ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • lr 20 පරි. 107-111 පි.
  • ඔයාට හැම වෙලේම පළවෙනියා වෙන්න ඕනෙද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඔයාට හැම වෙලේම පළවෙනියා වෙන්න ඕනෙද?
  • උතුම් ගුරුවරයාගෙන් ඉගෙනගනිමු
  • සමාන තොරතුරු
  • ඔවුන්ව “ගර්ජනාවේ පුත්‍රයන්” ලෙස හැඳින්නුවා
    2011 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • පරිසිවරයෙක් සංග්‍රහ කරයි
    මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා
  • භෝජන සංග්‍රහයකට දෙවිගෙන් ආරාධනා ලැබෙයි
    මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
  • යේසුස්ව උතුම් ගුරුවරයා විදිහට හඳුන්වන්න හේතු
    උතුම් ගුරුවරයාගෙන් ඉගෙනගනිමු
තව තොරතුරු
උතුම් ගුරුවරයාගෙන් ඉගෙනගනිමු
lr 20 පරි. 107-111 පි.

20වෙනි පරිච්ඡේදය

ඔයාට හැම වෙලේම පළවෙනියා වෙන්න ඕනෙද?

හැම තිස්සෙම පළවෙනියා වෙන්න කැමති කෙනෙක්ව ඔයා දන්නවාද?— ඒ වගේ කෙනෙක් පෝලිමක ඉද්දී අනිත් අයව තල්ලු කරලා කොහොම හරි පෝලිමේ මුලට යන්නයි හදන්නේ. ඒ වගේ දෙයක් ඔයා දැකලා තියෙනවාද?— වැඩිහිටි අයත් පළවෙනියා වෙන්න හදන විදිහ යේසුස් දැක්කා. යේසුස් ඒකට පොඩ්ඩක්වත් කැමති වුණේ නැහැ.

ළමයෙක් අනිත් අයව තල්ලු කරගෙන පෝළිමේ පළවෙනියා වෙන්න හදනවා

පළවෙනියා වෙන්න හදන අයව ඔයා දැකලා තියෙනවාද?

දවසක් යුදෙව් ආගමේ නායකයෙක් වුණු පරිසිවරයෙක් යේසුස්ට කෑමකට ආරාධනා කළා. එදා ආපු අමුත්තන් හොඳම තැන් තෝරපු විදිහ යේසුස් දැක්කා. ඒ නිසා එදා ඇවිත් හිටිය හැමෝටම යේසුස් වැදගත් දෙයක් කිව්වා. ඔයා කැමතිද ඒක දැනගන්න?—

යේසුස් මෙහෙම කිව්වා. ‘කෙනෙක් ඔයාට විවාහ උත්සවයකට ආරාධනා කළාම ප්‍රධානතම පුටුවල ඉඳගන්න එපා.’ ඔයා දන්නවාද යේසුස් එහෙම කිව්වේ ඇයි කියලා?— හුඟක් වැදගත් කෙනෙක්ටත් ආරාධනාවක් ලැබිලා තියෙන්න පුළුවන් කියලා යේසුස් පැහැදිලි කළා. පින්තූරේ පේනවා වගේ ආරාධනා කරපු කෙනා ඇවිත් කියයි ‘මේ කෙනාට ඔය පුටුව දීලා ගිහින් වෙන තැනක ඉඳගන්න’ කියලා. පුටුවේ ඉඳන් හිටිය කෙනාට ඒ ගැන කොහොම දැනෙයිද?— හැමෝම ඉස්සරහා වුණු දේ ගැන එයාට ලොකු ලැජ්ජාවක් දැනෙයි.

යේසුස් කියන්න හදන්නේ අනිත් අයට වඩා උසස් වෙන්න හදන එක වැරදියි කියලයි. ඒ නිසා යේසුස් මෙහෙමත් කිව්වා. ‘කෙනෙක් ඔයාට විවාහ උත්සවයකට ආරාධනා කළාම පහත්ම ආසනය තෝරාගන්න. සමහරවිට ඔයාට ආරාධනා කරපු කෙනා ඇවිත් ඔයාට කියයි “මුල් පෙළේ පුටුවක ඉඳගන්න” කියලා. ඇවිත් ඉන්න හැමෝම ඉස්සරහා ඒක ඔයාට ගෞරවයක් වෙයි.’—ලූක් 14:1, 7-11.

