ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • එලිසබෙත්ට දරුවෙක් ලැබෙයි
    බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
    • පුතාගේ නම යොහන් කියලා සෙකරියා එයාගේ යාළුවන්ටයි නෑදෑයන්ටයි දන්වමින්

      68වෙනි පාඩම

      එලිසබෙත්ට දරුවෙක් ලැබෙයි

      යෙරුසලමේ තාප්ප ආයෙත් ගොඩනඟලා අවුරුදු 400ක් විතර ගියාට පස්සේ ඒ නුවර ළඟ සෙකරියා කියන පූජකයාත් එලිසබෙත් කියන එයාගේ බිරිඳත් ජීවත් වුණා. විවාහ වෙලා ගොඩක් කාලයක් ගිහින් තිබුණත් එයාලට දරුවන් හිටියේ නැහැ. දවසක් සෙකරියා, දෙවියන්ගේ ශුද්ධස්ථානයට ගිහින් සුවඳ ද්‍රව්‍ය ඔප්පු කරකර ඉද්දී ගාබ්‍රියෙල් දේවදූතයා එයා ඉස්සරහට ආවා. සෙකරියා හුඟක් බය වුණා. ඒත් ගාබ්‍රියෙල් මෙහෙම කිව්වා. ‘බය වෙන්න එපා. මම යෙහෝවාගෙන් සුබ ආරංචියක් අරගෙනයි ආවේ. එලිසබෙත්ට පුතෙක් ලැබෙනවා. එයාට යොහන් කියන නම තියන්න. දෙවියන් එයාව විශේෂ වැඩකට තෝරගෙන තියෙනවා.’ එතකොට සෙකරියා කිව්වා ‘මං කොහොමද ඒක විශ්වාස කරන්නේ, මමයි මගේ බිරිඳයි ගොඩක් වයසයිනේ’ කියලා. ඒ වෙලාවේ ගාබ්‍රියෙල් මෙහෙම කිව්වා. ‘දෙවියන්ගෙන් ලැබුණු පණිවිඩේ විශ්වාස කළේ නැති නිසා දරුවා ඉපදෙන කල් ඔයාට කතා කරන්න බැරි වෙනවා.’

      සෙකරියා ශුද්ධස්ථානයෙන් එළියට ආවේ ගොඩක් පරක්කු වෙලා. ඒ නිසා එළියේ හිටිය අයට ඕන වුණා මොනවාද වුණේ කියලා දැනගන්න. ඒත් සෙකරියාට කතා කරන්න බැරි නිසා මොකද වුණේ කියලා එයා අතින් සංඥා කරලා පෙන්නුවා. එතකොට සෙනඟ තේරුම්ගත්තා සෙකරියාට යෙහෝවාගෙන් පණිවිඩයක් ලැබිලා කියලා.

      කාලයක් ගියාම එලිසබෙත්ට පුතෙක් ලැබුණා. යාළුවෝයි නෑදෑයෝයි පුතාව බලන්න ආවාම එලිසබෙත් කිව්වා ‘පුතාට යොහන් කියලා නම තියනවා’ කියලා. එතකොට එයාලා මෙහෙම කිව්වා. ‘යොහන් කියලා කවුරුත් ඔයාලාගේ පවුලේ නෑනේ. ඒ නිසා එයාට එයාගේ තාත්තාගේ නම තියන්න.’ එතකොට සෙකරියා ‘දරුවාගේ නම යොහන්’ කියලා ලියලා පෙන්නුවා. ඒ වෙලාවේ ඉඳන් සෙකරියාට කතා කරන්න පුළුවන් වුණා. ඒ පුතා ගැන ආරංචිය මුළු යුදය පුරාම පැතිරුණා. ‘දරුවා ලොකු වුණාම මොන වගේ කෙනෙක් වෙයිද’ කියලා හැමෝම කතා වුණා.

      සෙකරියාට දෙවියන්ගේ බලය ලැබිලා එයා මේ අනාවැකිය කිව්වා. ‘යෙහෝවාට ප්‍රශංසාව ලැබෙන්න ඕනේ! අපිව බේරගන්න ගැලවුම්කරුවෙක්ව එවනවා කියලා ඔහු ආබ්‍රහම්ට පොරොන්දු වුණා. යොහන් අනාගතවක්තෘවරයෙක් වෙයි. ගැලවුම්කරුට මාර්ගය සූදානම් කරන්නෙත් එයායි.’

      එලිසබෙත්ගේ නෑදෑයෙක් වුණු මරියාටත් විශේෂ සිද්ධියකට මුහුණ දෙන්න වුණා. ඒ ගැන අපි ඊළඟ පාඩමෙන් බලමු.

