ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • හැමදාටම තියෙන රාජ්‍යයක්
    බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
    • නෙබුකද්නෙෂර් ගලකින් කුඩු කරලා දාපු දැවැන්ත රූපයක් හීනෙන් දකිනවා

      60වෙනි පාඩම

      හැමදාටම තියෙන රාජ්‍යයක්

      දවසක් නෙබුකද්නෙෂර් රජ දැකපු අමුතු හීනයක් නිසා එයාට නින්ද ගියේ නැහැ. මන්තර ගුරුකම් කරපු අයට කතා කරලා එයා කිව්වා ‘මං දැකපු හීනේ තේරුම කියන්න’ කියලා. එතකොට එයාලා කිව්වා ‘රජතුමෙනි, ඔබ දැකපු හීනය කියන්න’ කියලා. ඒත් රජ කිව්වා ‘මං දැකපු හීනෙත් ඒකේ තේරුමත් මට කිව්වේ නැත්නම් මං ඔයාලව මරනවා’ කියලා. ඉතින් ආපහු එයාලා කිව්වා ‘හීනේ අපිට කිව්වොත් අපි ඒකේ තේරුම කියන්නම්’ කියලා. එතකොට රජ මෙහෙම කිව්වා. ‘ඔයාලා හදන්නේ මාව රවට්ටන්න. මං දැකපු හීනේ මොකක්ද කියලා කියන්න.’ එයාලා කිව්වා ‘ඒක කරන්න කිසි මනුස්සයෙක්ට බැහැ’ කියලා.

      රජට හොඳටම කේන්ති ගිහින් මුළු දේශයේම ඉන්න උගත් අයව මරන්න කියලා අණ කළා. ඒ කියන්නේ දානියෙල්ටත්, ෂද්‍රක්ටත්, මේෂක්ටත්, අබෙද්නෙගෝටත් මැරෙන්නයි වෙන්නේ. හැබැයි දානියෙල්, රජට කිව්වා එයාට ටික කාලයක් දෙන්න කියලා. ඊටපස්සේ දානියෙල් එයාගේ යාළුවන් එක්ක යාච්ඤා කරලා යෙහෝවාගෙන් උදව් ඉල්ලුවා.

      යෙහෝවා නෙබුකද්නෙෂර් දැකපු හීනයත් ඒකේ තේරුමත් දර්ශනයකින් දානියෙල්ට පෙන්නුවා. දානියෙල් පහුවෙනිදාම රජගේ සේවකයා ළඟට ගිහින් කිව්වා ‘උගත් අයව මරන්න එපා, රජ දැකපු හීනේ මං කියන්නම්’ කියලා. ඒ නිසා දානියෙල්ව රජ ළඟට අරන් ගියාම එයා මෙහෙම කිව්වා. ‘ඉස්සරහට වෙන්න යන දේවල් ගැනයි දෙවියන් රජට පෙන්නලා තියෙන්නේ. ඔබ ඉස්සරහා ලොකු රූපයක් තිබුණා. රූපයේ ඔළුව හදලා තිබුණේ රත්තරන්වලින්. පපුවත් අත් දෙකත් රිදීවලින්. බඩත් කළවත් තඹවලින්. කෙණ්ඩා යකඩවලින්. කකුල්වල යට කොටස යකඩවලිනුත් මැටිවලිනුත් හදලා තිබුණා. කන්දෙන් ගලක් වේගයෙන් ඇවිත් රූපයේ කකුල්වල යට කොටසේ වැදිලා ඒක කඩලා දැම්මා. එතකොට රූපය කුඩු වෙලා හුළඟට ගහගෙන ගියා. ගල ලොකු කන්දක් වෙලා ඒකෙන් මුළු පොළොවම වැහුණා.’

