ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • දේවමාලිගාව නැවතත් පවිත්‍ර කරයි
    මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
    • යේසුස් මුදල් මාරු කරන්නන්ගේ මේස පෙරළමින්

      103වෙනි පරිච්ඡේදය

      දේවමාලිගාව නැවතත් පවිත්‍ර කරයි

      මතෙව් 21:12, 13, 18, 19 මාක් 11:12-18 ලූක් 19:45-48 යොහන් 12:20-27

      • යේසුස් අත්තික්කා ගසකට ශාප කර පසුව දේවමාලිගාව පවිත්‍ර කරයි

      • බොහෝදෙනෙකුට ජීවිතය දෙන්න නම් යේසුස්ට මිය යන්න සිදු වෙයි

      යේසුස් සහ ගෝලයන් යෙරිකෝවේ ඉඳන් බෙතානියට ඇවිත් එහේ දවස් තුනක්ම නතර වෙලා හිටියා. දැන් ඒ කියන්නේ නීසාන් 10වෙනි සඳුදා උදෙන්ම ඔවුන් යෙරුසලමට යනවා. අතරමඟදී යේසුස් අත්තික්කා ගහක් ළඟට ඇවිදන් යන්නේ බඩගින්නක් දැනෙන නිසයි.

      සාමාන්‍යයෙන් මාර්තු මාසයේ අත්තික්කා ගස්වල ගෙඩි එන්නේ නැහැ. අත්තික්කා ගස් පල දරන්නේ ජූනි මාසයේ. ඒත් අත්තික්කා ගහේ කොළ තියෙනවා දැකපු යේසුස් ඒකේ ගෙඩි තියෙයි කියලා හිතුවත් එක ගෙඩියක්වත් නැහැ. ඒ නිසා යේසුස් මෙහෙම කියනවා. “මෙතැන් පටන් සදහටම කිසිවෙකු මේ ගසෙන් පල කන්නේ නැහැ.” (මාක් 11:14) ඒ වෙලාවේම ඒ අත්තික්කා ගහ මැලවෙනවා. ඒකෙන් අදහස් වෙන දේ ඊළඟ දවසේ දැනගන්න පුළුවන්.

      ටික වෙලාවකින් යේසුස් සහ ගෝලයන් යෙරුසලමට එනවා. යේසුස් කෙළින්ම යන්නේ දේවමාලිගාවට. කලින් දවසේ ඔහු දේවමාලිගාවේ වෙන දේවල් දිහා බලන් හිටියා. ඒත් දැන් ඔහු ඊටත් වඩා දෙයක් කරනවා. “එහි විකුණමින්ද මිල දී ගනිමින්ද සිටි අයව” පිටතට එළවන ඔහු “මුදල් මාරු කරන්නන්ගේ මේසද පරෙවියන් විකුණමින් සිටි අයගේ බංකුද” පෙරළනවා. (මාක් 11:15) මීට අවුරුදු තුනකට කලින් ක්‍රි.ව. 30 පාස්කු උත්සවයේදීත් යේසුස් ඒ වගේ දෙයක් කළා. (යොහන් 2:14-16) දේවමාලිගාව අතුරු පාරක් කරගෙන ඒ හරහා බඩු එහා මෙහා ගෙනියන්න යේසුස් අවසර දෙන්නේ නැහැ.

      දේවමාලිගාවේ හිටිය වෙළෙන්දන්ට යේසුස් ඒ විදිහට සැලකුවේ ඇයි? ඔහු කියන මේ දෙයින් ඒකට හේතුව තේරුම්ගන්න පුළුවන්. “‘මාගේ ගෘහය හඳුන්වනු ලබන්නේ සියලු ජාතීන් සඳහා තිබෙන යාච්ඤා ගෘහයක් ලෙසයි’ කියා ලියා තිබෙනවා නොවෙයිද? නමුත් ඔබ එය කොල්ලකාරයන්ගේ ගුහාවක් බවට පත් කර තිබෙනවා.” (මාක් 11:17) යේසුස් ඔවුන්ව කොල්ලකරුවන් විදිහට හඳුන්වන්නේ පූජා කරන්න සතුන්ව මිල දී ගන්න අයගෙන් ඔවුන් සාමාන්‍යයට වඩා වැඩි මුදලක් අය කරන නිසයි.

