසලානයෙන් නියෝජනය වන්නේ ඔබ උදෙසා වගුරුවනු ලබන මගේ රුධිරයයි. අලුත් ගිවිසුම ස්ථිර වන්නේ මගේ රුධිරය මාර්ගයෙනුයි.” (ලූක් 22:20) ඒ කුසලානය අතින් අතට යවද්දී නියෝජිතයන් ඒකෙන් බොනවා.
ඒ විදිහට යේසුස් අලුතින් හඳුන්වලා දීපු සැමරීම තමයි ඔහුගේ මරණය සිහි කිරීම. ඔහුගේ අනුගාමිකයන් හැම අවුරුද්දකම නීසාන් 14වෙනිදා ඒක සමරනවා. මිනිසුන්ව පාපයෙන් සහ මරණයෙන් ගලවාගන්න යේසුස් සහ ඔහුගේ පියා කරලා තියෙන දේ ඒක සමරන හැම වතාවකදීම සිහි වෙනවා. යුදෙව්වන් පවත්වපු පාස්කුවට වඩා ඒක සුවිශේෂී වෙන්නේ දෙවිට විශ්වාසවන්තව ඉන්න මිනිසුන්ට ලැබෙන සැබෑ නිදහස ඒකෙන් සිහි වෙන නිසයි.
යේසුස් කිව්වේ තමන්ගේ රුධිරය “පව් සමාව සඳහා බොහෝදෙනා උදෙසා වගුරුවනු” ලබනවා කියලයි. සමාව ලැබෙන අය අතරට ඔහුගේ නියෝජිතයන් සහ දෙවිට විශ්වාසවන්තව ඉන්න ඒ වගේ තවත් අය ඇතුළත් වෙනවා. ඒ අයට තමයි යේසුස් එක්ක පියාණන්ගේ රාජ්‍යයට ඇතුල් වෙන්න අවස්ථාව ලැබෙන්නේ.—මතෙව් 26:28, 29.
-
-
උතුම්ම කෙනා කවුද කියා විවාදයක් ඇති වෙයිමාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
-
-
118වෙනි පරිච්ඡේදය
උතුම්ම කෙනා කවුද කියා විවාදයක් ඇති වෙයි
මතෙව් 26:31-35 මාක් 14:27-31 ලූක් 22:24-38 යොහන් 13:31-38
උසස් වෙන්න උත්සාහ කිරීම ගැන යේසුස් අනතුරු අඟවයි
පේතෘස් යේසුස්ව හඳුනන්නේ නැහැ කියා පවසන බව කියයි
ප්‍රේමය යේසුස්ගේ අනුගාමිකයන්ව හඳුනාගැනීමේ ලකුණයි
යේසුස් නියෝජිතයන් එක්ක ඉන්න අන්තිම හැන්දෑ වරුවේ ඔවුන්ගේ පාද සෝදලා නිහතමානීව සේවය කරන එක ගැන පාඩමක් ඉගැන්නුවා. (මාක් 9:33, 34; 10:35-37) ඒ පාඩම ඔවුන්ට හුඟක් වටිනවා. මොකද නියෝජිතයන් දෙවිට කැප වෙලා සේවය කළත් ඔවුන් හිතුවේ තමන් අනිත් අයට වඩා උසස් කියලයි. දැන් ඔවුන්ගේ ඒ දුර්වලකම ආයෙත් මතු වෙනවා.
“ඔවුන් අතර ඉතා උණුසුම් විවාදයක්” ඇති වෙනවා. ඔවුන් වාද කරන්නේ “ඔවුන් අතරේ උතුම් තැනැත්තා කවුද” කියලයි. (ලූක් 22:24) මේ මොහොතේදීත් ඔවුන් ඒ ගැන වාද කරන එක ගැන යේසුස්ට මොන තරම් දුකක් දැනෙන්න ඇද්ද!
ඔවුන්ට බණිනවා වෙනුවට යේසුස් සන්සුන්ව මෙහෙම කියනවා. ‘සාමාන්‍යයෙන් රජවරුන් මිනිසුන්ව පාලනය කරන්නේ දරුණු විදිහටයි. එමෙන්ම මිනිසුන් බලධාරීන්ට ගරු නම්බු නාම පවා ලබා දෙනවා. නමුත් ඔබ එවැනි අයට වඩා වෙනස් අය විය යුතුයි. ඇත්තටම වඩාත් උතුම් වන්නේ කවුද? කෑමට ඉඳගෙන සිටින පුද්ගලයාද? නැත්නම් සේවය කරමින් සිටින පුද්ගලයාද?’ තමන් ඔවුන් වෙනුවෙන් තියලා තියෙන ආදර්ශය ගැන මතක් කරමින් “ඔබ වෙනුවෙන් සේවය කරන්න ඉදිරිපත් වුණේ මමයි” කියලා යේසුස් කියනවා.—ලූක් 22:25-27.
නියෝජිතයන් අතින් අඩුපාඩුකම් සිද්ධ වුණත් ඔවුන් අමාරු අවස්ථාවලදී පවා යේසුස්ට විශ්වාසවන්තව හිටියා. ඒ නිසා තමයි යේසුස් ඔවුන්ට කියන්නේ “මගේ පියාණන් මා සමඟ රාජ්‍යයක් සඳහා ගිවිසුමක් ඇති කළා සේම මම ඔබ සමඟ ගිවිසුමක් ඇති කරනවා” කියලා. (ලූක් 22:29) නියෝජිතයන්ට යේසුස් එක්ක දෙවිගේ රාජ්‍යයේ පාලකයන් විදිහට කටයුතු කරන්න අවස්ථාව ලැබෙන බවට ඒ ගිවිසුම සහතිකයක් වුණා.
අනාගතයේදී නියෝජිතයන්ට ඒ අනගි අවස්ථාව ලැබුණත් දැනට පොළොවේ ජීවත් වෙන ඔවුන්ට පව්කාරකම උරුම වෙලා තියෙනවා. යේසුස් ඔවුන්ට අනතුරු අඟවමින් කියන්නේ “තිරිඟු පොළනවා වගේ සාතන් ඔබ සියලුදෙනාවත් පොළන්න ඉල්ලා තිබෙනවා” කියලයි. (ලූක් 22:31) ඔහු මෙහෙමත් කියනවා. “අද රාත්‍රියේ මට සිදු වන දේ නිසා ඔබ සැමදෙනාම මාව අත්හැර යනවා. මන්ද ‘මම එඬේරාට පහර දෙන්නෙමි. එවිට රැළේ බැටළුවෝ සීසීකඩ විසිරී යනු ඇත’ කියා ලියා තිබෙනවා.”—මතෙව් 26:31; සෙකරියා 13:7.
ඒත් පේතෘස් කියන්නේ “අන් සියලුදෙනාම ඔබට සිදු වන දේ නිසා ඔබව අත්හැර ගියත් මම නම් කවදාවත් ඔබව අත්හරින්නේ නැහැ” කියලයි. (මතෙව් 26:33) එතකොට යේසුස් ඔහුට කියන්නේ අද රාත්‍රියේ කුකුළෙක් දෙවතාවක් හඬලන්න කලින් ඔබ මාව හඳුනන්නේ නැහැ කියනවා කියලයි. ඔහු මෙහෙමත් කියනවා. “ඔබේ විශ්වාසය දුර්වල නොවීමට මම ඔබ වෙනුවෙන් දෙවිට කන්නලව් කර තිබෙනවා. ඔබ නැවත ශක්තිමත් වූ පසු ඇවිත් ඔබේ සහෝදරයන් තුළ තිබෙන විශ්වාසය ශක්තිමත් කරන්න.” (ලූක් 22:32) ඒත් පේතෘස් ස්ථිරවම කියන්නේ “මට ඔබ සමඟ මැරෙන්න සිදු වුණත් ඔබව හඳුනන්නේ නැති බව නම් කොහොමටවත් කියන්නේ නැහැ” කියලයි. (මතෙව් 26:35) අනිත් නියෝජිතයනුත් ඒ දේම කියනවා.
යේසුස් දැන් මෙහෙම කියනවා. “මම ඔබ සමඟ සිටින්නේ තව කෙටි කාලයකට පමණයි. ඔබ මාව සොයයි. නමුත්, ‘මා යන තැනට එන්න ඔබට බැහැ’ කියා යුදෙව්වරුන්ට මා කලින් පැවසූ ලෙසම දැන් ඔබටත් කියන්න කැමතියි.” ඊටපස්සේ ඔහු මෙහෙමත් කියනවා. “මම දැන් ඔබට අලුත් ආඥාවක් දෙන්න කැමතියි. එනම් ඔබ එකිනෙකාට ප්‍රේම කළ යුතුයි. මම ඔබට ප්‍රේම කළා වගේ ඔබත් එකිනෙකාට ප්‍රේම කරන්න. ඔබ අතරේ ප්‍රේමය ඇත්නම් ඔබ මගේ ගෝලයන් බව සියලුදෙනාම දැනගනියි.”—යොහන් 13:33-35.
තමන් ඉන්නේ කෙටි කාලයකට විතරයි කියලා යේසුස් කියපු නිසා “ස්වාමීනි, ඔබ යන්නේ කොහේද” කියලා පේතෘස් අහනවා. යේසුස් පිළිතුරු දෙන්නේ මෙහෙමයි. “මා යන තැනට දැන්මම ඔබට එන්න බැහැ. නමුත් පසු අවස්ථාවක ඔබ එනවා.” ඒකෙන් අදහස් කරපු දේ තේරුණේ නැති නිසා පේතෘස් මෙහෙම කියනවා. “ස්වාමීනි, මට දැන්මම ඔබ පසුපස එන්න බැරි ඇයි? ඔබ උදෙසා මගේ ජීවිතය වුණත් දෙන්න මම ලෑස්තියි.”—යොහන් 13:36, 37.
කෑම මල්ලක්වත් පසුම්බියක්වත් ගන්නේ නැතුව ගලීලයේ දේශනා කරන්න නියෝජිතයන්ව යවපු එක ගැන යේසුස් දැන් මතක් කරනවා. (මතෙව් 10:5, 9, 10) ඒ ගමනේදී “කිසිම දෙයකින් හිඟයක් තිබුණාද” කියලා යේසුස් අහද්දී ඔවුන් පිළිතුරු දෙන්නේ “නැහැ” කියලයි. ඒත් ඉදිරියේදී සේවයේ යන්න ඕන විදිහ ගැන මඟ පෙන්වමින් යේසුස් දැන් මෙහෙම කියනවා. “යම් කෙනෙකුට පසුම්බියක් හා කෑම මල්ලක් ඇත්නම් ඔහු ඒවා රැගෙන යා යුතුයි. කඩුවක් නැත්නම් තමාගේ පිට වස්ත්‍රය විකුණා කඩුවක් මිල දී ගත යුතුයි. මන්ද ‘ඔහුව නීතිය නොතකන පව්කාරයෙකු මෙන් ගණන් ගනු ලැබුවේය’ කියා මා සම්බන්ධයෙන් ලියා තිබෙන දේ ඉටු විය යුතුයි. ඇත්තෙන්ම ඒ දේවල් දැන් ඉටු වෙනවා.”—ලූක් 22:35-37.
