-
මේ යන විදිහට ලෝකේ ඉතුරු වෙයිද?2017 පිබිදෙව්! | අංක 6
-
-
මුල් පිටුවෙන් | මේ යන විදිහට ලෝකේ ඉතුරු වෙයිද?
මේ යන විදිහට ලෝකේ ඉතුරු වෙයිද?
ලෝක විනාශයට තව විනාඩි 21/2යි! එහෙම සටහන් වුණේ “ඩූම්ස් ඩේ ක්ලෝක්” කියන සංකේතවත් ඔරලෝසුවේ. විද්‍යාඥයන් ඒ ඔරලෝසුව යොදාගන්නේ ලෝක විනාශයට අපි කොච්චර ළං වෙලාද කියලා පෙන්නන්න. ඔවුන් 2017 වසර ආරම්භයේදී ලෝක සිද්ධීන් පරික්ෂා කරලා ඒ ඔරලෝසුවේ කටුව කලින් තිබුණාට වඩා තප්පර 30කින් ඉදිරියට ගෙනල්ලා තියෙනවා. දැන් විනාශයට තියෙන්නේ විනාඩි 21/2යි. අවුරුදු 60ක් ඇතුළත විනාඩි 21/2ක් තරම් අඩු කාලයක් වාර්තා වුණ පළවෙනි වතාව මෙයයි.
2018 වසරේදී විද්‍යාඥයන් නැවතත් ලෝක සිද්ධීන් පරික්ෂා කරන්න බලාපොරොත්තු වෙනවා. එදාටත් ඔරලෝසුවේ කටුව ඉස්සරහට ගෙනියන්න වෙයිද? ඔයා මොකද හිතන්නේ? ඇත්තටම මේ ලෝකේ විනාශ වෙලා යයිද? ඒ ප්‍රශ්නයට උත්තර දෙන එක ලේසි නැහැ. මොකද විද්‍යාඥයන් අතර පවා ඒ ගැන එකඟතාවයක් නැහැ. අනික සමහරු හිතන්නේ ලෝකේ විනාශ වෙන්නේ නැහැ කියලයි.
මේ ලෝකයට දීප්තිමත් අනාගතයක් තියෙනවා කියලා විශ්වාස කරන පිරිසකුත් ඉන්නවා. එයාලා කියන්නේ මිනිසුන්ට යහපත් කාලයක් උදා වෙනවා කියන්න ස්ථිර සාක්ෂි තියෙනවා කියලයි. ඒ වගේ දෙයක් විශ්වාස කරන්න පුළුවන්ද? නැත්නම් මේ යන විදිහට ලෝකේ නැත්තටම නැති වෙලා යයිද?
-
-
ඒ ගැන හොයලා බලමු2017 පිබිදෙව්! | අංක 6
-
-
මුල් පිටුවෙන් | මේ යන විදිහට ලෝකේ ඉතුරු වෙයිද?
ඒ ගැන හොයලා බලමු
අද අහන්න දකින්න ලැබෙන දේවල් නිසා ඔයාගේ හිතට බයක් දැනෙනවා ඇති. ඒක පුදුම වෙන්න දෙයක් නෙමෙයි. ඇමරිකාවේ හිටපු ජනාධිපති බරාක් ඔබාමා 2014දී ඉදිරිපත් කළ අදහසකින් ඒක පැහැදිලි වෙනවා. ඔහු කිව්වේ ජනමාධ්‍ය හරහා අහන්න ලැබෙන නරක ආරංචි නිසා “හුඟක් අය හිතන්නේ මේ ලෝකය තව තවත් විනාශයට යනවා මිසක් ඒකෙන් ගොඩ ඒමක් නෑ” කියලයි.
ඊළඟට ඔහු කතා කළේ ලෝකේ ගැටළු විසඳන්න මේ වෙනකොට කර ඇති සැලසුම් ගැනයි. රජයෙන් අරන් තියෙන සමහර ක්‍රියාමාර්ග ඔහු හැඳින්නුවේ “දීප්තිමත් අනාගතයක් උදා කරන්න දායක වෙන ප්‍රයත්නයන්” හැටියට. මිනිසුන්ගේ අවංක වෑයම්වලින් මේ ලෝකය විනාශයට ඇදිලා යන එක වළක්වාගන්න පුළුවන් කියලා ඔහු ලොකු විශ්වාසයකින් කතා කළා.
