ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • yp2 24 පරි. 199-207 පි.
  • ඇයි මෙච්චර රණ්ඩු?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඇයි මෙච්චර රණ්ඩු?
  • යොවුන් සිතේ ගැටලු—ඊට විසඳුම්, 2වන පොත
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • රණ්ඩු වෙන්නේ ඇයි?
  • මෙහෙම කරන්න
  • මෙහෙම කරන්න එපා
  • අම්මයි තාත්තයි රණ්ඩු වෙද්දී මම මොකද කරන්නේ?
    2007 පිබිදෙව්!
  • අම්මවයි තාත්තවයි හොඳින් තේරුම්ගන්න මට පුළුවන් කොහොමද?
    2009 පිබිදෙව්!
  • ඇයි මෙච්චර නීති?
    යොවුන් සිතේ ගැටලු—ඊට විසඳුම්, 2වන පොත
  • ඇයි මට ටිකක් විනෝද වෙන්න දෙන්නේ නැත්තේ?
    යොවුන් සිතේ ගැටලු—ඊට විසඳුම්, 1වන පොත
තව තොරතුරු
යොවුන් සිතේ ගැටලු—ඊට විසඳුම්, 2වන පොත
yp2 24 පරි. 199-207 පි.

24වෙනි පරිච්ඡේදය

ඇයි මෙච්චර රණ්ඩු?

ඔයාගේ දෙමාපියන් ඔයා ඉස්සරහා රණ්ඩු වෙනවාද? ඒගොල්ලෝ වැඩියෙන්ම රණ්ඩු කරන්නේ මොනවා ගැනද?

□ සල්ලි ගැන

□ ගෙදර තියෙන වැඩ ගැන

□ නෑදෑයෝ ගැන

□ මං ගැන

දෙමාපියන් රණ්ඩු වෙද්දී ඔයාට හැඟෙන විදිහ ගැන ඔයා ඒ අයට කියන්නේ මොනවාද?

․․․․․

ඔයාගේ දෙමාපියන් රණ්ඩු කරද්දී ඔයාට දරාගන්න බැරි දුකක් දැනෙන එක පුදුමයක් නෙමෙයි. මොකද ඔයා ඒගොල්ලන්ට ගොඩක් ආදරෙයි. ඔයාට එයාලා නැතුව බැහැ. දෙමාපියන් රණ්ඩු වෙද්දී මරී කියන යෞවනියටත් ලොකු දුකක් දැනුණා. එයාට තේරුණා එයාගේ දෙමාපියන් දෙන්නට දෙන්නා ගෞරව කරන්නේ නැහැ කියලා.

සාමාන්‍යයෙන් දරුවන් එයාලගේ දෙමාපියන් ගැන හිතාගෙන ඉන්නේ හරි ඉහළින්. එයාලා හිතන්නේ දෙමාපියන් අතින් කිසි වරදක් වෙන්නේ නැහැ කියලයි. හැබැයි දෙමාපියන් රණ්ඩු වෙනවා දකිද්දී එයාලා හිතාගෙන හිටපු විදිහ වැරදියි කියලා තේරෙනවා. හිතට ලොකු දුකක් නැත්නම් භයක් ඇති වෙන්න ඒකත් එක හේතුවක්. නිතර නිතර ඔයාගේ දෙමාපියන් රණ්ඩු වෙනවා නම් ඒ දෙන්නා වෙන් වෙයිද කියලත් ඔයාට භයක් දැනෙන්න පුළුවන්. ඒ ගැන මරී මෙහෙම කියනවා. “අම්මයි තාත්තයි බැණගද්දී එයාලා දික්කසාද වෙන්න තීරණය කරයි කියලා මට හරි භයක් දැනෙනවා. එහෙම වුණොත් මං ඉන්නේ කා එක්කද? මගේ නංගිලා, මල්ලිලා මට නැති වෙයිද කියලා මං කල්පනා කරනවා.”

දෙමාපියන් රණ්ඩු වෙන්නේ ඇයි? ඒ වගේ වෙලාවලදී ඔයාට කරන්න පුළුවන් මොනවාද?

රණ්ඩු වෙන්නේ ඇයි?