යේසුස් සඳහන් කළේ දුෂ්ට මිනිසුන් තමාව පව්කාරයන් එක්ක වධකණුවක ඇණ ගහන එක ගැනයි. ඒ සිද්ධියෙන් පස්සේ අනුගාමිකයන්ට දරුණු පීඩා අද්දකින්න සිද්ධ වෙනවා. තමන් ඒ දේට සූදානමින් ඉන්නවා කියලා හිතන් ඉන්න නියෝජිතයන් “ස්වාමීනි, මෙන්න අපිට කඩු දෙකක්ම තිබෙනවා” කියලා කියනවා. එතකොට යේසුස් කියන්නේ “එය ප්‍රමාණවත්” කියලයි. (ලූක් 22:38) ඔවුන් ළඟ කඩු දෙකක් තියෙන නිසා තවත් වැදගත් පාඩමක් ඔවුන්ට උගන්වන්න අවස්ථාව උදා වෙනවා.
-
-
මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
-
-
119වෙනි පරිච්ඡේදය
මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
යේසුස් යන්නේ ස්ථානයක් සූදානම් කරන්නයි
උපකාරයට යමක් එවන්න ඔහු පොරොන්දු වෙයි
පියාණන් යේසුස්ට වඩා උතුම්
තමන්ගේ මරණය සිහි කරන විදිහ කියලා දීපු යේසුස් තවමත් ඉන්නේ උඩුමහල් කාමරයේ. නියෝජිතයන්ව දිරිගන්වමින් ඔහු මෙහෙම කියනවා. “ඔබේ සිත් කලබල කරගන්න එපා. දෙවි කෙරෙහි විශ්වාසය තබන්න. මා කෙරෙහිත් විශ්වාසය තබන්න.”—යොහන් 13:36; 14:1.
තමන් වෙන් වෙලා ගියත් ඔවුන් බය වෙන්න ඕනෙ නැහැ කියලා යේසුස් මෙහෙම පැහැදිලි කරනවා. ‘මගේ පියාණන්ගේ ගෘහයෙහි වාසය සඳහා බොහෝ ස්ථාන තිබෙනවා. මා ගොස් ඔබට ස්ථානයක් සූදානම් කරනවා නම් මම නැවත එන බව මතක තබාගන්න. එවිට මම ඇවිත් ඔබව මගේ නිවසට පිළිගන්නවා. ඒ අනුව මා සිටින තැන ඔබටත් සිටිය හැකියි.’ ඒ දේ නියෝජිතයන්ට තේරෙන්නේ නැහැ. “ස්වාමීනි, ඔබ යන්නේ කොහේද කියා අපි දන්නේ නැහැ. අපි කොහොමද ඒ මාර්ගය දන්නේ” කියලා තෝමස් අහන්නේ ඒ නිසයි.—යොහන් 14:2-5.
පිළිතුරු දෙන යේසුස් “මාර්ගයත් සත්‍යයත් ජීවනයත් මමයි” කියලා කියනවා. කෙනෙක්ට පියාණන්ගේ ගෘහයට යන්න ලැබෙන්නේ යේසුස් උගන්වන දේවල් පිළිපදිමින් ඔහුව ආදර්ශයට ගන්නවා නම් විතරයි. “මා තුළින් මිස කිසිවෙකුට පියාණන් ළඟට යා නොහැකියි” කියලා යේසුස් කියන්නේ ඒ නිසයි.—යොහන් 14:6.
යේසුස්ට උනන්දුවෙන් සවන් දෙමින් ඉන්න ෆිලිප් “ස්වාමීනි, අපට පියාණන්ව පෙන්නන්න. අපට ඒ ඇති” කියලා කියනවා. ඔහු ආසාවෙන් ඉන්නේ මෝසෙස්, එලියා සහ යෙසායා වගේ දෙවියන්ව දර්ශනයකින් දැකගන්න වෙන්න ඇති. ඒත් ඊටත් වඩා වටිනා දෙයක් නියෝජිතයන්ට ලැබිලයි තියෙන්නේ. ඒ ගැන යේසුස් කියන්නේ මෙහෙමයි. “ෆිලිප්, මම මෙතරම් කලක් ඔබ සියල්ලන් සමඟ කාලය ගත කර තිබියදීත් ඔබ මාව හඳුනන්නේ නැද්ද? මාව දැක ඇති තැනැත්තා පියාණන්වත් දැක තිබෙනවා.” යේසුස් පියාණන්ව ඒ විදිහටම අනුකරණය කරන නිසා යේසුස්ව දකින එක හරියට පියාණන්ව දකිනවා වගෙයි. ඒත් පියාණන් ඔහුට වඩා උතුම්. ඒ නිසයි “මම ඔබ සැමට කියා දෙන දේවල් මගේම දේවල් නොවෙයි” කියලා යේසුස් කියන්නේ. (යොහන් 14:8-10) යේසුස් දක්ෂ විදිහට ඉගැන්නුවත් ඒ ගෞරවය ඔහු දෙන්නේ පියාණන්ට කියලා නියෝජිතයන්ට පැහැදිලියි.
යේසුස් කරපු බලවත් ක්‍රියාවන් වගේම ඔහු ශුභාරංචිය දේශනා කරපු විදිහ නියෝජිතයන් දැකලා තිබුණා. දැන් යේසුස් ඔවුන්ට මෙහෙම කියනවා. ‘මා කෙරෙහි විශ්වාසය තබන තැනැත්තාත් මා කරන ක්‍රියා කරයි. ඇත්තෙන්ම දැන් මම පියාණන් ළඟට යන නිසා ඒ තැනැත්තා මීටත් වඩා මහත් ක්‍රියා කරයි.’ (යොහන් 14:12) ඒකෙන් යේසුස් අදහස් කළේ ඔවුන් තමන් කළාට වඩා බලවත් ක්‍රියාවන් කරයි කියලා නෙවෙයි. ඒ වෙනුවට තමන්ට වඩා වැඩි කාලයක් පුරා, වැඩි ප්‍රදේශ ගණනක සහ වැඩි පිරිසකට ශුභාරංචිය කියනවා කියලයි.
යේසුස් ගියත් ඔහු නියෝජිතයන්ව තනි කරන්නේ නැහැ. “ඔබ ඕනෑම දෙයක් මගේ නාමයෙන් ඉල්ලුවොත් මම එය ඉටු කර දෙනවා” කියලා ඔහු පොරොන්දු වෙනවා. තවදුරටත් ඔහු කියන්නේ මෙහෙමයි. “මම පියාණන්ගෙන් තවත් ඉල්ලීමක් කරනවා. එවිට ඔබේ උපකාරයට ඔහු යමක් එවයි. ඒ දේ ඔබට සැමදා උපකාරයක් වෙයි. එය නම් සත්‍යය එළිදරව් කරන ඔහුගේ බලයයි.” (යොහන් 14:14, 16, 17) පොරොන්දු වුණු විදිහටම පෙන්තකොස්ත දවසේදී ඒ බලය ලැබෙනවා.
යේසුස් ඊළඟට මෙහෙම කියනවා. “තව ටික දවසකින් පසු ලෝකය මාව තවත් දකින්නේ නැහැ. නමුත් ඔබ මාව දකිනවා. මන්ද මම ජීවමාන කෙනෙක්. ඒ නිසා ඔබත් දිගටම ජීවත් වෙයි.” (යොහන් 14:19) යේසුස්ව නැවත නැඟිටෙව්වාට පස්සේ ඔවුන්ට ඔහුව දකින්න ලැබෙනවා විතරක් නෙවෙයි නියමිත කාලය ආවාම ඔහු ඔවුන්ව ස්වර්ගයට ගන්නවා.
යේසුස් දැන් මේ වැදගත් කාරණය කියනවා. “කෙනෙක් මම ආඥා කරන දේවල් පිළිගෙන ඒවා පිළිපදිනවා නම් මට ප්‍රේම කරන්නේ ඒ තැනැත්තායි. ඒ වගේම මට ප්‍රේම කරන තැනැත්තාට මගේ පියාණන් ප්‍රේම කරන අතර මමත් ඔහුට ප්‍රේම කරනවා. ඒ විතරක් නොවෙයි, මම කවුද කියා ඔහුට පැහැදිලිවම පෙන්වා දෙනවා.” එතකොට තදියස් විදිහටත් හඳුන්වන යූදස් “ස්වාමීනි, ඔබ ලෝකයට එළිදරව් වෙන්නේ නැතුව අපට පමණක් එළිදරව් වෙනවා කියා පවසන්නේ මොන හේතුවක් නිසාද” කියලා අහනවා. යේසුස් කියන්නේ මෙහෙමයි. ‘කෙනෙක් මට ප්‍රේම කරනවා නම් ඔහු මා පවසන දේ පිළිපදිනවා. මගේ පියාණන්ද ඔහුට ප්‍රේම කරනවා. මට ප්‍රේම නොකරන තැනැත්තා මා පවසන දේ පිළිපදින්නේ නැහැ.’ (යොහන් 14:21-24) මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස් කියලා ඔහුගේ අනුගාමිකයන් පිළිගත්තත් අනිත් මිනිසුන් පිළිගන්නේ නැහැ.
යේසුස් ගියාට පස්සේ ඔහු උගන්වපු දේවල් ගෝලයන් මතකයට නඟාගන්නේ කොහොමද? ඒ ගැන යේසුස් කියන්නේ මෙහෙමයි. “ඔබේ උපකාරයට පියාණන් මගේ නාමයෙන් ඔහුගේ බලය ඔබට ලබා දෙයි. ඒ බලය මාර්ගයෙන් ඔබ සෑම දෙයක්ම ඉගෙනගන්නා අතර මා ඔබට පැවසූ සියල්ල මතකයට නඟන්නත් ඔබට හැකි වෙයි.” දෙවිගේ බලය මොන තරම් ප්‍රබලද කියලා නියෝජිතයන් දැකලා තියෙන නිසා යේසුස් කියපු ඒ දේ ඔවුන්ට ලොකු දිරිගැන්වීමක්. යේසුස් මෙහෙමත් කියනවා. “මම ඔබට තබා යන්නේ සමාදානයයි. මගේ සමාදානය ඔබට දෙනවා. මා ඔබට දෙන සමාදානය ලෝකය ලබා දෙන සමාදානයට වඩා වෙනස්. ඒ නිසා ඔබේ සිත් කලබල කරගන්න එපා. ඒ වගේම ඔබේ සිත් තුළ බියක් ඇති කරගෙන පසුබසින්නත් එපා.” (යොහන් 14:26, 27) පියාණන්ගේ මඟ පෙන්වීමත් රැකවරණයත් ලැබෙන නිසා ගෝලයන්ට කනස්සලු වෙන්න කිසිම හේතුවක් නැහැ.
යේසුස් දැන් මෙහෙම කියනවා. “ලෝකයේ පාලකයා එනවා. නමුත් මාව යටත් කරගන්න ඔහුට කිසි බලයක් නැහැ.” (යොහන් 14:30) යක්ෂයාට පුළුවන් වුණා යූදස්ව යටත් කරගන්න. ඒත් යේසුස්ට වැරදි ආශාවන් නැති නිසා ඔහු ලවා දෙවියන්ට විරුද්ධ දෙයක් කරවගන්න යක්ෂයාට බැහැ. ඒ වගේම ඔහුව මරණින් පරාජය කරන්නත් යක්ෂයාට බැහැ. ඒ ඇයි? තමන් කරන්නේ ‘පියාණන් අණ කර ඇති දේවල්’ නිසා මිය ගියත් පියාණන් තමාව නැවත නැඟිටුවනවා කියලා යේසුස් දන්නවා.—යොහන් 14:31.
