ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • kr 2 පරි. 13-29 පි.
  • දෙවිගේ රාජ්‍යය ස්වර්ගයේ පිහිටුවා ඇත

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දෙවිගේ රාජ්‍යය ස්වර්ගයේ පිහිටුවා ඇත
  • දෙවිගේ රාජ්‍යයේ පාලනය ඇරඹිලා!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • ‘මාගේ පණිවිඩකරු මට කලින් ගොස් මාර්ගය සූදානම් කරයි’
  • සැබෑ දැනුමට එකඟව දෙවිට නමස්කාර කළා
  • “ඇයව අත්හැර පිටතට එන්න”
  • නමස්කාරය වෙනුවෙන් එකට එකතු වීම
  • උද්‍යෝගයෙන් ශුභාරංචිය දේශනා කිරීම
  • දෙවිගේ රාජ්‍යය පිහිටුවීම
  • විශ්වාසය සෝදිසියට ලක් වුණු කාලයක්
  • සේවය ආයෙත් පටන්ගත්තා
  • යෙහෝවඃ වහන්සේ ස්වකීය ජනයා එක්රැස්කර සේවය සඳහා සන්නද්ධ කරන සේක
    යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවෙ—ලොව පුරා එක්සත් ව දෙවියන් වහන්සේගේ කැමැත්ත කරමින් සිටිති
  • ක්‍රිස්තියානි ඇදහිල්ල පරීක්ෂා කෙරේ
    1998 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් අවදියෙන් සිටීමට හේතුව
    1994 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • දෙවිගේ රාජ්‍යය ගැන රජ තොරතුරු හෙළි කරයි
    දෙවිගේ රාජ්‍යයේ පාලනය ඇරඹිලා!
තව තොරතුරු
දෙවිගේ රාජ්‍යයේ පාලනය ඇරඹිලා!
kr 2 පරි. 13-29 පි.

2වෙනි පරිච්ඡේදය

දෙවිගේ රාජ්‍යය ස්වර්ගයේ පිහිටුවා ඇත

මේ පරිච්ඡේදයේ මූලික කරුණ

දෙවිගේ රාජ්‍යය ස්වර්ගයේ පිහිටුවන්න කලින් දෙවි තමන්ගේ සෙනඟව සූදානම් කරපු විදිහ

1, 2. මුළු ලෝකයටම බලපෑව වැදගත්ම සිද්ධිය මොකක්ද? ඒ සිද්ධිය කිසිම කෙනෙක් දැක්කේ නැත්තේ ඇයි?

ඉතිහාසයේ ලොකු වෙනසක් වුණු කාලයක ඔබ ජීවත් වෙලා තියෙනවාද? උදාහරණයකට ප්‍රබල පාලන ක්‍රමයක් බලයෙන් වැටුණු කාලයක ඔබ ඉඳලා තියෙනවාද? සමහරවිට ඔබ ඉඳලා ඇති. ඒත් ඒ වගේ වෙනසක් වෙන්න හේතු වුණු හැම දෙයක්ම ඔබ දැක්කාද? හුඟක් වෙලාවට ඒ වගේ දේවල් සිද්ධ වෙන්නේ දොරගුලු දාලා තියෙන ගොඩනැඟිලිවල නැත්නම් අධිආරක්ෂිත දේශපාලන කාර්යාලවල. ඒ නිසා ඒ දේවල් ගැන මිනිසුන්ට දැනගන්න ලැබෙන්නේ නැහැ. කොහොමවුණත් ඒ වෙනස්කම් මිලියන ගණන් මිනිසුන්ගේ ජීවිතවලට බලපානවා.

2 මුළු ලෝකයටම බලපෑව වැදගත්ම සිද්ධිය මොකක්ද? ඒ තමයි දෙවිගේ රාජ්‍යය ස්වර්ගයේ පිහිටුවීම. ඒක මිනිසුන් මිලියන ගණනකගේ ජීවිතවලට තදින්ම බලපාලා තියෙනවා. හැබැයි ඒක සිද්ධ වුණේ ස්වර්ගයේ නිසා කිසිම මිනිසෙක් ඒක දැක්කේ නැහැ. හුඟක් කාලෙකට කලින් දෙවි පොරොන්දු වෙලා තිබුණු ඒ රාජ්‍යය මාර්ගයෙන් තමයි දෙවි මේ දුෂ්ට සමාජය විනාශ කරන්නේ. (දානියෙල් 2:34, 35, 44, 45 කියවන්න.) කොහොමවුණත් ඒ රාජ්‍යය ස්වර්ගයේ පිහිටුවීම මිනිසුන්ට දකින්න බැරි වුණ එකෙන් අදහස් වෙන්නේ කවුරුත් ඒ ගැන දැනගන්නවාට දෙවි අකමැති වුණා කියන එකද? එහෙමත් නැත්නම් ඒ දේ සිද්ධ වෙන්න කලින් දෙවි තම සේවකයන්ව ඒකට සූදානම් කළාද?

