ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • bsi00 15-19 පි.
  • බයිබල් පොත් අංකය 13—1 ලේකම්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • බයිබල් පොත් අංකය 13—1 ලේකම්
  • “මුළු ශුද්ධ ලියවිල්ල” (1 රාජාවලිය–2 ලේකම්)
  • උපමාතෘකා
  • පළමු ලේකම්හි අඩංගු දෑ
  • ප්‍රයෝජනවත් වීමට හේතු
“මුළු ශුද්ධ ලියවිල්ල” (1 රාජාවලිය–2 ලේකම්)
bsi00 15-19 පි.

බයිබල් පොත් අංකය 13—1 ලේකම්

ලේඛකයා: එස්රා

ලියූ ස්ථානය: යෙරුසලම (?)

ලියූ කාලය: පො.යු.පෙ. 460 පමණ

ආවරණය කළ කාලය: 1 ලේකම් 9:44න් පසු: පො.යු.පෙ. 1077-1037

1. පළමුවන ලේකම් පොත දිව්‍ය වාර්තාවේ අත්‍යවශ්‍ය මෙන්ම ප්‍රයෝජනදායක කොටසක් වන්නේ කිනම් ආකාරවලින්ද?

පළමුවන ලේකම් පොත හුදෙක් පෙළපත් පිළිබඳ නාම ලේඛනයක් ඇතුළත් නීරස වාර්තාවක්ද? මෙම පොත මගින් කෙරෙන්නේ සාමුවෙල් හා රාජාවලි පොත්වල සඳහන් තොරතුරු නැවත සඳහන් කිරීම පමණක්ද? මීට වඩා වැඩි යමක් මෙම පොත මගින් ඉදිරිපත් කෙරේ. මෙය දිව්‍ය වාර්තාවේ සඳහන් තොරතුරු පැහැදිලිව තේරුම්ගැනීමට උපකාරවත් වන අතර, එහි අනිවාර්යයෙන්ම අඩංගු විය යුතු කොටසක් වේ. එමෙන්ම මෙහි සඳහන් වන්නේ මෙය ලියනු ලැබූ කාලයේදී ඉශ්‍රායෙල් ජාතිය හා ඔවුන්ගේ නමස්කාරය ප්‍රතිසංවිධානය කිරීමට අත්‍යවශ්‍ය වූ තොරතුරුය. තවදුරටත්, අපගේ කාලය ඇතුළුව පසු කාලීනව දිව්‍ය නමස්කාරය පිළිබඳව මඟ පෙන්වීමක් ලබා දීම සඳහා අත්‍යවශ්‍ය මෙන්ම ප්‍රයෝජනදායක තොරතුරු මෙහි අඩංගු වේ. යෙහෝවාව ප්‍රශංසාවට ලක් කිරීමේදී ශුද්ධ ලියවිලි සියල්ල අතුරින් සොයාගත හැකි වඩාත්ම සිත්ගන්නාසුලු ප්‍රකාශයන් සමහරක් පළමුවන ලේකම් පොතෙහි අන්තර්ගතය. මෙම පොත මගින් යෙහෝවාගේ ධර්මිෂ්ඨ රාජ්‍යය පිළිබඳ අපූර්ව පෙරඡායාවන් සපයන අතර, එම රාජ්‍යය අපේක්ෂාවෙන් සිටින සියලුදෙනාම ප්‍රයෝජන අත් කරගත හැකි අයුරින් මෙය අධ්‍යයනය කළ යුතුය. පසුගිය සියවස් ගණනාව පුරා යුදෙව්වන් මෙන්ම ක්‍රිස්තියානීන් විසින් පළමුවන හා දෙවන ලේකම් යන පොත් දෙකම වටිනා තොරතුරු ඇතුළත් ග්‍රන්ථ ලෙස සලකන ලදි. බයිබල් පරිවර්තක ජෙරොම් මෙම පොත් දෙක මොනතරම් ඉහළින් අගය කළාද කියනවා නම්, ඔහු ඒවා සැලකුවේ, “මුළු පරණ තෙස්තමේන්තුවේම සාරංශයක්” ලෙසය. එමෙන්ම ‘‘මෙම පොත් මොනතරම් වැදගත්කමකින් යුක්තද කියනවා නම්, ශුද්ධ ලියවිලි පිළිබඳ තමාට හසළ දැනුමක් තිබෙනවා කියා සිතුවත්, මෙම පොත් දෙකෙහි සඳහන් දේවල් දන්නේ නැත්නම්, එය තමාවම රවටාගැනීමක්” කියා ඔහු ප්‍රකාශ කළේය.a

2. ලේකම් පොත් ලිවීමට බලපෑ හේතු මොනවාද?

2 පෙනෙන විදිහට ලේකම් නමැති පොත් දෙක මුලින්ම එක පොතක් නැතහොත් හකුළන ලද ලියවිල්ලක් ලෙස සකස් කර තිබුණා විය හැක. පසු කලෙක මෙය පාවිච්චි කිරීමේ පහසුව සඳහා කොටස් දෙකකට වෙන් කරන ලදි. ලේකම් පොත් ලිවීමට හේතු වූයේ කුමක්ද? පසුබිම සැලකිල්ලට ගන්න. බබිලෝනියේ ගත කළ වහල් ජීවිතය නිම වී වසර 77ක පමණ කාලයක් ගත වී තිබිණ. යුදෙව්වරු ඔවුන්ගේ මව් බිමෙහි යළි පදිංචි වී සිටියහ. කෙසේවෙතත්, යෙරුසලමෙහි නැවත ගොඩනඟන ලද දේවමාළිගාවෙහි යෙහෝවාට කරන නමස්කාරයට නිසි තැන නොලැබීම පිළිබඳ අනතුරක සේයාවක් දිස් විය. විනිසුරුවන්ව හා දෙවිගේ (මෙන්ම රජුගේ) ව්‍යවස්ථාව උගන්වන ගුරුවරුන්ව පත් කිරීමටත්, දෙවිගේ ගෘහය අලංකාර කිරීමටත් පර්සියාවේ රජ එස්රාට අවසර දී තිබිණ. අවසර ලත් පුද්ගලයන්ව පමණක් පූජකතන්ත්‍රයේ සේවය සඳහා යොදාගැනීම සහතික කරගැනීම පිණිසත්, පූජකතන්ත්‍රයේ සේවය කරන අයට අවශ්‍ය සහය ලබාගැනීම සඳහා ඒ ඒ ගෝත්‍රයට හිමි උරුමය ලබා දීම පිණිසත් පෙළපත් පිළිබඳ නිවැරදි වාර්තා ඇතුළත් ලේඛන පිළියෙළ කිරීම අවශ්‍ය විය. රාජ්‍යය පිළිබඳව යෙහෝවා පවසා තිබූ අනාවැකි සලකා බැලීමේදී පෙනී යන්නේ, යූදාගේ හා දාවිත්ගේ පෙළපත් පිළිබඳව පැහැදිලි මෙන්ම විශ්වාසදායක වාර්තාවක් තිබීම අත්‍යවශ්‍ය දෙයක් වූ බවය.

3. (අ) එස්රා උත්සාහ කළේ යුදෙව්වන්ට කුමක් ඒත්තුගැන්වීමටද? (ආ) ඔහු යූදා ගෝත්‍රයේ ඉතිහාසය කැපීපෙනෙන්න සැලැස්වූයේ මන්ද? ඔහු නිර්මල නමස්කාරයේ වැදගත්කම අවධාරණය කළේ කෙසේද?