-
-
පල දරන අතු සහ යේසුස්ගේ මිතුරන් වීමමාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
-
-
120වෙනි පරිච්ඡේදය
පල දරන අතු සහ යේසුස්ගේ මිතුරන් වීම
සැබෑ මිදිවැල සහ අතු
දිගටම යේසුස්ගේ ප්‍රේමය ලබාගැනීම
පෙනෙන විදිහට දැන් රෑ 12ත් පහු වෙලා. යේසුස් තවමත් ඉන්නේ නියෝජිතයන්ව දිරිගන්වමින්. ඔහු දැන් වැදගත් නිදර්ශනයක් මේ විදිහට පටන්ගන්නවා.
“සැබෑ මිදිවැල මමයි. මගේ පියාණන් එහි වැවිලිකරුයි.” (යොහන් 15:1) සියවස් කිහිපයකට කලින් ඉඳලාම ඊශ්‍රායෙල් ජාතියව යෙහෝවා දෙවිගේ මිදිවැල විදිහට හැඳින්නුවා. (යෙරෙමියා 2:21; හොෂෙයා 10:1, 2) හැබැයි මේ වෙද්දී ඔවුන්ට දෙවිගේ අනුමැතිය අහිමි වේගනයි යන්නේ. (මතෙව් 23:37, 38) ඒ නිසා යේසුස් කතා කරන්නේ අලුත් දෙයක් ගැන. යෙහෝවා දෙවියන් ක්‍රි.ව. 29දී යේසුස්ව අභිෂේක කරපු අවස්ථාවේ ඉඳන් ඔහුව තමන්ගේ මිදිවැල විදිහට පෝෂණය කරන්න පටන්ගත්තා. හැබැයි ඒ මිදිවැලෙන් යේසුස්ට අමතරව තවත් අයව නියෝජනය වෙනවා කියලා ඔහු කියන මේ දෙයින් පැහැදිලියි.
“පල නොදරන සෑම අත්තක්ම මට සම්බන්ධ වී තිබුණත් ඔහු [මගේ පියාණන්] ඒවා ඉවත් කරනවා. නමුත් පල දරන සෑම අත්තකින්ම වැඩි පලදාවක් ලබාගැනීමට ඔහු ඒවා පවිත්‍ර කරනවා. අත්තක් මිදිවැලට සම්බන්ධ වී තිබුණොත් මිස තනිව එයට පල දරන්න බැහැ. ඒ හා සමානව ඔබ මා සමඟ එකට බැඳී සිටින්නේ නැත්නම් ඔබටත් පල දැරීමට නොහැකියි. මමයි මිදිවැල. එහි අතු ඔබයි.”—යොහන් 15:2-5.
ස්වර්ගයට ගියාට පස්සේ ගෝලයන්ට දෙවිගේ බලය ලබා දෙනවා කියලා යේසුස් ටිකකට කලින් පොරොන්දු වුණා. දවස් 51කට පස්සේ ඔහු කියපු විදිහටම ඔවුන්ට දෙවිගේ බලය ලැබුණාම ඔවුන් මිදිවැලේ අතු බවට පත් වෙනවා. හැබැයි ඔවුන් යේසුස් එක්ක එකට බැඳිලා ඉන්න ඕනේ. ඒ ඇයි?
ඒ ගැන යේසුස් පැහැදිලි කරන්නේ මෙහෙමයි. “කෙනෙක් මා සමඟත් මම ඔහු සමඟත් එකට බැඳී සිටියොත් ඔහුට බොහෝ පල දරන්න හැකි වෙයි. මන්ද මා සමඟ සම්බන්ධ නොවී ඔබට කිසිම දෙයක් කරන්න බැහැ.” ඔව්, මිදිවැලේ ‘අතුවලින්’ නියෝජනය වෙන විශ්වාසවන්ත අනුගාමිකයන් යේසුස්ගේ ගුණාංග අනුකරණය කරනවා නම්, දෙවිගේ රාජ්‍යය ගැන උද්‍යෝගයෙන් කතා කරනවා නම් සහ මිනිසුන්ට යේසුස්ගේ ගෝලයන් වෙන්න උදව් කරනවා නම් ඔවුන් පල දරනවා. ඒත් යේසුස් එක්ක එකට බැඳිලා පල දැරුවේ නැත්නම් ඔවුන්ව ‘කපා ඉවත් කරනවා’ කියලයි යේසුස් කියන්නේ. හැබැයි “ඔබ මා සමඟ එකට බැඳී සිට මා පැවසූ දේවල් ඔබේ සිත්වල තබාගත්තොත් ඔබට පුළුවන් ඔබ කැමති ඕනෑම දෙයක් ඉල්ලන්න. එවිට ඔබ ඉල්ලූ දේ ඉටු වෙයි” කියලත් යේසුස් කියනවා.—යොහන් 15:5-7.
මේ වෙද්දී යේසුස් තම ආඥා පිළිපදින එකේ වැදගත්කම ගැන දෙවතාවක්ම මතක් කරලයි තියෙන්නේ. (යොහන් 14:15, 21) ගෝලයන් ඇත්තටම ඒ ආඥා පිළිපදිනවාද කියලා ඔවුන්ටම තේරුම්ගන්න උදව් වෙන දෙයක් ගැන යේසුස් දැන් කියනවා. “මම මගේ පියාණන් ආඥා කර ඇති දේවල් පිළිපදින නිසා මම නිරතුරුවම ඔහුගේ ප්‍රේමය ලබනවා. ඒ වගේම ඔබත් මා ආඥා කළ දේවල් පිළිපදිනවා නම් මමත් ඔබට නිරතුරුවම ප්‍රේම කරනවා.” කොහොමවුණත් යෙහෝවා දෙවිට සහ යේසුස්ට විතරක් ප්‍රේම කරන එක ප්‍රමාණවත් නැහැ. යේසුස් කියන මේ දෙයින් ඒක පැහැදිලි වෙනවා. “මගේ ආඥාව මෙයයි. එනම් මා ඔබට ප්‍රේම කළා වගේම ඔබත් එකිනෙකාට ප්‍රේම කරන්න. කෙනෙක් තම මිත්‍රයන් උදෙසා තම ජීවිතය දෙනවා නම් ඊට වඩා උතුම් ප්‍රේමයක් තවත් නැහැ. මා ඔබට අණ කරන දේ ඔබ කරනවා නම් මම ඔබව සලකන්නේ මගේ මිත්‍රයන් ලෙසයි.”—යොහන් 15:10-14.
තව පැය කිහිපයකින් යේසුස් ජීවිතය පූජා කළාම ඔහු ගැන විශ්වාසය තියන අයට ඔහු කොයි තරම් ප්‍රේම කරනවාද කියලා ඔප්පු වෙනවා. ඔහුගේ අනුගාමිකයන් අතරෙත් ඒ වගේ ප්‍රේමයක් තියෙන්න ඕනේ. ඔවුන් යේසුස්ගේ සැබෑ ගෝලයන් වෙන්නේ එතකොටයි. මොකද “ඔබ අතරේ ප්‍රේමය ඇත්නම් ඔබ මගේ ගෝලයන් බව සියලුදෙනාම දැනගනියි” කියලා යේසුස් කලින්ම කියලා තිබුණා.—යොහන් 13:35.
නියෝජිතයන්ව “මිත්‍රයන්” විදිහට හඳුන්වපු යේසුස් මෙහෙම කියනවා. “මම ඔබව සලකන්නේ මගේ මිත්‍රයන් හැටියටයි. මගේ පියාණන් මට කියා දුන් සෑම දෙයක්ම මම ඔබට කියා දුන්නේ ඒ නිසයි.” යේසුස්ගේ මිත්‍රයන් වෙන්න ලැබෙන එකත් පියාණන් ඔහුට කියා දුන් දේවල් දැනගන්න ලැබෙන එකත් මොන තරම් වරප්‍රසාදයක්ද! ඒ වරප්‍රසාදය ලැබෙන්නේ ඔවුන් ‘දිගටම පල දැරුවොත්’ විතරයි. ඒ දේ කළොත් “මගේ නාමයෙන් ඔබ පියාණන්ගෙන් ඉල්ලන ඕනෑම දෙයක් ඔහු ඔබට ලබා දෙයි” කියලා යේසුස් කියනවා.—යොහන් 15:15, 16.
ගෝලයන් ප්‍රේමය ඇතුව කටයුතු කරන එක ඉදිරියේදී මුහුණ දෙන්න වෙන දේවල් දරාගන්න ඔවුන්ට උදව්වක් වෙයි. මිනිසුන් ඔවුන්ට වෛර කරයි කියලා යේසුස් අනතුරු ඇඟෙව්වත් ඔහු ඔවුන්ට මේ සහතිකය දෙනවා. ‘ලෝකය ඔබට වෛර කළොත් ඔබට වෛර කරන්න කලින් එය මට වෛර කළ බව ඔබ හොඳටම දන්නවා. ඔබ මේ ලෝකයේ මිනිසුන්ට සමානව සිටියා නම් ඔවුන් ඔබට ඇලුම් කරයි. මන්ද ලෝකයේ සිටින මිනිසුන් තමන්ගේ පැත්තේ සිටින අයට ඇලුම් කරනවා. නමුත් ඔබ මේ ලෝකයේ මිනිසුන්ට සමාන නොවන නිසා ඔවුන් ඔබට වෛර කරනවා.’—යොහන් 15:18, 19.
මිනිසුන් ගෝලයන්ට වෛර කරන්න හේතු වෙන තවත් දෙයක් ගැන යේසුස් මෙහෙම කියනවා. “මාව එවූ තැනැත්තාව ඔවුන් හඳුනන්නේ නැති නිසාත් ඔබ මගේ නාමය දරන නිසාත් ඔවුන් ඔබට විරුද්ධව ඒ හැම දෙයක්ම කරනවා.” ඔවුන් යේසුස් කරපු බලවත් ක්‍රියාවන් දැකලත් ඒවා පිළිගන්නේ නැති නිසා ඔවුන් වැරදිකරුවන් බව ඔප්පු වෙනවා. යේසුස් මෙහෙම කියන්නේ ඒ නිසයි. “වෙන කිසිවෙකු විසින් නොකළ ක්‍රියා මා ඔවුන් අතරේ කළේ නැත්නම් ඔවුන් පව්කාරයන් වන්නේ නැහැ. නමුත් දැන් ඔවුන් මගේ ක්‍රියා දැක මටත් මගේ පියාණන්ටත් වෛර කරනවා.” ඇත්තටම ඔවුන් එහෙම කරන එකෙන් අනාවැකියකුත් ඉටු වෙනවා.—යොහන් 15:21, 24, 25; ගීතාවලිය 35:19; 69:4.
යේසුස් දැන් ආයෙත් පොරොන්දු වෙන්නේ තම අනුගාමිකයන්ට දෙවිගේ බලය දෙනවා කියලයි. ඒ බලය ලැබුණාම පල දරන්න ඒ කියන්නේ ‘සාක්ෂි දරන්න’ ඔවුන්ට පුළුවන් වෙනවා.—යොහන් 15:27.
-
-
‘අධෛර්යය වෙන්න එපා, මම ලෝකයෙන් ජය ගත්තා’මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
-
-
121වෙනි පරිච්ඡේදය
‘අධෛර්යය වෙන්න එපා, මම ලෝකයෙන් ජය ගත්තා’
නියෝජිතයන් යේසුස්ව දකින්නේ තව කෙටි කාලයකට විතරයි
නියෝජිතයන්ගේ ශෝකය ප්‍රීතියට හැරෙයි
යේසුස් සහ නියෝජිතයන් සූදානම් වෙන්නේ පාස්කු භෝජනය පවත්වපු කාමරයෙන් පිට වෙන්න. නියෝජිතයන්ට අනතුරු ඇඟවීම් දීපු යේසුස් “මම මේ දේවල් ඔබට පැවසුවේ ඔබ පාපයට ඇද වැටෙනවා දකින්න අකමැති නිසයි” කියලා කියනවා. ඔහු මෙහෙමත් කියනවා. “මිනිසුන් ඔබව සිනගෝගවලින් නෙරපා දමයි. ඇත්තෙන්ම ඔබව මරණයට පත් කරන අය එසේ කිරීමෙන් තමන් දෙවිට මහත් සේවයක් කළ බව සිතන කාලයක් එයි.”—යොහන් 16:1, 2.
