ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නිර්මාණය කළාද? පරිණාමය වුණාද? - 1වෙනි කොටස: දෙවියන්ව විශ්වාස කරන්න තියෙන හේතු මොනවාද?
    යොවුන් සිතේ ගැටලු
    • යෞවනයෙක් තමන් දෙවියන්ව විශ්වාස කරන හේතුව යාළුවෙක්ට විස්තර කරයි

      යොවුන් සිතේ ගැටලු

      නිර්මාණය කළාද? පරිණාමය වුණාද? - 1වෙනි කොටස: දෙවියන්ව විශ්වාස කරන්න තියෙන හේතු මොනවාද?

      • නිර්මාණය කළාද? පරිණාමය වුණාද?

      • දෙවියන්ව විශ්වාස කරන්න මට තියෙන හේතු මොනවාද?

      • මගේ විශ්වාසයන්

      නිර්මාණය කළාද? පරිණාමය වුණාද?

      දෙවියන් හැම දෙයක්ම නිර්මාණය කළා කියලා ඔයා විශ්වාස කරනවාද? ඔයා විතරක් නෙමෙයි ඔයාගේ වයසේ ඉන්න හුඟදෙනෙක් (වගේම වැඩිහිටියනුත්) එහෙම විශ්වාස කරනවා. ඒත් ජීවයත් විශ්වයත් ඉබේ ඇති වුණා කියලා හිතන අයත් ඉන්නවා.

      මේක දැනගෙන හිටියාද? නිර්මාණය කළා කියන අයත් ඉබේ ඇති වුණා කියන අයත් හුඟක් වෙලාවට එහෙම කියන්නේ ස්ථිර පදනමක් ඇතුව නෙමෙයි.

      • හැම දෙයක්ම නිර්මාණය කළා කියලා සමහරු විශ්වාස කරන්නේ ඒ අයට පල්ලියේ එහෙම උගන්වලා තියෙන නිසයි

      • හැම දෙයක්ම ඉබේම ඇති වුණා කියලා හුඟදෙනෙක් විශ්වාස කරන්නේ ඒ අයට පාසැලේ එහෙම උගන්වලා තියෙන නිසයි

      හැම දෙයක්ම නිර්මාණය කෙරුවා කියලා ඔයාට තියෙන විශ්වාසය තව වැඩි කරගන්නත් ඒක අනිත් අයට හොඳින් පැහැදිලි කරලා දෙන්නත් මේ ලිපි ඔයාට උදව් වෙයි. ඒත් ඊට කලින් ඔයා මේ වැදගත් ප්‍රශ්නේ ගැන හිතලා බලන්න ඕනේ.

      දෙවියන්ව විශ්වාස කරන්න මට තියෙන හේතු මොනවාද?

      ඒ ප්‍රශ්නේ ගැන හිතන එක වැදගත් වෙන්නේ ඇයි? බයිබලයේ අපිට උනන්දු කරන්නේ “බුද්ධිමත්” විදිහට හිතන්න කියලයි. (රෝම 12:1) ඒ කියන්නේ ඔයා දෙවියන්ව පිළිගන්න ඕන,

      • හැඟීම්වලට වහල් වෙලා නෙමෙයි (දෙවි කෙනෙක් ඉන්නවා කියලා මට හිතෙනවා)

      • සමාජයේ බලපෑම නිසා නෙමෙයි (මම ජීවත් වෙන්නේ දෙවි කෙනෙක්ව විශ්වාස කරන පරිසරයක)

      • කවුරුත් කියන නිසා නෙමෙයි (දෙවියන් ඉන්නවා කියලා මට කියලා දුන්නේ මගේ අම්මයි තාත්තයි)

      දෙවියන් ඉන්නවා කියලා ඔයාට තියෙන විශ්වාසය සාක්ෂි ඇතුව ඔයාම තහවුරු කරගන්න ඕනේ.

      දෙවියන්ව විශ්වාස කරන්න ඔයාට තියෙන හේතු මොනවාද? “දෙවියන්ව විශ්වාස කරන්න මට තියෙන හේතු මොනවාද?” කියන වැඩ පිටුව පුරවන්න. එතකොට ඔයාගේ විශ්වාසය තවත් වැඩි වෙයි. අනිත් යෞවනයන් ඒ ප්‍රශ්නෙට දීලා තියෙන උත්තර දැනගන්න එකත් ඔයාට ප්‍රයෝජනවත් වෙයි.

      “අපේ ටීචර් පන්තියේදී ශරීරයේ අවයව ක්‍රියා කරන විදිහ ගැන කියපු දේවල් අහගෙන ඉද්දී දෙවියන් ඉන්න ඕන කියලා මට හොඳටම පැහැදිලි වුණා. අපිට දැනුණේ නැති වුණත් ලොකු අවයව විතරක් නෙමෙයි ශරීරයේ පුංචිම පුංචි දේට පවා වැඩ කොටසක් තියෙනවා.”—තෙරේසා.

      “උස බිල්ඩිමක්, නැවක්, කාර් එකක් දැක්කම ‘කවුද මේක හැදුවේ’ කියලා මං හිතනවා? කාර් එක වැඩ කරන්න හැම පුංචි කෑල්ලක්ම ක්‍රියා කරන්න ඕනේ. කාර් එකක් හදන්න බුද්ධිමත් කෙනෙක් ඉන්න ඕන නම් අපිව හදන්න?”—රිචඩ්.

      “විශ්වයේ තියෙන පුංචිම දෙයක් තේරුම්ගන්න ලෝකේ ඉන්න බුද්ධිමත්ම මිනිසුන්ට අවුරුදු සිය ගාණක් ගියා කියලා හිතද්දී විශ්වය නිර්මාණය කරන්න බුද්ධිමත් කෙනෙක් ඕන නෑ කියලා හිතන එක පොඩ්ඩක්වත් සාධාරණ නැහැ.”—කැරන්.