හුඟක් අයට අනාගතය ගැන ඒ වගේ ශුභවාදී හැඟීම් තියෙනවා. විද්‍යාව, තාක්ෂණය දවසෙන් දවස දියුණු වෙන නිසා ඉස්සරහට ලෝකේ ප්‍රශ්න විසඳගන්න පුළුවන් වෙයි කියලා එයාලට ලොකු විශ්වාසයක් තියෙනවා. එක විද්වතෙක් මෙහෙම කිව්වා. “2030 වෙද්දී තාක්ෂණය අදට වඩා දහස් ගුණයකින් දියුණු වෙනවා. 2045 වෙද්දී ඒ දියුණුව සියදහස් ගුණයකින් තවත් ඉදිරියට යයි.” ඔහු මෙහෙමත් කිව්වා. “අද තියෙනවා වගේ ප්‍රශ්න වෙන කවදාවත් තිබිලා නැහැ තමයි. ඒත් බය වෙන්න දෙයක් නැහැ. තාක්ෂණයේ දියුණුවත් එක්ක ඉස්සරහට ප්‍රශ්නයක් ඇති වුණ ගමන් විසඳුම් දෙන්න අපිට පුළුවන්.”
ඇත්තටම ලෝකේ තත්වය දරුණු වෙලාද? මේ යන විදිහට ලෝකේ ඉතුරු වෙයිද? විද්‍යාඥයන් සහ දේශපාලඥයන් අනාගතය ගැන බලාපොරොත්තුවක් ඇතුව කතා කළත් හුඟක් අයට අනාගතය ගැන තියෙන්නේ බයක්. ඒ ඇයි?
සමූල ඝාතක අවි. එක්සත් ජාතීන්සහ වෙනත් සංවිධාන කොච්චර උත්සාහ කළත් න්‍යෂ්ටික අවි මේ ලෝකෙන් තුරන් කරන්න එයාලට බැරි වෙලා තියෙනවා. අවි පාලනය කරන්න දාලා තියෙන නීතිරීති සමහර පාලකයෝ තුට්ටුවකටවත් මායිම් කරන්නේ නැහැ. දැනටමත් න්‍යෂ්ටික අවි නිපදවලා තියෙන රටවල් තවත් අත්හදා බැලීම් කරලා වඩා ප්‍රබල අවි නිපදවනවා. කලින් න්‍යෂ්ටික අවි නිපදවපු නැති රටවලුත් අවි නිපදවන්න පටන් අරන්.
ඒ විදිහට න්‍යෂ්ටික අවි සූදානම් කරලා තියාගෙන ඉන්න නිසා ලෝකය අනාරක්ෂිත තැනක් බවට පත් වෙලා. සාමය ගැන කතා කරාට මේ ලෝකේ තත්වය හරියට ගිනි කන්දක් වගේ. කොයි මොහොතේ පිපිරෙයිද කියන්න බැහැ. ඒ වගේම ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වීමට හදලා තියෙන අවිආයුධවලට පුළුවන් කිසිම මිනිසෙක්ගේ මැදිහත් වීමකින් තොරව ප්‍රහාර එල්ල කරන්න. ඒ අවිආයුධවලින් මහත් ව්‍යසනයක් වෙන්න පුළුවන් කියලා එක සඟරාවක සඳහන් වෙනවා.—Bulletin of the Atomic Scientists.
මාරාන්තික ලෙඩ රෝග. අධි රුධිර පීඩනය, තරබාරුකම, මත් ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම, වායු දූෂණය වගේ දේවල් නිසා මිනිසුන් ඉස්සරට වඩා ලෙඩ රෝගවලට ගොදුරු වෙනවා. ඒ වගේම පිළිකා, හෘද රෝග, දියවැඩියාව වගේ බෝ නොවන රෝගවලින් කීදෙනෙක් නම් මැරෙනවාද? ඉබෝලා සහ සිකා වගේ වෛරස් රෝගවලට කීදාහක් ගොදුරු වුණාද? තවත් හුඟදෙනෙක් මානසික රෝග නිසා පීඩා විඳිනවා. විද්‍යාව කොයි තරම් දියුණු වුණත් මේ දේවල්වලට ස්ථිර විසඳුමක් දෙන්න විද්‍යාවට බැරි වෙලා තියෙනවා. එහෙම බලනකොට නිරෝගිකම සිහිනයක්ම විතරයි.
පරිසරය වනසන මිනිසා. කර්මාන්ත ශාලාවලින් පිට වෙන විෂ දුම නිසා වායු ගෝලය දූෂණය වෙනවා. ඒ නිසා ඇති වෙන ස්වසන ආබාධවලින් හැම අවුරුද්දකම මිලියන ගාණක් මිය යනවා.
