31වෙනි පරිච්ඡේදය
හැම වෙලාවෙම සිංදු අහන එක වැරදිද?
සිංදු අහන එක ඔයාට කොච්චර වැදගත්ද?
□ එච්චර වැදගත් නැහැ
□ නැතුවම බැහැ
ඔයා සිංදු අහන්නේ මොන වෙලාවෙද?
□ ගමනක් බිමනක් යන කොට
□ පාඩම් කරන කොට
□ හැම වෙලාවෙම
ඔයා අහන්න කැමති මොන වගේ සිංදුද? ඒ ඇයි? ․․․․․
අපි හැමෝම සංගීතය රස විඳින්න කැමතියි. හුඟක් යෞවනයන්ට සංගීතය නැතුවම බැරි දෙයක්. අවුරුදු 21ක් වයස ඇමා මෙහෙම කියනවා. “මං ගෙදර දොරේ වැඩ කරන්නේ, පාඩම් කරන්නේ සිංදු දාගෙනයි. මං සිංදු අහන්නේ නැති වෙලාවක් නැහැ.”
අපේ හැඟීම්වලට ලොකු බලපෑමක් කරන්න සංගීතයට පුළුවන්. ටිකක් හිතන්න. දුකෙන් ඉන්න වෙලාවක කවුරු හරි හොඳ දෙයක් කිව්වම ඒකෙන් අපි කොච්චර ලොකු සැනසීමක් ලබනවාද! (හිතෝපදේශ 15:23) ඒ වගේ සංගීතයටත් පුළුවන් අපේ හිතට කතා කරන්න. අපිට සහනයක් දෙන්න. “කාටවත් මාව තේරුම්ගන්න බැහැ කියලා හිතෙන වෙලාවලදී මං මගේ ආසම ගෲප් එකේ සිංදු අහනවා. එතකොට මට ලොකු සහනයක් දැනෙනවා.” එහෙම කිව්වේ ජෙසිකා කියන යෞවනියයි.
සිංදු නිසා ප්‍රශ්නද?
සමහර වෙලාවට ඔයා කැමති සිංදුවලට ඔයාගේ දෙමාපියන් එච්චර කැමති නැති වෙන්න පුළුවන්. ඒ ගැන එක යෞවනයෙක් මෙහෙම කියනවා. “මං සිංදු අහන කොට මගේ තාත්තා කියනවා, ‘ඕක නතර කරලා දාන්න. මගේ කන් අඩි පැළෙන්න එනවා’ කියලා.” ඔයා අහන සිංදු ගැන දෙමාපියන් එක එක දේවල් කියන කොට ඔයාට කේන්ති යන්න පුළුවන්. “අපේ අම්මලා දැන් අපිට බැන්නට එයාලා තරුණ කාලේ අහපු සිංදු හරි නැහැ කියලා එයාලගේ අම්මලත් එයාලට බැණලා ඇති” කියලා යෞවනියක් කියනවා. තවත් යෞවනියක් මෙහෙම කියනවා. “වැඩිහිටියෝ ගොඩක් වෙලාවට කැමති කෝපි කාලේ සිංදුවලට. අලුත් පරම්පරාව අහන සිංදුත් ලස්සනයි කියලා එයාලා තේරුම්ගන්නවා නම් මෙච්චර ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ.”
ඒ අද්දැකීම්වලිනුත් පැහැදිලි වෙන්නේ දෙමාපියන් අහන්න කැමති සිංදුයි යෞවනයන් අහන්න කැමති සිංදුයි අතරේ වෙනසක් තියෙන නිසා දෙගොල්ලෝ අතර පොඩි පොඩි මතගැටුම් ඇති වෙනවා කියලයි. බයිබලයේ තියෙන ප්‍රතිපත්ති තේරුම් අරන් ඉන්න එක ඒ වගේ මතගැටුම් වළක්වගන්න ලොකු උදව්වක්. මොකද අහන්න සුදුසු සිංදු මොනවාද, සුදුසු නැත්තේ මොනවාද කියලා එතකොට පහසුවෙන් තීරණය කරන්න පුළුවන්. දෙගොල්ලෝ අහන්න කැමති සිංදු වෙනස් වුණාට බයිබල් ප්‍රතිපත්ති කඩ වෙන්නේ නැත්නම් අනිත් අයගේ කැමැත්තට ගරු කරන්න ඉගෙනගන්න. ඔයා අහන සිංදු නිසා බයිබල් ප්‍රතිපත්ති කඩ වෙනවාද නැද්ද කියලා තේරුම්ගන්න මේ ප්‍රශ්න දෙක ගැන හිතන එක හරිම වැදගත්. (1) මං අහන සිංදුවල තියෙන්නේ මොන වගේ අදහස්ද? (2) මං කොච්චර වෙලාවක් සිංදු අහනවාද?
