නාඳුනන පුද්ගලයන්ගේ වාහනවල ගමන් කිරීමේ අනතුරු
ඕස්ට්‍රේලියාවේ පිබිදෙව්! වාර්තාකරුගෙන්
විසිහතර හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතික පෝල් අනියන්ස් 1990 ගිම්හානයේ එක් දිනක විශාල බෑගයක් පිටේ බැඳගෙන, ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරට දකුණින් පිහිටි හියුම් මහමාර්ගය දෙපස පිහිටා ඇති ප්‍රදේශයේ සිරි නරඹමින් සංචාරය කරමින් සිටියා. බොහෝ දුරක් පයින් ගමන් කර වෙහෙසට පත් වී සිටි පෝල් අසල ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් නතර කරවාගත්තා. ඔහුව නංවාගෙන යෑමට එහි රියැදුරා කැමැත්තෙන්ම ඉදිරිපත් වූ විට, පෝල් ඔහුට බොහෝ ස්තුති කර වාහනයට ගොඩ වුණා. තමා මරණය අභියසට ගමන් කරමින් සිටින බව පෝල් හීනෙකින්වත් සිතුවේ නැහැ.a
පෝල් මරුවාට ළං වෙමින් වාහනයේ ඉදිරිපස අසුන් ගත්තේ අනතුරක සේයාවක්වත් නොදුටු නිසයි. ඔහු රියැදුරා සමඟ කතා බහ කරන්න පටන්ගත්තා. මුලින්ම මිත්‍රශීලීබවක් පෙන්වූ රියැදුරා වැඩි වේලාවක් යන්න කලින් කෝපයට පත් හැඟීමකින් ඔහුත් සමඟ කතා කරන්න පටන්ගත්තා. නොසිතූ විදිහට රියැදුරා වාහනය පාර අයිනේ නතර කර, අසුන යට තිබෙන කැසට් පටි කිහිපයක් ගන්න අවශ්‍යයි කියා පැවසුවා. අනතුරුව ඔහු කැසට් පටි වෙනුවට තුවක්කුවක් ගෙන, පෝල්ගේ පපුවට එල්ල කළා.
හෙල්ලෙන්න එපා කියා රියැදුරා තමාට කළ අණය නොතකා පෝල් විගස ඔහු පැළඳ සිටි ආරක්ෂක පටිය ඉවත් කර මෝටර් රථයෙන් ක්ෂණිකව පැන, පුළුවන් තරම් වේගයෙන් පාර දිගේ දුවන්න පටන්ගත්තා. රියැදුරාද වහාම වාහනයෙන් බැස ඔහු පසු පස ලුහුබඳින්න පටන්ගත්තා. මේ අතර වාහනවලින් ගමන් කරමින් සිටි අය මේ සිද්ධිය දෙස බලා සිටියා. අවසානයේදී ඔහුගේ ටී ෂර්ට් එකෙන් තදින් අල්ලාගත් රියැදුරා තම මුළු වැර යොදා ඔහුව බිමට තල්ලු කෙරුවත් ඔහුගෙන් කෙසේ හෝ ගැළවුණු පෝල්, ඉදිරියට පැමිණෙමින් තිබූ වාහනයක් දෙසට වේගයෙන් දිව්වා. එම වාහනය පදවමින් සිටි ස්ත්‍රිය කෙතරම් බියට පත් වූවාද කිවහොත් ඇය තම වාහනය එක විගස නතර කළා. මේ මොහොතේදී ඇගේ කුඩා දරුවාද එහි සිටියා. මෝටර් රථය තුළ සිටි ඒ මව පෝල්ගේ බැගෑපත් ඉල්ලීම නිසා ඔහුව තම වාහනයේ දමාගෙන වෙනත් පාරකට හරවා වේගයෙන් තම රථය ධාවනය කළා. පෝල්ට පහර දුන් තැනැත්තා දරුණු මිනිමරුවෙක් බව පසුව සොයාගත්තා. පෝල් වගේ විශාල බෑගයක් පිටේ බැඳගෙන මහා මාර්ගයේ පයින් ගමන් කරමින් සිටි හත්දෙනෙකුව එම තැනැත්තා මරා දමා තිබුණා. මොවුන්ගෙන් සමහර අය ගමන් කරමින් සිටියේ තවත් කෙනෙකු සමඟයි.
