-
රැළ රැකබලා ගන්නා සහෝදරයන්යෙහෝවා දෙවියන්ගේ කැමැත්ත කරන්න සංවිධානය වූ සෙනඟක්
-
-
5වෙනි පරිච්ඡේදය
රැළ රැකබලා ගන්නා සහෝදරයන්
යේසුස් පොළොවේ සේවය කරපු කාලයේදී තමන් “උතුම් එඬේරා” කියලා පැහැදිලිවම ඔප්පු කළා. (යොහ. 10:11) තමන් පසුපස ආපු සෙනඟ ගැන ඔහුට හැඟුණේ “එඬේරෙකු නැති බැටළුවන් මෙන් දරුණු ලෙස හිරිහැර විඳිමින් විසිර ගොස් සිටින අය” විදිහටයි. ඒ නිසා ‘ඔහුට ඔවුන් කෙරෙහි අනුකම්පාවක් ඇති වුණා.’ (මතෙ. 9:36) යේසුස් මිනිසුන් ගැන කොයි තරම් සැලකිලිමත්ද කියලා පේතෘස් ඇතුළු නියෝජිතයන් හොඳින්ම දැක්කා. යේසුස් එදා හිටිය බොරු එඬේරුන්ට වඩා හුඟක් වෙනස්. ඒ අය මිනිසුන් ගැන පොඩ්ඩක්වත් සැලකිලිමත් වුණේ නැති නිසා ඔවුන් මංමුළා වෙලයි හිටියේ. විසිරුණු බැටළු රැළක් වගේ අසරණ වෙලා හිටිය ඒ මිනිසුන්ට දෙවියන් ගැන කියලා දෙන්න ආගමික නායකයන්ට කිසිම උවමනාවක් තිබුණේ නැහැ. (එස. 34:7, 8) හැබැයි දෙවියන්ගේ බැටළු රැළ ගැන අවංකවම සැලකිලිමත් වුණු යේසුස් මිනිසුන්ට හුඟක් දේවල් ඉගැන්නුවා. අන්තිමේදී ඔවුන් වෙනුවෙන් තමන්ගේ ජීවිතයත් පූජා කළා. “ජීවිත රැකබලා ගන්නා එඬේරා” වන යෙහෝවා දෙවියන් වෙතට ආපහු එන්න දෙවියන්ගේ සෙනඟට උදව් කරන්න ඕන කොහොමද කියලා තේරුම්ගන්න යේසුස්ගේ ආදර්ශය නියෝජිතයන්ට ප්‍රයෝජනවත් වුණා.—1 පේතෘ. 2:25.
2 යේසුස් පේතෘස් එක්ක කතා කරපු එක අවස්ථාවකදී රැළ පෝෂණය කිරීමේ සහ රැකබලා ගැනීමේ වැදගත්කම ගැන කාවැද්දුවා. (යොහ. 21:15-17) ඒක පේතෘස්ගේ හිතට තදින් කාවැදුණු බවට නම් සැකයක් නැහැ. මුල් සියවසේ හිටිය වැඩිමහල්ලන්ට ඔහු මෙහෙම කිව්වා. “ඔබට භාර දී ඇති දෙවිගේ රැළ රැකබලා ගන්න. කිසිවෙකුගේ බල කිරීම නිසා නොව කැමැත්තෙන්ද අයුතු ලෙස වාසි ප්‍රයෝජන ලබාගැනීමේ ආශාව නිසා නොව අවංක උනන්දුවකින්ද, දෙවිට අයිති අය කෙරෙහි අනිසි ලෙස බලය නොපවත්වා, රැළට ආදර්ශයක් වෙමින් එසේ කරන්න.” (1 පේතෘ. 5:1-3) මේ කාලයේදී රැළ රැකබලා ගන්නා සහෝදරයන්ටත් ඒ කියන්නේ වැඩිමහල්ලන්ටත් ඒ දේ අදාළයි. දෙවියන්ට කරන සේවයේදී ඔවුන් පෙරමුණ අරන් කටයුතු කරනවා. යේසුස්ව ආදර්ශයට අරන් උද්‍යෝගයකින් වගේම කැමැත්තෙන් දෙවියන්ට සේවය කරන වැඩිමහල්ලන් ඇත්තෙන්ම රැළට ආදර්ශයක්.—හෙබ්‍රෙ. 13:7.
යේසුස්ව ආදර්ශයට අරන් උද්‍යෝගයකින් වගේම කැමැත්තෙන් දෙවියන්ට සේවය කරන වැඩිමහල්ලන් ඇත්තෙන්ම රැළට ආදර්ශයක්
3 දෙවියන්ගේ බලයෙන් පත් වෙලා ඉන්න ඒ වැඩිමහල්ලන්ව අගය කරන්න අපිට ඕන තරම් හේතු තියෙනවා. ඒ අය නිසා අපි මොන තරම් ප්‍රයෝජන ලබනවාද! සභාවේ ඉන්න එක් එක් කෙනා ගැන සැලකිලිමත් වෙන ඔවුන් සභාවේ හැමෝවම දිරිගන්වනවා. හැම සතියකම අපිට පෝෂණය ලැබෙන රැස්වීම්වල කොටස් ඔවුන් ලොකු උනන්දුවකින් ඉටු කරනවා. (රෝම 12:8) සභාවට හානි කරන අයගෙන් සහ හානිකර දේවලින් සභාව ආරක්ෂා කරගන්නත් ඔවුන් වෙහෙසෙනවා. (යෙසා. 32:2; තීත. 1:9-11) ඔවුන් දේශනා සේවයේ පෙරමුණ ගද්දී උද්‍යෝගයෙන් හැම මාසයකම සේවයේ හවුල් වෙන්න අපිත් දිරිගැන්වෙන්නේ නැද්ද! (හෙබ්‍රෙ. 13:15-17) “තෑගි වශයෙන්” දීලා තියෙන ඒ අය මාර්ගයෙන් යෙහෝවා දෙවියන් සභාව ගොඩනඟනවා.—එෆී. 4:8, 11, 12.
සභාව රැකබලා ගන්නා අයට තියෙන්න ඕන සුදුසුකම්
4 සභාව රැකබලා ගන්න පුළුවන් වෙන්නේ වැඩිමහල්ලන් ශුද්ධ ලියවිල්ලට අනුව තමන්ගෙන් බලාපොරොත්තු වෙන දේවල් හොඳින් ඉටු කළොත් විතරයි. එහෙම කළොත් තමයි ඔවුන් ඇත්තටම දෙවියන්ගේ බලයෙන් පත් වෙලා තියෙනවා කියලා ඔප්පු වෙන්නේ. (ක්‍රියා 20:28) රැළ රැකබලා ගන්න එක ලොකු වගකීමක් නිසා දෙවියන් ඒ අයගෙන් හුඟක් සුදුසුකම් බලාපොරොත්තු වෙනවා. කෙනෙක් ඇත්තටම දෙවියන්ට ආදරෙයි නම්, දෙවියන්ගෙන් ලැබෙන ඕනම පැවරුමක් ඉටු කරන්න කැමතියි නම් ඒ සුදුසුකම් අත් කරගන්න අමාරු නැහැ. වැඩිමහල්ලන් ජීවිතයේ හැම කාරණාවකදීම බයිබල් ප්‍රතිපත්ති අදාළ කරගන්න බව පැහැදිලිව පෙනෙන්න ඕනේ.
සභාව රැකබලා ගන්න පුළුවන් වෙන්නේ වැඩිමහල්ලන් ශුද්ධ ලියවිල්ලට අනුව තමන්ගෙන් බලාපොරොත්තු වෙන දේවල් හොඳින් ඉටු කළොත් විතරයි
5 වැඩිමහල්ලෙක්ට තියෙන්න ඕන සුදුසුකම් ගැන 1 තිමෝති 3:1-7 දක්වා පදවල මෙහෙම සඳහන් වෙනවා. “යමෙක් සභාව රැකබලා ගන්නෙකු ලෙස වගකීම් දැරීමට වෑයම් කරනවා නම් ඔහු කැමැත්තෙන් සිටින්නේ යහපත් සේවයක් ඉටු කිරීම සඳහාය. සභාව රැකබලා ගන්නා කෙනෙක් නිදොස් කෙනෙකු විය යුතුයි. ඔහුට සිටිය යුත්තේ එක් භාර්යාවක් පමණි. ඔහු සෑම දෙයකදීම තම සීමාව දැනගෙන කටයුතු කරන, හොඳ සිහිකල්පනාවෙන් වැඩ කරන, තම වැඩකටයුතු පිළිවෙළකට ඉටු කරන, ආගන්තුක සත්කාරයට ළැදි, ඉගැන්වීමට සුදුසුකම් ඇති කෙනෙකු විය යුතුයි. ඔහු බීමත් වී දබරවලට පැටලෙන්නේ නැති, ගහගන්නෙකු නොවන, අසාධාරණ ලෙස කටයුතු නොකරන, නිතරම ආරවුල්වලට පැටලෙන්නේ නැති, මුදලට ඇල්මක් නොදක්වන, තමාගේ නිවසේ සිටින අයව හොඳින් හසුරුවන පුරුෂයෙකු විය යුතුයි. ඔහුගේ දරුවන් ඔහුට යටත් වෙමින් ගෞරවනීයව හැසිරෙන අය විය යුතුයි. (ඇත්තටම තමාගේම නිවසේ සිටින අයව රැකබලා ගන්න යමෙකු දන්නේ නැත්නම් ඔහු දෙවිගේ සභාව රැකබලා ගන්නේ කෙසේද?) ඔහු මෑතකදී දෙවිට සේවය කිරීමට පටන්ගත් කෙනෙකු නොවිය යුතුයි. එසේ නොවුණොත් ඔහු තුළ අහංකාරකම ඇති විය හැකි අතර යක්ෂයාට ලැබුණු විනිශ්චය ඔහුටද ලැබිය හැක. එලෙසම ක්‍රිස්තියානි සභාවට අයත් නොවන අය ඉදිරියේද ඔහු හොඳ නමක් දිනාගෙන සිටින කෙනෙකු විය යුතුයි. එසේ නොවුණොත් ඔහු නින්දාවට ලක් විය හැකි අතර යක්ෂයාගේ උගුලකටද හසු විය හැක.”
6 තීතස් පොතේ මෙහෙම සඳහන් වෙනවා. “මා ඔබව ක්‍රීට් දූපතෙහි නවතා ආවේ යම් හේතුවක් ඇතුවය. එමනිසා මා ඔබට උපදෙස් දුන් ලෙස නිසි ලෙස සිදු නොවන දේවල් ඔබ නිවැරදි කළ යුතු අතර සෑම නුවරක් නුවරක් පාසාම වැඩිමහල්ලන් පත් කළ යුතුයි. එසේ පත් කරන පුරුෂයන් චෝදනාවලින් නිදහස් අය විය යුතු අතර ඔවුන්ට සිටිය යුත්තේ එක් භාර්යාවක් පමණි. ඔවුන්ගේ දරුවන් නොහික්මුණු ආකාරයකින් හැසිරෙන හිතුවක්කාර දරුවන් නොවිය යුතු අතර දෙවි කෙරෙහි විශ්වාසයක් ඇති අය විය යුතුයි. මන්ද දෙවිගේ සේවකයෙකු ලෙස සභාව රැකබලා ගන්නා කෙනෙකු චෝදනාවලින් නිදහස් කෙනෙකු විය යුතුයි. ඔහු හිතුමතේට කටයුතු නොකරන, ඉක්මනින් කෝප නොවන, බීමත් වී දබරවලට පැටලෙන්නේ නැති, ගහගන්නෙකු නොවන, අයුතු ලෙස ලාභ ලබාගැනීමට කෑදරකමින් කටයුතු නොකරන කෙනෙකු විය යුතුයි. එලෙසම ඔහු ආගන්තුක සත්කාරශීලී, යහපත්කමට ඇලුම් වී සිටින, හොඳ සිහිකල්පනාවෙන් වැඩ කරන, ධර්මිෂ්ඨ, දෙවිට ළැදි, තමාවම පාලනය කරගත හැකි පුද්ගලයෙකු විය යුතුයි. මීට අමතරව ඔහු දක්ෂ ලෙස උගන්වමින් සත්‍ය පණිවිඩයට තදින් ඇලී සිටින කෙනෙකුද විය යුතුයි. එසේ කිරීමෙන් නිවැරදි මෙන්ම ප්‍රයෝජනවත් ඉගැන්වීම් යොදාගෙන උපදෙස් සහ මඟ පෙන්වීම් ලබා දීමටත් ඊට විරෝධය දක්වන අයට අවවාද ලබා දීමටත් ඔහුට හැකියාවක් ලැබෙනු ඇත.”—තීතස් 1:5-9.