බයිබලයේ කියන්නේ, “සියලුම මනුෂ්‍යයෝ පව් කර ඇත. එහෙයින් දෙවිගේ අතිශ්‍රේෂ්ඨ ගුණාංග පිළිබිඹු කිරීමට ඔවුහු අසමත් වෙති” කියලයි. (රෝම 3:23) එහෙමනම් ඔයාගේ දෙමාපියන් අතිනුත් වැරදි අඩුපාඩුකම් වෙනවා කියලා ඔයා මතක තියාගන්න ඕනේ. ඒ දෙන්නා ආදරෙන් හිටියට ඉඳලා හිටලා එයාලා අතරේ වාද, රණ්ඩු ඇති වෙන්න පුළුවන්.—එෆීස 4:2.

ඒ වගේම අපි ජීවත් වෙන්නේ ‘ඉතා අසීරු කාලයක’ නිසාත් දෙමාපියන් අතරේ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. (2 තිමෝති 3:1) ටිකක් හිතන්න, ගෙදර වියදම් පියවන්න දෙමාපියන්ට කොච්චර ලොකු සටනක් කරන්න වෙනවාද? රස්සාවට ගියාම එහෙත් එක එක ප්‍රශ්න. ඒ වගේ හේතු නිසා විවාහ ජීවිතේ ප්‍රශ්න ඇති වෙන්න තියෙන ඉඩකඩ වැඩියි. අම්මයි තාත්තයි දෙන්නම ජොබ් කරනවා නම් ගෙදර වැඩ බෙදාගෙන කරන්නේ කොහොමද කියන එක ගැනත් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්.

අම්මයි තාත්තයි වාද කළාට, රණ්ඩු කළාට ඒකෙන් අදහස් කරන්නේ නැහැ එයාලා වෙන් වෙන්න යනවා කියලා. සමහර දේවල් ගැන ඒ දෙන්නට වෙනස් මත තිබුණට ඒ දෙන්නට දෙන්නා ආදරේ ඇති.

ඒක තේරුම්ගන්න මේ ගැන ටිකක් හිතන්න. ඔයායි ඔයාගේ යාළුවෝ කට්ටියකුයි එකතු වෙලා ෆිල්ම් එකක් බලනවා. ඒ ෆිල්ම් එක ගැන ඔයාට හැඟෙන විදිහයි යාළුවන්ට හැඟෙන විදිහයි වෙනස් වෙන්න පුළුවන්. ඒකෙන් තේරෙනවා කිට්ටු යාළුවන් අතරේ වුණත් එකම දේ ගැන වෙනස් අදහස් තියෙන්න පුළුවන් කියලා. ඔයාගේ දෙමාපියනුත් ඒ වගේ තමයි. උදාහරණයකට ගෙදර වියදම් පියවන එක ගැන දෙන්නම හිතනවා ඇති. හැබැයි මොන දේට, කොච්චර වියදම් කරන්න ඕනෙද කියන එක ගැන එයාලට වෙනස් මත තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් දෙන්නටම ඕනේ ඇති ඔයාට හොඳට උගන්නන්න. හැබැයි ඒක කරන්න පුළුවන් හොඳම විදිහ ගැන ඒ දෙන්නට වෙනස් මත තියෙන්න පුළුවන්.

ඒ නිසා එකම දෙයක් ගැන දෙන්නෙක්ට වෙනස් මත තිබුණට ඒ දෙන්නා අතරේ ආදරයක් නැහැ කියලා කියන්න බැහැ. හැබැයි ඔයාගේ දෙමාපියන්ගේ රණ්ඩු අහගෙන ඉන්න එක ඔයාට හුඟක් අමාරු ඇති. ඒ වගේ වෙලාවලදී ඔයාට කරන්න පුළුවන් මොනවාද?

මෙහෙම කරන්න

දිගටම ගෞරවයෙන් සලකන්න. දෙමාපියන් නිතර නිතර රණ්ඩු කරද්දී එයාලා ගැන ඔයාට තරහක් ඇති වෙන්න පුළුවන්. හැබැයි ඒ තරහ නිසා දෙමාපියන්ට කිසි ගරුසරුවක් නැතුව ඔයා වැඩ කළොත් ඒකෙන් වෙන්නේ පවුලේ ප්‍රශ්න තව වැඩි වෙන එකයි. අනික අසීරු අවස්ථාවලදී වුණත් දෙමාපියන්ට ගෞරව කරන්න, එයාලට කීකරු වෙන්න කියලා යෙහෝවා දෙවි දරුවන්ට පැහැදිලි අණක් දීලා තියෙනවා.—නික්මයාම 20:12; හිතෝපදේශ 30:17.

