ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ia 4 පරි. 33-41 පි.
  • “ඔබ යන ඕනෑම තැනකට මමත් යනවා”

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • “ඔබ යන ඕනෑම තැනකට මමත් යනවා”
  • ඔවුන්ගේ විශ්වාසය අපිට ආදර්ශයක්
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • බලාපොරොත්තු නොවූ දෙයක්
  • සැබෑ ප්‍රේමයක්
  • රූත් සහ නායොමි බෙත්ලෙහෙමට පැමිණෙයි
  • ගුණයහපත් ස්ත්‍රියක්
    2012 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • රූත් පොතෙන් විශේෂාංග
    2005 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • රූත් සහ නායොමි
    බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
  • අගනා කාන්තාවක්
    2012 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
ඔවුන්ගේ විශ්වාසය අපිට ආදර්ශයක්
ia 4 පරි. 33-41 පි.
රූත්

හතරවෙනි පරිච්ඡේදය

“ඔබ යන ඕනෑම තැනකට මමත් යනවා”

1, 2. (අ) රූත් සහ නායොමි යන ගමන ගැනත්, ඔවුන් අද්දැක තිබෙන තත්වය ගැනත් පැහැදිලි කරන්න. (ආ) ඔවුන්ගේ ගමනාන්තය නායොමිට හුරු පුරුදු වුණත් රූත්ට අලුත් අද්දැකීමක් වෙන්නේ ඇයි?

රූත් තම නැන්දණිය වන නායොමි සමඟ දැන් ගමන් කරන්නේ කඳුකර ප්‍රදේශයක් හරහා වැටී තිබෙන මෝවබ් නිම්නයෙයි. පේනතෙක්මානයක මිනිස් පුළුටක්වත් නැහැ. දිවා කාලය ගෙවීගෙන යන නිසා දසත ගොම්මන් අඳුර වෙළාගන්න කලින් නවාතැන් ගැනීමට තැනක් සොයාගන්න ලැබෙයිද කියා රූත් කල්පනා කරනවා. රූත් තම නැන්දණිය වන නායොමි ගැන එතරම් සැලකිල්ලක් දක්වන්නේ ඇය කෙරෙහි තිබෙන සෙනෙහස නිසයි.

2 නායොමි වැන්දඹුවක් වුණේ මීට වසර ගණනාවකට පෙරයි. දැන් ඇගේ පුතුන් දෙදෙනා වූ මාලන් සහ කිලියොන්ගේ වියෝව නිසා ඇය මේ ගමන යන්නේ දුක් කන්දරාවක් හිතේ දරාගෙන. රූත් සිටින්නෙත් දරාගත නොහැකි මහත් වේදනාවකින්. ඒ තම පුරුෂයා වූ මාලන්ගේ වියෝව නිසයි. දැන් වියෝදුකින් පෙළෙන මේ වැන්දඹුවන් දෙදෙනා ගමන් කරන්නේ බෙත්ලෙහෙමට. නායොමි හැදී වැඩුණේ බෙත්ලෙහෙමේ නිසා ඇයට එය නුහුරු තැනක් නෙවෙයි. ඒත් මෝවබ් දේශයේ හැදී වැඩුණු රූත්ට නම් බෙත්ලෙහෙමේ වටපිටාව, සංස්කෘතිය, ආගම, මිනිසුන් වැනි සෑම දෙයකටම අලුතෙන්ම හැඩගැහෙන්න වෙයි.—රූත් 1:3-6 කියවන්න.

3. රූත්ගේ ආදර්ශය අනුකරණය කිරීමට උදව් වෙන්නේ මොන ප්‍රශ්නවලට පිළිතුරු සලකා බැලීමද?

3 ඒ තරම් අභියෝගයක් කරට ගන්න තරුණ වැන්දඹුවක් වූ රූත් පෙලඹුණේ ඇයි? අලුත් ජීවිත රටාවකට හුරු වෙමින් තම නැන්දණියව ආදරයෙන් රැකබලා ගන්න රූත්ට පුළුවන් වෙයිද? ඒ තොරතුරු ගැන සොයා බැලීමෙන් රූත්ගේ කදිම ආදර්ශය හොඳින් අනුකරණය කරන්න අපිටත් පුළුවන්. (“පුංචි වුණත් විශිෂ්ටයි” නමැති කොටුව බලන්න.) ඒ ගැන සොයා බලන්න කලින් රූත්ටත් නායොමිටත් බෙත්ලෙහෙමට යන්න සිදු වුණේ ඇයි කියා අපි බලමු.

බලාපොරොත්තු නොවූ දෙයක්

4, 5. (අ) නායොමිගේ පවුලේ අය මෝවබ් දේශයේ පදිංචියට ගියේ ඇයි? (ආ) නායොමිට එහිදී මුහුණ දීමට සිදු වුණේ මොන වගේ ප්‍රශ්නවලටද?

