5වෙනි පාඩම
වැඩිහිටියන්ගෙන් මඟ පෙන්වීම් ගන්න
වැඩිහිටියන් දෙන මඟ පෙන්වීම්වලට අයිති වෙන්නේ මොනවාද?
වැඩිහිටියන්ට පුළුවන් උපදෙස් දීලා හරි එයාලගේ ආදර්ශයෙන් හරි අවශ්‍ය මඟ පෙන්වීම් දෙන්න. දරුවන්ගේ ජීවිතේ සාර්ථක කරගන්න නම් එයාලට වැඩිහිටියන්ගේ මඟ පෙන්වීම් ඕනෙමයි. මඟ පෙන්වීම් දෙන මූලික වගකීම පැවරෙන්නේ දෙමාපියන්ට. හැබැයි අනිත් වැඩිහිටියන්ගෙන් ලැබෙන උපදෙස් වගේම හොඳ ආදර්ශය දරුවන්ට හුඟක් වටිනවා.
වැඩිහිටියන්ගෙන් මඟ පෙන්වීම් ගන්න එක වැදගත් ඇයි?
හුඟක් රටවල දරුවන් වැඩිහිටියන් එක්ක කාලය ගත කරන්නේ හරිම අඩුවෙන්. එහෙම වෙලා තියෙන්නේ ඇයි?
දරුවන් දවසින් වැඩි හරියක් ඉන්නේ ඉස්කෝලේ. එහෙදී එයාලා වැඩියෙන්ම ගැවසෙන්නේ එයාලගෙම වයසේ ළමයි එක්ක මිසක් ගුරුවරුන් එක්ක නෙවෙයි.
සමහර දරුවන්ගේ අම්මායි, තාත්තායි දෙන්නාම වැඩට යන නිසා ඉස්කෝලේ ගිහින් ආවාම එයාලට ඉන්න වෙන්නේ තනියෙන්.
එක අධ්‍යයනයකින් හෙළි වෙලා තියෙනවා එක්සත් ජනපදයේ වයස අවුරුදු 8ත් 12ත් අතර දරුවන් අඩුම තරමින් පැය 6ක්වත් ඉලෙක්ට්‍රෝනික උපාංග එක්ක කාලය ගත කරනවා කියලා.a
එක පොතක මෙහෙම කියනවා. “අද කාලේ හුඟක් යෞවනයන් උපදෙස් ගන්නේ . . . එයාලගේම වයසේ ඉන්න අයගෙන් මිසක් දෙමාපියන්ගෙන්වත් ආදර්ශවත් වැඩිහිටියන්ගෙන්වත් නෙවෙයි.”—Hold On to Your Kids.
මඟ පෙන්වීම් දෙන්න පුළුවන් කොහොමද?
දරුවන් එක්ක කාලය ගත කරන්න.
බයිබල් ප්‍රතිපත්තිය: “දරුවෙකුට හරි මඟෙහි යෑමට අවශ්‍ය පුහුණුව ලබා දෙන්න. එවිට ඔහු වයසට ගිය පසුත් එයින් අහක්ව යන්නේ නැත.”—හිතෝපදේශ 22:6.
සාමාන්‍යයෙන් දරුවන් කැමතියි දෙමාපියන්ගෙන් මඟ පෙන්වීම් ගන්න. විද්වතුන් කියනවා යෞවන දරුවන් වුණත් යාළුවන් දෙන උපදෙස්වලට වඩා දෙමාපියන් දෙන උපදෙස් පිළිගන්න කැමතියි කියලා. වෛද්‍ය ලෝරන්ස් ස්ටයින්බර්ග් එක පොතක මෙහෙම සඳහන් කරලා තියෙනවා. ‘දරුවන් වැඩිහිටියන් වෙන කල්ම එයාලගේ සිතුවිලිවලටයි, හැසිරීමටයි වැඩියෙන්ම බලපෑම් කරන්න පුළුවන් එයාලගේ දෙමාපියන්ටයි. යොවුන් දරුවන් දෙමාපියන් කියන හැම දේම පිළිගත්තේ නැතත් එයාලා ඇත්තටම ආසයි දෙමාපියන්ගේ අදහස් දැනගන්න.’—You and Your Adolescent.
ඔයාලගෙන් මඟ පෙන්වීම් ලබාගන්න දරුවන් ආසාවෙන් ඉන්න කාලෙන් උපරිම ප්‍රයෝජන ගන්න. දරුවන් එක්ක වැඩි කාලයක් ගත කරන්න. ඔයාලා ලබලා තියෙන අද්දැකීම්, ඔයාලා දේවල් ගැන හිතන විදිහ වගේම ඔයාලා පිළිපදින ප්‍රතිපත්ති ගැන දරුවන්ට කියන්න.
ආදර්ශවත් වැඩිහිටියෙක් එක්ක ඇසුරු කරන්න ඉඩ සලසන්න.
බයිබල් ප්‍රතිපත්තිය: “ප්‍රඥාවන්ත අය සමඟ ඇසුරු කරන්න. එවිට ඔබත් ප්‍රඥාවන්ත වන්නෙහිය.”—හිතෝපදේශ 13:20.
ආදර්ශවත් ජීවිතයක් ගත කරන ඔයා දන්න වැඩිහිටියෙක් ඉන්නවාද? ඒ කෙනා එක්ක කාලය ගත කරන්න දරුවාට ඉඩ සලසලා දෙන්න පුළුවන්ද? දෙමාපියන්ට තියෙන වගකීම ඒ කෙනා පිට පටවන්න බැහැ තමයි. ඒත් දරුවාට මොන විදිහකින්වත් හානියක් කරන්නේ නැහැ කියලා විශ්වාස කරන්න පුළුවන් වැඩිහිටියන් එක්ක ආශ්‍රය කරන්න දෙන එකෙනුත් දරුවාට ප්‍රයෝජන ලැබෙනවා. බයිබලයේ සඳහන් වෙනවා යෞවන තිමෝති වැඩිහිටියෙක් වුණු පාවුල්ව ඇසුරු කරපු එකෙන් ප්‍රයෝජන ලැබුවා කියලා. වැඩිහිටියෙක් වුණාට පස්සෙත් එයා දිගටම පාවුල්ව ඇසුරු කළා. ඒ ඇසුරෙන් ඒ දෙන්නාම හුඟක් ප්‍රයෝජන ලැබුවා.—ෆිලිප්පි 2:20, 22.
හුඟක් පවුල්වල ආච්චිලා, සීයලා, නැන්දලා, මාමලා ජීවත් වෙන්නේ ළඟපාත නෙවෙයි. ඔයාගේ පවුලේ තත්වයත් ඒක නම් ආදර්ශවත් වැඩිහිටියන්ව ඇසුරු කරලා වටිනා පාඩම් ඉගෙනගන්න දරුවන්ට අවස්ථාව ලබා දෙන්න.
a යොවුන් දරුවන් හුඟදෙනෙක් දවසකට පැය 9ක් විතර ඉලෙක්ට්‍රෝනික උපාංග එක්ක කාලය ගත කරනවා කියලත් ඒ අධ්‍යයනයෙන් හෙළි වුණා. ඒ දෙපිරිසම අධ්‍යාපන කටයුතු වෙනුවෙන් අන්තර්ජාලය පාවිච්චි කරන කාලය ඒ දත්තවලට ඇතුළත් වෙලා නැහැ.