ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යේසුස් දෙවියන්ගේ රාජ්‍යය ගැන දේශනා කරයි
    බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
    • යේසුස් ගෝලයෙක් එක්ක දේශනා සේවයේ යමින්

      78වෙනි පාඩම

      යේසුස් දෙවියන්ගේ රාජ්‍යය ගැන දේශනා කරයි

      බව්තීස්ම වුණාට පස්සේ යේසුස් ‘දෙවියන්ගේ රාජ්‍යය ළඟටම ඇවිත්’ කියලා දේශනා කරන්න පටන්ගත්තා. ගලීලයේ සහ යුදයේ දේශනා කරද්දී ගෝලයනුත් යේසුස් එක්ක ගියා. යේසුස් හැදී වැඩුණ නාසරෙත්වලට ආවාම ඔහු සිනගෝගයට ගිහින් යෙසායාගේ ලියවිල්ල දිගඇරලා ‘යෙහෝවා ශුභාරංචිය දේශනා කරන්න මට බලය දුන්නා’ කියන කොටස හැමෝටම ඇහෙන්න කියෙව්වා. යේසුස් ඒ කොටස කියෙව්වේ තමන්ට දෙවියන්ගෙන් බලය ලැබිලා තියෙන ප්‍රධාන හේතුව පැහැදිලි කරන්න. ඒ, ශුභාරංචිය දේශනා කරන්න, බලවත් ක්‍රියාවන් කරන්න නෙමෙයි. ඒ කොටස කියවලා යේසුස් කිව්වා ‘මේ අනාවැකිය දැන් ඉටු වුණා’ කියලා.

      යේසුස් ගලීල මුහුද ළඟට ගියාම පේතෘස්, අන්දෘ, යාකොබ්, යොහන් කියන ධීවරයන් හතරදෙනා ඔහුගේ ගෝලයන් වුණා. යේසුස් එයාලට කිව්වේ ‘මං එක්ක එන්න. මං ඔයාලව මිනිස්සුන්ව අල්ලන්නන් කරන්නම්’ කියලයි. එයාලා මාළු අල්ලන එක නවත්තලා යේසුස් එක්ක ගියා. මුළු ගලීලය පුරාම එයාලා යෙහෝවාගේ රාජ්‍යය ගැන දේශනා කළා. සිනගෝගවලත් වෙළඳපොළවල්වලත් පාරවල්වලත් එයාලා දේශනා කළා. එයාලා ගිය හැම තැනකදීම ලොකු සෙනඟක් එයාලට එකතු වුණා. යේසුස් ගැන ආරංචිය දුර ඈතින් තිබුණු සිරියාවෙත් පැතිරුණා.

      කාලයක් යද්දී යේසුස් අනුගාමිකයන් කීපදෙනෙක්ට ලෙඩ සුව කරන්නත් භූතයන් වැහිලා හිටපු අයව සුව කරන්නත් බලය දුන්නා. යේසුස් ගමින් ගමටත් නගරෙන් නගරෙටත් ගිහින් දේශනා කරද්දී තවත් අය යේසුස් එක්ක ගියා. මරියා මග්දලේනා, යොවානා, සුසෑනා වගේ විශ්වාසවන්ත කාන්තාවන් යේසුස්ටත් අනුගාමිකයන්ටත් ඕන කරන දේවල් දීලා එයාලව බලාගත්තා.