3 තම මව් බිමෙහි යළි පදිංචි වූ යුදෙව්වන්ගේ උදාසීන ගති නැති කර ඔවුන්ව අවදි කරමින්, ඇත්තෙන්ම ඔවුන් යෙහෝවා ගිවිසුමක් මගින් පොරොන්දු කර තිබූ ඔහුගේ ප්‍රේමනීය කරුණාව ලබන්නන් බව ඒත්තුගැන්වීමට එස්රාට අවංක ආශාවක් තිබිණ. එමනිසා, ඔහු ජාතියේ ඉතිහාසය හා මුල් මිනිසා වන ආදම් දක්වා දිවයන මනුෂ්‍යවර්ගයාගේ මූලාරම්භය පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් ඔවුන් වෙනුවෙන් ලේකම් පොත්වල සපයයි. මූලික අවධානය යොමු කළ යුතුව තිබුණේ දාවිත්ගේ රාජ්‍යයට නිසා, යූදා ගෝත්‍රයේ ඉතිහාසය කැපීපෙනෙන්න සලස්වා තිබේ. ගෝත්‍ර දසය විසින් සිදු කරන ලද වැරදි ක්‍රියාවන් පිළිබඳ තොරතුරු ඇතුළත් සිද්ධීන් වාර්තා කිරීම සම්පූර්ණයෙන්ම පාහේ අත්හැර තිබේ. යූදා ගෝත්‍රයේ ශ්‍රේෂ්ඨ රජවරුන් දේවමාළිගාව යළි ගොඩනැඟීමේ වැඩ කටයුතුවලට අනුබල දෙමින් දෙවිගේ නමස්කාරයෙහි ජ්වලිතව පෙරමුණ ගෙන කටයුතු කළ ආකාරය ඔහු විචිත්‍රවත්ව විස්තර කර තිබේ. රාජ්‍යය බිඳ වැටීමට හේතු වූ නමස්කාරය හා සම්බන්ධ පාප ඔහු පෙන්වා දුන් අතර, යළි පිහිටුවීම පිළිබඳ දෙවිගේ පොරොන්දු අවධාරණය කළේය. දේවමාළිගාව, එහි සේවය කරන පූජකයන්, ලෙවීවරුන්, සංගීතඥයන් සහ වෙනත් අය හා සම්බන්ධ විස්තර රාශියක් කෙරෙහි අවධානය යොමු කරමින් ඔහු නිර්මල නමස්කාරයේ වැදගත්කම අවධාරණය කර තිබේ. තමන් වහල්භාවයෙන් නිදහස ලබා, ආපසු තම මව් බිමට පැමිණීමට හේතුව යෙහෝවාගේ නමස්කාරය යෙරුසලමෙහි යළි පිහිටුවීම බව අවධාරණය කෙරෙන ඓතිහාසික වාර්තාවක් ලැබීමෙන් ඉශ්‍රායෙල්වරුන් මහත් දිරිගැන්වීමක් ලැබුවා විය හැක.

4. ලේකම් පොත්වල ලේඛකයා එස්රා බවට අනුබල දෙන්නේ කිනම් සාක්ෂිද?

4 එස්රා ලේකම් පොත් ලියූ බවට තිබෙන සාක්ෂි මොනවාද? දෙවන ලේකම්හි අවසන් වගන්ති දෙක එස්රාහි ආරම්භක වගන්ති දෙක ලෙස යොදාගෙන තිබෙන අතර, දෙවන ලේකම් පොතේ අවසන් වාක්‍යය සම්පූර්ණ නැත. මෙය සම්පූර්ණ කෙරෙන්නේ එස්රා 1:3හි සඳහන් වාක්‍යයෙනි. එමනිසා ලේකම් පොත් හා එස්රා පොත ලියා තිබෙන්නේ එකම ලේඛකයා විසින් බවට සැකයක් නැත. මෙම පොත්වල දක්නට තිබෙන ලේඛන ශෛලිය, භාෂාව, යොදාගෙන තිබෙන වචන හා අක්ෂර වින්‍යාසය එක හා සමාන වීම, මෙම පොත් එකම ලේඛකයා විසින් ලියූ බවට තවත් සාක්ෂියකි. ලේකම් හා එස්රා පොත්වල සඳහන් ඇතැම් ප්‍රකාශ බයිබලයේ වෙනත් පොත්වල සොයාගත නොහැක. එස්රා පොත ලියූ ලේඛකයා වන එස්රාම ලේකම් පොත්වලද ලේඛකයා විය යුතු බවට සැකයක් නැත. යුදෙව් සම්ප්‍රදායද මෙම නිගමනයට අනුබල දෙයි.

5. එස්රාට තිබූ ආත්මික මෙන්ම වෘත්තිමය සුදුසුකම් මොනවාද?

5 ලේකම් පොත්වල අඩංගු විශ්වසනීය හා නිවැරදි ඓතිහාසික තොරතුරු සම්පාදනය කිරීමට එස්රා තරම් සුදුසුකම් ලැබූ තවත් කෙනෙකු නොවීය. “[මක්නිසාද] එස්රා [යෙහෝවාගේ] ව්‍යවස්ථාව සොයන්ටත් පවත්වන්ටත් ඉශ්‍රායෙල්හි පනත්ද විනිශ්චයන්ද උගන්වන්ටත් තමාගේ සිත යොමුකරගත්තේය.” (එස්රා 7:10) ශුද්ධාත්මය සැපයීමෙන් යෙහෝවා ඔහුට උපකාර කළේය. දෙවි එස්රාට දී තිබූ ප්‍රඥාව හඳුනාගත් පර්සියානු අධිරාජ්‍යයා යූදා දිස්ත්‍රික්කයේ සිවිල් කටයුතු පාලනය කිරීමේ බලතල ඔහුට පිරිනැමුවේය. (එස්රා 7:12-26) මෙසේ එස්රාට දෙවිගෙන් මෙන්ම අධිරාජ්‍යයාගෙන් ලැබූ බලතල නිසා ලබාගත හැකි විශ්වාසදායකම ලියවිලි යොදාගනිමින් ඔහුගේ වාර්තාව සකස් කිරීමට හැකි විය.

6. ලේකම් පොත්වල අඩංගු තොරතුරුවල නිරවද්‍යතාව ගැන අපට නිසැකකමක් තබාගත හැක්කේ මන්ද?