      “මිනිස්සුන්ගේ පැත්තෙන් බලද්දී නම් ඒ දේ කරන්න බැහැ තමයි. හැබැයි දෙවියන්ට නම් ඕනෙම දෙයක් කරන්න පුළුවන්.”—මතෙව් 19:26

      ප්‍රශ්න: ගාබ්‍රියෙල් සෙකරියාට කිව්වේ මොනවාද? යොහන්ට පැවරිලා තිබුණු විශේෂ වැඩේ මොකක්ද?

      මතෙව් 11:7-14; ලූක් 1:5-25, 57-79; යෙසායා 40:3; මලාකි 3:1

  • ගාබ්‍රියෙල් මරියාව හම්බ වෙන්න එයි
    බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
    • ගාබ්‍රියෙල් දේවදූතයා මරියාට කතා කරමින්

      69වෙනි පාඩම

      ගාබ්‍රියෙල් මරියාව හම්බ වෙන්න එයි

      යෝසෙප්ට සිහිනයකින් දේවදූතයෙක්ව පෙනෙයි

      ගලීලයේ නාසරෙත්වල හිටිය මරියා වඩු වැඩ කරන යෝසෙප් එක්ක විවාහ වෙන්නයි හිටියේ. එලිසබෙත් ගැබ් අරන් මාස හයකට පස්සේ ගාබ්‍රියෙල් ඇවිත් මරියාට මෙහෙම කිව්වා. ‘ඔයාට සුබ දවසක්! ඔයාට දෙවියන් ගොඩක් ආශීර්වාද කරලා තියෙනවා.’ දේවදූතයා කියපු දේ මරියාට තේරුණේ නැහැ. ඒ නිසා ගාබ්‍රියෙල් මෙහෙම කිව්වා. ‘ඔයාට පුතෙක් ලැබෙයි. එයාට යේසුස් කියලා නම තියන්න. එයා රජෙක් වෙනවා. ඒ රාජ්‍යය කවදාවත් අවසන් වෙන්නේ නැහැ.’

      ‘ඒත් මං පිරිමි කෙනෙක් එක්ක තාම එකට ඉඳලා නැහැනේ! මට කොහොමද දරුවෙක් ලැබෙන්නේ’ කියලා මරියා ඇහුවාම ගාබ්‍රියෙල් මෙහෙම කිව්වා. ‘යෙහෝවාට කරන්න බැරි දෙයක් නෑ. ඔහුගේ බලය නිසා ඔයාට පුතෙක් ලැබෙයි. එලිසබෙත්ටත් දරුවෙක් ලැබෙන්නයි යන්නේ.’ එතකොට මරියා මෙහෙම කිව්වා. ‘මම යෙහෝවාගේ දාසියක්. ඔබ කියපු දේ ඒ විදිහටම වෙන්න ඕනේ!’

      දරුවෙක්ව ලැබෙන්න හිටිය මරියාව යෝසෙප් විවාහ කරගනියි

      මරියා කඳුකරයේ හිටිය එලිසබෙත්ව බලන්න ගිහින් සුබ පැතුවාම එලිසබෙත්ගේ බඩේ හිටිය දරුවා දැඟලුවා. එලිසබෙත්ට දෙවියන්ගේ බලය ලැබිලා එයා මෙහෙම කිව්වා. ‘යෙහෝවා ඔයාට ආශීර්වාද කරලා තියෙනවා. මගේ ස්වාමීන්ගේ අම්මා ආපු එක මට ගෞරවයක්.’ ඒ වෙලාවේ මරියා කිව්වා ‘මමත් මගේ මුළු හිතින්ම යෙහෝවාට ප්‍රශංසා කරනවා’ කියලා. මරියා මාස තුනක්ම එහේ ඉඳලා ආයෙත් නාසරෙත්වලට ගියා.

      මරියාට දරුවෙක් ලැබෙන්න ඉන්නවා කියලා දැනගත්තාම යෝසෙප් එයාව අත්හරින්න හිතුවා. ඒත් දේවදූතයෙක් යෝසෙප්ට මෙහෙම කිව්වා. ‘මරියාව විවාහ කරගන්න බය වෙන්න එපා. එයා කිසිම වරදක් කරලා නෑ.’ ඉතින් යෝසෙප් මරියාව විවාහ කරගෙන එයාගේ ගෙදරට එක්කන් ගියා.

      ‘යෙහෝවා තමන් කැමති හැම දේම කරනවා. ඔහු අහසෙත් පොළොවෙත් තමන් කැමති දේ කරනවා.’—ගීතාවලිය 135:6

      ප්‍රශ්න: මරියාගේ පුතා ගැන දේවදූතයා කිව්වේ මොකක්ද? එලිසබෙත්ටත් මරියාටත් සිද්ධ වුණු දේවල් ගැන එයාලට දැනුණේ කොහොමද?

      මතෙව් 1:18-25; ලූක් 1:26-56; යෙසායා 7:14; 9:7; දානියෙල් 2:44; ගලාති 4:4

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න