මේ වගේ අවස්ථාවක් ගැන හිතන්න. ඔයාගේ දෙමාපියන්ගෙන් එක් කෙනෙක් විතරයි යෙහෝවා දෙවිට නමස්කාර කරන්නේ. එයාත් එක්ක දෙවිට නමස්කාර කරන්න ඔයාත් තීරණය කරලයි තියෙන්නේ. ඒ නිසා ඔයාගේ දෙමාපියන් අතරේ ඒ ගැන වාදවිවාද ඇති වෙන්න පුළුවන්. (මතෙව් 10:34-37) ඒ වගේ වෙලාවලදී ඔයාට පුළුවන් ඔයා දෙවිට නමස්කාර කරන්න තීරණය කරලා තියෙන හේතු පැහැදිලි කරලා දෙන්න. හැබැයි “මෘදුකමින් හා ගැඹුරු ගෞරවයක් පෙන්වමින්” ඒක කරන්න අමතක කරන්න එපා. ඔයා ඒ විදිහට දෙමාපියන්ට ගෞරවයෙන් සලකද්දී දෙවිට නමස්කාර කරන්නේ නැති කෙනාව දිනාගන්න ඔයාට පුළුවන් වෙයි.—1 පේතෘස් 3:15.

පැති ගන්න එපා. ඔයාට අදාළ නැති ප්‍රශ්නයක් ගැන අම්මයි තාත්තයි වාද කරනවා කියලා හිතන්න. ඒ වගේ වෙලාවට දෙමාපියන් දෙන්නගෙන් එක් කෙනෙක්ගෙවත් පැත්ත ගන්න එපා. ඕනේ නම් ඔයාට මෙහෙම කියන්න පුළුවන්. “මං ඔය දෙන්නටම ගොඩක් ආදරෙයි. ඒ නිසා මට එක පැත්තක්වත් ගන්න බැහැ. මාව ගාවගන්නේ නැතුව ඔයාලම මේ ප්‍රශ්නේ කතා කරලා විසඳගන්න.”

කතා කරන්න. දෙමාපියන් රණ්ඩු වෙද්දී ඒ ගැන ඔයාට දැනෙන්නේ කොහොමද කියලා එයාලට කියන්න. හැබැයි ඒ ගැන කතා කරන්න එයාලා සන්සුන්ව ඉන්න වෙලාවක් තෝරගන්න. ඊටපස්සේ එයාලගේ රණ්ඩු නිසා ඔයාට දැනෙන වේදනාව, භය, කේන්තිය ගැන ගෞරවනීයව එයාලට කියන්න.—හිතෝපදේශ 15:23; කොලොස්සි 4:6.

මෙහෙම කරන්න එපා

උපදෙස් දෙන්න එපා. ඔයා තාම යෞවනයෙක් නිසා විවාහක අය අතරේ ඇති වෙන ප්‍රශ්න ගැටලු විසඳන්න ඔයාට අද්දැකීම් නැහැ. මේ උදාහරණය ගැන ටිකක් බලන්න. ඔයා පොඩි ගුවන් යානයක යනවා කියලා හිතන්න. ඒකේ නියමුවයි සහය නියමුවයි අතරේ වාදයක් පටන්ගන්නවා. ඒ වාදය දිගින් දිගටම යන නිසා සමහරවිට ඔයා කලබල වෙයි. හැබැයි යානය ගෙනි යන්න ඕනේ කොහොමද කියලා ඔයා නියමුවට උපදෙස් දෙන්න ගියොත් මොනවා වෙයිද? නැත්නම් ඔයාම යානය ගෙනි යන්න හැදුවොත් මොනවා වෙයිද?

ඒ වගේ තමයි දෙමාපියන් අතරේ තියෙන ප්‍රශ්නවලට ඔයා අත දාන්න ගියොත් ඒකෙන් වෙන්නෙත් ප්‍රශ්න තව වැඩි වෙන එකයි. බයිබලයේ කියන්නේ, “අහංකාරකම දබරවලට මුල පුරයි. නමුත් එකිනෙකාගෙන් අදහස් විමසන විට ප්‍රඥාවන්තව කටයුතු කළ හැක” කියලයි. (හිතෝපදේශ 13:10) ඒ නිසා දෙමාපියන්ගේ ප්‍රශ්නවලට ඔයා මැදිහත් වෙන්නේ නැතුව ඒවා එයාලටම කතාබහ කරලා විසඳගන්න ඉඩ දෙන්න.—හිතෝපදේශ 25:9.