කර්මාන්ත ශාලාවලින්, රෝහල්වලින් සහ වගාබිම්වලින් ඉවතලන අපද්‍රව්‍ය, ප්ලාස්ටික් සහ වෙනත් විෂ ද්‍රව්‍ය සාගරයට මුදාහරිනවා. “මේ අපද්‍රව්‍ය නිසා මුහුදු ජීවින් සහ පැළෑටිවලට විෂ එකතු වෙනවා. ඒවා ආහාරයට ගන්න මිනිසුන්ගේ ශරීරවලටත් විෂ ඇතුල් වෙනවා” කියලා එක සඟරාවක සඳහන් වුණා.—Encyclopedia of Marine Science.
මේ වෙද්දී ගොඩක් රටවල් ජල හිඟයකට මුහුණ දෙනවා. විද්‍යා ලේඛකයෙක් වන රොබින් මැකී කියනවා “අද සමහර රටවල පවතින ජල හිඟය තව වැඩි කාලයක් යන්න කලින් මුළු ලෝකෙටම බලපාන ප්‍රශ්නයක් වෙයි” කියලා. මේ වගේ තත්වයක් ඇති වෙලා තියෙන්නේ මිනිසා ඉවක් බවක් නැතුව සොබාදහම වනසන නිසා කියලා දේශපාලඥයන් පවා පිළිගන්නවා.
ස්වාභාවික විපත්වලින් පහර කන මිනිසා. ජලගැලීම්, නායයෑම් වැනි ස්වාභාවික විපත්වලින් මිය යන සංඛ්‍යාව වෙන කවරදාකටත් වඩා වැඩියි. තවත් දහස් ගණන් ජනයා විපත් නිසා පීඩා විඳිනවා. ඇමරිකාවේ නාසා ආයතනයෙන් නිකුත් කළ ප්‍රකාශයක මෙහෙම සඳහන් වුණා. “අද පවතින සුළිකුණාටු සහ අධික උණුසුම් තත්වය ඉදිරියේදී තවත් දරුණු වෙනවා. ඒ වගේම දේශගුණ රටාවන්වල සිදු වෙලා තියෙන අසාමාන්‍ය වෙනස්කම් ඉදිරියේදී තව වැඩි වෙනවා.” මෙහෙම ගියොත් ස්වාභාවික විපත් නිසා මිනිසා මහ පොළොවෙන් තුරන් වෙලා යයිද?
ඒ කතා කරපු දේවල්වලට අමතරව මිනිසාගේ පැවැත්මට තර්ජනයක් එල්ල කරලා තියෙන තවත් දේවල් ගැන ඔයාට මතක් වෙනවා ඇති. ඒවා විසඳන්න දේශපාලඥයන්, විද්‍යාඥයන් වගේ අය නොයෙක් විදිහේ අදහස් ඉදිරිපත් කරනවා. ඒත් ඒ වගේ අදහස්වලට ඇහුම්කන් දීමෙන් හෙට දවස ගැන බලාපොරොත්තුවක් ඇති කරගන්න පුළුවන් කියලා ඔයා හිතනවාද? අද මිනිස්සු මුහුණ දෙන හැම ප්‍රශ්නෙකටම ස්ථිර විසඳුමක් තියෙනවා කියලත් අනාගතය ගැන හොඳ බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන් කියලත් විශ්වාස කරන පිරිසක් ඉන්නවා. ඒ වගේ විශ්වාසයක් ඇතුව ඉන්න එයාලට තියෙන හේතු මොනවාද?
-
-
බයිබලයේ කියන්නේ මොනවාද?2017 පිබිදෙව්! | අංක 6
-
-
ලෝක විනාශය ළඟයි කියලා “ඩූම්ස් ඩේ ක්ලෝක්” ඒකේ පෙන්නුවත් පොළොව විනාශ වෙන්නේ නැහැ කියලත් මිනිසුන්ට ප්‍රීතිමත් අනාගතයක් තියෙනවා කියලත් දෙවියන් පොරොන්දු වෙනවා
මුල් පිටුවෙන් | මේ යන විදිහට ලෝකේ ඉතුරු වෙයිද?
බයිබලයේ කියන්නේ මොනවාද?