      යේසුස් කරපු දේ ගැන නායක පූජකයන්ට, නීතිය පිටපත් කරන අයට වගේම වෙනත් ප්‍රධානීන්ට දැනගන්න ලැබෙනවා. ඒ ගැන ඔවුන්ට මොන තරම් කේන්ති යනවාද කියනවා නම් ඔවුන් මේ වතාවෙත් යේසුස්ව මරලා දාන්න උත්සාහ කරනවා. ඒත් යේසුස්ට ඇහුම්කන් දෙන්න කැමති ලොකු සෙනඟක් ඔහු වටේ එකතු වෙන නිසා ඔවුන්ගේ සැලසුම් සාර්ථක වෙන්නේ නැහැ.

      යුදෙව්වන් වගේම යුදෙව් ආගමට හැරුණු අයත් පාස්කුව සමරන්න ඇවිත්. ඒ අය අතරේ ඉන්න ග්‍රීකවරුන් කිහිපදෙනෙක් ෆිලිප්ට කියනවා ඔවුන්ට යේසුස්ව මුණගැහෙන්න ඕනෙ කියලා. සමහරවිට ඔවුන් ෆිලිප් එක්ක කතා කළේ ඔහුට ග්‍රීක නමක් තියෙන නිසා වෙන්න ඇති. ෆිලිප් ඒ ගැන අන්දෘගෙන් අහනවා. මේ වෙලාවේ යේසුස්ව මුණගැහෙන එක සුදුසුද කියන එක ගැන ෆිලිප්ට සැකයක් ඇති. දැන් ඔවුන් දෙන්නාම යේසුස් ළඟට යනවා. පෙනෙන විදිහට යේසුස් තවමත් ඉන්නේ දේවමාලිගාවේ.

      තව ටික දවසකින් තමන්ට මැරෙන්න සිද්ධ වෙනවා කියලා යේසුස් දන්නවා. ඒ නිසා මිනිසුන් කුතුහලයෙන් අහන ප්‍රශ්නවලට උත්තර දෙන්නවත් ඔවුන්ගේ පිළිගැනීම ලබන්නවත් කාලය මේක නෙවෙයි. ඔහු නියෝජිතයන් දෙන්නාට මේ නිදර්ශනය කියනවා. “මනුෂ්‍ය පුත්‍රයාව තේජසට පත් කරන්න නියමිත වේලාව දැන් ඇවිත් තිබෙනවා. ඇත්තෙන්ම මම ඔබට කියන මේ දේට සවන් දෙන්න. තිරිඟු බීජයක් පැළ වෙන්න නම් එය පසට දමන්න අවශ්‍යයි. එවිට බීජය මැරී එයින් පැළයක් හටගෙන මහත් පලදාවක් ලැබෙයි. ඒ දේ සිදු වන්නේ නැත්නම් තිබෙන්නේ බීජයක් පමණයි.”—යොහන් 12:23, 24.

      තිරිඟු බීජයක් ලොකු වටිනාකමක් තියෙන දෙයක් විදිහට සැලකෙන්නේ නැහැ. හැබැයි ඒක පසට දැම්මාට පස්සේ ඒ බීජය ‘මැරිලා’ ඒකෙන් පැළයක් හටගත්තාම ලොකු පලදාවක් ලබාගන්න පුළුවන්. පරිපූර්ණ මිනිසෙක් වන යේසුස්ටත් වෙන්නේ ඒ හා සමාන දෙයක්. මොකද අන්තිමය දක්වාම ඔහු දෙවිට විශ්වාසවන්තව ඉඳලා මැරුණාම තමන්ගේ ඕනෑ එපාකම්වලට වඩා දෙවියන්ට මුල් තැන දීලා වැඩ කරන අයට සදාකාල ජීවිතය ලබාගන්න අවස්ථාව උදා වෙනවා. ඒ නිසා තමයි යේසුස් මෙහෙම කියන්නේ. “තමාගේ ජීවිතයට තිබෙන ආශාව නිසා එය රැකගන්න උත්සාහ කරන අයට එය නැති වෙයි. නමුත් මේ ලෝකයේ තමන් ගත කරන ජීවිතයට තිබෙන ආශාව අත්හරින්න වුණත් සූදානම් අයට තම ජීවිතය රැකගත හැකියි. ඔවුන්ට සදාකාල ජීවනය ලැබෙයි.”—යොහන් 12:25.