හවුල් වෙන්න එපා. අම්මයි තාත්තයි රණ්ඩු වෙනවා දැක්කම මැද්දට පැනලා මොනවා හරි දෙයක් කියන්න ඔයාටත් හිතෙන්න පුළුවන්. හැබැයි ඒ ප්‍රශ්නේ විසඳන එක ඔයාගේ වැඩක් නෙමෙයි. ඒක ඒගොල්ලන්ගේ වැඩක්. ඒ නිසා බයිබලයේ දීලා තියෙන මේ උපදෙස හිතට ගන්න. ‘අනුන්ගේ වැඩකටයුතුවලට ඇඟිලි නොගසා සිටින්න.’—1 තෙසලෝනික 4:11.

කොටවන්න එපා. සමහරක් යෞවනයෝ එයාලට ඕන දේ කරගන්න හරිම කපටි විදිහට දෙමාපියන්ව කොටවනවා. මොනවා හරි දෙයක් කරන්න අම්මා එපා කියලා කිව්වොත් තාත්තා ළඟට ගිහින් දන්න හැම උප්පරවැට්ටියක්ම දාලා කොහොමහරි තාත්තගෙන් ඒකට අවසර ගන්නවා. ඒකෙන් වෙන්නේ අම්මයි තාත්තයි අතරේ ප්‍රශ්න ඇති වෙන එක.

පළිගන්න එපා. පීටර් කියන යෞවනයගේ තාත්තා නිතරම අම්මත් එක්ක රණ්ඩු කරපු නිසා තාත්තගෙන් පළිගන්න හිතාගෙන පීටර් නරක වැඩ කරන්න පටන්ගත්තා. එයා මෙහෙම කියනවා. “මට ඕන වුණේ තාත්තට රිද්දන්නයි. එයා අම්මටයි, නංගිටයි, මටයි සලකපු විදිහ නිසා මට එයාව තිත්ත වෙලයි තිබුණේ.” හැබැයි වැඩි කල් යන්න ඉස්සෙල්ලා පීටර් කරපු වැරදි දේවලට එයාටම ප්‍රතිඵල විඳින්න සිද්ධ වුණා. ඒකෙන් තේරෙන්නේ ඔයා දෙමාපියන්ගෙන් පළිගන්න ගියොත් ගෙදර ප්‍රශ්න තව වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නැහැ කියලයි.—ගලාති 6:7.

මේ පරිච්ඡේදයේ බලපු කරුණුවලින් ඔයා අදාළ කරගන්න ඕනේ මොන කරුණුද? ․․․․․

ඔයාගේ දෙමාපියන් රණ්ඩු කරන එක නතර කරන්න ඔයාට බැහැ. හැබැයි ඒ රණ්ඩු නිසා ඔයාට ඇති වෙන දුක, කනස්සල්ල දරාගන්න යෙහෝවා දෙවි ඔයාට අනිවාර්යයෙන්ම ශක්තිය දෙනවා.—ෆිලිප්පි 4:6, 7; 1 පේතෘස් 5:7.

අපි මේ පරිච්ඡේදයේ බලපු කරුණු අදාළ කරගන්න උත්සාහ කරන්න. කාලයක් යන කොට ඔයාගේ දෙමාපියනුත් එයාලගේ ප්‍රශ්න විසඳගන්න පියවර ගනියි. සමහරවිට ඒගොල්ලෝ රණ්ඩු කරන එක නතර කරන්නත් ඉඩ තියෙනවා.

ඊළඟ පරිච්ඡේදය

ඔයා ඇතිදැඩි වෙන්නේ අම්මා හරි තාත්තා හරි නැතුව නම් ඔයාට එන අභියෝගවලට මුහුණ දෙන්න පුළුවන් කොහොමද?

බයිබල් උපදෙස

“නිතරම කාරුණිකව කතා කිරීමට පුරුදු වන්න.”—කොලොස්සි 4:6.

යෝජනාවක්

ඔයාගේ දෙමාපියන් නිතර නිතර සැරපරුෂ විදිහට බැණගන්නවා නම් ප්‍රශ්න විසඳගන්න කාගෙන් හරි උදව් ඉල්ලන්න කියලා එයාලට කියන්න.

මේක දැනගෙන හිටියාද?

ආදරෙන් ඉන්න දෙන්නෙක් වුණත් සමහරක් දේවල් ගැන එකඟ වෙන්නේ නැති වෙන්න පුළුවන්.