ඒක ඇහුණාම නියෝජිතයන්ට බයක් දැනෙන්න ඇති. මිනිසුන් ඔවුන්ට වෛර කරයි කියලා යේසුස් කියලා තිබුණත් දැන් තමයි මිනිසුන් ඔවුන්ව මරයි කියලා ඔහු කියන්නේ. “මම මුලින්ම ඔබට මේ දේවල් ගැන නොකිව්වේ ඒ වන විට මම ඔබ සමඟ සිටි නිසයි” කියලත් ඔහු කියනවා. (යොහන් 16:4) සමුගන්න කලින් යේසුස් දෙන අනතුරු ඇඟවීම ඉදිරියේදී වෙන දේවල් නිසා පාපයට ඇද වැටෙන්නේ නැතුව ඉන්න ඔවුන්ට උදව් වෙයි.
යේසුස් තවදුරටත් මෙහෙම කියනවා. “මාව එවූ තැනැත්තා ළඟට යන්න කාලය ඇවිත් තිබෙනවා. නමුත් ‘ඔබ යන්නේ කොහේද’ කියා ඔබෙන් එක් කෙනෙක්වත් මගෙන් අසන්නේ නැහැ.” ටික වෙලාවකට කලින් ඔවුන් ඒ ගැන යේසුස්ගෙන් ඇහුවා. (යොහන් 13:36; 14:5; 16:5) ඒත් තමන්ට මුහුණ දෙන්න වෙන පීඩා ගැන හිතන ඔවුන් දැන් ඉන්නේ දුකෙන්. යේසුස්ට ලැබෙන්න යන තේජස ගැනවත් ඒකෙන් සැබෑ අනුගාමිකයන් ලබන ප්‍රයෝජන ගැනවත් ඔවුන් අහන්නේ නැත්තේ ඒ නිසයි. ඒක තේරුම්ගත්ත යේසුස් “මම මේ දේවල් ගැන ඔබට කතා කළ නිසා ඔබේ සිත් ශෝකයෙන් බර වෙලා” කියලා කියනවා.—යොහන් 16:6.
යේසුස් දැන් මෙහෙම කියනවා. “මම පිටත්ව ගියේ නැත්නම් ඔබේ උපකාරයට ලැබිය යුතු දේ ඔබට ලැබෙන්නේ නැහැ. නමුත් මම පිටත්ව ගියොත් මම අනිවාර්යයෙන්ම ඒ දේ ඔබේ උපකාරය සඳහා ලබා දෙනවා.” (යොහන් 16:7) යේසුස් ස්වර්ගයට ගියාට පස්සෙයි ගෝලයන්ට දෙවිගේ බලය ලැබෙන්නේ. තමන්ගේ අනුගාමිකයන් ලෝකේ කොහේ හිටියත් ඒ බලය මාර්ගයෙන් ඔවුන්ට උදව් කරන්න යේසුස්ට පුළුවන්.
දෙවිගේ බලය ලැබුණාම “සියලුදෙනාටම පාපය ගැනත් ධර්මිෂ්ඨකම ගැනත් දෙවිගේ විනිශ්චය ගැනත් ඉතා පැහැදිලි අවබෝධයක් ලැබෙයි.” (යොහන් 16:8) ඔව්, මිනිසුන් දෙවිගේ පුත්‍රයාව විශ්වාස කළේ නැති එක මොන තරම් පාපයක්ද කියලා පැහැදිලි වෙනවා. ඒ වගේම යේසුස් ස්වර්ගයට ගියාම ඔහුගේ ධර්මිෂ්ඨකම ගැනත් “මේ ලෝකයේ පාලකයා” වන සාතන්ට ලැබෙන විනිශ්චය ගැනත් පැහැදිලි වෙනවා.—යොහන් 16:11.
“ඔබට කියන්න තව බොහෝ දේ මට තිබුණත් ඒවා දරාගන්න දැන් ඔබට බැහැ” කියලා යේසුස් කියනවා. ඒත් දෙවිගේ බලය ඔවුන්ට ලැබුණාම “සත්‍යය ගැන වඩාත් පූර්ණ අවබෝධයක්” ලබාගන්නත් ඊට එකඟව ජීවත් වෙන්නත් ඔවුන්ට පුළුවන්.—යොහන් 16:12, 13.
යේසුස් දැන් මෙහෙම කියනවා. “කෙටි කලකින් ඔබ මාව තවත් දකින්නේ නැහැ. නමුත් ඉන් ටික කලකට පසු ඔබ මාව නැවතත් දකියි.” ඒත් නියෝජිතයන්ට ඒක තේරෙන්නේ නැති නිසා ඔවුන් ඒ ගැන එකිනෙකාගෙන් අහනවා. ඒ නිසයි යේසුස් ඔවුන්ට මෙහෙම කියන්නේ. “ඇත්තෙන්ම මම ඔබට කියන මේ දේට සවන් දෙන්න. ඔබ බොහෝ සෙයින් හඬා වැලපෙයි. ඒ වේලාවේදී ලෝකය නම් ප්‍රීති වෙයි. ඒත් මුලින් ඔබ ශෝක වුණත් පසුව ඒ ශෝකය ප්‍රීතියට හැරෙයි.” (යොහන් 16:16, 20) ඔව්, ඊළඟ දවසේ යේසුස් මැරුණාම ආගමික නායකයන් ඒ ගැන ප්‍රීති වෙද්දී ගෝලයන් දුක් වුණත් යේසුස්ව නැවත නැඟිටෙව්වාම ඔවුන්ගේ දුක සතුටට පෙරළෙනවා. ඔවුන්ට දෙවිගේ බලය ලැබුණාම ඒ සතුට තවත් වැඩි වෙනවා.
නියෝජිතයන්ගේ තත්වය දරුවෙක්ව බිහි කරන්න ඉන්න ස්ත්‍රියකට සමාන කරන යේසුස් මෙහෙම කියනවා. “සාමාන්‍යයෙන් දරුවෙක් බිහි කරන්න සිටින ස්ත්‍රියක් සිටින්නේ මහත් වේදනාවකින්. ඒ ඇගේ දරුවා මෙලොව එළිය දකින්න නියමිත වේලාව ඇවිත් තිබෙන නිසයි. නමුත් දරුවා ලැබුණායින් පසු ඇයට විඳින්න සිදු වුණු වේදනාව ඇයට මතක් වෙන්නේ නැහැ. ඇයට දැනෙන්නේ ප්‍රීතියක් පමණයි.” නියෝජිතයන්ව දිරිගන්වමින් යේසුස් කියන්නේ මෙහෙමයි. “දැන් ඔබත් සිටින්නේ ශෝකයෙන්. නමුත් අපි නැවත හමු වන බව මතක තබාගන්න. එවිට ඔබේ සිත් ප්‍රීතියෙන් පිරී යයි. කිසිවෙකුටවත් ඒ ප්‍රීතිය ඔබෙන් සොරාගන්න බැහැ.”—යොහන් 16:21, 22.
මීට කලින් නියෝජිතයන් යේසුස්ගේ නාමයෙන් යාච්ඤා කරලා නැහැ. හැබැයි යේසුස් දැන් කියන්නේ “ඒ කාලයේදී පියාණන්ගෙන් යම් ඉල්ලීමක් කරන්න අවශ්‍ය නම් එය මගේ නාමයෙන් ඔබට කරන්න පුළුවන්” කියලයි. පියාණන් ඔවුන්ට සවන් දෙන්න අකමැතියි කියලා ඒකෙන් අදහස් වෙන්නේ නැහැ. මොකද යේසුස් කියනවා “ඔබ මට බොහෝ සෙයින් ආදරය කළ නිසාත් මම පියාණන්ගේ නියෝජිතයා හැටියට පැමිණියා කියා ඔබ විශ්වාස කළ නිසාත් පියාණන්ට ඔබ ගැන තිබෙන්නේ මහත් ආදරයක්” කියලා.—යොහන් 16:26, 27.
යේසුස් කියපු දේවලින් ඔවුන් දිරිගැන්වුණු නිසා වෙන්න ඇති “ඔබ දෙවිගෙන් පැමිණි බව අපට විශ්වාසයි” කියලා ඔවුන් කියන්නේ. ඒත් ඒ විශ්වාසය තව ටික වෙලාවකින් සෝදිසියට ලක් වෙනවා. ඒ ගැන යේසුස් පැහැදිලි කරන්නේ මෙහෙමයි. “ඔබ සියලුදෙනාම තම තමාගේ නිවෙස්වලට විසිරී යනවා. ඔබ මාව තනි කර දමනවා. ඇත්තෙන්ම ඒ දේ සිදු වන වේලාව අත ළඟයි.” ඔහු තවදුරටත් මෙහෙම කියනවා. “මම ඔබට මේ දේවල් කිව්වේ මා මාර්ගයෙන් ඔබට සමාදානය ලබා දෙන්නයි. ඔබට මේ ලෝකයෙන් නොයෙකුත් පීඩා ඇති වෙයි. නමුත් කිසි දෙයකට අධෛර්යය වෙන්න එපා. මම ලෝකයෙන් ජය ගත්තා.” (යොහන් 16:30-33) යේසුස් කවදාවත් ඔවුන්ව තනි කරන්නේ නැහැ. සාතන් සහ ඔහු යටතේ තියෙන ලෝකය ගෝලයන්ව දෙවිගෙන් ඈත් කරන්න කොයි තරම් උත්සාහ කළත් විශ්වාසවන්තව ඉඳලා ලෝකයෙන් ජය ගන්න ඔවුන්ට පුළුවන් කියලා යේසුස්ට සහතිකයි.
-
-
උඩුමහල් කාමරයේදී යේසුස් කරන අවසන් යාච්ඤාවමාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
-
-
122වෙනි පරිච්ඡේදය
උඩුමහල් කාමරයේදී යේසුස් කරන අවසන් යාච්ඤාව
දෙවියන්ව සහ ඔහුගේ පුත්‍රයාව දැන හඳුනා ගැනීමේ ප්‍රතිඵලය
යෙහෝවා දෙවියන්, යේසුස් සහ ගෝලයන් එකට බැඳී සිටියි
යේසුස් නියෝජිතයන්ට හුඟක් ආදරේ නිසා වෙන් වෙලා යන්න කලින් ඔවුන්ව ඒකට සූදානම් කළා. දැන් ස්වර්ගය දිහා බලන යේසුස් පියාණන්ට මෙහෙම යාච්ඤා කරනවා. “මම ඔබෙන් ඉල්ලන්නේ ඔබේ පුත්‍රයාව තේජසට පත් කරන්න කියායි. එවිට ඔබට ගෞරවය ගෙන දෙන්න ඔබේ පුත්‍රයාට හැකි වෙයි. මන්ද ඔබ මුළු මිනිස් වර්ගයාවම ඔහු යටතට පත් කර තිබෙනවා. එමනිසා ඔබේ පුත්‍රයාට ඔබ භාර දුන් සියලුදෙනාටම ඔහු මාර්ගයෙන් සදාකාල ජීවනය ලැබෙයි.”—යොහන් 17:1, 2.