      ඔහු මෙහෙමත් කියනවා. “කෙනෙක් මට සේවය කරන්න කැමති නම් ඔහු මාව අනුගමනය කළ යුතුයි. මා සිටින තැන මගේ සේවකයාත් සිටියි. කෙනෙක් මට සේවය කරනවා නම් මගේ පියාණන්ගෙන් ඔහුට ගෞරවය ලැබෙයි.” (යොහන් 12:26) ඔව්, පියාගෙන් ගෞරවය ලැබෙන අයට ක්‍රිස්තුස් එක්ක දේවරාජ්‍යයේ පාලකයන් වෙන්න පුළුවන්. ඒක මොන තරම් ලොකු වරප්‍රසාදයක්ද!

      ළඟදීම තමන්ට කුරිරු මරණයක් අද්දකින්න වෙනවා කියලා දන්න යේසුස් මෙහෙම කියනවා. “මගේ සිත දැන් කැලඹිලා. ඉතින් මම මොනවා කියන්නද? පියාණෙනි, මට සිදු වෙන්න යන දෙයින් මාව ගලවන්න කියා කියන්නද?” ඒත් දෙවිගේ කැමැත්ත ඉටු වෙනවා දකින්න යේසුස්ට තියෙන්නේ පුදුම උවමනාවක්. “මා ඒ දෙයට මුහුණ දිය යුතුමයි” කියලා ඔහු කියන්නේ ඒ නිසයි. (යොහන් 12:27) දෙවිගේ අරමුණ ඉටු වීම වෙනුවෙන් ජීවිතය වුණත් පූජා කරන්න යේසුස් කැමැත්තෙන් ඉන්නවා.

      • අත්තික්කා ගහේ ගෙඩි තියෙයි කියලා යේසුස්ට හිතුණේ ඇයි?

      • දේවමාලිගාවේ වෙළඳාම් කරපු අයව යේසුස් “කොල්ලකරුවන්” විදිහට හැඳින්නුවේ ඇයි?

      • යේසුස්ව තිරිඟු බීජයකට සමාන කරන්න පුළුවන් ඇයි? තමන්ට මුහුණ දෙන්න වෙන කුරිරු මරණය ගැන යේසුස්ට හැඟුණේ කොහොමද?

  • යුදෙව්වන්ට දෙවිගේ හඬ අසන්න ලැබෙයි
    මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
    • “පියාණෙනි, ඔබගේ නාමය ගෞරවයට පත් කරන්න” කියලා යේසුස් ඉල්ලුවාම යුදෙව්වන්ට දෙවිගේ හඬ ඇසෙයි

      104වෙනි පරිච්ඡේදය

      යුදෙව්වන්ට දෙවිගේ හඬ අසන්න ලැබෙයි

      යොහන් 12:28-50

      • හුඟදෙනෙක්ට දෙවිගේ හඬ අසන්න ලැබෙයි

      • විනිශ්චයට පදනම ගැන කියයි

      නීසාන් 10වෙනි සඳුදා දවස තවමත් ගෙවිලා ඉවර නැහැ. දේවමාලිගාවේ ඉන්න යේසුස් තමන්ගේ මරණය ගැන කතා කරනවා. තම මරණය දෙවිගේ නමට බලපාන විදිහ ගැන යේසුස් හුඟක් හිතන නිසා ඔහු දෙවිගෙන් ඉල්ලන්නේ “ඔබගේ නාමය ගෞරවයට පත් කරන්න” කියලයි. එතකොටම ස්වර්ගයෙන් මෙහෙම හඬක් ඇහෙනවා. “මම එය ගෞරවයට පත් කළෙමි. නැවතත් එය ගෞරවයට පත් කරන්නෙමි.”—යොහන් 12:27, 28.

      ඒ හඬ මොකක්ද කියලා එතැන ඉන්න අයට තේරුම්ගන්න බැහැ. සමහරු ඒක ගිගිරුම් හඬක් කියලත් තවත් අය “දේවදූතයෙක් ඔහුට කතා කළා” කියලත් කියනවා. (යොහන් 12:29) ඇත්තටම ඔවුන්ට ඇහුණේ යෙහෝවා දෙවිගේ හඬ. හැබැයි යේසුස් පොළොවේ ඉද්දී දෙවිගේ හඬ අහන්න ලැබුණු මුල්ම වතාව මේක නෙවෙයි.

