-
යෙහෝවා දෙවියන්ගේ හමුදාවබයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
-
-
52වෙනි පාඩම
යෙහෝවා දෙවියන්ගේ හමුදාව
සිරියාවේ බෙන්හාදද් රජ කීප සැරයක්ම ඊශ්‍රායෙල්වරු එක්ක සටනට ආවා. හැබැයි ඒ හැම වෙලාවෙම අනාගතවක්තෘ එලිෂා ඊශ්‍රායෙල් රජට ඒ ගැන දැනුම් දීපු නිසා රජගේ ජීවිතේ බේරුණා. ඒ නිසා බෙන්හාදද්ට ඕන වුණා එලිෂාව අල්ලගන්න. එලිෂා ඉන්නේ දොතාන් නගරයේ කියලා දැනගත්තාම එයාව අල්ලගන්න රජ සෙබළුන්ව යැව්වා.
එදා රෑ සිරියානු හමුදාව දොතාන් නගරයට ගියා. පහුවෙනිදා උදේ එයාලා මුළු නගරයම වට කරගෙන කියලා එලිෂාගේ සේවකයා දැක්කාම එයා හොඳටම බය වුණා. එයා එලිෂාගෙන් ඇහුවා “අපි දැන් මොකද කරන්නේ” කියලා. එතකොට එලිෂා කිව්වා “එයාලා එක්ක ඉන්න අයට වඩා ලොකු කට්ටියක් අපිත් එක්ක ඉන්නවා” කියලා. ඒ වෙලාවේ ගින්දර වගේ පෙනුණ අශ්වයනුත් අශ්ව රථත් කඳුකරය පුරාම ඉන්න විදිහ යෙහෝවා ඒ සේවකයාට පෙන්නුවා.
සිරියානු හමුදාව එලිෂාව අල්ලගන්න හැදුවාම එලිෂා යාච්ඤා කරලා කිව්වා ‘යෙහෝවා දෙවියනි, මේ අයගේ ඇස් අන්ධ කරන්න’ කියලා. ඒ වෙලාවේ එයාලාගේ ඇස් අන්ධ වුණේ නැතත් එයාලා ඉන්නේ කොහේද කියන එක ගැන එයාලට තේරුණේ නැහැ. එලිෂා එයාලට මෙහෙම කිව්වා. ‘ඔයාලා යන්නේ වැරදි පාරේ. ඔයාලා හොයන කෙනා ළඟට මං ඔයාලව එක්කන් යන්නම්.’ අන්තිමේදී එලිෂා එයාලව ඊශ්‍රායෙල් රජ හිටිය සමාරියටම එක්කන් ගියා.
වෙච්ච දේ සිරියානුවන් තේරුම්ගද්දී එයාලා පරක්කු වැඩියි. ඊශ්‍රායෙල් රජ එලිෂාගෙන් ඇහුවා ‘මං මෙයාලව මරලා දාන්නද’ කියලා. අවස්ථාවෙන් ප්‍රයෝජන අරන් එලිෂා එයාලව මරන්න කියයිද? නැහැ. එයා මෙහෙම කිව්වා. ‘එයාලව මරන්න එපා. කන්න, බොන්න දීලා එයාලව ආපහු යවන්න.’ රජ කෑම ගොඩක් එයාලට දීලා එයාලව යැව්වා.
“දෙවියන්ගේ කැමැත්තට එකඟව අපි දෙයක් ඉල්ලලා යාච්ඤා කළොත් ඔහු අනිවාර්යයෙන්ම අපිට ඇහුම්කන් දෙනවා. අපිට ඒ ගැන කිසිම සැකයක් නැහැ.”—1 යොහන් 5:14
-
-
යෙහෝයාදාගේ නිර්භීතකමබයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
-
-
53වෙනි පාඩම
යෙහෝයාදාගේ නිර්භීතකම
යෙසබෙල්ට අතලියා කියලා දුවෙක් හිටියා. එයාත් අම්මා වගේම නපුරුයි. අතලියා විවාහ වෙලා හිටියේ යූදා දේශයේ රජ එක්ක. ඒ රජ මැරුණාම රජ වුණේ අතලියාගේ පුතා. එයාත් මැරුණාට පස්සේ අතලියා රජකම අතට අරන් රජ පෙළපතට අයිති හැමෝවම මරලා දාන්න හැදුවා. එයාගෙම මුනුපුරන්වත් මැරුවා. හැමෝම එයාට බයෙන් හිටියේ.