6 එස්රා තොරතුරු ගවේෂණය කිරීම සම්බන්ධයෙන් කැපීපෙනෙන පුද්ගලයෙකි. විශ්වාසවන්ත අනාගතවක්තෘවරුන් විසින් ඔවුන් විසූ කාලවල සිදු වූ සිද්ධීන් ඇතුළත් කරමින් සම්පාදනය කරන ලද යුදෙව් ඉතිහාසය පිළිබඳ පැරණි වාර්තා මෙන්ම නිල ලත් වාර්තාකරුවන් විසින් සකස් කරන ලද වාර්තා හා පොදු ලියකියවිලි සකස් කරන්නන්ගේ වාර්තාද ඔහු පරීක්ෂා කළේය. ඔහු විසින් තොරතුරු ලබාගත් ඇතැම් ලියවිලි අතර ඉශ්‍රායෙල් හා යූදා රාජ්‍යයන් පිළිබඳ ලියවිලිද, පෙළපත් පිළිබඳ වාර්තාද, අනාගතවක්තෘවරුන් ලියූ ඓතිහාසික කෘති හා ගෝත්‍රවල හා පවුල්වල ප්‍රධානීන් විසින් තබාගන්නා ලද ලියකියවිලිද තිබුණා විය හැක. එස්රා අවම වශයෙන් එවන් මූලාශ්‍ර 20ක්වත් සඳහන් කරයි.b එස්රා මෙවන් පැහැදිලි මූලාශ්‍ර යොදාගත් නිසා, තමන් කැමති නම් ඒවා සෝදිසි කර බැලීමට ඔහුගේ සමකාලීනයන්ට ඔහු අවස්ථාව උදා කර දුන්නේය. එමනිසා මෙය ඔහුගේ ලියවිල්ලේ විශ්වසනීයත්වය හා නිරවද්‍යතාව ගැන සැක පහළ කරන්නන්ගේ තර්ක විතර්ක බිඳහෙළීමට ඉවහල් වේ. එස්රාගේ කාලයේ විසූ යුදෙව්වන්ට මෙන්ම අපටත් ලේකම් පොත්වල නිරවද්‍යතාව ගැන නිසැකකමක් ඇතුව සිටිය හැක.

7. ලේකම් පොත් ලිව්වේ කවදාද? මේවා විශ්වාසය තැබිය හැකි පොත් ලෙස සැලකුවේ කවුද? මෙම පොත් දෙක මගින් කිනම් කාලපරිච්ඡේදයක් ආවරණය කෙරේද?

7 පර්සියාවේ රජ වූ අර්තක්ෂස්තා ලොන්ජිමැනස්ගේ පාලනයේ හත්වන අවුරුද්දේදී, එනම් පො.යු.පෙ. 468දී එස්රා “බබිලෝනියෙන් පිටත්ව” ගිය නිසාත්, පො.යු.පෙ. 455දී සිදු වූ සුවිශේෂ වැදගත්කමකින් යුක්ත වූ නෙහෙමියාගේ පැමිණීම ගැන එස්රා වාර්තා නොකරන නිසාත්, ලේකම් පොත් ඉහත දැක්වූ වකවානුව අතරතුර ලියනු ලැබුවා විය හැක. මෙය ඇතැම්විට සිදු වන්න ඇත්තේ පො.යු.පෙ. 460දී පමණ යෙරුසලමේදී විය හැක. (එස්රා 7:1-7, 9; නෙහෙ. 2:1-18) එස්රාගේ කාලයේ විසූ යුදෙව්වන් විසින් ලේකම් පොත ‘දේවානුභාවය ලත්, ප්‍රයෝජනදායක මුළු ශුද්ධ ලියවිල්ලේ’ විශ්වාසවන්ත කොටසක් ලෙස පිළිගන්නා ලදි. ඔවුන් මෙය හැඳින්වූයේ ඩිව්·රෙහ්ʹ හයි·යා·මිම්ʹ කියාය. මින් අදහස් කෙරෙන්නේ “කාලවල්වල සිදුවීම්” එනම්, දවස්වල හෝ කාලවල සිදුවීම් ඇතුළත් ඉතිහාසයයි. අවුරුදු 200කට පමණ පසු, ග්‍රීක් සෙප්ටූඅජින්ට්හි පරිවර්තකයෝ සම්මත ශුද්ධ ලියවිලි සමූහයට ලේකම් පොත්ද ඇතුළත් කළහ. ඔවුහු මෙය කොටස් දෙකකට වෙන් කර, සාමුවෙල් හා රාජාවලි පොත්වලට හා එවකට පැවති මුළු බයිබලයටම අතිරේක ග්‍රන්ථයක් ලෙස යොදාගැනීමට සහය දීමේ අරමුණින් එය පා·රා·ලෙයි·පො·මෙʹනොන් ලෙස හැඳින්වූහ. මින් අදහස් කරන්නේ “පසු කර ගිය (සඳහන් නොකළ හෝ අත්හළ) දේවල්” යන්නයි. මෙම පොත් එසේ නම් කිරීම එතරම් යෝග්‍ය නොවූවත්, ඔවුන් කළ දේවලින් පැහැදිලි වන්නේ ලේකම් පොත් විශ්වසනීය මෙන්ම දේවානුභාවය ලත් ශුද්ධ ලියවිලි ලෙස ඔවුන් සැලකූ බවය. ලතින් වල්ගේට් පරිවර්තනය සම්පාදනය කිරීමේදී ජෙරොම් මෙසේ යෝජනා කළේය: “මුළු දිව්‍ය ඉතිහාසය ගැනම පවසන ක්‍රො·නි·කන්ʹ කියා [ඒවා] නම් කිරීමෙන් අපට වඩාත් අර්ථවත් ලෙස ඒවා හැඳින්විය හැක.” පෙනෙන විදිහට, ඉංග්‍රීසි භාෂාවෙන් “ක්‍රොනිකල්ස්” (ලියවිලි) කියා හඳුන්වන ලේකම් පොත්වල නමේ මූලාරම්භය එයයි. මෙම පොතෙහි ඉංග්‍රීසි නමින් යොමු දක්වන්නේ යම් සිද්ධීන් සිදු වූ අනුපිළිවෙළට වාර්තා කිරීමකටය. පළමුවන ලේකම් පොත එහි සඳහන් පෙළපත් වාර්තා කිරීමෙන් පසු, දාවිත් රජගේ පාලනය ඇරඹුණු පො.යු.පෙ. 1077 සිට ඔහුගේ මරණය දක්වා සිදුවීම් වාර්තා කිරීම කෙරෙහි මූලික අවධානය යොමු කරයි.

පළමු ලේකම්හි අඩංගු දෑ

8. පළමුවන ලේකම් පොත බෙදිය හැකි කොටස් දෙක කුමක්ද?

8 පළමුවන ලේකම් පොත එහි තොරතුරුවලට අනුව කොටස් දෙකකට වෙන් වේ. මින් පළමු කොටසට ඇතුළත් මුල් පරිච්ඡේද 9හි ප්‍රධානකොට වාර්තා වී තිබෙන්නේ පෙළපත් පිළිබඳ තොරතුරුය. දෙවන කොටසට අයත් අවසන් පරිච්ඡේද 20හි සාවුල්ගේ මරණයේ සිට දාවිත්ගේ පාලනයේ අවසානය දක්වා වූ අවුරුදු 40ක කාලපරිච්ඡේදයක් ඇතුළත සිදු වූ සිද්ධීන් සඳහන් වේ.

9. ලේකම් පොත ලියූ කාලය හැටියට පසු කාලීන දිනයකට අනුබල දෙන සාක්ෂි කිසිවක් නැත්තේ මන්ද?