      “මම විද්‍යාව ඉගෙනගන්න ඉගෙනගන්න ජීවය පරිණාමය වුණා කියන එක හිතාගන්නවත් බැහැ. අවට පරිසරයේ හැම දෙයක්ම ක්‍රියාත්මක වෙන්නේ ගණිත ක්‍රමයකට අනුවයි. අපි සතුන්ට වඩා වෙනස් නිසා අපි කවුද, අපි ආවේ කොහෙන්ද, අපි මැරුණාම කොහෙටද යන්නේ වගේ දේවල් දැනගන්න අපිට ඕනේ. ඒත් පරිණාමවාදීන් උත්සාහ කරන්නේ සත්ව චර්යාවන් පදනම් කරගෙන හැම දෙයක්ම විස්තර කරන්න. ඒත් අපි සතුන්ට වඩා වෙනස් ඇයි කියලා කියන්න ඒ අයට බැහැ. ඒ දේවල් සලකලා බලද්දී නිර්මාණය කරපු කෙනෙක් ඉන්නවා කියලා විශ්වාස කරන එක ජීවය පරිණාමය වුණා කියලා හිතනවාට වඩා ලේසියි.”—ඇන්තනි.

      මගේ විශ්වාසයන්

      ඔයාට පේන්නේ නැති දෙයක් ඔයා විශ්වාස කරනවා කියලා පන්තියේ යාළුවෝ විහිළු කළොත් ඔයා මොනවාද කරන්නේ? ජීවයේ පරිණාමය විද්‍යාවෙන් ඔප්පු කරලා තියෙනවා කිව්වොත් ඔයා මොනවාද කරන්නේ?

      ඔයා විශ්වාස කරන දේ ඔයාට ස්ථිර නම් එච්චරයි. යාළුවන්ගේ පීඩනයට අහු වෙන්න එපා. ලැජ්ජා වෙන්නත් එපා. (රෝම 1:16) මේක මතක තියාගන්න.

      1. ඔයා වගේ තව හුඟදෙනෙක් දෙවියන්ව විශ්වාස කරනවා. විද්‍යාඥයන් ඇතුළු බුද්ධිමත් විද්වතුන් පවා දෙවියන් ඉන්නවා කියලා විශ්වාස කරනවා.

      2. මිනිස්සු කියද්දී මම දෙවියන්ව විශ්වාස කරන්නේ නැහැ කියලා හුඟක් වෙලාවට ඒ අය අදහස් කරන්නේ දෙවියන්ව හරියට තේරුම්ගන්න බැහැ කියන එකයි. දෙවියන් නැහැ කියන එකට තර්කානුකූලව සාක්ෂි ඉදිරිපත් කරනවා වෙනුවට “දෙවි කෙනෙක් ඉන්නවා නම් දුක් වේදනාවලට ඉඩහරින්නේ ඇයි” වගේ ප්‍රශ්න ඒ අය අහනවා.

      3. ‘දෙවියන්ගේ මඟ පෙන්වීම් ලබාගැනීමේ ආශාවක්’ ඇතුවයි මිනිසුන්ව නිර්මාණය කරලා තියෙන්නේ. (මතෙව් 5:3) දෙවියන්ව විශ්වාස කරන එකත් ඒ ආශාවට ඇතුළත්. ඉතින් කෙනෙක් කියනවා නම් දෙවියන් නැහැ කියලා එයා ඒකට හේතු ඉදිරිපත් කරන්න ඕනේ.—රෝම 1:18-20.

      4. දෙවියන් ඉන්නවා කියලා විශ්වාස කරන එක සාධාරණයි. අජීවි දෙයකින් ජීවය ඇති වුණා කියලා ඔප්පු වෙලා නැහැ. එහෙමනම් ජීවය අහම්බෙන් ඇති වෙන්න බැහැ. ඒ අනුව ජීවය නිර්මාණය කරන්න බලවත් කෙනෙක් ඉන්න ඕනේ.

      දෙවියන්ව විශ්වාස කරන එක ගැන කවුරු හරි ඔයාගෙන් ඇහුවොත් ඔයාට කියන්න පුළුවන් දේවල් කීපයක් බලන්න.

      කවුරු හරි මෙහෙම කිව්වොත්: “උගත්කමක් නැති අය තමයි දෙවියන්ව විශ්වාස කරන්නේ.”

      මෙහෙම කියන්න ඔයාට පුළුවන්: “අනිත් අය කියන නිසාද ඔයා එහෙම කියන්නේ? හැබැයි මම නං එහෙම හිතන්නේ නැහැ. ප්‍රසිද්ධ විශ්ව විද්‍යාල කීපයක විද්‍යා අංශයේ මහාචාර්යවරු 1,600කට වඩා වැඩිදෙනෙක් එක්ක කරපු සමීක්ෂණයකදී තුනෙන් එකක්ම කිව්වේ දෙවියන්ව විශ්වාස කරනවා කියලයි.a ඒ මහාචාර්යවරුන් දෙවියන්ව විශ්වාස කරන නිසා ඒ අය උගත්කමක් නැති අය කියලාද ඔයා කියන්නේ?”

      කවුරු හරි මෙහෙම කිව්වොත්: “දෙවියන් ඉන්නවා නම් මෙච්චර දුක් වේදනා තියෙන්නේ ඇයි?”

      මෙහෙම කියන්න ඔයාට පුළුවන්: “ඔයා දෙවියන් ගැන හරියටම දන්නේ නැති නිසාද එහෙම කියන්නේ? නැත්නම් ඒ ගැන දෙවියන් මුකුත්ම කරන්නේ නෑ කියලා ඔයාට හිතෙන හින්දද? [ප්‍රතිචාරයට ඉඩහරින්න.] මෙච්චර දුක් වේදනා තියෙන්නේ ඇයි කියන ප්‍රශ්නෙට හොඳ උත්තරයක් මට ලැබුණා. හැබැයි ඒක තේරුම්ගන්න නම් බයිබලයේ තියෙන ඉගැන්වීම් කීපයක්ම සෝදිසි කරලා බලන්න ඕනේ. ඔයා කැමතිද ඒ ගැන දැනගන්න?