4 රූත් හැදී වැඩුණු මෝවබ් දේශය පිහිටා තිබුණේ මළ මුහුදට නැඟෙනහිරෙන්. එය කඳුකර ප්‍රදේශයක පිහිටි ඉතා සරුසාර තැනිතලා බිමක්. ඊශ්‍රායෙල් දේශයේ දරුණු සාගතයක් පැවතුණ කාලයේදීත් මෝවබ් දේශයේ ඇති තරම් කෑම තිබුණා. රූත්ට, මාලන්ව මුණගැහුණේ ඒ කාලයේදීයි.—රූත් 1:1.

5 නායොමිගේ පුරුෂයා වූ එලිමෙලෙක් පවුලේ අයත් සමඟ මෝවබ් දේශයට පැමිණියේ ඊශ්‍රායෙල් දේශයේ ඇති වූ සාගතය නිසයි. කොහොමවුණත් දෙවි තමන් තෝරාගන්නා ස්ථානයට ගොස් නමස්කාර කිරීම තම සේවකයන්ගෙන් බලාපොරොත්තු වූ නිසා නායොමිගේ පවුලේ අයට එය අභියෝගයක් වෙන්න ඇති. (ද්වි. 16:16, 17) එවැනි තත්වයක් හමුවේ පවා නායොමි දිගටම දෙවිට විශ්වාසවන්තව සිටියා. නමුත් තම ආදරණීය සැමියාගේ වියෝව දරාගැනීම ඇයට පහසු වුණේ නැහැ.—රූත් 1:2, 3.

6, 7. (අ) පුතුන් දෙදෙනා මෝවබ් ජාතික ස්ත්‍රීන්ව විවාහ කරගැනීම ගැන නායොමි දුක් වුණේ ඇයි? (ආ) නායොමි තම ලේලියන් දෙදෙනාට සැලකූ ආකාරය අගය කළ යුත්තේ ඇයි?

6 කාලයාගේ ඇවෑමෙන් නායොමිගේ පුතුන් දෙදෙනා මෝවබ් ජාතික තරුණියන්ව විවාහ කරගැනීම නිසා ඇගේ දුක තව තවත් වැඩි වෙන්න ඇති. (රූත් 1:4) පුරාණයේ සිටි දෙවිගේ විශ්වාසවන්ත සේවකයෙක් වූ ආබ්‍රහම් තම පුතුට දෙවිගේ සෙනඟ අතරින්ම තරුණියක්ව සොයා දීමට කොතරම් වෙහෙසක් දැරුවාද කියා නායොමි දැන සිටියා. (උත්. 24:3, 4) දූපුතුන්ව වෙනත් ජාතීන්ට විවාහ කර දෙන්න එපා කියා යෙහෝවා දෙවි, මෝසෙස් මාර්ගයෙන් අණ කර තිබුණේ හොඳ හේතු ඇතුවයි. තම සෙනඟ වෙනත් ජාතීන් සමඟ විවාහ වුණොත් ඔවුන් වෙනත් දෙවිවරුන්ට වන්දනාමාන කරන්න පෙලඹෙන බව දෙවි හොඳින්ම දැන සිටියා.—ද්වි. 7:3, 4.

7 තම පුතුන් දෙදෙනා මෝවබ් ජාතික ස්ත්‍රීන්ව විවාහ කරගැනීම නිසා නායොමි බලාපොරොත්තු සුන් වූ තත්වයකට පත් වුණාද නැද්ද කියා අපි දන්නේ නැහැ. කොහොමවුණත් ඇය තම ලේලියන් දෙදෙනා වූ රූත් හා ඕපාට ආදරයෙන් සලකන අතර ඔවුන් දෙදෙනාගේ ආදරයත් ඇයට නොමදව ලැබෙනවා. යම් දවසක තම ලේලියන් දෙදෙනා දෙවිගේ සේවිකාවන් වෙයි කියා ඇය බලාපොරොත්තු වෙන්න ඇති. නොසිතූ ලෙස ඇගේ පුතුන් දෙදෙනා මිය ගිය විට ඒ කටුක අද්දැකීම දරාගන්න ඔවුන්ට හැකි වුණේ ඔවුන් අතර තිබූ අපරිමිත සෙනෙහස නිසයි.—රූත් 1:5.

8. රූත්ට, යෙහෝවා දෙවි කෙරෙහි විශ්වාසයක් ඇති කරගන්න හේතු වෙන්න ඇත්තේ මොනවාද?