වැදගත්ම දේ දෙවිව ගෞරවයට පත් කරන එකයි කියලා යේසුස් තේරුම් අරන් ඉන්න බව ඒකෙන් පැහැදිලියි. සදහටම ජීවත් වෙන්න ලැබෙනවා කියන බලාපොරොත්තුව ගැනත් යේසුස් කියනවා. “මුළු මිනිස් වර්ගයාවම ඔහු යටතට පත් කර තිබෙන” නිසා තමන්ගේ ජීවිත පූජාව මාර්ගයෙන් ඔවුන්ට සදාකාල ජීවිතය ලබා දෙන්න ඔහුට පුළුවන්. හැබැයි ඒක ලබාගන්න ඔවුන්ගේ පැත්තෙනුත් යම් දෙයක් කරන්න ඕනේ. යේසුස් කියන මේ දෙයින් ඒක පැහැදිලි වෙනවා. “සදාකාල ජීවනය ලබාගැනීමට ඔවුන් කළ යුතු දේ නම් එකම සැබෑ දෙවි වන ඔබවත් ඔබ එවූ තැනැත්තා වන යේසුස් ක්‍රිස්තුස්වත් දැන හඳුනා ගැනීමයි.”—යොහන් 17:3.
ඔව්, සදාකාල ජීවිතය ලබාගන්න නම් පියාණන්වත් පුත්‍රයාවත් හොඳින් දැන හඳුනා ගෙන ඔවුන් එක්ක කිට්ටු බැඳීමක් පවත්වාගන්න ඕනේ. කාරණා දිහා ඔවුන් බලන විදිහට බලන්න පුරුදු වෙන්නත් ඕනේ. අනිත් අය එක්ක කටයුතු කරද්දී දෙවියන්ව සහ යේසුස්ව ආදර්ශයට ගන්නත් ඕනේ. ඒ විතරක් නෙවෙයි වඩාත් වැදගත් වෙන්නේ දෙවිව ගෞරවයට පත් කරන එක මිසක් සදාකාල ජීවිතය නෙවෙයි කියලා තේරුම්ගන්නත් ඕනේ.
යේසුස් දැන් මෙහෙම කියනවා. “ඔබ මට කරන්න දුන් වැඩ කොටස සම්පූර්ණ කිරීමෙන් පොළොවෙහිදී මම ඔබට මහත් ගෞරවයක් ගෙන දුන්නා. දැන් පියාණෙනි, මම ඔබෙන් ඉල්ලා සිටින්නේ මාව තේජසට පත් කරන්න කියායි. ඔබ සමඟ සිටීමටත් ලෝකය පවතින්න කලින් මම ඔබ සමඟ සිටියදී ඔබ මට ලබා දී තිබුණු තේජස නැවත ලබන්නත් මම කැමතියි.” (යොහන් 17:4, 5) යේසුස් ඉල්ලන්නේ ස්වර්ගයේ ඉද්දී තිබුණු තේජස ආපහු ලබා දෙන්න කියලයි.
පොළොවේදී කරපු සේවය ගැනත් යේසුස් මතක් කරනවා. “ඔබ ලෝකයෙන් මට භාර දුන් මිනිසුන්ට මම ඔබේ නාමය ප්‍රකාශ කළා. ඇත්තෙන්ම ඔවුන් අයිති ඔබටයි. නමුත් ඔබ ඔවුන්ව මට භාර දුන්නා. ඔවුන් ඔබ පැවසූ දේවල් පිළිපැද්දා.” (යොහන් 17:6) දෙවිගේ නම යෙහෝවා කියලා උගන්වනවාට වඩා වැඩි දෙයක් යේසුස් කළා. ඔව්, දෙවිගේ ගතිගුණ ගැනත් දෙවිට මිනිසුන් ගැන හැඟෙන විදිහ ගැනත් ඔහු නියෝජිතයන්ට ඉගැන්නුවා.
යෙහෝවා දෙවියන් ගැනත් යේසුස් ඉටු කරන කාර්යය සහ ඔහු උගන්වපු දේවල් ගැනත් නියෝජිතයන් මේ වෙද්දී දන්නවා. යේසුස් හරිම නිහතමානීව ඒ ගැන පියාණන්ට කියන්නේ මෙහෙමයි. “ඔවුන් ඒ බව දන්නේ ඔබ මට කියා දුන් දේවල් මම එලෙසින්ම ඔවුන්ට කියා දුන් නිසයි. ඔවුන් ඒ දේවල් පිළිගෙන මා ඔබේ නියෝජිතයා ලෙස පැමිණි බව ඇත්තටම තේරුම්ගෙන සිටිනවා. ඔබ මාව එවූ බව ඔවුන්ට විශ්වාසයි.”—යොහන් 17:8.
තම අනුගාමිකයන් සහ අනිත් මිනිසුන් අතර තියෙන වෙනස ගැන යේසුස් කියන්නේ මෙහෙමයි. ‘මම කන්නලව් කරන්නේ මේ ලෝකයේ සිටින අය ගැන නොවෙයි. ඔබ මට භාර දුන් ඒ අය ගැනයි. මන්ද ඔවුන් අයිති වන්නේ ඔබටයි. ශුද්ධ වූ පියාණෙනි, ඔවුන්ව රැකබලා ගන්න. ඔබේ නාමය වෙනුවෙන් ඒ දේ කරන්න. මමත් සියල්ල කළේ ඔබේ නාමය වෙනුවෙනුයි. එවිට අප දෙදෙනා අතර පූර්ණ බැඳීමක් තිබෙනවා වගේ ඔවුන් අතරත් පූර්ණ බැඳීමක් ඇති වෙයි. මම ඔවුන්ව රැකබලා ගත්තා. විනාශ වන තැනැත්තා [යේසුස්ව පාවා දෙන යූදස් ඉස්කාරියොත්] හැර ඔවුන්ගෙන් එක් කෙනෙකුටවත් හානියක් වුණේ නැහැ.’—යොහන් 17:9-12.
යේසුස් තවදුරටත් දෙවිට මෙහෙම කියනවා. ‘ලෝකය ඔවුන්ට වෛර කරනවා. මම ඔබෙන් ඉල්ලන්නේ, ඔවුන්ව ලෝකයෙන් ඉවතට ගන්න කියා නොවෙයි. නමුත් දුෂ්ටයාගේ බලපෑමෙන් ඔවුන්ව ආරක්ෂා කරන්න කියායි. මම මේ ලෝකයේ මිනිසුන්ට සමාන නොවී සිටිනවා වගේම ඔවුනුත් මේ ලෝකයේ මිනිසුන්ට සමාන නොවී සිටිනවා.’ (යොහන් 17:14-16) යේසුස්ගේ නියෝජිතයන් ඇතුළු ඔහුගේ අනුගාමිකයන් ජීවත් වෙන්නේ සාතන් යටතේ තියෙන මේ ලෝකයේ වුණත් ඔවුන් ලෝකයේ බලපෑමට හසු නොවී ඉන්න ඕනේ.
ඔවුන් යේසුස් උගන්වපු දේවල් සහ හෙබ්‍රෙව් ලියවිල්ලේ සඳහන් දේවල් අදාළ කරගෙන දෙවිට අයිති සෙනඟක් විදිහට ශුද්ධව ඉන්න ඕනේ. යේසුස් ඔහුගේ යාච්ඤාවට ඒ දේත් ඇතුළත් කරනවා. “ඔබ පවසන දේ සත්‍යයයි. ඒ සත්‍යය මගින් ඔවුන්ව ශුද්ධව තබාගන්න.” (යොහන් 17:17) කාලයක් යද්දී සමහර නියෝජිතයනුත් “සත්‍යය” අඩංගු ලියවිල්ලට ඇතුළත් පොත් ලියයි. දෙවිගේ මඟ පෙන්වීමෙන් ඔවුන් ලියන ඒ තොරතුරුත් කෙනෙක්ට ශුද්ධව ඉන්න උදව් වෙනවා.
“සත්‍යය” පිළිගන්න අලුත් අය ගැනත් යේසුස් කියනවා. “මම ඔබට කන්නලව් කරන්නේ ඔවුන් ගැන පමණක් නොවෙයි. නමුත් ඔවුන් පවසන දේවල් නිසා මා කෙරෙහි විශ්වාසය තබන අය ගැනත් ඔබට කන්නලව් කරනවා.” ඒ හැමෝම වෙනුවෙන් යේසුස් මේ ඉල්ලීම කරනවා. “පියාණෙනි, ඔබ මා සමඟත් මම ඔබ සමඟත් එකට බැඳී සිටින්නා සේ ඔවුන් සියලුදෙනා අතරත් එකඟතාවක් ඇති වෙයි. ප්‍රතිඵලයක් ලෙස ඔවුන් අප සමඟද එකට බැඳී සිටියි. ඒ වගේම ඔබ මාව එවූ බව විශ්වාස කරන්නත් ලෝකයට හැකි වෙයි.” (යොහන් 17:20, 21) පියාණන් එක්ක තමන් එකට බැඳී ඉන්නවා කියලා යේසුස් කිව්වේ ඔවුන් දෙන්නා හැම කාරණයකදීම එකඟතාවකින් කටයුතු කරන නිසයි. ඒ හා සමාන එකඟතාවක් ගෝලයන් අතරත් ඇති කරන්න කියලයි ඔහු ඉල්ලන්නේ.
ටිකකට කලින් යේසුස් පේතෘස්ට සහ අනිත් නියෝජිතයන්ට කියලා තිබුණා ඔවුන්ට ස්වර්ගයේ තැනක් සූදානම් කරනවා කියලා. (යොහන් 14:2, 3) ඔහු දැන් යාච්ඤා කරන්නේ ඒ ගැනයි. “පියාණෙනි, ඔබ මට දී තිබෙන අය වෙනුවෙන් මම ඉල්ලීමක් කරනවා. ඔවුනුත් මා සමඟ සිටිනවා දකින්න මම කැමතියි. පොළොවේ දරුවන් බිහි වීමට කලින් ඔබ මට ප්‍රේම කළ නිසා මට දී ඇති තේජස ඔවුන්ට එවිට දැකගත හැකි වෙයි.” (යොහන් 17:24) යේසුස් කියන්නේ ආදම් සහ ඒව දරුවන්ව බිහි කරන්නත් කලින් ඉඳලාම දෙවියන් ඔහුගේ එකම පුත්‍රයාට හුඟක් ආදරේ කළා කියලයි.
යේසුස් යාච්ඤාව අවසන් කරන්නේ දෙවිගේ නාමය ගැනත් නියෝජිතයන්ට සහ “සත්‍යය” පිළිගන්න හැමෝටම දෙවියන් කොයි තරම් ආදරෙයිද කියලත් මතක් කරමිනුයි. “ඔබ මට දැක්වූ ප්‍රේමය ඔවුන් තුළ තිබීමටත් මා ඔවුන් සමඟ එකට බැඳී සිටීම සඳහාත් මම ඔබේ නාමය ගැන ඔවුන්ට දැනුම් දුන්නා. ඒ ගැන ඉදිරියටත් දැනුම් දෙනවා.”—යොහන් 17:26.