අද ලෝකයේ තත්වය ගැන මිනිස්සු බයෙන් හිටියත් මේ වගේ තත්වයක් ඇති වෙනවා කියලා අවුරුදු දහස් ගාණකට කලින් බයිබලයේ සඳහන් වෙලා තිබුණා. ඒ වගේම මිනිසුන්ට දීප්තිමත් අනාගතයක් තියෙනවා කියලත් බයිබලයේ සඳහන් වෙනවා. බයිබලේ තියෙන දේවල් නිකම්ම සුරංගනා කතා කියලා හිතන්න ඉක්මන් වෙන්න එපා. මොකද ඒකේ තියෙන අනාවැකි මේ දක්වා අකුරක් නෑර ඉටු වෙලා තියෙනවා.
බයිබලේ තියෙන මේ අනාවැකි බලන්න:
“ජාතියක් ජාතියකට විරුද්ධවත් රාජ්‍යයක් රාජ්‍යයකට විරුද්ධවත් නැඟී සිටියි. එක් තැනක් පාසා තවත් තැනක ආහාර හිඟකම්ද භූමිකම්පාද සිදු වෙයි.”—මතෙව් 24:7.
“අවසාන කාලයේදී ඉතා අසීරු, අනතුරු සහිත කාලයක් පැමිණෙන බව ඔබ දැනගත යුතුයි. මන්ද මිනිස්සු තමන් ගැනම සිතන, මුදලට ලොල් වී සිටින, පුරසාරම් දොඩන, උඩඟු, දෙවිට අපහාස කරන, දෙමාපියන්ට අකීකරු වන, ස්තුතිවන්ත නොවන, ද්‍රෝහිකම් කරන අය වනු ඇත. ඔවුහු තමන්ගේම අය කෙරෙහිවත් කිසි සෙනෙහසක් නැති, කිසිම දෙයක් ගැන එකඟ නොවන, නින්දා කරන, තමන්වම පාලනය කරගත නොහැකි, දරුණු, යහපත්කමට කිසි ඇල්මක් නොදක්වන, අනුන්ව පාවා දෙන, හිතුවක්කාර, අහංකාර, දෙවිට වඩා විනෝදයට ඇල්මක් දක්වන අය වනු ඇත.”—2 තිමෝති 3:1-4.
‘අද අපි අද්දකින්නෙත් ඒ දේවල්මනේ’ කියලා ඔයාට හිතුණාද? ඇත්තටම මිනිසුන් මුහුණ දෙන ප්‍රශ්න විසඳන්න පුළුවන් කාටද? කිසිම මිනිසෙක්ට මේ ප්‍රශ්නවලට ස්ථිර විසඳුමක් දෙන්න හැකියාවවත්, බලයවත් නැහැ කියලා බයිබලයේ කියනවා. ඒ ගැන බයිබලේ තියෙන අනාවැකි බලන්න:
“මිනිසාට නිවැරදියයි පෙනෙන මඟක් ඇත. එහෙත් එය අවසන් වන්නේ මරණයෙනි.”—හිතෝපදේශ 14:12.
“මිනිසා අන් අයට හානියක් වන ලෙසින් තම බලය ක්‍රියාත්මක කර ඇත.”—දේශනාකාරයා 8:9.
‘ජීවන ගමනේ පියවර තැබිය යුත්තේ කෙසේද කියා තනිව තීරණය කිරීමට මිනිසාට හැකියාවක් නැත’—යෙරෙමියා 10:23.
මේ යන විදිහට නම් ලෝකය ඉතුරු වෙන එකක් නැහැ කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්. ඒත් ඒ වගේ දෙයක් වෙන්නේ නැහැ. බලන්න බයිබලේ කියලා තියෙන මේ අනාවැකි:
“ඔබ පොළොව ස්ථිර ලෙස පිහිටෙව්වෙහිය. එය කිසිදා නොසෙල්වෙන අයුරින් සෑදුවෙහිය”—ගීතාවලිය 104:5.
“පරම්පරාවක් පහව යයි. තවත් පරම්පරාවක් බිහි වෙයි. එහෙත් පොළොව සදහටම පවතියි.”—දේශනාකාරයා 1:4.
“ධර්මිෂ්ඨයෝ පොළොව උරුම කරගන්නෝය. ඔවුහු එහි සදාකල් ජීවත් වන්නෝය.”—ගීතාවලිය 37:29.
“පොළොව ධාන්‍යවලින් පිරී ඉතිරී යයි. කඳු මුදුන් ධාන්‍යවලින් වැසී යයි.”—ගීතාවලිය 72:16.