      ජීවයේ ආරම්භය ගැන පරිණාමවාදීන්ට පැහැදිලි උත්තරයක් දෙන්න බැරිවෙලා තියෙන්නේ ඇයි කියන එක ගැන ඊළඟ ලිපියේ සාකච්ඡා කරනවා.

      a Source: Social Science Research Council, “Religion and Spirituality Among University Scientists,” by Elaine Howard Ecklund, February 5, 2007

  • යොවුන් සිතේ ගැටලු - නිර්මාණය කළාද? පරිණාමය වුණාද? - 2වෙනි කොටස
    යොවුන් සිතේ ගැටලු
    • පරිණාමය ගැන ඉහළ පංතිවල ළමයින්ට උගන්වනවා

      යොවුන් සිතේ ගැටලු

      නිර්මාණය කළාද? පරිණාමය වුණාද? - 2වෙනි කොටස: පරිණාමය ඇත්තක්ද කියලා හොයලා බලන්න ඕනද?

      පොඩි කාලේ ඉඳන් දෙවියන්ව විශ්වාස කරපු ඇලෙක්ස් හැම දෙයක්ම නිර්මාණය කළේ දෙවියන් කියලා විශ්වාස කළා. ඒත් එයාගේ ජීව විද්‍යා ගුරුවරයා පරිණාමය ඔප්පු කරන ලද සත්‍යයක් කියලා තදින්ම කාවද්දන්න උත්සාහ කළා. තමන්ට තියෙන්නේ මෝඩ අදහස් කියලා අනිත් අය හිතනවාට ඇලෙක්ස් කැමති වුණේ නැහැ. ඒ විතරක් නෙමෙයි ‘පරිණාමය ඇත්තක් කියලා ඔප්පු කරලා තියෙනවා නම් මම කවුද ඒක ප්‍රශ්න කරන්න’ කියලත් එයා හිතුවා.

      ඒ වගේ තත්වයකට ඔයා මුහුණ දීලා තියෙනවාද? මේ වෙනකම්ම ඔයා විශ්වාස කරන්න ඇත්තේ “පටන්ගැන්මේදී දෙවි අහසත් පොළොවත් නිර්මාණය කළේය” කියලා බයිබලයේ කියන අදහසයි. (උත්පත්ති 1:1) ඒත් හැම දෙයක්ම කවුරු හරි නිර්මාණය කළා කියන එක බොරුවක් කියලත් පරිණාමය ඇත්තක් කියලත් ඔයාට ඒත්තුගන්වන්න සමහරු උත්සාහ කරනවා ඇති. ඔයා ඒ අය කියන දේ පිළිගන්න ඕනද? පරිණාමය ඇත්තක්ද කියලා හොයලා බලන්න ඕනද?

      • පරිණාමය ඇත්තක්ද කියන එක හොයලා බලන්න හේතු 2ක්

      • මේ ප්‍රශ්න ගැන හිතලා බලන්න

      • ඔයාගේ වයසේ ඉන්න අය කියන දේ

      පරිණාමය ඇත්තක්ද කියන එක හොයලා බලන්න හේතු 2ක්

      1. විද්‍යාඥයන් වෙනස් මත දරනවා. දශක ගණනාවක් තිස්සේ විද්‍යාඥයන් පර්යේෂණ කළත් ජීවීන් පරිණාමය වුණේ කොහොමද කියන එක ගැන ඔවුන්ට එක නිගමනයකට එන්න බැරි වෙලා තියෙනවා.

        හිතන්න දෙයක්: ඒ විෂය ගැන දැනඋගතුන් කියලා කියන විද්‍යාඥයන්ට පවා ඒ ගැන එක මතයකට එන්න බැරි නම් ඔයා ඒ ගැන ප්‍රශ්න කරන එකේ වැරැද්දක් තියෙනවාද?—ගීතාවලිය 10:4.

      2. හරි උත්තරේ දැනගන්න එක වැදගත්. “ජීවය හටගත්තේ අහම්බෙන් නම් අපේ ජීවිතවලට කිසි අරමුණක් නැහැ. මුළු විශ්වයේම තියෙන හැම දේකින්ම වැඩක් නැහැ” කියලා සැකරි කියන පිරිමි ළමයා කියනවා. සැකරි කියපු එකෙත් ඇත්තක් තියෙනවා. (1 කොරින්ති 15:32) හැබැයි නිර්මාණය කළා කියන එක ඇත්තක් නම් ජීවිතේට අරමුණක් තියෙනවාද කියන එක ගැනත් අපිට අනාගතය ගැන බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන්ද කියන එක ගැනත් සෑහීමට පත් වෙන්න පුළුවන් උත්තර හොයාගන්න පුළුවන්.—යෙරෙමියා 29:11.

        හිතන්න දෙයක්: පරිණාමය හා නිර්මාණය ගැන සත්‍යය දැනගන්න එක ඔයාට ප්‍රයෝජනවත් වෙන්නේ කොහොමද?—හෙබ්‍රෙව් 11:1.

      හිතලා බලන්න ප්‍රශ්න

      සමහරු කියන්නේ මෙහෙමයි. ‘විශ්වයේ හැම දෙයක්ම මහා පිපුරුමකින් ඉබේ හටගත්තා.’

      • මහා පිපුරුම ඇති වෙන්න හේතුව මොකක්ද? නැත්නම් ඇති කළේ කවුද?

      • වඩා තර්කානුකූල වෙන්නේ මොකක්ද? - හිස් දෙයකින් හැම දෙයක්ම ඇති වුණා කියන එකද නැත්නම් යම් දෙයක් මගින් ඇති වුණා හෝ කෙනෙක් විසින් ඇති කළා කියන එකද?

      සමහරු කියන්නේ මෙහෙමයි. ‘මිනිසුන් පරිණාමය වුණේ සතුන්ගෙන්.’

      • මිනිසුන් වානරයාගෙන් පරිණාමය වුණා නම් මිනිසුන්ගේ බුද්ධි මට්ටමයි වානරයන්ගේ බුද්ධි මට්ටමයි අතර එච්චර ලොකු පරතරයක් තියෙන්නේ ඇයි?a

      • “සරලම” කියලා කියන සෛලයක් වුණත් ගොඩක් සංකීර්ණ ඇයි?b

      සමහරු කියන්නේ මෙහෙමයි. ‘පරිණාමය ඔප්පු කරලයි තියෙන්නේ.’