-
-
මහත් ශෝකයෙන් සිටි මොහොතක යාච්ඤා කරයිමාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
-
-
123වෙනි පරිච්ඡේදය
මහත් ශෝකයෙන් සිටි මොහොතක යාච්ඤා කරයි
මතෙව් 26:30, 36-46 මාක් 14:26, 32-42 ලූක් 22:39-46 යොහන් 18:1
යේසුස් ගෙත්සෙමන උයනට යයි
ඔහුගේ දහඩිය ලේ බිංදු මෙන් පොළොවට වැටෙයි
යේසුස් නියෝජිතයන් එක්ක කරපු යාච්ඤාව අවසන්. ඊටපස්සේ ප්‍රශංසා ගී ගයපු ඔවුන් ඔලීව කන්දට යනවා. (මාක් 14:26) ඔවුන් යන්නේ නැඟෙනහිර දෙසින් පිහිටලා තියෙන යේසුස්ට හුරු පුරුදු ගෙත්සෙමන උයනට.
ඔලීව ගස් තියෙන ඒ උයනට ආවාම යේසුස් නියෝජිතයන් අටදෙනෙක්ට කියනවා “මා අතනට ගොස් යාච්ඤා කරන තුරු මෙහි ඉඳගෙන සිටින්න” කියලා. ඔවුන් නතර වෙන්න ඇත්තේ උයනට ඇතුල් වෙන තැන වෙන්න ඇති. පේතෘස්, යාකොබ් සහ යොහන් එක්ක උයන ඇතුළට යන යේසුස් ඔවුන්ට මෙහෙම කියනවා. “මා තුළ ඇති වී තිබෙන ශෝකය කොතරම්ද කියනවා නම් මට දැනෙන්නේ මා මිය යනවා වගෙයි. ඔබ මෙහි නැවතී මා සමඟ අවදියෙන් සිටින්න.”—මතෙව් 26:36-38.
ටික දුරක් ඉදිරියට යන යේසුස් ‘බිම වැටී යාච්ඤා’ කරන්න පටන්ගන්නවා. මේ වගේ මොහොතක ඔහු යාච්ඤා කරනවා ඇත්තේ මොනවා ගැනද? ඔහු කියන්නේ මෙහෙමයි. “පියාණෙනි, ඔබට සෑම දෙයක්ම කරන්න පුළුවන්. මේ කුසලානය මගෙන් ඉවත් කරන්න. නමුත් සිදු විය යුත්තේ මා කැමති දේ නොව ඔබ කැමති දෙයයි.” (මාක් 14:35, 36) ඔහු එහෙම කියන්නේ ජීවිතය පූජා කරන්න ඔහු කැමති නැති නිසාද? නැහැ.
ස්වර්ගයේ ඉද්දී යේසුස් දැකලා තිබුණා රෝමවරුන් කුරිරු විදිහට මිනිසුන්ව මරලා දාන විදිහ. දැන් මිනිසෙක් විදිහට ඇවිත් ඉන්න යේසුස් ඒ වගේ මරණයක් අද්දකින්න ආසාවෙන් බලන් ඉන්නවා කියලා නම් හිතන්න බැහැ. කොහොමවුණත් ඔහු වැඩියෙන්ම දුක් වෙන්නේ අපරාධකාරයෙක් කියන චෝදනාව පිට තමන් මරණය අද්දකිද්දී ඒකෙන් දෙවිගේ නාමයට අගෞරවයක් වෙන්න පුළුවන් නිසයි. දෙවිට අපහාස කරපු කෙනෙක් විදිහට සලකලා ඔහුව වධකණුවක ඇණ ගහන්න තව වැඩි වෙලාවක් ඉතුරු වෙලා නැහැ.
ටික වෙලාවක් යාච්ඤා කළාට පස්සේ යේසුස් නියෝජිතයන් තුන්දෙනා ළඟට එනවා. ඒ වෙද්දී ඔවුන්ට නින්ද ගිහින් තිබුණු නිසා යේසුස් පේතෘස්ට මෙහෙම කියනවා. “එක පැයක්වත් මා සමඟ අවදියෙන් සිටින්න ඔබට බැරි වුණාද? යම් වරදක් කිරීමට පෙලඹීමක් ඇති නොවීම සඳහා ඔබ අවදිව සිට නොකඩවා යාච්ඤා කළ යුතුයි.” කොහොමවුණත් මේ වෙලාවේ නියෝජිතයන් ඉන්නේ ලොකු පීඩනයකින් නිසාත් දැන් හොඳටම රෑ බෝ වෙලා තියෙන නිසාත් යේසුස් මෙහෙම කියනවා. “සිත කොතරම් කැමති වුණත් මිනිසුන්ගේ දුර්වලකම එයට ඉඩ දෙන්නේ නැහැ.”—මතෙව් 26:40, 41.
ඊළඟට යේසුස් දෙවෙනි වතාවටත් ගිහින් යාච්ඤා කරනවා. ඔහු දෙවිට කියන්නේ “මේ කුසලානය” ඉවත් කරන්න කියලයි. හරි නම් මේ වෙලාවේදී නියෝජිතයනුත් වරදකට හසු වෙන්නේ නැතුව ඉන්න උදව් ඉල්ලලා යාච්ඤා කරන්න ඕනේ. ඒත් යේසුස් ආපහු සැරයක් ඔවුන් ළඟට එද්දී ඔවුන් ආයෙත් නින්දට වැටිලා. යේසුස් ඔවුන්ට කතා කරද්දී “නිදහසට කුමක් කියන්නද කියාවත්” ඔවුන්ට හිතාගන්න බැහැ. (මාක් 14:40) ඊටපස්සේ යේසුස් තුන්වෙනි වතාවටත් ගිහින් දණින් වැටිලා යාච්ඤා කරනවා.
පියාණන්ගේ නාමයට කිසිම විදිහකින්වත් අගෞරවයක් වෙනවාට කැමති නැති නිසා යේසුස් දිගින් දිගටම යාච්ඤා කරනවා. යෙහෝවා දෙවියන් පුත්‍රයාගේ යාච්ඤාවලට හොඳින් සවන් දීගෙනයි ඉන්නේ. ඒ නිසා යේසුස්ව ශක්තිමත් කරන්න ඔහු දේවදූතයෙක්වත් එවනවා. ඒ වුණත් ඔහු පියාණන්ට කන්නලව් කරන එක නතර කරන්නේ නැහැ. ඒ වෙනුවට “ඔහු වඩාත් ඕනෑකමින් යාච්ඤා” කරනවා. මේ වෙලාවේ යේසුස්ට දැනෙන පීඩනය මොන තරම්ද කියනවා නම් “ඔහුගේ දහඩිය ලේ බිංදු මෙන් වී පොළොවට වැටෙනවා.” (ලූක් 22:44) ඔහුට පැවරිලා තියෙන්නේ මොන තරම් ලොකු වගකීමක්ද! ඔහු විශ්වාසවන්තව ඉන්න එක මත තමයි ඔහුටත් මිනිසුන්ටත් සදාකාල ජීවිතය ලැබෙනවාද නැද්ද කියන එක තීරණය වෙන්නේ.
යේසුස් තුන්වෙනි වතාවටත් නියෝජිතයන් ළඟට එද්දී ඔවුන් නිදි. ඒ නිසා ඔහු මෙහෙම කියනවා. “මෙවැනි වේලාවක ඔබ නිදාගෙන විවේක ගන්නවාද? බලන්න! මනුෂ්‍ය පුත්‍රයා පව්කාරයන්ගේ අතට පාවා දෙනු ලබන පැය ළඟා වෙලා! නැඟිටින්න, අපි යමු. මෙන්න! මාව පාවා දෙන තැනැත්තා ළඟටම ඇවිත්.”—මතෙව් 26:45, 46.
-
-
ක්‍රිස්තුස්ව පාවා දීම සහ අත්අඩංගුවට ගැනීමමාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
-
-
124වෙනි පරිච්ඡේදය
ක්‍රිස්තුස්ව පාවා දීම සහ අත්අඩංගුවට ගැනීම
මතෙව් 26:47-56 මාක් 14:43-52 ලූක් 22:47-53 යොහන් 18:2-12
උයනේදී යූදස් යේසුස්ව පාවා දෙයි
පේතෘස් මිනිසෙකුගේ කන කපා දමයි
යේසුස්ව අත්අඩංගුවට ගනියි
දැන් මධ්‍යම රාත්‍රියත් පහු වෙලා. මේ වෙද්දී යේසුස්ව පාවා දීම වෙනුවෙන් යූදස්ට රිදී කාසි 30ක් ගෙවන්න පූජකයන් පොරොන්දු වෙලයි තියෙන්නේ. ඒ නිසා යූදස් උත්තම පූජකයන් සහ පරිසිවරුන් කණ්ඩායමක් එක්ක යේසුස්ව හොයාගෙන යනවා. ඔවුන් එක්ක සෙන්පතියෙක් සහ කඩු මුගුරු අරන් එන රෝම හේවායන් පිරිසකුත් ඉන්නවා.
පෙනෙන විදිහට පාස්කු භෝජනයෙන් පස්සේ යූදස් කෙළින්ම ගිහින් තියෙන්නේ නායක පූජකයන්ව මුණගැහෙන්න. (යොහන් 13:27) නායක පූජකයන් හේවායන්වත් තමන්ගේම නිලධාරීන්වත් එකතු කරගත්තා. යූදස් ඔවුන්ව අරන් මුලින්ම යන්න ඇත්තේ යේසුස් පාස්කු භෝජනය පවත්වපු උඩුමහල් කාමරයට වෙන්න ඇති. දැන් ඔවුන් කිද්‍රොන් නිම්නය හරහා යේසුස් ඉන්න උයනට යනවා. යේසුස්ව කොහොමහරි හොයාගන්න ඕන නිසා ඔවුන් පන්දම් සහ පහනුත් අරගෙන ඇවිත්.
පහුගිය දවස්වල යේසුස් සහ නියෝජිතයන් බෙතානියේ ඉඳන් යෙරුසලමට යද්දී එද්දී, හුඟක් වෙලාවට ගෙත්සෙමන උයනේ ටිකකට නතර වුණා. ඒ නිසා මේ වෙලාවෙත් යේසුස් එතැන ඇති කියලා හිතන යූදස් තමන් එක්ක ඉන්න අයව එතැනට එක්කගෙන යනවා. හැබැයි මේ වෙද්දී රෑ බෝ වෙලා තියෙන නිසා යේසුස්ව හඳුනාගන්න ඔවුන්ට පුළුවන් වෙයිද? යේසුස්ව කවදාවත් දැකලා නැති හේවායනුත් ඔවුන් අතරේ ඉන්නවා ඇති. ඒ අයට උදව්වක් විදිහට යූදස් මෙහෙම කියනවා. “මම ඔහුව සිඹගන්නවා. එවිට ඔබට ඔහුව හඳුනාගත හැකියි. ඉන්පසු ඔහුව අත්අඩංගුවට ගෙන රැගෙන යන්න.”—මාක් 14:44.
සෙනඟව එක්කගෙන යන යූදස් යේසුස්ව සහ නියෝජිතයන්ව දකිනවා. ඔහු කෙළින්ම ඇවිදගෙන යන්නේ යේසුස් ළඟට. “ගුරුතුමනි, සුබ දවසක් වේවා” කියා පවසමින් මහත් ආදරයක් මවාපාන ඔහු යේසුස්ව සිඹගන්නවා. යේසුස් ඔහුගෙන් අහන්නේ “ඔබ පැමිණ සිටින්නේ කුමක් සඳහාද” කියලයි. (මතෙව් 26:49, 50) යේසුස්ම ඊට පිළිතුර දෙමින් “යූදස්, ඔබ මනුෂ්‍ය පුත්‍රයාව පාවා දෙන්නේ මෙලෙසද” කියලා අහනවා.—ලූක් 22:48.
