ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙරුසලම විනාශ වෙයි
    බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
    • යෙරුසලම සහ දේවමාලිගාව ගිනිගනිමින්

      58වෙනි පාඩම

      යෙරුසලම විනාශ වෙයි

      යූදා රාජ්‍යයේ අය දිගින් දිගටම යෙහෝවාට අකීකරු වෙලා බොරු දෙවිවරුන්ට නමස්කාර කළා. යෙහෝවා අවුරුදු ගාණක්ම හුඟක් අනාගතවක්තෘවරුන්ව එවලා එයාලට උදව් කරන්න හැදුවත් එයාලා ඇහුම්කන් දුන්නේ නැහැ. එයාලා අනාගතවක්තෘවරුන්ව සවුත්තු කරලා කතා කළා.

      බැබිලෝනියේ නෙබුකද්නෙෂර් රජ රටවල් එකින් එක අල්ලගන්න පටන්ගත්තා. එයා යෙරුසලමත් අල්ලගෙන යෙහෝයාකිම් රජවයි අධිපතීන්වයි යුද්ධයට දක්ෂ අයවයි කර්මාන්තකරුවන්වයි බැබිලෝනියට අරන් ගියා. දේවමාලිගාවේ තිබුණු වටිනා හැම දේමත් අරන් ගියා. ඊටපස්සේ එයා යූදා දේශයේ රජ විදිහට ශෙදකියාව පත් කළා.

      මුලදී ශෙදකියා නෙබුකද්නෙෂර්ට කීකරු වෙලා හිටියා. ඒත් ළඟ හිටිය ජාතීන්වල අයයි බොරු අනාගතවක්තෘවරුයි ශෙදකියාට කිව්වා ‘බැබිලෝනියේ රජට විරුද්ධව කැරලිගහන්න’ කියලා. යෙරෙමියා මෙහෙම කිව්වා. ‘කැරලිගැහුවොත් යූදා දේශයේ හුඟක් අය මැරෙයි. සාගත, වසංගත එයි.’

      ශෙදකියා අවුරුදු අටක් රජකම් කළාට පස්සේ එයා බැබිලෝනිවරුන්ට විරුද්ධව කැරලිගහන්න පටන්ගත්තා. ඒකට ඊජිප්තු හමුදාවේ උදව්වත් ගත්තා. බැබිලෝනිවරු ඇවිත් යෙරුසලම වටේ කඳවුරු ගහගත්තා. ඒ වෙලාවේ යෙරෙමියා ශෙදකියාට මෙහෙම කිව්වා. ‘යෙහෝවා කියනවා ඔයා බැබිලෝනියට යටත් වුණොත් ඔයායි නගරයයි බේරෙයි කියලා. එහෙම කළේ නැත්නම් බැබිලෝනිවරු නගරය විනාශ කරලා ඔයාව හිරකාරයෙක් විදිහට අරන් යයි’ කියලත් කිව්වා. එතකොට ශෙදකියා කිව්වා ‘මං යටත් වෙන්නේ නෑ’ කියලා.

      අවුරුදු එකහාමාරකට පස්සේ බැබිලෝනිවරු යෙරුසලමේ ලොකු තාප්ප කඩලා මුළු නගරේම ගිනි තිබ්බා. හුඟක් අයව මැරුවා. දහස් ගාණක්ව හිරකාරයෝ විදිහට අරන් ගියා.

      ශෙදකියා යෙරුසලමෙන් පැනලා ගියත් බැබිලෝනිවරු එයා පස්සෙන් ගිහින් යෙරිකෝව ළඟදී එයාව අල්ලගෙන නෙබුකද්නෙෂර් ළඟට අරන් ගියා. බැබිලෝනියේ රජ ශෙදකියා බලන් ඉද්දීම එයාගේ පුතාලව මරලා එයාගේ ඇස් අන්ධ කරලා හිරේට දැම්මා. පස්සේ එයා හිරේදීම මැරුණා. ඒත් යෙහෝවා යූදා දේශයේ අයට කිව්වා ‘අවුරුදු 70කට පස්සේ මං ඔයාලව ආයෙත් යෙරුසලමට එක්කන් යනවා’ කියලා.

      බැබිලෝනියට අරන් ගිය යෞවනයන්ට මොනවා වෙයිද? එයාලා දිගටම යෙහෝවාට කීකරුව ඉඳියිද?

      “සියලු බලැති තැනැත්තා වන යෙහෝවා දෙවියනි, . . . ඔබ දෙන තීන්දු විශ්වාසවන්තයි, ධර්මිෂ්ඨයි.”—එළිදරව් 16:7

      ප්‍රශ්න: නෙබුකද්නෙෂර් කවුද? එයා යෙරුසලමට කළේ මොකක්ද? ශෙදකියා කවුද?

