ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • දෙවිගේ සෙනඟ වෙනුවෙන් නැඟී සිටි රැජිනක්
    ඔවුන්ගේ විශ්වාසය අපිට ආදර්ශයක්
    • එස්තර්

      පහළොස්වෙනි පරිච්ඡේදය

      දෙවිගේ සෙනඟ වෙනුවෙන් නැඟී සිටි රැජිනක්

      1-3. (අ) තම ස්වාමිපුරුෂයාව හමු වීමට යෑමේදී එස්තර්ට එතරම් බියක් දැනුණේ ඇයි? (ආ) අපි සලකා බලන ප්‍රශ්න මොනවාද?

      සන්සුන්ව සිටීමට වෙර දරන එස්තර් දැන් පියනඟන්නේ ෂූෂන් මාලිගාවේ මළුව දෙසටයි. එය පිහිටා තිබෙන්නේ සාග්‍රොස් කඳුවැටියට ආසන්නව තිබෙන විශාල උස් බිමක. කෝඇස්පීස් (කර්කේ) ගංඟාව ඒ අසලින් ගලා ගිය නිසා එහි පිහිටීම තවත් අලංකාරවත් වුණා. මාලිගාවේ ඔප දමන ලද බිත්තිවල නේක වර්ණවලින් පැහැගැන්වූ දුනුවායන්ගේ, තටු සහිත සිංහයන්ගේ සහ ගවයන්ගේ රූප කැටයම් කර තිබුණා. එහි තිබුණු විශාල කුලුනු හා ප්‍රතිමා නිසා එහි පෙනුම තවත් ඔප්නැංවී තිබුණා. මේ සෑම දෙයකින්ම කියාපෑවේ එහි පාලකයාගේ තේජවත් බවයි. ඇත්තටම එස්තර් හමු වෙන්න යන්නේ ඇගේ ස්වාමිපුරුෂයා වන අහෂ්වේරොෂ් නම් “තේජවත් පාලකයාවයි.”

      2 සාමාන්‍යයෙන් යුදෙව් තරුණියක් විවාහ වීමට බලාපොරොත්තු වන පුරුෂයෙකුට වඩා ඔහු මොන තරම් වෙනස්ද!a එස්තර් නමස්කාර කළ යෙහෝවා දෙවි ගැනවත් දෙවි පනවා තිබුණු නීති ගැනවත් ඔහු දැන සිටියේ නැහැ. ඒ නිසා තම භාර්යාවට සවන් දෙන්න කියා යෙහෝවා දෙවි පැවසූ විට ඊට කීකරු වූ ආබ්‍රහම් වැනි පුරුෂයන්ගේ ආදර්ශ අනුගමනය කිරීමට ඔහු උත්සාහ කළේත් නැහැ. (උත්. 21:12) ඔහු දැනුවත් වී සිටියේ පර්සියාවේ නීතිරීති ගැන පමණයි. රජුගේ ආරාධනයක් නොමැතිව රජු ඉදිරියේ පෙනී සිටින ඕනෑම කෙනෙකුට මරණ දණ්ඩනය හිමි වන බව පර්සියානු නීතියේ සඳහන් වුණා. එස්තර් එය දැන දැනත් රජුගේ ආරාධනයක් නොමැතිව රජු ඉදිරියට යනවා. මාලිගාවේ ඇතුල් මළුවට යද්දී, සිංහාසනයේ සිටින රජු ඇයව දකිනවා. කෙමෙන් කෙමෙන් ඉදිරියට පියනඟද්දී මේ ගෙවෙන්නේ තම ජීවිතයේ අවසාන මොහොත කියා ඇයට සිතෙන්න ඇති.—එස්තර් 4:11; 5:1 කියවන්න.

      3 එස්තර් ජීවිතය පරදුවට තබා රජු ඉදිරියට යන්නේ ඇයි? දෙවි කෙරෙහි ඇයට තිබුණු විශ්වාසය ගැන දැනගැනීම අපට ප්‍රයෝජනවත් වෙන්නේ කොහොමද? පිළිතුරු දැනගැනීමට කලින් එස්තර් පර්සියාවේ අගබිසව බවට පත් වුණේ කොහොමද කියා අපි බලමු.

      එස්තර්ගේ වගතුග

      4. එස්තර්ට මොර්දෙකයි යටතේ හැදී වැඩීමට සිදු වුණේ ඇයි?

      4 එස්තර් කුඩා කාලයේදීම ඇගේ දෙමාපියන් මිය ගොස් තිබුණා. ඔවුන් “හදස්සා” යන හෙබ්‍රෙව් නම ඇයට දමා තිබුණා. හදස්සා කියන්නේ සුදු පාට මල් පිපෙන ලස්සන පඳුරකට. ඇගේ දෙමාපියන්ගේ ඇවෑමෙන් පසුව එස්තර් හැදී වැඩුණේ ඇගේ ඥාතියෙක් වන මොර්දෙකයි යටතෙයි. වයසින් මුහුකුරා ගිය ඔහු තමන්ගේම දියණියක් ලෙස ඇයව හදා වඩා ගත්තා.—එස්ත. 2:5-7, 15.

      එස්තර් මොර්දෙකයිගේ නිවසේ ඔහුට සංග්‍රහයක් පිළිගන්වමින්

      මොර්දෙකයිට එස්තර් ගැන ලොකු ආඩම්බරයක් දැනුණා

      5, 6. (අ) මොර්දෙකයි එස්තර්ට ඉගැන්නුවේ මොනවාද? (ආ) ඔවුන්ගේ ජීවිත ගෙවුණේ කොහොමද?

      5 යුදෙව් ජාතිකයන් වන මොර්දෙකයි සහ එස්තර් පර්සියානු අගනුවරේ ජීවත් වෙන්නේ විදේශිකයන් ලෙසයි. එහිදී ඔවුන්ගේ ආගම සහ යුදෙව් නීතිය පිළිපැදීමට උත්සාහ කරද්දී අන් අයගේ නින්දාවටත් ලක් වෙන්න ඇති. කොහොමවුණත් මොර්දෙකයි, එස්තර්ට යෙහෝවා දෙවි ගැන බොහෝ කාරණා උගන්වනවා. දයාවන්ත දෙවි කෙනෙක් වූ යෙහෝවා අතීතයේදී ඔහුගේ සෙනඟව ගලවාගත් ආකාරයත් ඉදිරියටත් ඔහුගේ සෙනඟව ගලවාගන්නා ආකාරයත් ඇයට කියා දෙනවා. (ලෙවී. 26:44, 45) මේ නිසා යෙහෝවා දෙවි සමඟ තිබුණු බැඳීමත් මොර්දෙකයි සහ එස්තර් අතර තිබුණු බැඳීමත් වැඩි වෙන්න ඇති.

      6 මොර්දෙකයි නිතරම ෂූෂන් මාලිගාවේ දොරටුව අසල රජුගේ වෙනත් සේවකයන් සමඟ හිඳගෙන සිටියා කියා වාර්තා වෙනවා. ඒ අනුව ඔහු ඒ මාලිගාවේ යම් නිලයක් දරන්න ඇති කියා සිතන්න පුළුවන්. (එස්ත. 2:19, 21; 3:3) එස්තර් යෞවන කාලයේදී කළේ මොනවාද කියා බයිබලයේ සඳහන් වෙන්නේ නැහැ. සමහරවිට ඇය ගෙදරදොරේ වැඩ කටයුතුවල නියැලෙමින් මොර්දෙකයිට අවශ්‍ය උපකාරය ලබා දෙන්න ඇති. ඔවුන් ජීවත් වෙන්න ඇත්තේ ෂූෂන් මාලිගාවට එපිටින් පිහිටි දුගී දුප්පත් අය ජීවත් වූ ප්‍රදේශයකයි. රන්, රිදී හා වෙනත් භාණ්ඩවලින් පිරුණු බොහෝ කඩ සාප්පු ෂූෂන් නගරයේ තිබුණු නිසා ඇය ආසාවෙන් නගරයට ගියා කියා සිතන්න පුළුවන්. එහිදී ඇය දුටු මිල අධික ඒ රන් රිදී යම් දිනකදී තමන්ට හිමි කරගන්න ලැබෙයි කියා ඇය හීනෙකින්වත් හිතන්න නැතුව ඇති.

      “ඉතා රූමත් තරුණියක්”

      7. වෂ්ටී බිසවට කිරුළ අහිමි වුණේ ඇයි? ඉන්පසු සිදු වුණේ කුමක්ද?

      7 දවසක් රජමාලිගාවේ සිදු වූ කලබැගෑනියක් ගැන මුළු නගරයේම වැසියන්ගේ කතාබහට ලක් වෙනවා. මාලිගාවේ පැවැත්වෙන විශාල භෝජන සංග්‍රහයක් සඳහා අහෂ්වේරොෂ් රජු ඔහුගේ නිලධාරීන්ටත් අධිපතීන්ටත් ආරාධනා කර තිබෙනවා. තමන්ගේ බිසව වූ වෂ්ටී ඉතා සුරූපී නිසා ඇගේ රූමත්කම අධිපතීන්ට පෙන්වීමේ අරමුණෙන් එම භෝජන සංග්‍රහයට පැමිණෙන්න කියා රජු ඇයටත් පණිවිඩයක් යවනවා. නමුත් රජමාලිගාවේ ස්ත්‍රීන් සමඟ සංග්‍රහයක් භුක්ති විඳිමින් සිටි වෂ්ටී බිසව රජුගේ ආරාධනාව පිළිගන්නේ නැහැ. එය රජුට මොන තරම් නින්දාවක්ද! බිසවගේ ක්‍රියාකලාපය ගැන කෝපයට පත් වෙන රජු නිලධාරීන්ගේ උපදෙස් මත ඇයව අගබිසවකමින් පහකරනවා. ඒ නිසා රජුගේ සේවකයන් අගබිසව ලෙස පත් කිරීම සඳහා සුදුසු කෙනෙකුව සොයාගැනීමේ අරමුණින් මුළු රාජධානිය පුරාම සිටින රූමත් කන්‍යාවන්ව සෙවීමට පටන්ගන්නවා. අගබිසව ලෙස කිරුළු පැළඳීමේ භාග්‍යය හිමි වෙන්නේ රජුගේ ප්‍රසාදය දිනාගන්නා කන්‍යාවටයි.—එස්ත. 1:1–2:4.

      8. (අ) එස්තර් වයසින් වැඩෙද්දී මොර්දෙකයි ඇය ගැන එතරම් සැලකිලිමත් වෙන්න ඇත්තේ ඇයි? (ආ) රූපශ්‍රීය ගැන බයිබලයේ සඳහන් සමබර අදහස කුමක්ද? (හිතෝපදේශ 31:30ද බලන්න.)

