ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • එස්රා දෙවියන්ගේ නීතිය ඉගැන්නුවා
    බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
    • එස්රා යෙහෝවාට ප්‍රශංසා කරද්දී සෙනඟත් අත් උස්සලා ඔහුට ප්‍රශංසා කරමින්

      66වෙනි පාඩම

      එස්රා දෙවියන්ගේ නීතිය ඉගැන්නුවා

      ඊශ්‍රායෙල්වරු යෙරුසලමට ගිහින් අවුරුදු 70ක් විතර ගත වෙලා තිබුණා. එහෙම ගියේ නැති අය පර්සියානු අධිරාජ්‍යයේ පදිංචි වෙලා හිටියා. පූජක එස්රා ඒ වගේ කෙනෙක්. යෙරුසලමේ ඉන්න අය දෙවියන්ගේ නීතිය පිළිපදින්නේ නැහැ කියලා දැනගන්න ලැබුණාම එයාට ඕනෙ වුණා එයාලට උදව් කරන්න. පර්සියාවේ රජ වුණ අර්තක්ෂස්තා ඒකට අවසර දීලා එස්රාට මෙහෙම කිව්වා. ‘දෙවියන් ඔයාට ප්‍රඥාව දීලා තියෙන නිසා සෙනඟට ඔහුගේ නීතිය ගැන උගන්වන්න ඔයාට පුළුවන්. කැමති හැමෝවම එක්කන් යන්න.’ එස්රායි යෙරුසලමට යන්න කැමති අයයි ඒ ගමන පිටත් වෙන්න කලින් යෙහෝවාට යාච්ඤා කරලා කිව්වා එයාලව ආරක්ෂා කරන්න කියලා.

      මාස හතරකට පස්සේ එයාලා යෙරුසලමට ආවාම එහේ හිටපු අධිපතීන් එස්රාට මෙහෙම කිව්වා. ‘ඊශ්‍රායෙල්වරු දෙවියන්ට අකීකරු වෙලා බොරු දෙවිවරුන්ට නමස්කාර කරන ගැහැනු අයව විවාහ කරගෙන.’ එතකොට එස්රා සෙනඟ ඉස්සරහම දණ ගහලා දෙවියන්ට මෙහෙම යාච්ඤා කළා. ‘යෙහෝවා දෙවියනි, ඔබ අපි වෙනුවෙන් ගොඩක් දේවල් කළත් අපි ඔබට අකීකරු වුණා.’ සෙනඟ එයාලා කරපු වැරදි ගැන දුක් වුණත් සමහර වැරදි හදාගත්තේ නැහැ. ඒ නිසා එස්රා වැඩිමහල්ලන්ටයි විනිශ්චයකරුවන්ටයි කිව්වා ඒ ගැන බලන්න කියලා. දෙවියන්ට සේවය කරපු නැති අයව යෙරුසලමෙන් පිටත් කරලා ඇරියා.

      ඔය විදිහට අවුරුදු 12ක් ගත වුණා. යෙරුසලමේ තාප්ප හදලා ඉවර වුණාට පස්සේ එස්රා හැමෝටම ප්‍රධාන හන්දියට එන්න කිව්වා. එයා දෙවියන්ගේ නීතිය තියෙන ලියවිල්ල දිගඇරියාම හැමෝම නැඟිට්ටා. ඊටපස්සේ එස්රා යෙහෝවාට ප්‍රශංසා කරද්දී සෙනඟත් අත් උස්සලා ඔහුට ප්‍රශංසා කරන්න පටන්ගත්තා. එස්රා නීතිය තියෙන ලියවිල්ල කියවලා ඒක තේරුම් කරලා දෙද්දී සෙනඟ හොඳට අහගෙන හිටියා. දෙවියන්ට අකීකරු වෙලා කියලා තේරුණාම එයාලා ගොඩක් දුක් වුණා. ඊළඟ දවසෙත් එස්රා ඒ ලියවිල්ල කියෙව්වා. හැමෝම තේරුම්ගත්තා පැල් උත්සවය පවත්වන්න කාලේ හරි කියලා. ඉක්මනටම ඒගොල්ලන් ඒකට ලෑස්ති වුණා.