      අවුරුදු තුනහමාරකට කලින් යේසුස් බව්තීස්ම වුණු වෙලාවේදී “මේ මාගේ ප්‍රේමණීය පුත්‍රයාය, මම මොහුව අනුමත කළෙමි” කියලා දෙවියන් කියපු දේ යොහන් බව්තීස්තට ඇහුණා. ඒ වගේම ක්‍රි.ව. 32 පාස්කුවෙන් පස්සේ යේසුස්ගේ පෙනුම සම්පූර්ණයෙන්ම වෙනස් වුණු වෙලාවේ යාකොබ්ට යොහන්ට සහ පේතෘස්ට දෙවිගේ හඬ ඇහුණා. දෙවියන් ඔවුන්ට කිව්වේ “මේ මාගේ ප්‍රේමණීය පුත්‍රයාය. මොහුට මාගේ අනුමැතිය ඇත. මොහුට සවන් දෙන්න” කියලයි. (මතෙව් 3:17; 17:5) ඒත් මේ වතාවේදී තමයි හුඟදෙනෙකුට දෙවිගේ හඬ ඇහුණේ.

      “මේ හඬ ආවේ මා වෙනුවෙන් නොව ඔබ සියලුදෙනා වෙනුවෙනුයි” කියලා යේසුස් කියනවා. (යොහන් 12:30) යේසුස් තමයි දෙවිගේ පුත්‍රයා සහ මෙසියස් කියලා කියන්න ඒ හඬ කදිම සාක්ෂියක්.

      යේසුස් විශ්වාසවන්ත ජීවිතයක් ගත කරපු එකෙන්, ජීවත් වෙන්න ඕන විදිහ ගැන මිනිසුන්ට ආදර්ශයක් තිබ්බා වගේම මේ ලෝකයේ පාලකයා වන යක්ෂයා විනාශ වෙන්න ඕනෙ කියලත් ඔප්පු කළා. ඔහු මෙහෙම කියනවා. “මේ ලෝකය දැන් විනිශ්චයට ලක් වෙනවා. මේ ලෝකයේ පාලකයාව නෙරපා දමනු ලබනවා.” ඔහු ඊළඟට කියන්නේ මෙහෙමයි. “මාව එල්ලා තබන විට සියලු ආකාරයේ මිනිසුන්ව මා වෙතට ඇදගන්න මට හැකි වෙයි.” (යොහන් 12:31, 32) යේසුස්ගේ මරණය පරාජයක් නෙවෙයි ජයග්‍රහණයක් කියලා ඒකෙන් පැහැදිලියි. ඔව්, වධකණුවක මරණය අද්දකින යේසුස් නිසා මිනිසුන්ට සදාකාල ජීවිතය ලබාගන්න මඟ විවර වෙනවා.

      තමන්ව ‘එල්ලා තබනවා’ කියලා යේසුස් කියපු නිසා මිනිසුන් මෙහෙම කතා වෙනවා. “ශුද්ධ ලියවිල්ලෙන් අපි අසා තිබෙන්නේ ක්‍රිස්තුස් සදහටම ජීවත් වන බවයි. එසේනම් මනුෂ්‍ය පුත්‍රයාව එල්ලා තැබිය යුතුයි කියා ඔබ කියන්නේ ඇයි? මේ මනුෂ්‍ය පුත්‍රයා කවුද?” (යොහන් 12:34) ඔවුන්ට දෙවිගේ කටහඬ ඇහුණත් යේසුස් තමයි මනුෂ්‍ය පුත්‍රයා සහ පොරොන්දු කරන ලද මෙසියස් කියලා හුඟදෙනෙක් විශ්වාස කරන්නේ නැහැ.

      කලින් කළා වගේ මේ වතාවෙත් යේසුස් තමන්ව “ආලෝකය” හැටියට හඳුන්වනවා. (යොහන් 8:12; 9:5) ඔහු හැමෝවම මෙහෙම දිරිගන්වනවා. ‘ඔබ අතරේ ආලෝකය පවතින්නේ තව ටික කාලයකට පමණයි. ඒ නිසා අන්ධකාරයෙන් පරාජය නොවෙන්න නම් ඔබට ආලෝකය තිබෙද්දී ඇවිදින්න. ආලෝකය තිබෙන තාක් කල් ඒ ආලෝකය කෙරෙහි විශ්වාසය තබන්න. එතකොට ඔබට පුළුවන් වෙයි ආලෝකයේ දරුවන් වෙන්න.’ (යොහන් 12:35, 36) ඒ දේ කිව්වාට පස්සේ යේසුස් වැඩි වෙලාවක් එතැන ඉන්නේ නැහැ. මොකද තවමත් තමන්ගේ මරණයට නියමිත දවස උදා වෙලා නැහැ කියලා ඔහු දන්නවා. ඔහුව වධකණුවක ඇණ ගහලා ‘එල්ලා තබන්නේ’ නීසාන් 14වෙනි පාස්කු දවසේදියි.—ගලාති 3:13.

