දෙවියන් එක්ක බැඳීමක් ඇති කරගැනීම
මුල්ම ලිපියේ සඳහන් වුණු විදිහට හුඟක් අය පිළිගන්නවා බයිබලය ශුද්ධ පොතක් කියලා. බයිබලයේ තියෙන මඟ පෙන්වීම් අදාළ කරගත්ත නිසා දෙවියන් එක්ක තියෙන බැඳීම ශක්තිමත් කරගන්නත් ජීවිතයේ අරමුණ තේරුම්ගන්නත් එයාලට පුළුවන් වෙලා තියෙනවා.
දෙවියන් එක්ක හොඳ බැඳීමක් තියෙන කෙනෙක්ට ජීවිතය ගැන හොඳ බලාපොරොත්තුවක් තියෙනවා. දෙවියන්ගෙන් මඟ පෙන්වීම් ලබාගන්න එයා හුඟක් ආසාවෙන් ඉන්නවා. දෙවියන් හිතන විදිහ තේරුම් අරන් ඔහු කැමති විදිහට ජීවත් වෙන්න උත්සාහ කරනවා. (එෆීස 5:1) ඒත් දෙවියන්ගේ මඟ පෙන්වීම් ලබාගන්න ආස නැති අය වැඩ කරන්නේ තමන්ට ඕන විදිහටයි.—යූද් 18, 19.
අනාගතය ගැන තියෙන බලාපොරොත්තුව
බයිබල් ප්‍රතිපත්තිය: “දුක් කරදර පැමිණෙන විට ඔබ අධෛර්යයට පත් වන්නේ නම් ඔබේ ශක්තිය හීන වන්නේය.”—හිතෝපදේශ 24:10.
ඒකෙන් අදහස් වෙන්නේ මොකක්ද? අධෛර්යය වුණොත් ප්‍රශ්නවලට මුහුණ දෙන්න අපිට තියෙන ශක්තිය අඩු වෙයි. ඒත් අනාගතය ගැන හොඳ බලාපොරොත්තුවක් තියෙනවා නම් අපේ ප්‍රශ්න තාවකාලිකයි කියලා තේරුම්ගන්නත් ඒවාට හොඳින් මුහුණ දෙන්නත් අපිට පුළුවන්. හැම අඳුරු වලාවකම රිදී රේඛාවක් තියෙනවා වගේ ඉදිරියේදී හොඳ කාලයක් එයි කියලා බලාපොරොත්තු වෙන්නත් පුළුවන්.
ඔයාට කරන්න පුළුවන් මොනවාද? ඉස්සරහාට මොනවා වෙයිද කියලා ළත වෙවී ඉන්නවා වෙනුවට අනාගතයේදී ලැබෙන්න යන යහපත් කාලය ගැන හිතන්න. ඉලක්ක තියාගෙන ඒවා ජය ගන්න වෑයම් කරන්න. ඒත් “බලාපොරොත්තු නොවූ දේවල්” වෙන්න පුළුවන් කියලා අමතක කරන්න එපා. (දේශනාකාරයා 9:11) සමහර වෙලාවට අපි නොහිතන විදිහට දේවල් හොඳ අතට හැරෙන්නත් පුළුවන්. බයිබලයේ මෙහෙම කියලා තියෙන්නේ ඒ නිසයි. “උදෑසන ඔබේ බීජ වපුරන්න. කිසි විවේකයක් නොගෙන සවස් වන තුරුම එසේ කරන්න. මන්ද ඒ කුමන බීජ පැළ වෙයිද කියා ඔබ දන්නේ නැත. සමහරවිට ඉන් එකක් හෝ දෙකක් හෝ ඒ සියල්ල වුවද පැළ වීමට ඉඩ තිබේ.”—දේශනාකාරයා 11:6.
ජීවිතේ වැදගත් ප්‍රශ්නවලට උත්තර හොයාගන්න
බයිබල් ප්‍රතිපත්තිය: “ඔබේ [දෙවිගේ] වදන් සත්‍යය.”—ගීතාවලිය 119:160.
ඒකෙන් අදහස් වෙන්නේ මොකක්ද? පොදුවේ හැමෝම වගේ හිතන ප්‍රශ්නවලට උත්තර බයිබලයේ තියෙනවා. උදාහරණ කීපයක් බලන්න.
- ජීවය ඇති වුණේ අහම්බෙන්ද? 
- ජීවිතේ අරමුණ මොකක්ද? 
- මැරුණාට පස්සේ මොකද වෙන්නේ? 
- අපි ඉපදෙන්නේ මැරෙන්නද? 
ලෝකය පුරා ඉන්න මිලියන ගාණක් අය ඒ ප්‍රශ්න ඇතුළු තවත් ප්‍රශ්නවලට උත්තර බයිබලයෙන් හොයාගෙන තියෙනවා.
ඔයාට කරන්න පුළුවන් මොනවාද? බයිබලයේ තියෙන්නේ මොනවාද කියලා ඔයාම හොයලා බලන්න. ඒකට ඔයාට උදව් කරන්න යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් කැමැත්තෙන් ඉන්නවා. වැඩි විස්තර දැනගන්න jw.org වෙබ් අඩවියට පිවිසෙන්න. නැත්නම් අපේ රැස්වීමකට සහභාගි වෙන්න. ඒ කිසිම දේකට අය කරන්නේ නැහැ.
තවත් බයිබල් ප්‍රතිපත්ති
jw.org වෙබ් අඩවියට ගිහින් ‘බයිබලයේ තියෙන තොරතුරු සොයා බලන්න ඕන ඇයි?’ කියන වීඩියෝ එක බලන්න. ඒක භාෂා 880කට වඩා වැඩි ගණනකින් බලන්න පුළුවන්
දෙවියන්ව දැන හඳුනා ගෙන ඔහුගේ මඟ පෙන්වීම් පිළිපදින්න.
“නිරතුරුවම දෙවිගේ මඟ පෙන්වීම් ලබාගන්න මහත් ආශාවකින් සිටින අය සන්තෝෂවත්.”—මතෙව් 5:3.
බයිබලය මාර්ගයෙන් දෙවියන්ව හොඳින් හඳුනගන්න.
“දෙවිට ළං වන්න. එවිට ඔහු ඔබට ළං වෙයි.”—යාකොබ් 4:8.
බයිබලය කියවලා ඒකෙන් ඉගෙනගන්න දේවල් ගැන කල්පනා කරන්න.
‘යෙහෝවාa දෙවිගේ නීතිය කියවීමෙන් ඔහු මහත් ප්‍රීතියක් ලබන්නේය. දිවා රෑ දෙවිගේ නීතිය කියවා ඒ ගැන ගැඹුරින් කල්පනා කරන්නේය. ඔහු කරන සෑම දෙයක්ම සාර්ථක වන්නේය.’—ගීතාවලිය 1:2, 3.
a දෙවියන්ගේ නම යෙහෝවා කියලා බයිබලයේ තියෙනවා.