      ඊටපස්සේ දානියෙල් මෙහෙම කිව්වා. ‘රූපයේ රන් හිස ඔබයි. රිදී කොටසින් නියෝජනය වෙන්නේ ඔබේ රාජ්‍යයෙන් පස්සේ එන රාජ්‍යය. තඹ කොටසින් නියෝජනය වෙන තුන්වෙනි රාජ්‍යය මුළු පොළොවම පාලනය කරයි. රූපයේ ඊළඟට එන රාජ්‍යය යකඩ වගේ ශක්තිමත්. ඊටපස්සේ එන්නේ බෙදුණු රාජ්‍යයක්. එක කොටසක් යකඩ වගේ ශක්තිමත්. අනිත් කොටස මැටි වගේ දුර්වලයි. ලොකු කන්දක් වුණු ගල තමයි දෙවියන්ගේ රාජ්‍යය. ඒ රාජ්‍යය අනිත් හැම රාජ්‍යයක්ම විනාශ කරලා ඒක හැමදාටම තියෙනවා.’

      නෙබුකද්නෙෂර් දානියෙල් ළඟ දණින් වැටිලා මෙහෙම කිව්වා. ‘මේ හීනේ තේරුම කියලා දුන්නේ ඔයාගේ දෙවියන්. ඒ වගේ දෙවි කෙනෙක් තවත් නැහැ.’ ඊටපස්සේ නෙබුකද්නෙෂර්, බැබිලෝනියේ ආණ්ඩුකාරයා විදිහටත් උගත් අයගේ ප්‍රධානියා විදිහටත් දානියෙල්ව පත් කළා. යෙහෝවා දානියෙල්ගේ යාච්ඤාවට උත්තර දීපු විදිහ ඔයා දැක්කාද?

      “ඒ පණිවිඩ, හෙබ්‍රෙව් භාෂාවෙන් අර්මගෙදොන් කියලා හඳුන්වන තැනට පොළොවේ රජවරුන්ව රැස් කළා.”—එළිදරව් 16:16

      ප්‍රශ්න: නෙබුකද්නෙෂර් දැකපු හීනයේ තේරුම කියන්න දානියෙල්ට පුළුවන් වුණේ ඇයි? ඒ හීනයේ තේරුම මොකක්ද?

      දානියෙල් 2:1-49

  • එයාලා රූපයට වැන්දේ නැහැ
    බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
    • ෂද්‍රක්, මේෂක්, අබෙද්නෙගෝ රන් රූපයට නමස්කාර කළේ නැහැ

      61වෙනි පාඩම

      එයාලා රූපයට වැන්දේ නැහැ

      නෙබුකද්නෙෂර් රජ හීනේ දැකලා කාලයක් ගියාට පස්සේ එයා රත්තරන්වලින් ලොකු රූපයක් හදලා ඒක දූරා කියන තැනිතලාවේ තිබ්බා. ඊටපස්සේ ෂද්‍රක්, මේෂක්, අබෙද්නෙගෝ වගේ වැදගත් අයට එතනට එන්න කියලා රජ මෙහෙම කිව්වා. ‘හොරණෑ, වීණා, නළා වගේ සංගීත භාණ්ඩ වාදනය කරනවා ඇහෙද්දී හැමෝම මේ රූපය ඉස්සරහා වැඳ වැටෙන්න ඕනේ. එහෙම කරන්නේ නැති ඕනෙම කෙනෙක්ව ඇවිළෙන ගිනි උදුනකට දානවා.’

      ඊටපස්සේ සංගීතය වාදනය කරන්න කියලා රජ අණ කළා. හැමෝම ඒ රූපය ඉස්සරහා වැඳ වැටුණත් ෂද්‍රක්, මේෂක්, අබෙද්නෙගෝ එහෙම කළේ නැහැ. රජ ඒ ගැන දැනගත්තාම එයා මෙහෙම කිව්වා. ‘මං ඔයාලට තව අවස්ථාවක් දෙන්නම්. මේ පාරත් ඔයාලා රූපය ඉස්සරහා වැඳ වැටුණේ නැත්නම් ඔයාලව ඇවිළෙන ගිනි උදුනට වීසි කරනවා. කිසිම දෙවි කෙනෙක්ට බැරි වෙයි ඔයාලව බේරගන්න.’ එතකොට එයාලා මෙහෙම කිව්වා. ‘අපිට තව අවස්ථාවක් ඕනෙ නැහැ. අපේ දෙවියන්ට පුළුවන් අපිව බේරගන්න. ඔහු අපිව බේරගත්තත් නැතත් රජතුමෙනි, අපි කවදාවත් රූපය ඉස්සරහා වැඳ වැටෙන්නේ නැහැ.’