9 පෙළපත් (1:1–9:44). මෙම පරිච්ඡේදවල සඳහන් වන්නේ ආදම්ගේ සිට සෙරුබ්බාබෙල් දක්වා පෙළපතට සම්බන්ධ පුද්ගලයන්ගේ නම් ලැයිස්තුවකි. (1:1; 3:19-24) බොහෝ පරිවර්තනවල සෙරුබ්බාබෙල්ගේ පෙළපත දහවන පරම්පරාව දක්වා දිව යයි. කෙසේවෙතත්, ඔහු යෙරුසලමට ආපසු පැමිණියේ පො.යු.පෙ. 537දී වන අතර, එස්රා ඔහුගේ ලිවීම සම්පූර්ණ කරන ලද්දේ පො.යු.පෙ. 460වන විටයි. පරම්පරා දහයක් බිහිවීමට තරම් ප්‍රමාණවත් කාලයක් නොතිබුණ අතර මේ කොටසට අදාළ සියලු තොරතුරු හෙබ්‍රෙව් පිටපත්වල සඳහන් නොවේ. මේ හේතුවෙන් නාම ලේඛනයේ ඇතුළත් පුරුෂයන් බොහෝදෙනෙකු හා සෙරුබ්බාබෙල් අතර තිබෙන නෑකම නිශ්චය කළ නොහැක. එනිසා, ඇතමුන් සඳහන් කරන්නාක් මෙන් ලේකම් පොත් ලියූ දිනය හැටියට පසු දිනයක් නම් කිරීමට අනුබල දෙන හේතු නැත.

10. (අ) මුලින්ම සඳහන් කරන්නේ කුමන පරම්පරා ගැනද? (ආ) දෙවන පරිච්ඡේදය ආරම්භයේදී තර්කානුකූල ලෙස විස්තර සපයන්නේ කුමන පෙළපත ගැනද? (ඇ) නාම ලේඛනයක් සපයන අනිකුත් පෙළපත් මොනවාද? අවසානයේ සඳහන් වන පෙළපත කුමක්ද?

10 මුලින්ම ආදම්ගේ සිට නෝවා දක්වා පරම්පරා දහයක්ද, පසුව ආබ්‍රහම් දක්වා පරම්පරා දහයක්ද මෙහි ඇතුළත් කර තිබේ. ආබ්‍රහම්ගේ පුත්‍රයන් හා ඔවුන්ගෙන් පැවතෙන්නන්ගේද, ඒසව්ගේ හා සේයිර් කඳුකරයේ විසූ සේයිර්ගේ පරම්පරාවට අයත් අයගේද, ඒදොම්හි පාලනය කළ මුල් රජවරුන්ගේද නම් මෙහි ලැයිස්තුගත කර ඇත. කෙසේවෙතත්, දෙවන පරිච්ඡේදයේ සිට මූලික අවධානය යොමු කර තිබෙන්නේ ඉශ්‍රායෙල් නොහොත් යාකොබ්ගෙන් පැවතෙන්නන් කෙරෙහිය. යූදාගේ සිට දාවිත් දක්වා පරම්පරා දහයක් පිළිබඳ තොරතුරු වාර්තා කර තිබේ. (2:1-14) වෙනත් ගෝත්‍රවලද නාම ලේඛන ඉදිරිපත් කර තිබෙන අතර, ලෙවී ගෝත්‍රය සහ උත්තම පූජකයන් ගැන විශේෂයෙන් සඳහන් කර ඇත. බෙන්යමින්ගේ ගෝත්‍රයේ පෙළපත ගැන සඳහන් කිරීමෙන් පෙළපත්වල නම් ලැයිස්තුව නිමාවට පත් වේ. මෙහිදී බෙන්යමින් ගෝත්‍රයට අයත් සාවුල් රජව හඳුන්වා දෙමින්, ඔහු පිළිබඳ නිශ්චිත තොරතුරු ඇතුළත් ඓතිහාසික කථා වස්තුව ආරම්භ කෙරේ. පෙළපත් පිළිබඳව එස්රා වාර්තා කර තිබෙන විස්තර හා බයිබලයේ වෙනත් තැන්වල වාර්තා කර තිබෙන විස්තර අතර පරස්පර විරෝධතාවක් තිබෙන බව ඇතැම් අවස්ථාවල පෙනෙන්න පුළුවන. කෙසේවෙතත්, මෙහිදී ඇතැම් පුද්ගලයන්ව වෙනත් නම්වලින්ද හඳුන්වනු ලැබූ බවත්, භාෂාව වෙනස්කම්වලට ලක් වී තිබෙන බවත්, කාලය ගතවීමත් සමඟම ඇතැම් නම්වල අක්ෂර වෙනස් වී තිබෙන බවත් මතක තබාගත යුතුය. පරෙස්සමින් අධ්‍යයනය කිරීම මගින් දුෂ්කරතා බොහොමයක් මඟහරවා ගත හැක.

11. පෙළපත් පිළිබඳ වාර්තාවේ තැනින් තැන සඳහන් ප්‍රයෝජනවත් තොරතුරුවලට උදාහරණ දෙන්න.

11 එස්රා පෙළපත් පිළිබඳ ඔහුගේ වාර්තාවෙහි තැනින් තැන ඓතිහාසික හා භූවිද්‍යාත්මක තොරතුරු කිහිපයක් සඳහන් කරයි. වාර්තාව පැහැදිලි කරගැනීමට එම තොරතුරු උපකාරවත් වන අතර වැදගත් සිහිගැන්වීම්ද සපයයි. උදාහරණයක් හැටියට, රූබෙන්ගෙන් පැවතෙන්නන්ගේ නම් ලැයිස්තුව ඉදිරිපත් කිරීමේදී, එස්රා මෙම වැදගත් තොරතුරු ස්වල්පයද ඊට එක් කරයි: “ඉශ්‍රායෙල්ගේ කුලුඳුලාවූ රූබෙන්ගේ පුත්‍රයෝ මොව්හුය. (ඔහු කුලුඳුලාව සිටිය නුමුත් තම පියාගේ යහන කිලුටුකළ නිසා ඔහුගේ කුලුඳුල්කම ඉශ්‍රායෙල්ගේ පුත්‍රවූ යෝසෙප්ගේ පුත්‍රයන්ට දෙනලද්දේය; කුලුඳුල්කමේ හැටියට පෙළපත ගණන්නොගන්නා ලද්දේය. යූදා වනාහි තමාගේ සහෝදරයන් අතරේ බලවත්වුණේය, ඔහුගෙන් අධිපතියා පැවතආයේය, නුමුත් කුලුඳුල්කම යෝසෙප්ට අයිතිය.)” (5:1, 2) මෙම වචන කිහිපය මගින් බොහෝ දේ පැහැදිලි කරනු ලැබේ. එපමණක්ද නොව, යෝවාබ්, අමාසා හා අබිෂයි යන අය දාවිත්ගේ සහෝදරියන්ගේ පුත්‍රයන් බව අප දැනගන්නේ ලේකම් පොතේ සඳහන් තොරතුරුවලින් පමණි. මෙම පුද්ගලයන් හා සම්බන්ධ විවිධ සිද්ධීන් හොඳින් තේරුම්ගැනීමට එම දැනුම අපට උපකාරවත් වේ.—2:16, 17.

12. සාවුල්ගේ මරණය හා බැඳි සිදුවීම් මොනවාද?