7 වැඩිමහල්ලෙක් වෙන්න හුඟක් සුදුසුකම් අත් කරගන්න ඕන වුණත් ක්‍රිස්තියානි පුරුෂයන් ඒ සඳහා දරන වෑයම අත්හරින එක සුදුසු නැහැ. දෙවියන් වැඩිමහල්ලන්ගෙන් බලාපොරොත්තු වෙන ගුණාංග ඒ අය වර්ධනය කරගද්දී සභාවේ අයත් ඒ ගුණාංග වර්ධනය කරගන්න පෙලඹෙනවා. “තෑගි” හැටියට ලැබිලා තියෙන පුරුෂයන් ගැන පාවුල් මෙහෙම කියලා තියෙනවා. “එසේ ඔවුහු ශුද්ධ තැනැත්තන්ව නිවැරදි මාර්ගයට ගෙන ඒමටත් අන් අය වෙනුවෙන් සේවය කිරීමටත් ක්‍රිස්තුස්ගේ ශරීරය ගොඩනැඟීමටත් පියවර ගනු ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස අප විශ්වාස කරන දේ සම්බන්ධයෙන්ද දෙවිගේ පුත්‍රයා ගැන අපට තිබෙන නිවැරදි දැනුම සම්බන්ධයෙන්ද අප සියලුදෙනාටම එක්සත්ව සිටීමට හැකියාව ලැබේ. එමගින් අපි ක්‍රිස්තුස්ගේ පරිපූර්ණ පෞද්ගලිකත්වයට ළඟා වන, හොඳින් වැඩුණු අවබෝධයෙන් ක්‍රියා කරන පුරුෂයෝ වන්නෙමු.”—එෆී. 4:8, 12, 13.
8 අද්දැකීම් අඩු අයව සහ මෑතකදී දෙවියන්ට සේවය කරන්න පටන්ගත්ත අයව රැළ රැකබලා ගන්න පත් කරන්නේ නැහැ. ඒ වෙනුවට කාලයක් පුරා දෙවියන්ට විශ්වාසවන්තව සේවය කරලා තියෙන, ශුද්ධ ලියවිල්ල ගැන පුළුල් දැනුමක් සහ ගැඹුරු අවබෝධයක් තියෙන ඒ වගේම සභාවේ අයට ආදරෙන් සලකන අයව තමයි ඒ සඳහා පත් කරන්නේ. වැරදි දේවල් කරන අයව නිවැරදි කරන්න ඔවුන් බය වෙන්නේ නැහැ. ඒ නිසා ආත්මාර්ථකාමී විදිහට හැසිරෙමින් සභාවේ අයගෙන් අයුතු ප්‍රයෝජන ගන්න උත්සාහ කරන අයගෙන් සභාව ආරක්ෂා කරගන්න ඔවුන්ට පුළුවන් වෙනවා. (යෙසා. 32:2) ඔවුන් ඇත්තටම අවබෝධයෙන් ක්‍රියා කරනවා කියලත් දෙවියන්ගේ රැළ ගැන අවංකවම සැලකිලිමත් වෙනවා කියලත් සභාවේ අයට පැහැදිලිවම දැකගන්න පුළුවන්.
9 වැඩිමහල්ලන් විදිහට පත් වෙලා ඉන්න අය ප්‍රඥාවන්තව කටයුතු කරනවා. විවාහක කෙනෙක් නම් ඔහුට ඉන්න ඕනෙ එක භාර්යාවක් විතරයි. ඒ වගේම නිවසේ ඉන්න අයව හොඳින් හසුරුවන්නත් ඕනේ. දෙවියන් ගැන විශ්වාසයක් තියෙන දරුවන් ඉන්නවා නම් ඒ දරුවන් ඔහුට යටත් වෙමින් ගෞරවනීයව හැසිරෙන අය වෙන්නත් ඕනේ. ඒ දරුවන් නොහික්මුණු ආකාරයෙන් හැසිරෙන හිතුවක්කාර අය වෙන්නත් බැහැ. එතකොට පවුල් ජීවිතය සම්බන්ධයෙන් වගේම දෙවියන් එක්ක තියෙන මිත්‍රත්වයට බලපාන ඕනම කාරණයක් ගැන මඟ පෙන්වීම් ඕන වෙද්දී ඒ වගේ වැඩිමහල්ලන් ළඟට යන්න සභාවේ අය අදිමදි කරන්නේ නැහැ. වැඩිමහල්ලෙක් නිදොස් වගේම චෝදනාවලින් නිදහස් කෙනෙක් වෙන්නත් ඕනේ. සභාවට අයිති නොවන අය ඉදිරියේ පවා හොඳ නමක් දිනාගෙන ඉන්න කෙනෙක් වෙන්නත් ඕනේ. සභාවේ හොඳ නමට හානියක් වෙන විදිහේ ක්‍රියාවක් ගැන කිසිම සාධාරණ චෝදනාවක් ඔහුට විරුද්ධව තියෙන්න බැහැ. ඒ වගේම බරපතළ වරදක් කිරීම සම්බන්ධයෙන් මෑතකදී අවවාද ලැබුව කෙනෙක් වෙන්නත් බැහැ. ඒ සුදුසුකම් අත් කරගෙන තියෙන අයගේ ආදර්ශය අනුගමනය කරන්නත් ඔවුන් දෙන මඟ පෙන්වීම් කැමැත්තෙන්ම පිළිගන්නත් සභාවේ අය පෙලඹෙන්නේ නිතැතින්මයි.—1 කොරි. 11:1; 16:15, 16.
10 ඒ සුදුසුකම් අත් කරගත්ත අයට ඊශ්‍රායෙලයේ හිටිය වැඩිමහල්ලන් වගේ “ප්‍රඥාවන්ත, දක්ෂ, අද්දැකීම් ඇති” අය විදිහට කටයුතු කරන්න පුළුවන් වෙනවා. (ද්වි. 1:13) හැබැයි ක්‍රිස්තියානි වැඩිමහල්ලන් කිසිම වරදක් නොකරන අය නෙවෙයි. ඒ අයටත් පව්කාරකම උරුම වෙලයි තියෙන්නේ. (රෝම 3:23) ඒ වුණත් සභාවේ අය වගේම සභාවෙන් පිට අයත් ඔවුන්ව සලකන්නේ කාලයක් පුරා දෙවියන්ගේ ප්‍රතිපත්ති අදාළ කරගෙන දේවගරුබිය ඇතුව නිර්දෝෂ ජීවිතයක් ගෙවන අය විදිහටයි. ඔවුන් නිර්දෝෂ ජීවිතයක් ගෙවන නිසා බියක් සැකක් නැතුව සභාවේ ඉගැන්වීම් කටයුතු කරන්න ඔවුන්ට පුළුවන් වෙනවා.
11 වැඩිමහල්ලන් අනිත් අයත් එක්ක කටයුතු කරද්දී වගේම අනිත් හැම කාරණයකදීම තම සීමාව දැනගෙන කටයුතු කරනවා. හැම දෙයක්ම සමබරව කරන ඔවුන් තමන්ව පාලනය කරගන්නවා. කෑම බීම, විනෝදයට කරන දේවල්, විනෝදාංශ වගේ දේවල් සම්බන්ධයෙන් ඔවුන් කටයුතු කරන විදිහෙන් ඒක පැහැදිලිව පෙනෙනවා. මත්පැන් පානය කරද්දීත් ඔවුන් සීමාව ඉක්මවලා යන්නේවත් බේබද්දන් විදිහට හැසිරෙන්නේවත් බීමත් වෙලා දබරවලට පැටලෙන්නේවත් නැහැ. සීමාව ඉක්මවලා බොන කෙනෙක්ට තමන්ව පාලනය කරගන්න බැහැ. ඒ වගේම සභාවේ අයට දෙවියන් එක්ක තියෙන බැඳීම දුර්වල වෙන්න පුළුවන් පැති ගැන සෝදිසියෙන් ඉන්න පුළුවන් වෙන්නෙත් නැහැ.
12 සභාව රැකබලා ගන්නා කෙනෙක් වැඩකටයුතු පිළිවෙළකට කරන්න ඕනේ. තමන්ගේ පෙනුම සහ නිවස පිළිවෙළකට තියාගන්නත් එදිනෙදා කරන හැම දෙයක්ම පිළිවෙළට කරන්නත් ඔහු වගබලා ගන්නවා. වැඩ කල් දාන්නේ නැහැ. කරන්න තියෙන දේවල් කලින්ම සැලසුම් කරනවා. හැම කාරණයකදීම දෙවියන්ගේ ප්‍රතිපත්ති අදාළ කරගන්නවා.
13 වැඩිමහල්ලෙක් සාධාරණව කටයුතු කරන්න ඕනේ. සභාවේ අනිත් වැඩිමහල්ලන් එක්ක එකමුතුව සහයෝගයෙන් වැඩ කරන්න ඕනේ. තමන් අනිත් අයට වඩා උසස් කියලා හිතන එකත් අනිත් අයගෙන් ඕනෑවට වඩා දේවල් බලාපොරොත්තු වෙන එකත් සුදුසු නැහැ. සාධාරණව කටයුතු කරන වැඩිමහල්ලෙක් අනිත් වැඩිමහල්ලන්ගේ අදහස්වලට වඩා තමන්ගේ අදහස් වැදගත් කියලා හිතාගෙන තමන්ගේ මතයේම ඉන්නේ නැහැ. මොකද හැකියාවන් සහ ගුණාංග සම්බන්ධයෙන් එක වැඩිමහල්ලෙක්ට වඩා අනිත් වැඩිමහල්ලන් දක්ෂ වෙන්න පුළුවන්. වැඩිමහල්ලෙක් නිතරම තමන් කියන දේවල් දෙවියන්ගේ වචනය මත පදනම් කරගන්නවා නම් සහ යේසුස්ව ආදර්ශයට ගන්න උත්සාහ කරනවා නම් ඔහුට සාධාරණව කටයුතු කරන්න පුළුවන් වෙනවා. (ෆිලි. 2:2-8) වැඩිමහල්ලෙක් ආරවුල්වලට පැටලෙන්නේවත් ගහගන්නේවත් නැහැ. ඒ වෙනුවට අනිත් අය තමන්ට වඩා උසස් බව මතක තියාගෙන ඒ අයට ගෞරවයෙන් සලකනවා. නිතරම තමන් හිතන දේ හරි කියලා හිතාගෙන හිතුමතේට වැඩ කරන්නේ නැහැ. ඉක්මනින් කෝප වෙන්නෙත් නැහැ. ඒ වෙනුවට අනිත් අය එක්ක සමාදානයෙන් කටයුතු කරනවා.
14 වැඩිමහල්ලෙක් වෙන්න කැමති කෙනෙක් හොඳ සිහිකල්පනාවෙන් වැඩ කරන එකත් වැදගත්. ඒ වගේ කෙනෙක් යම් විනිශ්චයක් කරන්න කලින් සන්සුන්ව හැම කාරණයක් ගැනම හොඳින් හිතලා බලනවා. බයිබල් ප්‍රතිපත්ති ගැනත් ඒවා අදාළ වෙන විදිහ ගැනත් හොඳ අවබෝධයක් තියෙනවා. අනිත් අය දෙන උපදෙස් සහ මඟ පෙන්වීම් කැමැත්තෙන්ම පිළිගන්නවා. කුහක විදිහට දේවල් කරන්නෙත් නැහැ.