      • එහෙම කියන අයම සාක්ෂි හොයලා බලලාද කියන්නේ?

      • බුද්ධිමත් අය පිළිගන්නේ පරිණාමය කියලා එයාලට කියලා තියෙන නිසා කීදෙනෙක් පරිණාමය පිළිගන්න පෙලඹිලා තියෙනවාද?

      ඔයාගේ වයසේ ඉන්න අය කියන දේ

      ග්වෙන්

      ග්වෙන්

      “මුද්‍රණාලයක හදිස්සියේ පිපිරීමක් ඇති වෙලා තීන්ත හැම තැනම විසිරිලා යනවාත් එක්කම සම්පූර්ණ ශබ්ද කෝෂයක් ඇති වුණා කියලා කවුරු හරි කිව්වොත් ඔයා ඒක විශ්වාස කරනවාද? නැහැනේ. එහෙමනම් මෙච්චර පිළිවෙළකට සකස් වෙලා තියෙන මේ මුළු විශ්වයම එකපාරටම මහා පිපුරුමකින් අහම්බෙන් බිහි වුණා කියලා විශ්වාස කරන්න පුළුවන්ද?”

      ජෙසිකා

      ජෙසිකා

      “පරිණාමයෙන් උගන්වන විදිහට දුර්වලයාව පරාජය කරලා බලවතා දිගටම පවතිනවා කියන දේ ඇත්තක් නම් ලෙඩුන්ට, අසරණයන්ට වගේ අයට පිහිට වෙන්න මිනිස්සුන්ට නැඹුරුවාවක් ආවේ කොහෙන්ද?”

      ජූලියා

      ජූලියා

      “හිතන්න ඔයා කැලෑවක් මැද්දේ ඇවිදගෙන යනකොට ලී කොටවලින් හැදිලා තියෙන ලස්සන ගෙයක් දැක්කා කියලා. ‘අනේ අහම්බෙන් ගස් හරි තැනට වැටිලා මේ ගේ ලස්සනට හැදිලානේ’ කියලා ඔයා හිතනවාද? නැහැනේ. ඒක කොහොමටවත් වෙන්න බැරි දෙයක්. එහෙමනම් මේ විශ්වයේ තියෙන හැම දෙයක්ම අහඹු සිදුවීමකින් ඇති වුණා කියලා අපි විශ්වාස කරන්න ඕනද?”

      a සමහර අය කියන්නේ මිනිසුන් බුද්ධියෙන් වැඩි වෙන්න හේතුව ඔවුන්ගේ මොළයේ ප්‍රමාණය වානරයන්ගේ මොළයේ ප්‍රමාණයට වඩා විශාල නිසා කියලයි. ඒත් මේ තර්කය පිළිගන්න බැරි හේතුව දැනගන්න ‘ජීවයේ ආරම්භය - වැදගත් ප්‍රශ්න පහකට පිළිතුරු’ කියන සඟරාවේ 28වෙනි පිටුව බලන්න.

      b ‘ජීවයේ ආරම්භය - වැදගත් ප්‍රශ්න පහකට පිළිතුරු’ කියන සඟරාවේ 8-12 පිටු බලන්න.

  • නිර්මාණය කළාද? පරිණාමය වුණාද? - 3වෙනි කොටස: හැම දෙයක්ම නිර්මාණය කළා කියලා විශ්වාස කරන්න හේතු තියෙනවාද?
    යොවුන් සිතේ ගැටලු
    • ශිෂ්‍යයන් කෞතුකාගාරයකදී ඩයිනෝසරයෙක්ගේ ෆොසිල දිහා බලාගෙන ඉන්නවා

      යොවුන් සිතේ ගැටලු

      නිර්මාණය කළාද? පරිණාමය වුණාද? - 3වෙනි කොටස: හැම දෙයක්ම නිර්මාණය කළා කියලා විශ්වාස කරන්න හේතු තියෙනවාද?

      “මේ හැම දෙයක්ම කවුරු හරි නිර්මාණය කෙරුවා කියලා මම විශ්වාස කළොත් අනිත් අය හිතයි මම මෝඩයෙක් කියලා. මම තාම විශ්වාස කරන්නේ පොඩි කාලේ අම්මලා කියලා දීපු කතන්දර කියලා හරි ආගමෙන් උගන්නපු දෙයක් කියලා හරි අනිත් අය හිතයි.”—ජැනට්.

      ඔයාටත් හිතෙන්නේ එහෙමද? එහෙමනම් නිර්මාණකරුවෙක් ඉන්නවා කියන එක ගැන ඔයාට සැකයක් තියෙනවා වෙන්න පුළුවන්. කවුරුත් කැමති නැහැ තමන් කිසිම දෙයක් ගැන දැනුමක් නැති කෙනෙක් කියලා අනිත් අය හිතනවාට. ඔයා විශ්වාස කරන දේ හරියි කියලා තහවුරු කරගන්න ඔයාට කරන්න පුළුවන් මොනවාද?

      • ඔයාගේ විශ්වාසයන්ට එන බාධා

      • ඔයා විශ්වාස කරන දේ ගැන හිතලා බලන්න

      • සාක්ෂි හොයලා බලන්න ඔයාට උපකාර

      • ඔයාගේ වයසේ ඉන්න අය කියන දේ

      ඔයාගේ විශ්වාසයන්ට එන බාධා

      1. හැම දෙයක්ම කවුරු හරි නිර්මාණය කළා කියලා විශ්වාස කළොත් අනිත් අය හිතයි මම විද්‍යාව පිළිගන්නේ නැහැ කියලා.

      “හැම දෙයක්ම නිර්මාණය කළා කියලා විශ්වාස කරන්නේ මේ ලෝකයේ දේවල් ඇති වුණ විදිහ ගැන හොයලා බලන්න කම්මැලි අය කියලා මගේ ටීචර් කිව්වා.”—මරියා.