මොවුන් මේ ඝාතකයාගේ විශේෂ ගොදුරු බවට පත්වීමට හේතු වූයේ කුමක්ද? ඝාතකයාට එරෙහිව පැනවූ නඩුව විභාග කළ අවස්ථාවේදී විනිසුරුවරයා මෙසේ සඳහන් කළා. “මොහුට ගොදුරු වුණ හැමකෙනෙක්ම තරුණයි. මොවුන් අවුරුදු 19ත් 22ත් අතර වයස් කාණ්ඩවල සිටි අයයි. මේ හැමකෙනෙක්ගේම නිවෙස් පිහිටා තිබුණේ හුඟක් දුර බැහැර ප්රදේශවලයි. මේ නිසා ඔවුන්ට යම් අනතුරක් සිදු වුවොත්, ඔවුන්ගේ නිවෙස්වල අයට ඒ ගැන දැනගන්න සැලකිය යුතු කාලයක් ගත වෙනවා.”
නිදහසේ සැරිසැරීම
අදදින මිනිසුන් දේශ දේශාන්තර හරහා ගමන් කිරීම මීට අවුරුදු පහකට පෙර තිබුණු තත්වයට වඩා බෙහෙවින් වෙනස්. අද මිනිසුන් බොහෝදෙනෙක් විදේශීය රටවල සංචාරය කරනවා. උදාහරණයක් හැටියට, අවුරුදු පහක් ඇතුළත, ආසියාවේ සංචාරය කරන ඕස්ට්‍රේලියානුවන් ගණන දෙගුණයක් වී තිබෙනවා. යෞවනයන්ගෙන් බොහෝදෙනෙක් ගුවන් යානාවලට ගොඩ වන්නේ යම් ප්‍රමාණයක ත්‍රාසයක් මුසු වූ නව අද්දැකීම් සොයා දුර ඈත දේශවලට ගමන් කිරීමේ ආශාව පෙරදැරි කරගෙනයි. මෙසේ සංචාරය කරන්නන්ගෙන් බොහෝදෙනෙක් තම වියදම් අඩු කරගැනීම සඳහා මහා මාර්ගයේ ගමන් කරන නාඳුනන පුද්ගලයන්ගේ වාහන නවත්වාගෙන ඒවායේ ගමන් කිරීමට සැලසුම් කරනවා. අභාග්‍යයකට, ඒ කාලයේ මෙන් නොවෙයි, අද ලෝකයේ බොහෝ රටවල වෙසෙන නාඳුනන පුද්ගලයන්ගේ වාහනවල ගමන් කිරීම එතරම්ම සුරක්ෂිත නැහැ. මෙලෙස වාහනවල ගමන් කරන්නන්ට මෙන්ම ඔවුන්ව තමන්ගේ වාහනවල රැගෙන යන අයටද එය ආරක්ෂාකාරි දෙයක් නොවෙයි.
තමන් නොදන්න දේශවල ගමන් කිරීම සඳහා ඇතැම් පුද්ගලයන් තුළ දැඩි ආශාවක් තිබුණත්, සිහිනුවණින් කටයුතු කිරීමේ අවශ්‍යතාව කිසිවිටෙක අමතක නොකළ යුතුයි. “තමන් සංචාරය කරන දවස පැමිණෙන තෙක් නොඉවසිල්ලෙන් බලා සිටින යෞවනයන්, බොහෝ අවස්ථාවලදී නිවසින් පිටව යන්නේ ඒ සඳහා හොඳ පෙර සූදානමක් ඇතුව නොවෙයි. තමන් මුහුණ දිය හැකි අනතුරු ගැන හෝ සංචාරයක යෙදෙන විට තමන් සතු වගකීම් ගැන හෝ ඔවුන්ට එතරම්ම දැනුමක් නැහැ” කියා එක් පොත්පිංචයක සඳහන් වෙනවා. මෙම පොත්පිංචය ලියා තිබෙන්නේ අතුරුදහන් වූ දරුවන්ව සොයන පවුල්වලට උපකාරයක් ලෙසයි.
එම පොත්පිංචයේ තවදුරටත් මෙසේ සඳහන් වෙනවා. “හොඳින් සංවිධානය කරන ලද කණ්ඩායමක් සමඟ සංචාරය කරන අය අතර හා නිශ්චිත සැලසුමක් ඇතිව චාරිකාවක යෙදෙන අය අතර අතුරුදහන් වීම් වාර්තා වන්නේ ඉතාමත් කලාතුරකින්. ඕස්ට්‍රේලියාවේ හෝ වෙනත් රටවල සංචාරවලදී අතුරුදහන් වූ අයගෙන් බොහෝදෙනෙක් තමන්ගේ බඩු මුට්ටු පිටේ බැඳගෙන අඩු වියදමින් ගමන් කිරීමට උත්සාහ දැරූ අයයි.”
