ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • yp1 21 පරි. 150-155 පි.
  • මම කාලය හොඳින් පාවිච්චි කරන්නේ කොහොමද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • මම කාලය හොඳින් පාවිච්චි කරන්නේ කොහොමද?
  • යොවුන් සිතේ ගැටලු—ඊට විසඳුම්, 1වන පොත
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • පළමුවන අභියෝගය: කාලසටහනක් සාදාගැනීම
  • දෙවන අභියෝගය: කාලසටහනට වැඩ කිරීම
  • තුන්වන අභියෝගය: පිරිසිදුව හා පිළිවෙළකට වැඩ කිරීම
  • මම කාලය හොඳින් පාවිච්චි කරන්නේ කොහොමද?
    2009 පිබිදෙව්!
  • සොදොම් සහ ගොමෝරා නගරවල විනාශය
    2008 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • බලවත් ක්‍රියා මගින් යේසුස් මිනිසුන්ට උපකාර කරයි
    2008 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • මගේ සටහන—පාසැල් ජීවිතේ
    යොවුන් සිතේ ගැටලු—ඊට විසඳුම්, 2වන පොත
තව තොරතුරු
යොවුන් සිතේ ගැටලු—ඊට විසඳුම්, 1වන පොත
yp1 21 පරි. 150-155 පි.

21වෙනි පරිච්ඡේදය

මම කාලය හොඳින් පාවිච්චි කරන්නේ කොහොමද?

ඔබගේ දවස පැය කීයකින් දික් වෙනවාටද ඔබ කැමති? ․․․․․

එම කාලය මොන වගේ දේවලටද ඔබ යොදාගන්නේ?

□ මිතුරු ඇසුරට

□ නිදාගන්න

□ පාඩම් කරන්න

□ වෙනත් ․․․․․

කාලය හරියට වේගයෙන් දුවන අශ්වයෙක් වගෙයි. ඔබට අශ්වයාව නිසි ලෙස පාලනය කරගන්න බැරි නම් ඔබට සිදු වෙන්නේ හානියක්. කාලයත් ඒ වගෙයි. ඔබ කාලය හරි විදිහට පාවිච්චි කළොත් ඔබට බොහෝ ප්‍රයෝජන ලැබෙයි. සමහරවිට මානසික පීඩනය මඟහරවා ගන්න, ඔබේ ලකුණු මට්ටම වැඩි කරගන්න සහ දෙමාපියන්ගේ විශ්වාසය දිනාගන්න ඔබට පුළුවන් වෙයි. “අනේ කොච්චර හොඳද එහෙමනම්! ඒත් කියන්න ලේසියි. කරන්න තමයි අමාරු” කියා ඔබ කියයි. එසේනම් කාලය හොඳින් පාවිච්චි කිරීමේදී මතු වන අභියෝග ජය ගන්නේ කොහොමද කියා දැන් අපි බලමු.

පළමුවන අභියෝගය: කාලසටහනක් සාදාගැනීම

ඔබට ඇති විය හැකි බාධා. කාලසටහනක් ගැන හිතන කොටත් මගේ ඔළුව රිදෙනවා කියා ඔබ කියයි. සමහරවිට ඔබ ආස ඔබ කැමති වෙලාවට, ඔබ කැමති විදිහට වැඩ කරන්නයි.

ඔබ එය කළ යුත්තේ ඇයි? බයිබලයේ ලේඛකයෙක් වූ සලමොන් රජ මෙහෙම ලිව්වා. “උත්සාහවන්තයාගේ සැලසුම් සාර්ථක වෙයි.” (හිතෝපදේශ 21:5) සලමොන් රජ, ස්වාමිපුරුෂයෙක් පියෙක් සහ රජෙක් ලෙස දහසකුත් වගකීම් ඉසිලුවා. ඔහුගේ වගකීම් දවසින් දවස වැඩි වුණා මිස අඩු වුණේ නැහැ. ඔබටත් දහසකුත් වැඩ ඇති කරන්න. අනාගතයේදී අනිවාර්යයෙන්ම මීටත් වඩා බොහෝ දේවල් තියෙයි ඔබට කරන්න. ඒ නිසා දැන් සිටම කාලය හොඳින් සැලසුම් කරන්න පුරුදු වුණොත් එය ඔබට ප්‍රයෝජනවත් වෙයි.