15 පාවුල් කිව්වා වැඩිමහල්ලෙක් යහපත්කමට ඇලුම් වෙන්න ඕනෙ කියලා. ඒ වගේම වැඩිමහල්ලෙක් ධර්මිෂ්ඨ, දෙවියන්ට ළැදි කෙනෙක් වෙන්නත් ඕනේ. අනිත් අයත් එක්ක කටයුතු කරන විදිහෙනුත්, හරි දේට පක්ෂව ඉන්න එකෙනුත් ඒ ගතිගුණ පැහැදිලිව දැකගන්න පුළුවන්. වැඩිමහල්ලෙක් දිගටම දෙවියන්ට පක්ෂව කටයුතු කරමින් දෙවියන්ගේ ධර්මිෂ්ඨ ප්‍රතිපත්ති අදාළ කරගන්නවා. රහස් කාරණා හෙළි කරන්නේ නැහැ. ඒ වගේම ආගන්තුක සත්කාරයට ළැදියි. අනිත් අයගේ ප්‍රයෝජනය වෙනුවෙන් තමන්ගේ කාලය, ශ්‍රමය විතරක් නෙවෙයි තමන් සතු දේවල් වුණත් දෙන්න සූදානමින් ඉන්නවා.—ක්‍රියා 20:33-35.
16 තමන්ගේ වැඩ කොටස දක්ෂ විදිහට කරන්න නම් වැඩිමහල්ලන් ඉගැන්වීමට සුදුසුකම් ඇති අය වෙන්න ඕනේ. පාවුල් ඒ ගැන කිව්වේ මෙහෙමයි. “ඔහු දක්ෂ ලෙස උගන්වමින් සත්‍ය පණිවිඩයට තදින් ඇලී සිටින කෙනෙකුද විය යුතුයි. එසේ කිරීමෙන් නිවැරදි මෙන්ම ප්‍රයෝජනවත් ඉගැන්වීම් යොදාගෙන උපදෙස් සහ මඟ පෙන්වීම් ලබා දීමටත් ඊට විරෝධය දක්වන අයට අවවාද ලබා දීමටත් ඔහුට හැකියාවක් ලැබෙනු ඇත.” (තීත. 1:9) අනිත් අයට පිළිගන්න පුළුවන් විදිහට වගේම විශ්වාසය ශක්තිමත් වෙන විදිහට කාරණා තර්කානුකූලව ඒත්තුගන්වන්නත්, පැහැදිලි සාක්ෂි ඉදිරිපත් කරන්නත් වැරදි මත බිඳින්නත් බයිබල් ප්‍රතිපත්ති අදාළ වෙන විදිහ පැහැදිලි කරන්නත් වැඩිමහල්ලෙක්ට පුළුවන් වෙන්න ඕනේ. හොඳ වාතාවරණයක් තිබුණත් නැතත් ඒ විදිහට කටයුතු කරන්න ඕනේ. (2 තිමෝ. 4:2) වැරදි කරන කෙනෙක්ව මෘදු ආකාරයෙන් නිවැරදි කරන්නත් කෙනෙක්ගේ සැකයන් නැති කරලා විශ්වාසය ගොඩනඟාගෙන යහපත් දේවල් කරන්න ඔහුව දිරිගන්වන්නත් ඉවසීම තියෙන්න ඕනේ. තනි පුද්ගලයෙක්ට හරි කණ්ඩායමකට හරි උගන්වද්දී වැඩිමහල්ලෙක් පෙන්වන්නේ ඉගැන්වීමට සුදුසුකම් තමන්ට තියෙනවා කියලයි.
17 වැඩිමහල්ලන් උද්‍යෝගයෙන් සේවයේ හවුල් වෙන එකත් වැදගත්. ශුභාරංචිය දේශනා කරන වැඩේට ජීවිතයේ මුල් තැන දීපු යේසුස්ව ඔවුන් ආදර්ශයට ගන්නවා කියලත් පැහැදිලිව පෙනෙන්න ඕනේ. දක්ෂ විදිහට ශුභාරංචිය දේශනා කරන්න යේසුස් ගෝලයන්ව පුහුණු කළා. (මාක් 1:38; ලූක් 8:1) කොයි තරම් කාර්යබහුල වුණත් වැඩිමහල්ලන් දේශනා සේවයේ හවුල් වෙනවා දකිද්දී සභාවේ අනිත් අයත් උද්‍යෝගයෙන් සේවයේ හවුල් වෙන්න පෙලඹෙනවා. වැඩිමහල්ලන් තමන්ගේ පවුලේ අය එක්කත් සභාවේ අය එක්කත් සේවයේ හවුල් වෙද්දී “එකිනෙකාව දිරිගැන්වීමට” අවස්ථාව ලැබෙනවා.—රෝම 1:11, 12.
18 වැඩිමහල්ලෙක්ගෙන් හුඟක් දේවල් බලාපොරොත්තු වෙනවා කියලා ඒ තොරතුරුවලින් පැහැදිලියි. කොහොමවුණත් බයිබලයේ තියෙන සුදුසුකම් සියයට සියයක් අත් කරගන්න කිසිම වැඩිමහල්ලෙක්ට බැහැ. ඒ වුණත් ඒ සුදුසුකම්වලින් එකක් හරි සැලකිය යුතු මට්ටමකින් අඩු නම් ඔහු තවදුරටත් වැඩිමහල්ලෙක් විදිහට සේවය කරන්න සුදුසු නැහැ. සමහර වැඩිමහල්ලන්ට කැපීපෙනෙන ගුණාංග තියෙන්න පුළුවන්. තවත් අය යම් පැතිවලින් දක්ෂ වෙන්න පුළුවන්. ඒ නිසා ඔවුන් මණ්ඩලයක් විදිහට එකතු වුණාම සභාව හොඳින් අධීක්ෂණය කරන්න පුළුවන් වෙනවා.
19 වැඩිමහල්ලෙක් වෙන්න කෙනෙක්ව නිර්දේශ කරද්දී සභාවේ වැඩිමහල්ලන් පාවුල් කියපු මේ දේ මතක තියාගන්නවා. “මා, ඔබ සියලුදෙනාටම කියන්නේ තමන් ගැන වුවමනාවට වඩා නොසිතන්න කියාය. ඒ වෙනුවට සාධාරණව සිතීමට පුරුදු වන්න. එලෙසම හොඳ සිහිකල්පනාවෙන් කටයුතු කරන්න. දෙවි ඔබ එකිනෙකා තුළ ඇති කර තිබෙන විශ්වාසයට එකඟව එසේ කිරීමට වගබලා ගන්න.” (රෝම 12:3) අනිත් අය තමන්ට වඩා උසස් කියලා වැඩිමහල්ලන් හැමෝම හිතන්න ඕනේ. කෙනෙක්ගේ සුදුසුකම් සලකා බලද්දී වැඩිමහල්ලන් “පමණට වඩා ධර්මිෂ්ඨ” වෙන එක සුදුසු නැහැ. (දේශ. 7:16) කෙනෙක්ව වැඩිමහල්ලෙක් වෙන්න නිර්දේශ කරද්දී බයිබලයේ තියෙන සුදුසුකම් සාධාරණ මට්ටමකින් ඔහුට තියෙනවාද කියලා වැඩිමහල් මණ්ඩලය බලන්න ඕනේ. වැඩිමහල්ලන් තමන්ගේ පව්කාර සිතුවිලිවලට ඉඩහරිමින් කුහක විදිහට තමන් කැමති අයට විශේෂ අනුග්‍රහයක් දක්වන්නේ නැහැ. එහෙම කරනවා නම් ඒ කෙනා දෙවියන්ගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට ගරු කරනවා කියලවත් සභාවේ යහපත ගැන සැලකිලිමත් වෙනවා කියලවත් කියන්න බැහැ. කෙනෙක්ව නිර්දේශ කරන්න කලින් වැඩිමහල්ලන් අනිවාර්යයෙන්ම දෙවියන්ගේ මඟ පෙන්වීම් ඉල්ලලා යාච්ඤා කරලා ඒ කෙනාට සුදුසුකම් තියෙනවාද කියලා හොඳින් කල්පනා කරනවා. කෙනෙක්ව වැඩිමහල්ලෙක් හැටියට නිර්දේශ කරන එක ඔවුන්ට පැවරිලා තියෙන බැරෑරුම් වගකීම් අතරින් එකක්. “කෙනෙකුව යම් වගකීමක් සඳහා පත් කිරීමට ඉක්මන් නොවන්න” කියලා පාවුල් කියපු දේත් ඔවුන් අමතක කරන්නේ නැහැ.—1 තිමෝ. 5:21, 22.
දෙවියන්ගේ බලයේ ක්‍රියාකාරිත්වය නිසා ඇති වන ගුණාංග
20 වැඩිමහල්ලන් දෙවියන්ගේ බලයේ මඟ පෙන්වීමට යටත් වෙනවා කියලත් දෙවියන්ගේ බලයේ ක්‍රියාකාරිත්වය නිසා ඇති වන ගුණාංග ඔවුන් සතුව තියෙනවා කියලත් ඔවුන් කටයුතු කරන විදිහෙන් පැහැදිලි වෙනවා. ඒ ගුණාංග නවය තමයි “ප්‍රේමය, ප්‍රීතිය, සමාදානය, බොහෝ ඉවසිලිවන්තකම, කරුණාවන්තකම, යහපත්කම, විශ්වාසය, මෘදුකම, තමාව පාලනය කරගැනීම.” (ගලා. 5:22, 23) වැඩිමහල්ලන් ඒ ගුණාංග වර්ධනය කරගද්දී සභාවේ අය ලොකු සහනයක් අද්දකිනවා. සභාවේ එකමුතුකමටත් ඒක දායක වෙනවා. වැඩිමහල්ලන් ක්‍රියා කරන විදිහෙන් සහ ඔවුන්ගේ වෙහෙසට ලැබෙන ප්‍රතිඵලවලින් ඔප්පු වෙනවා ඔවුන්ව පත් කරලා තියෙන්නේ දෙවියන්ගේ බලයෙන් කියලා.—ක්‍රියා 20:28.
එක්සත්කමට දායක වන පුරුෂයන්
21 වැඩිමහල්ලන් හැමෝම එකමුතුව කටයුතු කරන එක හුඟක් වැදගත්. මොකද ඒක සභාවේ සාමයට දායක වෙනවා. යම් කාරණා සම්බන්ධයෙන් ඔවුන්ට තියෙන අදහස් එකිනෙකට වෙනස් වෙන්න පුළුවන්. හැබැයි ඔවුන් එකිනෙකාගේ අදහස්වලට ගරු කරමින් ඒවාට හොඳින් ඇහුම්කන් දෙද්දී ඔවුන් අතරේ තියෙන එක්සත්කමට ඒක දායක වෙනවා. සමහර කාරණාවලට එකඟ වෙන්න බැරි වුණත් ඒකෙන් බයිබල් ප්‍රතිපත්තියක් කඩ වෙන්නේ නැත්නම් වැඩිමහල් මණ්ඩලය ගන්න තීරණවලට හැම වැඩිමහල්ලෙක්ම කැමැත්තෙන් සහයෝගය දෙන්න ඕනේ. කෙනෙක් එහෙම කරනවා නම් ඒ කෙනා ‘සාමකාමීව සාධාරණ ලෙස කටයුතු කරන්න’ උදව් වෙන “ස්වර්ගයෙන් පැමිණෙන ප්‍රඥාව” ඇතුව කටයුතු කරන කෙනෙක් කියලා පැහැදිලි වෙනවා. (යාකො. 3:17, 18) කිසිම වැඩිමහල්ලෙක් තමන් අනිත් වැඩිමහල්ලන්ට වඩා උසස් කියලා හිතන එකවත් ඒ අයව පාලනය කරන්න උත්සාහ කරන එකවත් සුදුසු නැහැ. සභාවේ යහපත වෙනුවෙන් වැඩිමහල්ලන් හැමෝම සහයෝගයෙන් වැඩ කරද්දී ඔවුන් ඇත්තටම යෙහෝවා දෙවියන්ට සහයෝගය දෙනවා කියලා කියන්න පුළුවන්.—1 කොරි. 12 පරි.; කොලො. 2:19.