      ගෝලයන්ව පුහුණු කළාට පස්සේ යේසුස් එයාලව දේශනා කරන්න යැව්වා. එයාලා ගලීලය පුරා දේශනා කරද්දී තවත් හුඟදෙනෙක් ගෝලයන් වෙලා බව්තීස්ම වුණා. ගෝලයන් වෙන්න හුඟදෙනෙක් කැමැත්තෙන් හිටියා. යේසුස් එයාලව කපන්න ළං වෙලා තිබුණු අස්වැන්නකට සමාන කළා. ‘අස්වැන්න නෙළන්න තව වැඩකරුවන්ව එවන්න කියලා යෙහෝවාට යාච්ඤා කරන්න’ කියලා යේසුස් ගෝලයන්ට කිව්වා. ඊටපස්සේ යේසුස් එයාලාගෙන් 70දෙනෙක්ව තෝරගෙන යුදයේ දේශනා කරන්න දෙන්නා ගාණේ යැව්වා. එයාලා දේවරාජ්‍යය ගැන මිනිස්සුන්ට ඉගැන්නුවා. සේවයේ ලබපු අද්දැකීම් ගැන යේසුස්ට කියන්න එයාලා හිටියේ ලොකු ආසාවකින්. දේශනා සේවය නවත්තන්න යක්ෂයාට කිසිම ක්‍රමයක් තිබුණේ නැහැ.

      යේසුස්ට ඕන වුණේ ගෝලයන් දිගටම දේශනා කරනවා දකින්නයි. ඒ නිසා ඔහු මෙහෙම කිව්වා. ‘ශුභාරංචිය පොළොව පුරාම දේශනා කරන්න. දෙවියන්ගේ වචනයෙන් මිනිස්සුන්ට උගන්වලා එයාලව බව්තීස්ම කරන්න.’

      “මං වෙන නගරවලටත් ගිහින් දෙවියන්ගේ රාජ්‍යය ගැන ශුභාරංචිය දේශනා කරන්න ඕනේ. මාව එවලා තියෙන්නේ ඒක කරන්නයි.”—ලූක් 4:43

      ප්‍රශ්න: යේසුස් ගෝලයන්ට භාර දුන්නේ මොන වැඩේද? තමන්ට භාර දීපු වැඩේ ගැන ගෝලයන්ට හැඟුණේ කොහොමද?

      මතෙව් 4:17-25; 9:35-38; 28:19, 20; මාක් 1:14-20; ලූක් 4:14-21; 8:1-3; 10:1-22

  • යේසුස් බලවත් දේවල් කරයි
    බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
    • අසනීප අය සුවය ලබාගන්න යේසුස් ළඟට එමින්

      79වෙනි පාඩම

      යේසුස් බලවත් දේවල් කරයි

      යේසුස් පොළොවට ආවේ දෙවියන්ගේ රාජ්‍යය ගැන ශුභාරංචිය දේශනා කරන්න. යෙහෝවා බලවත් දේවල් කරන්න යේසුස්ට බලය දුන්නා. එහෙම කළේ අනාගතයේදී යේසුස් රජ වුණාම කරන්න යන දේවල් පෙන්නන්නයි. ඕනෙම ලෙඩක් සුව කරන්න ඔහුට පුළුවන් වුණා. ඔහු ගිය හැම තැනකටම අසනීප අය යේසුස්ව හොයාගෙන ආවා. යේසුස් ඒ හැමෝවම සුව කළා. අන්ධ අයට, බිහිරි අයට, අංශභාග රෝගීන්ට, භූතයන් වැහුණු අයට සුවය ලැබුණා. යේසුස්ගේ ඇඳුමේ වාටිය අල්ලපු අයත් සුව වුණා. ඉතින් මිනිස්සු හැමෝම යේසුස් පස්සේම ගියා. යේසුස්ට විවේකයක් ඕනෙ කියලා හිතුණු වෙලාවලදීත් ඔහු ළඟට ආපු අයව යේසුස් එළෙව්වේ නැහැ.

      දවසක් යේසුස් හිටිය ගෙදරකට අංශභාග රෝගියෙක්ව ගේන්න මිනිස්සුන්ට ඕන වුණා. හැබැයි ඒ ගෙදර සෙනඟ පිරිලා හිටිය නිසා එයාලා වහලේ කොටසක් ගලවලයි රෝගියාව යේසුස් ළඟට ගෙනාවේ. යේසුස් එයාට කිව්වා “නැඟිටලා ඇවිදින්න” කියලා. එයා ඇවිදින්න පටන්ගත්තාම එතැන හිටිය හැමෝම පුදුම වුණා.