ඔබේම වයසේ සිටින අය පවසන දේ. “මාස හයකට කලින් මම කාලසටහනකට වැඩ කරන්න පටන්ගත්තා. මට දේවල් පිළිවෙළට කරන්න ඒක ලොකු උපකාරයක් වුණා.”—ජෝයි.

“කරන්න තියෙන වැඩ ලියාගැනීමෙන් කාලසටහනට අනුව දේවල් කරන්න මට පුළුවන් වෙලා තියෙනවා. මට කරන්න හුඟක් වැඩ තියෙන කොට මමයි අම්මයි ඒ වැඩ ටික කොළයක ලියාගෙන ඒවා කරන්න පුළුවන් කොහොමද කියලා බලනවා.”—මැලරි.

මෙය අත්හදා බලන්න. උදාහරණයකට ඔබේ පවුලේ අය වාහනයකින් විනෝද ගමනක් යනවා කියා සිතන්න. එක් එක් කෙනා තම තමන්ගේ ගමන් මලු කිසිම පිළිවෙළක් නැතුව වාහනයට දැම්මොත් මොනවාද වෙන්නේ? ඔක්කොම ගමන් මලු දාගන්න ඉඩ මදි වෙයි. නමුත් ඔබ ඒ සියල්ල පිටතට ගෙන ලොකු ගමන් මලු මුලින් දමා පසුව කුඩා ඒවා දැම්මොත් වාහනයේ ඉඩ ප්‍රමාණවත් වෙයි.

ඒ හා සමානව ඔබ වැදගත් නැති දේවල් මුලින් කළොත් වැදගත් දේවලට කාලය මදි වෙයි. නමුත් ඔබේ ජීවිතයේ වඩා වැදගත් දේවල් මුලින් කර වැදගත්කමින් අඩු දේවල් පසුව කරනවා නම් ඔබට තිබෙන කාලය ප්‍රමාණවත් වෙයි.—ෆිලිප්පි 1:10.

ඔබ කළ යුතු වැදගත්කමින් වැඩි දේවල් මොනවාද?

․․․․․

දැන් එම ලැයිස්තුවේ වඩා වැදගත් දේවල් මොනවාද කියා පිළිවෙළට අංක යොදන්න. ඔබ වැදගත්කමින් වැඩි දේවල් මුලින් කළ විට අනිකුත් දේවල් සඳහා කොතරම් කාලයක් ඉතුරු වෙනවාද කියා ඔබට තේරුම්ගන්න පුළුවන් වෙයි.

ඔබට කළ හැකි දේ. සාක්කුවේ දැමිය හැකි කුඩා දිනපොතක ඔබ මුලින් කළ යුතු දේවල් ලියන්න. ඒ සඳහා පහත දැක්වෙන දේවල්ද යොදාගත හැකියි.

□ ජංගම දුරකථනය

□ සටහන් පොතක්

□ පරිගණකය

□ දිනදර්ශනය

දෙවන අභියෝගය: කාලසටහනට වැඩ කිරීම

ඔබට ඇති විය හැකි බාධා. පාසැල ඇරී ගෙදර පැමිණි පසු විවේකීව විනාඩි කිහිපයකට රූපවාහිනිය නරඹන්න ඔබ කැමති ඇති. නැත්නම් ඔබ විභාගයට පාඩම් කිරීමට සිතාගෙන සිටින විට යාළුවෙකුගෙන් චිත්‍රපටයක් නැරඹීමට ආරාධනාවක් ලැබෙනවා විය හැකියි. එවිට ඔබ පාඩම් කිරීම කල් දමා චිත්‍රපටය නැරඹීමට යයි. ‘අන්තිම මොහොතේ පාඩම් කළාම මට හොඳට මතක හිටිනවා. ඒ නිසා මම පස්සේ පාඩම් කරනවා’ කියා ඔබ සිතයි.

ඔබ එය කළ යුත්තේ ඇයි? ඔබේ මනස නිරවුල්ව තිබෙන විට පාඩම් කිරීමෙන් හොඳ ප්‍රතිඵල නෙළාගැනීමට හැකි වෙයි. මනස නිරවුල් වෙන්නේ ඔබ කාලසටහනකට අනුව වැඩ කරනවා නම් පමණයි. අන්තිම මොහොතේ රෑ වන තුරු විභාගයට පාඩම් කිරීම නිසා පසුවදා ඔබ නැඟිටින්න ප්‍රමාද වෙයි. ඒ නිසා ඔබේ පීඩනය වැඩි වන අතර විභාගයට යෑමටද ප්‍රමාද විය හැකියි.—හිතෝපදේශ 6:10, 11.