වගකීම් දැරීමට වෑයම් කිරීම
22 අවබෝධයෙන් වැඩ කරන පුරුෂයන් සභාව රැකබලා ගන්නා අය විදිහට වගකීම් දරන්න වෑයම් කරන්න ඕනේ. (1 තිමෝ. 3:1) කොහොමවුණත් වැඩිමහල්ලෙක් වුණාම හුඟක් වැඩ කරන්නත් ආත්මපරිත්‍යාගශීලීව කටයුතු කරන්නත් සිද්ධ වෙනවා. ඒ කියන්නේ සභාවේ අයගේ විශ්වාසය ශක්තිමත් කරන්නත් අවශ්‍යතාව තියෙන සහෝදරයන්ට උපකාර කරන්නත් ඕනම වෙලාවක සූදානමින් ඉන්න වෙනවා කියන එකයි. වැඩිමහල්ලෙක් වෙන්න වෑයම් කරන කෙනෙක් ඒ සඳහා බයිබලයේ තියෙන සුදුසුකම් අත් කරගන්න උත්සාහ කරන්න ඕනේ.
තත්වයන් වෙනස් වෙද්දී
23 කාලයක් පුරා විශ්වාසවන්තව සේවය කරපු සහෝදරයෙක් හිටිහැටියේම අසනීප වෙන්න පුළුවන්. නැත්නම් වැඩක් පළක් කරගන්න බැරි තත්වයකට පත් වෙන්න පුළුවන්. සමහරවිට මහලු වයස නිසාත් වැඩිමහල්ලෙක් ඉටු කරන වගකීම් තවදුරටත් ඉටු කරන්න බැරි වෙයි. ඒ වුණත් ඔහු වැඩිමහල්ලෙක් විදිහට කටයුතු කරන තාක් කල් ඔහුට නිසි ගෞරවය දෙන්න ඕනේ. තමන්ට කරන්න පුළුවන් දේවල් සීමා වෙලා තියෙන නිසාම ඔහු වැඩිමහල්ලෙක් විදිහට කටයුතු කරන එක නතර කරන්න ඕන නැහැ. සභාව රැකබලා ගන්න වෙහෙස නොබලා වැඩ කරන අනිත් වැඩිමහල්ලන් වගේ ඔහුත් වැඩි ගෞරවයක් ලබන්න වටිනවා.
24 කොහොමවුණත් පෞද්ගලික හේතුවක් නිසා තවදුරටත් වැඩිමහල්ලෙක් විදිහට කටයුතු කරන්න තමන්ට බැහැ කියලා හැඟෙනවා නම් ඒ වගකීමෙන් ඉවත් වෙන්න කෙනෙක්ට නිදහස තියෙනවා. (1 පේතෘ. 5:2) ඒ වුණත් ඔහුට දිගටම ගෞරවයෙන් සලකන්න ඕනේ. මොකද ඔහු තවදුරටත් වැඩිමහල්ලෙක් විදිහට කටයුතු කළේ නැතත් සභාවේ යහපත වෙනුවෙන් හුඟක් දේවල් කරන්න ඔහුට අවස්ථාව තියෙනවා.
සභාව රැකබලා ගන්නා සහෝදරයන්ගේ වගකීම්
25 වැඩිමහල්ලන් සභාවේ විවිධ වගකීම් ඉටු කරනවා. හැම සභාවකම වැඩිමහල් මණ්ඩලයේ සම්බන්ධීකාරක, ලේකම්, සේවා සංවිධායක, ‘මුරටැඹ’ පාඩම මෙහෙයවන්නා සහ ජීවිතය සහ දේවසේවය සඳහා රැස්වීම මෙහෙයවන්නා විදිහට කටයුතු කරන්න වැඩිමහල්ලන්ව පත් කරලා තියෙනවා. හුඟක් වැඩිමහල්ලන් කණ්ඩායම් භාර වැඩිමහල්ලන් විදිහට කටයුතු කරනවා. ඒ එක වගකීමක්වත් නිශ්චිත කාලයකට සීමා කරලා නැහැ. හැබැයි යම් වගකීමක් ඉටු කරන වැඩිමහල්ලෙක්ගේ සභාව මාරු වුණොත් හරි අසනීප වුණොත් හරි බයිබලයේ තියෙන සුදුසුකම්වලට එකඟව ජීවත් වෙන්න අසමත් වුණොත් හරි ඒ වගකීම ඉටු කරන්න වෙන වැඩිමහල්ලෙක්ව පත් කරනවා. වැඩිමහල්ලන් අඩු සභාවල අලුතින් වැඩිමහල්ලන් පත් වෙන කල් සමහර වැඩිමහල්ලන්ට වගකීම් කිහිපයක්ම ඉටු කරන්න සිද්ධ වෙයි.
26 වැඩිමහල් මණ්ඩලයේ සම්බන්ධීකාරක විදිහට වැඩ කරන සහෝදරයා තමයි වැඩිමහල්ලන්ගේ රැස්වීම්වලදී සභාපති විදිහට කටයුතු කරන්නේ. දෙවියන්ගේ රැළ රැකබලා ගන්නා අනිත් වැඩිමහල්ලන් එක්ක ඔහු හරිම නිහතමානීව වැඩ කරනවා. (රෝම 12:10; 1 පේතෘ. 5:2, 3) ඔහු දේවල් හොඳින් සංවිධානය කරමින් තම වගකීම් උද්‍යෝගයෙනුත් කඩිසරවත් ඉටු කරන්න ඕනේ.—රෝම 12:8.
27 සභාවේ ලේකම් විදිහට වැඩ කරන සහෝදරයාට තමයි සභාවට අදාළ හැම වාර්තාවක්ම සකස් කරන එකත් ලැබෙන ලිපිවල ඇති වැදගත් තොරතුරු අනිත් වැඩිමහල්ලන්ට දැනුම් දෙන එකත් පැවරිලා තියෙන්නේ. ඔහුට සහයෝගය දෙන්න තවත් වැඩිමහල්ලෙක්ව හරි සුදුසුකම් තියෙන සහායක සේවකයෙක්ව හරි පත් කරන්න පුළුවන්.
28 දේශනා සේවය සැලසුම් කරන එක ඇතුළු සේවයට සම්බන්ධ හැම කාරණයක්ම සැලසුම් කිරීමේ වගකීම තියෙන්නේ සේවා සංවිධායකට. හැම මාසයකම එක සති අන්තයක ක්ෂේත්‍ර සේවා කණ්ඩායමක් එක්ක වැඩ කරන්න පුළුවන් විදිහට ඔහු දේවල් සැලසුම් කරනවා. හැබැයි කණ්ඩායම් කිහිපයක් විතරක් තියෙන සභාවක නම් හැම කණ්ඩායමක් එක්කම අවුරුද්දකට දෙවතාවක් වැඩ කරන්න සැලසුම් කරන්න පුළුවන්. ඒ විදිහට කණ්ඩායමක් එක්ක වැඩ කරන්න ගියාම ඔහු තමයි සේවයට කලින් පවත්වන රැස්වීම මෙහෙයවන්නේ. එදාට කණ්ඩායමේ අයත් එක්ක සේවයේ හවුල් වෙන ඔහු ඔවුන් එක්ක නැවත බැලීම් සහ බයිබල් පාඩම්වලටත් හවුල් වෙනවා.
කණ්ඩායම භාර වැඩිමහල්ලා
29 කණ්ඩායම භාර වැඩිමහල්ලා විදිහට වැඩ කරන්න ලැබෙන එක ඇත්තෙන්ම ලොකු වරප්‍රසාදයක්. ඔහුගේ වගකීම් අතරට (1) කණ්ඩායමේ එක් එක් කෙනාට දෙවියන්ට ළං වීමට උදව් කරන්න පුළුවන් පැති ගැන අවධානය දීම, (2) ඒ එක් එක් කෙනාට අර්ථවත් විදිහට සහ ප්‍රීතියෙන් නොකඩවාම සේවයේ හවුල් වෙන්න උදව් කිරීම, (3) කණ්ඩායමේ ඉන්න සහායක සේවකයන්ට සභාවේ වගකීම් තවත් හොඳින් ඉටු කරන්න අවශ්‍ය උපකාරය සහ පුහුණුව ලබා දීම අයිතියි. වැඩිමහල් මණ්ඩලය කණ්ඩායම භාර වැඩිමහල්ලා හැටියට පත් කරන්නේ ඒ හැම වගකීමක්ම හොඳින් ඉටු කරන්න පුළුවන් කෙනෙක්වයි.
30 කණ්ඩායම භාර සහෝදරයාට ලොකු වගකීමක් තියෙන නිසා ඒ සඳහා වැඩිමහල්ලෙක්ව පත් කරන එක සුදුසුයි. සභාවක වැඩිමහල්ලන් අඩු නම් සුදුසුකම් තියෙන සහායක සේවකයෙක්ට පුළුවන් වැඩිමහල්ලෙක් ඒ පැවරුම භාරගන්න කල් ඒ වගකීම ඉටු කරන්න. ඒ කෙනා වැඩිමහල්ලෙක් හැටියට කටයුතු කරන්නේ නැති නිසා ඔහුව හඳුන්වන්නේ කණ්ඩායම් සේවක කියලයි. වැඩිමහල්ලන්ගේ මඟ පෙන්වීම යටතේ තමයි ඔහු ඒ වගකීම ඉටු කරන්නේ.
31 කණ්ඩායම භාර වැඩිමහල්ලා තමයි සේවයේදී පෙරමුණ අරන් කටයුතු කරන්නේ. ඔහු උද්‍යෝගයෙන් නොකඩවා සේවයේ හවුල් වෙද්දී කණ්ඩායමේ ඉන්න හැමෝම ඒකෙන් දිරිගැන්වෙනවා. කණ්ඩායමක් විදිහට සේවයේ හවුල් වෙලා දිරිගැන්වීමක් ලබන්න හැමෝම ඉන්නේ ලොකු ආසාවකින්. ඒ නිසා කණ්ඩායමේ ඉන්න වැඩි පිරිසකට සේවයේ හවුල් වෙන්න පුළුවන් විදිහට කණ්ඩායම භාර වැඩිමහල්ලා කලින්ම සේවය සැලසුම් කරන එක හුඟක් වැදගත්. (ලූක් 10:1-16) ඒ වගේම හැම අවස්ථාවකදීම සේවයේ යන්න ඇති තරම් ප්‍රදේශයක් තියෙනවාද කියලත් ඔහු සැලකිලිමත් වෙන්න ඕනේ. සාමාන්‍යයෙන් ඔහු තමයි සේවයේ යන්න කලින් පවත්වන රැස්වීම මෙහෙයවලා ප්‍රචාරකයන්ව සේවයට පිටත් කරන්නේ. ඔහු සේවයේ යන්නේ නැති අවස්ථාවලදී ඒ වෙනුවෙන් වෙනත් වැඩිමහල්ලෙක්ව හරි සහායක සේවකයෙක්ව හරි සූදානම් කරන්න ඕනේ. එහෙමත් නැත්නම් සුදුසුකම් තියෙන ප්‍රචාරකයෙක්ට ඒ වගකීම භාර දෙන්න ඕනේ. එතකොට ප්‍රචාරකයන්ට කිසිම ප්‍රශ්නයක් නැතුව සේවයේ හවුල් වෙන්න පුළුවන් වෙනවා.
32 සේවා සංවිධායක කණ්ඩායම එක්ක සේවයේ හවුල් වෙන්න එද්දී කණ්ඩායම භාර වැඩිමහල්ලා කල්තියාම ඒ වෙනුවෙන් සැලසුම් කරන්න ඕනේ. ඔහු පැමිණෙන දවස ගැනත් ඔහුගේ පැමිණීමෙන් ලැබෙන ප්‍රයෝජන ගැනත් කණ්ඩායමේ හැමෝවම දැනුවත් කරන්න ඕනේ. එතකොට ඒ සැලැස්මට උපරිමයෙන් සහාය දෙන්න හැමෝටම පුළුවන් වෙනවා.