ඔයාට වැඩක්!

මගේ දෙමාපියන් රණ්ඩුවක් පටන්ගත්තොත් මං මෙහෙම කරනවා ․․․․․

එක් කෙනෙක්ගේ පැත්ත ගන්න කියලා මට කිව්වොත් මං මෙහෙම කරනවා ․․․․․

මේ කාරණා ගැන මං දෙමාපියන්ගෙන් අහලා දැනගන්න කැමති දේ ․․․․․

ඔයා හිතන්නේ මොකද්ද?

● සමහර දෙමාපියන් රණ්ඩු වෙන්නේ ඇයි?

● දෙමාපියන්ගේ ප්‍රශ්නවලට ඔයා වග කියන්න ඕනේ නැත්තේ ඇයි?

● ප්‍රශ්න එද්දී දෙමාපියන් වැඩ කරන විදිහෙන් ඔයාට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

[201වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

‘‘මගේ දෙමාපියන් අතිනුත් වැරදි වෙනවා කියලත් එයාලටත් එක එක ප්‍රශ්න තියෙනවා කියලත් මං තේරුම් අරං ඉන්න නිසා එයාලා රණ්ඩු කරද්දී මං සැලෙන්නේ නැහැ.’’—කැතී

[206, 207වන පිටුවේ කොටුව⁄පින්තූරය]

දෙමාපියන් වෙන් වුණොත්

ඔයාගේ දෙමාපියන් වෙන් වුණොත් ඔයාට දරාගන්න බැරි ලොකු දුකක් දැනෙයි. ඒත් ඒ වගේ අවස්ථාවක ඔයාට ඥානවන්තව වැඩ කරන්න පුළුවන් කොහොමද? මෙන්න යෝජනා කීපයක්.

● වෙන්නේ නැති දේ ගැන බලාපොරොත්තු තියන්න එපා. දෙමාපියන් වෙන් වුණාම සාමාන්‍යයෙන් ඔයාට ඉස්සෙල්ලාම එන හැඟීම තමයි කොහොම හරි ආයේ එයාලව එකතු කරන්න ඕනේ කියන එක. ඈන් කියන යෞවනිය මෙහෙම කියනවා. “අම්මයි තාත්තයි වෙන් වුණාට පස්සෙත් ඉඳලා හිටලා අපි පවුලක් හැටියට එහේ මෙහේ ගියා. ඒ වගේ වෙලාවලදී අම්මවයි තාත්තවයි එකට තියලා මායි අක්කයි එතැනින් ටිකක් ඈතට යනවා. එයාලව ආයේ එකතු කරන්න අපි ඒ වගේ දේවල් කළාට වැඩක් වුණේ නැහැ.”

බයිබලයේ කියන්නේ, “බලාපොරොත්තු වන දේ ප්‍රමාද වූ විට සිත කලකිරෙන්නේය” කියලයි. (හිතෝපදේශ 13:12) ඒ නිසා වෙන්නේ නැති දේ ගැන හිතහිත දුක් වෙන්න එපා. මොකද දෙමාපියන් කරන කියන දේවල් ඔයාට පාලනය කරන්න බැහැ. ඒගොල්ලෝ වෙන් වුණේ ඔයා නිසා නෙමෙයි. ඒ වගේම එයාලව එකතු කරන එකත් ඔයාට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි.—හිතෝපදේශ 26:17.

● තරහක් තියාගන්න එපා. දෙමාපියන් එක්ක හරි ඒ දෙන්නගෙන් එක් කෙනෙක් එක්ක හරි තරහක් තියාගන්න එක ඔයාට හොඳ නැහැ. ටොම් කියන යෞවනයා මෙහෙම කියනවා. “පොඩි කාලේ මට තාත්තා එක්ක තිබුණේ පුදුම කේන්තියක්. මට තේරුම්ගන්න බැරි වුණේ තාත්තා අපිට ආදරේ නම් ඇයි එයා අපිව දාලා ගියේ කියලයි.”