ඔබේම වයසේ සිටින අය පවසන දේ. “මම හරි ආසයි TV බලන්න, ගිටාර් එක වාදනය කරන්න, යාළුවොත් එක්ක ටිකක් කාලය ගත කරන්න. ඒ වගේ දේවල් වැරදි නැහැ. ඒත් සමහර වෙලාවට ඒ දේවල් නිසා වඩා වැදගත් දේවල් අතපසු වෙන්න පුළුවන්.”—ජූලියන්.

මෙය අත්හදා බලන්න. ඔබ කළ යුතු වැඩ විතරක් නොවෙයි ඔබ ආශාවෙන් කරන දේවල්ද කාලසටහනට ඇතුළත් කරන්න. “මම ආස කරන දේවල් කාලසටහනේ තියෙන නිසා මුලින් කරන්න තියෙන දේවල් ඉක්මනින් කරන්න පෙලඹෙනවා” කියා ජූලියන් පවසනවා. අමතර යෝජනාවක්: ඉලක්කයක් තබාගන්න. පසුව ඔබ ඉලක්ක කරගත් දේ ඉටු කරගැනීමට ඒ අතරතුර ගත හැකි පියවර ගැන සිතන්න.

ඔබට කළ හැකි දේ. ඊළඟ මාස හය ඇතුළත ඔබට අත් කරගත හැකි ඉලක්කයක් හෝ දෙකක් ලියන්න.

․․․․․

ඊළඟ වසර දෙක ඇතුළත ඔබට අත් කරගත හැකි ඉලක්කයක් ලියන්න. එය අත් කරගැනීමට ඔබ දැන් සිටම ගත යුතු පියවර කුමක්ද?a

․․․․․

තුන්වන අභියෝගය: පිරිසිදුව හා පිළිවෙළකට වැඩ කිරීම

ඔබට ඇති වන බාධා. සමහරවිට ඔබට සිතෙයි කාමරය අස්පස් කරන්න නිකම් කාලය නාස්ති කරන්නේ මොකටද කියලා. නමුත් පිරිසිදුව හා පිළිවෙළකට වැඩ කිරීමෙන් කොතරම් කාලයක් ඉතුරු වෙනවාද කියා ඔබ නොදන්නවා ඇති.

ඔබ එය කළ යුත්තේ ඇයි? සෑම දෙයක්ම පිරිසිදුව හා පිළිවෙළකට තිබෙනවා නම් ඔබට යමක් සෙවීමට සිදු වන විට එය පහසුවෙන් සොයාගැනීමට හැකි වෙයි. කාලසටහනකට අනුව වැඩ කිරීමෙන් කාලය ඉතුරු වන අතර ඔබේ සිතටත් සහනයක් දැනෙයි.—1 කොරින්ති 14:40.

ඔබේම වයසේ සිටින අය පවසන දේ. “සමහර දවස්වලට මට ඇඳුම් පිළිවෙළට තියන්න බැරි වෙනවා. එතකොට ඇඳුමක් හොයාගන්න වුණාම කාමරය අනික් පැත්ත පෙරළන්න වෙනවා.”—මැන්ඩි.

“මගේ පර්ස් එක සතියක් විතර නැති වෙලයි තිබුණේ. මම හොඳටම භය වුණා. ඒක මට හම්බ වුණේ මගේ කාමරය අස් කරන කොටයි.”—ෆ්‍රෑන්ක්.

මෙය අත්හදා බලන්න. ඔබේ බඩු හැකි ඉක්මනින් නිසි තැන්වල තියන්න. වැඩ ගොඩගැහෙන තුරු නොසිට එදිනෙදා වැඩ පිළිවෙළකට කරන්න.

ඔබට කළ හැකි දේ. හැම දෙයක්ම පිළිවෙළකට කරන්න පුරුදු වෙන්න. එය ජීවිතයට පහසුවක් වෙයි.

ඔබටත් ඔබේ මිතුරන්ටත් ඔබේ දෙමාපියන්ටත් එක සමානව ඇති එකම දේ, කාලයයි. කාලය නාස්ති කළොත් කවදා හෝ ඔබට දුක් වෙන්න වෙයි. මන්ද කාලය රන් හා සමානයි. ඒ නිසා හොඳින් එය පාවිච්චි කරන්න. තේරීම ඔබ අතෙයි.