8 ඒ කටුක අද්දැකීම්වලට සාර්ථකව මුහුණ දෙන්න රූත්ට ඇගේ ආගමික පසුබිම උපකාරවත් වුණා කියා හිතන්න බැහැ. මෝවබ් දේශයේ අය බොහෝ දෙවි දේවතාවන්ට නමස්කාර කළා. ඒ අතරින් ප්‍රධාන දෙවියා ලෙස සැලකුවේ කෙමොෂ්ව. (ගණන්. 21:29) දරුවන්ව ගින්නෙන් පිළිස්සීම ඇතුළු බොහෝ කුරිරු ක්‍රියාවන් ඔවුන්ගේ ආගමික වත්පිළිවෙත්වලට ඇතුළත් වුණා. නමුත් යෙහෝවා දෙවි ඒ දෙවිවරුන්ට වඩා හාත්පසින්ම වෙනස් බව රූත්, නායොමිගෙන් හෝ මාලන්ගෙන් දැනගන්න ඇති. යෙහෝවා දෙවි මොන තරම් ප්‍රේමණීය දෙවි කෙනෙක්ද කියා රූත්ට වැටහුණා. (ද්විතීය කතාව 6:5 කියවන්න.) මාලන්ගේ වියෝවෙන් පසුව රූත් හා නායොමි අතර තිබුණු බැඳීම තවත් වැඩි වෙන්න ඇති. දෙවි තම සේවකයන් වෙනුවෙන් කර තිබෙන දේවල් ගැනත් ඔහුගේ මවිතාකාර නිර්මාණ ගැනත් නායොමි, රූත්ට කියා දෙන්න ඇති.

එකිනෙකා වැළඳගෙන දුක බෙදාගන්නා රූත් සහ නායොමි

කටුක අද්දැකීම්වලට මුහුණ දෙද්දී රූත් නායොමිට තවත් කිට්ටු වුණා

9-11. (අ) නායොමි, රූත් සහ ඕපා ගත් තීරණය කුමක්ද? (ආ) ඔවුන් මුහුණ දුන් වේදනාකාරී අද්දැකීමෙන් පැහැදිලි වෙන්නේ මොනවාද?

9 නායොමි මෝවබ් දේශයේ සිටින අතරතුරේදී තම මව් බිම වූ බෙත්ලෙහෙම ගැන තොරතුරු විටින් විට සොයා බලනවා. දිනක් ඊශ්‍රායෙල් දේශයේ සාගතය අවසන් වී ඇති බව ඇයට දැනගන්න ලැබෙනවා. සමහරවිට මෝවබ් දේශයට පැමිණි වෙළෙන්දෙකුගෙන් ඇය ඒ බව දැනගන්න ඇති. යෙහෝවා දෙවි බෙත්ලෙහෙමට ආශීර්වාද කර තිබෙන නිසා දේශය නැවතත් සශ්‍රීක වී ඇති බව දැනගන්නා නායොමි තම මව්බිම වෙත යන්න තීරණය කරනවා.—රූත් 1:6.

10 නායොමි ආදරණීය නැන්දණියක් නිසා ලේලියන් දෙදෙනාත් ඇය සමඟ යන්න තීරණය කරනවා. (රූත් 1:7) නායොමි දැක්වූ ආදරය, කරුණාව හා දෙවි කෙරෙහි ඇයට තිබුණු විශ්වාසය රූත්ගේ සිතට තදින්ම කාවදින්න ඇති.

11 දුෂ්ට මිනිසුන්ට විතරක් නෙවෙයි යහපත් මිනිසුන්ටත් වේදනාකාරී අද්දැකීම්වලට මුහුණ දෙන්න සිදු වෙන බව රූත්ගේ සිද්ධියෙන් මොන තරම් කදිමට පැහැදිලි වෙනවාද! (දේශ. 9:2, 11) අපත් දරාගත නොහැකි දුක් ගැහැටවලින් මිරිකී සිටිද්දී අනික් අයව විශේෂයෙන්ම යෙහෝවා දෙවිගේ සේවකයන්ව ඇසුරු කිරීමෙන් දිරියක් ලැබීම මොන තරම් ඥානවන්තද?—හිතෝ. 17:17.

සැබෑ ප්‍රේමයක්

12, 13. රූත් සහ ඕපාට නැවත හැරී යන්න කියා නායොමි පැවසුවේ ඇයි? ඔවුන් ක්‍රියා කළේ කොහොමද?

12 මේ ගමන යන අතරතුරේදී නායොමිගේ මනසට දහසකුත් සිතුවිලි ගලාගෙන එනවා. ලේලියන් දෙදෙනා තමන්ට කොතරම් සෙනෙහසක් දැක්වූවාද කියාත් තම පුතුන් දෙදෙනාට ඔවුන් මොන තරම් ආදරයෙන් සැලකුවාද කියාත් ඇයට සිහි වෙනවා. වියෝදුකින් සිටින තම ලේලියන් දෙදෙනාට තවත් බරක් වෙන්න ඇගේ හිත ඉඩ දෙන්නේ නැහැ. ලේලියන් දෙදෙනා ඇය සමඟ බෙත්ලෙහෙමට පැමිණියොත් ඔවුන් වෙනුවෙන් තමන්ට කරන්න පුළුවන් දෙයක් තියෙනවාද කියා ඇය කල්පනා කරනවා.