      8 මේ වන විට එස්තර් “ඉතා රූමත් තරුණියක්.” (එස්ත. 2:7) ඒ ගැන මොර්දෙකයිට ලොකු ආඩම්බරයක් වගේම ඇය ගැන ලොකු වගකීමේ හැඟීමක්ද දැනෙන්න ඇති. කොහොමවුණත් බයිබලයේ රූමත්කම සම්බන්ධයෙන් දී තිබෙන්නේ සමබර අදහසක්. රූමත්කම අගනා දෙයක් වෙන්නේ එවැනි කෙනෙකු ප්‍රඥාවන්තව හා යටහත්පහත්ව ක්‍රියා කරනවා නම් පමණයි. (හිතෝපදේශ 11:22 කියවන්න.) එවැනි යහපත් ගුණාංග වර්ධනය කරගත්තේ නැත්නම් රූමත් කෙනෙකු තුළ අහංකාරය, උඩඟුකම ඇතුළු නරක ගුණාංග ඇති වෙන්න පුළුවන්. එවැනි නරක ගුණාංග තිබෙන කෙනෙකුට මොන තරම් රූපශ්‍රීයක් තිබුණත් ඉන් පලක් තියෙයිද! එස්තර් සතු රූපශ්‍රීය ඇයට දායාදයක් වුණාද කියා අපි බලමු.

      9. (අ) එස්තර්ව දකින සේවකයන් කළේ කුමක්ද? මොර්දෙකයිගෙන් වෙන් වීම එස්තර්ට වේදනාකාරී වෙන්න ඇත්තේ ඇයි? (ආ) යෙහෝවා දෙවිට නමස්කාර නොකරන කෙනෙකු සමඟ විවාහ වීමට මොර්දෙකයි එස්තර්ට ඉඩහැරියේ ඇයි? (කොටුවද බලන්න.)

      9 රූමත් කන්‍යාවන්ව සොයාගෙන යන රජුගේ සේවකයන් එස්තර්ව දකිනවා. ඒ නිසා ඔවුන් ඇයවත් ගඟෙන් එගොඩ පිහිටි මාලිගාවට රැගෙන යනවා. (එස්ත. 2:8) පියෙකු හා දියණියක් මෙන් ස්නේහවන්ත බැඳීමක් තිබුණු මොර්දෙකයි හා එස්තර්ට මේ වෙන් වීම නම් දරාගන්න බැරි වෙන්න ඇති. තමාගේ දියණියක් හා සමාන එස්තර් යෙහෝවා දෙවිට නමස්කාර නොකරන කෙනෙකු සමඟ විවාහ වෙනවාට මොර්දෙකයි කොහෙත්ම කැමති නොවූ බවට සැකයක් නැහැ. ධන සම්භාරයක් හිමි රජෙකු වුණත් යෙහෝවා දෙවිට නමස්කාර නොකරන කෙනෙකුගෙන් ඇති පලක් නැහැ කියා මොර්දෙකයිට සිතෙන්න ඇති. නමුත් ඔහුට කළ හැකි කිසිවක් නැහැ.b මොර්දෙකයිගෙන් සමුගන්නා මොහොතේ ඔහු පවසන සෑම වචනයක්ම එස්තර් හොඳින් හිතට ගන්න ඇති. ෂූෂන් මාලිගාවට යන අතරතුරේදී ඇගේ මනසේ දහසකුත් ප්‍රශ්න මතු වෙන්නත් ඇති.

      ‘ඇය සියලුදෙනාගේ කරුණාව දිනාගත්තාය’

      10, 11. (අ) එස්තර්ගේ අලුත් ජීවන රටාව ඇයට මොන වගේ බලපෑමක් ඇති කිරීමට ඉඩ තිබුණද? (ආ) මොර්දෙකයි එස්තර් ගැන සැලකිලිමත් වුණේ කොහොමද?

      10 රජමාලිගාවට ඇතුළු වූ එස්තර් තමන් පැමිණ තිබෙන්නේ වෙනමම ලෝකයකටද කියා සිතන්න ඇති. පර්සියානු රාජධානියේ විවිධ ප්‍රදේශවලින් පැමිණි බොහෝ ‘තරුණියන්ගෙන්’ මාලිගාව පිරී තිබුණා. ඔවුන්ගේ සිරිත් විරිත් හා භාෂා වගේම ආකල්පද වෙනස් වෙන්න ඇති. මේ හැමදෙනාම සිටියේ හෙගයි නම් නිලධාරියා යටතෙයි. මේ තරුණියන්ට අවුරුද්දක කාලයක් පුරා සුවඳැති තෙල් සම්බාහනය ඇතුළු රූපලාවණ්‍ය සත්කාර ලබා දෙන්න සූදානම් කර තිබුණා. (එස්ත. 2:8, 12) එලෙස රජමාලිගාවේ සුඛෝපභෝගී ජීවිතයක් ගෙවීමටත් තමන්ගේ රුව වැඩි කරගැනීමටත් ලැබුණු මේ කදිම අවස්ථාව නිසා එකිනෙකා අතර කැපීපෙනෙන්න මේ තරුණියන් උත්සාහ කරන්න ඇති.

      11 එස්තර්ගේ සැප දුක් සොයා බලන්න මොර්දෙකයි තරම් උනන්දු වූ කෙනෙක් තවත් නැහැ. ඔහු එස්තර් ගැන තොරතුරු දැනගන්න ස්ත්‍රීන්ගේ නිවසේ මළුව ඉදිරිපිටින් දිනපතාම ගමන් කරනවා. (එස්ත. 2:11) ඔහුට ඇය ගැන දැනගන්න ලැබෙන්න ඇත්තේ ඔහු දන්නා හඳුනන සේවකයන් මාර්ගයෙන් වෙන්න ඇති. ඇය හොඳින් දේවල් කරගෙන යන බව දැනගනිද්දී ඔහුට ඒ ගැන කොතරම් ආඩම්බරයක් දැනෙන්න ඇද්ද!

      12, 13. (අ) එස්තර් මොන වගේ නමක් දිනාගෙන තිබුණාද? (ආ) එස්තර් යුදෙව් පෙළපතකින් පැමිණෙන කෙනෙකු බව හෙළි නොකිරීම ගැන මොර්දෙකයි සතුටු වෙන්න ඇත්තේ ඇයි?

      12 එස්තර් ගැන හෙගයිට පැහැදීමක් ඇති වුණු නිසා ඔහු ඇයට කරුණාවන්තව සලකනවා. ඔහු ඇගේ සහයට තරුණියන් හත්දෙනෙකුව ලබා දෙන්නෙත් හොඳම ස්ථානයක නවාතැන් දෙන්නෙත් ඒ නිසයි. “ඒ කාලය අතරතුර එස්තර් සියලුදෙනාගේ කරුණාව දිනාගත්තා.” (එස්ත. 2:9, 15) ඇයට එවැනි කරුණාවක් ලැබුණේ ඇගේ රූපය නිසාම නෙවෙයි.

      අනිත් තරුණියන් රූපලාවන්‍ය ගැන හිතන අතරතුරේ එස්තර් ස්වභාව සෞන්දර්යය රස විඳිමින්

      රූපශ්‍රීයට වඩා ප්‍රඥාවන්තකම හා යටහත්පහත්කම වටින බව එස්තර් තේරුම්ගෙන සිටියා

      13 ඇය ක්‍රියා කළ ආකාරය ගැන බයිබලයේ මෙසේ සඳහන් වෙනවා. ‘ඇගේ සෙනඟ ගැනවත් ඇගේ ඥාතීන් ගැනවත් කිසිවෙකුට කියන්න එපා කියා මොර්දෙකයි එස්තර්ට අණ කර තිබුණා. ඒ නිසා ඇය කිසිවෙකුටවත් ඒ ගැන කිව්වේ නැහැ.’ (එස්ත. 2:10) මොර්දෙකයි ඇයට එසේ පැවසුවේ පර්සියානුවන්ට යුදෙව්වන් ගැන පහත් ආකල්පයක් තිබුණු බව ඔහු දැන සිටි නිසයි. එස්තර් තමන් ළඟ නැතත් ඇය තවමත් ප්‍රඥාවන්තව හා කීකරුව ක්‍රියා කරන බව දැනගැනීමෙන් මොර්දෙකයි මොන තරම් සතුටු වෙන්න ඇතිද!

      14. එස්තර්ගේ ආදර්ශය අනුකරණය කරන්න යෞවනයන්ට පුළුවන් කොහොමද?

      14 අද සිටින යෞවනයන්ටත් එස්තර්ගෙන් වටිනා පාඩම් රැසක් ඉගෙනගන්න පුළුවන්. අවට ඉන්න අය වැරදි දේවල් කළත් දිගටම දෙවි දී තිබෙන ප්‍රතිපත්තිවලට කීකරු වෙන්න ඔබටත් පුළුවන්. දෙමාපියන් ළඟ නැති අවස්ථාවලදීත් දිගටම හරි දේ කරන්න උත්සාහ කරන්න. එසේ කිරීමෙන් එස්තර් මෙන් ස්වර්ගික පියාණන් වන යෙහෝවා දෙවිව සතුටු කරන්න ඔබටත් පුළුවන්.—හිතෝපදේශ 27:11 කියවන්න.

      15, 16. (අ) එස්තර්, රජුගේ හිත දිනාගත්තේ කොහොමද? (ආ) එස්තර්ගේ ජීවිතේ සිදු වූ මෙම වෙනස ඇයට අභියෝගයක් වෙන්න ඇත්තේ ඇයි?

      15 රජු ඉදිරියේ පෙනී සිටීමේ වාරය දැන් පැමිණ තිබෙන්නේ එස්තර්ට. තමන්ගේ රුව වඩවාගැනීමට අවශ්‍ය දෙයක් හෝ තමන් කැමති ඕනෑම දෙයක් ඉල්ලන්න ඇයට අවසර තිබුණත් හෙගයි ලබා දුන් දේවලට අමතරව එස්තර් කිසිවක් ඉල්ලන්නේ නැහැ. (එස්ත. 2:15) රජුගේ සිත දිනාගැනීමට රූප සොභාව පමණක් නොව යටහත්පහත්කම සහ මෘදුකම වැනි ගුණාංගත් අවශ්‍ය බව ඇය තේරුම්ගන්න ඇති. කොහොමවුණත් රජමාලිගාවේ සිටි බොහෝ අය අතරේ එවැනි ගුණාංග දක්නට ලැබුණේ නැහැ.

      16 ‘රජ අන් සියලු තරුණියන්ට වඩා ඇයට ආදරේ කරනවා. ඒ නිසා අන් සියලුම තරුණියන්ට වඩා රජුගේ ප්‍රේමයත් විශේෂ සැලකිල්ලත් ඇයට හිමි වෙනවා. රජ, රාජකීය හිස් පළඳනාව ඇයට පළඳවා වෂ්ටී බිසව වෙනුවට ඇයව තම බිසව කරගන්නවා.’ (එස්ත. 2:17) එවකට ලෝකයේ සිටි බලවත්ම පාලකයාගේ බිසව වීමේ වරප්‍රසාදය ලැබෙන්නේ මේ දුප්පත් තරුණියටයි. තමන්ට ලැබුණු මෙම බාරදූර පැවරුම සඳහා අලුතින්ම සූදානම් වීමට එස්තර්ට සිදු වෙන්න ඇති.