12 සාවුල්ගේ නොඇදහිලිවන්තකම ඔහුගේ මරණයට මඟ පාදයි (10:1-14). මෙම කතාව ආරම්භ වන්නේ පිලිස්තිවරුන් ගිල්බොවා කන්දේදී එල්ල කරන ප්‍රබල ප්‍රහාරයත් සමඟිනි. යොනාතාන් ඇතුළු සාවුල්ගේ පුතුන් තුන්දෙනෙකු ජීවිතක්ෂයට පත් වේ. සාවුල්ට තුවාල වේ. සතුරා අතින් මරණයට පත්වීමට අකමැති වන සාවුල් ඔහුගේ ආයුධ ගෙනයන්නාගෙන් මහත් ඕනෑකමින් මෙසේ ඉල්ලා සිටියි: “අර අචර්මඡේදිතයන් ඇවිත් මට අවමන් නොකරන පිණිස නුඹේ කඩුව ඇද මට අනින්න.” ඔහුගේ ආයුධ ගෙනයන්නා මෙය කරන්න අකමැති වන විට, සාවුල් සියදිවි නසාගනියි. මෙසේ සාවුල් “[යෙහෝවාගේ] වචනය රක්ෂානොකිරීමෙන් [යෙහෝවාට] විරුද්ධවකළ වරද නිසාත් [යෙහෝවාගෙන්] නොවිචාරා ආත්ම බන්ධනකාරියෙකුගෙන් කරුණු අසා විචාළ නිසාත්” මියයයි. (10:4, 13, 14) යෙහෝවා රාජ්‍යය දාවිත්ට ලබා දෙයි.

13. දාවිත්ගේ රජකම සාර්ථක වන්නේ කෙසේද?

13 දාවිත්ගේ රජකම ස්ථිර වේ (11:1–12:40). කලක් ගත වූ පසු, ගෝත්‍ර 12 හෙබ්‍රොන්හි එක්රැස් වී දාවිත්ව මුළු ඉශ්‍රායෙලය කෙරෙහි රජ හැටියට ආලේප කරයි. ඔහු සියොන් අල්ලාගෙන, ‘වඩ වඩා උසස් වෙයි; මක්නිසාද සේනාවල යෙහෝවා ඔහු සමඟ සිටියි.’ (11:9) බලසම්පන්න පුරුෂයන්ව හමුදාවේ ප්‍රධානීන් බවට පත් කරයි. යෙහෝවා ඔවුන්ව යොදාගනිමින් “මහත් ජයක්” ලබා දෙයි. (11:14) යුද්ධයට හවුල් වන පුරුෂයන් එක්රැස් වී ඒකමතිකව මුළු සිතින්ම දාවිත්ව රජකමට පත් කරගන්න නිසා ඔවුන් සියලුදෙනාගේම සහය ඔහුට ලැබේ. ඉශ්‍රායෙල්වරු මංගල්‍ය පවත්වමින් ප්‍රීති වෙති.

14. දාවිත් පිලිස්තිවරුන් සමඟ සාර්ථකව සටන් කරන්නේ කෙසේද? මහත් සතුටින් ගායනා කිරීමට මඟ පාදනු ලබන්නේ ඇදහිල්ල ශක්තිමත් කරවන කිනම් සිද්ධියද?

14 දාවිත් සහ යෙහෝවාගේ ගිවිසුම් පෙට්ටිය (13:1–16:36). දාවිත් ඉශ්‍රායෙලයේ සියලු නායකයන් කැඳවා ඔවුන් සමඟ සාකච්ඡා කර එකඟත්වයකට පැමිණීමෙන් පසු, අවුරුදු 70ක් පුරා කිරියත්-යෙයාරීම්හි තිබූ ගිවිසුම් පෙට්ටිය යෙරුසලමට ගෙන ඒමට තීරණය කරති. ගිවිසුම් පෙට්ටිය ගෙන එන අතරමඟදී උස්සා යෙහෝවා දී තිබූ උපදෙස් සුළු කොට සැලකීම නිසා මරු දකියි. ගිවිසුම් පෙට්ටිය ටික කලකට ඕබෙද්-ඒදොම්ගේ නිවසෙහි තබයි. (ගණන්. 4:15) පිලිස්තිවරුන් නැවතත් ප්‍රහාර එල්ල කරන්න පටන්ගත්තත්, දාවිත් බාල්-පෙරාශීම් හා ගිබියොන් යන ස්ථානවලදී ඔවුන්ව පරාජය කරයි. දාවිත්ගේ උපදෙස් පරිදි දැන් ලෙවීවරු දෙවි විසින් දෙන ලද විධිවිධානය අනුගමනය කරමින් ගිවිසුම් පෙට්ටිය සුරක්ෂිතව යෙරුසලමට ගෙන එති. නැටුම් ගැයුම් මැද මහත් ප්‍රීතියෙන් ගිවිසුම් පෙට්ටිය යෙරුසලමට ගෙන ඒමෙන් පසු, දාවිත් ඒ සඳහාම සාදා තිබෙන කූඩාරමක එය තබයි. පූජා ඔප්පු කරමින් ගායනා කරනු ලැබේ. මේ අවස්ථාව වෙනුවෙන් දාවිත්ද යෙහෝවාට ස්තුතිය ප්‍රකාශ කිරීමේ ගීතිකාවක් ගායනා කරයි. ගීතිකාව මෙම වදන් සමඟින් එහි උච්චාවස්ථාව කරා එළඹෙයි: “ස්වර්ගයෝ සන්තෝෂවෙත්වා, පොළොවද ප්‍රීතිවේවා; [යෙහෝවා රජකම් කරන්නේයයි] ජාතීන් අතරේ කියත්වා.” (1 ලේක. 16:31) මෙය මොනතරම් හැඟීම් දනවනසුලු මෙන්ම ඇදහිල්ල වඩවාලන මොහොතක්ද! පසු කලෙක, දාවිත්ගේ මෙම ගීතිකාව පදනම හැටියට යොදාගනිමින් අලුත් ගීතිකා සකස් කරන ලදි. ගීතාවලිය 96 හා ගීතාවලිය 105වන පරිච්ඡේදයේ 1-15මුල් වගන්ති 15 මෙයට නිදසුන් වේ.

15. සියල්ලන්ටම එක්සත්ව නමස්කාර කිරීම සඳහා ගෘහයක් ගොඩනැඟීමට තමන් තුළ තිබෙන ආශාව දාවිත් පළ කළ විට යෙහෝවා ඊට ප්‍රතිචාරය දක්වන්නේ කිනම් මවිතකර පොරොන්දුව සමඟින්ද?