      පැල් උත්සවය පවත්වපු දවස් හතේදී සෙනඟ ගොඩක් සතුටු වුණා. හොඳ අස්වැන්නක් දුන්නාට එයාලා යෙහෝවාට ස්තුති කළා. පැල් උත්සවයෙන් පස්සේ සෙනඟ ආයෙත් එකතු වෙලා මෙහෙම යාච්ඤා කළා. ‘යෙහෝවා දෙවියනි, ඔබ අපිව වහල්කමින් බේරගත්තා. පාළුකරයේදී අපිව බලාගත්තා. අපිට ලස්සන දේශයක් දුන්නා. ඒත් අපි ඔබට අකීකරු වුණා. අනාගතවක්තෘවරුන්ව එවලා අනතුරු ඇඟෙව්වත් අපි ඇහුම්කන් දුන්නේ නෑ. ඒත් ඔබ ඉවසුවා. ආබ්‍රහම්ට දීපු පොරොන්දුව ඔබ ඒ විදිහටම රැක්කා. අපි දිගටම ඔබට කීකරු වෙනවා කියලා දැන් අපි පොරොන්දු වෙනවා.’ ඊටපස්සේ එයාලා ඒ පොරොන්දුව ලියවිල්ලක ලිව්වාම අධිපතීනුයි ලෙවීවරුයි පූජකයනුයි ඒක අත්සන් කළා.

      “ඇත්තටම සතුටින් ඉන්නේ දෙවියන් කියන දේ අහලා ඒක පිළිපදින අයයි.”—ලූක් 11:28

      ප්‍රශ්න: යෙරුසලමේ රැස් වුණු ඊශ්‍රායෙල්වරුන්ට එස්රා ඉගැන්නුවේ මොනවාද? සෙනඟ පොරොන්දු වුණේ මොනවා කරන්නද?

      එස්රා 7:1-28; 8:21-23, 31, 32; 9:1–10:19; නෙහෙමියා 8:1-18; 9:1-38

  • යෙරුසලමේ තාප්ප
    බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
    • යෙරුසලමේ තාප්ප ගොඩනඟන්නත් ඒක ආරක්ෂා කරන්නත් නෙහෙමියා මුල් තැන අරන් වැඩ කළා

      67වෙනි පාඩම

      යෙරුසලමේ තාප්ප

      අර්තක්ෂස්තා රජගේ සේවකයෙක් වුණු නෙහෙමියා ජීවත් වුණේ පර්සියාවේ ෂූෂන්වල. දවසක් එයාගේ සහෝදරයා ඇවිත් මෙහෙම කිව්වා. ‘බැබිලෝනිවරු කඩලා දාපු යෙරුසලමේ තාප්පත් දොරටුත් තාම හදලා නෑ. ඒ නිසා යෙරුසලමට ගිය සෙනඟට කිසිම ආරක්ෂාවක් නෑ.’ ඒ ගැන නෙහෙමියාට හුඟක් දුක හිතුණා. එයාට ඕන වුණා යෙරුසලමට ගිහින් එහේ ඉන්න අයට උදව් කරන්න. ඒ නිසා ඒකට අවසර දෙන්න රජව පොලඹවන්න කියලා එයා යාච්ඤා කළා.

      දවසක් රජට තේරුණා නෙහෙමියා ඉන්නේ දුකින් කියලා. ඒ නිසා රජ එයාගෙන් ඇහුවා ‘ඇයි ඔයා දුකින් ඉන්නේ, මොකක් හරි ප්‍රශ්නයක්ද’ කියලා. එතකොට නෙහෙමියා කිව්වා ‘මගේ නුවර යෙරුසලම විනාශ වෙලා තියෙද්දී මං කොහොමද සතුටින් ඉන්නේ’ කියලා. එතකොට රජ ඇහුවා ‘ඔයාට මගෙන් වෙන්න ඕනෙ මොනවාද’ කියලා. ඒ වෙලාවේ නෙහෙමියා හිතින් යාච්ඤාවක් කියලා රජගෙන් ඇහුවා ‘යෙරුසලමට ගිහින් කැඩිලා තියෙන තාප්ප ගොඩනඟන්න අවසර දෙන්න පුළුවන්ද’ කියලා. එතකොට රජ ඒකට අවසර දීලා එයාගේ ආරක්ෂාවට ඕන කරන දේවලුත් දුන්නා. නුවරේ දොරටු ගොඩනඟන්න ඕන කරන ලීත් දීලා යූදා දේශයේ ආණ්ඩුකාරයා විදිහටත් එයාව පත් කළා.

