-
මේ තරම් බඩු මුට්ටු ඕනෙද?2013 පිබිදෙව්! | ජූනි
-
-
මුල් පිටුවෙන්: මේ තරම් බඩු මුට්ටු ඕනෙද?
මේ තරම් බඩු මුට්ටු ඕනෙද?
මිනිස්සු සාප්පු ගිහින් ගෙදර ගෙනියන්නේ තමන්ට ඕන දේවල්මද? ඒ ගැන 2012දී ජාත්‍යන්තර සමීක්ෂණයක් කළා. සහභාගි වූ අයගෙන් අඩක් කිව්වේ ඔවුන් මිල දී ගත්තේ අවශ්‍ය නැති දේවල් කියලයි. තුනෙන් දෙකක්ම කිව්වේ ඕනෑවට වඩා මිල දී ගන්නවා කියලයි. හුඟදෙනෙක් ණයකාරයො වෙලා. පර්යේෂකයන් කියන විදිහට මෙහෙම බඩු මිල දී ගැනීමෙන් සතුට නෙමෙයි වැඩිවෙලා තියෙන්නේ පීඩනය! එහෙමනම් ඇයි මිනිස්සු මේ විදිහට මිල දී ගන්නේ?
කොහෙ බැලුවත් වෙළඳ දැන්වීම්! වෙළඳ දැන්වීම් කරන අයගේ ඉලක්කය මොකක්ද? අවශ්‍ය නැති දේත් නැතුවම බැරි දෙයක් විදිහට පෙන්වන එක. භාණ්ඩයක් දැක්ක ගමන්ම පාරිභෝගිකයා හැඟීම්වලට වහල් වෙනවා කියලා අලෙවිකරුවන් හොඳට දන්නවා. ඒ නිසා වෙළඳ දැන්වීම් සහ භාණ්ඩ ප්‍රදර්ශනය කරන්නෙ පාරිභෝගිකයාව අල්ලගන්න විදිහට.
එක පොතක මෙසේ සඳහන් වෙනවා. “යම් භාණ්ඩයක් මිල දී ගන්න යමෙකුට ආසාවක් ඇති වුණොත් ඒ භාණ්ඩය ගන්න කල් ඔහු සිහින මවනවා. ඉන්පසු ඔහු කොහොමහරි ඒක මිල දී ගන්නවා.” (Why People Buy Things They Don’t Need) මිනිස්සු සාප්පු යද්දී කොච්චර උද්දාමයට පත්වෙනවද කිව්වොත් ඔවුන්ට ඇඩ්‍රිනලින් හෝමෝනය ස්‍රාවය වෙනවා කියලා විද්වතුන් හිතනවා. (උද්වේගකර අවස්ථාවලදී ස්‍රාවය වේ.) “පාරිභෝගිකයාගේ ඒ හැසිරීම වෙළෙන්දාට තේරුණොත් ඒක තම වාසියට හරවගෙන භාණ්ඩය කොහොමහරි විකුණගන්න බලනවා. ඒ වෙලාවට පාරිභෝගිකයා අනුවණ තීරණයක් ගන්න පවා ඉඩ තියෙනවා.” එහෙම කියන්නේ අලෙවි ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙක් වන ජිම් පූලර්.
දැන්වීම්වලට අහු නොවී බුද්ධිමත් පාරිහෝගිකයෙක් වෙන්නෙ කොහොමද? හැඟීම්වලට වහල් නොවී දැන්වීම්වල කියන දේ ඇත්තද කියලා මුලින්ම හොයලා බලන්න.
කියන්නෙ නම් මෙහෙමයි: “කරදර නැති ජීවිතේකට!”
නිරෝගීව ජීවත් වෙන්න, පවුලේ අයත් එක්ක සතුටු වෙන්න, මනස සැහැල්ලු කරගන්න, සොර සතුරු බියෙන් මිදෙන්න කවුරුත් කැමතියි. දැන්වීම්කරුවන් පාරිභෝගිකයන්ව අල්ලගන්නේ ඒ ආශාවන්වලට ගැළපෙන විදිහට දැන්වීම් නිර්මාණය කරලා.
කියන දේ ඇත්තද:
බඩු වැඩි වෙන්න වැඩි වෙන්න ජීවිතේ සතුටත් අඩු වෙනවා. ගත්ත බඩු නඩත්තු කරන්න අමතර කාලය සහ මුදල් ඕනෙ වෙනවා. බඩු ගන්නෙ ණය වෙලා නිසා මානසික පීඩනයත් වැඩියි. අන්තිමට පවුලෙ අය සහ යාළුවන් එක්ක ඉන්නවත් වෙලාවක් නැති වෙනවා.