මං අහන සිංදුවල තියෙන්නේ මොන වගේ අදහස්ද?
හොඳ කෑමක් ගාණට කෑවොත් ඒක ඇඟට හොඳයි. හැබැයි නරක කෑමක් පොඩ්ඩක් කෑවත් ලෙඩ වෙනවා. සිංදුත් හරියට කෑම වගේ. හොඳ සිංදු අහද්දී ඒක මනසටත් හිතටත් සහනයක්. හැබැයි නරක සිංදු පොඩ්ඩක් ඇහුවත් ඒකෙන් මනසට ලොකු හානියක් වෙන්න පුළුවන්. අද තියෙන ගොඩක් සිංදු අහන්න හොඳ ඒවා නෙමෙයි. “හිත ඇදිලා යන හැම සිංදුවකම වගේ තියෙන්නේ නරක අදහස්” කියලා ස්ටීව් කියන යෞවනයා දුකෙන් කිව්වා.
සමහරවිට ඔයාට හිතෙන්න පුළුවන් සිංදුව ලස්සන නම් ඒකේ අදහස මොනවා වුණාම මොකද කියලා. බයිබලයේ කියන්නේ, “දිව කෑමවල රස තෝරන්නාක් මෙන් දෙසවන වචන විමසා බලන්නේය” කියලයි. (යෝබ් 12:11) ඒ නිසා සිංදුවක් ලස්සනයි කියලා ඔහේ අහන්නේ නැතුව ඒකේ වචනවල අදහස ගැන හිතන්න. මොකද සිංදුවේ අදහස නරක නම් ඒක අහද්දී ඔයාගේ මනසට යන්නෙත් නරක අදහස්. ඒක ඔයා හිතන පතන විදිහට බලපානවා.
අද තියෙන ගොඩක් සිංදුවලින් දුරාචාරය, ගහ මරාගන්න එක, කුඩු ගහන එක වැරදි නැහැ කියලා අඟවනවා. ඒ වගේ සිංදු ඇහුවට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියලා ඔයාට හිතෙනවාද? එහෙමනම් ඒකෙන් තේරෙන්නේ ඒ වගේ සිංදුවල තියෙන අදහස් දැනටමත් ඔයාගේ මනසට බලපෑමක් කරලා තියෙනවා කියලයි.
වහලෙක් වෙන්න එපා
රේඩියෝ, ඉන්ටර්නෙට්, TV නිසා අද සංගීතය කෝටි ගණන් ලාභ ලබන ව්‍යාපාරයක් වෙලා. ඔයා අහන්න ඕනේ, කැමති වෙන්න ඕනේ මොන වගේ සිංදුවලටද කියන එක හුඟක් වෙලාවට තීරණය කරන්නේ ඒවාට සම්බන්ධ අයයි. ඒ වගේම ඔයාගේ වයසේ අනිත් ළමයිනුත් එයාලා අහන සිංදු අහන්න ඔයාට ලොකු බලපෑමක් කරන්න පුළුවන්.
අහන්න ඕනේ මොන වගේ සිංදුද කියන එක තීරණය කරන්න ඔයා යාළුවන්ට හරි ජනමාධ්‍යයට හරි ඉඩ දුන්නොත් ඔයා හරියට කියන ඕනම දෙයක් කරන දාසයෙක් වගේ. (රෝම 6:16) හැබැයි බයිබලයේ කියන්නේ මේ සමාජයේ රැල්ලට අනුව හැඩගැහෙන්න එපා කියලයි. (රෝම 12:2) ඒ නිසා ඔයා ඔයාගේ “වටහාගැනීමේ හැකියාව” හොඳට පාවිච්චි කරලා හොඳ සිංදු මොනවාද නරක සිංදු මොනවාද කියලා පැහැදිලිව අඳුනගන්න ඕනේ. (හෙබ්‍රෙව් 5:14) ඒක කරන්න ඔයාට මේ යෝජනා උදව් වෙයි.