      2 රාජාවලිය 24:1, 2, 8-20; 25:1-24; 2 ලේකම් 36:6-21; යෙරෙමියා 27:12-14; 29:10, 11; 38:14-23; 39:1-9; එසකියෙල් 21:27

  • යෙහෝවාට කීකරු වුණු යෞවනයන් හතරදෙනෙක්
    බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
    • දානියෙල්, හනනියා, මිෂායෙල් සහ අෂරියා රජ දීපු කෑම කෑවේ නැහැ

      59වෙනි පාඩම

      යෙහෝවාට කීකරු වුණු යෞවනයන් හතරදෙනෙක්

      නෙබුකද්නෙෂර් රජ යූදා දේශයේ රජ පවුල්වල යෞවනයන්ව බැබිලෝනියට අරන් ගියා. එයාලා අතරින් ලස්සන, නිරෝගී ශරීරයක් තියෙන අයව තෝරගන්න කියලා රජ එයාලාගේ ප්‍රධානියා විදිහට පත් කරපු අෂ්පෙනස්ට කිව්වා. බැබිලෝනියේ නිලධාරීන් විදිහට වැඩ කරන්න එයාලට අවුරුදු තුනක පුහුණුවක් දෙන්න හිතාගෙනයි රජ එහෙම කිව්වේ. බැබිලෝනිවරු කතා කරපු අක්කාඩියානු භාෂාව ලියන්න, කියවන්න වගේම කතා කරන්නත් ඉගෙනගන්න කියලා එයාලට කිව්වා. රජට කන්න දීපු කෑමම තමයි එයාලටත් දුන්නේ. දානියෙල්, හනනියා, මිෂායෙල්, අෂරියා කියන යෞවනයන් හතරදෙනාත් එයාලා අතරේ හිටියා. අෂ්පෙනස් එයාලට බෙල්ටෂසර්, ෂද්‍රක්, මේෂක්, අබෙද්නෙගෝ කියන බැබිලෝනියේ නම් දැම්මා.

      ඒ යෞවනයන් හතරදෙනාට ඕන වුණේ දිගටම යෙහෝවාට කීකරු වෙලා ඉන්න. එයාලට දීපු සමහර කෑම යෙහෝවාගේ නීතියට අනුව අපවිත්‍රයි කියලා එයාලා දැනගෙන හිටියා. ඒ නිසා එයාලා අෂ්පෙනස්ට කිව්වා ‘රජට දෙන කෑම අපිට දෙන්න එපා’ කියලා. ඒත් අෂ්පෙනස් කිව්වා ‘ඔයාලා කන්නේ නැතුව ඔයාලාගේ මූණුවල ලෙඩ පාටක් තියෙනවා දැක්කොත් රජ මාව මරලා දායි’ කියලා.

      දානියෙල්ට හොඳ අදහසක් ආවා. එයාලව බලාගත්ත නිලධාරියාට එයා මෙහෙම කිව්වා. ‘අපිට දවස් දහයක් එළවළුයි වතුරයි විතරක් දෙන්න. ඊටපස්සේ රජගේ කෑම කන යෞවනයනුයි අපියි අතරේ වෙනසක් තියෙනවාද කියලා බලන්න.’ නිලධාරියා ඒකට කැමති වුණා.

      දවස් දහයකට පස්සේ බලද්දී අනිත් යෞවනයන්ට වඩා එයාලට හොඳ පෙනුමක් තිබුණා. එයාලා යෙහෝවාට කීකරු වුණු එක ගැන ඔහු කොච්චර සතුටු වෙන්න ඇද්ද! දෙවියන් දර්ශනවලත් හීනවලත් තේරුම තෝරලා දෙන්න දානියෙල්ට උදව් කළා.

      පුහුණුව ඉවර වුණාම අෂ්පෙනස් යෞවනයන්ව රජ ළඟට ගෙනිච්චා. අනිත් යෞවනයන්ට වඩා දානියෙල්, හනනියා, මිෂායෙල්, අෂරියා හුඟක් දක්ෂයි කියලා තේරුණු නිසා රජමාලිගාවේ සේවය කරන්න රජ එයාලව තෝරගත්තා. වැදගත් කාරණා ගැන තීරණ ගද්දී රජ එයාලාගෙනුත් ඒ ගැන ඇහුවා. රජට හිටිය මන්තර ගුරුකම් කරපු, උගත් මිනිස්සුන්ට වඩා වැඩි දැනුමක් යෙහෝවා එයාලට දීලයි තිබුණේ.

      වෙන රටකට අරන් ගියත් දානියෙල්, හනනියා, මිෂායෙල්, අෂරියා යෙහෝවාව අමතක කළේ නැහැ. අම්මායි තාත්තායි ළඟ නැති වුණත් ඔයාටත් හැම තිස්සේම යෙහෝවාව මතක තියෙයිද?

      “ඔයා තරුණයෙක් වෙන නිසාම ඔයාව සුළු කරන්න කාටවත් ඉඩ දෙන්න එපා. ඔයා කතා කරන විදිහෙන්, හැසිරෙන විදිහෙන්, ආදරේ, විශ්වාසය, නිර්මලකම පෙන්නන විදිහෙන් දෙවියන්ට විශ්වාසවන්තව සේවය කරන අයට ආදර්ශයක් වෙන්න.”—1 තිමෝති 4:12

      ප්‍රශ්න: දානියෙලුයි එයාගේ යාළුවෝ තුන්දෙනායි යෙහෝවාට කීකරු වුණේ ඇයි? යෙහෝවා එයාලට උදව් කළේ කොහොමද?

      දානියෙල් 1:1-21

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න