15 දාවිත් සහ යෙහෝවාගේ ගෘහය (16:37–17:27). මින් පෙර ක්‍රියාත්මක නොවූ වැඩ පිළිවෙළක් ඉශ්‍රායෙලයේ ක්‍රියාත්මක වේ. ගිවිසුම් පෙට්ටිය යෙරුසලමෙහි ඉදි කර තිබෙන කූඩාරමක තබා තිබෙන අතර, ආසාප් සහ ඔහුගේ සහෝදරයා එහි සේවය කරති. මේ අතරතුර, සැතපුම් කිහිපයක් දුරින් යෙරුසලමට උතුරු දෙසින් පිහිටි ගිබියොන්හි, උත්තම පූජකයා වන ශාදොක් සහ ඔහුගේ සහෝදරයෝ මණ්ඩපය ඉදිරියෙහි නියම කර තිබෙන පූජා ඔප්පු කරති. යෙහෝවාගේ නමස්කාරයට දිය හැකි ඉහළම තැන දෙමින් සියල්ලන්වම එම නමස්කාරය තුළ එක්සත් කිරීම සැමදා මනසේ තබාගෙන සිටින දාවිත්, යෙහෝවාගේ ගිවිසුම් පෙට්ටිය තැබීමට ගෘහයක් ගොඩනැඟීමට වූ ඔහුගේ ආශාව ගැන පවසයි. එහෙත් තමාට ගෘහයක් ගොඩනඟන්නේ දාවිත් නොව, ඔහුගේ පුත්‍රයා බව යෙහෝවා පවසයි. පියෙකු තම පුත්‍රයාට ප්‍රේමය පෙන්වන්නාක් මෙන් යෙහෝවා ඔහුගේ පුත්‍රයාට ප්‍රේම කරමින් ‘ඔහුගේ සිංහාසනය සදාකාලයටම ස්ථිර කරනු ඇත.’ (17:11-13) යෙහෝවා සපයන මෙම මවිතකර පොරොන්දුව, එනම් සදාකාලික රාජ්‍යයක් සඳහා කරන මෙම ගිවිසුම දාවිත්ගේ හෘදයට තදින්ම කාවදියි. යෙහෝවාගේ නාමය ‘ස්ථිරව සදාකාලයටම උතුම් වේවා’ කියාද, දාවිත්ගේ වංශය කෙරෙහි ඔහුගේ ආශීර්වාද වගුරුවන්න කියාද ඉල්ලමින් දාවිත් මහත් හැඟීමෙන් යුතුව ස්තුති කරයි.—17:24.

16. යෙහෝවා දාවිත් මගින් ඉටු කරන්නේ කිනම් පොරොන්දුවද? එහෙත් දාවිත් කරන පාපය කුමක්ද?

16 දාවිත් අත් කරගත් ජයග්‍රහණ (18:1–21:17). මුළු පොරොන්දු දේශයම ආබ්‍රහම්ගේ වංශයට දෙන බවට වූ තමාගේ පොරොන්දුව යෙහෝවා දැන් දාවිත් තුළින් ඉටු කරයි. (18:3) යුධ මෙහෙයුම් අඛණ්ඩව දියත් කරමින් දාවිත් ගිය සෑම තැනකදීම යෙහෝවා “ඔහුට ජය” අත් කර දෙයි. (18:6) යුධමය වශයෙන් කැපීපෙනෙන ජයග්‍රහණ අත් කරගන්න දාවිත් පිලිස්තිවරුන්ව යටත් කරගනියි; මෝවබ්වරුන්ට පහර දෙයි; ශෝබාවරුන්ව පරාජය කරයි; සිරියවරුන්ව යටත් කරගෙන ඔවුන්ගෙන් කප්පම් ලබාගනියි. ඒදොම්වරුන්වද අම්මොන්වරුන්වද අමලෙක්වරුන්වද පරාජය කරයි. කෙසේවෙතත්, ඉශ්‍රායෙල්වරුන්ව ගණන් කිරීමෙන් පව් කිරීමට සාතන් දාවිත්ව පොලඹවයි. මෙයට දඬුවමක් හැටියට යෙහෝවා වසංගතයක් මගින් 70,000ක් මිය යන්න ඉඩහැරියත්, දයානුකම්පාවෙන් යුක්තව ඔර්ණාන්ගේ කමතේදී මෙම විපත්තිය අවසන් කරයි.

17. යෙහෝවාගේ ගෘහය ගොඩනැඟීම සඳහා දාවිත් කරන සූදානම් කිරීම් මොනවාද? ඔහු සාලමොන්ව දිරිමත් කරන්නේ කෙසේද?

17 දාවිත් දේවමාළිගාව ගොඩනැඟීමේ කටයුතු පිළියෙළ කරයි (21:18–22:19). ‘යෙබූසිය ඔර්ණාන්ගේ කමතේ යෙහෝවාට පූජාසනයක් ගොඩනඟන්න’ කියා දේවදූතයෙක් ගාද් මගින් දාවිත්ට දැනුම් දෙයි. (21:18) දාවිත් මෙම කමත ඔර්ණාන්ගෙන් මිල දී ගෙන, එහිදී කීකරු ලෙස පූජා ඔප්පු කරමින් යෙහෝවාට යාච්ඤා කරයි. යෙහෝවා “දවන පූජාසනය පිටට අහසෙන් ගිනි එවා” ඔහුට උත්තර දෙයි. (21:26) මෙම ස්ථානයෙහි තමා වෙනුවෙන් ගෘහයක් සාදනවා දැකීමට යෙහෝවා කැමති බව දාවිත් තීරණය කරන අතර, ගොඩනැඟීමට අවශ්‍ය කරන ද්‍රව්‍ය එක්රැස් කරමින් ඒවා සූදානම් කරයි. දාවිත් මෙසේ පවසයි: “මාගේ පුත්‍රවූ සාලමොන් ළාබාලය, [යෙහෝවාට] ගොඩනගන්ට තිබෙන ගෘහයේ කීර්තියද තේජසද සියලු රටවලට පතළවී යන හැටියට එය අතිශයින් අලංකාරව තිබෙන්ට ඕනෑය. එබැවින් මම ඒ පිණිස සූදානම්කරන්නෙමි.” (22:5) තමා යුද්ධ කරමින් ලේ වැගිරවීම්වලට හවුල් වී තිබෙන නිසා, යෙහෝවා එම ගෘහය ගොඩනැඟීමට තමාට අවසර දී නැති බව දාවිත් ඔහුගේ පුත් සාලමොන්ට පැහැදිලි කරයි. ධෛර්යසම්පන්නව හා ශක්තිමත්ව සිටිමින් මේ වැඩය බාරගැනීමට ඔහු සාලමොන්ට උපදෙස් දෙමින් මෙසේ පවසයි: ‘නැඟිට වැඩ පටන්ගන්න, යෙහෝවා ඔබ සමඟ සිටින්නේය.’—22:16.

18. සෙනඟව ගණන් කරන්නේ කුමක් සඳහාද?

18 දාවිත් යෙහෝවාගේ නමස්කාරය සඳහා කටයුතු සංවිධානය කරයි (23:1–29:30). සෙනඟව ගණන් ගැනීමක් කරයි. මේ වතාවේදී මෙය කරන්නේ යෙහෝවාගේ කැමැත්තට අනුව පූජකයන්ගේ හා ලෙවීවරුන්ගේ සේවාවන් නැවත සංවිධානය කිරීම සඳහාය. ශුද්ධ ලියවිලිවල වෙනත් කිසිම තැනකට වඩා මෙහිදී ලෙවීවරුන්ගේ සේවය පිළිබඳව දීර්ඝ විස්තරයක් සපයනු ලැබේ. අනතුරුව රජුගේ රාජකාරියට අයත් විවිධ වැඩ කොටස් ගැන විස්තර සපයයි.

19. දාවිත් දේවමාළිගාව ගොඩනැඟීමේ වැඩය සාලමොන්ට පවරන්නේ කිනම් වදන් සමඟින්ද? ඔහු සපයන සැලසුම් මොනවාද? ඔහු තබන්නේ කිනම් කදිම ආදර්ශයද?