කවරේ බලන්න. හුඟක් වෙලාවට CD කවරේ තියෙන පින්තූරේ දිහා බලලා ඇතුළේ තියෙන්නේ මොන වගේ සිංදුද කියලා හිතාගන්න පුළුවන්. ලේ පෙරාගත්ත, අද්භූත, ලිංගික හැඟීම් අවුස්සන විදිහේ පින්තූර CD කවරේ තියෙනවා නම් ඒකේ තියෙන සිංදුත් ඒ පැත්තට බර ඒවා වෙන්න ඕනේ.
සිංදුවේ වචන බලන්න. සිංදුවේ තියෙන වචන මොන වගේද? ඒවා අහන එක, කියන එක හොඳයි කියලා ඔයාට හිතෙනවාද? ඒකේ තියෙන අදහස් බයිබලයේ තියෙන ප්‍රතිපත්තිවලට එකඟයිද?—එෆීස 5:3-5.
ඔයාට බලපාන විදිහ ගැන හිතන්න. ෆිලිප් කියන යෞවනයා මෙහෙම කියනවා. “මං අහපු සමහර සිංදු නිසා මගේ ඔළුව අවුල් වුණා.” ඒ නිසා ඔයා සිංදුවක් අහන්න කලින් ඒක ඔයාට බලපාන්නේ කොහොමද කියලා හිතන්න. සිංදුව ඇහුවට පස්සේ ඔයාගේ හිතට නරක සිතුවිලි එනවාද? සිංදුවේ තියෙන පහත් වචන ඔයාත් දැන් කියන්න පටන් අරන්ද?—1 කොරින්ති 15:33.
අනිත් අය ගැන හිතන්න. ඔයා අහන සිංදු ගැන ඔයාගේ දෙමාපියන්ට හිතෙන්නේ මොකද්ද? ඒ ගැන එයාලගෙනුත් අහලා බලන්න. ඔයා අහන සමහර සිංදු නිසා සභාවේ ඉන්න අයට ඔයා ගැන කොහොම හැඟෙයිද කියලත් හිතන්න. අනිත් අයගේ හැඟීම් ගැන හිතලා ඔයා ආස දේවල් වුණත් ඔයාට කැප කරන්න පුළුවන් නම් ඒකෙන් පේන්නේ ඔයා හොඳට හිතලා බලලා වැඩ කරන කෙනෙක් කියලයි.—රෝම 15:1, 2.
ඒ යෝජනා හතර අදාළ කරගත්තොත් ඔයාට පුළුවන් යෙහෝවා දෙවි එක්ක ඔයාට තියෙන බැඳීමට හානියක් වෙන්නේ නැති විදිහේ සිංදු රස විඳින්න. හැබැයි ඔයා පරෙස්සම් වෙන්න ඕන තව දෙයක් තියෙනවා. ඒක තමයි සිංදු අහන්න ඔයා කොච්චර වෙලාවක් ගන්නවාද කියන එක.
සීමාව පැනලාද?
බයිබලයේ මෙහෙම කියනවා. “ඔබට මීපැණි ලැබුණේ නම් සුදුසු ප්‍රමාණයට වඩා නොකන්න. මන්ද ප්‍රමාණය ඉක්මවා කෑවොත් ඔබට එය වමාරන්න සිදු වෙයි.” (හිතෝපදේශ 25:16) මීපැණි කියන්නේ ඇඟට ගුණ දෙයක්. හැබැයි ඕනෑවට වඩා මීපැණි කෑවොත් ඒක ඇඟට එච්චර හොඳ නැහැ. ඒකෙන් තේරෙන්නේ කොච්චර හොඳ දෙයක් වුණත් ඕනෑවට වඩා ගත්තොත් ඒක හොඳ නැහැ කියලයි. සිංදුත් ඒ වගේ තමයි.
