සත්තු වත්තේ සවාරියක්
අද ලෝකයේ බොහෝ තැන්වල සත්වෝද්‍යාන දක්නට ලැබෙනවා. ඒත් මීට වසර 3,000කට පෙර සත්වෝද්‍යාන තිබුණේ අතළොස්සක් පමණයි. ඉන් එකක හිමිකරු වූයේ චීනයේ අධිරාජ්‍යයෙක්. ඔහුගේ සත්තු වත්ත අක්කර 1,500ක භූමි ප්‍රමාණයක් පුරා පැතිර තිබුණා.
සත්වෝද්‍යානවලින් සිදු වන සේවාව ගැන එක් පොතක සඳහන් වන්නේ මෙසේයි. “ස්වභාවික පරිසරය විනාශ වන නිසාත් වැඩි වැඩියෙන් නාගරීකරණය වන නිසාත් බොහෝදෙනෙකුට සතුන්ව දැකගන්න ලැබෙන්නේ නැහැ. සතුන්ව දැකගැනීමටත් උන්ගේ චර්යාවන් අධ්‍යයනය කරන්නත් හැකියාව ලැබෙන්නේ සත්වෝද්‍යානවලදීයි.”—Zoos in the 21st Century.
නවීන දින සත්වෝද්‍යාන
සත්වෝද්‍යානවල ඉතාමත් ආකර්ෂණීය සතුන්ව දැකගන්න පුළුවන්. උන්ව තබා තිබෙන්නේ යම් දුරකට උන්ටම ආවේණික ස්වභාවික පරිසරයකයි. ලස්සන මල් උයනක් ආකාරයට තනන ලද ස්ථානයක වෛවාරණ සමනලුන්ට තටු සලමින් නිදැල්ලේ ඒ මේ අත සැරිසැරීමට ඉඩ සලසා තිබෙනවා. ඒ වගේම අයිස් මිදෙන සීත දේශවල වෙසෙන පෙන්ගුවින් පක්ෂීන්ව සත්වෝද්‍යානවල තබා තිබෙන්නේ උන්ට ආවේණික ස්වභාවික පරිසරයට සමානව තැනූ කෘත්‍රිම පරිසරයකයි.
නිවර්තන වනාන්තරවල වෙසෙන සතුන් හා පක්ෂීන්ව තබා තිබෙන්නෙත් උන්ටම හුරු පරිසරයකයි. නිසාචර පක්ෂීන් සිටින්නේ අඳුරු කුටිවලයි. සමහර සත්වෝද්‍යානවල රාජාලීන්, ගිජුලිහිණින් වැනි දඩයක්කාර පක්ෂීන්ගේ සංදර්ශන මෙන්ම ඩොල්ෆින් මත්ස්‍යයන්ගේ නොයෙකුත් සංදර්ශනද දැකගත හැකියි. අතීතයේදී භයානක සතුන්ව තබා තිබුණේ කූඩුවලයි. ඒත් දැන් එවැනි සතුන්ට නිදැල්ලේ හැසිරීමට හැකියාව ලබා දෙමින් කුඩා ප්‍රදේශයක් වටා ආරක්ෂිත වැටක් තනා ඒවායේ තබා තිබෙනවා.
වාසි අවාසි
සතුන්ගේ සුභසාධනය වෙනුවෙන් කටයුතු කරන අය කියා සිටින්නේ ස්වභාවික පරිසරයක වෙසෙන සතුන් කෘත්‍රිම පරිසරයක තැබීම සුදුසු නැහැ කියායි. එසේ කිරීමෙන් සතුන්ගේ ස්වභාවික චර්යාවන්ට බාධා ඇති වෙනවා කියා ඔවුන් පවසනවා.
නමුත් සත්වෝද්‍යානවල පාලකයන් පවසන්නේ සතුන් රැකබලා ගැනීමෙන් හා අන් අයට සතුන් ගැන අධ්‍යාපනයක් ලබා දීමෙන් ඔවුන් විශාල මෙහෙවරක් කරන බවයි. ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් නගරයේ තිබෙන සත්වෝද්‍යානයේ පාලකයෙක් මෙසේ පැවසුවා. “අපේ එකම අරමුණ පොදු ජනයා තුළ සතුන් කෙරෙහි ඇල්මක් ඇති කිරීමයි. ඒ වගේම සතුන්ට උන්ගේ ස්වභාවික පරිසරය ආරක්ෂා කර දීමේ ඇති අවශ්‍යතාව කාවැද්දීමයි.” අධ්‍යයනවලින් හෙළි වී තිබෙන්නේ වඳ වී යන සතුන්ව රැකගැනීමේ ඇති අවශ්‍යතාව මහජනයාට අවබෝධ කර දීමට සත්වෝද්‍යානවලට හැකි වී තිබෙනවා කියායි.