ආරාධනා කරපු මිනිසා ප්‍රධාන පුටුවක වාඩි වෙලා ඉන්න අමුත්තාට කියනවා ඒ පුටුව වෙන කෙනෙක්ට දෙන්න කියලා

වැදගත් අයට වෙන් කරලා තියෙන පුටුවල ඉඳගන්න හදපු අය ගැන කියපු දෙයින් යේසුස් ඉගැන්නුවේ මොකක්ද?

යේසුස් උගන්වපු දේ ඔයාට තේරුණාද?— ටිකකට මෙහෙම හිතන්නකෝ. සෙනඟ පිරුණු බස් එකකට ඔයා නඟිනවා. හුඟක් වයසක කෙනෙක් අමාරුවෙන් හිටන් ඉද්දී ඉඳගන්න ඉඩක් ලැබුණු හැටියේ ඔයා එතැන ඉඳගන්නවාද?— යේසුස් ඒකට කැමති වෙයිද?—

අපි මොනවා කළත් යේසුස්ට කිසිම ගානක් නැහැ කියලා සමහරු කියයි. ඔයා ඒක විශ්වාස කරනවාද?— විවාහ උත්සවයකට ගිය වෙලේ එතැනට ඇවිත් හිටිය අය ඉඳගන්න තැන් තෝරාගන්න විදිහ යේසුස් බලාගෙන හිටියා. ඔයාට හිතෙන්නේ නැද්ද යේසුස් අදටත් අපි කරන දේවල් බලාගෙන ඉන්නවා කියලා?— ඔව්, ස්වර්ගයේ ඉන්න යේසුස්ට අපි කරන දේවල් හොඳට පේනවා.

කෙනෙක් පළවෙනියා වෙන්න හදද්දී ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. හුඟක් වෙලාවට එහෙම වුණාම වාද ඇති වෙනවා, කේන්ති යනවා. බස් එකක විනෝද ගමනක් යද්දී ඒ වගේ දෙයක් වෙන්න පුළුවන්. හැම ළමයෙක්ටම ඕනෙ ජනේලයක් ළඟ ඉඳගන්න. එතකොට මොනවා වෙන්න පුළුවන්ද?— කේන්ති ගිහින් රණ්ඩු කරන්න පටන්ගනියි.

පළවෙනියා වෙන්න උත්සාහ කරපු නිසා යේසුස්ගේ නියෝජිතයන් අතරෙත් ප්‍රශ්න ඇති වුණා. අපි 6වෙනි පරිච්ඡේදයෙන් බලපු විදිහට තමන් අතරේ උසස් කවුද කියන එක ගැන ඒ අය වාද කළා. ඒ වෙලාවේ යේසුස් කළේ මොනවාද?— යේසුස් ඒ අයගේ වරද පෙන්වලා දුන්නා. හැබැයි පස්සේ කාලෙක නියෝජිතයන් ආයෙත් ඒ ගැන වාද කළා.

ඒක වුණේ යේසුස් නියෝජිතයන් එක්ක අන්තිම වතාවට යෙරුසලමට යන අතරතුරේදියි. දෙවිගේ රාජ්‍යය ගැන යේසුස් කියලා තිබුණු නිසා යාකොබ්ටත් යොහන්ටත් ඕන වුණා දෙවිගේ රාජ්‍යයේ රජවරු වෙන්න. ඒ දෙන්නා ඒ ගැන එයාලාගේ අම්මා එක්ක ඒ කියන්නේ සලෝමි එක්කත් කතා කළා. (මතෙව් 27:56; මාක් 15:40) ඒ නිසා සලෝමි යේසුස්ගෙන් ඉල්ලීමක් කරන්න යේසුස් ළඟට ආවා.

යේසුස් එයාගෙන් ඇහුවා ‘ඔයාට මොනවාද ඕනේ’ කියලා. එතකොට එයා කිව්වා දෙවිගේ රාජ්‍යයේදී එයාගේ පුත්තු දෙන්නාට යේසුස්ගේ වම් පැත්තෙත් දකුණු පැත්තෙත් ඉඳගන්න ඉඩ දෙන්න කියලා. ඒක අනිත් නියෝජිතයන් දහදෙනාට දැනගන්න ලැබුණාම එයාලාට කොහොම හැඟෙන්න ඇද්ද?—

සලෝමි යේසුස්ගෙන් අහනවා එයාගේ පුතාලා දෙන්නා වන යාකොබ්ට සහ යොහන්ට විශේෂ තැනක් දෙන්න පුළුවන්ද කියලා

සලෝමි යේසුස්ගෙන් ඉල්ලන්නේ මොනවාද? යේසුස් කිව්වේ මොනවාද?