19 සුවිශේෂි වැදගත්කමකින් යුත් සිය පාලනයේ අවසාන භාගයේදී දාවිත් මුළු මහත් ජාතියේම නියෝජිතයන්ගෙන් සමන්විත ‘යෙහෝවාගේ සභාව’ රැස් කරවයි. (28:8) දාවිත් රජ නැඟිට මෙසේ පවසයි: “මාගේ සහෝදරයෙනි, මාගේ ජනයෙනි, මට ඇහුම්කන්දෙන්න.” ඉන්පසු, ‘සැබෑ දෙවිගේ ගෘහය’ සෑදීමට ඔහු තුළ තිබෙන ආශාව ගැන දාවිත් ඔවුන්ට පවසයි. ඔවුන් ඉදිරිපිටම ඔහු සාලමොන්ට බලතල ලබා දෙමින් මෙසේ පවසයි: ‘සාලමොන්, මාගේ පුත්‍රය, නුඹ නුඹේ පියාගේ දෙවි හැඳින සම්පූර්ණ සිතකින් හා ප්‍රසන්න ආත්මයකින් ඔහුට මෙහෙ කරන්න. මක්නිසාද යෙහෝවා සියලු සිත් විමසා කල්පනාවල සියලු අදහස් තේරුම්ගන්නේය. නුඹ ඔහුව සොයනවා නම් ඔහු නුඹට සම්බ වෙනවා ඇත. නුමුත් නුඹ ඔහුව අත්හැරියොත් ඔහුද නුඹව සදාකාලයටම අහක දමනවා ඇත. ඉතින් බලාගන්න, මක්නිසාද ශුද්ධස්ථානයක් කොට ගෘහයක් ගොඩනැඟීමට යෙහෝවා නුඹව තෝරාගෙන ඇත. ශක්තිමත්ව සිට එය කරන්න.’ (28:2, 9, 10, 12) මෙම ගෘහය ගොඩනැඟීම සම්බන්ධයෙන් යෙහෝවාගේ ආනුභාවයෙන් ලැබූ සියලු විස්තර ඇතුළත් සැලසුම් ඔහු යොවුන් වියේ පසු වන සාලමොන්ට ලබා දෙයි. මෙම ගොඩනැඟීමේ ව්‍යාපෘති සාර්ථකව කරගෙන යෑම සඳහා රන් තලෙන්ත 3,000ක්ද, රිදී තලෙන්ත 7,000ක්ද තමාගේම වස්තුවෙන් ලබා දෙමින් ඔහු පෞද්ගලිකව මේ වැඩයට දායක වෙයි. ඔහු මේවා වෙන් කර තිබුණේ මේ වැඩය සඳහාමය. මෙම කදිම ආදර්ශයෙන් පෙලඹුණු අධිපතීහුද ජනයාද රන් තලෙන්ත 5,000ක්ද, දරික් මිල 10,000ක්ද, රිදී තලෙන්ත 10,000ක්ද, යකඩ හා තඹ විශාල ප්‍රමාණයක්ද පරිත්‍යාග කරති.c (29:3-7) මෙසේ පරිත්‍යාග කරන්න තමන්ට ලැබුණු වරප්‍රසාදය ගැන සෙනඟ සතුටු වෙති.

20. දාවිත්ගේ අවසන් යාච්ඤාව උච්චාවස්ථාව කරා ළඟා වෙද්දී ඔහු සඳහන් කරන දෑ මොනවාද?

20 මෙම සම්පත් සියල්ලම පැමිණෙන්නේ යෙහෝවාගෙන් බව පිළිගනිමින්ද සෙනඟට මෙන්ම සාලමොන්ටද දිගටම ආශීර්වාද කරන්න කියා කන්නලව් කරමින්ද දාවිත් යෙහෝවාට යාච්ඤාවෙන් ප්‍රශංසා කරයි. යෙහෝවාගේ රාජ්‍යය හා ඔහුගේ තේජාන්විත නාමය වර්ණනා කරමින් දාවිත් කරන මේ අවසාන යාච්ඤාව මෙම වදන් සමඟින් එහි උච්චාවස්ථාව කරා ළඟා වෙයි: ‘අපේ පිය වූ ඉශ්‍රායෙල්ගේ දෙවි වූ යෙහෝවා, ඔබට සදාකාලයටම ප්‍රශංසා වේවා; යෙහෝවා මහන්තත්වයද පරාක්‍රමයද තේජසද ජයද මහිමයද අයිති ඔබටය. මක්නිසාද ස්වර්ගයෙහිත් පොළොවෙහිත් ඇති සියල්ල ඔබගේය; රාජ්‍යයත්, යෙහෝවා ඔබට අයිතිය, ඔබ සියල්ල කෙරෙහි හිස මෙන් උසස්ව සිටියි. වස්තුවද ගෞරවයද පැමිණෙන්නේ ඔබගෙන්ය. ඔබ සියල්ල කෙරෙහි ආණ්ඩු කරයි. බලයද පරාක්‍රමයද ඔබගේ අතෙහිය. සියල්ලන් උසස් කරන්නත් ශක්තිමත් කරන්නත් බලය තිබෙන්නේ ඔබ අතෙහිය. එබැවින් අපේ දෙවි, අපි ඔබට ස්තුති කරමින් ඔබගේ තේජවත් නාමය වර්ණනා කරමු.’—29:10-13.

21. පළමුවන ලේකම් පොත අවසන් වන්නේ කිනම් උදාර හැඟීමක් ජනිත කරවමින්ද?

21 සාලමොන්ව දෙවන වරටත් ආලේප කරයි. ඔහු මහලු වියේ පසු වන දාවිත් වෙනුවට ‘යෙහෝවාගේ සිංහාසනයෙහි’ සිට පාලනය අරඹයි. අවුරුදු 40ක් පාලනය කිරීමෙන් පසු, දාවිත් “වයසෙන්ද වස්තුවෙන්ද ගෞරවයෙන්ද පූර්ණව හොඳ මහලු වයසේදී” මිය යයි. (29:23, 28) ජාතීන්ගේ සියලුම රාජ්‍යවලට වඩා දාවිත්ගේ රාජ්‍යයේ ශ්‍රේෂ්ඨත්වය අවධාරණය කරමින්, එස්රා පළමුවන ලේකම් පොත නිමාවට පත් කරන්නේ උදාර හැඟීම් ජනිත කරවමිනි.

ප්‍රයෝජනවත් වීමට හේතු

22. පළමුවන ලේකම් පොතේ සඳහන් දෑ මගින් එස්රාගේ කාලයේ විසූ ඉශ්‍රායෙල්වරුන් දිරිගැන්වීමක් ලැබුවේ කෙසේද?

22 එස්රාගේ කාලයේ විසූ ඉශ්‍රායෙල්වරු ඔහු ලියූ මෙම පොතෙන් ප්‍රයෝජන රැසක් අත් කරගත්හ. නැවුම් හා සර්ව ශුභවාදී අදහස්වලින් යුත් මෙම පොතෙහි ඔවුන්ගේ ඉතිහාසය ලුහුඬින් දක්වා තිබිණ. යෙහෝවා දාවිත් රජ සමඟ කළ ගිවිසුම රක්ෂා කරමින් පක්ෂපාතව කටයුතු කිරීම හා ඔහුගේ නාමය නිසා ඔවුන් කෙරෙහි දැක්වූ ප්‍රේමනීය කරුණාව අගය කිරීමට එම ඉතිහාසය ඔවුන්ට උපකාරවත් විය. මෙම හේතුව නිසා දිරිගැන්වීමක් ලැබූ ඔවුහු යළි ප්‍රාණවත් කරගත් ජ්වලිතයකින් යෙහෝවාගේ නමස්කාරය ඉදිරියට ගෙන ගියහ. නැවත ගොඩනඟන ලද දේවමාළිගාවෙහි ස්ථාපිත කරන ලද පූජකතන්ත්‍රය කෙරෙහි තිබූ ඔවුන්ගේ විශ්වාසය, පෙළපත් පිළිබඳ වාර්තාව මගින් ශක්තිමත් කළේය.