33 සාමාන්‍යයෙන් එක කණ්ඩායමකට ඇතුළත් කරන්නේ ප්‍රචාරකයන් ටිකදෙනෙක්ව විතරයි. ඒ නිසා කණ්ඩායම භාර වැඩිමහල්ලාට පුළුවන් වෙනවා කණ්ඩායමේ හැමෝවම හොඳින් හඳුනාගන්න. ප්‍රේමණීය එඬේරෙක් වගේ ඔහු හැම කෙනා ගැනම සැලකිලිමත් වෙනවා. සේවයේ හවුල් වෙන්නත් රැස්වීම්වලට හොඳින් සහභාගි වෙන්නත් එක් එක් කෙනාව දිරිගන්වන ඔහු ඒ සඳහා ඔවුන්ට අවශ්‍ය උපකාර ලබා දෙනවා. ඊට අමතරව එක් එක් කෙනාට දෙවියන් එක්ක තියෙන බැඳීම ශක්තිමත් කරගන්න උදව් කරන්නත් ඔහු සූදානමින් ඉන්නවා. අසනීප වෙලා හරි මානසිකව වැටිලා හරි ඉන්න අයව බලන්න ගිහින් ඒ අයවත් දිරිගන්වනවා. ඔහු ලබා දෙන යෝජනාවක් නැත්නම් උපදෙසක් නිසා සභාවේ අමතර වගකීම් දරමින් සභාවේ අය වෙනුවෙන් සේවය කරන්න කෙනෙක් පෙලඹෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් කණ්ඩායම භාර වැඩිමහල්ලා තමන්ගේ කණ්ඩායමේ ප්‍රචාරකයන් ගැන වැඩි අවධානයක් දෙනවා තමයි. හැබැයි වැඩිමහල්ලෙක් සහ එඬේරෙක් විදිහට ඔහු සභාවේ ඉන්න හැමෝම ගැන සැලකිලිමත් වෙමින් ඔවුන්ට අවශ්‍ය කරන උපකාර ලබා දෙන්න සූදානමින් ඉන්නවා.—ක්‍රියා 20:17, 28.
34 කණ්ඩායම භාර වැඩිමහල්ලා තමයි කණ්ඩායමේ ඉන්න අයගේ ක්ෂේත්‍ර සේවා වාර්තා එකතු කරන්නේ. ඒ වාර්තා ඔහු සභාවේ ලේකම්ට ලබා දෙනවා. හැම මාසයක්ම අවසානයේදී තමන්ගේ ක්ෂේත්‍ර සේවා වාර්තාව ඔහුට ලබා දීමෙන් නැත්නම් සභාවේ වාර්තා දාන්න තියෙන පෙට්ටියට දාන එකෙන් ඔහුට සහාය වෙන්න කණ්ඩායමේ හැම කෙනෙක්ටම පුළුවන්.
සභාවේ සේවා කමිටුව
35 සේවා කමිටුවට ඇතුළත් වෙන්නේ වැඩිමහල් මණ්ඩලයේ සම්බන්ධීකාරක, ලේකම් සහ සේවා සංවිධායකයි. ඒ අයට වගකීම් කිහිපයක්ම අයිති වෙනවා. උදාහරණෙකට විවාහයකදී හරි අවමංගල්‍යයකදී හරි දේශනයක් දෙන්න නමස්කාර මධ්‍යස්ථානය භාවිත කරන්න අවසර දෙනවාද කියලා ඔවුන් තීරණය කරනවා. සභාවේ අයව ක්ෂේත්‍ර සේවා කණ්ඩායම්වලට බෙදන වගකීම තියෙන්නෙත් ඔවුන්ට. සහායක පුරෝගාමි සේවය, ස්ථාවර පුරෝගාමි සේවය ඇතුළු වෙනත් විශේෂ සේවයන් සඳහා ලැබෙන අයදුම්පත් අනුමත කරනවාද නැද්ද කියලත් ඔවුන් තීරණය කරනවා. සේවා කමිටුව වැඩ කරන්නේ වැඩිමහල් මණ්ඩලයේ මඟ පෙන්වීම අනුවයි.
36 සේවා කමිටුවේ සහෝදරයන්ට, ‘මුරටැඹ’ පාඩම මෙහෙයවන්නාට, ජීවිතය සහ දේවසේවය සඳහා රැස්වීම මෙහෙයවන්නාට සහ වැඩිමහල් මණ්ඩලයේ අනිත් හැම වැඩිමහල්ලෙක්ටම අයිති නිශ්චිත වගකීම් ගැන ශාඛා කාර්යාලය දැනුවත් කරනවා.
37 සභාවක් විදිහට දියුණු වෙන්න ඕන පැති ගැන සාකච්ඡා කරන්න වැඩිමහල් මණ්ඩලය අවුරුද්දකට කිහිප වතාවක් රැස් වෙනවා. චාරිකා සේවක සභාවට එන සතියේ පවත්වන වැඩිමහල්ලන්ගේ රැස්වීමට අමතරව හැම චාරිකා සතියකින්ම මාස තුනකට විතර පස්සෙත් වැඩිමහල්ලන්ගේ රැස්වීමක් පවත්වනවා. කොහොමවුණත් සභාවේ යම් කාරණයක් ගැන සාකච්ඡා කරන්න ඕනෙ කියලා හැඟෙන ඕනම අවස්ථාවක ඔවුන්ට රැස් වෙන්න පුළුවන්.
පෙරමුණ ගෙන ක්‍රියා කරන අයට යටත් වෙන්න
38 වැඩිමහල්ලන්ටත් පව්කාරකම උරුම වෙලා තියෙනවා. හැබැයි ඔවුන්ව පත් කරලා තියෙන්නේ යෙහෝවා දෙවියන් නිසා සභාවේ හැමෝම ඔවුන්ට යටත් වෙන්න ඕනේ. තමන් ක්‍රියා කරන විදිහ ගැන දෙවියන්ට ගණන් දෙන්න වැඩිමහල්ලන්ට සිද්ධ වෙනවා. ඔවුන් දෙවියන්වත් දෙවියන්ගේ ධර්මිෂ්ඨ පාලනයත් නියෝජනය කරනවා. හෙබ්‍රෙව් 13:17 සඳහන් මේ දේ බලන්න. “ඔබ අතරෙහි පෙරමුණ ගෙන ක්‍රියා කරන අයට කීකරු වන්න. එලෙසම ඔවුන්ට යටත් වී සිටින්න. ඔබ එසේ කළොත් ඔවුන්ට තම කාර්යය සුසුම්ලමින් නොව ප්‍රීතියෙන් කිරීමට හැකි වේ. මන්ද ඔබ ගැන ගණන් දිය යුතු අය ලෙස ඔවුහු ඔබ ගැන සෝදිසියෙන් සිටිති. තම කාර්යය සුසුම්ලමින් කිරීමට සිදු වුවහොත් එයින් ඔබට හානියක් සිදු වේ.” වැඩිමහල්ලන් දෙවියන්ගේ බලයේ ක්‍රියාකාරිත්වය නිසා ඇති වෙන ගුණාංග දිගටම වර්ධනය කරගන්න එකත් බයිබලයේ සඳහන් සුදුසුකම් දිගටම පවත්වාගන්න එකත් වැදගත්. එහෙම කරන්න අසමත් වුණොත් ඔවුන්ව වැඩිමහල්ලන් විදිහට පත් කරපු යෙහෝවා දෙවියන්ට පුළුවන් ඔවුන්ව ඒ වගකීමෙන් ඉවත් කරන්න.
39 සභාව රැකබලා ගන්න වෙහෙස නොබලා වැඩ කරන වැඩිමහල්ලන්ව අගය කරන්න අපි පෙලඹෙන්නේ නැද්ද! තෙසලෝනික සභාවේ අයව පාවුල් මෙහෙම දිරිගැන්නුවා. “සහෝදරයෙනි, ඔබ අතරෙහි වෙහෙසී වැඩ කරන, ස්වාමීන් වෙනුවෙන් ඔබ අතරෙහි පෙරමුණ ගෙන කටයුතු කරන, ඔබට උපදෙස් හා අවවාද ලබා දෙන අයව සුළු කොට නොතකන්න කියා ඔබෙන් ඉල්ලා සිටිමු. එමෙන්ම ඔවුන් කරන සේවය නිසා ඔවුන්ට ඉමහත් ප්‍රේමයකින් ගෞරවය දක්වන්න කියාත් ඉල්ලා සිටිමු.” (1 තෙස. 5:12, 13) වැඩිමහල්ලන් වෙහෙස නොබලා වැඩ කරන නිසා දෙවියන්ට කරන සේවය සතුටින් වගේම පහසුවෙන් කරගෙන යන්න අපිට පුළුවන් වෙලා තියෙනවා. වැඩිමහල්ලන් සම්බන්ධයෙන් අපිට තියෙන්න ඕන ආකල්පය ගැන පාවුල් මෙහෙම කියලා තියෙනවා. “සභා වැඩකටයුතුවලදී හොඳින් පෙරමුණ ගෙන ක්‍රියා කරන වැඩිමහල්ලන්, විශේෂයෙන්ම දෙවි පවසන දේවල් ගැන කතා කිරීමටත් ඉගැන්වීමටත් මහත් වෙහෙසක් දරන වැඩිමහල්ලන් වැඩි ගෞරවයක් ලැබීමට සුදුස්සන් බව සැලකිල්ලට ගන්න.”—1 තිමෝ. 5:17.
සංවිධානය තුළ සහෝදරයන්ට තියෙන තවත් වගකීම්
40 සමහර වැඩිමහල්ලන්ට රෝගීන් බලන්න යන කණ්ඩායම්වලත් (PVG) තවත් අයට රෝහල් සබඳතා කමිටුවලත් (HLC) වැඩ කරන්න අවස්ථාව ලැබෙනවා. රෝහල් සබඳතා කමිටුවල වැඩ කරන සහෝදරයන් වෛද්‍යවරුන්ව මුණගැහිලා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට රුධිරය රහිත ශල්‍යකර්ම කරන්න ඔවුන්ව දිරිගන්වනවා. ඒ වගේම එහෙම කරන්න පුළුවන් ක්‍රම ගැනත් ඔවුන් වෛද්‍යවරුන්ව දැනුවත් කරනවා. නමස්කාර මධ්‍යස්ථාන වගේම සමුළු ශාලා ඉදි කිරීමේ සහ නඩත්තු කිරීමේ කණ්ඩායම් එක්කත් සමුළු කමිටුවලත් වැඩ කරන්න සමහර වැඩිමහල්ලන්ට අවස්ථාව ලැබෙනවා. මේ සහෝදරයන් හැමෝම කැමැත්තෙන්ම වෙහෙසිලා කරන ඒ සේවය, සංවිධානයේ ඉන්න හැමෝම හුඟක් අගය කරනවා. ඒ “පුරුෂයන්ට නිසි ගෞරවය දක්වන්න” අපි වගබලා ගන්න ඕනේ.—ෆිලි. 2:29.
චාරිකා සේවක
41 සුදුසුකම් තියෙන සහෝදරයන්ව චාරිකා සේවකයන් විදිහට පත් කරන්නේ පාලක මණ්ඩලයේ මඟ පෙන්වීම යටතෙයි. චාරිකා සේවකයන් ඔවුන්ට පවරලා තියෙන චාරිකාවට අයිති හැම සභාවකටම අවුරුද්දකට දෙවතාවක් යනවා. කාලෙන් කාලෙට ඔවුන් ජනාකීර්ණ නැති දුර පළාත්වල ඉන්න පුරෝගාමීන්වත් බලන්න යනවා. ඒ පැවරුම් ඔවුන්ට ලැබෙන්නේ ශාඛා කාර්යාලයෙන්. හැම සභාවකටම යන්න කලින් ඔවුන් ඒ ගැන කල් ඇතුව සභාවලට දැනුම් දෙන්නේ ඒකෙන් හැමෝටම ප්‍රයෝජන ගන්න පුළුවන් වෙන නිසයි.