බඩු වැඩි වෙන්න වැඩි වෙන්න ජීවිතේ සතුටත් අඩු වෙනවා
උපදෙසක්: ‘කෙනෙකුට කොතරම් දේවල් තිබුණත් තිබෙන දේවලින් ඔහුගේ ජීවිතය රැකගන්න ඔහුට බැහැ.’—ලූක් 12:15.
කියන්නේ නම් මෙහෙමයි: “කා අතරත් කැපිලා පේන්න!”
කිසි කෙනෙක් පිළිගන්නෑ තමන් බඩුවක් ගන්නෙ අනිත් අය ඉස්සරහ කැපිලා පේන්න කියලා. ඒත් “මිනිස්සු යම් දේවල් මිල දී ගන්න පෙලඹෙන්නෙ යාළුවෝ, නෑයෝ එක්ක එයාලට පොඩි තරඟයක් තියෙන නිසා” කියලා ජිම් පූලර් කියනවා. මේ හැසිරීම දැන්වීම්කරුවන් හොඳට දන්නවා. ඒ නිසා සමාජයේ ඉහළ පැළැන්තියේ අයයි මේවා ගන්නෙ කියලා දැන්වීම්වලින් පෙන්වනවා. ඒ හරහා පාරිභෝගිකයාට දෙන පණිවිඩය තමයි “ඔයාටත් පුළුවන් ඒ තත්වෙට එන්න” කියන එක.
කියන දේ ඇත්තද:
අපි කවුද කියලා පෙන්වන්න අනිත් අයත් එක්ක සසඳන්න ගියොත් අපි කවදාවත් සෑහීමට පත්වෙන්නෑ. මොකද එක ආසාවක් සන්සිඳෙන කොටම තව දේවල් ගන්න ආසාවක් ඇති වෙනවා.
උපදෙසක්: “රිදීවලට ඇලුම් වන්නාට රිදී ලැබුණත් ඔහු එයින් සෑහීමට පත් නොවෙයි.”—දේශනාකාරයා 5:10.
කියන්නේ නම් මෙහෙමයි: “කවුද කියලා පෙන්නන්න”
එක පොතක මෙහෙම කියනවා. “තමන් කවුද කියලා සමාජයට පෙන්වන්න (කවුරු වගේ වෙන්න කැමතිද කියලා පෙන්වන්න) හුඟක් අය කරන්නේ තමන් සතු දේවල් ප්‍රදර්ශනය කිරීමයි.” (Shiny Objects) දැන්වීම්කරුවන් ඒක දන්න නිසා සමහර ප්‍රසිද්ධ වෙළඳ නාම කෙනෙක්ගේ සමාජ මට්ටම සහ ගතිලක්ෂණ සමඟ සම්බන්ධ කරලා දැන්වීම් හදනවා.
අනිත් අය ඔයාව කොහොම දකිනවටද ඔයා කැමති? නවීන තාලෙ කෙනෙක් විදිහටද? කඩවසම් කෙනෙක් විදහටද? තරුවක් විදිහටද? එහෙමනම් මෙන්න මේ වෙළඳ නාමය තියෙන භාණ්ඩ ගන්න කියලා දැන්වීම්කරුවන් කියනවා.
කියන දේ ඇත්තද:
අපි මිල දී ගන්න බඩුවලින් ‘අපි ඇත්තටම කවුද’ කියන එක වෙනස් වෙන්නෙ නෑ. නුවණ, මව් සෙනෙහස වගේ හොඳ ගතිලක්ෂණ පෙන්වන්න අපි ගන්න බඩු මිම්මක්ද නෙමෙයි.
උපදෙසක්: ‘ඔබේ බාහිර අලංකාරයට එනම් රන් ආභරණවලින් සහ වටිනා ඇඳුම් පැළඳුම්වලින් සැරසී සිටීමට මුල් තැන නොදෙන්න. ඒ වෙනුවට ඔබේ ඇතුළාන්තය අලංකාරවත් කරගන්න.’—1 පේතෘස් 3:3, 4.
-
-
පාලනයක් ඇතුව මිල දී ගන්නේ කොහොමද?2013 පිබිදෙව්! | ජූනි
-
-
පාලනයක් ඇතුව මිල දී ගන්නේ කොහොමද?
අනවශ්‍ය විදිහට වියදම් කරන්න වෙළඳ දැන්වීම් යම් බලපෑමක් කෙරුවත් අපේ හිතත් අපේ පුරුදුත් යම් දුරකට බලපානවා. පාලනයක් ඇතුව මිල දී ගන්න උදව් වෙන යෝජනා හයක් මෙන්න.