      ඔයා දැනගෙන ඉන්න ඕන දේ: ඒ වගේ දේවල් කියන අය කියන්නේ හැම තොරතුරක්ම දැනගෙන නෙමෙයි. ගැලීලියෝ සහ අයිසෙක් නිව්ටන් වගේ ප්‍රසිද්ධ විද්‍යාඥයන් හැම දෙයක්ම කවුරු හරි නිර්මාණය කළා කියලා පිළිගත්තා. ඒ විශ්වාසය ඔවුන්ට විද්‍යාව පිළි නොගන්න හේතුවක් වුණේ නැහැ. ඒ වගේ අදත් සමහර විද්‍යාඥයන් නිර්මාණකරුවෙක් ඉන්නවා කියලා විශ්වාස කරන අතරම විද්‍යාවත් පිළිගන්නවා.

      මෙහෙම කරලා බලන්න: මේ වෙබ් අඩවියේ තියෙන ඔන්ලයින් ලයිබ්‍රරියට ගිහින් “ඇගේ විශ්වාසය” හෝ “ඔහුගේ විශ්වාසය” කියලා යුගළ උඩු කොමා ඇතුළේ ටයිප් කරන්න. එතකොට විද්‍යා ක්ෂේත්‍රයේ හා වෛද්‍ය ක්ෂේත්‍රයේ ඉන්න සමහර අයට නිර්මාණකරුවෙක් ඉන්නවා කියලා පිළිගන්න හේතු වුණ දේවල් ගැන දැනගන්න පුළුවන්.

      මේක මතක තියාගන්න: නිර්මාණකරුවෙක්ව විශ්වාස කළා කියලා ඔයා විද්‍යාව ප්‍රතික්ෂේප කරන කෙනෙක් වෙන්නේ නැහැ. අනික පරිසරයේ තියෙන දේවල් වැඩි වැඩියෙන් අධ්‍යයනය කරද්දී මේ හැම දෙයක්ම කවුරු හරි නිර්මාණය කළා කියන එක තවත් තහවුරු වෙනවා.—රෝම 1:20.

      2. නිර්මාණය ගැන බයිබලයේ තියෙන වාර්තාව මම පිළිගත්තොත් අනිත් අය හිතයි මං ආගම් පිස්සෙක් කියලා.

      “හුඟක් අය හිතන්නේ නිර්මාණය කළා කියලා විශ්වාස කරන එක විහිළුවක් කියලයි. ඒ අය හිතන්නේ උත්පත්ති පොතේ තියෙන වාර්තාව කතන්දරයක් කියලයි.”—ජැස්මින්.

      ඔයා දැනගෙන ඉන්න ඕන දේ: නිර්මාණය ගැන බයිබලයේ උත්පත්ති පොතේ තියෙන වාර්තාව හුඟක් අය තේරුම් අරගෙන තියෙන්නේ වැරදි විදිහටයි. උදාහරණයකට පොළොව නිර්මාණය කළේ මෑතකදී කියලත්ඒක නිර්මාණය කළේ පැය 24 දවස් හයක් ඇතුළත කියලත් සමහර මැවුම්වාදීන් විශ්වාස කරනවා. බයිබලයේ ඒ අදහස් දෙකම සඳහන් වෙන්නේ නැහැ.

      • උත්පත්ති 1:1 කියන්නේ “පටන්ගැන්මේදී දෙවි අහසත් පොළොවත් නිර්මාණය කළේය” කියලා විතරයි. පොළොව අවුරුදු බිලියන ගණනක් පුරා පවතිනවා කියලා විද්‍යාවෙන් ඔප්පු කරලා තියෙන සාක්ෂි එක්ක ඒ අදහස ගැටෙන්නේ නැහැ.

      • උත්පත්ති පොතේ “දවස” කියලා සඳහන් කරලා තියෙන වචනෙට දීර්ඝ කාල පරිච්ඡේදයක් කියන අදහසත් ඇතුළත් වෙනවා. නිර්මාණය කරන්න ගත වුණු දවස් හය විස්තර කරන්නත් “දවස” කියන වචනය උත්පත්ති 2:4 සඳහන් කරලා තියෙනවා.

      මේක මතක තියාගන්න: විද්‍යාවෙන් ඔප්පු කරලා තියෙන දේවල් බයිබලයේ සඳහන් වාර්තාවට පටහැනි නැහැ.

      ඔයාගේ විශ්වාසයන් ගැන හිතලා බලන්න

      හැම දෙයක්ම නිර්මාණය කළා කියලා පිළිගන්නේ අන්ධ විශ්වාසයක් තියෙන අය කියලා කියන්න බැහැ. මොකද නිර්මාණය කළා කියලා පිළිගන්න තර්කානුකූලව හිතන්න ඕනේ. උදාහරණයකට:

      ඔයා යම් නිර්මාණයක් දැක්කොත් ඒකට නිර්මාණකරුවෙක් ඉන්නවා කියලා දන්නවා. ගෙයක්, ගුවන් යානයක්, කැමරාවක් දැක්කොත් ඒවා කාගේ හරි නිර්මාණ කියලා ඔයා පිළිගන්නවා. එහෙමනම් ඊට වඩා සංකීර්ණ පෘථිවිය, අහසේ පියාඹන කුරුල්ලෙක්, මිනිස් ඇසක් කවුරු හරි නිර්මාණය කරලා තියෙනවා කියලා හිතන එක සාධාරණ නැද්ද?

      හිතන්න දෙයක්: අලුත් නිෂ්පාදනයක් ලෝකෙට හඳුන්වලා දෙන අය හුඟක් වෙලාවට ඔවුන්ගේ නිෂ්පාදන වැඩි දියුණු කරන්න පරිසරයේ තියෙන දේවල් අනුකරණය කරනවා. ඒ නිෂ්පාදනය ගැන ගෞරවය ලබාගන්න ඔවුන් කැමතියි. පරිසරයේ තියෙන දේවල් අනුකරණය කරන අයට ඒ වගේ ගෞරවයක් ලැබෙනවා නම් පරිසරයේ තියෙන හැම දෙයක්ම නිර්මාණය කරපු තැනැත්තාට ඊට වැඩියෙන් ගෞරවයක් ලැබෙන්න ඕන නැද්ද?