42 චාරිකා සතියෙන් හැමෝටම ප්‍රයෝජන ගන්න පුළුවන් විදිහට වැඩිමහල් මණ්ඩලයේ සම්බන්ධීකාරක චාරිකා සතියට අවශ්‍ය දේවල් කලින්ම සූදානම් කරනවා. (රෝම 1:11, 12) චාරිකා සේවක දැනුම් දෙන තොරතුරුවලට අනුව ඔහුටත් (විවාහක නම්) ඔහුගේ බිරිඳටත් අවශ්‍ය දේවල් කලින්ම සැලසුම් කරන්න සම්බන්ධීකාරක වගබලා ගන්නවා. ඒකට ඔහු තවත් සහෝදරයන්වත් හවුල් කරගන්නවා. ඒ වගේම චාරිකා සේවක ඇතුළු අනිත් හැමෝටම ඒ සැලසුම් ගැන දැනුම් දෙන්න ඔහු වගබලා ගන්නවා.
43 ක්ෂේත්‍ර සේවා රැස්වීම් ඇතුළු චාරිකා සතියේ පවත්වන අනිත් හැම රැස්වීමක්ම සැලසුම් කරලා තියෙන විදිහ ගැන චාරිකා සේවක සම්බන්ධීකාරකගෙන් තොරතුරු දැනගන්නවා. ඒ හැම දෙයක්ම සැලසුම් කරන්නේ චාරිකා සේවකගේ යෝජනා සහ ශාඛා කාර්යාලයෙන් ලැබෙන මඟ පෙන්වීම්වලට අනුවයි. චාරිකා සතියේ හැම රැස්වීමක්ම පවත්වන ස්ථාන සහ වේලාවන් ගැන සභාවේ හැමෝවම කලින් දැනුවත් කරන්න ඕනේ. ඒ රැස්වීම්වලට සභා රැස්වීම්, ක්ෂේත්‍ර සේවා රැස්වීම්, පුරෝගාමි රැස්වීම, වැඩිමහල්ලන් සහ සහායක සේවකයන් එක්ක පවත්වන රැස්වීම ඇතුළත්.
44 අඟහරුවාදා දවල් කාලයේදී චාරිකා සේවක ‘සභාවේ ප්‍රචාරක වාර්තා,’ රැස්වීම්වලට පැමිණීමේ වාර්තා, දේශනා කිරීමට සභාවට පවරා තියෙන ප්‍රදේශයට අදාළ වාර්තා සහ ගිණුම් වාර්තා සෝදිසි කරලා බලනවා. සභාවටත් ඒ වාර්තා සකස් කරන අයටත් උපකාර අවශ්‍ය කරන්නේ මොන පැතිවලින්ද කියලා තේරුම්ගන්න ඒ තොරතුරු ඔහුට උදව් වෙනවා. වැඩිමහල් මණ්ඩලයේ සම්බන්ධීකාරක ඒ වාර්තාවන් චාරිකා සේවකට කල් ඇතුව ලැබෙන්න සලස්වන්න ඕනේ.
45 චාරිකා සේවක සභාවකට ආවාම රැස්වීම්වලදී, සේවයේ හවුල් වෙද්දී, සහෝදරයන්ගේ නිවෙස්වල කෑම ගනිද්දී සහ වෙනත් අවස්ථාවලදී සභාවේ එක් එක් සහෝදරයන් එක්ක කතා කරනවා. ඊට අමතරව ඔහු වැඩිමහල්ලන් එක්කත් සහායක සේවකයන් එක්කත් රැස් වෙලා ඔවුන්ට අවශ්‍ය මඟ පෙන්වීම් සහ යෝජනා දීලා වගකීම් හොඳින් ඉටු කරන්න ඔවුන්ව දිරිගන්වනවා. (හිතෝ. 27:23; ක්‍රියා 20:26-32; 1 තිමෝ. 4:11-16) ඒ වගේම ඔහු පුරෝගාමීන් එක්කත් රැස්වීමක් පවත්වලා සේවය හොඳින් කරගෙන යන්න ඔවුන්ව දිරිගන්වනවා. සේවයේදී ඔවුන් යම් ප්‍රශ්නවලට මුහුණ දෙනවා නම් ඒවා ජය ගන්න පුළුවන් විදිහ ගැනත් කියනවා.
46 ඊට අමතරව සභාවේ හසුරුවන්න ඕන වෙනත් කාරණා තියෙනවා නම් චාරිකා සතිය ඇතුළත ඒ වෙනුවෙන් අවශ්‍ය කරන උපකාරය දෙන්න චාරිකා සේවක වෑයම් කරනවා. ඒ ප්‍රශ්න ඒ සතිය තුළ විසඳලා ඉවර කරන්න බැරි ඒවා නම් ඉක්මනින් ඒවා විසඳගන්න උදව් වෙන බයිබල් ප්‍රතිපත්ති හොයලා බලන්න වැඩිමහල්ලන්ට එහෙමත් නැත්නම් ඒ කාරණයට සම්බන්ධ අනිත් අයට මඟ පෙන්වන්න චාරිකා සේවකට පුළුවන්. ඒ සම්බන්ධයෙන් ශාඛා කාර්යාලයේ මඟ පෙන්වීම් අවශ්‍ය නම් චාරිකා සේවක සහ අනිත් වැඩිමහල්ලන් සියලුම තොරතුරු ඇතුළත් වාර්තාවක් ශාඛා කාර්යාලයට යවනවා.
47 චාරිකා සේවක සභාවක් බලන්න ගියාම ඒ සතිය පුරා රැස්වීම්වලට සහභාගි වෙන්නේ ඒ සභාවත් එක්කයි. ශාඛා කාර්යාලයෙන් ලැබෙන මඟ පෙන්වීම්වලට අනුව ඒ රැස්වීම් සම්බන්ධයෙන් යම් වෙනස්කම් සිද්ධ වෙන්න පුළුවන්. සභාවේ අයව දිරිගැන්වෙන විදිහටත්, ක්‍රියාවට පෙලඹෙන විදිහටත් ඒ වගේම සභාව ශක්තිමත් වෙන විදිහටත් චාරිකා සේවක දේශන ඉදිරිපත් කරනවා. ඔහු උත්සාහ කරන්නේ සභාවේ අයට යෙහෝවා දෙවියන් ගැන, යේසුස් ගැන සහ සංවිධානය ගැන තියෙන ආදරය තවත් වැඩි කරන්නයි.
48 සභාවේ හැමෝටම උද්‍යෝගයෙන් සේවයේ හවුල් වෙන්න දිරිගන්වලා සේවය සාර්ථකව කරන්න උදව් වෙන යෝජනා ඉදිරිපත් කරන එක චාරිකා සතියේ එක අරමුණක් වෙනවා. ඒ සතියේ තමන්ගේ වැඩකටයුතු සැලසුම් කරගෙන වැඩිපුර සේවයක් කරන්න, සමහරවිට සහායක පුරෝගාමි සේවය කරන්න සභාවේ හුඟක් අයට අවස්ථාව තියෙයි. චාරිකා සේවක එක්ක හරි ඔහුගේ බිරිඳ එක්ක හරි සේවයේ හවුල් වෙන්න කැමති අය ඉන්නවා නම් ඒක කලින්ම සැලසුම් කරගන්න පුළුවන්. චාරිකා සේවකව නැත්නම් ඔහුගේ බිරිඳව බයිබල් පාඩම්වලට සහ නැවත බැලීම්වලට එක්කන් යන එකෙන් හුඟක් ප්‍රයෝජන ගන්න පුළුවන්. චාරිකා සතියේ සැලසුම්වලට උපරිමයෙන් සහාය වෙන්න ඔයා දරන වෑයම ඇත්තෙන්ම අගය කරන්න වටිනවා.—හිතෝ. 27:17.
49 හැම අවුරුද්දකම චාරිකා සමුළු දෙකක් පවත්වනවා. ඒ සමුළු සංවිධානය කරන වගකීම තියෙන්නේ චාරිකා සේවකට. ඔහු ඒ වෙනුවෙන් සමුළු සේවකයෙක්වත් ඔහුට සහාය වෙන්න තවත් සහෝදරයෙක්වත් පත් කරනවා. ඔවුන් දෙන්නා චාරිකා සේවකගේ මඟ පෙන්වීම යටතේ වැඩකටයුතු සංවිධානය කරන නිසා සමුළු වැඩසටහනට අදාළ කාරණාවලට සම්පූර්ණ අවධානය දෙන්න චාරිකා සේවකට පුළුවන්. විවිධ අංශවල වැඩකටයුතු අධීක්ෂණය කරන්නත් චාරිකා සේවක සහෝදරයන් කිහිපදෙනෙක්ව පත් කරනවා. ඒ වගේම හැම සමුළුවක්ම අවසානයේදී චාරිකාවේ ගිණුම් විගණනය කරන්නත් ඔහු කෙනෙක්ව පත් කරනවා. අවුරුද්දේ එක චාරිකා සමුළුවකට ශාඛා කාර්යාල නියෝජිතයෙක් ආගන්තුක කථිකයා හැටියට සහභාගි වෙනවා. දුර ප්‍රමාණය සහ සමුළු ශාලාවේ ප්‍රමාණය අනුව සමහර චාරිකාවන් කොටස් කිහිපයකට වෙන් කරලා වෙන වෙනම සමුළු පවත්වන්නත් ඉඩ තියෙනවා.
50 චාරිකා සේවක හැම මාසයක් අවසානයේම තමන්ගේ ක්ෂේත්‍ර සේවා වාර්තාව ශාඛා කාර්යාලයට ලබා දෙනවා. ප්‍රවාහණය, කෑම, නවාතැන් ඇතුළු සේවයට අදාළ තවත් දේවල් සඳහා පෞද්ගලිකව දරන්න සිද්ධ වුණු මුදල අදාළ සභාවෙන් පියවුණේ නැති අවස්ථාවලදී ඒ වියදම ශාඛා කාර්යාලයෙන් ලබාගන්න චාරිකා සේවකට පුළුවන්. දේවරාජ්‍යයේ වැඩකටයුතුවලට මුල් තැන දෙද්දී යේසුස් පොරොන්දු වුණු විදිහට අනිවාර්යයෙන්ම තමන්ට අවශ්‍ය දේවල් දෙන්න දෙවියන් වගබලා ගන්නවා කියලා චාරිකා සේවකයන් හොඳින්ම විශ්වාස කරනවා. (ලූක් 12:31) දෙවියන්ට කැප වෙලා සභාවන් වෙනුවෙන් සේවය කරන චාරිකා සේවකයන්ට ආගන්තුක සත්කාරය පිරිනමන්න ලැබිලා තියෙන වරප්‍රසාදය අගය කරන්න සහෝදරයන් කැමැත්තෙන් ඉන්න බවට සැකයක් නැහැ.—3 යොහ. 5-8.
ශාඛා කමිටුව
51 යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලවල සුදුසුකම් තියෙන සහෝදරයන් තුන්දෙනෙක් නැත්නම් ඊට වැඩිදෙනෙක් ශාඛා කමිටුවේ සාමාජිකයන් විදිහට සේවය කරනවා. ඒ සහෝදරයන් තමයි තමන්ගේ ශාඛා කාර්යාලය යටතේ තියෙන රටේ නැත්නම් රටවල්වල දේශනා සේවයට අදාළ වැඩකටයුතු අධීක්ෂණය කරන්නේ. එක සහෝදරයෙක් ශාඛා කමිටුවේ සම්බන්ධීකාරක විදිහට කටයුතු කරනවා.