      නෙබුකද්නේෂර්ට හොඳටම කේන්ති ගිහින් සේවකයන්ට මෙහෙම කිව්වා. ‘ගිනි උදුන තව හත් ගුණයක් රත් කරන්න. මෙයාලාගේ අත පය බැඳලා ගිනි උදුනට දාන්න.’ ගිනි උදුන හොඳටම රත් වෙලා තිබුණු නිසා සේවකයන් ඒ ළඟට යද්දීම එයාලා මැරුණා. හැබැයි ගිනි උදුනට වැටුණු හෙබ්‍රෙව් තරුණයන්ට නම් කිසිම දෙයක් වුණේ නැහැ. නෙබුකද්නෙෂර් උදුන දිහා බලද්දී ඒක ඇතුළේ තවත් කෙනෙක් ඉන්නවා දැක්කා. ඒ නිසා එයා හොඳටම බය වෙලා එයාගේ අධිපතීන්ට මෙහෙම කිව්වා. ‘අපි උදුනට දැම්මේ තුන්දෙනෙක්ව විතරයි නේද? ඒත් දැන් හතරදෙනෙක් ඉන්නවා. එයා හරියට දේවදූතයෙක් වගෙයි.’

      ඊටපස්සේ රජ උදුනේ දොර ළඟට ගිහින් කිව්වා ‘උසස්ම දෙවියන්ගේ සේවකයෙනි, එළියට එන්න’ කියලා. ෂද්‍රක්, මේෂක්, අබෙද්නෙගෝ කිසිම හානියක් නැතුව උදුනෙන් එළියට එද්දී එතන ඉන්න හැමෝම හුඟක් පුදුම වුණා. එයාලාගේ කොණ්ඩෙටවත් හමටවත් ඇඳුම්වලටවත් මුකුත්ම වෙලා නැහැ. අඩුම තරමේ එයාලා ළඟින් දුම් ගඳක්වත් ආවේ නැහැ.

      අන්තිමේදී නෙබුකද්නෙෂර් මෙහෙම කිව්වා. ‘ෂද්‍රක්, මේෂක්, අබෙද්නෙගෝ නමස්කාර කරන දෙවියන් තමයි උසස්ම දෙවියන්. දේවදූතයෙක්ව එවලා ඔහු මෙයාලව බේරගත්තා. ඒ වගේ දෙවි කෙනෙක් නම් තවත් නැහැ.’

      ඒ හෙබ්‍රෙව් තරුණයන් තුන්දෙනා වගේ ඔයාටත් පුළුවන්ද මොන දේට මූණ දෙන්න වුණත් දිගටම යෙහෝවාට විශ්වාසවන්තව ඉන්න?

      කිසිම අනතුරක් නැතුව ගිනි උදුනෙන් එළියට එන ෂද්‍රක්, මේෂක් සහ අබෙද්නෙගෝ දිහා පුදුමයෙන් බලන් ඉන්න නෙබුකද්නෙෂර් රජ

      “ඔයාලා නමස්කාර කරන්න ඕනෙ ඔයාලාගේ දෙවි යෙහෝවාටයි. පරිශුද්ධ සේවයක් කරන්න ඕනෙ ඔහුට විතරයි.”—මතෙව් 4:10

      ප්‍රශ්න: ෂද්‍රක්, මේෂක්, අබෙද්නෙගෝ කරන්න බැහැ කියලා කිව්වේ මොකක්ද? යෙහෝවා එයාලව බේරගත්තේ කොහොමද?

      දානියෙල් 3:1-30

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න