      17. (අ) එස්තර් මොර්දෙකයිට දිගටම කීකරු වුණේ කොහොමද? (ආ) එස්තර්ගේ ආදර්ශය අපට ප්‍රයෝජනවත් වෙන්නේ ඇයි?

      17 එස්තර්ට හිමි වුණු අලුත් වරප්‍රසාදය ගැන ඇය හිස උදුම්මාගන්නේ නැහැ. ඇය දිගටම මොර්දෙකයිට කීකරු වෙනවා. තම ඥාතීන් ගැනවත් සෙනඟ ගැනවත් කිසිවෙකුට කියන්න එපා කියා මොර්දෙකයි පවසා තිබුණු නිසා ඇය තවමත් එය රහසක් ලෙස රැකගන්නවා. ඒ වගේම අහෂ්වේරොෂ් රජුව ඝාතනය කරන්න යම් අය කුමන්ත්‍රණය කරන බව දැනගත් මොර්දෙකයි ඒ බව එස්තර්ට දැන්වූ විට ඇය ඒ ගැන රජුට දන්වනවා. රජු එම කුමන්ත්‍රණකරුවන්ව මරණයට පත් කරන්නේ එහි ප්‍රතිඵලයක් ලෙසයි. (එස්ත. 2:20-23) නිහතමානීකම හා කීකරුකම වැනි ගුණාංග විදහාපෙන්වමින් එස්තර් තවමත් දෙවිට විශ්වාසවන්තව සිටිනවා. අකීකරුකම හා කැරලිකාරකම දසත පැතිරී තිබෙන සමාජයක එස්තර්ගේ ආදර්ශය අනුගමනය කිරීම මොන තරම් වටිනවාද! ඇත්තෙන්ම දෙවි කෙරෙහි සැබෑ විශ්වාසයක් තිබෙන අය කීකරුකම සලකන්නේ උතුම් ගුණාංගයක් ලෙසයි.

      එස්තර්ගේ විශ්වාසය පරීක්ෂණයට ලක් වේ

      18. (අ) මොර්දෙකයි, හාමාන්ට වැඳ වැටී ආචාර නොකරන්නේ ඇයි? (පාදසටහනද බලන්න.) (ආ) අද දිනත් දෙවිට විශ්වාසවන්ත සේවකයන් මොර්දෙකයිගේ ආදර්ශය අනුකරණය කරන්නේ කොහොමද?

      18 පර්සියාවේ සිටි හාමාන් නම් තැනැත්තෙකුට අහෂ්වේරොෂ් රජු අන් සියලු අධිපතීන්ට වඩා උසස් තනතුරක් ලබා දෙනවා. අගමැති ලෙසත් රජුගේ ප්‍රධාන උපදේශක ලෙසත් අධිරාජ්‍යයේ දෙවෙනියා ලෙසත් රජු ඔහුව පත් කරනවා. හාමාන් සෙනඟ අසලින් යද්දී වැඳ වැටී ආචාර කළ යුතු බවට රජු නියෝගයක්ද පනවනවා. (එස්ත. 3:1-4) ඒ නීතියට කීකරු වීම මොර්දෙකයිට විශාල අභියෝගයක්. ඔහු රජුගේ නීතිවලට කීකරු වීමට කැමති වුණත් එසේ කිරීමේදී දෙවිට ඉන් අගෞරවයක් වෙනවා නම් ඔහු එය කොහෙත්ම කරන්නේ නැහැ. හාමාන්, සාමුවෙල්ගේ අතින් මරණයට පත් වූ අමලෙක්වරුන්ගේ රජු වන ආගග්ගෙන් පැවතෙන කෙනෙක්. (1 සාමු. 15:33) අමලෙක්වරු මොන තරම් දුෂ්ට ජාතියක්ද කියනවා නම් ඔවුන් යෙහෝවා දෙවිගෙත් ඊශ්‍රායෙල් ජාතියෙත් සතුරන් බවට පත් වුණා. යෙහෝවා දෙවි අමලෙක්වරුන්ව ජාතියක් හැටියට සම්පූර්ණයෙන්ම විනාශ කර දැමීමට තීරණය කර තිබුණා.c (ද්වි. 25:19) එහෙමනම් දෙවිට විශ්වාසවන්ත යුදෙව්වෙක් වන මොර්දෙකයි, අමලෙක්වරයෙකුට වැඳ වැටී ආචාර කරන්නේ කොහොමද! අද දිනත් දෙවිට විශ්වාසවන්ත සේවකයන් ජීවිත පරදුවට තබමින් ‘කීකරු විය යුත්තේ මිනිසුන්ට නොව දෙවිට’ යන ප්‍රතිපත්තියට ඇලී සිටිනවා.—ක්‍රියා 5:29.

      19. හාමාන්ට අවශ්‍ය වෙන්නේ කුමක් කිරීමටද? ඒ සඳහා ඔහු රජුව කැමති කරවාගන්නේ කොහොමද?

      19 මොර්දෙකයි තමන්ට ආචාර නොකරන බව දකින හාමාන්ගේ කේන්තිය ඉහවහා යනවා. හාමාන්ට අවශ්‍ය වෙන්නේ මොර්දෙකයිව විතරක් නෙවෙයි ඔහුගේ මුළු සෙනඟවත් තුරන් කර දැමීමටයි. ඒ නිසා ඔහු යුදෙව්වන් ගැන වැරදි චිත්‍රයක් රජුගේ මනසේ ඇති කරනවා. කෙළින්ම යුදෙව් ජාතිය කියා සඳහන් නොකර එක්තරා ජන කොටසක් “අන් සෙනඟ හා සම්බන්ධ නොවී වෙනම සෙනඟක්” ලෙස ජීවත් වෙනවා කියාත් රජුගේ නීතිය පිළිනොපදින ඔවුන් භයානක කැරලිකරුවන් කියාත් ඔහු පවසනවා. පර්සියානු අධිරාජ්‍යයේ සිටින සියලුම යුදෙව්වන්ව සමූල ඝාතනය කිරීමට වැය වන මුදල රජුගේ භාණ්ඩාගාරයට ලබා දෙන්නත් ඔහු පොරොන්දු වෙනවා.d ඔහුට සවන් දෙන අහෂ්වේරොෂ් රජු මුද්‍රා තබන මුද්ද හාමාන්ට ලබා දී ඔහුට කැමති නියෝගයක් නිකුත් කරන්න අවසර දෙනවා.—එස්ත. 3:5-10.

      20, 21. (අ) මොර්දෙකයිට සහ පර්සියාවේ සිටි යුදෙව්වන්ට හාමාන් යැවූ පණිවිඩය බලපෑවේ කොහොමද? (ආ) මොර්දෙකයි එස්තර්ට පැවසුවේ කුමක් කරන්න කියාද?

      20 වැඩි කල් නොගොස් මුළු පර්සියානු අධිරාජ්‍යය පුරාම ගිය අසරුවන් යුදෙව්වන්ට අත් වීමට යන විනාශය ගැන අස්සක් මුල්ලක් නෑරම දැනුම් දෙනවා. මේ පණිවිඩය යෙරුසලමේ සිටි යුදෙව්වන්ට කොහොම බලපාන්න ඇතිද! බැබිලෝනියේ වහල්භාවයෙන් නිදහස් වී පැමිණි යුදෙව්වන් තවමත් තමන්ගේ නගරය වටා ආරක්ෂක පවුරු ගොඩනැඟීමට වෙරදරමිනුයි සිටින්නේ. මොර්දෙකයිට ඔවුන් ගැනත් ෂූෂන් නගරයේ සිටින ඔහුගේ නෑදෑ හිතමිතුරන් ගැනත් මතක් වෙන්න ඇති. හද පැලෙන තරම් වේදනාවක් දැනෙන ඔහු වස්ත්‍ර ඉරාගෙන, ගෝණි රෙදි ඇඳගෙන, අළු තවරාගෙන නගරය මැදට ගිහින් හඬා වැලපෙනවා. නමුත් යුදෙව්වන්ට අත් වීමට යන විනාශය ගැන කිසිම තැකීමක් නොකරන හාමාන්, රජු සමඟ වයින් බොමින් විනෝද වෙනවා.—එස්තර් 3:12–4:1 කියවන්න.

      21 තමන්ගේ සෙනඟ වෙනුවෙන් මොර්දෙකයිට කරන්න පුළුවන් මොනවාද? මේ අතරතුරේදී ඔහු ගෝණි රෙදි ඇඳගෙන හඬා වැලපෙන බව එස්තර්ට දැනගන්න ලැබෙනවා. ඇය තම සේවකයන් අතේ ඔහුට ඇඳුම් යැව්වත් ඔහු ඒවා භාරගන්නේ නැහැ. යෙහෝවා දෙවිට නමස්කාර නොකරන කෙනෙකු සමඟ විවාහ වීමට තමාගේ ප්‍රේමණීය දියණියට දෙවි ඉඩහැරියේ ඇයි කියා ඔහු බොහෝ කාලයක් තිස්සේ කල්පනා කරන්න ඇති. නමුත් ඔහුට දැන් ඊට හේතුව වැටහෙනවා ඇති. “ඇගේ සෙනඟ වෙනුවෙන්” රජු ඉදිරියේ පෙනී සිට ඔහුගේ කරුණාව දිනාගන්න කියා මොර්දෙකයි එස්තර්ට පණිවිඩයක් යවනවා.—එස්ත. 4:4-8.

      22. රජු ඉදිරියට යෑමට එස්තර් බිය වුණේ ඇයි? (පාදසටහනද බලන්න.)

      22 එය දැනගැනීමෙන් එස්තර් මහත් සේ කැලඹෙන්න ඇති. යෙහෝවා දෙවි කෙරෙහි ඇයට තිබෙන විශ්වාසය ඔප්පු කිරීමට මෙය කදිම අවස්ථාවක් වුණත් රජු ඉදිරියට යෑමට ඇති බිය ගැන ඇය මොර්දෙකයිට දන්වා යවනවා. රජුගෙන් ආරාධනාවක් නැතුව ඔහුව හමු වීමට යන කෙනෙකුට මරණ දඬුවම හිමි වන බවත් එසේ නොවන්නේ රජු ඔහුගේ රන් යෂ්ටිය දිගු කළොත් පමණක් බවත් ඇය සඳහන් කරනවා. වෂ්ටී බිසවට සිදු වූ දේ ඇයටත් සිදු නොවෙයි කියා සිතන්න එස්තර්ට හේතුවක් තිබෙනවාද? ඒ විතරක් නෙවෙයි ඇයට දවස් තිහකින් රජුගෙන් ආරාධනාවක් ලැබී නැති බවත් ඇය සඳහන් කරනවා. එතරම් කාලයක් රජුගෙන් ඇයට ආරාධනාවක් නොලැබුණේ රජුගේ ප්‍රසාදය ඇයට අහිමි වී තිබෙන නිසාද කියා ඇය කල්පනා කරන්න ඇති.e—එස්ත. 4:9-11.