      යේසුස් ගමකට යද්දී ලාදුරු රෝගීන් දහදෙනෙක් ටිකක් දුරින් ඉඳලා ‘යේසුස්, අපිට උදව් කරන්න’ කියලා කිව්වා. ඒ කාලේ ලාදුරු රෝගීන්ට මිනිස්සු ළඟට යන්න අවසර තිබුණේ නැති නිසයි එයාලා එහෙම කළේ. යේසුස් එයාලට කිව්වා දේවමාලිගාවට යන්න කියලා. මොකද දෙවියන්ගේ නීතියේ තිබුණා සුවය ලබපු ලාදුරු රෝගීන් දේවමාලිගාවට යන්න ඕනෙ කියලා. එයාලා යන ගමන් සුව වුණා. ඒ ගැන දෙවියන්ට ප්‍රශංසා කරන්නත් යේසුස්ට ස්තුති කරන්නත් ආවේ එක් කෙනෙක් විතරයි.

      අවුරුදු 12ක් අසනීපෙන් හිටිය කාන්තාවකටත් ඕනෙ වුණා කොහොම හරි සුව වෙන්න. ඉතින් එයා සෙනඟ මැද්දෙන් ගිහින් යේසුස්ගේ ඇඳුමේ වාටිය ඇල්ලුවා. ඒ වෙලාවෙම ලෙඩේ හොඳ වුණා. යේසුස් ඇහුවා “කවුද මාව ඇල්ලුවේ” කියලා. බයෙන් හිටිය ඒ කාන්තාව යේසුස් ළඟට ගිහින් වෙච්ච දේ ගැන කිව්වාම යේසුස් කිව්වා ‘දුවේ හිතේ නිදහසෙන් යන්න’ කියලා.

      යායිරස් කියන නිලධාරියා යේසුස් ළඟට ඇවිත් කිව්වා ‘අනේ මාත් එක්ක එන්න, මගේ පුංචි දුවට සනීප නෑ’ කියලා. හැබැයි යේසුස් එහෙට යන්න කලින් දුව මැරුණා. හුඟදෙනෙක් එයාලාගේ ගෙදරට ඇවිත් තිබුණා. යේසුස් එයාලට කිව්වා ‘අඬන්න එපා, දුව නිදාගෙනයි ඉන්නේ’ කියලා. ඊටපස්සේ යේසුස් දුවගේ අත අල්ලලා ‘චූටි දුවේ, දැන් නැඟිටින්න’ කියලා කිව්වා. දුව ඒ වෙලාවෙම නැඟිට්ටා. යේසුස් දරුවාගේ දෙමාපියන්ට කිව්වා දරුවාට කන්න මොනවා හරි දෙන්න කියලා. ඒ වෙලාවේ එයාලට කොහොම හැඟෙන්න ඇද්ද!

      යේසුස් යායිරස්ගේ දුවව නැවත නැඟිට්ටවනවා

      “දෙවියන් ඔහුව තමන්ගේ බලයෙන් අභිෂේක කරලා ඔහුට බලය දුන්නා. ඊටපස්සේ යේසුස් දේශය පුරාම ගිහින් හුඟක් යහපත් දේවල් කළා. යක්ෂයාගෙන් හිරිහැර විඳපු හැමෝටම ඔහු සහනයක් ලබා දුන්නා. ඔහු ඒ දේවල් කළේ දෙවියන් ඔහුත් එක්කම හිටපු නිසයි.”—ක්‍රියා 10:38

      ප්‍රශ්න: ඕනම ලෙඩක් සුව කරන්න යේසුස්ට පුළුවන් වුණේ ඇයි? යායිරස්ගේ දුවට මොකද වුණේ?

      මතෙව් 9:18-26; 14:36; මාක් 2:1-12; 5:21-43; 6:55, 56; ලූක් 6:19; 8:41-56; 17:11-19

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න