ඊළඟ පරිච්ඡේදය

ඔබ ජීවත් වෙන්නේ විදේශ රටක නුහුරු පරිසරයකද? එවැනි තත්වයකට සාර්ථකව මුහුණ දෙන්නේ කොහොමද කියා දැනගන්න.

[පාදසටහන]

a වැඩි විස්තර සඳහා මේ පොතේ 39වන පරිච්ඡේදය බලන්න.

බයිබල් උපදෙස

‘වඩා වැදගත් දේවල් මොනවාද කියා පැහැදිලිව අවබෝධ කරගන්න.’—ෆිලිප්පි 1:10.

යෝජනාවක්

මෙම පරිච්ඡේදයේ ඇති යෝජනා සියල්ල එකවිටම අදාළ කිරීමට උත්සාහ කරන්න එපා. ඊළඟ මාසයේදී එක යෝජනාවක්ද එය හොඳින් කළ පසු තව යෝජනාවක්ද අත්හදා බලන්න.

ඔබ මේ ගැන දැන සිටියාද . . . ?

දවසකට වැඩ රාශියක් කළොත් ඔබට පීඩනයක් දැනෙයි. ඒ නිසා වැදගත් දේවල් මොනවාද කියා තීරණය කරන්න. එවිට ඔබට හැකියි මුලින් කළ යුතු දේ හා පසුව කළ හැකි දේ තේරුම්ගන්න.

ගත හැකි පියවර

මේ දෙයින් මට කාලය ඉතුරු කරගන්න පුළුවන් ․․․․․

ඒ ඉතුරු කරගත් කාලය මේ දේට යොදවන්න පුළුවන් ․․․․․

මේ විෂය ගැන දෙමාපියන්ගෙන් මම අසා දැනගන්න කැමති දේ ․․․․․

ඔබ සිතන්නේ කුමක්ද?

● කාලසටහනකට අනුව වැඩ කිරීම ඔබ වැඩිහිටියෙකු වූ දාට ප්‍රයෝජනවත් වෙන්නේ කොහොමද?

● කාලය පාවිච්චි කරන ආකාරය ගැන ඔබේ දෙමාපියන්ගේ ආදර්ශයෙන් ඔබට කුමක් ඉගෙනගත හැකිද?

● ඔබ දැනටමත් කාලසටහනකට අනුව වැඩ කරනවා නම් ඔබේ කාලයෙන් තවත් ප්‍රයෝජන ගැනීම සඳහා එහි කිනම් වෙනස්කම් කළ හැකිද?

[154වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

‘‘මට එක දවසක් ඇහුණා මං ගැන කෙනෙක් මෙහෙම කියලා හිනා වෙනවා. ‘එයාව හතරට ගෙන්න ගන්න ඕනේ නම් තුනටවත් එන්න කියන්න වෙයි.’ එදා තමයි මට තේරුණේ මම වෙලාවට වැඩ කරන්න ඉගෙනගන්න ඕනේ කියලා.’’—රිකි

[155වන පිටුවේ කොටුව]

මගේ කාලය ගෙවෙන්නේ කොහොමද?

අවුරුදු 8ත් 18ත් අතර දරුවන් සතියක් ඇතුළත කාලය ගත කළ ආකාරය සාමාන්‍යයක් ලෙස ගත් විට පැය:

17

දෙමාපියන් සමඟ

30

පාසැලේදී

44

රූපවාහිනියට, වීඩියෝ ක්‍රීඩාවලට, කෙටි පණිවිඩවලට හා සංගීතයට

මේ දේවල් සඳහා ඔබ සතියකට ගත කරන පැය ප්‍රමාණය ලියා එකතු කරන්න

රූපවාහිනිය සඳහා ․․․․․

වීඩියෝ ක්‍රීඩා සඳහා ․․․․․

පරිගණකය සඳහා ․․․․․

සංගීතය සඳහා ․․․․․

මුළු එකතුව ․․․․․

වඩා වැදගත් දේවල් සඳහා ඉහත දේවලින් ලබාගත හැකි කාලය ․․․․․

[153වන පිටුවේ පින්තූරය]

කාලය හරියට වේගයෙන් දුවන අශ්වයෙක් වගෙයි. එය පාලනය කිරීමට ඔබ ඉගෙනගත යුතුයි

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න