බයිබලයේ දෘෂ්ටිකෝණය
අනතුරුදායක ක්‍රීඩාවල ඔබ නිරත විය යුතුද?
“අද බොහෝදෙනෙක් අනතුරුදායක ක්‍රීඩා නැරඹීමට පමණක් සීමා නොවී, ඒවායේ නිරත වීමටත් උත්සාහ කරනවා. පැරෂූටයක ආධාරයෙන් ගුවන් යානයකින් බිමට පැනීම, කඹයක ආධාරයෙන් තද බෑවුමක් සහිත කන්දකින් පහළට බැසීම, සැර දිය පහර සහිත දිය ඇලි දිගේ ඔරු පැදීම හා දරුණු මෝරුන් සිටින සාගරවල කිමිදීම එවැනි ක්‍රීඩාවලින් සමහරකි.”—ද විලෝ ග්ලෙන් රෙසිඩන්ට් පුවත්පත.
එම පුවත්පතෙහි පළ වූ දෙයින් විස්තර කෙරෙන්නේ ක්‍රීඩාවල නිරත වීමට බොහෝදෙනෙක් වැඩි වැඩියෙන් නැඹුරුවාවක් දක්වන බවයි. පැරෂූටයක ආධාරයෙන් ගුවන් යානයකින් බිමට පැනීම, අයිස් කඳු තරණය කිරීම, පැරෂූටයක ආධාරයෙන් ගුවනේ පාවීම, උස් ස්ථානයක සිට පැනීමa වැනි ක්‍රීඩා අද බොහෝදෙනෙක් අතර ජනප්‍රිය වෙමින් තිබෙනවා. හිම මත ලිස්සා යන පුවරුවල යෑම, විශේෂිත පාපැදි මගින් කඳු තරණය කිරීම, රෝද සවි කරන ලද කුඩා ලෑල්ලක් වැනි යමකින් අයිස් මත ලිස්සා යෑම වැනි අභියෝගාත්මක ක්‍රීඩාවල නිරත වීම වැඩි වෙමින් පවතිනවා. මෙයින් පෙනී යන්නේ බොහෝ අවදානම් තත්වයන්ට මුහුණ දෙමින් ක්‍රීඩාවල අන්තයටම යෑමෙන් තමන්ගේ වීරත්වය හා කුසලතා ප්‍රදර්ශනය කිරීමට බොහෝදෙනෙක් නැඹුරු වන බවයි.
මෙම අනතුරුදායක ක්‍රීඩා ජනප්‍රිය වීමත් සමඟම සිදු වන අනතුරු සංඛ්‍යාවද වැඩි වෙමින් තිබෙනවා. ආරක්ෂාකාරි ලෙස පෙනෙන ක්‍රීඩාවකදී වුවත් අන්තයටම යෑමෙන් බොහෝදෙනෙක් තුවාල ලබනවා. වර්ෂ 1997දී එක්සත් ජනපදයේ රෝහල්වල හදිසි අනතුරු ඒකකයේ ප්‍රතිකාර ලැබූ හිම මත ලිස්සා යන පුවරුවල යෑමේ ක්‍රීඩාවට හවුල් වූ අයගේ සංඛ්‍යාව සියයට 33කට වැඩි ප්‍රමාණයකින්ද, රෝද සවි කරන ලද කුඩා ලෑල්ලක් වැනි යමකින් අයිස් මත ලිස්සා යෑමේ ක්‍රීඩාවට හවුල් වූ අයගේ ගණන සියයට 31කින්ද, කඳු නැඟීමේ හවුල් වූ අයගේ ගණන සියයට 20කින්ද ඉහළ ගියා. වෙනත් අනතුරුදායක ක්‍රීඩාවල නිරත වීමෙන් සිදු වූ හානි කලින් සඳහන් කළ ඒවාටත් වඩා දරුණුයි. අනතුරුදායක ක්‍රීඩාවල නිරත වීම නිසා සිදු වන මරණ සංඛ්‍යාව ඉහළ යමින් තිබෙනවා. මේ ක්‍රීඩාවලට කැමැත්තක් දක්වන අයද ඒවායේ අනතුරු ගැන නොදන්නවා නොවෙයි. හිම මත ඉතා වේගයෙන් ලිස්සා යෑමේ ක්‍රීඩාවෙහි නිරත වන ස්ත්‍රියක් මෙසේ සඳහන් කරනවා. “මේ ක්‍රීඩාවේ යෙදෙද්දී කොයි මොහොතක හරි මගේ ජීවිතයට අනතුරක් වෙයි කියල මම දන්නවා.” හිම මත ලිස්සා යෑමේදී දස්කම් පෙන්වන ක්‍රීඩකයෙක් කිව්වේ, “ඔබට තුවාල වුණේ නැත්නම්, ඒකෙන් පේන්නේ ඔබ ඒ සඳහා සෑහෙන වෙහෙසක් දරා නැති බවයි.”