13 නායොමි ඇගේ ලේලියන් දෙදෙනාට මෙහෙම කියනවා. “ඔබ දෙදෙනා දැන් ආපහු ගෙදර යන්න. ගිහින් ඔබේ අම්මලා එක්ක ජීවත් වෙන්න. මටයි මිය ගිය මගේ පුත්‍රයන්ටයි නොසැලෙන ආදරයක් පෙන්වූ ඔබ දෙදෙනාට සැමදා යෙහෝවා දෙවිගෙන් ප්‍රේමය ලැබෙන්න කියා මම ප්‍රාර්ථනා කරනවා.” නැවතත් සන්තෝෂවත් යුග දිවියක් ගත කරන්න ඔවුන්ට යෙහෝවා දෙවිගේ ආශීර්වාදය ලැබෙන්න කියා ප්‍රාර්ථනා කරමින් ඇය තම ලේලියන්ට සමු දෙනවා. නමුත් හඬා වැලපෙමින් ලේලියන් දෙදෙනා ඇයට මෙහෙම කියනවා. “අනේ, අපිට හැරිලා යන්න නම් කියන්න එපා. ඔබත් එක්ක ඔබේ සෙනඟ ළඟට ගිහින් ජීවත් වෙන්න අපිට ඉඩ දෙන්න.”—රූත් 1:8-10.

14, 15. (අ) ඕපා නැවත හැරී ගියේ කුමන දේවල්වලටද? (ආ) නායොමි රූත්ට කිව්වේ මොනවාද?

14 ලේලියන් දෙදෙනාගේ ඉල්ලීමට නායොමි එකඟ වෙන්නේ නැහැ. ඔවුන් දෙදෙනා බෙත්ලෙහෙමට පැමිණියොත් නැවත විවාහ කර දෙන්න තමාට වෙන පුතුන් නැති බවත් ඔවුන්ගේ අවශ්‍යතා සපයන්න තමාට හැකියාවක් නැති බවත් ඇය ඔවුන්ට පැහැදිලි කර දෙනවා. ඇය පැවසූ දේ ගැන කල්පනා කරන ඕපා තමන්ගේ පවුලේ අය වෙතට නැවත යන්න තීරණය කරනවා. හිතේ දුකින් වුණත් ඕපා, නායොමිව සිපගෙන ඇගෙන් සමුගන්නවා.—රූත් 1:11-14.

15 කොහොමවුණත් රූත් නම් නායොමිව හැර දමා යන්න කැමති වෙන්නේ නැහැ. ඇය තවමත් තමා පසුපසින් එන බව දකින නායොමි ඇයට මෙහෙම කියනවා. “දුවේ, වැන්දඹුවක් වන ඔබේ නෑනා ඇගේ සෙනඟ වෙතටත් දෙවිවරුන් වෙතටත් ආපහු ගියා. ඉතින් ඔබත් යන්න.” (රූත් 1:15) නායොමි පැවසූ දෙයින් පැහැදිලි වෙන්නේ ඕපා තමන්ගේ පවුලේ අය වෙතට විතරක් නෙවෙයි බොරු දෙවිවරුන් වෙතටත් නැවත හැරී ගිය බවයි. බොරු දෙවියෙක් වන කෙමොෂ්ට සහ වෙනත් දෙවිවරුන්ට වන්දනාමාන කිරීම ඇයට ප්‍රශ්නයක් නොවුණු බවත් එමගින් පැහැදිලි වෙනවා.

16-18. (අ) රූත් සැබෑ ප්‍රේමය ක්‍රියාවෙන් පෙන්නුවේ කොහොමද? (ආ) සැබෑ ප්‍රේමය පෙන්වීම ගැන අපිට රූත්ගෙන් ඉගෙනගන්න පුළුවන් මොනවාද? (රූත් නායොමි සමඟ සිටින පින්තූරද බලන්න.)

16 රූත් මොන වගේ තීරණයක් ගනියිද? ඇය නායොමිට මෙහෙම කියනවා. “ඔබව අත්හැර යන්න කියලා නම් මට කියන්න එපා. ඔබ යන ඕනෑම තැනකට මමත් යනවා. ඔබ නිදාගන්න තැනම මමත් නිදාගන්නවා. ඔබේ සෙනඟ මගෙත් සෙනඟයි. ඔබේ දෙවි මගෙත් දෙවියි. ඔබ මැරෙන තැනම මමත් මැරෙනවා. මාව තැන්පත් කරන්න ඕනෙත් එතැනමයි. මරණය හැර වෙන කිසිම දෙයක් නිසා අපි දෙන්නා වෙන් වුණොත් යෙහෝවා දෙවිගෙන් මට දඬුවම් ලැබේවා!” (රූත් 1:16, 17) රූත් එවැනි තීරණයක් ගත්තේ ඇය නායොමිටත් නායොමි නමස්කාර කරන දෙවිටත් සැබවින්ම ප්‍රේම කළ නිසයි.