      නෙහෙමියා යෙරුසලමට ගිහින් එහේ තිබුණු තාප්ප දිහා හොඳට බැලුවා. ඊටපස්සේ පූජකයන්ටයි නිලධාරීන්ටයි එන්න කියලා මෙහෙම කිව්වා. ‘ලොකු හානියක් වෙලා තියෙන්නේ. අපිට මොකක් හරි කරන්න වෙනවා.’ ඒක පිළිගත්ත සෙනඟ තාප්ප ආයෙත් ගොඩනඟන්න පටන්ගත්තා.

      හැබැයි ඊශ්‍රායෙල් සෙනඟ එක්ක තරහින් හිටිය සමහර අය එයාලට සවුත්තු කරලා කිව්වා ‘ඔය තාප්පෙට නරියෙක් නැග්ගත් ඕක කඩන් වැටෙයි’ කියලා. ඒත් සෙනඟ ඒක ගාණකටවත් ගත්තේ නැහැ. එයාලා දිගටම තාප්පේ ගොඩනැඟුවා.

      එයාලා එක්ක තරහින් හිටිය අය හිතුවා හොරෙන් ගිහින් නුවර වට කරන්න ඕනෙ කියලා. යුදෙව්වන් ඒක දැනගත්තාම හුඟක් බය වුණා. හැබැයි නෙහෙමියා කිව්වා ‘බය වෙන්න එපා, යෙහෝවා අපිත් එක්ක ඉන්නවා’ කියලා. එයා වැඩ කරන අයගේ ආරක්ෂාවට මුරකරුවන්ව දැම්මා. ඒ නිසා එයාලට හානියක් කරන්න කිසි කෙනෙක්ට පුළුවන් වුණේ නැහැ.

      දවස් 52කින් එයාලා නුවරේ තාප්පත් දොරටුත් හදලා ඉවර කළා. ඊටපස්සේ නෙහෙමියා ඒක කැප කරන්න ලෙවීවරුන් හැමෝටම යෙරුසලමට එන්න කියලා එයාලව ගායක කණ්ඩායම් දෙකකට වෙන් කළා. එයාලා උල්පත් දොරටුව ළඟ තිබුණු පඩි පෙළෙන් තාප්පෙට නැඟලා නුවරේ දෙපැත්තට ඇවිදන් ගියා. එහෙම යද්දී එයාලා හොරණෑ, අත්තාළම්, වීණා වාදනය කරලා යෙහෝවාට ප්‍රශංසා කළා. අන්තිමේදී එස්රාගේ කණ්ඩායමත් නෙහෙමියාගේ කණ්ඩායමත් දේවමාලිගාවේදී හම්බ වුණා. ඇවිත් හිටිය ගැහැනු, පිරිමි, දරුවන් හැමෝම හරිම සතුටින් යෙහෝවාට පූජා ඔප්පු කළා. එයාලාගේ සද්දේ හුඟක් ඈතට ඇහුණා.

      “ඔබට විරුද්ධව හදන කිසිම ආයුධයක් කොහොමටවත් සාර්ථක වෙන්නේ නැහැ.”—යෙසායා 54:17

      ප්‍රශ්න: නෙහෙමියා යෙරුසලමට ගියේ ඇයි? යෙරුසලමේ තාප්ප ගොඩනඟන්න දවස් කීයක් ගියාද?

      නෙහෙමියා 1:1-11; 2:1-20; 4:1-23; 5:14; 6:1-19; 12:27-43

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න