23. මතෙව්, ලූක් හා ස්තේපන් පළමුවන ලේකම් පොත හොඳින් භාවිත කළේ කෙසේද?

23 පළමු සියවසේ තිබූ ක්‍රිස්තියානි සභාවටද පළමුවන ලේකම් පොතෙන් ඉමහත් ප්‍රයෝජන අත් කරගත හැකි විය. යේසුස් ක්‍රිස්තුස් ‘දාවිත්ගේ පුත්‍රයා’ බවත් නීත්‍යනුකූල අයිතිවාසිකම් තිබෙන මෙසියස් බවත් තහවුරු කිරීමේදී මෙහි සඳහන් පෙළපත්වලට යොමු දැක්වීමට මතෙව්ට හා ලූක්ට හැකි විය. (මතෙ. 1:1-16; ලූක් 3:23-38) ස්තේපන් ඔහුගේ අවසන් සාක්ෂිය සපයමින් යෙහෝවාට ගෘහයක් සෑදීමට දාවිත් කළ ඉල්ලීම ගැනත් සාලමොන් එම ගෘහය ගොඩනැඟීම ගැනත් සඳහන් කළේය. සාලමොන්ගේ කාලයේ පැවති දේවමාළිගාව මගින් වඩාත් තේජවත් ස්වර්ගික දේවල් නියෝජනය කෙරෙන බව අඟවමින් “අතින් සෑදුවාවූ ගෘහවල [මහෝත්තමයා] වාසය නොකරන” බව ඔහු පෙන්වා දුන්නේය.—ක්‍රියා 7:45-50.

24. අදදින සිටින අපට දාවිත්ගේ කදිම ආදර්ශයෙන් අනුකරණය කළ හැකි දේවල් මොනවාද?

24 අද සිටින සැබෑ ක්‍රිස්තියානීන් ගැන කුමක් කිව හැකිද? අපේ ඇදහිල්ල ගොඩනඟා ගනිමින් එය ක්‍රියාවට නැංවීමට පළමුවන ලේකම් පොත අපට උපකාරවත් විය යුතුය. දාවිත්ගේ උනන්දුව වඩවාලන ආදර්ශයෙන් අපට බොහෝ දේ ඉගෙනගැනීමට තිබේ. නොඇදහිලිවන්ත ලෙස හැසිරුණු සාවුල්ට වඩා ඔහු මොනතරම් වෙනස්ද! දාවිත් සෑම විටම යෙහෝවාගෙන් කාරණා විමසුවේය. (1 ලේක. 10:13, 14; 14:13, 14; 17:16; 22:17-19) යෙහෝවාගේ ගිවිසුම් පෙට්ටිය යෙරුසලමට ගෙන ඒමේදී දාවිත් ගායනා කළ ප්‍රශංසාත්මක ගීතිකාවලින්ද, ලෙවීවරුන්ව ඔහු සේවය සඳහා සංවිධානය කිරීමෙන්ද, යෙහෝවාට තේජවත් ගෘහයක් ගොඩනැඟීම සඳහා ඉල්ලීමක් කිරීමෙන්ද, දාවිත්, යෙහෝවා සහ ඔහුගේ නමස්කාරය තමාගේ මනසෙහි මුල් තැන ගෙන තිබෙන බව පෙන්නුවේය. (16:23-29) ඔහු කිසිවිටක පැමිණිලි කළේ නැත. ඔහු යෙහෝවාගේ කැමැත්ත කිරීමට උත්සාහ කළා මිස, තමාට විශේෂ තැනක් ලබාගැනීමට වෑයම් නොකළේය. දාවිත්ගේ පුත්‍රයාට දේවමාළිගාව ගොඩනැඟීමේ කාර්යය යෙහෝවා බාර දුන් අවස්ථාවේදී, දාවිත් මුළු හදින්ම තම පුත්‍රයාට උපදෙස් දුන්නේය. තමන්ගේ මරණින් පසු ආරම්භ කිරීමට නියමිතව තිබූ වැඩ සඳහා කටයුතු සූදානම් කිරීමේදී ඔහුගේ කාලය, ශ්‍රමය හා ධනය ලබා දුන්නේය. (29:3, 9) ඇත්තෙන්ම දේවභක්තිය පිළිබඳ මොනතරම් විශිෂ්ට ආදර්ශයක්ද!—හෙබ්‍රෙ. 11:32.

25. පළමුවන ලේකම් පොත යෙහෝවාගේ නාමය හා රාජ්‍යය ගැන අප තුළ කුමන හැඟීමක් ඇති කළ යුතුද?

25 අවසාන පරිච්ඡේදවලදී දේවල් උච්චාවස්ථාව කරා ළඟා වේ. දාවිත් යෙහෝවාව ප්‍රශංසාවට ලක් කරමින් ඔහුගේ “තේජවත් නාමය” වර්ණනා කිරීමට අලංකාර භාෂාවක් යොදාගත්තේය. එය, යෙහෝවාගේ ශ්‍රේෂ්ඨත්වය ගැන හා ක්‍රිස්තුස් රජු වන ඔහුගේ රාජ්‍යය ගැන ජනයාට දැන්වීමට අද අපට තිබෙන වරප්‍රසාදය සතුටින් අගය කිරීමට අප තුළ පෙලඹවීමක් ඇති කළ යුතුය. (1 ලේක. 29:10-13) දාවිත්ට තිබූ ඇදහිල්ල හා සමාන ඇදහිල්ලක් ඇතුව යෙහෝවාට සේවය කිරීමට අපවම ඉදිරිපත් කරමින් ඔහුගේ සදාකාලික රාජ්‍යය සඳහා අපේ ස්තුතිය ප්‍රකාශ කරද්දී ඔහු මෙන් අපත් ප්‍රීතිය භුක්ති විඳීවා! (17:16-27) ඇත්තෙන්ම පළමුවන ලේකම් පොත, යෙහෝවාගේ වංශය මගින් පාලනය වන රාජ්‍යය පිළිබඳ තොරතුරු වඩාත් අලංකාරවත් ලෙස ඉදිරිපත් කරයි. යෙහෝවා ඔහුගේ අරමුණු පිළිබඳ හැඟීම් දනවනසුලු අනාවරණය කිරීම් ඉදිරියේදී සිදු කරන බවට පළමුවන ලේකම් පොත අප තුළ බලාපොරොත්තු ඇති කරවයි.

[පාදසටහන්වල]

a ක්ලාක්ගේ විවරණය (ඉංග්‍රීසියෙන්), II වෙළුම, 574 පිටුව.

b ශුද්ධ ලියවිලි පිළිබඳ තීක්ෂ්ණ බුද්ධිය (ඉංග්‍රීසියෙන්, it), 1 වෙළුම, 444-5 පිටු.

c ශුද්ධ ලියවිලි පිළිබඳ තීක්ෂ්ණ බුද්ධිය, 2 වෙළුම, 1076 පිටුව.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න