52 ශාඛා කමිටුව තමයි ඔවුන්ගේ අධීක්ෂණය යටතේ තියෙන හැම සභාවකටම බලපාන දේවල් ගැන හොයලා බලන්නේ. සභාවන් සහ චාරිකාවන් පිහිටුවන්න සැලසුම් යොදන්නෙත් ශාඛා කමිටුවයි. එහෙම කරන්නේ බයිබලයේ සඳහන් සත්‍යය මිනිසුන්ට දැනුම් දීම සඳහා සහෝදරයන්ට අවශ්‍ය කරන මඟ පෙන්වීම් ලබා දෙන්නයි. මිෂනාරිවරුන්, විශේෂ පුරෝගාමීන්, ස්ථාවර පුරෝගාමීන් සහ සහායක පුරෝගාමීන් කරන සේවය ගැනත් ඔවුන් අවධානයෙන් ඉන්නවා. සමුළු පවත්වද්දී “සෑම දෙයක්ම ඔබිනා ලෙසත් පිළිවෙළකටත්” සිද්ධ වෙන්න ඕන නිසා ශාඛා කමිටුව හැම දෙයක්ම හොඳින් සැලසුම් කරනවා. ඒ වගේම අදාළ පැවරුම් සහෝදරයන්ට භාර දෙනවා.—1 කොරි. 14:40.
53 ශාඛා කමිටුවකින් රටවල් කිහිපයකම වැඩ අධීක්ෂණය වෙද්දී ඒ යටතේ තියෙන සමහර රටවල දේශීය කමිටුවක් පිහිටුවනවා. අදාළ රටේ සිද්ධ වෙන වැඩකටයුතුවලට වැඩි අවධානයක් දෙන්න ඒක උදව් වෙනවා. බෙතෙල් නිවසේ සහ කාර්යාලවල වැඩ, ලිපි සහ විවිධ වාර්තා සම්බන්ධ වැඩ ඇතුළු දේශනා සේවයට සම්බන්ධ හැම වැඩකටයුත්තක්ම සිද්ධ වෙන්නේ ඒ කමිටුව යටතෙයි. දේවරාජ්‍යයට සම්බන්ධ වැඩකටයුතු හොඳින් සිද්ධ කරන්න ශාඛා කමිටුවෙන් ලැබෙන මඟ පෙන්වීම් දේශීය කමිටුව අදාළ කරගන්නවා.
54 ශාඛා කමිටුවල සහ දේශීය කමිටුවල සේවය කරන්න සුදුසු අයව පත් කරන්නේ පාලක මණ්ඩලයයි.
මූලස්ථාන නියෝජිතයන්
55 පාලක මණ්ඩලය ලෝකෙ පුරාම පිහිටුවලා තියෙන ශාඛා කාර්යාලවලට සුදුසුකම් තියෙන සහෝදරයන්ව කාලෙන් කාලෙට යවනවා. ඒ සහෝදරයාව හඳුන්වන්නේ මූලස්ථාන නියෝජිත කියලයි. ඔහු මූලිකවම අවධානය දෙන්නේ බෙතෙල් පවුලේ අයව දිරිගන්වන්න සහ ශුභාරංචිය දේශනා කිරීමේ කාර්යය ඉටු කරද්දී යම් ප්‍රශ්න මතු වෙලා තියෙනවා නම් ඒ සම්බන්ධයෙන් ශාඛා කමිටුවට උදව් කරන්නයි. ඊට අමතරව තෝරාගත් චාරිකා සේවකයන්වත් සමහර අවස්ථාවලදී මිෂනාරි සේවකයන්වත් ඔහු මුණගැහෙනවා. ඒ වගේ අවස්ථාවලදී, ඒ අය මුහුණ දෙන ප්‍රශ්න සහ ඔවුන්ගේ අවශ්‍යතාවන් ගැන සලකා බලන ඔහු දේශනා සේවයේ සහ මිනිසුන්ට යේසුස්ගේ ගෝලයන් වෙන්න උපකාර කරන වැඩයේ සාර්ථකව නියැලෙන්න ඔවුන්ව දිරිගන්වනවා.
56 මූලස්ථාන නියෝජිත යම් රටකට ගියාම ඒ රටේ දේශනා සේවයට සම්බන්ධ වැඩකටයුතු ඇතුළු සභාවල වැඩකටයුතුවලටත් අවධානය දෙනවා. අවස්ථාවක් ලැබුණොත් ඔහු ප්‍රාදේශීය පරිවර්තන කාර්යාලවලටත් යනවා. යම් ශාඛා කාර්යාලයකට ගියාම ඔහු පුළුවන් උපරිමයෙන් දේශනා සේවයේ හවුල් වෙන්නත් වගබලා ගන්නවා.
රැළ රැකබලා ගන්න අයට අපි දිගටම කීකරු වෙද්දී ක්‍රිස්තියානි සභාවේ නායකයා වන යේසුස් එක්ක එක්සත්ව ඉන්න අපිට පුළුවන් වෙනවා
ප්‍රේමයෙන් රැළ රැකබලා ගන්නන්
57 අවබෝධයෙන් කටයුතු කරන මේ පුරුෂයන් කඩිසරව වැඩ කරමින් අපි ගැන සැලකිලිමත් වෙන නිසා අපි කොයි තරම් ප්‍රයෝජන ලබනවාද! රැළ රැකබලා ගන්න අයට අපි දිගටම කීකරු වෙද්දී ක්‍රිස්තියානි සභාවේ නායකයා වන යේසුස් එක්ක එක්සත්ව ඉන්න අපිට පුළුවන් වෙනවා. (1 කොරි. 16:15-18; එෆී. 1:22, 23) ප්‍රතිඵලයක් විදිහට ලෝකෙ පුරාම තියෙන සභාවන්වලට දෙවියන්ගේ බලය ලැබෙනවා. ඒ වගේම දෙවියන්ගේ වචනයේ සඳහන් මඟ පෙන්වීම්වලට එකඟව ලෝකෙ පුරාම වැඩකටයුතු සිද්ධ වෙනවා.—ගීතා. 119:105.
-
-
වැදගත් සේවයක් ඉටු කරන සහායක සේවකයන්යෙහෝවා දෙවියන්ගේ කැමැත්ත කරන්න සංවිධානය වූ සෙනඟක්
-
-
6වෙනි පරිච්ඡේදය
වැදගත් සේවයක් ඉටු කරන සහායක සේවකයන්
පාවුල් ෆිලිප්පි සභාවට ලියපු ලියුම පටන්ගත්තේ මෙහෙමයි. “ක්‍රිස්තුස් යේසුස්ගේ දාසයන් වන පාවුල් සහ තිමෝති මෙම ලිපිය ලියන්නේ ක්‍රිස්තුස් යේසුස් සමඟ එකට බැඳී සිටින සභාව රැකබලා ගන්නන් සහ සහායක සේවකයන් ඇතුළු ෆිලිප්පියේ සිටින සියලු ශුද්ධ තැනැත්තන් වෙතටය.” (ෆිලි. 1:1) ඔහු සහායක සේවකයන්වත් ඒ ලිපියට ඇතුළත් කරලා තියෙනවා. ඒ අය වැඩිමහල්ලන්ට උපරිමයෙන් සහාය වුණා. අද ඉන්න සහායක සේවකයනුත් කටයුතු කරන්නේ ඒ විදිහටමයි. ඔවුන් වැඩිමහල්ලන්ට උපරිමයෙන් සහාය වෙන නිසා සභාවේ වැඩකටයුතු පිළිවෙළකට කරගෙන යන්න පුළුවන්.
2 ඔයාගේ සභාවේ ඉන්න සහායක සේවකයන්ව ඔයා දන්නවාද? සභාවේ හැමෝම වෙනුවෙන් ඒ අය මොන තරම් දේවල් කරනවාද කියලා ඔයා දන්නවාද? ඔවුන් වෙහෙස නොබලා කරන සේවය යෙහෝවා දෙවියන් අගය කරන බවට නම් සැකයක් නැහැ. පාවුල් ඔවුන් ගැන මෙහෙම කිව්වා. “හොඳින් සේවය කරන පුරුෂයන්ට සියලුදෙනා ඉදිරියේ හොඳ නමක් දිනාගැනීමටත් කිසි බියක් සැකක් නැතුව ක්‍රිස්තුස් යේසුස් කෙරෙහි ඇති තම විශ්වාසය ගැන කතා කිරීමටත් හැකියාව ලැබේ.”—1 තිමෝ. 3:13.
සහායක සේවකයන්ට තියෙන්න ඕන සුදුසුකම්
3 සහායක සේවකයන් ආදර්ශවත් ජීවිත ගත කරන, වගකීමෙන් වැඩ කරන වගේම තමන්ගේ පැවරුම හොඳින් ඉටු කරන අය වෙන්න ඕනේ. සහායක සේවකයන් වෙන්න කැමති අයට තියෙන්න ඕන සුදුසුකම් හැටියට පාවුල් සඳහන් කරලා තියෙන මේ දේවල් දිහා බලද්දී ඒක පැහැදිලි වෙනවා. “සහායක සේවකයන්ද ගෞරවනීයව හැසිරෙන, දිව දෙකේ කතා නොකියන, බොහෝ වයින් බීමට ලොල් නොවූ, අයුතු ලෙස ලාභ ලබාගැනීමට කෑදරකමින් කටයුතු නොකරන අය විය යුතුයි. එලෙසම ඔවුන් දෙවි ඉදිරියේ නිදොස් හෘදය සාක්ෂියක් ඇතුව දෙවිගේ පරිශුද්ධ රහසක් වන ක්‍රිස්තියානි ඉගැන්වීම්වලට ඇලී සිටින අය විය යුතුයි. මුලින්ම ඔවුන් සුදුස්සන්ද කියා සෝදිසි කර බැලිය යුතුයි. ඔවුන්ට විරුද්ධව කිසි චෝදනාවක් එල්ල වී නැත්නම් ඔවුන්ට එවැනි සේවයක් කළ හැක. සහායක සේවකයන්ටත් සිටිය යුත්තේ එක භාර්යාවක් පමණි. ඔවුන් තම දරුවන්වද තම නිවසේ සිටින අයවද හොඳින් රැකබලා ගන්නා අය විය යුතුයි.” (1 තිමෝ. 3:8-10, 12) ඒ සුදුසුකම් තියෙන අයව සහායක සේවකයන් හැටියට පත් කළාම සභාවේ වගකීම් දරන අය ගැන චෝදනා කරලා සභාවට දොස් කියන්න කිසිම කෙනෙක්ට පුළුවන් වෙන්නේ නැහැ.
4 සහායක සේවකයන් තරුණ වයසේ හිටියත් මහලු වයසේ හිටියත් ඔවුන් හැමෝම නොකඩවා දේශනා සේවයේ හවුල් වෙනවා. යේසුස්ව ආදර්ශයට ගන්නා ඔවුන් සේවයේ හවුල් වෙන්නේ ලොකු උද්‍යෝගයකින්. ඒකෙන් ඔවුන් පෙන්වන්නේ යෙහෝවා දෙවියන් වගේම ඔවුනුත් මිනිසුන් ගැලවෙනවා දකින්න ආශාවෙන් ඉන්නවා කියන එකයි.—යෙසා. 9:7.
5 සහායක සේවකයන් ඇඳුම් පැළඳුම්, කතාබහ, ආකල්ප සහ හැසිරීම අතින් ආදර්ශවත් අය වෙනවා. හොඳ සිහිකල්පනාවෙන් වැඩ කරන ඔවුන් අනිත් අයගේ ගෞරවයත් දිනාගන්නවා. දෙවියන් එක්ක තියෙන බැඳීමවත් සභාවේ වගකීම් ඉටු කරන්න ලැබිලා තියෙන වරප්‍රසාදයවත් ඔවුන් සැහැල්ලුවට ගන්නේ නැහැ.—තීත. 2:2, 6-8.
6 සහායක සේවකයන්ව පත් කරන්නේ ඔවුන් ‘සුදුස්සන්ද කියලා සෝදිසි කළාට’ පස්සෙයි. ඒ පැවරුම ලැබෙන්න කලින් ඉඳලාම ඔවුන් ඔප්පු කරලා තියෙනවා ඔවුන්ගේ ජීවිතයේ වැදගත්ම දේ යෙහෝවා දෙවියන්ට සේවය කරන එක කියලා. ඒ වගේම තමන් දේවරාජ්‍යයට මුල් තැන දෙනවා කියලත් දෙවියන්ට වැඩිපුර සේවයක් කරන්න ලැබෙන ඕනෙම වරප්‍රසාදයක් අත් කරගන්න වෑයම් කරනවා කියලත් ඔවුන් ඔප්පු කරලා තියෙනවා. ඔවුන් සභාවේ හැමෝටම හොඳ ආදර්ශයක්.—1 තිමෝ. 3:10.