      23. (අ) එස්තර්ව දිරිගැන්වීමට මොර්දෙකයි පැවසුවේ කුමක්ද? (ආ) මොර්දෙකයි හොඳ ආදර්ශයක් කියා ඔබ සිතන්නේ ඇයි?

      23 එස්තර්ගේ විශ්වාසය ශක්තිමත් කිරීමේ අරමුණෙන් මොර්දෙකයි ඇයට පවසන්නේ මේ අවස්ථාවේදී ඔබ උපකාර කළේ නැතත් යුදෙව්වන්ට මොනයම් හෝ ආකාරයකින් ගැලවීමක් ලැබෙයි කියායි. යෙහෝවා දෙවි තම සෙනඟව සම්පූර්ණයෙන්ම තුරන් කිරීමට ඉඩහරින්නේ නැති බවත් දෙවිගේ පොරොන්දු අනිවාර්යයෙන්ම ඉටු වන බවත් මොර්දෙකයි තුළ පූර්ණ නිසැකකමක් තිබුණා. (යොෂු. 23:14) “මෙවැනි අවස්ථාවකදී සෙනඟට පිහිට වීම සඳහාම ඔබ රජුගේ බිසව වුණාද කියා කවුද දන්නේ” කියා මොර්දෙකයි එස්තර්ට පවසනවා. (එස්ත. 4:12-14) මොර්දෙකයිට මෙන් ඔබටත් දෙවි කෙරෙහි පූර්ණ විශ්වාසයක් තිබෙනවාද?—හිතෝ. 3:5, 6.

      මරණ බිය අභිභවා යන විශ්වාසය

      24. එස්තර් විශ්වාසය හා නිර්භීතකම පෙන්වන්නේ කොහොමද?

      24 මොර්දෙකයිගේ වදන්වලින් දිරිමත් වූ එස්තර් තමන් දවස් තුනක් නිරාහාරව සිටින බවත් ෂූෂන් නගරයේ සිටින සියලු යුදෙව්වන්ටත් එලෙස නිරාහාරව සිටින්න කියාත් ඔහුට දන්වා යවනවා. ඇය ඒ පණිවිඩය අවසන් කරන්නේ ඇය තුළ තිබෙන ස්ථිර විශ්වාසය හා නිර්භීතකම පෙන්වන මේ වදන් පෙළෙනුයි. “මගේ ජීවිතය නැති වුණත් මම එසේ කරනවා.” (එස්ත. 4:15-17) ඇය ඒ දවස් තුනේම මින් පෙර කිසිදාක යාච්ඤා නොකළ ආකාරයෙන් යාච්ඤා කරන්න ඇති. අවසානයේදී ඇය රජු ඉදිරියට යන දවස උදා වෙනවා. තමන් සතු හොඳම රාජකීය වස්ත්‍රයෙන් සැරසෙන ඇය රජුගේ සිත දිනාගැනීමට කළ හැකි සියල්ලම කරනවා.

      රාජකීය වස්ත්‍රවලින් සැරසී සිටින එස්තර් අහෂ්වේරොෂ් රජු ඉදිරියට යමින්

      දෙවිගේ සෙනඟ වෙනුවෙන් ඇය තම ජීවිතය පරදුවට තබන්න කැමති වුණා

      25. එස්තර්, රජු ඉදිරියට යන අතරතුරේදී සිදු වූ දේ විස්තර කරන්න.

      25 මේ පරිච්ඡේදයේ මුල්ම ඡේදයේ සඳහන් වුණු ආකාරයට එස්තර් දැන් සිටින්නේ මාලිගාවේ මළුවෙයි. ඒ මොහොතේ ඇගේ සිතේ දහසකුත් සිතුවිලි ඇති වෙන්න ඇති. ඇය එක දිගටම යාච්ඤා කරන්නත් ඇති. ඇය ඇතුල් මළුවට පිවිසෙන විට ඇයට සිංහාසනයේ අසුන්ගෙන සිටින අහෂ්වේරොෂ් රජුව දැකගන්න ලැබෙනවා. ඔහු මොන වගේ මානසිකත්වයකින් සිටිනවාද කියා දැනගැනීමට ඇය මහත් වුවමනාවෙන් ඔහුගේ මුහුණ දෙස බලන්න ඇති. ඇයට මොහොතක් හෝ දෙකක් එහි රැදී සිටින්න සිදු වුණා නම් එය අනන්ත කාලයක් මෙන් දැනෙන්න ඇති. එස්තර්ව රජුගේ නෙත ගැටෙන විට ඔහු අනිවාර්යයෙන්ම පුදුමයට පත් වෙන්නත් ඇති. නමුත් ඔහු තම රන් යෂ්ටිය ඇය වෙත දිගු කර ඇයව පිළිගන්නවා.—එස්ත. 5:1, 2.

      26. එස්තර්ට මෙන් සැබෑ ක්‍රිස්තියානීන්ට නිර්භීතකම අවශ්‍ය ඇයි? එස්තර්, රජුව හමු වීම ආරම්භයක් පමණක් වෙන්නේ ඇයි?

      26 එය එස්තර් ලද විශිෂ්ට ජයග්‍රහණයක් නෙවෙයිද! ඇයට සවන් දීමට රජු කැමැත්ත පළ කරනවා. ඇය නමස්කාර කළ යෙහෝවා දෙවිට විශ්වාසවන්තව සිටිමින් ඇගේ සෙනඟ වෙනුවෙන් ජීවිතය පරදුවට තබා ක්‍රියා කර තිබෙන එස්තර්, දෙවිගේ සේවකයන්ට කදිම ආදර්ශයක්. සැබෑ ක්‍රිස්තියානීන් එවැනි ආදර්ශ බොහෝ සේ අගය කරනවා. යේසුස් පැවසුවේ ඔහුගේ සැබෑ අනුගාමිකයන් ආත්ම පරිත්‍යාගශීලී ප්‍රේමයක් පෙන්වන බවයි. (යොහන් 13:34, 35 කියවන්න.) එවැනි ප්‍රේමයක් පෙන්වීමට එස්තර්ට මෙන් අපිටත් නිර්භීතකම අවශ්‍යයි. එදා ඇය තම සෙනඟ වෙනුවෙන් රජු ඉදිරියේ පෙනී සිටියත් ඉන් සෑම ප්‍රශ්නයක්ම විසඳුණේ නැහැ. එය ආරම්භයක් විතරයි. රජුගේ ප්‍රියතම උපදේශකයා වන හාමාන් කුමන්ත්‍රණකරුවෙක් කියා ඇය රජුට ඒත්තුගන්වන්නේ කොහොමද? ඇගේ සෙනඟව ගලවාගැනීමට ඇයට කරන්න පුළුවන් මොනවද? අපි ඊළඟ පරිච්ඡේදයෙන් මේ ප්‍රශ්නවලට පිළිතුරු සලකා බලමු.

      a අහෂ්වේරොෂ් යන නමින් හඳුන්වනු ලබන්නේ ක්‍රිස්තු පූර්ව පස්වෙනි සියවසේ මුල්භාගයේදී පර්සියානු අධිරාජ්‍යය පාලනය කළ පළමුවන ෂස්තා රජුව විය හැකියි.

      b 16වෙනි පරිච්ඡේදයේ “එස්තර් පොත ගැන මතු වන ප්‍රශ්න කිහිපයක්” නමැති කොටුව බලන්න.

      c අමලෙක්වරුන්ගෙන් ඉතිරි වී සිටි අවසාන තැනැත්තා හාමාන් විය හැකියි. එසේ පවසන්නේ හෙසකියා රජුගේ කාලයේදී ඔවුන්ගෙන් ‘ඉතුරු වූ අයව’ විනාශ කර තිබුණු නිසයි.—1 ලේක. 4:43.

      d හාමාන් ලබා දුන් රිදී තලෙන්ත 10,000 වර්තමාන වටිනාකම ඩොලර් මිලියන සිය ගණනක් වෙනවා. අහෂ්වේරොෂ් කියා හඳුන්වන්නේ පළමුවන ෂස්තා රජුව නම් හාමාන් දුන් මුදල ඔහුට බොහෝ සේ වටිනවා. ඊට හේතුව ෂස්තා රජු සැලසුම් කර තිබුණු ආකාරයට ග්‍රීසිය සමඟ යුද්ධ කිරීමට ඔහුට මුදල් සම්භාරයක් අවශ්‍ය වීමයි.

      e පළමුවන ෂස්තා ඉතා ඉක්මනින් කුපිත වන කෙනෙක්. ග්‍රීක ඉතිහාසඥයෙක් වන හෙරෝඩටස්, ෂස්තා ග්‍රීසියට විරුද්ධව කළ සටනේදී කුපිත වී ක්‍රියා කළ ආකාර කිහිපයක් සඳහන් කරනවා. හෙලස්පොන්ටය ඇළ හරහා ඔරු එකින් එක තබා ඒ මත පාලමක් ගොඩනඟන්න කියා රජු සේවකයන්ට අණ කළා. කුණාටුවකින් එම පාලම කැඩී ගිය නිසා ඔහු එය ඉදි කළ ඉන්ජිනේරුවන්ගේ හිස ගසා දැමුවා. ඒ වගේම ඇළට අපහාසාත්මක ලෙස බැණවදිමින් වතුරට පහර දෙන්න කියාත් ඔහු අණ කළා. ඒ විතරක් නෙවෙයි ධනවත් මනුෂ්‍යයෙක් ඔහුගේ පුතාව යුද්ධයට බඳවා නොගන්න කියා ආයාචනා කළ විට ඔහුව දෙකට කපා මරා දැමුවා. එම මරණය අන් අයට අනතුරු ඇඟවීමක් වුණා.

      ඔබට මතකද?

      • එස්තර් යටහත්පහත්, කීකරු කෙනෙක් බව පෙන්නුවේ කොහොමද?

      • දෙවිට විශ්වාසවන්තව ඉන්න එස්තර්ට මොර්දෙකයි උපකාර කළේ කොහොමද?

      • එස්තර් නිර්භීත කාන්තාවක් බව ඔප්පු කළේ කොහොමද?

      • එස්තර්ට දෙවි කෙරෙහි තිබුණු විශ්වාසය අනුකරණය කරන්න ඔබට පුළුවන් කොහොමද?

  • නැණවත්ව හා නිර්භීතව ක්‍රියා කළ කාන්තාවක්
    ඔවුන්ගේ විශ්වාසය අපිට ආදර්ශයක්
    • එස්තර් බිසව

      දහසයවෙනි පරිච්ඡේදය

      නැණවත්ව හා නිර්භීතව ක්‍රියා කළ කාන්තාවක්

      1-3. (අ) රජුව හමු වීමට යෑම එස්තර්ට අභියෝගයක් වුණේ ඇයි? (ආ) එස්තර්ව දුටු රජු කළේ මොනවාද?

