8වන කොටස
දෙවිගේ අරමුණ අනිවාර්යයෙන්ම ඉටු වෙනවා
1, 2. දුක් වේදනා නැති කර දැමීමට දෙවි පියවර ගෙන තිබෙන්නේ කෙසේද?
කැරලිකාර මිනිසුන්ගේ හා භූතයන්ගේ පාලනය නිසා සියවස් ගණනාවක් පුරා මිනිස් සංහතිය බොහෝ සෙයින් දුක් විඳ තිබෙනවා. නමුත් ඒ සියල්ල ගැන දෙවිට තැකීමක් නැහැ කියා සිතන්න එපා. ඇත්තෙන්ම මිනිස් වර්ගයාව දුක් පීඩාවලින් නිදහස් කිරීමට දෙවි ඒ කාලය පුරාම පියවර ගෙන තිබෙනවා.
2 ආදම් සහ ඒව කැරලි ගැසූ අවස්ථාවේදීම මිනිසුන් වෙනුවෙන් මේ පොළොව පාරාදීසයක් බවට පත් කරන ආණ්ඩුවක් පිහිටුවීමට වූ තම අරමුණ ගැන දෙවි එළිදරව් කළා. (උත්පත්ති 3:15) ඉන් කාලයකට පසුව දෙවිගේ ප්‍රධාන නියෝජිතයා ලෙස පොළොවට පැමිණි යේසුස් ඒ ආණ්ඩුව ගැන බොහෝ දේවල් ඉගැන්වූවා. ඔහු පැවසුවේ මිනිසාගේ බලාපොරොත්තු ඉටු කරන එකම ආණ්ඩුව එය බවයි.—දානියෙල් 2:44; මතෙව් 6:9, 10; 12:21.
3. පොළොව පාලනය කිරීමට නියමිත ආණ්ඩුව යේසුස් හැඳින්වූයේ කෙසේද? ඒ ඇයි?
3 එම ආණ්ඩුව ස්වර්ගයේ පිහිටුවනු ලබන නිසා යේසුස් එය හැඳින්වූයේ “ස්වර්ග රාජ්‍යය” ලෙසයි. (මතෙව් 4:17) එමෙන්ම එය පිහිටුවනු ලබන්නේ යෙහෝවා දෙවි නිසා යේසුස් එය “දෙවිගේ රාජ්‍යය” ලෙසත් හැඳින්වූවා. (ලූක් 17:20) එම රාජ්‍යයේ පාලකයන් ලෙස කටයුතු කරන්නේ කවුරුන්ද කියාත් එම රාජ්‍යය මගින් ඉටු කරනු ලබන්නේ මොනවාද කියාත් දෙවි ක්‍රමානුකූලව හෙළි කළා.
දෙවිගේ රාජ්‍යයේ රජු
4, 5. තමන් තෝරාගත් රජු යේසුස් බව දෙවි පෙන්නුම් කළේ කෙසේද?
4 දෙවිගේ රාජ්‍යයේ රජු සම්බන්ධයෙන් පවසා තිබූ අනාවැකි මීට අවුරුදු 2,000කට පමණ පෙර යේසුස් තුළින් ඉටු වුණා. ඒ නිසා මිනිස් වර්ගයාව පාලනය කිරීමට පිහිටෙවූ එම ස්වර්ගික ආණ්ඩුවේ පාලකයා ලෙස දෙවි තෝරාගෙන තිබුණේ යේසුස්ව බව ඉන් ඔප්පු වුණා. දෙවි තම රාජ්‍යයේ පාලකයා ලෙස යේසුස්ව තෝරාගෙන තිබූ නිසා යේසුස් මිය ගිය පසු දෙවි ඔහුව ස්වර්ගයේ ජීවත් විය හැකි බලවත් කෙනෙකු ලෙස නැවත නැඟිටෙව්වා. නැවත නැඟිටුවනු ලැබූ යේසුස්ව සියැසින් දුටු බොහෝදෙනෙක් සිටියා.—ක්‍රියා 4:10; 9:1-9; රෝම 1:1-4; 1 කොරින්ති 15:3-8.
5 යේසුස් ස්වර්ගයට ගිය පසුව ‘දෙවිගේ දකුණු පැත්තේ ඉඳගත්තා.’ (හෙබ්‍රෙව් 10:12) එතැන් පටන් දෙවිගේ රාජ්‍යයේ රජු ලෙස පියවර ගැනීමට දෙවිගෙන් අණ ලැබෙන තෙක් ඔහු බලා සිටිනවා. එලෙස ගීතාවලිය 110:1හි සඳහන් මෙම අනාවැකිය ඔහු තුළින් ඉටු වුණා. “මා ඔබේ සතුරන්ව ඔබේ පා පුටුව ලෙස තබන තුරු මාගේ දකුණු පැත්තේ හිඳගන්න.”
6. දෙවිගේ රාජ්‍යයේ රජු ලෙස කටයුතු කිරීමට තමන්ට සුදුසුකම් තිබෙන බව යේසුස් පෙන්නුම් කළේ කෙසේද?