ඉහත සඳහන් කළ දේවල් සලකා බලන විට, අනතුරුදායක ක්‍රීඩාවල නිරත වීම ක්‍රිස්තියානියෙකු සැලකිය යුත්තේ කෙසේද? අපි අනතුරුදායක ක්‍රීඩාවල නිරත විය යුතුද නැද්ද යන්න ගැන තීරණය කිරීමේදී බයිබලය අපට උපකාර කරන්නේ කෙසේද? ජීවිතයේ වටිනාකම ගැන දෙවිට හැඟෙන ආකාරය ගැන සලකා බැලීම, එම ප්‍රශ්නවලට උත්තර ලබාගැනීමට අපිට උපකාරවත් වෙනවා.
දෙවි ජීවිතය සලකන ආකාරය
‘ජීවිතයේ උල්පත’ යෙහෝවා බව බයිබලයේ සඳහන් වෙනවා. (ගීතාවලිය 36:9) අපව මවා, ජීවිතයේ නියම ප්‍රීතිය භුක්ති විඳීම සඳහා අවශ්‍ය කළ දේවල් අපිට ලබා දීමෙන් අපේ ජීවිත ගැන බෙහෙවින් සැලකිලිමත් වන බව ඔහු පෙන්නුවා. (ගීතාවලිය 139:14; ක්‍රියා 14:16, 17; 17:24-28) එනිසා ඔහු අපිට ත්‍යාගශීලී ලෙස ලබා දී තිබෙන දේවල් භුක්ති විඳීමේදී ජීවිතය ගැන සැලකිලිමත් වීම අපෙන් බලාපොරොත්තු වෙනවා කියා සිතීම සාධාරණයි. මෙය තවදුරටත් තේරුම්ගැනීමට එදා ඉශ්රායෙල් ජාතියට ඔහු දුන් නීති හා ප්‍රතිපත්ති අපිට උපකාරවත් වෙනවා.
සෙසු අයගේ ජීවිතවලට සිදු විය හැකි අනතුරු වළක්වාගැනීම සඳහා එක් එක් පුද්ගලයා විසින් පූර්ව ආරක්ෂක පියවර ගැනීමට මෝසෙස්ගේ ව්‍යවස්ථාවේ නියම කර තිබුණා. මෙම නීති පිළි නොපැදීමේ ප්‍රතිඵලයක් හැටියට යමෙකු මරණයට පත් වුණා නම්, එම මරණයට හේතු වූ දෙය වළක්වාගත හැකිව තිබූ තැනැත්තාව ලේ වරදකරුවෙකු හැටියට සලකනු ලැබුවා. උදාහරණයක් හැටියට ඒ කාලයේදී යමෙක් පැතලි වහලක් සහිත නිවසක් සාදන විට, එම වහලය වටේට උස බැම්මක් බැඳිය යුතු බව ව්‍යවස්ථාවේ නියම කර තිබුණා. බැම්මක් බඳිනු නොලැබූ වහලකින් යමෙක් වැටී මිය ගියා නම්, නිවසේ අයිතිකරු මරණයට වගකිව යුතු වුණා. (ද්විතීය කථාව 22:8) බලාපොරොත්තු නොවූ මොහොතක ගොනෙක් ඇනීම නිසා කෙනෙක් මැරුණොත්, ගොනාගේ අයිතිකරු මරණයට වගකිව යුතු වුණේ නැහැ. එහෙත් ගොනා අනින බව අයිතිකරු දැන සිටියා නම් හා ඒ ගැන ඔහුට කලින් අනතුරු අඟවා තිබුණා නම් ඔහු මරණයට වගකිව යුතු වුණා. එවැනි අවස්ථාවකදී ඔහුට මරණ දඬුවම නියම වුණා. (නික්මයාම 21:28, 29) යෙහෝවා ජීවිතය ඉතා අනර්ඝ දෙයක් ලෙස සලකන නිසා, ඒ කෙරෙහි ඉමහත් සැලකිල්ලක් දැක්වීමේ අවශ්‍යතාව ඔහුගේ ව්‍යවස්ථාව මගින් අවධාරණය කරනු ලැබුවා.
අවදානම් සහිත දේවල් කිරීමේදී පවා එම ප්‍රතිපත්ති අදාළ වන බව දෙවිගේ ඇදහිලිවන්ත සේවකයන් තේරුම්ගත්තා. ‘බෙත්ලෙහෙමේ දොරටුව ළඟ තිබෙන ළිඳෙන් වතුර බොන්න’ දාවිත් තුළ ආශාවක් ඇති වූ බව බයිබලයේ වාර්තා වෙනවා. ඒ කාලයේදී බෙත්ලෙහෙම පිලිස්තිය යටතෙයි තිබුණේ. දාවිත්ගේ ආශාව ගැන දැනගන්න ලැබුණු ඔහුගේ සොල්දාදුවන් තිදෙනෙක් පිලිස්තිවරුන්ගේ කඳවුර හරහා ගොස් බෙත්ලෙහෙමේ තිබූ ළිඳෙන් වතුර ගෙනැවිත් දාවිත්ට දුන්නා. දාවිත් එය සැලකුවේ කොහොමද? ඔහු ඒ වතුර පානය නොකර, බිමට වත් කළා. ඔහු මෙසේ පැවසුවා. ‘මේ දේ කිරීමෙන් මාගේ දෙවි මා වළක්වත්වා! තමුන්ගේ ජීවිතයට විය හැකි අන්තරාව නොසලකා ගියාවූ මේ මනුෂ්‍යයන්ගේ ලේ මා විසින් බොන්ටද? මක්නිසාද ඔවුහු තමුන්ගේ ජීවිත අන්තරාවෙහි තබා මේවා ගෙනාවෝය.’ (1 ලේකම් 11:17-19) තමාගේ ආශාව සන්සිඳුවාගැනීම සඳහා අන් අයගේ ජීවිත අනතුරකට ලක් වෙනවා දකින්න දාවිත් කැමති වුණේ නැහැ.