“ඔබ යන ඕනෑම තැනකට මමත් යනවා” කියලා රූත් නායොමිට කියනවා

“ඔබේ සෙනඟ මගෙත් සෙනඟයි. ඔබේ දෙවි මගෙත් දෙවියි”

17 රූත් ඉහත කී වදන් ගැන අදටත් අපි කතා කරන්නේ එහි ඇති වටිනාකම නිසයි. නායොමි කෙරෙහි ඇයට තිබුණේ සැබෑ ප්‍රේමයක්. නායොමි යන ඕනෑම තැනකට ඇය සමඟ යන්නත්, ඇගේ නෑදෑයන්ව තමාගේම නෑදෑයන් ලෙස සලකන්නත් රූත් කැමති වුණේ ඒ නිසයි. ඕපාට වඩා වෙනස්ව රූත් තමන් කලින් නමස්කාර කළ දෙවිවරුන්ව අත්හැර නායොමි නමස්කාර කළ යෙහෝවා දෙවිට නමස්කාර කරන්නත් කැමති වුණා.a

18 කිසිම කෙනෙක් නැති පාළු මාවතක් දිගේ ඔවුන් දෙදෙනා බෙත්ලෙහෙම බලා ගමන් කරනවා. සමහරවිට මේ ගමනට සතියක් විතර ගත වෙන්න ඇති. වියෝදුක, පාළුව දරාගෙන මේ ගමන යන අතරතුරේදී ඔවුන් එකිනෙකාව සනසවා ගත් බවට සැකයක් නැහැ.

19. රූත් මෙන් පවුලේ අයට, සභාවේ අයට සහ මිතුරන්ට සැබෑ ප්‍රේමය පෙන්වන්න පුළුවන් කොහොමද?

19 අද අපි ජීවත් වෙන්නේ ‘ඉතා අසීරු, අනතුරු සහිත කාලයක’ නිසා බොහෝ දුක් වේදනාවන් අපි අද්දකිනවා. (2 තිමෝ. 3:1) ඒ නිසා වෙන කවරදාකටත් වඩා වැඩියෙන් අපි රූත් වගේ එකිනෙකාට සැබෑ ප්‍රේමයෙන් සලකන්න ඕනේ. සැබෑ ප්‍රේමයෙන් ක්‍රියා කරන කෙනෙක් ඕනෑම දුෂ්කරතාවක් හමුවේ පක්ෂපාතව ඉන්නවා. අනික් තැනැත්තාව අත්හැර දමා යන්නේ නැහැ. විවාහය, පවුල, සභාව, මිතුරන් වැනි මේ හැම බැඳීමක්ම රැකගන්න සැබෑ ප්‍රේමය අත්‍යවශ්‍යයි. (1 යොහන් 4:7, 8, 20 කියවන්න.) ඒ නිසා අපිත් රූත් වගේ හැමදාමත් එකිනෙකාට සැබෑ ප්‍රේමය පෙන්වමු.

රූත් සහ නායොමි බෙත්ලෙහෙමට පැමිණෙයි

20-22. (අ) නායොමි මෝවබ්වලදී ගත කර තිබුණේ මොන වගේ ජීවිතයක්ද? (ආ) තමාට පැමිණි දුක් කරදර ගැන නායොමි සිතුවේ කුමක්ද? (යාකොබ් 1:13ද බලන්න.)

20 සැබෑ ප්‍රේමය වචනවලට පමණක් සීමා වෙන දෙයක් නෙවෙයි. එය ක්‍රියාවෙනුත් පෙන්විය යුතුයි. නායොමිටත් නායොමි නමස්කාර කළ යෙහෝවා දෙවිටත් රූත් සැබවින්ම ප්‍රේම කරන බව ඇය පෙන්වන්නේ කොහොමද? බෙත්ලෙහෙමෙදී ඇය ක්‍රියා කරන්නේ කෙසේද කියා අපි දැන් බලමු.

21 රූත් සහ නායොමි දුරකතර ගෙවාගෙන දැන් බෙත්ලෙහෙමට ඇවිත්. බෙත්ලෙහෙම පිහිටා තිබෙන්නේ යෙරුසලමේ සිට කිලෝමීටර් 10ක් පමණ දුරකින්. නායොමි නැවතත් බෙත්ලෙහෙමට පැමිණි ආරංචිය ළැව් ගින්නක් මෙන් ගම පුරාම පැතිරෙනවා. පෙනෙන විදිහට නායොමිගේ පවුලේ අයට බෙත්ලෙහෙමේ හොඳ පිළිගැනීමක් තියෙන්න ඇති. ගෙවුණු කාලය අතරතුරේදී නායොමි දුක් කන්දරාවකට මුහුණ දී තිබෙන බව ඇගේ පෙනුමෙන් දිස්වෙනවා. ඇයව දකින ගමේ ගැහැණු අය “මේ නායොමි නේද” කියා පුදුමයෙන් අසන්නේ ඒ නිසයි.—රූත් 1:19.