      ප්ලේන් එකක් සහ කුරුල්ලෙක් පියාසර කරනවා

      ගුවන්යානය කවුරු හරි නිර්මාණය කළා නම් කුරුල්ලෙක්ව නිර්මාණය කරන්නත් කවුරු හරි ඉන්න ඕන නැද්ද?

      සාක්ෂි හොයලා බලන්න උපකාර

      පරිසරයේ තියෙන දේවල් හොයලා බලනවා නම් නිර්මාණකරුවෙක් ඉන්නවා කියන විශ්වාසය තවත් වැඩි වෙයි.

      මෙහෙම කරලා බලන්න: මේ වෙබ් අඩවියේ තියෙන ඔන්ලයින් ලයිබ්‍රරියට ගිහින් “නිර්මාණයක්ද” කියලා යුගළ උඩු කොමා ඇතුළේ ටයිප් කරන්න. ‘පිබිදෙව්!’ සඟරාවේ “නිර්මාණයක්ද?” කියන ලිපි යටතේ ඔයා කියවන්න කැමති මාතෘකා කීපයක් තෝරගන්න. ඒ හැම ලිපියකම සාකච්ඡා කරලා තියෙන දේවල විශේෂත්වය මොකක්ද කියලා තේරුම්ගන්න උත්සාහ කරන්න. නිර්මාණකරුවෙක් ඉන්න ඕන කියලා ඒ ලිපිවලින් ඔප්පු වෙන විදිහ බලන්න.

      වැඩිදුර අධ්‍යයනයට: නිර්මාණකරුවෙක් ඉන්නවා කියන එකට තියෙන තවත් සාක්ෂි දැනගන්න පහත තියෙන සඟරා බලන්න.

      • ‘සියල්ල ඇති වුණේ අහම්බෙන්ද?’

        • පෘථිවිය තියෙන්නේ සුදුසුම තැනයි. ජීවය පවතින්න අවශ්‍ය හැම දෙයක්ම ඒකේ තියෙනවා.—4-10 පිටු බලන්න.

        • පරිසරයේ තියෙන දේවල් අනුකරණය කරලා නිෂ්පාදනය කරන දේවලට උදාහරණ.—11-17 පිටු බලන්න.

        • නිර්මාණය ගැන බයිබලයේ උත්පත්ති පොතේ සඳහන් වාර්තාව විද්‍යාවට එකඟයි.—24-28 පිටු බලන්න.

      • ‘ජීවයේ ආරම්භය - වැදගත් ප්‍රශ්න පහකට පිළිතුරු’

        • අජීවී රසායනික සංඝටකවලින් ඉබේම ජීවයක් හටගන්න බැහැ.—4-7 පිටු බලන්න.

        • සෛලයක් වගේ ඉතා සංකීර්ණ දෙයක් ඉබේ ඇති වෙන්න බැහැ.—8-12 පිටු බලන්න.

        • DNA අණුවක තියෙන දත්ත ප්‍රමාණය නවීන තාක්ෂණයෙන් තොරතුරු ගබඩා කරන්න හදලා තියෙන කිසිම දෙයකට වඩා විශිෂ්ටයි.—13-21 පිටු බලන්න.

        • හැම ජීවියෙක්ම ඇති වුණේ එක ජීවියෙකුගෙන් නෙමෙයි. ෆොසිල වාර්තාවලින් ඔප්පු වෙන්නේ ජීවීන් වර්ග එකවර වෙන වෙනම ආරම්භ වුණා කියලයි. නැතුව සියලුම ජීවීන් එක ජීවියෙකුගෙන් ක්‍රමානුකූලව පරිණාමය වුණා කියලා නෙමෙයි.—22-29 පිටු බලන්න.

      “අවට පරිසරය දිහා බලද්දී දෙවි කෙනෙක් ඉන්නවා කියන එක ගැන මට කිසිම සැකයක් නැහැ. පොළොවේ ඉන්න සතුන් ගැනත් විශ්වය පිළිවෙළකට ක්‍රියා කරන විදිහ ගැනත් හිතලා බලද්දී නිර්මාණකරුවෙක් ඉන්න ඕන කියන එක පැහැදිලියි.”—ටාමස්.

      ඔයාගේ වයසේ ඉන්න අය කියන දේ

      හැනා

      “ශාක, සතුන් හා මිනිස් ශරීරය මොන තරම් සංකීර්ණද කියලා විද්‍යා පාඩමෙන් ඉගෙනගද්දී මට පුදුම හිතුණා. නිර්මාණකරුවෙක් ඉන්න ඕන කියන එක ගැන සැකයක් නැහැ. මම නම් හිතන්නේ නිර්මාණය විශ්වාස කරන කෙනෙක්ට නෙමෙයි පරිණාමය විශ්වාස කරන කෙනෙක්ට තමයි අන්ධ විශ්වාසයක් තියෙන්නේ කියලා.”—හැනා.

      ටාලියා

      “‘පිබිදෙව්!’ සඟරාවේ ‘නිර්මාණයක්ද’ කියන ලිපි කියවන්න මම හරිම ආසයි. පරිණාමය කොහොමටවත් ඇත්තක් වෙන්න බැහැ කියලා මට ඒවා කියවද්දී පැහැදිලි වෙනවා. සමනලයෙක්, ගුමන කුරුල්ලෙක් වගේ ලස්සන සතෙක් අහම්බෙන් ඇති වුණා කියලා හිතනවා නම් ඒක හරිම මෝඩ අදහසක්.”—ටාලියා.

  • නිර්මාණය කළාද? පරිණාමය වුණාද? - 4වෙනි කොටස: මම නිර්මාණය ගැන විශ්වාස කරන දේ පැහැදිලි කරන්නේ කොහොමද?
    යොවුන් සිතේ ගැටලු
    • සාක්ෂිකාර යෞවනියක් නිර්මාණය ගැන ඇය විශ්වාස කරන දේ පන්තියේ ළමයින්ට පැහැදිලි කරනවා

      යොවුන් සිතේ ගැටලු

      නිර්මාණය කළාද? පරිණාමය වුණාද? - 4වෙනි කොටස: මම නිර්මාණය ගැන විශ්වාස කරන දේ පැහැදිලි කරන්නේ කොහොමද?