සමහර යෞවනයන් දවසෙන් වැඩි හරියක් කරන්නේ සිංදු අහන එක. ජෙසිකා මෙහෙම කියනවා. “මං හැම වෙලාවෙම සිංදු අහනවා. සිංදු අහන ගමන් තමයි මං බයිබලය කියවන්නෙත්. එහෙම කරද්දී තමයි කියවන දේවල් හොඳට මගේ හිතට යන්නේ කියලා මං අම්මලට කියනවා. ඒත් ඒගොල්ලෝ මාව විශ්වාස කරන්නේ නැහැ.” ඔයාටත් සිංදු අහන්න ගියාම සීමාවක් නැද්ද?
ඔයා සීමාව පැනලා සිංදු අහනවාද කියලා තේරුම්ගන්න මේ ප්‍රශ්න ගැන හිතලා බලන්න.
හැමදාම මං පැය කීයක් සිංදු අහනවාද? ․․․․․
හැම මාසෙකම මං සිංදුවලට සල්ලි කොච්චර වියදම් කරනවාද? ․․․․․
සිංදු අහන නිසා පවුලේ අය එක්ක කතාබහ කරන්නවත් මට වෙලාවක් නැද්ද? එහෙමනම් ඔයාට ඒ ගැන කරන්න පුළුවන් මොනවාද කියලා ලියන්න. ․․․․․
සිංදු අහන වෙලාව අඩු කරන්න
දවසේ වැඩිපුර වෙලාවක් ඔයා කරන්නේ සිංදු අහන එක නම් ඒක අඩු කරන්න පියවර ගන්න එක හොඳ දෙයක්. උදාහරණයකට ඔයා දවස තිස්සේ ඉන්නේ හෙඩ්ෆෝන් එක ගහගෙන වෙන්න ඇති. නැත්නම් කොහේ හරි ගිහින් ගෙදර ආපු ගමන් ඔයා සිංදු දාගන්නවා ඇති. ඒ වගේ පුරුදු අත්හරින්න.
සැහැල්ලුවෙන් ඉන්න සිංදු අහන්නම ඕනේ කියලා හිතන්න එපා. සද්ද බද්ද නැතුව නිස්කලංකව ඉන්න එකත් මනසට ලොකු සැහැල්ලුවක්. පාඩම් වැඩවලටත් ඒක උදව්වක්. ස්ටීව් ඒ ගැන මෙහෙම කියනවා. “සිංදු අහන්නේ නැතුව පාඩම් වැඩ කරද්දී හොඳට අවධානය දෙන්න පුළුවන්.” ඒක ඇත්තද කියලා බලන්න ඔයාත් සිංදු දාන්නේ නැතුව පාඩම් කරලා බලන්න.
බයිබලය කියවන්න, ඒ ගැන කල්පනා කරන්න, බයිබලය ගැන තොරතුරු තියෙන සඟරා කියවන්න කාලේ වෙන් කරන එකත් හරිම වැදගත්. ඒවා ඔයාට හොඳට කරන්න පුළුවන් සද්ද බද්ද නැති නිස්කලංක වෙලාවකයි. සිංදු අහන ගමන් ඒවා කරද්දී ඔයාට ප්‍රයෝජන ගන්න අමාරුයි. යේසුස් පොළොවේ ඉන්න කොට දෙවිට යාච්ඤා කරන්න, වැදගත් දේවල් ගැන කල්පනා කරන්න නිස්කලංක තැන්වලට ගියා.—මාක් 1:35.