22 පසුගිය කාලයේදී මොන තරම් දුක් කන්දරාවකට මුහුණ දුන්නාද කියා නායොමි අසල්වැසියන්ටත් නෑදෑයන්ටත් විස්තර කරනවා. ඇය කොතරම් කලකිරී ඇද්ද කියනවා නම් “ප්‍රියමනාපයි” යන තේරුම ඇති නායොමි කියා අමතනවා වෙනුවට “තිත්ත” යන අරුත ඇති “මාරා” යන නමින් ඇයට කතා කරන්න කියා නායොමි ඔවුන්ට පවසනවා. පුරාණයේ සිටි යෝබ් මෙන් අසරණ නායොමි සිතුවෙත් ඇයට ඒ දුක් ගැහැට විඳින්න සැලැස්සුවේ යෙහෝවා දෙවි කියායි.—රූත් 1:20, 21; යෝබ් 2:10; 13:24-26.

23. රූත් කල්පනා කරන්නේ මොනවා ගැනද? දෙවි දී තිබූ නීතියේ දිලිඳු අයට ලබා දී තිබුණු සහනය කුමක්ද? (පාදසටහනද බලන්න.)

23 රූත් දැන් කල්පනා කරන්නේ තමන්ගෙත් තම නැන්දණියගෙත් අවශ්‍යතා සපුරාගන්නේ කෙසේද කියායි. යෙහෝවා දෙවි දිලිඳු අය වෙනුවෙන් ප්‍රේමණීය සැපයුමක් දී තිබෙන බව ඇයට දැනගන්න ලැබෙනවා. දෙවි දී තිබූ නීතියේ සඳහන් වුණේ කෙත්වල අස්වැන්න නෙළන කාලයේදී මායිම්වල තිබෙන කරල් සහ ඉතිරි වී තිබෙන කරල් එකතු කරගැනීමට දිලිඳු අයට අවසර තිබෙනවා කියායි.b—ලෙවී. 19:9, 10; ද්වි. 24:19-21.

24, 25. බෝවස්ගේ කෙතට ඇතුල් වූ විට රූත් කළේ මොනවාද? කරල් එකතු කිරීම පහසු කාර්යයක්ද?

24 බෙත්ලෙහෙමට දැන් උදා වී තිබෙන්නේ බාර්ලි අස්වැන්න නෙළන කාලයයි. අපේ දින දර්ශනයට අනුව එය අප්‍රියෙල් මාසය කියා සිතන්න පුළුවන්. රූත් තමාටත් කරල් එකතු කරගැනීමට ඉඩ ලැබෙයිද කියා බැලීමට කෙතකට යනවා. ඇය නොදැනුවත්වම හෝ පය තබන්නේ නායොමිගේ පුරුෂයා වූ එලිමෙලෙක්ගේ නෑදෑයෙක් වන බෝවස්ගේ කෙතට. ඔහු කෙත්වතු යායක් හිමි ධනවත් පුරුෂයෙක්. කෙත්වල කරල් එකතු කරන්න දිලිඳුන්ට අවසර තිබුණත් ඒ කෙත භාරව සිටි පුරුෂයාගෙන් රූත් අවසර ඉල්ලනවා. අවසර ලැබුණු සැණින් ඇය කරල් එකතු කරන්න පටන්ගන්නේ හද පිරි සතුටින්.—රූත් 1:22–2:3, 7.

25 අස්වැන්න නෙළන්නන් පසුපස යමින් කරල් එකතු කරගන්නා ඇය ඒවා මිටි බැඳගෙන එක තැනකට රැස් කරනවා. ඇය එසේ කරන්නේ පසුව ඒවා තළා ධාන්‍ය එකතු කරගැනීමටයි. එය හිතන තරම් ලෙහෙසි පහසු කාර්යයක් නම් නෙවෙයි. හිරු රශ්මිය ටිකෙන් ටික වැඩි වේගෙන එද්දී ඇයට දැනෙන වෙහෙසත් වැඩි වෙනවා. කොහොමවුණත් රූත් වෙහෙස නොබලා කඩියෙකු මෙන් එක දිගට එම කාර්යයේ නියැලෙනවා. ඇය මොහොතකට හෝ විවේකයක් ගන්නේ පැලට ඇවිත් දිවා ආහාරය ගැනීමට පමණයි.

අස්වැන්න නෙළන්නන් පසුපස යමින් රූත් නිහතමානීව බාර්ලි කරල් එකතු කරගනිමින්

තම නැන්දණියව බලාගැනීමට රූත් නිහතමානීව වෙහෙස නොබලා වැඩ කළා

26, 27. බෝවස් මොන වගේ කෙනෙක්ද? ඔහු රූත්ට සලකන්නේ කොහොමද?