ඔයාගේ දෙමාපියන්ගෙන් එක් කෙනෙක් හරියි කියලත් අනිත් කෙනා සම්පූර්ණයෙන්ම වැරදියි කියලත් හිතන්න එපා. මොකද විවාහ ජීවිතේ එයාලට තිබුණු ප්‍රශ්න, වෙන් වෙන්න තීරණය කරපු හේතු හැම එකක්ම ඔයාට කියලා නැතුව ඇති. සමහරවිට ඒගොල්ලන්ටත් ඒ ප්‍රශ්න හරියට තේරුම්ගන්න බැරුව ඇති. ඒ නිසා ප්‍රශ්නේ සම්පූර්ණයෙන්ම තේරුම්ගන්නේ නැතුව කවුද හරි කවුද වැරදි කියලා තීරණය කරන්න එපා. (හිතෝපදේශ 18:13) දෙමාපියන් වෙන් වෙනවා කියලා දැනගත්තම කේන්තියක්, දුකක් දැනෙන එක සාමාන්‍ය දෙයක්. හැබැයි ඔයා දිගටම හිතේ කේන්තියක් තියාගත්තොත් ඒකෙන් ඔයාගේ හොඳ ගතිගුණ ටිකෙන් ටික නැති වෙලා යන්න පුළුවන්. මේ උපදෙස දීලා තියෙන්නේ ඒ නිසයි. “කෝප වීමෙන් වළකින්න. උදහස් වීම අත්හරින්න.”—ගීතාවලිය 37:8.

● ඇත්ත දකින්න. සමහර යෞවනයන් පවුලෙන් වෙන් වෙලා ගිය අම්මා නැත්නම් තාත්තා ගැන හරි ඉහළින් හිතන්න පටන්ගන්නවා. උදාහරණයකට එක යෞවනයෙක් පවුලෙන් වෙන් වෙලා ගිය එයාගේ තාත්තා ගැන හිතුවේ එයා තරම් කෙනෙක් තවත් මේ ලෝකේ නැහැ කියලයි. හැබැයි එයාගේ තාත්තා බීමට ඇබ්බැහි වුණු, ගොඩක් ගෑනු අය එක්ක සම්බන්ධකම් තිබුණු, කීප සැරයක්ම ගෙදර අයව දාලා ගිය කෙනෙක්. එහෙමනම් ඒ යෞවනයා තාත්තා ගැන මහ ඉහළින් හිතන්න හේතුව මොකක් වෙන්න පුළුවන්ද?

ගොඩක් වෙලාවට දික්කසාද වෙන පවුල්වල දරුවන් ජීවත් වෙන්නේ අම්මා එක්කයි. ඒ නිසා දරුවන්ගේ වැඩකටයුතු බලාගන්න වගකීමත් එයාලට අවශ්‍ය හික්මවීම් දෙන එකත් පැවරෙන්නේ අම්මටයි. තාත්තගෙන් නඩත්තු මුදලක් හම්බ වුණත් ගෙදර වියදම් පියවන එක අම්මට ලේසි නැහැ. හැබැයි තාත්තට පවුල් වගකීම් අඩු වෙන නිසා අම්මට වඩා එයාගේ අතේ සල්ලි තියෙනවා. ඒ නිසා තාත්තත් එක්ක ගත කරන කාලය අම්මා එක්ක ගෙවන ජීවිතේට වඩා හොඳයි කියලත් තාත්තා වැඩිය නීති දාන්නේ නැති නිසා නිදහසේ ඉන්න පුළුවන් කියලත් දරුවන්ට හිතෙනවා. ඒ වගේ වාසි ගැන හිතලා දෙවිට නමස්කාර කරපු සමහර යෞවනයන් පවා සත්‍යයේ නැති අම්මා හරි තාත්තා හරි එක්ක ජීවත් වෙන්න තීරණය කරලා තියෙනවා. ඒ වගේ තීරණයක් ගන්න එක කොච්චර කනගාටුදායකද!—හිතෝපදේශ 19:4.

ඒ වගේ තීරණයක් ගන්න ඔයාටත් හිතුණොත් වඩා වැදගත් දේවල් මොනවාද කියලා කල්පනා කරලා බලන්න. දෙමාපියන් කොච්චර දේවල් දුන්නත් ඔයාට ඕන කරන හරි මඟ පෙන්වීම්, හික්මවීම් දෙන්නේ නැත්නම් ඔයාට ඔයාගේ ජීවිතේ සාර්ථක කරගන්න බැහැ.—හිතෝපදේශ 4:13.

[202, 203වන පිටුවේ පින්තූරය]

දෙමාපියන්ගේ ප්‍රශ්න විසඳගන්න උපදෙස් දෙන යෞවනයෙක් හරියට ගුවන් යානය ගෙනි යන්න ඕන විදිහ ගැන නියමුවට උපදෙස් දෙන කෙනෙක් වගේ

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න