6 යේසුස් පොළොව මත සිටි කාලයේදී දෙවිගේ රාජ්‍යයේ රජු ලෙස කටයුතු කිරීමට තමන්ට සුදුසුකම් තිබෙන බව පෙන්නුම් කළා. ඔහුට නොයෙකුත් පීඩාවලට මුහුණ දීමට සිදු වුණත් ඔහු දිගටම දෙවිට විශ්වාසවන්තව සිටියා. එමගින් පීඩා යටතේ කිසිම මිනිසෙක් දෙවිට විශ්වාසවන්තව සිටින්නේ නැහැ කියා යක්ෂයා කළ චෝදනාව බොරුවක් බව ඔහු ඔප්පු කළා. එමෙන්ම ආදම්ට සමාන පරිපූර්ණ මිනිසෙක් ලෙස පොළොවට පැමිණි යේසුස් එලෙස කටයුතු කිරීමෙන් පෙන්නුම් කළේ දෙවි මුල් මිනිස් යුවළව නිර්මාණය කළ ආකාරයේ කිසිම දෝෂයක් තිබුණේ නැති බවයි.—1 කොරින්ති 15:22, 45; මතෙව් 4:1-11.
7, 8. පොළොව මත සිටියදී යේසුස් කළ යහපත් දේවල් මොනවාද? එමගින් ඔහු පෙන්නුම් කළේ කුමක්ද?
7 යේසුස් පොළොව මත සිටි කෙටි කාලය තුළ ඔහු සිදු කළ යහපත් දේවල් ගැන මදකට සිතා බලන්න. දෙවිගේ බලයේ උපකාරයෙන් ඔහු අන්ධ, ගොළු, බිහිරි, කොර අය ඇතුළු අසනීපවලින් පෙළුණු අයව සුව කළා. මිය ගිය අයව පවා ඔහු නැවත නැඟිටෙව්වා. එමගින් ඔහු පෙන්වූයේ දෙවිගේ රාජ්‍යයේ රජුලෙස පොළොව පාලනය කරන කාලයේදී ඔහු කිරීමට නියමිත දේවල් මොනවාද කියායි.—මතෙව් 15:30, 31; ලූක් 7:11-16.
8 පොළොව මත සිටියදී යේසුස් කොතරම් යහපත් දේවල් කළාද කියනවා නම් ඔහුගේ ගෝලයෙක් වූ යොහන් මෙසේ පැවසුවා. “යේසුස් කළ තවත් බොහෝ දේ ඇත. ඒ පිළිබඳ සෑම විස්තරයක්ම ලිවීමට උත්සාහ කළොත් ඒ ලියවිලි ගබඩා කිරීමට මුළු ලෝකයම ප්‍රමාණවත් නොවන බව සිතමි.”—යොහන් 21:25.a
9. අවංක සිත් ඇති අය යේසුස් වෙත පැමිණියේ ඇයි?
9 යේසුස් මිනිසුන්ට කරුණාවෙන් හා අනුකම්පාවෙන් සැලකුවේ ඔහුට මිනිසුන් කෙරෙහි ගැඹුරු ප්‍රේමයක් තිබූ නිසයි. ඔහු ධනවත් මෙන්ම උසස් නිලතල දැරූ අයටත් නැති බැරි දුගී දුප්පත් අයටත් එක හා සමානව සැලකුවා. ඒ නිසා යේසුස් දුන් මෙම ආරාධනය අවංක සිත් ඇති අය පිළිගත්තා. “වෙහෙස වූ බරින් පීඩිත වූ සියල්ලෙනි, මා වෙතට එන්න. ඔබව ප්‍රාණවත් කරන්න මා කැමතියි. මා මෘදු ගුණැති නිහතමානී කෙනෙකු වන නිසා මා ඔබ පිට තබන වියගහ පිළිගෙන මගෙන් ඉගෙනගන්න. එමගින් ඔබට මහත් සහනයක් ලබාගත හැකියි. මන්ද මා ඔබ පිට තබන වියගහ පහසුයි. ඔබට උසුලාගෙන යෑමට තිබෙන බරද සැහැල්ලුයි.” (මතෙව් 11:28-30) යේසුස් පාලනය කරන කාලය පැමිණෙන තුරු ආශාවෙන් බලා සිටි සියලුදෙනාම ඔහුගේ එම ආරාධනය පිළිගෙන යේසුස්ගේ අනුගාමිකයන් බවට පත් වුණා.—යොහන් 12:19.
යේසුස් සමඟ පාලනයට හවුල් වන අය
10, 11. පොළොව පාලනය කිරීමට යේසුස් සමඟ හවුල් වන්නේ කවුරුන්ද?