26 රූත් එලෙස වෙහෙස නොබලා වැඩ කළේ කිසිවෙකුගේ හෝ අවධානය ලබාගැනීමේ බලාපොරොත්තුවෙන් නම් නෙවෙයි. නමුත් කඩිසර ලෙස කරල් එකතු කරමින් සිටි ඇයව බෝවස්ගේ නෙත ගැටෙනවා. බෝවස්, දෙවිට විශ්වාසවන්ත, ඉතා කාරුණික කෙනෙක්. ඔහු තම කෙතේ වැඩ කරමින් සිටි සේවකයන්ට ආචාර කරමින් “යෙහෝවා දෙවි ඔබ සමඟ සිටීවා” කියා පවසන අතර ඔහුගේ සේවකයන්ද ඔහුට එලෙසම ආචාර කරනවා.—රූත් 2:4-7.

27 තම සේවකයන්ගෙන් රූත් ගැන තොරතුරු දැනගන්නා බෝවස් ඇයව අමතන්නේ “දුවේ” කියායි. දිගටම තමන්ගේ කෙතට ඇවිත් සෙසු සේවිකාවන් සමඟ එකතු වී, කරල් අහුලාගන්න කියා ඔහු ඇයට පවසනවා. ඔහු එසේ පවසන්නේ රූත්ට කිසිවෙකුගේ හෝ අතින් හිරිහැරයක් වෙනවාට ඔහු අකමැති නිසයි. දිවා ආහාරය සඳහා වැඩ නතර කළ අවස්ථාවේදී රූත්ට කෑම ටිකක් දෙන්නත් ඔහු අමතක කරන්නේ නැහැ. (රූත් 2:8, 9, 14 කියවන්න.) ඇගේ යහපත් හැසිරීම ගැන ප්‍රශංසා කරමින් බෝවස් ඇයව දිරිගන්වනවා.

28, 29. (අ) රූත් දිනාගෙන තිබුණේ මොන වගේ නමක්ද? (ආ) ඔබටත් රූත් මෙන් යෙහෝවා දෙවිගේ රැකවරණය ලබන්න පුළුවන් කොහොමද?

28 විදේශිකයෙක් වූ තමාට මේ තරම් කාරුණිකව සලකන්නේ ඇයි කියා රූත් බෝවස්ගෙන් අසනවා. ඊට පිළිතුරු දෙන බෝවස් පවසන්නේ ඇය නායොමිට කොතරම් ආදරයකින් සලකනවාද කියා ඔහුට දැනගන්න ලැබුණු බවයි. සමහරවිට නායොමි රූත් ගැන අනිකුත් ස්ත්‍රීන්ට පැවසූ දේවල් බෝවස්ට ආරංචි වෙන්න ඇති. රූත් යෙහෝවා දෙවිට නමස්කාර කරන්න පටන්ගෙන තිබෙන බවත් බෝවස් දන්නවා. ඒ නිසා ඇයට දෙවිගේ ආශීර්වාදය පතමින් ඔහු මෙහෙමත් කියනවා. “ඔබේ යහපත් ක්‍රියාවලට යෙහෝවා දෙවිගෙන් ඔබට ආශීර්වාද ලැබේවා! ඊශ්‍රායෙල්හි දෙවි වන යෙහෝවාගේ පියාපත් සෙවණේ රැකවරණය සොයන ඔබට ඔහුගෙන් බොහෝ ආශීර්වාද ලැබේවා!”—රූත් 2:12.

29 බෝවස් පවසන දේවලින් රූත් මොන තරම් දිරිගැන්වෙන්න ඇද්ද! කුරුළු පැටවෙක් තම මවගේ පියාපත් සෙවණේ රැකවරණය ලබනවා හා සමානව රූත්ද යෙහෝවා දෙවිගේ රැකවරණය ලබනවා. තමාව අගය කරමින් දිරිගැන්වීම ගැන බෝවස්ට ස්තුති කරන රූත් දැන් නැවතත් කරල් එකතු කරන්න පටන්ගන්නවා.—රූත් 2:13, 17.

30, 31. කඩිසරව වැඩ කිරීම, අගය කිරීම සහ සැබෑ ප්‍රේමය පෙන්වීම සම්බන්ධයෙන් අපිට රූත්ව ආදර්ශයට ගන්න පුළුවන් කොහොමද?