      එස්තර් ටිකෙන් ටික සිංහාසනය වෙත පියවර තබද්දී ඇගේ හද ගැස්ම වේගවත් වෙනවා. ෂූෂන් මාලිගාවේ ඇතුල් මළුවේ පවතින්නේ මීයට පිම්බාක් මෙන් නිහැඬියාවක්. මඳකට හෝ ඒ නිහඬ බව බිඳෙන්නේ එස්තර් බිසවගේ අඩි ශබ්දයෙන් හා ඇගේ රාජකීය වස්ත්‍රයෙන් නැඟෙනා හඬෙන් පමණයි. රාජකීය මළුවේ තිබෙන සුවිශාල කුලුනු දෙසවත් ලෙබනොන්වලින් ගෙනා දේවදාර ලීවලින් නිම වූ අලංකාරවත් කැටයම් සහිත සිවිලිම දෙසවත් ඇය බලන්නේ නැහැ. ඇගේ සම්පූර්ණ අවධානය යොමු වෙන්නේ රජු වෙතටයි. ඇගේ ජීවිතය රැඳී තිබෙන්නේ ඔහු ගන්නා තීරණය අනුවයි.

      2 පුදුමයෙන් එස්තර් දෙස බලන රජු රන් යෂ්ටිය දිගු කරනවා. රජු කළ ඒ දෙය නිසා එස්තර්ගේ ජීවිතය රැකෙනවා. ඇය රජුගේ ආරාධනාවක් නොමැතිව රජුව හමු වීමට යෑම මරණ දඬුවම ලැබිය යුතු වරදක් වුණත් රජු රන් යෂ්ටිය දිගු කිරීමෙන් පෙන්නුම් කළේ ඇගේ වරදට සමාව ලැබෙන බවයි. ඉන්පසු ඇය රජු ළඟට පැමිණ රන් යෂ්ටියේ ඉහළ කෙළවරට අත තබනවා.—එස්ත. 5:1, 2.

      එස්තර් බිසව අහෂ්වේරොෂ් රජුව හමු වීමට ගිය අවස්ථාවේදී රජු රන් යෂ්ටිය ඇය දෙසට දිගු කරමින්

      රජු පෙන්වූ කරුණාව එස්තර් බොහෝ සේ අගය කළා

      3 ෂූෂන් මාලිගාවට ඇතුල් වන ඕනෑම කෙනෙකුට අහෂ්වේරොෂ් රජුට මොන තරම් ධන සම්භාරයක් තිබෙනවාද කියා දැකගත හැකියි. ඉපැරණි කාලවලදී පර්සියානු පාලකයන් පැළඳූ රාජකීය වස්ත්‍ර අද දින ඩොලර් මිලියන සිය ගණනක් පමණ වටින බව විශ්වාස කරනවා. එතරම් ගාම්භීර පෙනුමකින් සැරසී සිටි ඒ බලවත් රජුගේ දෑස්වල තම බිසව කෙරෙහි ආදරයක් දක්නට තිබෙනවා. රජු කාරුණිකව ඇගෙන් මෙසේ අසනවා. “මගේ බිසව එස්තර්, ඔබට අවශ්‍ය කුමක්ද? ඒ දේ මට කියන්න. ඔබ මගේ රාජධානියෙන් භාගයක් ඉල්ලුවත් මම එය ඔබට දෙනවා.”—එස්ත. 5:3.

      4. එස්තර්ට මුහුණ දීමට තිබෙන්නේ මොන වගේ අභියෝගවලටද?

      4 එස්තර් මේ වන විටත් දෙවි කෙරෙහි පූර්ණ විශ්වාසයකින් හා නිර්භීතකමින් ක්‍රියා කර තිබෙනවා. ඇය තම ජාතිය බේරාගැනීම සඳහා රජුව මුණගැසීමට පැමිණීමෙන් එය පැහැදිලියි. රජුව හමු වීමෙන් ඇගේ මුල් පියවර සාර්ථක වුණත් ඇයට තවත් බොහෝ දේ කරන්න තිබෙනවා. ඇගේ ඊළඟ පියවර වෙන්නේ මේ බලවත් රජුගේ හිතෛෂි උපදේශක රජුව රවටා තම ජාතිය විනාශ කරන්න කුමන්ත්‍රණයක් යොදා තිබෙන බව රජුට එත්තුගැන්වීමයි. එස්තර් එය කරන්නේ කොහොමද? ඇයට දෙවි කෙරෙහි තිබුණු විශ්වාසයෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

      ‘කතා කිරීමට සුදුසු කාලය’ තෝරාගත්තා

      5, 6. (අ) දේශනාකාරයා 3:1, 7හි ප්‍රතිපත්තිය එස්තර් අදාළ කරගත්තේ කොහොමද? (ආ) ඇය තම ස්වාමිපුරුෂයාට කතා කළේ නුවණැතිව කියා පවසන්න පුළුවන් ඇයි?

      5 තමන් පැවසීමට පැමිණි කාරණය එස්තර් ප්‍රසිද්ධියේම රජුට පවසයිද? එසේ කිරීම රජුට කරන නිග්‍රහයක්. ඒ විතරක් නෙවෙයි දුෂ්ට හාමාන්ට තමන්ගේ වරද වසාගැනීම සඳහා නිදහසට කරුණු කීමටත් එය කදිම අවස්ථාවක් වේවි. දැන් එස්තර් මොනවා කරයිද? ‘සෑම දෙයකටම නියමිත කාලයක් ඇති’ බව බයිබලයේ සඳහන් වෙනවා. (දේශ. 3:1, 7) එස්තර්ව හදා වඩා ගත් මොර්දෙකයි එවන් ප්‍රතිපත්ති ගැන ඇයට කුඩා කාලයේදීම කියා දෙන්න ඇති. ‘කතා කිරීමට සුදුසු කාලය’ ඇය තෝරාගත්තේ ඒ නිසයි.

      6 රජු ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් එස්තර් මෙසේ පවසනවා. “රජතුමනි, ඔබ මගේ ආරාධනාව පිළිගැනීමට කැමති නම් මම ඔබ වෙනුවෙන් සූදානම් කර තිබෙන භෝජන සංග්‍රහයට හාමාන් සමඟ පැමිණෙන්න කියා ඉල්ලා සිටිනවා.” (එස්ත. 5:4) ඊට එකඟ වූ රජු එම භෝජන සංග්‍රහයට පැමිණෙන ලෙස හාමාන්ට පණිවිඩයක් යවනවා. එස්තර් නුවණැතිව ක්‍රියා කිරීම නිසා ඇගේ ස්වාමිපුරුෂයාගේ ගෞරවය රැකුණා. ඒ වගේම ඇගේ ප්‍රශ්නය ගැන කතා කිරීමට වඩාත් සුදුසු වේලාවක් තෝරාගැනීමටත් හැකි වෙනවා.—හිතෝපදේශ 10:19 කියවන්න.

      7, 8. එස්තර් පැවැත්වූ පළවෙනි භෝජන සංග්‍රහයේදී සිදු වුණේ කුමක්ද? ඇගේ සිතේ තිබුණු දේ එදින ඇය පැවසුවේ නැත්තේ ඇයි?

      7 එස්තර්, භෝජන සංග්‍රහයට රජු කැමතිම ආහාර පිළියෙල කරන්නත් සිත සතුටු කරන වයින් පිළිගන්වන්නත් අමතක කරන්නේ නැහැ. (ගීතා.104:15) ඒ හැම දෙයකින්ම සතුටට පත් වන රජු එස්තර්ට පවසන්න තිබෙන්නේ මොනවාද කියා නැවත වතාවක් අසනවා. එස්තර් මේ වතාවේදීත් තමන්ගේ සිතේ තිබෙන දෙය රජුට පවසන්නේ නැහැ.

      8 ඊළඟ දවසෙත් භෝජන සංග්‍රහයකට පැමිණෙන්න කියා ඇය රජුටත් හාමාන්ටත් ආරාධනා කරනවා. (එස්ත. 5:7, 8) තම සෙනඟගේ ජීවිත අනතුරේ තිබියදී ඒ ගැන රජුට පවසන්න ඇය ප්‍රමාද කරන්නේ ඇයි? ඇය එසේ කරන්නේ එය පැවසීමට සුදුසුම වේලාව තෝරාගැනීමට අවශ්‍ය නිසයි. ඒ වගේම තම ස්වාමිපුරුෂයාට ඇය මොන තරම් ගෞරව කරනවාද කියා පෙන්වීමටත් ඇයට අවශ්‍ය වෙනවා.

      9. ඉවසීම වටිනා ගුණාංගයක් වෙන්නේ ඇයි? ඒ සම්බන්ධයෙන් අපිට එස්තර්ව අනුකරණය කරන්න පුළුවන් කොහොමද?

      9 ඉවසීම ඉතාමත් අනර්ඝ ගුණාංගයක්. එස්තර් යම් පීඩනයකින් සිටියත් ඒ ගැන කතා කරන්න ඉක්මන් වෙනවා වෙනුවට ඒ සඳහා සුදුසු වේලාව පැමිණෙන තෙක් ඉවසිලිවන්තව බලා සිටියා. ඉන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද? සමහර අවස්ථාවලදී යම් අසාධාරණ තත්වයන් නිවැරදි කළ යුතුයි කියා අපි හැමෝටම හැඟී ඇති. එවැනි අවස්ථාවලදී ඒ ගැන උසස් නිලධාරියෙකුට පවසන්න සිදු වුණොත් ඉක්මන් නොවී ඒ සඳහා සුදුසුම කාලය එනතෙක් ඉවසිලිවන්තව බලා සිටින්න. ‘ඉවසීමෙන් හමුදාපතියෙකුගේ සිත පවා දිනාගත හැක. මෘදු වූ වදන්වලින් ඇටකටු පවා බිඳිය හැක’ කියා හිතෝපදේශ 25:15හි සඳහන් වෙනවා. ඒ නිසා අපිත් කතා කිරීමට සුදුසුම කාලය පැමිණෙන තෙක් ඉවසිලිවන්තව බලා සිටිමින් කාරුණිකව කතා කරනවා නම් ගල් හිත් පවා මෙලෙක් වීමට ඉඩ තිබෙනවා. බුද්ධිමත් ලෙස ඉවසීමෙන් ක්‍රියා කළ එස්තර්ට යෙහෝවා දෙවි ආශීර්වාද කළ ආකාරය ගැන දැන් බලමු.

      යුක්තියට මඟ පාදන ඉවසීම

      10, 11. පළමුවන භෝජන සංග්‍රහයෙන් පසුව හාමාන්ගේ සතුට අහිමි වුණේ ඇයි? බිරිඳ සහ මිතුරන් ඔහුට පැවසුවේ මොනවාද?