      යුදෙව්වන් අන්ධයන් වගේ හැසිරෙන නිසාත් සිත් මුරණ්ඩු කරගෙන ඉන්න නිසාත් ඔවුන් සුවයක් ලබාගන්න හැරී එන්නේ නැහැ කියලා යෙසායා කියලා තිබුණා. (යෙසායා 6:10; යොහන් 12:40) යේසුස් දේශනා සේවය කරපු කාලයේදී ඒ අනාවැකිය ඉටු වුණා. ඔව්, පොරොන්දු කරන ලද ගැලවුම්කරු යේසුස් කියලත් ඔහු මාර්ගයෙන් ජීවනය ලැබෙනවා කියලත් පැහැදිලිවම පෙනුණත් හුඟක් යුදෙව්වන් හිතාමතාම ඔහුව ප්‍රතික්ෂේප කළා.

      නිකදේමස්, අරිමාතියේ යෝසෙප් ඇතුළු තවත් පාලකයන් හුඟදෙනෙක් යේසුස් “කෙරෙහි විශ්වාසය” තියනවා. ඒත් ඔවුන් විශ්වාසය ක්‍රියාවෙන් පෙන්වයිද? නැත්නම් සිනගෝගයෙන් නෙරපයි කියන බය නිසාත් “මිනිසුන්ගේ ප්‍රශංසාව” ලබන්න තියෙන ආශාව නිසාත් කිසිම දෙයක් නොකර ඉඳියිද?—යොහන් 12:42, 43.

      යේසුස් කෙරෙහි විශ්වාසය තියන අය කටයුතු කරන්න ඕනෙ කොහොමද කියලා ඔහු මෙහෙම පැහැදිලි කරනවා. “මා කෙරෙහි විශ්වාසය තබන තැනැත්තා මා කෙරෙහි පමණක් නොව මාව එවූ තැනැත්තා කෙරෙහිද විශ්වාසය තබයි. එමෙන්ම මාව දකින තැනැත්තා මාව එවූ තැනැත්තාවත් දකියි.” දෙවිගේ මඟ පෙන්වීම යටතේ යේසුස් උගන්වන සත්‍ය තොරතුරු සුළුවට ගන්න බැහැ. යේසුස් කියන මේ දෙයින් ඒක පැහැදිලියි. “මාව පිළි නොගෙන මා පවසන දේවල් ප්‍රතික්ෂේප කරන තැනැත්තාව විනිශ්චය කිරීමට කෙනෙක් සිටිනවා. එයට පදනම සපයන්නේ මා පැවසූ දේවල්මයි. විනිශ්චය සිදු වන කාලයේදී මාව පිළි නොගන්නා තැනැත්තාව එම පදනම මත විනිශ්චයට ලක් කරයි.”—යොහන් 12:44, 45, 48.

      අන්තිමේදී යේසුස් මෙහෙම කියනවා. “මා කතා කරන විට මම ඉදිරිපත් කරන්නේ මගේ අදහස් නොවෙයි. මන්ද මාව එවූ පියාණන් මා කිව යුතු දේ මට පැහැදිලිවම අණ කර තිබෙනවා. ඔහු අණ කළ දේවල් සදාකාල ජීවනයට මඟ පාදන බවත් මම දන්නවා.” (යොහන් 12:49, 50) යේසුස් හොඳින්ම දන්නවා විශ්වාසවන්ත අය වෙනුවෙන් තම ජීවිතය පූජා කරන්න ඉතුරු වෙලා තියෙන්නේ තව ටික දවසයි කියලා.—රෝම 5:8, 9.

      • යේසුස් පොළොවේ හිටිය කාලයේදී දෙවිගේ කටහඬ මිනිසුන්ට ඇහුණේ මොන අවස්ථා තුනේදීද?

      • යේසුස්ව විශ්වාස කළේ මොන වගේ පාලකයන්ද? ඔවුන් ප්‍රසිද්ධියේ ඒ ගැන කතා නොකරන්න ඇත්තේ ඇයි?

      • “විනිශ්චය සිදු වන කාලයේදී” මිනිසුන්ව විනිශ්චය කරන්නේ මොන පදනම යටතේද?

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න