ඒ කාලේ හිටපු උත්තම පූජකයාගේ නම යෙහෝයාදා. එයාගේ බිරිඳගේ නම යෙහෝෂෙබා. ඒ දෙන්නා එකතු වෙලා අතලියාගේ මුනුපුරෙක් වුණ යෙහෝයාෂ්ව බේරගෙන එයාව දේවමාලිගාවේ හැංගුවා.
යෙහෝයාෂ්ට වයස හතක් වුණාම යෙහෝයාදා ලෙවීවරුන්ටයි ප්‍රධානීන්ටයි එන්න කියලා මෙහෙම කිව්වා. ‘දේවමාලිගාව හොඳට මුර කරන්න. කාටවත් එන්න දෙන්න එපා.’ ඊළඟට එයා යෙහෝයාෂ්ව යූදා දේශයේ රජ විදිහට පත් කළා. එතකොට සෙනඟ හැමෝම කෑගහලා කිව්වා “රජතුමා දිගු කල් ජීවත් වේවා” කියලා.
සෙනඟ කෑගහනවා ඇහිලා අතලියා දේවමාලිගාවට ඉක්මනින්ම ගියා. අලුත් රජව දැක්කාම එයා කෑගහලා කිව්වා “කුමන්ත්‍රණයක්! මේක මහා කුමන්ත්‍රණයක්” කියලා. එතකොට ප්‍රධානීන් අතලියාව අල්ලගෙන ගිහින් මරලා දැම්මා.
නමස්කාර කරන්නේ යෙහෝවාට විතරයි කියලා යෙහෝවා එක්ක ගිවිසුමක් ඇති කරගන්න යෙහෝයාදා සෙනඟට උදව් කළා. ඊටපස්සේ එයා සෙනඟට කිව්වා බාල්ගේ දේවාලයට ගිහින් ඒ පූජාසනයි රූපයි කඩලා දාන්න කියලා. දේවමාලිගාවේ වැඩ කරන්න එයා පූජකයන්වයි ලෙවීවරුන්වයි පත් කරපු නිසා සෙනඟට පුළුවන් වුණා ආයෙත් දේවමාලිගාවේ දෙවියන්ට නමස්කාර කරන්න. අපිරිසිදු අය දේවමාලිගාවට එන එක නවත්තන්න එයා මුරකරුවන්වත් පත් කළා. ඊළඟට යෙහෝයාෂ්ව රජමාලිගාවට අරන් ගිහින් එයාට සිංහාසනයේ වාඩි වෙන්න කිව්වා. යූදා දේශයේ හැමෝම හුඟක් සතුටු වුණා. අතලියායි බාල් නමස්කාරයයි නැති නිසා නිදහසේ යෙහෝවාට නමස්කාර කරන්න සෙනඟට පුළුවන් වුණා. යෙහෝයාදාගේ නිර්භීතකම නිසා ගොඩක් අයට ප්‍රයෝජන ලැබුණ විදිහ ඔයා දැක්කාද?
“ඔයාලව මරලා දැම්මත් අනාගතයේදී ඔයාලට ලැබෙන්න යන ජීවිතය උදුරගන්න බැරි අයට බය වෙන්න එපා. ඒත් ඔයාලව ගෙහෙන්නාවට නියම කරලා සම්පූර්ණයෙන්ම විනාශ කරන්න පුළුවන් තැනැත්තාට විතරක් බය වෙන්න.”—මතෙව් 10:28
-