දැක්ක ගමන් ගන්න එපා. සාප්පු යනවා කිව්වොත් සේල් එකක් කිව්වොත් මෙලෝ සිහියක් නෑ. ඒ ගැනමයි හිත! ඔබත් ඒ වගේද? එහෙමනම් ඔබ අනවශ්‍ය විදිහට බඩු මිල දී ගන්න පෙලඹීමක් තියෙන කෙනෙක්. ඒ නිසා මිල දී ගන්න කලින් මෙහෙම හිතන්න. ‘ගත්තා වගේ නෙමෙයි නඩත්තු කරන්නෙ කොහොමද? ඒකට කොච්චර වියදමක් යයිද? හදිස්සි වෙලා කලින් ගත්තු දෙයක් ගැන දැන් මං තාමත් ළත වෙනවද?’ එහෙමනම් මිල දී ගන්න කලින් හදිස්සි නොවී නිවාඩු පාඩුවේ ටිකක් හිතන්න.
මානසික පීඩනයෙන් මිදෙන්න කියලා සාප්පු යන්න එපා. සාප්පු ගියාම මූඩ් එක ටිකක් ෆික්ස් වෙනවා තමයි. හැබැයි ආයෙත් මානසිකව වැටුණම සහනයක් ලබාගන්න කියලා සාප්පු ගිහින් කලින් වතාවට වඩා වියදම් කරන්න පෙලඹෙන්න පුළුවන්. ඒ නිසා පීඩනයෙන් මිදෙන්න සාප්පු යනවාට වඩා හොඳයි යාළුවෙක් එක්ක කතා කිරීම, ඇවිදීම වගේ දෙයක් කරන එක.
විනෝදෙට සාප්පු යන්න එපා. විනෝද වෙන්න පුළුවන් විදිහටයි සාප්පු සංකීර්ණ හදලා තියෙන්නේ. ඒ තැන්වලට ගියාම විනෝදෙටත් එක්ක බඩු ගන්න හිතෙනවා. සමහර වෙබ් අඩවි වලට ගියාමත් වෙන්නෙ ඒකයි. ඒ නිසා යමක් ගන්න අවශ්‍යතාවක් නැත්නම් ඒ වගේ සාප්පුවලට, වෙබ් අඩවිවලට යන්න එපා. යන්න සිද්ධ වුණොත් ගන්න හිතපු බඩුව විතරක් අරං එන්න.
යාළුවන් ගැනත් පරිස්සමින්. යාළුවන්ගෙ ජීවන රටාව, කතා කරන දේවල් ඔබට ලොකු බලපෑමක් කරනවා. යාළුවන්ට ගැළපෙන විදිහට ඉන්න ඔබත් හරි හරියට වියදම් කරනවා නම් ඒක හොඳ දෙයක් නෙමෙයි. ඒ වෙනුවට මිල මුදල්වලට බඩු මුට්ටුවලට වැඩි අවධානයක් දෙන්නැති යාළුවන්ව තෝරගන්න.
ක්‍රෙඩිට් කාඩ් පාවිච්චි කරද්දී කල්පනාවෙන්. හුඟදෙනෙක් ක්‍රෙඩිට් කාඩ් එකෙන් හිතේ හැටියට බඩු ගත්තට මොකෝ ඉහමොළ රත් වෙන්නෙ පස්සෙ! හැම මාසෙම ක්‍රෙඩිට් කාඩ් එකට ගෙවිය යුතු ණය ගෙවලා දාන්න. ගෙවන්න ඕන පොලිය සහ ගාස්තු ගැන හොයලා බලන්න. ඔබට අවශ්‍ය නැති පහසුකම් ලැබෙන වැඩි ගෙවීමක් කරන්න සිදු වෙන කාඩ්පත් තියෙනවා. ඒ නිසා ඔබ පාවිච්චි කරන කාඩ්පත සාධාරණ පොලියක් අය කරන, ඔබට වැඩි වාසි තිබෙන එකක්ද කියලත් බලන්න. කාඩ්පතෙන් මිල අධික දේවල් ගන්නවා වෙනුවට මුදල් ඉතුරු කරලා අත් පිට මුදලට ගන්න.
ආදායම සහ වියදම ගැන සැලකිලිමත් වෙන්න. ඔබේ ආදායම් හා වියදම් ගැන හරි අවබෝධයක් නැත්නම් නොදැනුවත්වම අනවශ්‍ය විදිහට වියදම් කරන්න ඔබ පෙලඹෙයි. ඒ නිසා එදිනෙදා කරන ගනුදෙනු ගැන සැලකිලිමත් වෙන්න. ගැළපෙන විදිහේ ගනුදෙනු වාර්තාවක් පිළියෙල කරන්න. යම් මූල්‍යමය කටයුත්තක් ගැන දන්නෙ නැත්නම් විශ්වාසවන්ත යාළුවෙක්ගෙ උදව් ලබාගන්න.
-