යාකොබ් ගැනයි යොහන් ගැනයි ඒ අයට හුඟක් කේන්ති ගියා. ඒ වෙලාවේ යේසුස් ඒ හැමෝටම වටිනා උපදෙසක් දුන්නා. යේසුස් කිව්වා ලෝකයේ ඉන්න පාලකයන් අනිත් අයට වඩා බලවත් වෙන්නත් අනිත් අයව යටත් කරගෙන ඉන්නත් හුඟක් ආසයි කියලා. හැබැයි ඒ අය වගේ වෙන්න එපා කියලා යේසුස් ගෝලයන්ට කිව්වා. ඒ වෙනුවට ‘පළවෙනියා වෙන්න කැමති කෙනෙක් ඉන්නවා නම් ඒ කෙනා අනිත් අයගේ දාසයෙක් වෙන්න ඕනේ’ කියලා යේසුස් කිව්වා. මොන තරම් වටින පාඩමක්ද!—මතෙව් 20:20-28.

දාසයෙක් හැසිරෙන්නේ කොහොමද කියලා ඔයා දන්නවාද?— එයා අනුන්ට සේවය කළත් අනුන් තමන්ට සේවය කරයි කියලා කවදාවත් බලාපොරොත්තු වෙන්නේ නැහැ. පළවෙනි තැන ගන්න හදනවා වෙනුවට එයා හදන්නේ අන්තිම තැන ගන්න. උසස්ම කෙනා විදිහට හැසිරෙනවා වෙනුවට වැදගත්කමින් අඩු අය විදිහටයි දාසයා හැසිරෙන්නේ. මතකයිනේ, යේසුස් කිව්වා පළවෙනියා වෙන්න කැමති අය අනිත් අයගේ දාසයෙක් වෙන්න ඕනෙ කියලා.

ඒකෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?— හොඳම පුටුවේ ඉඳගන්නේ කවුද කියන එක ගැන කවදාවත් දාසයෙක් එයාගේ ස්වාමියා එක්ක වාද කරයිද? එහෙමත් නැත්නම් මුලින්ම කෑම කන්නේ කවුද කියන එක ගැන වාද කරයිද? ඔයාට මොකක්ද හිතෙන්නේ?— දාසයෙක් හැම වෙලේම වැඩ කරන්නේ එයාගේ ස්වාමියා කියන විදිහටයි කියලා යේසුස් කිව්වා.—ලූක් 17:7-10.

පළවෙනියා වෙන්න හදනවා වෙනුවට අපි මොනවාද කරන්න ඕනේ?— අපි අනිත් අයට දාසයෙක් වගේ වෙන්න ඕනේ. ඒ කියන්නේ අනිත් අය අපිට වඩා උසස් කියලා අපි හිතන්න ඕනේ. එහෙම හිතලා වැඩ කරන්න පුළුවන් විදි ගැන ඔයාට මතක් වෙනවාද?— අනිත් අයට උදව් කරලා ඒ අයව ඔයාට වඩා උසස් විදිහට සලකන්න පුළුවන් කොහොමද කියලා දැනගන්න මේ පොතේ 40, 41 පිටු පෙරළලා බලන්නකෝ.

ඔයාට මතක ඇතිනේ යේසුස් අනිත් අයට සේවය කරලා ඒ අයව තමන්ට වඩා උසස් විදිහට සලකපු විදිහ. නියෝජිතයන් එක්ක හිටිය අන්තිම දවසේ යේසුස් ඒ අයගේ කකුල් හේදුවා. අපිත් අනිත් අයව අපිට වඩා උසස් විදිහට සලකලා ඒ අයට සේවය කරනවා නම් යේසුස්වත් යෙහෝවා දෙවිවත් සතුටු කරන්න අපිට පුළුවන්.

අනිත් අයව අපිට වඩා උසස් විදිහට සලකන්න උදව් වෙන මේ බයිබල් පද අපි දැන් කියවලා බලමු. ලූක් 9:48; රෝම 12:3; ෆිලිප්පි 2:3, 4.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න