සෙනඟ ඉදිරියට එන යේසුස් ඔවුන්ගෙන් අහන්නේ “ඔබ සොයන්නේ කාවද” කියලයි. “නාසරෙත් නුවරින් පැමිණි යේසුස්ව” කියලා ඔවුන් පිළිතුරු දෙනවා. එතකොට යේසුස් කිසිම බයක් නැතුව කියන්නේ “ඒ මමයි” කියලයි. (යොහන් 18:4, 5) ඒක අහලා පුදුම වෙන සෙනඟ පස්සෙන් පස්සට ගිහින් බිම ඇද වැටෙනවා.
ඒ වෙලාවේ එතැනින් පැනලා යනවා වෙනුවට ඔවුන් හොයන්නේ කාවද කියලා යේසුස් ආයෙත් සැරයක් අහනවා. ඔවුන් පිළිතුරු දෙන්නේ “නාසරෙත් නුවරින් පැමිණි යේසුස්ව” කියලයි. යේසුස් හරිම සන්සුන් විදිහට මෙහෙම කියනවා. “ඒ මම කියා දැන් ඔබට කිව්වා නේද? ඔබ හොයන්නේ මාව නම් මේ අයට යන්න දෙන්න.” මට භාර දීපු අයගෙන් කිසිම කෙනෙක්ව නැති කරගන්නේ නැහැ කියලා කියපු දේ යේසුස් මේ දුෂ්කර මොහොතේදීවත් අමතක කරන්නේ නැහැ. (යොහන් 6:39; 17:12) “විනාශ වන තැනැත්තා” වන යූදස් හැර යේසුස්ගේ විශ්වාසවන්ත නියෝජිතයන් අතරින් කිසිම කෙනෙක්ට හානියක් වෙන්න යේසුස් ඉඩ දුන්නේ නැහැ. (යොහන් 18:7-9) දැන් ඔහු කියන්නේ තමන්ගේ විශ්වාසවන්ත නියෝජිතයන්ට යන්න හරින්න කියලයි.
හේවායන් යේසුස්ව අල්ලාගන්න හදනකොට “ස්වාමීනි, අපි කඩුවෙන් පහර දෙන්නද” කියලා නියෝජිතයන් අහනවා. (ලූක් 22:49) යේසුස් පිළිතුරක් දෙන්න කලින් පේතෘස් නියෝජිතයන් ළඟ තිබුණු කඩු දෙකෙන් එකක් අරන් උත්තම පූජකයාගේ සේවකයෙක් වුණු මැල්කස්ට පහර දීලා ඔහුගේ දකුණු කන කපනවා.
ඒ වෙලාවේම යේසුස් මැල්කස්ගේ කන අල්ලලා තුවාලේ සුව කරනවා. ඊටපස්සේ ඔහු වැදගත් පාඩමක් උගන්වමින් පේතෘස්ට කියන්නේ මෙහෙමයි. “ඔබේ කඩුව තිබුණ තැනට ආපසු දමාගන්න. මන්ද කඩු ගන්න සෑම කෙනෙක්ම කඩුවෙන්ම නසිනවා.” තමන්ව අත්අඩංගුවට ගන්න එක වළක්වන්න යේසුස් උත්සාහ කරන්නේ නැහැ. ඊට හේතුව පැහැදිලි කරමින් ඔහු අහන්නේ “මා එසේ කළොත් සිදු විය යුතු දේවල් ගැන ශුද්ධ ලියවිල්ලේ සඳහන් දේ ඉටු වන්නේ කොහොමද” කියලයි. (මතෙව් 26:52, 54) ඒ වගේම “පියාණන් මට බොන්න දී ඇති කුසලානයෙන් මම අනිවාර්යයෙන්ම පානය කළ යුතුයි” කියලත් ඔහු කියනවා. (යොහන් 18:11) මැරෙන්න සිද්ධ වුණත් දෙවිගේ කැමැත්ත ඉටු කරන්න යේසුස් පොඩ්ඩක්වත් අදිමදි කරන්නේ නැහැ.
ඇවිත් ඉන්න සෙනඟට යේසුස් මෙහෙම කියනවා. “ඔබ කඩු මුගුරු රැගෙන මාව අත්අඩංගුවට ගන්න ආවේ මා සොරෙක් කියා හිතාගෙනද? මම හැමදාම දේවමාලිගාවේ ඉඳගෙන උගන්වමින් සිටියා නේද? නමුත් එහිදී ඔබ මාව අත්අඩංගුවට ගත්තේ නැහැ. නමුත් මේ සියල්ල මෙලෙස සිදු වී තිබෙන්නේ අනාගතවක්තෘවරුන් ලියා ඇති දේවල් ඉටු වීම සඳහායි.”—මතෙව් 26:55, 56.
දැන් සෙන්පති සහ හේවායන් වගේම යුදෙව් නිලධාරීන් හැමෝම එකතු වෙලා යේසුස්ගේ අත් බඳිනවා. මේක දකින නියෝජිතයන් එතැනින් පැනලා ගියත් එක “තරුණයෙක්” සෙනඟ අතරේම ඉන්නවා. පෙනෙන විදිහට ඒ යේසුස්ගේ ගෝලයෙක් වුණු මාක් වෙන්න ඕනේ. (මාක් 14:51) ඔහු යේසුස් පසුපසින් ටික දුරක් යද්දී සෙනඟ ඔහුව හඳුනාගෙන ඔහුව අල්ලාගන්න හදනවා. ඒ වෙලාවේ ඔහු තමන්ගේ ලිනන් වස්ත්‍රයත් දාලා එතැනින් පලා යනවා.
-
-
යේසුස්ව අන්නස් වෙතටත් පසුව කායෆස් වෙතටත් ගෙන යයිමාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
-
-
125වෙනි පරිච්ඡේදය
යේසුස්ව අන්නස් වෙතටත් පසුව කායෆස් වෙතටත් ගෙන යයි
මතෙව් 26:57-68 මාක් 14:53-65 ලූක් 22:54, 63-65 යොහන් 18:13, 14, 19-24
කලින් උත්තම පූජකයාව සිටි අන්නස් වෙතට යේසුස්ව ගෙන යයි
මන්ත්‍රණ සභාව නීති විරෝධී නඩු විභාගයක් පවත්වයි
අපරාධකරුවෙක් විදිහට යේසුස්ගේ අත් බැඳලා දැන් අරන් යන්නේ අන්නස් ළඟට. අවුරුදු 12දී යේසුස් දේවමාලිගාවේ ගුරුවරුන්ව පුදුම වෙන විදිහට කතා කරපු අවස්ථාවේ උත්තම පූජකයා වෙලා හිටියේ අන්නස්. (ලූක් 2:42, 47) ඔහුගේ සමහර පුත්‍රයනුත් උත්තම පූජකයා විදිහට සේවය කරලා තියෙනවා. දැන් උත්තම පූජකයා වෙලා ඉන්නේ අන්නස්ගේ බෑනා වන කායෆස්.
යේසුස් අන්නස්ගේ ගෙදර ඉද්දී කායෆස්ට මන්ත්‍රණ සභාව රැස් කරන්න අවස්ථාව ලැබෙනවා. ඒකට සාමාජිකයන් 71දෙනෙක් ඇතුළත්. උත්තම පූජකයාට අමතරව කලින් උත්තම පූජකයන් විදිහට සේවය කරපු අයත් ඒ අතරේ ඉන්නවා.
යේසුස්ගේ “ගෝලයන් ගැනත් ඔහුගේ ඉගැන්වීම් ගැනත්” අන්නස් ප්‍රශ්න කරද්දී යේසුස් පිළිතුරු දෙන්නේ මෙහෙමයි. “මම සෑම දෙයක්ම ඉගැන්වූයේ ප්‍රසිද්ධියේයි. මම නිතරම ඉගැන්වූයේ යුදෙව්වරුන් සියලුදෙනා එක් රැස් වන සිනගෝගයකදී නැත්නම් දේවමාලිගාවේදීයි. මම කිසිම දෙයක් රහසින් කිව්වේ නැහැ. ඔබ මගෙන් මේ ප්‍රශ්න අසන්නේ ඇයි? මා පැවසූ දේවල් අසාගෙන සිටි අයගෙන් අහලා බලන්න.”—යොහන් 18:19-21.
යේසුස්ගේ කම්මුලට ගහන නිලධාරියෙක් “ඔබ නායක පූජකයාට පිළිතුරු දෙන්නේ මෙහෙමද” කියලා අහනවා. ඒත් යේසුස් මෙහෙම කියනවා. “මා කී දේ වැරදි නම් ඒ වරද මොකක්ද කියලා මට කියන්න. නමුත් මම පැවසූ දේවල වරදක් නැත්නම් ඔබ මට පහර දෙන්නේ ඇයි?” (යොහන් 18:22, 23) දැන් අන්නස් යේසුස්ව කායෆස් ළඟට යවනවා.
මේ වෙද්දී උත්තම පූජකයා, වැඩිමහල්ලන් සහ නීතිය පිටපත් කරන අය ඇතුළු මුළු මන්ත්‍රණ සභාවම කායෆස්ගේ නිවසේ රැස් වෙලයි ඉන්නේ. පාස්කු දවසේ රෑ නඩු විභාගයක් පවත්වන එක නීති විරෝධී වුණත් තමන්ගේ දුෂ්ට අරමුණ ඉටු කරගන්න ඔවුන් ඒක බාධාවක් කරගන්නේ නැහැ.
මේක සාධාරණ නඩු විභාගයක් වෙයි කියලා හිතන්න බැහැ. මොකද ලාසරුස්ව නැවත නැඟිටෙව්වාට පස්සේ යේසුස්ව මරන්න මන්ත්‍රණ සභාව තීරණය කළා. (යොහන් 11:47-53) මීට ටික දවසකට කලිනුත් යේසුස්ව මරන්න ආගමික නායකයන් කුමන්ත්‍රණය කළා. (මතෙව් 26:3, 4) ඔව්, නඩු විභාගය පටන්ගන්නත් කලින් ඔවුන් යේසුස්ව මරන්න තීරණය කරලා ඉවරයි.
නීති විරෝධී විදිහට නඩු විභාගයක් පවත්වන්න තීරණය කරපු නායක පූජකයන් සහ මන්ත්‍රණ සභාවේ අනිත් අය යේසුස්ට විරුද්ධව බොරු සාක්ෂි හොයනවා. හුඟක් අය ඔහුට විරුද්ධව සාක්ෂි දුන්නත් ඒ සාක්ෂිවල එකඟතාවක් නැහැ. අන්තිමේදී දෙන්නෙක් ඇවිත් කියන්නේ මෙහෙමයි. “අපට ඇහුණා ඔහු මෙහෙම කියනවා. ‘අතින් සෑදූ මෙම දේවමාලිගාව කඩා දමා, අතින් නොසෑදූ වෙන එකක් දවස් තුනකින් මම ගොඩනඟනවා.’” (මාක් 14:58) ඒත් ඔවුන්ගේ සාක්ෂි අතරත් එකඟතාවක් නැහැ.
කායෆස් දැන් යේසුස්ගෙන් මෙහෙම අහනවා. “ඔබ කිසි පිළිතුරක් දෙන්නේ නැද්ද? මොවුන් ඔබට විරුද්ධව දෙන මේ සාක්ෂි ඔබට ඇහෙනවාද?” (මාක් 14:60) මිනිසුන් යේසුස්ට විරුද්ධව එකඟතාවක් නැති බොරු සාක්ෂි දෙද්දී යේසුස් ඉන්නේ නිහඬවයි. ඒ නිසා කායෆස් දැන් වෙන උපක්‍රමයක් යොදාගන්නවා.