දුර්ලභ ගණයේ සත්ව විශේෂ අතරින් එක් විශේෂයක් වන යෝධ පැන්ඩා කාගෙත් සුරතලෙක්. “අපේ සත්තු වත්තට එන හැමෝටම ඕනේ අපේ පැන්ඩා ජෝඩුව බලන්න. වඳ වී යන සතුන්ව රැකගැනීමට අපි දරා තියෙන වෑයමට මේ පැන්ඩා හොඳ උදාහරණයක්. මුන්ගෙන් තවත් පැටව් බෝ වෙයි කියලා අපි හිතනවා. ඒත් ඒක ලේසි නැහැ. මොකද උන් සහකාරයෙක් තෝරද්දී හරිම සැලකිලිමත්.” එසේ පැවසුවේ මැඩ්රිඩ් උද්‍යානයේ සේවය කරන බෙනීටෝයි.
කෙසේවෙතත් සුදුසු පරිසරයක් හා පශු වෛද්‍යවරුන්ගේ උපකාරය තිබෙන නිසා අනික් සතුන් නම් කිසි කරදරයක් නැතුව බෝ වෙනවා. වඳ වී යන සතුන්ව රැකගැනීම සත්වෝද්‍යානවල කාර්යයක් නෙවෙයි කියා චෝදනා කරන අයට සතුන් එලෙස බෝ වීම හොඳ පිළිතුරක්. සත්වෝද්‍යානවල ප්‍රදර්ශනය සඳහා සතුන්ව බෝ කර ගන්නවාට අමතරව වඳ වී යන සතුන්ව බෝ කරගැනීමටත් ඔවුන් වෑයමක් දරනවා. පසුව එවැනි සතුන්ව නැවතත් උන් හැදී වැඩුණු ස්වභාවික පරිසරවලට මුදාහරිනවා.
සතුන් වඳ වීමට මූලික හේතුව උන්ගේ ස්වභාවික පරිසරය විනාශ වීමයි. නිවර්තන කලාපීය රටවල සංරක්ෂිත වනාන්තර සුරැකීමේ වැඩසටහන්වලට සත්වෝද්‍යානවලින් මූල්‍යමය සහය ලබා දෙනවා.a
පරිසරයේ අසිරිය
සාමාන්‍යයෙන් පුංචි ළමයි සතුන්ට හුඟක් ආදරෙයි. ඒ නිසා සති අන්තයේ හෝ නිවාඩුවක් ලැබෙන විට සත්වෝද්‍යානයක් නැරඹීමට යන්න. සියලු දේම නිර්මාණය කළ යෙහෝවා දෙවිගේ අපූර්ව නිර්මාණ ගැන ඔවුන්ට කියා දෙන්න එය කදිම අවස්ථාවක්. එයින් පවුලේ සැමට ලොකු ප්‍රීතියක් ලබන්නත් පුළුවන්.
ඈත අතීතයේ පටන් මිනිසා සතුන් කෙරෙහි ලොකු ඇල්මක් දක්වා තිබෙනවා. එම ඇල්ම දරුවන් තුළත් ඇති කිරීම වැදගත්. මන්ද අපගේ නිර්මාතෘ ගැන දැනගැනීමට එය මහත් රුකුලක්. සත්වෝද්‍යානයකට යෑමෙන් අපේ පරිසරයේ මොන තරම් වටිනා සත්ව සම්පතක් තියෙනවාද කියා දැනගැනීමට අපිට හැකි වෙයි.
a ආසියාවේ කොටි, මැඩගස්කරයේ වඳුරන් (lemurs) සහ අප්‍රිකාවේ වානරයන් වැනි සතුන් සුරැකීමට සත්වෝද්‍යානවලින් දුන් සහය ප්‍රයෝජනවත් වී තිබෙනවා.