10 සාමාන්‍යයෙන් ඕනෑම ආණ්ඩුවක පාලනයට හවුල් වන පිරිසක් සිටිනවා. ඒ හා සමානව දෙවිගේ රාජ්‍යයේ පාලනයට හවුල් වන පිරිසක්ද සිටිනවා. තම කිට්ටු අනුගාමිකයන් තමන්ගේ පාලනයට හවුල් වෙන බව යේසුස් පැවසුවේ ඒ නිසයි.—යොහන් 14:2, 3; එළිදරව් 5:10; 20:6.
11 කෙසේවෙතත් යේසුස් සමඟ හවුල් පාලකයන් ලෙස කටයුතු කිරීමට අවස්ථාව ලැබෙන්නේ සීමිත සංඛ්‍යාවකට පමණයි. දෙවිගේ රාජ්‍යයේ පාලකයන් ලෙස කටයුතු කරන ඔවුන් මිනිස් වර්ගයාට සදාකාලික ආශීර්වාද ගෙන දීමට නියමිතයි. (2 කොරින්ති 4:14; එළිදරව් 14:1-3) ඒ සියල්ලෙන් පැහැදිලි වෙන්නේ මිනිසුන්ව දුක් වේදනාවලින් නිදහස් කරන දෙවිගේ රාජ්‍යය සඳහා දෙවි අතීතයේ සිට මූලික අඩිතාලම දමමින් තිබූ බවයි.
මිනිස් ආණ්ඩුවලට අවසානයක්
12, 13. දෙවිගේ රාජ්‍යය මගින් කිරීමට නියමිතව තිබෙන්නේ කුමක්ද?
12 විසිවන සියවසේදී පටන් යෙහෝවා දෙවි පොළොවේ සිදු වන දේවලට විශේෂ අවධානයක් දී තිබෙනවා. අනාවැකිවල සඳහන් වන ආකාරයට දෙවි පොරොන්දු වී තිබූ රාජ්‍යය 1914දී ස්වර්ගයෙහි පිහිටුවනු ලැබුවා. ඒ ගැන වැඩි විස්තර මෙම සඟරාවේ 9වන පරිච්ඡේදයෙන් දැනගත හැකියි. එම රාජ්‍යය පිහිටුවනු ලැබූ දා සිට එහි රජ ලෙස කටයුතු කරන යේසුස් යක්ෂයාගේ දුෂ්ට සමාජ ක්‍රමය සම්පූර්ණයෙන්ම නැති කර දැමීමට සූදානමින් සිටිනවා. ඇත්තෙන්ම යේසුස්ගේ “සතුරන්ව යටත් කරගන්න” දෙවිගේ රාජ්‍යය සැදී පැහැදී සිටිනවා.—ගීතාවලිය 110:2.
13 ඒ සම්බන්ධයෙන් බයිබලයේ සඳහන් මෙම අනාවැකිය සලකා බලන්න. “ඒ රජුන්ගේ [එනම් මිනිස් ආණ්ඩු පවතින] දවස්වලදී ස්වර්ගයේ දෙවි කිසිදාක විනාශ නොවන රාජ්‍යයක් පිහිටුවයි. එය වෙන සෙනඟක් අතට පත් නොවෙයි. එම රාජ්‍යය ඒ සියලු රාජ්‍යවල් පොඩි කර නැති කර දමයි. නමුත් එය සදහටම පවතියි.”—දානියෙල් 2:44.
14. මිනිස් ආණ්ඩුවල නිමාවත් සමඟ ලැබීමට නියමිත ආශීර්වාද මොනවාද?
14 පොළොවේ පවතින මිනිස් පාලන ක්‍රම සියල්ලක්ම ඉවත් කිරීමෙන් පසු මේ පොළොව පාලනය කරන්නේ දෙවිගේ රාජ්‍යයයි. එය ස්වර්ගයේ පිහිටුවා තිබෙන නිසා එයට බලපෑම් කිරීමට කිසිම මිනිසෙකුට බැහැ. එදාට බොරු උගන්වන ආගම්වලින්, මිනිසුන්ගේ දර්ශනවාදී අදහස්වලින් හෝ දේශපාලනික සංකල්පවලින් කිසිවෙකු මුළා වන්නේ නැහැ. එවැනි දූෂිත දේවල් සදහටම තුරන් වීමට නියමිතයි!—මතෙව් 7:15-23; එළිදරව් 17 සිට 19 දක්වා පරිච්ඡේද.
[පාදසටහන]
a යේසුස්ගේ ජීවිතය ගැන තවත් තොරතුරු දැනගැනීම සඳහා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්රකාශනයක් වන මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා නමැති පොත බලන්න.
[18වන පිටුවේ පින්තූරය]
පාරාදීස පොළොවේදී කිරීමට නියමිත දේවලට සාක්ෂියක් ලෙස යේසුස් පොළොවේ සිටියදී විවිධ රෝගීන්ව සුව කළා, මළවුන්ට පවා නැවත ජීවිතය ලබා දුන්නා
[19වන පිටුවේ පින්තූරය]
දෙවිගේ රාජ්‍යය සියලුම මිනිස් ආණ්ඩු විනාශ කර දැමීමට නියමිතයි