හොඳ දේ තෝරගන්න
මාලීන් කියන යෞවනිය කියන මේ දේ බලන්න. “මං ළඟ තියෙන සමහරක් සිංදු හොඳ ඒවා නෙමෙයි කියලා මං දන්නවා. හැබැයි ඒ සිංදුවලට මං හරි ආසයි. ඒ නිසා මට ඒවා අයින් කරන්න හිතෙන්නේ නැහැ.” එහෙම හිතලා නරක සිංදු අහන එකෙන් හානියක් වෙන්නේ එයාටමයි. එයාගේ හිතට කොච්චර නරක සිතුවිලි ඇතුල් වෙනවා ඇද්ද කියලා ටිකක් හිතන්න. ඒ වගේ දෙයක් ඔයාට වෙන්න ඉඩ තියන්න එපා. සිංදු අහන්න ඉස්සෙල්ලා මේ පරිච්ඡේදෙන් ඉගෙනගත්ත බයිබලයේ තියෙන ප්‍රතිපත්ති ගැන හිතන්න. හොඳ, නරක අතර වෙනස අඳුනගන්න උදව් කරන්න කියලා යෙහෝවා දෙවිට යාච්ඤා කරන්න. නරක සිංදු අහන්නේ නැති අයව ඔයාගේ යාළුවන් කරගන්න.
සංගීතය දෙවිගෙන් ලැබිලා තියෙන තෑග්ගක්. ඒකෙන් ලොකු සතුටක් ලබන්න පුළුවන්. ප්‍රශ්න ටිකකට අමතක කරලා සැහැල්ලුවෙන් ඉන්න සංගීතය උදව් වෙනවා. තනිකම පාළුව මකන්නත් ඒකට පුළුවන්. හැබැයි සිංදු ඇහුවට අපේ ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. ඒ වගේම යාළුවන්ගේ අඩුව සිංදුවලින් පුරවන්න බැහැ. ඒ නිසා සංගීතය ඔයාගේ ජීවිතේ වැදගත්ම දේ කරගන්න එපා. සංගීතය රස විඳින්න ඒත් ඕනෑවට වඩා එපා.
ඉඳලා හිටලා විනෝද වෙන එක හොඳ දෙයක්. හැබැයි විනෝද වෙන්න කරන දේවල් ගැන පරෙස්සම් වෙන්න ඕනේ. ඒ ඇයි?
බයිබල් උපදෙස
“දිව කෑමවල රස තෝරන්නාක් මෙන් දෙසවන වචන විමසා බලන්නේය.”—යෝබ් 12:11.
යෝජනාවක්
ඔයා සමහරක් සිංදුවලට, ගෲප්ස්වලට ආස ඇයි කියලා දෙමාපියන් තේරුම්ගන්නවට ඔයා කැමති නම් එයාලා කැමති සිංදු රස විඳින්න ඔයාත් උත්සාහ කරන්න.
මේක දැනගෙන හිටියාද?
ඔයා අහන්නේ මොන වගේ සිංදුද කියලා දෙමාපියන් දැනගන්නවට ඔයා කැමති නැත්නම් ඒකෙන් තේරෙන්නේ ඔයා අහන සිංදු එච්චර හොඳ ඒවා නෙමෙයි කියලයි.
ඔයාට වැඩක්!
සිංදු තෝරලා බේරලා අහන්න මං මෙහෙම කරනවා ․․․․․
නරක සිංදු අහන්න කියලා යාළුවෝ මට බල කළොත් මං මෙහෙම කියනවා ․․․․․
මේ කාරණා ගැන මං දෙමාපියන්ගෙන් අහලා දැනගන්න කැමති දේ ․․․․․
ඔයා හිතන්නේ මොකද්ද?
● හොඳ සිංදු විතරක් අහන එක වැදගත් ඇයි?
● සිංදුවක් හොඳයිද නරකයිද කියලා තීරණය කරන්න පුළුවන් කොහොමද?
● එකම විදිහේ සිංදු විතරක් අහන්නේ නැතුව වෙනස් විදිහේ සිංදුවලටත් ආසාවක් ඇති කරගන්න ඔයාට පුළුවන් කොහොමද?
[259වන පිටුවේ වාක්‍ය කණ්ඩය]
‘‘සිංදුවක් අහගෙන ඉන්න කොට මේ සිංදුව එච්චර හොඳ එකක් නෙමෙයි කියලා මට තේරුණොත් මං ඉක්මනින් ඒක නතර කරනවා. එහෙම කළේ නැත්නම් ඒක ඇහුවට ප්‍රශ්නයක් නැහැ කියලා මගේ හිත මාව රවට්ටන්න පුළුවන්.’’—කැම්රන්
[258වන පිටුවේ කොටුව⁄පින්තූර]
වෙනසක් කරලා බලන්න
එකම විදිහේ කෑම හැමදාම කෑවොත් ඒකෙන් එච්චර තෘප්තියක් නැහැ. ඒත් අපි වෙනස් විදිහේ කෑම කාලා ඒවාවල රස බලද්දී අපිට ලොකු තෘප්තියක් දැනෙනවා. සංගීතයත් ඒ වගේ තමයි. එකම විදිහේ සිංදු විතරක් අහන්නේ නැතුව වෙනස් වෙනස් සිංදු අහන්න හුරු වෙන එකෙන් ලොකු තෘප්තියක් ලබන්න පුළුවන්.