      10 එස්තර් පැවැත්වූ භෝජන සංග්‍රහයට සහභාගි වූ හාමාන් සිතුවේ තමාට රජුගෙත් එස්තර් බිසවගෙත් අනුමැතිය ලැබී තිබෙනවා කියායි. ඒ ගැන හාමාන් “ප්‍රීතියෙන්” ඉපිල ගියත් රජුගේ දොරටුව අසල සිටි මොර්දෙකයිව දැකීමෙන් ඔහුට ඇති වෙන්නේ “මහත් කෝපයක්.” (එස්ත. 5:9) අපි කලින් පරිච්ඡේදයෙන් බැලූ ලෙස යුදෙව්වෙක් වූ මොර්දෙකයි හාමාන්ට වැඳ වැටී ආචාර කළේ නැහැ. ඔහු එසේ කළේ හාමාන්ට අගෞරවය කිරීමේ චේතනාවෙන් නොව යෙහෝවා දෙවිගේ සිත රිද්දන්න ඔහු අකමැති වූ නිසයි.

      11 කෝපයෙන් තම නිවසට යන හාමාන්, මොර්දෙකයි තමන්ට සැලකූ ආකාරය ගැන තම බිරිඳටත් මිත්‍රයන්ටත් පවසනවා. එවිට ඔවුන් පැවසුවේ අඩි 72ක් උස කණුවක් සාදා මොර්දෙකයිව එහි එල්ලීමට රජුගෙන් අවසර ගන්න කියායි. හාමාන් ඊට එකඟ වෙනවා.—එස්ත. 5:12-14.

      12. ඉතිහාසය වාර්තා කර ඇති ලියවිල්ල කියවන්න කියා රජු පැවසුවේ ඇයි? රජු දැනගත්තේ කුමක්ද?

      12 එදින රාත්‍රියේ රජුට නින්ද ගියේ නැහැ. ඒ නිසා රජවරුන්ගේ ඉතිහාසය වාර්තා කර ඇති ලියවිල්ල ගෙනැවිත් තමන්ට ඇසෙන සේ කියවන්න කියා ඔහු සේවකයන්ට අණ කරනවා. රජුව මරා දැමීමට කළ කුමන්ත්‍රණයක් ගැන මොර්දෙකයි හෙළි කළ ආකාරය ගැන වාර්තාවක් එහි තිබුණා. මොර්දෙකයි එය හෙළි කළ ආකාරයත් වරදකරුවන්ට මරණ දණ්ඩනය දුන් ආකාරයත් රජුට සිහි වෙනවා. ඒ වෙනුවෙන් මොර්දෙකයිට ලබා දුන්නේ මොනවාද කියා රජු සේවකයන්ගෙන් අසනවා. එවිට ඔවුන් පවසන්නේ මොර්දෙකයිට කිසිම දෙයක් ලබා නොදුන් බවයි.—එස්තර් 6:1-3 කියවන්න.

      13, 14. (අ) හාමාන්ගේ සැලසුම අසාර්ථක වුණේ කොහොමද? (ආ) හාමාන්ගේ බිරිඳ හා මිතුරන් පැවසුවේ කුමක්ද?

      13 එය ඇසීමෙන් කලබලයට පත් වන රජු මොර්දෙකයි වෙනුවෙන් යමක් කිරීමට පත් කළ හැකි නිලධාරීන් සිටිනවාද කියා සොයා බලනවා. ඒ අතරතුරේදී හාමාන්, මොර්දෙකයිව කණුවක එල්ලා දැමීමට රජුගේ අවසර ගැනීම සඳහා පාන්දරින්ම රජමාලිගාවට පැමිණෙනවා. නමුත් ඔහු වචනයක්වත් පවසන්න කලින් තම අනුමැතිය දිනාගෙන තිබෙන කෙනෙකුට ගෞරවය දැක්වීම සඳහා කළ හැක්කේ කුමක්ද කියා රජු ඔහුගෙන් අසනවා. රජු ගෞරවය පිරිනැමීමට සූදානම් වෙන්නේ තමන්ට කියා සිතූ හාමාන් උපරිම ගෞරවයක් තමාට ලබාගැනීමේ අදහසින් යෝජනාවක් ඉදිරිපත් කරනවා. ඒ තැනැත්තාට රාජ වස්ත්‍රයක් අන්දවා ඔහුව රජුගේ අශ්වයා පිට හිඳුවා, නුවරෙහි ප්‍රධාන මංසන්ධිය වටා ගෙන යෑමට උසස් අධිපතීන්ගෙන් කෙනෙකුට භාර දෙන්න කියාත් රජුගේ ගෞරවය ඔහුට ලැබී තිබෙන බව සියල්ලන්ටම ඇසෙන සේ පවසන්න අධිපතියාට අණ කරන්න කියාත් ඔහු රජුට පවසනවා. හාමාන් ඒ සියල්ල පැවසීමෙන් අනතුරුව තමාගේ ගෞරවය දිනාගෙන තිබෙන්නේ මොර්දෙකයි කියා රජු පවසන විට හාමාන්ට කොහොම හැඟෙන්න ඇද්ද! මොර්දෙකයිට ප්‍රශංසා කරමින් ඔහුව නුවර වටා ගෙන යෑමට රජු හාමාන්ව පත් කරද්දී ඔහුට මොනවා හිතෙන්න ඇද්ද!—එස්ත. 6:4-10.

      14 ලැජ්ජාවත් කේන්තියත් හිතේ දරාගෙන තමන්ගේ පැවරුම ඉටු කළ හාමාන් ඉතාමත් දුකින් තම නිවසට යනවා. සිදු වූ සියල්ල දැනගත් ඔහුගේ බිරිඳ සහ මිතුරන් පැවසුවේ යුදෙව්වෙක් වූ මොර්දෙකයිට විරුද්ධව නැඟී සිටීමට හාමාන් කිසි දිනක සමත් නොවන බවයි.—එස්ත. 6:12, 13.

      15. (අ) එස්තර් ඉවසීමෙන් ක්‍රියා කළ නිසා ලැබුණු ප්‍රතිඵලය කුමක්ද? (ආ) අපි ‘ඉවසිල්ලෙන් බලා සිටින්න’ ඕනේ ඇයි?

      15 භෝජන සංග්‍රහය පැවැත්වූ මුල් දිනයේදීම එස්තර් සිතේ තිබුණු දේ ගැන රජුට පැවසුවේ නැති නිසා යහපත් ප්‍රතිඵල ලැබෙනවා. හාමාන්ගේ සැලසුම් අසාර්ථක වී ඔහු ලැජ්ජාවට පත් වෙනවා. සමහරවිට කලින් දවසේ රජුට නින්ද නොයෑමට සලස්වන්න ඇත්තේ යෙහෝවා දෙවි වෙන්න ඇති. (හිතෝ. 21:1) එසේනම් ‘ඉවසිල්ලෙන් බලා සිටින්න’ කියා අපිට දේවවචනයේ උනන්දු කර තිබෙන්නේ හොඳ හේතු ඇතුවයි. (මීකා 7:7 කියවන්න.) අපි යෙහෝවා දෙවි කෙරෙහි පූර්ණ විශ්වාසය තබා ඉවසිලිවන්තව බලා සිටිනවා නම් නොසිතන ආකාරයට දෙවි අපේ ප්‍රශ්න ගැටලුවලට පිළිතුරු ලබා දෙනවා.

      ඇය නිර්භීතව කතා කළා

      16, 17. (අ) එස්තර්ට ‘කතා කිරීමට සුදුසු කාලය’ එළඹුණේ කුමන අවස්ථාවේදීද? (ආ) වෂ්ටීට වඩා එස්තර් වෙනස් වුණේ කොහොමද?

      16 භෝජන සංග්‍රහය පැවැත්වූ දෙවෙනි දවසේදී සිතේ තිබුණු දේ රජුට පවසන්න ඇයට සිදු වෙනවා. රජු ඇයට අවශ්‍ය කුමක්ද කියා නැවත වතාවක් අසනවා. (එස්ත. 7:2) ඒ නිසා ‘කතා කිරීමට සුදුසු කාලය’ පැමිණ තිබෙන බව එස්තර්ට වැටහෙනවා.

      17 ඇය රජුට කතා කිරීමට කලින් යෙහෝවා දෙවිගෙන් උපකාර ඉල්ලා යාච්ඤා කරන්න ඇති. පසුව ඇය “රජතුමනි, මා ඔබේ කරුණාව දිනාගෙන තිබේ නම් මගේ ඉල්ලීම ඉටු කර දෙන්න. මා ඔබෙන් ඉල්ලා සිටින්නේ මගේ ජීවිතයද මගේ සෙනඟගේ ජීවිතද බේරා දෙන ලෙසයි” කියා පවසනවා. (එස්ත. 7:3) රජු දෙන ඕනෑම තීරණයකට ඇය ගරු කරන බව ඇය පැවසූ දෙයින් පැහැදිලියි. රජුට කිසිම ගෞරවයක් නොදැක්වූ වෂ්ටී බිසවට වඩා ඇය කොතරම් වෙනස්ද! (එස්ත. 1:10-12) රජු හාමාන්ව විශ්වාස කිරීම ගැන එස්තර් දොස් නඟන්නේ නැහැ. ඒ වෙනුවට තමන්ගේ ජීවිතය බේරා දෙන ලෙස ඇය ඉතා බැගෑපත්ව ඉල්ලා සිටිනවා.

      18. එස්තර් සිතේ තිබුණු දෙය රජුට පැවසුවේ කොහොමද?

      18 තම බිසවගේ ජීවිතය අනතුරේ තිබෙන බව දැනගැනීමෙන් රජු පුදුමයට පත් වූ බවට සැකයක් නැහැ. එවැනි දෙයක් කිරීමට තරම් හයියක් තිබෙන්නේ කාටද කියා රජු කල්පනා කරන්න ඇති. එස්තර් මෙසේ පවසනවා. “මාවත් මගේ සෙනඟවත් විකුණා තිබෙනවා. එසේ කර තිබෙන්නේ අපව සම්පූර්ණයෙන්ම විනාශ කර මරා දැමීමටයි. අපිව දාසකමට විකුණුවා නම් මට නිහඬව ඉන්න තිබුණා. නමුත් මේ මහා විපත සිදු වුණොත් ඉන් රජතුමාට මහත් පාඩුවක් සිදු වෙනවා. ඒ නිසා ඊට ඉඩ නොදිය යුතුයි.” (එස්ත. 7:4) අවස්ථාව පැමිණි විට ඇය ගැටලුව ගැන පැහැදිලිව පවසනවා. යුදෙව් ජාතියට සිදු වීමට යන විනාශයෙන් රජුට මහත් නින්දාවක් ගෙන දෙන නිසා ඒ වෙනුවෙන් යම් ක්‍රියාමාර්ගයක් ගන්න කියාත් ඇය රජුට පවසනවා.