සහායක සේවකයන් ඉටු කරන විවිධ පැවරුම්
7 සහායක සේවකයන් සභාව වෙනුවෙන් හුඟක් දේවල් කරන නිසා ඉගැන්වීමේ කටයුතුවලටත් සහෝදරයන්ව මුණගැහිලා දිරිගැන්වීමේ කටයුතුවලටත් මූලික අවධානය දෙන්න වැඩිමහල්ලන්ට පුළුවන්. වැඩිමහල් මණ්ඩලය සහායක සේවකයන්ට පැවරුම් දෙන්නේ ඔවුන්ගේ හැකියාවන් සහ සභාවේ අවශ්‍යතාවන් සැලකිල්ලට අරගෙනයි.
සහායක සේවකයන් සභාව වෙනුවෙන් හුඟක් දේවල් කරන නිසා ඉගැන්වීමේ කටයුතුවලටත් සහෝදරයන්ව මුණගැහිලා දිරිගැන්වීමේ කටයුතුවලටත් මූලික අවධානය දෙන්න වැඩිමහල්ලන්ට පුළුවන්
8 පොත් පත් භාරව කටයුතු කරන්න සහායක සේවකයෙක්ට පැවරෙන්න පුළුවන්. පෞද්ගලික පිටපත් වගේම සේවයට අවශ්‍ය කරන ප්‍රකාශන ලබාගන්න ඒක අපිට උදව් වෙනවා. සභාවේ ගිණුම් වාර්තා හරි සේවය කරන ප්‍රදේශයේ වාර්තා හරි සකස් කරන්න, මයික්‍රෆෝන හසුරුවන්න, ශබ්ද විකාශන යන්ත්‍ර මෙහෙයවන්න, පරිවාරකයන් විදිහට වැඩ කරන්න සහ වෙනත් විදිවලින් වැඩිමහල්ලන්ට උපකාර කරන්න වගේ පැවරුම් සහායක සේවකයන්ට පැවරෙන්න පුළුවන්. ඊට අමතරව නමස්කාර මධ්‍යස්ථානය නඩත්තු කරන්නත් ඒක පිරිසිදුව තියාගන්නත් හුඟක් වැඩ කරන්න සිද්ධ වෙන නිසා ඒ දේවලට උදව් කරන්න තවත් අයට පැවරුම් ලැබෙන්න පුළුවන්.
9 සමහර සභාවන්වල ඒ එක් එක් පැවරුම් සඳහා වෙන වෙනම සහායක සේවකයන්ව පත් කරන්න පුළුවන්. තවත් සභාවල පැවරුම් කිහිපයක්ම එක සහායක සේවකයෙක්ට ලැබෙන්න පුළුවන්. තවත් සභාවල එක පැවරුමක් ඉටු කරන්න සහායක සේවකයන් කිහිපදෙනෙක්ව පත් කරන්න ඉඩ තියෙනවා. සහායක සේවකයන් අඩු අවස්ථාවලදී ඒ පැවරුම් සඳහා බව්තීස්ම වුණු ආදර්ශවත් සහෝදරයන්ව පත් කරන්න වැඩිමහල් මණ්ඩලය තීරණය කරන්න පුළුවන්. ඉදිරියේදී ඒ අය සහායක සේවකයන් වුණාම තමන්ගේ පැවරුම් හොඳින් ඉටු කරන්න ඒ පුහුණුව ඔවුන්ට උදව් වෙයි. සාමාන්‍යයෙන් සහායක සේවකයන් විදිහට සහෝදරියන්ව පත් කරන්නේ නැහැ. හැබැයි ප්‍රමාණවත් සහෝදරයන් නැත්නම් යම් පැවරුම් ඉටු කරන්න ආදර්ශවත් සහෝදරියන්ව පත් කරන්න ඉඩ තියෙනවා. නමස්කාර කටයුතු සහ හැසිරීම සම්බන්ධයෙන් හොඳ නමක් දිනාගෙන තියෙන අයව තමයි ආදර්ශවත් අය විදිහට හඳුන්වන්නේ. රැස්වීම්වලට සහභාගි වීම, සේවයේ හවුල් වීම, පවුල් ජීවිතය ගෙවන විදිහ, විනෝදයට තෝරාගන්න දේවල්, අඳින පළඳින විදිහ ඇතුළු හැම පැත්තකින්ම ඒ අය අනිත් අයට ආදර්ශයක් වෙනවා.
10 වැඩිමහල්ලන් අඩු සභාවල බව්තීස්ම වෙන්න ආශාවෙන් ඉන්න අයත් එක්ක මේ පොතේ උපග්‍රන්ථයේ සඳහන් ප්‍රශ්න සාකච්ඡා කරන්න සුදුසුකම් තියෙන සහායක සේවකයන්ව පත් කරන්න පුළුවන්. බයිබල් ඉගැන්වීම්වලට අදාළ කොටස් සාකච්ඡා කරන්න තමයි ඔවුන්ව පත් කරන්නේ. ඔවුන් සාකච්ඡා කරන්නේ මේ පොතේ උපග්‍රන්ථයේ “බයිබල් සත්‍යයන්” යන මාතෘකාව යටතේ තියෙන 1වෙනි කොටසයි. “ක්‍රිස්තියානි ජීවිතය” යන මාතෘකාව යටතේ තියෙන 2වෙනි කොටසේ සඳහන් වෙන තොරතුරුවල ස්වභාවය නිසා ඒ කොටස සාකච්ඡා කරන්න ඕනෙ වැඩිමහල්ලෙක් විසිනුයි.
11 හොඳ හේතුවක් තිබුණොත් සහායක සේවකයෙක් ඉටු කරන පැවරුමක් වෙනත් සහායක සේවකයෙක්ට පවරන්න වැඩිමහල් මණ්ඩලය තීරණය කරන්න පුළුවන්. හැබැයි කෙනෙක් යම් කාලයක් පුරා එක පැවරුමක් ඉටු කරද්දී අද්දැකීම් ලබාගෙන ඒ සම්බන්ධයෙන් දක්ෂ වෙන්න ඔහුට පුළුවන් වෙනවා.
12 දියුණු වෙමින් ඉන්න සහායක සේවකයන්ට සභාවේ තත්වයන් අනුව අමතර පැවරුම් ලැබෙයි. (1 තිමෝ. 4:15) උදාහරණයකට වැඩිමහල්ලන් අඩු සභාවල කණ්ඩායම භාර වැඩිමහල්ලාට සහාය වෙන කෙනා විදිහට හරි වැඩිමහල්ලන්ගේ අධීක්ෂණය යටතේ කණ්ඩායම් සේවක විදිහට හරි වැඩ කරන්න පැවරුමක් ලැබෙන්න ඉඩ තියෙනවා. ජීවිතය සහ දේවසේවය සඳහා රැස්වීමේ කොටස් මෙහෙයවන්නත් අවශ්‍යතාවක් මතු වුණොත් ඒ රැස්වීමටම ඇතුළත් සභා බයිබල් පාඩම මෙහෙයවන්නත් ඔවුන්ට පැවරුමක් ලැබෙන්න පුළුවන්. ඒ වගේම බයිබල් දේශන ඉදිරිපත් කරන්නත් ඔවුන්ට පැවරුම් ලැබෙන්න පුළුවන්. යම් අවශ්‍යතාවන් මතු වුණොත් ඒ සඳහා අවශ්‍ය කරන සුදුසුකම් තියෙනවා නම් තවත් පැවරුම් පවා ඔවුන්ට ලැබෙන්න ඉඩ තියෙනවා. (1 පේතෘ. 4:10) වැඩිමහල්ලන්ට අවශ්‍ය උපකාර ලබා දෙන්න සහායක සේවකයන් කැමැත්තෙන්ම ඉදිරිපත් වෙන එක හුඟක් වැදගත්.
13 වැඩිමහල්ලන් ඉටු කරන පැවරුම්වලට වඩා සහායක සේවකයන් ඉටු කරන පැවරුම්වල වෙනසක් තියෙන බව ඇත්ත. ඒත් ඔවුන් ඉටු කරන පරිශුද්ධ සේවාවන් කොයිම විදිහකින්වත් අවතක්සේරු කරන්න බැහැ. ඔවුන් කරන සේවාවන් සභාවේ වැඩකටයුතු පිළිවෙළකට පවත්වාගෙන යන්න උදව් වෙනවා. සහායක සේවකයන් තම පැවරුම් හොඳින් ඉටු කරනවා නම් ඒ වගේම දක්ෂ ගුරුවරුන් සහ එඬේරුන් වෙන්න අවශ්‍ය සුදුසුකම් අත් කරගන්නවා නම් ඔවුන්ව වැඩිමහල්ලන් වෙන්න සුදුසු අය විදිහට නිර්දේශ කරන්න ඉඩ තියෙනවා.
14 ඔයා තරුණ සහෝදරයෙක් නම් එහෙමත් නැත්නම් ළඟදී බව්තීස්ම වුණු කෙනෙක් නම් සහායක සේවකයෙක් වෙන්න ඔයා වෑයම් කරනවාද? (1 තිමෝ. 3:1) හැම අවුරුද්දකම සැබෑ නමස්කාරයට අලුත් අය එකතු වෙන නිසා වගකීම් ඉටු කරන්න අවබෝධයෙන් වැඩ කරන සහෝදරයන්ව ඕනේ. අනිත් අයට උදව් කරන්න ඔයා ආශාවක් ඇති කරගන්නවා නම් සහායක සේවකයෙක් විදිහට වැඩ කරන්න වෑයමක් දරන්න ඔයාත් පෙලඹෙයි. යේසුස්ගේ ආදර්ශය ගැන කල්පනා කරන එක කැමැත්තෙන්ම අනිත් අයට උදව් කරන්න ඔයාට උදව්වක් වෙයි. (මතෙ. 20:28; යොහ. 4:6, 7; 13:4, 5) දීමෙන් ලැබෙන සතුට අද්දකිද්දී සහායක සේවකයෙක් වෙන්න ඔයාට තියෙන ආශාව තවත් වැඩි වෙයි. (ක්‍රියා 20:35) ඒ නිසා අනිත් අයට උදව් කරන්නත් නමස්කාර මධ්‍යස්ථානය නඩත්තු කරන්න සහාය වෙන්නත් ජීවිතය සහ දේවසේවය සඳහා රැස්වීමේ ශිෂ්‍ය පැවරුම් ස්වේච්ඡාවෙන් කරන්නත් කැමැත්තෙන් ඉදිරිපත් වෙන්න. ඒ වගේම පෞද්ගලික අධ්‍යයනය නිතිපතාම කරලා දෙවියන් කැමති ගුණාංග වර්ධනය කරගන්නත් උත්සාහ කරන්න. (ගීතා. 1:1, 2; ගලා. 5:22, 23) සහායක සේවකයෙක් වෙන්න වෑයම් කරන සහෝදරයන් තමන්ට ලැබෙන ඕනෙම පැවරුමක් විශ්වාසවන්තව ඉටු කරන එකත් හුඟක් වැදගත්.—1 කොරි. 4:2.
15 දෙවියන්ගේ බලයේ මඟ පෙන්වීමෙන් සහායක සේවකයන්ව පත් කරන්නේ සභාවේ යහපත වෙනුවෙනුයි. ඔවුන් තම පැවරුම් ඉටු කරද්දී සභාවේ හැමෝටම පුළුවන් ඒ අයට සහාය දීමෙන් ඔවුන් කරන සේවය අගය කරන්න. එහෙම කරද්දී යෙහෝවා දෙවියන් සභාවේ වැඩකටයුතු පිළිවෙළකට කරන්න ඇති කරලා තියෙන සැලැස්ම අගය කරන බව පෙන්වන්න සභාවේ හැමෝටම පුළුවන් වෙනවා.—ගලා. 6:10.
-