      පරිණාමය ගැන පාඩම් පොත්වලින් උගන්වනවා. ඒත් ඔයා විශ්වාස කරන්නේ නිර්මාණය ගැනයි. ගුරුවරුන්ගේ සහ යාළුවන්ගේ උසුළු විසුළුවලට ලක් වෙයි කියන බය හින්දා නිර්මාණය ගැන පැහැදිලි කරන්න ඔයා අදිමදි කරයි. ඒත් නිර්මාණය ගැන ඔයා විශ්වාස කරන දේ බය නැතුව පැහැදිලි කරන්න ඔයාට පුළුවන් කොහොමද?

      • ඔයාට පුළුවන්

      • ලෑස්ති පිට ඉන්න

      • විශ්වාසයන් ගැන පැහැදිලි කරන්න ඔයාට උපකාර

      • ඔයාගේ වයසේ ඉන්න අය කියන දේ

      ඔයාට පුළුවන්

      ඔයා මෙහෙම හිතයි: ‘විද්‍යාව ගැන සාකච්ඡා කරන්නත් පරිණාමය ගැන වාද කරන්නත් මං දක්ෂ නැහැ.’ එක වෙලාවක ඩැනිඑල්ට හැඟුණේ එහෙමයි. “මගේ ගුරුවරයාගෙයි පන්තියේ ළමයින්ගෙයි අදහස්වලට විරුද්ධ අදහසක් ඉදිරිපත් කරන්න මම අකමැති වුණා” කියලා ඇය කියනවා. ඩයෑනාත් කියන්නේ “විද්‍යාත්මක යෙදුම් පාවිච්චි කරලා ඒගොල්ලන් වාද කරනකොට දන්න ටිකත් අමතක වෙනවා” කියලයි.

      කොහොමවුණත්, ඔයාගේ අරමුණ වාද කරලා දිනන එක නෙමෙයි. අවට පරිසරයේ දේවල් නිර්මාණය කළා කියලා ඔයා විශ්වාස කරන්න තියෙන හේතු පැහැදිලි කරන්න විද්‍යාව ගැන ලොකුවට දැනගෙන ඉන්න ඕන නැහැ.

      යෝජනාවක්: බයිබලයේ හෙබ්‍රෙව් 3:4 තියෙන මේ සරල උදාහරණය යොදාගන්න. “ඇත්තෙන්ම සෑම ගෘහයක්ම සෑදීමට යම් කෙනෙකු සිටිය යුතු බව සියලුදෙනාම පිළිගනිති. එසේනම් සියලු දේවල් සෑදූ තැනැත්තාණන් දෙවිය.”

      කැරල් කියන තරුණ කාන්තාව හෙබ්‍රෙව් 3:4 තියෙන අදහස විස්තර කරන්නේ මේ විදිහටයි. “හිතන්න ඔයා ඉන්නේ ඝන වනාන්තරයක් ඇතුළේ කියලා. ඔයා කැලේ මැද්දටම ඇවිදගෙන ඇවිල්ලා. බිම බලනකොට එකපාරටම ඔයා දකිනවා ගිනි පෙට්ටියක්. එතකොට ඔයාගේ හිතේ ඇඳෙන්නේ මොකක්ද? ‘කවුරුහරි මෙහෙට ඇවිල්ලා තියෙනවා’ කියලා හිතෙයි. ඒ වගේ දෙයක් ඉබේ එන්න පුළුවන්ද? ගිනිපෙට්ටිය වගේ පොඩි දෙයක් හදන්න බුද්ධිමත් කෙනෙක් ඕන නම් මේ මුළු විශ්වයත් ඒකේ තියෙන දේවලුත් බුද්ධිමත් කෙනෙක් නිර්මාණය කළා කියලා ඔයාට හිතෙන්නේ නැද්ද?”

      කවුරු හරි මෙහෙම කිව්වොත්: “හරි, නිර්මාණය ඇත්තයි කියමුකෝ. එහෙමනම් නිර්මාණය කරපු කෙනාව නිර්මාණය කළේ කවුද?”

      මෙහෙම කියන්න ඔයාට පුළුවන්: “නිර්මාතෘ ගැන හැම දෙයක්ම තේරුම්ගන්න අපිට බැහැයි කියන එකෙන් අදහස් කරන්නේ නැහැනේ නිර්මාතෘ කෙනෙක් නැහැයි කියලා. උදාහරණයකට ඔයා ළඟ තියෙන ෆෝන් එක හදපු කෙනාගේ හැම තොරතුරක්ම ඔයා දන්නේ නැති වුණත් ඔයා විශ්වාස කරනවා නේද ඒක කවුරු හරි හැදුවා කියලා? [ප්‍රතිචාරයට ඉඩහරින්න.] නිර්මාතෘ ගැන දැනගන්න ඕන තරම් දේවල් තියෙනවා. ඔයා කැමති නම් මට පුළුවන් නිර්මාතෘ ගැන මම දැනගෙන තියෙන දේවල් ඔයාට කියලා දෙන්න.”

      ලෑස්ති පිට ඉන්න

      බයිබලයේ මෙහෙම කියනවා. “ඔබට තිබෙන බලාපොරොත්තුව ගැන විමසන සියලුදෙනාට පිළිතුරු දීමට ඔබ නිතරම සූදානම් වී සිටිය යුතුයි. එවැනි අවස්ථාවකදී මෘදුකමින් හා ගැඹුරු ගෞරවයක් පෙන්වමින් පිළිතුරු දීමට වගබලා ගන්න.” (1 පේතෘස් 3:15) ඒ නිසා කියන දේ සහ කියන විදිහ ගැන කලින්ම හිතන්න.

