ලෝක විනාශය ඔබ සිතන ආකාරයට නොවෙයි
කලින් ලිපිවලින් සලකා බැලූ ලෙස ලෝක විනාශය ගැන තිබෙන අදහස් සියල්ලම නිෂේධාත්මකයි. කෙසේවෙතත් ඒ සෑම එකකටම පොදු කාරණා තුනක් තිබෙනවා. (1) ඒ සෑම මතයක්ම මිනිසුන්ගේ උපකල්පන වීමයි. ඒත් ඉතිහාසය දෙස බලද්දී මිනිසාට අනාගතය ගැන කීමට ඇති හැකියාව ඉතා අල්පයි. (2) එවැනි විනාශයකින් බේරෙන්නේ කවුද කියා කිව නොහැකි වීමයි. (3) විනාශයෙන් බේරෙන අයට ජීවත් වීමට විශාල අසීරුතාවන්ට මුහුණ දීමට සිදු වීමයි.
එහෙත් බයිබලයේ අනාගතය ගැන සඳහන් වන දේ සරලයි, පැහැදිලියි. එහි සඳහන් කාරණාවලට අනුව මේ ලෝකයේ විශාල වෙනසක් සිදු වන බව ස්ථිරයි. නමුත් දෙවියන්ට කීකරු වන අය අනිවාර්යයෙන්ම ගැලවෙන බව එහි සඳහන් වෙනවා. මේ පොළොව දැඩි උෂ්ණත්වයකින් උණු වී යනවා කියාවත් දැඩි සීතලකින් අයිස් බවට පත් වෙනවා කියාවත් බයිබලයේ සඳහන් වන්නේ නැහැ. එහි සඳහන් වන්නේ ඉදිරියේදී සිදු වීමට නියමිත වෙනස්කමෙන් පසු මුළු පොළොවම පාරාදීසයක් බවට පත් වෙනවා කියායි.
බොහෝදෙනෙක් අනාගතය ගැන බයිබලයේ දී තිබෙන පොරොන්දු පිළිගැනීමට අකමැතියි. උදාහරණයකට දෙවියන් විසින් ගෙනෙන යුද්ධය, පාරාදීස පොළොවක ජීවිතය වැනි ඉගැන්වීම් පිළිගන්නේ නැහැ. දේවධර්මවාදීන් එවැනි ඉගැන්වීම් ගැන බොහෝ සාකච්ඡා කර තිබෙනවා. ඒ වගේම තර්ක කර තිබෙනවා. නමුත් ඔවුන් ඉදිරිපත් කර තිබෙන අදහස් එකිනෙකට පටහැනියි. අවසාන කාලය ගැන ලියා තිබෙන පොත් පත් සම්බන්ධයෙන් බෲස් ඒ. රොබින්සන් නම් කතුවරයා පවසන්නේ “වෙන කිසිම විෂයකට වඩා මේ විෂය ගැන ලියැවුණු පොත් පත් බොහොමයක් තිබෙනවා” කියායි. නමුත් ඒවායෙහි ප්‍රතිඵලය වී තිබෙන්නේ මිනිසා තව තවත් වියවුල් වීමයි.
කෙසේවෙතත් බයිබලයේ සඳහන් ඉගැන්වීම් තේරුම්ගැනීම පහසුයි. එහි තිබෙන්නේ දෙවියන් විසින් මිනිසාට දී ඇති පණිවිඩයයි. ඔහු කැමති වන්නේ අනාගතයේදී සිදු වන දේ සම්බන්ධයෙන් මිනිසුන් පැහැදිලි අවබෝධයක් ලබාගන්නවාටයි. පහත සඳහන් වන්නේ මිනිසුන් පිළිතුරු ලබාගැනීමට කැමති ප්‍රශ්න කිහිපයක් පමණයි. ඔබට බයිබලයේ ඇති ඉගැන්වීම් සම්බන්ධයෙන් තවත් තොරතුරු දැනගැනීමට කැමති නම් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විසින් ප්‍රකාශිත බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු නමැති පොත ලබාගන්න.
පෘථිවියත් මිනිස් වර්ගයාත් සම්පූර්ණයෙන්ම විනාශ වී යයිද?
“ධර්මිෂ්ඨයෝ පොළොව උරුම කරගන්නෝය. ඔවුහු එහි සදාකල් ජීවත් වන්නෝය.”—ගීතාවලිය 37:29.
විනාශයෙන් බේරෙන කොටසක් සිටීද?
“ප්‍රතිපත්තිගරුක ජීවිතයක් ගත කරන අය දිගු කල් ජීවත් වන්නෝය. පොළොව මත බේරී ජීවත් වන්නේ නිර්දෝෂ අයයි. නමුත් දුෂ්ටයන්ව පොළොවෙන් තුරන් කරනු ලබන්නේය. ද්‍රෝහිකම් කරන්නන්වද පොළොවෙන් උදුරා දමනු ලබන්නේය.”—හිතෝපදේශ 2:21, 22.