කිසිම කෙනෙක් තමන් දෙවිගේ පුතා කියලා කියාගන්නවාට යුදෙව්වන් කැමති නැහැ කියලා ඔහු දන්නවා. කලින් වතාවකදී දෙවියන් තමන්ගේ පියා කියලා යේසුස් කියපු නිසා ඔහු ‘දෙවිට සමාන වීමට උත්සාහ කරනවා’ කියලා චෝදනා කරපු යුදෙව්වන් ඔහුව මරන්න උත්සාහ කළා. (යොහන් 5:17, 18; 10:31-39) ඒ හැම දෙයක් ගැනම දන්න කායෆස් දැන් හරිම කපටි විදිහට යේසුස්ගෙන් මෙහෙම අහනවා. “මා ජීවමාන දෙවිගේ නාමයෙන් දිවුරා ඔබ ඉදිරියේ ප්‍රශ්නයක් අසන්න කැමතියි. ඔබ දෙවිගේ පුත්‍රයා වන ක්‍රිස්තුස්ද කියා අපට කියන්න.” (මතෙව් 26:63) තමන් දෙවිගේ පුත්‍රයා කියලා යේසුස් මේ වෙද්දී කියලා තියෙනවා. (යොහන් 3:18; 5:25) හැබැයි මේ වෙලාවේ නිහඬව හිටියොත් තමන් දෙවිගේ පුත්‍රයා සහ ක්‍රිස්තුස් කියලා පිළිගන්න යේසුස් කැමති නැහැ කියලා ඇඟවෙන්න පුළුවන්. ඒ නිසයි ඔහු මෙහෙම කියන්නේ. “ඒ මම තමයි. මනුෂ්‍ය පුත්‍රයා බලවත් තැනැත්තාණන්ගේ දකුණු පැත්තේ ඉඳගෙන සිටින ආකාරයත් ආකාශයේ වලාකුළු සහිතව එන ආකාරයත් ඔබට දකින්න ලැබෙයි.”—මාක් 14:62.
ඒක ඇහුණාම කායෆස් තමන්ගේ පිට වස්ත්‍ර ඉරාගනිමින් මෙහෙම කියනවා. “ඔහු දැන් කළේ දේවඅපහාසයක්! අපට තව සාක්ෂිකරුවන් අවශ්‍ය නැහැ. දැන් ඔහුගේ දේවඅපහාසය ඔබට ඇහුණා නේද? ඔබ සිතන්නේ කුමක්ද?” අසාධාරණ විනිශ්චයක් ලබා දෙමින් මන්ත්‍රණ සභාව කියන්නේ “ඔහුට මරණ දණ්ඩනය නියම කළ යුතුයි” කියලයි.—මතෙව් 26:65, 66.
ඊටපස්සේ ඔවුන් යේසුස්ට අපහාස කරමින් අත මිටමොළවලා පහර දෙන්න පටන්ගන්නවා. තවත් අය ඔහුගේ කම්මුලට ගහලා මුහුණට කෙළත් ගහනවා. ඔවුන් යේසුස්ගේ මුහුණ වහලා අපහාසාත්මක විදිහට කියන්නේ “ඔබ අනාගතවක්තෘවරයෙක් නම් ඔබට පහර දුන්නේ කවුද කියා කියන්න” කියලයි. (ලූක් 22:64) රාත්‍රී කාලයේදී නීති විරෝධී විදිහට පවත්වපු මේ නඩු විභාගයේදී ඔවුන් දෙවිගේ පුත්‍රයාට සැලකුවේ මොන තරම් අසාධාරණ විදිහටද!
-
-
යේසුස්ව හඳුනන්නේ නැහැ කියා පේතෘස් පවසයිමාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
-
-
126වෙනි පරිච්ඡේදය
යේසුස්ව හඳුනන්නේ නැහැ කියා පේතෘස් පවසයි
මතෙව් 26:69-75 මාක් 14:66-72 ලූක් 22:54-62 යොහන් 18:15-18, 25-27
පේතෘස් යේසුස්ව හඳුනන්නේ නැහැ කියා පවසයි
ගෙත්සෙමන උයනේදී යේසුස්ව අත්අඩංගුවට ගද්දී නියෝජිතයන් මොන තරම් බය වෙනවාද කියනවා නම් ඔවුන් යේසුස්ව දාලා පැනලා යනවා. හැබැයි පේතෘස් සහ “තවත් ගෝලයෙක්” ආයෙත් හැරිලා එනවා. පෙනෙන විදිහට පේතෘස් එක්ක එන අනිත් ගෝලයා යොහන් වෙන්න ඕනේ. (යොහන් 18:15; 19:35; 21:24) ඔවුන් ආයෙත් හැරිලා ඇවිත් යේසුස්ගේ පසුපසින් යන්න පටන්ගන්න ඇත්තේ යේසුස්ව අන්නස්ගේ නිවසට අරන් යද්දී වෙන්න ඇති. අන්නස් උත්තම පූජකයා වුණු කායෆස් ළඟට යේසුස්ව යවද්දී පේතෘස් සහ යොහන් ඔවුන්ට පිටුපසින් යම් දුරකින් ගමන් කරනවා. තමන් ගැනත් තමන්ගේ ස්වාමියා ගැනත් ඔවුන් දැන් ඉන්නේ ලොකු බයකින්.
කායෆස් යොහන්ව දන්න නිසා ඔහුට කායෆස්ගේ නිවසේ ඇතුල් මළුවට යන්න අවස්ථාව ලැබෙනවා. හැබැයි පේතෘස් තාමත් ඉන්නේ දොරකඩ ළඟ. ඒ නිසා යොහන් දොරටු පාලිකාවගෙන් අවසර අරන් පේතෘස්වත් ඇතුළට ගන්නවා.
මේ වෙද්දී සීතලක් දැනෙන නිසා පිටත මළුවේ ඉන්න අය ගිනිමැලයක් ගහලයි තියෙන්නේ. යේසුස්ගේ නඩු විභාගයේදී සිද්ධ වෙන්නේ මොනවාද කියලා දැනගන්න ඕන නිසාත් දැනෙන සීතල නිසාත් පේතෘස් ගිනිමැලය අවට ඉන්න සෙනඟ ළඟින් ඉඳගන්නවා. (මතෙව් 26:58) ගිනිමැලයේ එළියෙන් පේතෘස්ගේ මුහුණ දැන් පැහැදිලිව පෙනෙනවා ඇති. එතැන ඉන්න දොරටු පාලිකාව ඔහුගෙන් අහනවා “ඔබත් මේ මිනිසාගේ ගෝලයෙක් නේද” කියලා. (යොහන් 18:17) හැබැයි පේතෘස්ව හඳුනාගෙන ඔහුට චෝදනා කරන්නේ මේ ස්ත්‍රිය විතරක් නෙවෙයි. තවත් අයත් ඒ චෝදනාවම නඟනවා.—මතෙව් 26:69, 71-73; මාක් 14:70.
ඒ වගේ දෙයක් වෙයි කියලා පේතෘස් බලාපොරොත්තු වෙන්න නැතුව ඇති. සෙනඟගෙන් ඈත් වෙලා ඉන්න උත්සාහ කරන ඔහු දැන් යන්නේ දොරටුව ළඟට. යේසුස්ව දන්න බව ප්‍රතික්ෂේප කරමින් ඔහු මෙහෙම කියනවා. “ඔබ මොනව කියනවාද කියලා මම නම් දන්නේ නැහැ. මම ඔහුව හඳුනන්නෙත් නැහැ.” (මාක් 14:67, 68) ඔහු “තමාටම ශාප කරමින්” යේසුස්ව දන්නේ නැහැ කියලා දිවුරනවා. ඔහු එහෙම කරන්නේ තමන් කියන්නේ ඇත්තක් කියලත් ඒක බොරුවක් නම් තමන්ට ශාප වෙන්න ඕනෙ කියලත් අඟවන්නයි.—මතෙව් 26:74.
පෙනෙන විදිහට යේසුස්ගේ නඩු විභාගය පැවැත්වෙන්නේ කායෆස්ගේ නිවසේ උඩුමහලේ වෙන්න ඕනේ. යේසුස් ගැන බොරු සාක්ෂි දෙන්න යන එන මිනිසුන්ව ඇතුල් මළුවේ ඉන්න පේතෘස්ටත් අනිත් අයටත් හොඳින්ම පෙනෙනවා ඇති.
පේතෘස් කතා කරන විදිහෙන් ඔහු ගලීලයේ කෙනෙක් කියලා තේරෙන නිසා ඔහු යේසුස්ව හඳුනන්නේ නැහැ කියලා කියන්නේ බොරුවට කියලා හැමෝම තේරුම්ගන්නවා. ඒ විතරක් නෙවෙයි පේතෘස් කන කපලා දාපු මැල්කස්ගේ නෑදෑයෙකුත් සෙනඟ අතරේ ඉන්නවා. ඔහු පේතෘස්ට කියන්නේ “ඔබ ඔහු සමඟ උයනේ සිටිනවා මම දැක්කා” කියලයි. තුන්වෙනි වතාවටත් යේසුස්ව හඳුනන්නේ නැහැ කියලා පේතෘස් කියද්දී යේසුස් කලින් කියලා තිබුණු විදිහටම කුකුළෙක් හඬලන සද්දේ ඔහුට ඇහෙනවා.—යොහන් 13:38; 18:26, 27.
පෙනෙන විදිහට මේ වෙලාවේ උඩුමහලේ ඉන්න යේසුස් පිටත මළුව දිහා බලාගෙනයි ඉන්නේ. දැන් එකපාරටම ඔහු පේතෘස් දිහා හැරිලා බලද්දී පැය කිහිපයකට කලින් යේසුස් කියපු දේ පේතෘස්ට මතක් වෙනවා. පේතෘස්ට දැන් කොහොම හැඟෙනවා ඇද්ද? ඔහුට හද පැලෙන තරම් වේදනාවක් දැනෙනවා ඇති. ඇතුල් මළුවෙන් පිටතට යන ඔහු තමන් කරපු දේ ගැන මහත් ශෝකයකින් හඬා වැලපෙනවා.—ලූක් 22:61, 62.
මේ වෙද්දී මිනිසුන් සත්‍යය විකෘති කරලා, යේසුස්ව දරුණු අපරාධකාරයෙක් කරලයි තියෙන්නේ. හරි නම් මේ වගේ වෙලාවක පේතෘස්, යේසුස් වෙනුවෙන් කතා කරන්න ඕනේ. ඒත් එහෙම කරනවා වෙනුවට ඔහු “සදාකාල ජීවනයට මඟ පාදන වදන්” පවසන යේසුස්ව දන්නේ නැහැ කියලා කියනවා. (යොහන් 6:68) මොන දෙයක් වුණත් යේසුස්ට විශ්වාසවන්තව ඉන්නවා කියලා කියපු පේතෘස් අතින් එහෙම දෙයක් වුණේ කොහොමද?
කෙනෙක්ට දෙවියන් ගැන ලොකු විශ්වාසයක් භක්තියක් තිබුණත් පීඩා පරීක්ෂාවලට මුහුණ දෙන්න වෙද්දී කටයුතු කරන්න ඕන කොහොමද කියලා කලින්ම සූදානම් වෙලා හිටියේ නැත්නම් ඒ කෙනා වැරදි දෙයක් කරන්න පෙලඹෙන්න පුළුවන්. ඒ නිසා පේතෘස්ට සිද්ධ වුණු දේ අපි හැමෝටම හොඳ පාඩමක්.
-