ඒක කරන්න පුළුවන් එක විදිහක් තමයි මොකක් හරි සංගීත භාණ්ඩයක් ගහන්න පුරුදු වෙන එක. ඒක ටිකක් අමාරු වැඩක් වුණාට ඒකෙන් ඔයාට ලොකු සතුටක් දැනෙයි. ඒ වගේම ජනමාධ්‍යයෙන් ප්‍රචාරය කරන එකම විදිහේ සිංදුවලට විතරක් හුරු වෙන්නේ නැතුව වෙනස් විදිහේ සංගීත රටා රස විඳින්නත් ඒකෙන් ඔයා ඉගෙනගනියි. හැබැයි ඒ වගේ දෙයක් කරන්න ‘මං කාලේ හොයාගන්නේ කොහොමද’ කියලා ඔයාට හිතෙයි. ගේම්ස් ගහන්න, TV බලන්න ඔයා පාවිච්චි කරන වෙලාව පොඩ්ඩක් අඩු කළොත් ඔයාට වෙලාව හොයාගන්න පුළුවන් වෙයි. මේ යෞවනයන් කියන දේවල් බලන්න.
“සංගීත භාණ්ඩයක් ගහද්දී මාර සතුටක් දැනෙනවා. ඒක අපේ හැඟීම් කියන්න පුළුවන් එක විදිහක්. අලුත් සිංදුවක් ගහන්න ඉගෙනගද්දී වෙනස් වෙනස් මියුසික් ස්ටයිල්ස් රස විඳින්න මං පුරුදු වුණා.”—බ්‍රයන්, 18, ගිටාර්, ඩ්‍රම්ස්, පියානෝ ගහන්න පුළුවන්.
“සංගීත භාණ්ඩයක් හොඳට ගහන්න නම් ගොඩක් ප්‍රැක්ටිස් කරන්න ඕනේ. ඒක ලේසි වැඩක් නෙමෙයි. හැබැයි හොඳට ප්‍රැක්ටිස් කරලා සිංදුවක් ලස්සනට ගහද්දී දැනෙන සතුට කියන්න වචන නැහැ.”—ජේඩ්, 13, වියෝලේ ගහන්න පුළුවන්.
“මගේ මූඩ් එක එච්චර හරි නැති වෙලාවලදී මං ගිටාර් එක ගහනවා. හිතටයි මනසටයි සහනයක් දෙන මියුසික් ගහද්දී මගේ මූඩ් එක ආයෙත් හරි යනවා.”—වැනෙසා, 20, ගිටාර්, පියානෝ, ක්ලැරිනට් ගහන්න පුළුවන්.
“අනිත් අය ගිටාර් එක ගහන විදිහ දැක්කම මට නම් කවදාවත් එහෙම ගහන්න බැරි වෙයි කියලයි මට හිතුණේ. ඒත් මං අත්හරින්නේ නැතුව දිගටම ඉගෙනගත්තා. දැන් මං මොකක් හරි සිංදුවක් හොඳට ගැහුවම මට මාර සතුටක් දැනෙනවා. ඒ වගේම සංගීත භාණ්ඩයක් හොඳට ගහන අනිත් අයව අගය කරන්නත් මං පුරුදු වුණා.”—ජේකබ්, 20, ගිටාර් ගහන්න පුළුවන්.
[255වන පිටුවේ පින්තූරය]
සිංදු හරියට කෑම වගේ. හොඳ සිංදු හිතටත් මනසටත් සහනයක්. හැබැයි නරක සිංදු පොඩ්ඩක් ඇහුවත් මනස අවුල් වෙනවා