දෙවිට අකීකරු වූ අයට අතීතයේදී දෙවි දඬුවම් කළාද?
“දෙවි, නෝවාගේ කාලයේදී පැවති තමාට කිසි ගෞරවයක් නොදැක්වූ ලෝකයට දඬුවම් කිරීමට පසුබට වුණේ නැත. ඔහු එය ජලගැල්මකින් විනාශ කළ විට ධර්මිෂ්ඨකම ගැන දේශනා කළ නෝවාවද තවත් හත්දෙනෙකුවද ආරක්ෂා කළේය. එලෙසම ඔහු සොදොම් සහ ගොමෝරා යන නුවරවල් විනාශ කරමින් ඒවා අළු බවට පත් කළේය. එමගින් තමාට කිසි ගෞරවයක් නොදක්වන අයට ඉදිරියේදී සිදු වන දේ ගැන ඔහු පැහැදිලිව පෙන්වා දුන්නේය.”—2 පේතෘස් 2:5, 6.
දෙවි විනාශය ගෙනෙන්නේ කවදාද කියා අපට දැනගත හැකිද?
“පියාණන් මිස ඒ දේ සිදු වන දවස හා වේලාව කිසිවෙක් දන්නේ නැහැ. ස්වර්ගයෙහි දේවදූතයන්වත් පුත්‍රයාවත් දන්නේ නැහැ. මනුෂ්‍ය පුත්‍රයා පැමිණ සිටින කාලයේ සිදු වන දේවල් නෝවාගේ කාලයේ සිදුවීම්වලට සමානයි. ජලගැල්මට පෙර කාලය පුරාම එනම්, නෝවා නැවට ඇතුල් වූ දවස දක්වාම ඔවුන් කමින් බොමින් විවාහ වෙමින් සහ විවාහ කර දෙමින් සිටියා. ජලගැල්ම ඇවිත් ඔවුන් සියල්ලන්වම ගසාගෙන යන තුරු ඔවුන් සිදු වන දේ ගැන කිසි තැකීමක් කළේ නැහැ. මනුෂ්‍ය පුත්‍රයා පැමිණ සිටින කාලයද ඒ හා සමානයි.”—මතෙව් 24:36-39.
විනාශය අත ළඟ බවට සාක්ෂි තිබෙනවාද?
“අවසාන කාලයේදී ඉතා අසීරු, අනතුරු සහිත කාලයක් පැමිණෙන බව ඔබ දැනගත යුතුයි. මන්ද මිනිස්සු තමන් ගැනම සිතන, මුදලට ලොල් වී සිටින, පුරසාරම් දොඩන, උඩඟු, දෙවිට අපහාස කරන, දෙමාපියන්ට අකීකරු වන, ස්තුතිවන්ත නොවන, ද්‍රෝහිකම් කරන අය වනු ඇත. ඔවුහු තමන්ගේම අය කෙරෙහිවත් කිසි සෙනෙහසක් නැති, කිසිම දෙයක් ගැන එකඟ නොවන, නින්දා කරන, තමන්වම පාලනය කරගත නොහැකි, දරුණු, යහපත්කමට කිසි ඇල්මක් නොදක්වන, අනුන්ව පාවා දෙන, හිතුවක්කාර, අහංකාර, දෙවිට වඩා විනෝදයට ඇල්මක් දක්වන අය වනු ඇත. මීට අමතරව මිනිසුන්ට පෙනෙන්න ඔවුන් දෙවි සඳහා භක්තියකින් කටයුතු කළත් ඔවුන් ඇත්තටම ක්‍රියා කරන්නේ ඒ භක්තියට පටහැනිවය.”—2 තිමෝති 3:1-5.
මිනිසාට ඇති බලාපොරොත්තුව කුමක්ද?
“දෙවි ඔවුන්ගේ ඇස්වලින් සියලු කඳුළු පිස දමන්නේය. මරණයද තවත් නොවන්නේය. වැලපීමද හැඬීමද වේදනාවද තවත් නොවන්නේය. මන්ද කලින් සිදු වූ දේවල් පහව ගොස් ඇත.”—එළිදරව් 21:4.
“දෙවි ඔවුන්ගේ ඇස්වලින් සියලු කඳුළු පිස දමන්නේය”
අනාගතය ගැන සියලුම තොරතුරු බයිබලයේ සඳහන් වී නැහැ. ඒ වුණත් අපට සිතාගත නොහැකි ආකාරයේ ආශීර්වාද ලැබෙන බව ස්ථිරයි. යෙහෝවා දෙවියන්ට පොරොන්දු ඉටු කිරීමට හැකියාවක් තිබෙන නිසා ඔහු දුන් පොරොන්දු අපට විශ්වාස කළ හැකියි.