      1. කියන දේ. ඔයා දෙවියන්ට ප්‍රේම කරන එක වැදගත්. ප්‍රේම කරනවා නම් බය නැතුව ඔහු ගැන කතා කරන්න ඔයා පෙලඹෙයි. හැබැයි දෙවියන් හැම දෙයක්ම නිර්මාණය කළා කියලා අවබෝධ කරලා දෙන්න ඔයා දෙවියන්ට කොච්චර ප්‍රේම කරනවාද කියලා කියන එක විතරක් මදි. නිර්මාණය ගැන විශ්වාස කරන්න පුළුවන් කියලා ඔප්පු කරන්න නම් අවට පරිසරයේ තියෙන දේවල් යොදාගෙන ඒ ගැන පැහැදිලි කරන්න අවශ්‍යයි.

      2. කියන විදිහ. ස්ථිර විශ්වාසයෙන් කියන්න. හැබැයි දමලා ගහනවා වගේ, නැත්නම් අනිත් කෙනාව පහත් කරනවා වගේ කියන්න එපා. ඒගොල්ලන් විශ්වාස කරන දේ ගැන ගෞරවයෙන් කතා කරනවා නම් සහ යම් නිගමනවලට එන්න ඒගොල්ලන්ට අයිතියක් තියෙනවා කියලා ඔයා පිළිගන්නවා නම් ඔයා ඉදිරිපත් කරන අදහස් ගැන ඒගොල්ලන් කල්පනා කරලා බලයි.

        “අපහාස වෙන විදිහට කියන එකෙනුත් එයා මුකුත් දන්නේ නෑ කියන හැඟීම ඇති කරන එකෙනුත් වෙන්නේ හානියක් මිස හොඳක් නම් නෙමෙයි.”—ඉලේන්.

      විශ්වාසයන් ගැන පැහැදිලි කරන්න ඔයාට උපකාර

      වැස්සේ ඇවිදින යෞවනියක්

      ඔයාගේ විශ්වාසයන් ගැන කතා කරන්න ලෑස්ති පිට ඉන්න එක හරියට වැස්ස එන්න කලින් ඒකට ලෑස්ති වෙලා ඉන්නවා වගේ

      “ලෑස්ති පිට හිටියේ නැත්නම් ලැජ්ජ වෙන්න අකමැති නිසා අපි මුකුත් නොකියා ඉඳියි” කියලා යෞවනියක් වන අලීසියා කියනවා. අලීසියා කියන විදිහට හොඳ සාකච්ඡාවක් කරන්න නම් ලෑස්ති වෙලා ඉන්න ඕනේ. ජෙනා කියන්නේ මෙහෙමයි. “මං විශ්වාස කරන දේ පැහැදිලි කරන්න හොඳට හිතලා බලලා ගැළපෙන උදාහරණයක් ලෑස්ති කරගෙන ඉන්නකොට මට බය නැතුව සාකච්ඡාවක් පටන්ගන්න පුළුවන්.”

      ඔයාට ඒ වගේ උදාහරණ හොයාගන්න පුළුවන් කොහෙන්ද? හුඟක් යෞවනයන් පහත සඳහන් දේවලින් හොඳ උදාහරණ හොයාගෙන තියෙනවා.

      • ‘සියල්ල ඇති වුණේ අහම්බෙන්ද?’

      • ‘ජීවයේ ආරම්භය - වැදගත් ප්‍රශ්න පහකට පිළිතුරු’

      • ‘දෙවිව ගෞරවයට පත් කරන විස්මිත නිර්මාණ’ (වීඩියෝ)

      • ‘පිබිදෙව්!’ සඟරාවේ “නිර්මාණයක්ද?” කියන ලිපි. (මේ වෙබ් අඩවියේ තියෙන ඔන්ලයින් ලයිබ්‍රරියට ගිහින් “නිර්මාණයක්ද” කියලා යුගළ උඩු කොමා ඇතුළේ ටයිප් කරන්න.)

      • අමතර පර්යේෂණය සඳහා ඔන්ලයින් ලයිබ්‍රරිය බලන්න.

      “නිර්මාණය කළාද? පරිණාමය වුණාද?” කියන ලිපි මාලාවේ කලින් ලිපිත් බලන්න පුළුවන්.

      1. 1වෙනි කොටස: දෙවියන්ව විශ්වාස කරන්න තියෙන හේතු මොනවාද?

      2. 2වෙනි කොටස: පරිණාමය ඇත්තක්ද කියලා හොයලා බලන්න ඕනද?

      3. 3වෙනි කොටස: හැම දෙයක්ම නිර්මාණය කළා කියලා විශ්වාස කරන්න හේතු තියෙනවාද?

      යෝජනාවක්: ඔයාගේ හිතට කාවැදුණු උදාහරණ තෝරගන්න. ඒවා ලේසියෙන්ම මතක් කරගන්න පුළුවන් නිසා ස්ථිර විශ්වාසයකින් බය නැතුව කතා කරන්න පුළුවන්. ඔයාගේ විශ්වාසයන් පැහැදිලි කරන විදිහ ගැන පෙරහුරු කරන්න.

      ඔයාගේ වයසේ ඉන්න අය කියන දේ

      බ්‍රිටනි

      “අපි පරිණාමය වුණා නම් කොහොමද අපිට දයාව, කරුණාව වගේ ගුණාංග තියෙන්නේ? ඒ ගුණාංග තියෙනවා නම් තමන් ගැන හිතනවාට වඩා අනුන් ගැන හිතන්න පෙලඹෙනවා. ඒ වගේ ගුණාංග පරිණාමයෙන් ඇති වුණා කියලා නම් විශ්වාස කරන්න අමාරුයි.”—බ්‍රිටනි.

      බ්‍රියැනා

      “මම ජීව විද්‍යාව හදාරද්දී අපේ ශරීර සැකැස්ම ගැනයි සෛලවල ක්‍රියාකාරිත්වය ගැනයි ඉගෙනගත්තා. ජීව විද්‍යාව උගන්නනකොට පරිණාමය ගැන අපිට තහවුරු කරන්න හැදුවත් මං ඉගෙනගත්ත දේවලින් පැහැදිලි වුණේ බුද්ධිමත් කෙනෙක් අපිව නිර්මාණය කරලා තියෙනවා කියලයි.”—බ්‍රියැනා.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න