දෙවියන් දීලා තියෙන ඒ පොරොන්දු මොන තරම් සහනයක්ද! පරිසර දූෂණය නිසාවත්, අහාර සහ ජල හිඟය නිසාවත් වසංගතවලින්වත් මිනිසුන් පොළොවෙන් තුරන් වෙලා යන්නේ නැහැ. න්‍යෂ්ටික පිපිරීමක් නිසා මේ පොළොව නැත්තටම නැති වෙලා යන්නෙත් නැහැ. ඒ වගේ දෙයක් වෙන්න විශ්වය නිර්මාණය කරපු දෙවියන් ඉඩ දෙන්නේ නැහැ කියලා අපි බලපු අනාවැකිවලින් පැහැදිලියි. ඇත්ත, මේ කාලෙදී දෙවියන් මිනිසුන් කරන හැම දේකටම මැදිහත් වෙන්නේ නැහැ. මොකද කැමති විදිහට ජීවත් වෙන්න දෙවියන් මිනිසුන්ට නිදහස දීලා තියෙනවා. ඒත් මිනිසුන් ඒ නිදහස අයුතු විදිහට පාවිච්චි කරනවා. ඒකේ ප්‍රතිඵලයි අද අපි අද්දකින්නේ. (ගලාති 6:7) ඒත් එහෙම කියලා මිනිස්සු මේ ලෝකය සම්පූර්ණයෙන්ම විනාශ කරලා දාන කල් මුළු විශ්වයටම අධිපති දෙවියන් බලාගෙන ඉන්නේ නැහැ. පොළොව සදහටම පවතිනවා කියලා දුන්න පොරොන්දුව දෙවි අනිවාර්යයෙන්ම ඉටු කරනවා. ඒකට හරස් වෙන්න මිනිසුන්ට ඉඩ දෙන්නේ නැහැ.—ගීතාවලිය 83:18; හෙබ්‍රෙව් 4:13.
පොළොව විනාශ වෙන්න දෙන්නේ නැහැ විතරක් නෙමෙයි ප්‍රශ්න ගැටලුවලින් තොර ‘සාමය දසත පැතිරුණ’ කාලයක් ගේනවා කියලත් දෙවියන් පොරොන්දු වෙනවා. (ගීතාවලිය 37:11) අපි මේ ලිපියේ කතා කළේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් දීප්තිමත් අනාගතයක් ගැන බයිබලයෙන් දැනගෙන තියෙන තොරතුරුවලින් බිඳක් විතරයි.
යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් අතර විවිධ ජාතිවලට, වයස්වලට අයිති ස්ත්‍රීන්, පුරුෂයන් ඉන්නවා. ලෝකේ කොහේ හිටියත් එයාලා එක පවුලක්. එයාලා නමස්කාර කරන්නේ එකම සැබෑ දෙවියන්ට. සැබෑ දෙවියන්ගේ නම යෙහෝවා කියලා බයිබලේ සඳහන් වෙනවා. ඔහු මේ වගේ පොරොන්දුවක් දීලා තියෙනවා. “අහස නිර්මාණය කළ යෙහෝවා දෙවි, සැබෑ දෙවිය. ඔහු පොළොවද නිර්මාණය කර එය ස්ථිර ලෙස පිහිටෙව්වේය. ඔහු පොළොව සෑදුවේ හිස්, පාළු ස්ථානයක් වීමට නොව, මිනිසුන්ගේ වාසය සඳහාය. ඔහු ඔබට මෙසේ පවසයි. ‘මා යෙහෝවා දෙවිය. මට සමාන කිසිවෙක් නැත.’” (යෙසායා 45:18) ඒ පොරොන්දුව නිසා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට අනාගතය ගැන කිසිම බයක් නැහැ.
මේ ලිපියෙන් සාකච්ඡා කළේ පොළොවේ සහ මිනිසුන්ගේ අනාගතය ගැන බයිබලයේ සඳහන් වෙලා තියෙන පොරොන්දුවලින් කීපයක්. වැඩි විස්තර දැනගන්න යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක් වන ‘සැබෑ දෙවියන්ගෙන් ප්‍රීතිමත් පණිවිඩයක්!’ සඟරාවේ පස්වෙනි පාඩම බලන්න. සඟරාවක් ලබාගන්න www.pr418.com/si වෙත පිවිසෙන්න.
www.pr418.com/si වෙබ් අඩවියේ තියෙන ‘දෙවියන් පොළොව නිර්මාණය කළේ ඇයි?’ කියන වීඩියෝ එකත් බලන්න. (ප්‍රකාශන > වීඩියෝ යටතේ බලන්න)
-