30 ආර්ථික ප්‍රශ්න සමඟ පොරබඳින අපිට රූත්ගේ කදිම ආදර්ශයෙන් ඉගෙනගන්න පුළුවන් මොනවාද? තමන් අසරණ තත්වයකට පත් වී සිටින නිසා අනික් අය තමාගේ අවශ්‍යතා පිරිමසන්න බැඳී සිටිනවා කියා ඇය සිතුවේ නැහැ. ඒ වෙනුවට තම නැන්දණියව ආදරයෙන් රැකබලා ගැනීමට ඇය තමාට හැකි සියල්ල කළා. අනික් අය තමන් වෙනුවෙන් කරන දේවල් ඇය හද පිරි සතුටින් අගය කළා. වෙහෙස වී වැඩ කරන්න ඇය ලැජ්ජා වුණේවත් අදිමදි කළේවත් නැහැ. තමාගේ ආරක්ෂාව ගැන වැඩිහිටියන් දුන් උපදෙස් ඇය අදාළ කරගත්තා. ඒ වගේම සැබෑ රැකවරණය ලැබෙන්නේ යෙහෝවා දෙවිගෙන් බව ඇය අවබෝධ කරගෙන සිටියා.

31 අපිත් රූත් මෙන් අන් අයට සැබෑ ප්‍රේමයක් පෙන්වනවා නම් හා නිහතමානීව සහ කඩිසරව වැඩ කරනවා නම් අන් අයට ආදර්ශයක් වෙන්න අපිටත් පුළුවන්. යෙහෝවා දෙවි ඔවුන්ට ආශීර්වාද කළ ආකාරය ගැන අපි ඊළඟ පරිච්ඡේදයෙන් බලමු.

පුංචි වුණත් විශිෂ්ටයි

සමහර අය රූත් පොත සලකන්නේ පුංචි මැණිකක් හා සමානවයි. එය විනිශ්චයකරුවෝ පොත තරම් දීර්ඝ විස්තර සපයන පොතක් නෙවෙයි. රූත් පොතේ සඳහන් සිද්ධිය සිදු වූ කාලය තේරුම්ගැනීමට විනිශ්චයකරුවෝ පොත උපකාරවත් වෙනවා. (රූත් 1:1) ඒ පොත් දෙකම ලියනු ලැබුවේ සාමුවෙල් විසින්. බයිබලයේ රූත් පොත තිබෙන්නේ එය තිබිය යුතු හොඳම ස්ථානයේ බවට ඔබත් එකඟ වෙයි. විනිශ්චයකරුවෝ පොතේ සඳහන් යුද්ධ, ආක්‍රමණ වැනි වාර්තාවලින් පසුව රූත් පොත කියවන විට යෙහෝවා දෙවි එදිනෙදා ප්‍රශ්න ගැටලුවලින් පීඩා විඳින අය ගැනත් සැලකිලිමත් වන ආකාරය තේරුම්ගැනීමට ඔබට හැකියි. පවුලක සිදු වන සිදුවීම් ඇතුළත් නාට්‍යයක් හා සමාන රූත් පොතේ සඳහන් සිද්ධිය ප්‍රේමය, වියෝව, දෙවි කෙරෙහි විශ්වාසය සහ පක්ෂපාතකම ගැන බොහෝ පාඩම් අපට උගන්වනවා.

a බොහෝ විදේශිකයන් මෙන් “දෙවියන්” කියා පවසනවා වෙනුවට රූත් යෙහෝවා යන දෙවිගේ නාමය සඳහන් කළා. ‘ඇය යෙහෝවා දෙවිට නමස්කාර කළ කෙනෙක් ලෙස සැලකිය හැකි බව ඉන් පැහැදිලි වෙනවා’ කියා එක් බයිබල් පරිවර්තනයක සඳහන් වෙනවා.—The Interpreter’s Bible.

b යෙහෝවා දෙවි දිලිඳුන් වෙනුවෙන් එතරම් සැලකිලිමත් වී තිබීම ගැන රූත් පුදුම වෙන්න ඇති. ඊශ්‍රායෙලයේ අවට ප්‍රදේශවල ජීවත් වූ වැන්දඹුවන්ට මුහුණ දීමට සිදු වූ දේවල් ගැන එක් පොතක මෙසේ සඳහන් වෙනවා. “සාමාන්‍යයෙන් පුරුෂයා මිය ගිය පසු වැන්දඹුවක් තම පුතුන් මත යැපුණා. වැන්දඹුවකට පුතුන් සිටියේ නැත්නම් දාසියක් ලෙස හෝ ගණිකාවක් ලෙස ක්‍රියා කිරීමට එසේත් නැත්නම් ජීවිතය නැති කරගැනීමට සිදු වුණා.”

ඔබට මතකද?

  • රූත් තමන්ට යෙහෝවා දෙවි කෙරෙහි ඇති විශ්වාසය ගැන කිව්වේ මොනවාද?

  • රූත් සැබෑ ප්‍රේමය පෙන්නුවේ කොහොමද?

  • යෙහෝවා දෙවි රූත්ව අගය කළේ ඇයි?

  • රූත්ට දෙවි කෙරෙහි තිබුණු විශ්වාසය අනුකරණය කරන්න ඔබට පුළුවන් කොහොමද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න