බඩු පුරවාගත් විශාල බෑග් එකක් පිටේ බැඳගෙන සංචාරයක හෝ වෙනයම් ගමනක යෙදෙන පුද්ගලයෙක් දේවල් හොඳින් සැලසුම් කළේ නැත්නම් අනතුරකට පත්වීමේ අවදානම වැඩියි. සමහරු තමන්ගේ චාරිකාවන් කලින් සැලසුම් කිරීමට කැමැති නැහැ. මෙයට හේතුව මෙසේ කිරීම තමන්ගේ විනෝදයට බාධාවක් කියා ඔවුන් සිතීමයි. සංචාරකයන් ගමන් කරන තැන් ගැන ඔවුන්ගේ ඥාතීන් හෝ මිතුරන් නොදන්නවා නම්, යම් අනතුරකදී ඔවුන්ට උපකාරය ලබාගැනීම ඉතාමත් අසීරුයි. උදාහරණයක් හැටියට සංචාරකයෙක්ව සිහිසන් නැතුව රෝහලකට ගෙන ගියොත් ඔහු සිටින තැන ඔහුගේ නිවසේ සිටින අය නොදන්නේ නම් මතු වන තත්වය ගැන කුමක් කිව හැකිද?
අදහස් හුවමාරු කරගැනීම
“හිටිහැටියේම තමන්ගේ පවුලේ අය හා මිතුරන් සමඟ අදහස් හුවමාරුව නතර කර දමා තිබූ” බෑගයක් පිටේ බැඳගෙන සංචාරය කරමින් සිටි කලින් සඳහන් කළ අතුරුදහන් වූ හත්දෙනා ගැන බ්‍රිතාන්‍ය ජාතික පුවත්පත් කලාවේදියෙකු වන රිචඩ් ෂියස්, නිමක් නැති මහ මඟ (ඉංග්‍රීසියෙන්) නමැති ඔහුගේ පොතේ සඳහන් කළා. ඇත්තෙන්ම මෙවැනි අවස්ථාවකදී තමන්ගේ පවුලේ සාමාජිකයන් අතුරුදහන් වී සිටිනවාද එසේ නැත්නම් ඔවුන් තමන්ට තොරතුරු නොදන්වා සිටිනවාද කියා පවුලේ අයට ස්ථිරවම කිව නොහැකියි. මේ නිසා සංචාරයේ යෙදී සිටින තමන්ගේ පවුලේ අයගෙන් තමන්ට තොරතුරු දැනගන්න නොලැබෙන විට, බලධාරීන්ට ඒ අය ගැන දන්වන්න ඔවුන් මදක් පසුබට වෙනවා.
තම දෙමාපියන් සමඟ නිතරම දුරකථනයෙන් කතා කළ බෑගයක් පිටේ බැඳගෙන සංචාරය කරන්නියක් දුරකථනයෙන් කතා කරමින් සිටියදී මාරු කාසි අවසන් වීම නිසා ඇමතුම අතරමඟදී නතර කරන්න සිදු වුණා. මෙම තත්වය සැලකිල්ලට ගනිමින් ඇගේ දෙමාපියන් වෙනත් දෙමාපියන්ගෙන් ඉල්ලා සිටින්නේ තමන්ගේ දරුවන්ට ෆෝන් කාඩ්පතක් හෝ නිවසට කතා කිරීමේ වෙනත් දුර ඇමතුම් පහසුකමක් ලබා දෙන්න කියායි. මෙයින් ඒ දරුවන්ගේ ජීවිතයට එතරම් ආරක්ෂාවක් නොලැබිය හැකි වුවත්, නිතර නිතර තම පවුලේ අය සමඟ කතා කිරීම මගින් අවදානම් තත්වයන් අඩු කරගත හැකියි.
මරා දමනු ලැබූ බෑගයක් පිටේ බැඳගෙන සංචාරය කළ හත්දෙනා, ඕස්ට්‍රේලියාව මෙවන් සංචාරයන් සඳහා ආරක්ෂා සහිතම රටවලින් එකක් කියා සංචාරක පොත්වලින් කියවා දැනගෙන තිබෙන්න ඇති. බෑගයක් පිටේ බැඳගෙන තනිව හෝ තවත් අයෙක් සමඟ “ආරක්ෂාකාරි” රටවල පවා සංචාරය කිරීම නැණවත් දෙයක් නොවන බව මෙම අද්දැකීම්වලින් පැහැදිලි වෙනවා.
[පාදසටහන]
a නාඳුනන පුද්ගලයන්ගේ වාහන නතර කිරීමට සංඥා කර, ඒවායේ ගමන් කිරීම ඇතැම් ප්‍රදේශවල තහනම් බව සැලකිල්ලට ගත යුතුය.
[29වන පිටුවේ පින්තූරය]
තමන් සමඟ අදහස් හුවමාරු කරගැනීම සඳහා තම දරුවන්ට ෆෝන් කාඩ්පත් හෝ වෙනත් දුර ඇමතුම් පහසුකමක් ලබා දීමෙන් දෙමාපියන්ට සිත් වේදනා වළක්වාගත හැකියි