      19. සිත දිනාගත හැකි ආකාරයෙන් කතා කරන්නේ කෙසේද කියා එස්තර්ගෙන් ඉගෙනගන්න පුළුවන් මොනවාද?

      19 සිත දිනාගත හැකි ආකාරයෙන් කතා කරන්නේ කෙසේද කියා අපිට එස්තර්ගේ ආදර්ශයෙන් ඉගෙනගන්න පුළුවන්. බරපතළ ප්‍රශ්නයක් ගැන ඔබේ මිතුරෙකු සමඟ හෝ අධිකාරියක් හොබවන කෙනෙකු සමඟ කතා කිරීමට සිදු වුණොත් බොහෝ ඉවසිලිවන්තව, අවංකව සහ ගෞරවයෙන් කතා කිරීමට උත්සාහ කරන්න.—හිතෝ. 16:21, 23.

      20, 21. (අ) හාමාන්ගේ කුමන්ත්‍රණය එස්තර් හෙළි කළේ කොහොමද? එය දැනගත් රජු ක්‍රියා කළේ කොහොමද? (ආ) හාමාන් කළේ මොනවාද?

      20 එස්තර් පැවසූ දෙයින් කෝප වූ අහෂ්වේරොෂ් රජු “එවැනි දෙයක් කරන්න තරම් එඩිතර වූ පුද්ගලයා කවුද” කියා අසනවා. ඒ අවස්ථාවේදී ඇඟිල්ල හාමාන් දෙසට දිගු කරමින් “ඒ සතුරා වෙන කවුරුත් නෙවෙයි මේ දුෂ්ට හාමාන්” කියා එස්තර් පවසනවා. මෙවැනි දෙයක් සිදු වෙයි කියා හීනෙකින්වත් නොසිතූ හාමාන් භයෙන් වෙව්ලන්න ඇති. තම උපදේශක ලෙස ක්‍රියා කළ හාමාන් තමාව රවටමින් නිකුත් කළ නියෝගය නිසා තම බිරිඳගේ ජීවිතයත් අනතුරේ දැමීම ගැන දැනගත් අවස්ථාවේදී අහෂ්වේරොෂ් රජුට මොන තරම් කෝපයක් ඇති වෙන්න ඇද්ද! තමාට දැනුණු ආවේගය පාලනය කරගත නොහැකිව රජු මාලිගාවෙන් පිට වී උයනට යනවා.—එස්ත. 7:5-7.

      දෙවෙනි වතාවට පවත්වපු භෝජන සංග්‍රහයේදී හාමාන් දෙසට අත දිගු කරන එස්තර් ඔහුගේ කුමන්ත්‍රණය ගැන අහෂ්වේරොෂ් රජුට පවසමින්

      එස්තර් නිර්භීතව හාමාන්ගේ කූට උපාය හෙළි කළා

      21 රජු තමන්ට අනිවාර්යයෙන්ම දඬුවම් කරන බව තේරුම්ගත් හාමාන් එස්තර් ළඟට ගොස් තම ජීවිතය බේරා දෙන මෙන් කන්නලව් කරනවා. රජු නැවත එම ස්ථානයට පැමිණෙන විට එස්තර්ගේ යහන මත සිටි හාමාන්ව දකින රජු කෑගසමින් ‘ඔබ මාගේ බිසවව දූෂණය කරන්නද හදන්නේ’ කියා අසනවා. රජු කළ එම චෝදනාව නිසා තමාට හිමි වෙන්නේ මරණ දණ්ඩනය බව හාමාන් තේරුම්ගන්නවා. ඒ සැණින් පැමිණි රජුගේ නිලධාරීන් හාමාන්ගේ මුහුණ වසා ඔහුව රැගෙන යනවා. මොර්දෙකයිව එල්ලීමට හාමාන් සෑදූ කණුවක් ගැන රජුගේ සේවකයෙක් රජුට දැනුම් දෙන නිසා ඒ කණුවේම හාමාන්ව එල්ලන්න කියා රජු අණ කරනවා.—එස්ත. 7:8-10.

      22. දෙවි කෙරෙහි තිබෙන විශ්වාසය නැති වීමට හා බලාපොරොත්තු සුන් වීමට ඉඩ නොදීම සම්බන්ධයෙන් එස්තර්ව ආදර්ශයට ගන්න පුළුවන් කොහොමද?

      22 අද අපි ජීවත් වෙන්නේ අයුක්තිය රජ යන කාලයක බවට ඔබත් එකඟ වෙයි. එස්තර් එවැනි තත්වයකට මුහුණ දුන්නත් ඇය කිසිවිටක දෙවි කෙරෙහි තිබුණු විශ්වාසය නැති කරගත්තේවත් බලාපොරොත්තු සුන් වීමට ඉඩ දුන්නේවත් නැහැ. සුදුසු වේලාව පැමිණෙන තෙක් ඉවසීමෙන් බලා සිටි ඇය නිර්භීතව තමන්ගේ ප්‍රශ්නය ගැන පැවසුවා. ඉන්පසු කාරණය යෙහෝවා දෙවිට භාර දුන්නා. යෙහෝවා දෙවි එස්තර්ට උපකාර කළා හා සමානව අදටත් තම සේවකයන්ට උපකාර කිරීමට සූදානමින් සිටිනවා. දෙවි, හාමාන් කළ දුෂ්ටකම්වලට දඬුවම් කරමින් ඔහු අනුන්ට කැපූ වළේ ඔහුවම වැටෙන්න සැලැස්සුවා. අද සිටින දුෂ්ටයන්ටත් දෙවි කරන්නේ ඒ දෙයමයි.—ගීතාවලිය 7:11-16 කියවන්න.

      ඇය ආත්ම පරිත්‍යාගශීලීව ක්‍රියා කළා

      23. (අ) රජු මොර්දෙකයිට සහ එස්තර්ට ලබා දුන්නේ මොනවාද? (ආ) යාකොබ් පැවසූ අනාවැකිය ඉටු වුණේ කොහොමද? (“අනාවැකියක් ඉටු වෙයි!” නමැති කොටුව බලන්න.)

      23 එස්තර්ව හදා වඩා ගෙන තිබෙන්නේත් තමන්ගේ ජීවිතය රැක දුන් මොර්දෙකයි බව අහෂ්වේරොෂ් රජු දැනගන්නවා. පසුව හාමාන් දැරූ අගමැති තනතුර ඔහු මොර්දෙකයිට පිරිනමනවා. හාමාන්ගේ නිවස සහ ඔහු සතුව තිබුණු සෑම සම්පතක්ම රජු එස්තර්ට පවරනවා. ඇය හාමාන්ගේ නිවස මොර්දෙකයිගේ භාරයේ තබනවා.—එස්ත. 8:1, 2.

      24, 25. (අ) හාමාන්ගේ කූට උපාය හෙළි කළ පසුවත් එස්තර් නිහඬ නොවුණේ ඇයි? (ආ) ඇය නැවතත් තම ජීවිතය පරදුවට තබා ක්‍රියා කළේ කොහොමද?

      24 එස්තර්ගේ හා මොර්දෙකයිගේ ජීවිත බේරුණු නිසා ඇය දැන් නිහඬවෙයිද? නැහැ. හාමාන් යෙදූ කූට උපාය නිසා සියලුම යුදෙව්වන්ගේ ජීවිත තවමත් තිබෙන්නේ අනතුරේයි. හාමාන් යුදෙව්වන්ව සහමුලින්ම විනාශ කර දැමීමට දාදු දමා දිනයක් යොදාගෙන තිබුණා. (එස්ත. 9:24-26) එම දිනයට තව මාස කිහිපයක් තිබුණත් එම විනාශය වැළැක්වීමට පියවර ගන්න හැකි වෙයිද?

      25 එස්තර් නැවත වතාවක් ජීවිතය අනතුරේ දමමින් රජුගෙන් ආරාධනයක් නොමැතිව රජු ඉදිරියට යනවා. මේ වතාවේදී ඇය කන්නලව් කරන්නේ තමන්ගේ ජාතියට විරුද්ධව පැනවූ නීතිය අහෝසි කරන්න කියායි. නමුත් පර්සියානුවන්ගේ නීතියට අනුව යම් නීතියක් පැනෙව්වොත් එය වෙනස් කිරීමට කිසිම කෙනෙකුට බැහැ. (දානි. 6:12, 15) ඒ නිසා අලුත් නීතියක් පැනවීමට රජු මොර්දෙකයිට සහ එස්තර්ට අවසර දෙනවා. ඔවුන් අලුත් නීතියක් පනවා රජුගේ මුද්දෙන් එය මුද්‍රාකර වේගවත් අශ්වයන් පිට නැඟ යන පණිවිඩකරුවන් අතේ මුළු අධිරාජ්‍යය පුරාම යවනවා. ඒ ලියවිල්ලට අනුව සෑම නුවරකම ජීවත් වන යුදෙව්වරුන්ට තම ජීවිත රැකගැනීම සඳහා සංවිධානය වීමට රජු අවසර දී තිබුණා. එමගින් යුදෙව්වන්ට බලාපොරොත්තුවක් ඇති වෙනවා. (එස්ත. 8:3-16) එම පණිවිඩය ලැබීමත් සමඟම ඔවුන් තම සතුරන්ට විරුද්ධව සටන් කිරීමට සූදානම් වෙනවා. “ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි” තම සෙනඟට උපකාර කරන්නේ කෙසේද කියා දැන් බලමු.—1 සාමු. 17:45.

      එස්තර් සහ මොර්දෙකයි අලුත් නීතිය ගැන කියද්දී තරුණයෙක් එය වාර්තා කරමින්

      එස්තර් සහ මොර්දෙකයි පර්සියාවේ සිටි යුදෙව්වන්ට අලුත් නීතිය දැනුම් දුන්නා

      26, 27. (අ) යෙහෝවා දෙවි යුදෙව්වන්ට ජයග්‍රහණය ලබා දුන්නේ කොහොමද? (ආ) හාමාන්ගේ පුතුන් දසදෙනාව මරා දැමීමත් සමඟම ඉටු වුණේ මොන අනාවැකියද?

      26 යුදෙව්වන්ව විනාශ කිරීමට නියම කර තිබුණු දිනය උදා වුණා. අලුතෙන් පත් වූ අගමැති වන මොර්දෙකයි යුදෙව්වෙක් බව දැනගන්නා පර්සියානු නිලධාරීන්ද යුදෙව්වන්ට උපකාර කරනවා. යෙහෝවා දෙවිගේ උපකාරය යුදෙව්වන්ට ලැබුණු නිසා ඔවුන් සටනින් ජය ගන්නවා. තම සෙනඟට හිරිහැරයක් කිරීමට නොහැකි වන ලෙස යෙහෝවා දෙවි යුදෙව්වන්ගේ සතුරන්ව අන්ත පරාජයකට පත් කරනවා.a—එස්ත. 9:1-6.