යේසුස් කටයුතු කළේද එයාකාරයටයි. යේසුස්ට හානියක් වීමට දේවදූතයින් ඉඩ දෙනවාද නැද්ද කියා බැලීමට දේවමාළිගාව වටේ තිබූ පවුරෙන් පහතට පනින්න කියා පවසමින් යක්ෂයා යේසුස්ව පරීක්ෂා කළ අවස්ථාවේදී, ඔහු එය ප්‍රතික්ෂේප කළා. යේසුස් මෙසේ උත්තර දුන්නා. ‘නුඹේ දෙවි වූ යෙහෝවාව පරීක්ෂා නොකරව.’ (මතෙව් 4:5-7) ඔව්, ජීවිතයට අනතුරක් විය හැකි අවදානම් සහිත දේවල් කිරීම දෙවිගේ ඇස් ඉදිරියෙහි වැරදි බව දාවිත් මෙන් යේසුස්ද තේරුම්ගත්තා.
මෙම උදාහරණ සලකා බලන විට, අපි මෙසේ කල්පනා කළ හැකියි. ‘යම් ක්‍රීඩාවක් අනතුරුදායක වන්නේ කොතෙක් දුරට එහි නියැලුණොත්ද? එමෙන්ම, හුදෙක් විනෝදය සඳහා කරන ඇතැම් ක්‍රීඩාවන් පවා අනතුරුදායක මට්ටමකට පැමිණිය හැකි නිසා, අපි එහි සීමාව හඳුනාගන්නේ කොහොමද?’
අනතුරක් තිබියදීත් එය කිරීම වටීද?
ඉහත සඳහන් කළ ප්‍රශ්නවලට උත්තර දීම සඳහා අපි නිරත වීමට කල්පනා කරන ඕනෑම ක්‍රියාකාරකමක් ගැන අවංක තක්සේරුවක් කිරීම උපකාරවත් වෙනවා. උදාහරණයක් හැටියට, අපිට අපෙන්ම මෙසේ අසාගත හැකියි. ‘මේ ක්‍රීඩාව නිසා අනතුරු කොපමණ සිදු වී තිබෙනවාද? සිදු විය හැකි අනතුරු වළක්වාගැනීම සඳහා මම පුහුණුවක් ලබා සිටිනවාද? එහෙම නැත්නම් අවශ්‍ය කරන ආරක්ෂිත උපකරණ මා ළඟ තිබෙනවාද? මම වැරදි පියවරක් තැබුවොත් හෝ මගේ ආරක්ෂිත උපකරණ නිසි ලෙස ක්‍රියාත්මක කිරීමට අසමත් වුවහොත්, එයින් සිදු විය හැකි ප්‍රතිඵල මොනවාද? එය සුළු තුවාලයක් පමණක් විය හැකිද? නැත්නම් එයින් බරපතළ තුවාල හෝ මරණය පවා සිදු විය හැකිද?’
සැබෑ ක්‍රිස්තියානියෙකු විනෝද වීමේ අරමුණින් අනතුරුදායක දේවල් කිරීම, යෙහෝවා සමඟ තිබෙන ඔහුගේ අනගි සබඳතාවට මෙන්ම සභාවේ විශේෂ වරප්‍රසාද ලබා දීම සඳහා ඔහුගේ සුදුසුකම් සලකා බැලීමේදී එය අහිතකර ලෙස බලපෑ හැකියි. (1 තිමෝති 3:2, 8-10; 4:12; තීතස් 2:6-8) ක්‍රිස්තියානීන් විනෝද වීමේ අරමුණින් නොයෙකුත් දේවල් කිරීමේදී, ජීවිතයේ පරිශුද්ධභාවය ගැන මැවුම්කරුගේ දෘෂ්ටිය සැලකිල්ලට ගන්නවා නම් සිදු විය හැකි අනතුරු වළක්වාගත හැකියි.
[පාදසටහන]
a උස් ගොඩනැඟිලිවලින්, පාලම්වලින් හා තද බෑවුම් සහිත කඳුවලින් පැනීමේ ක්‍රීඩාව මොනතරම් අනතුරුදායකද කියනවා නම් එක්සත් ජනපදයේ ජාතික උද්‍යාන සේවය මගින් එම ක්‍රීඩාව තහනම් කර තිබෙනවා.