      27 කොහොමවුණත් හාමාන්ගේ පුතුන් දසදෙනා ජීවත්ව සිටින තාක් මොර්දෙකයිගේ ජීවිතය අනතුරේ තිබෙන නිසා ඔවුන්වත් මරා දමනවා. (එස්ත. 9:7-10) එමගින් බයිබලයේ සඳහන් අනාවැකියක් ඉටු වුණා. දෙවිගේ සෙනඟට සතුරුකම් පෑ අමලෙක්වරුන්ව සම්පූර්ණයෙන්ම විනාශ කර දමන බව යෙහෝවා දෙවි කලින්ම පවසා තිබුණා. (ද්වි. 25:17-19) අමලෙක්වරුන්ගෙන් ඉතිරිව සිටි අන්තිම පිරිස හාමාන්ගේ පුතුන් දසදෙනා විය හැකියි.

      28, 29. (අ) එස්තර් හා යුදෙව්වන් ක්‍රියා කළේ දෙවිගේ කැමැත්තට එකඟව කියා පවසන්න පුළුවන් ඇයි? (ආ) එස්තර්ගේ ආදර්ශය අද අපිට ප්‍රයෝජනවත් වෙන්නේ කොහොමද?

      28 තරුණ වියේදීම එස්තර්ට විශාල බරක් කරට ගන්න සිදු වෙනවා. යුද්ධ හා මරණ දඬුවම් දීම සඳහා අලුත් නීති සම්පාදනය කිරීම ඒ අතරින් එකක්. එය ඇයට පහසු කාර්යයක් නොවෙන්න ඇති. කොහොමවුණත් ඇය ක්‍රියා කළේ දෙවිගේ කැමැත්තට එකඟවයි. මිනිස් වර්ගයාව පාපයෙන් ගලවාගැනීමට දෙවි එවන බවට පොරොන්දු වූ ගැලවුම්කරු පැමිණීමට නියමිතව තිබුණේ යුදෙව්වන්ගෙන්. (උත්. 22:18) ඒ නිසා යුදෙව්වන්ව සතුරන් අතින් බේරාගැනීමට දෙවි මැදිහත් වුණා. කෙසේවෙතත් අද සිටින දෙවිගේ සේවකයන් කිසිම යුද්ධයකට හවුල් වෙන්නේ නැහැ. එයට හේතුව ගැලවුම්කරු වූ යේසුස් කිසිම ආකාරයකින් යුද්ධවලට හවුල් වෙන්න එපා කියා අණ කර තිබීමයි.—මතෙ. 26:52.

      29 නමුත් දෙවිගේ සෙනඟ වන අපි අද වෙනස් ආකාරයේ යුද්ධයක නියැලෙනවා. යෙහෝවා දෙවි කෙරෙහි අපට තිබෙන විශ්වාසය බිඳ දැමීමට සාතන් ඔහුට හැකි උපරිමය කරනවා. (2 කොරින්ති 10:3, 4 කියවන්න.) එම යුද්ධයට සාර්ථකව මුහුණ දීම සඳහා එස්තර් අපිට කදිම ආදර්ශයක් කියා ඔබට සිතෙන්නේ නැද්ද! අපිත් ඇය මෙන් යෙහෝවා දෙවි කෙරෙහි විශ්වාසය තබමින් ඉවසිලිවන්තව, නිර්භීතව සහ ආත්ම පරිත්‍යාගශීලීව ක්‍රියා කරමු.

      එස්තර් පොත ගැන මතු වන ප්‍රශ්න කිහිපයක්

      යෙහෝවා දෙවිට නමස්කාර නොකළ කෙනෙකු සමඟ විවාහ වෙන්න මොර්දෙකයි එස්තර්ට අවසර දුන්නේ ඇයි?

      මොර්දෙකයි අවස්ථාවාදියෙක් බවත් ඔහු එස්තර්ව අහෂ්වේරොෂ් රජුට විවාහ කර දුන්නේ තමන්ට උසස් තත්වයක් ලබාගැනීමට බවත් සමහර විශාරදයන් පවසනවා. දෙවිට විශ්වාසවන්ත යුදෙව්වෙක් වූ මොර්දෙකයි එවැනි විවාහයකට කොහෙත්ම කැමති නොවුණු බව ස්ථිරයි. (ද්වි. 7:3) මොර්දෙකයි එම විවාහය නතර කිරීමට උත්සාහ කළ බව සමහර ඉපැරණි පොත්වල සඳහන් වෙනවා. මිනිසුන් දෙවි කෙනෙකු ලෙස සැලකූ බලවත් අධිරාජ්‍යයෙකුට එරෙහි වීමට විදේශිකයන් වන මොර්දෙකයිට සහ එස්තර්ට හැකියාවක් නොතිබුණු බව පැහැදිලියි. කෙසේවෙතත් දෙවි එස්තර් මාර්ගයෙන් තම සෙනඟව ගලවාගත්තා.—එස්ත. 4:14.

      යෙහෝවා යන දෙවිගේ නම එස්තර් පොතේ දක්නට නැත්තේ ඇයි?

      එස්තර් පොත ලිව්වේ මොර්දෙකයි විසින්. යෙරුසලමට ගෙන යන්න කලින් මේ පොත තිබුණේ පර්සියාවේ අනිකුත් රාජකීය ලියවිලි අතරේ වෙන්න පුළුවන්. බොරු දෙවිවරුන්ට නමස්කාර කළ පර්සියානු ජාතිකයන් යෙහෝවා යන දෙවිගේ නම ඒ පොතේ තිබෙනවා දුටුවා නම් එය විනාශ කිරීමට ඉඩ තිබුණා. දෙවිගේ නම සඳහන් වී නොතිබුණත් එහි තිබෙන තොරතුරුවලින් පැහැදිලි වෙන්නේ එම සිද්ධියට දෙවි මැදිහත් වී තිබෙන බවයි. එස්තර් පොත මුලින්ම හෙබ්‍රෙව් භාෂාවෙන් ලියද්දී දෙවිගේ නම සඳහන් කරන හෙබ්‍රෙව් අක්ෂර හතර තනි වචනයක් ලෙස දමා නොතිබුණත් ඒ අකුරු හතර එක දිගට ලියැවෙන වචන හතරක මුල් අකුරු ලෙස හෝ අවසන් අකුරු ලෙස සමහර තැන්වල යොදා තිබෙනවා. කොහොමවුණත් මෙම පොතේ සඳහන් සිද්ධීන් බලද්දී ඒවාට යෙහෝවා දෙවි මැදිහත් වූ බව පැහැදිලියි.

      එස්තර් පොතේ සඳහන් තොරතුරු නිවැරදිද?

      සමහර විවේචකයන් පවසන්නේ එස්තර් පොතේ තොරතුරු වැරදියි කියායි. ඒත් තවත් විශාරදයන් පවසන්නේ එය ලියූ තැනැත්තාට පර්සියාවේ රාජකීයන් ගැන, ගෘහ නිර්මාණ ශිල්පය ගැන හා චාරිත්‍ර වාරිත්‍ර ගැන හසළ දැනුමක් තිබුණු බවයි. බයිබලයට අමතරව වෙනත් පොත් පත්වල එස්තර් බිසව ගැන සඳහන් වෙන්නේ නැති බව ඇත්තයි. නමුත් එස්තර් ගැන පමණක් නෙවෙයි, රාජකීය පවුල්වලට අයත් බොහෝ අයගේ නම් පවා පොත් පත්වල සඳහන් වී නැහැ. කෙසේවෙතත් එස්තර් පොතේ සඳහන් වී තිබෙන කාල වකවානුවේදී ෂූෂන් මාලිගාවේ මාර්ඩූකා නම් නිලධාරියෙක් සේවය කළ බව වෙනත් වාර්තාවලින් සොයාගෙන තිබෙනවා. මාර්ඩූකා යන නම පර්සියන් භාෂාවෙන් මොර්දෙකයි යන නමට සමාන නමක්.

      අනාවැකියක් ඉටු වෙයි!

      එස්තර් සහ මොර්දෙකයි බයිබලයේ සඳහන් අනාවැකියක් ඉටු වීමට දායක වුණා. ඊට අවුරුදු 1,200කට පමණ පෙර යෙහෝවා දෙවි යාකොබ්ගේ පුතෙකු සම්බන්ධයෙන් මෙවැනි අනාවැකියක් පැවසුවා. “බෙන්ජමින් වෘකයෙකු මෙන් ගොදුර ඉරා දමන්නේය. ඔහු උදේ ගොදුර කන්නේය. සවස කොල්ලය බෙදාගන්නේය.” (උත්. 49:27) මෙහි සඳහන් “උදේ” කාලයෙන් නියෝජනය කළේ ඊශ්‍රායෙල්වරුන්ගේ රජවරුන් සිටි මුල් කාලයයි. බෙන්ජමින්වරුන්ගෙන් පැවත ආ සාවුල් රජ හා වෙනත් දක්ෂ රණශූරයන් දෙවිගේ සෙනඟ වෙනුවෙන් සටන් කළ කාලය උදේ කාලයට අයත් වුණා. එම අනාවැකියේ ‘සවස්’ කාලයෙන් නියෝජනය කළේ ඊශ්‍රායෙල් රජවරුන්ගේ පාලනය අවසන් වූ කාලයයි. බෙන්ජමින්වරුන්ගෙන් පැවත ආ එස්තර් හා මොර්දෙකයි දෙවිගේ සෙනඟ වෙනුවෙන් සටන් කර ජය ගත්තා. ඔවුන් හාමාන්ගේ ඉඩකඩම්ද බෙදාගත්තා. එය ඉහත අනාවැකියේ පවසා තිබෙන ආකාරයට කොල්ලය බෙදාගත්තා හා සමානයි කියා පවසන්න පුළුවන්.

      a පසුවදාත් තම සතුරන්ට විරුද්ධව නැඟී සිටීමට රජු යුදෙව්වන්ට අවසර දෙනවා. (එස්ත. 9:12-14) ආදාර් මාසයේදී ලැබූ එම ජයග්‍රහණය යුදෙව්වන් අදටත් වාර්ෂිකව සමරනවා. එම දිනය යෙදෙන්නේ පෙබරවාරි අග සහ මාර්තු මුල අතර කාලයෙයි. හාමාන් එම දිනය තීරණය කිරීමට දාදු දැමූ නිසා යුදෙව්වන් එම උත්සවය පූරීම් ලෙසත් හඳුන්වනවා.

      ඔබට මතකද?

      • එස්තර්, ‘කතා කිරීමට සුදුසු කාලය’ තෝරාගත්තේ කොහොමද?

      • එස්තර් ඉවසිලිවන්තව ක්‍රියා කළ නිසා ලැබූ ආශීර්වාද මොනවාද?

      • එස්තර් තම සෙනඟ වෙනුවෙන් නිර්භීතව සහ ආත්ම පරිත්‍යාගශීලීව ක්‍රියා කළේ කොහොමද?

      • ඔබට එස්තර්ගේ ආදර්ශය අනුකරණය කරන්න පුළුවන් කොහොමද?

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න