‘මාගේ පණිවිඩකරු මට කලින් ගොස් මාර්ගය සූදානම් කරයි’

3-5. (අ) මලාකි 3:1 සඳහන් “ගිවිසුමට සම්බන්ධ දූතයා” කවුද? (ආ) “ගිවිසුමට සම්බන්ධ දූතයා” ගෘහයට එන්න කලින් සිද්ධ වෙන්නේ මොනවාද?

3 දෙවිගේ රාජ්‍යය පිහිටුවන්න කලින් පොළොවේ ඉන්න තමන්ගේ සේවකයන්ව ඒකට සූදානම් කරන්න යෙහෝවා දෙවි කලින්ම සැලසුම් කළා. මලාකි 3:1 තියෙන මේ අනාවැකියෙන් ඒක පැහැදිලි වෙනවා. “මම මාගේ පණිවිඩකරුව මා ඉදිරියෙන් යවන්නෙමි. ඔහු මට කලින් ගොස් මාර්ගය සූදානම් කරනු ඇත. සැබෑ ස්වාමීන් තම ගෘහයට පැමිණෙනු ඇත. ඔබ මඟ පෙන්වීම් පතන ඒ තැනැත්තා ඔබ නොසිතන වේලාවක පැමිණෙන්නේය. ඔබ ආශාවෙන් බලා සිටින තැනැත්තා වන ගිවිසුමට සම්බන්ධ දූතයාද ඔහු සමඟ පැමිණෙන්නේය.”

4 “සැබෑ ස්වාමීන්” වන යෙහෝවා දෙවි තමන්ගේ සේවකයන්ව සෝදිසි කරලා බලන්න “ගිවිසුමට සම්බන්ධ දූතයා” එක්ක එනවා කියලා ඒ අනාවැකියේ සඳහන් වුණා. ඒ දූතයා කවුද? ඒ දෙවිගේ රාජ්‍යයේ රජු වන යේසුස් ක්‍රිස්තුස්. (ලූක් 1:68-73) ඔහු තමයි මේ පොළොවේ ඉන්න දෙවිගේ සේවකයන්ව ඒ කියන්නේ සංකේතවත් දේවමාලිගාවේ මළුවේ සේවය කරන අයව සෝදිසි කරලා පවිත්‍ර කරන්නේ.—1 පේතෘ. 4:17.

5 ඒ අනාවැකියේ සඳහන් “පණිවිඩකරු” කවුද? අනාවැකියට අනුව දෙවිගේ රාජ්‍යයේ රජු හැටියට ක්‍රිස්තුස් පැමිණ සිටින කාලයට කලින් ඉඳලම පණිවිඩකරු තමන්ගේ වැඩ කොටස පටන් අරන් තියෙන්න ඕනේ. ඇත්තටම 1914ට කලින් දෙවිගේ රාජ්‍යයේ රජු වෙනුවෙන් “මාර්ගය සූදානම්” කරපු පණිවිඩකරුවෙක් හිටියාද?

6. දෙවිගේ සෙනඟව සූදානම් කරපු “පණිවිඩකරු” විදිහට වැඩ කළේ කවුද?

6 දෙවිගේ සේවකයන්ගේ මෑත ඉතිහාසය ගැන මේ පොතෙන් තොරතුරු ඉගෙනගද්දී ඒවාට උත්තර අපිට දැනගන්න ලැබෙයි. 19වෙනි සියවසේ අගභාගයේදී ක්‍රිස්තියානියයි කියාගන්නා ආගම් ගණනාවක් අතරේ සැබෑ ක්‍රිස්තියානීන් කුඩා කණ්ඩායමක් හිටියා. ඒ අයව හැඳින්නුවේ බයිබල් ශිෂ්‍යයන් කියලා. ඒ අය අතරේ මූලිකත්වය අරගෙන වැඩ කරපු චාල්ස් ටී. රසල් සහ එයාගේ මිතුරන් තමයි මලාකි පොතේ සඳහන් වෙලා තියෙන “පණිවිඩකරු” විදිහට ක්‍රියා කළේ. දෙවිගේ සෙනඟට මඟ පෙන්වීම් දීලා අනාගතයේදී සිද්ධ වෙන්න තිබුණු දේවලට ඔවුන්ව සූදානම් කළේ ඒ අයයි. එහෙම කරපු විදි හතරක් ගැන දැන් අපි බලමු.

සැබෑ දැනුමට එකඟව දෙවිට නමස්කාර කළා

7, 8. (අ) අමරණීය ආත්මය කියන ඉගැන්වීම වැරදියි කියලා මුලින්ම හෙළි කළේ කවුද? (ආ) සී. ටී. රසල් සහ එයාගේ මිතුරන් හෙළි කරපු වැරදි ඉගැන්වීම් මොනවාද?

7 බයිබල් ශිෂ්‍යයන් දෙවිට යාච්ඤා කරලා බයිබලය හොඳින් අධ්‍යයනය කළා. ඒ විදිහට හොයාගත්ත කරුණුවලට හැමෝම එකඟ වුණාට පස්සේ ඒ සත්‍ය ඉගැන්වීම් එකතු කරලා ඒවා ප්‍රකාශයට පත් කළා. ක්‍රිස්තියානියයි කියාගන්නා ආගම් සියවස් ගාණක් පුරා අසත්‍ය ඉගැන්වීම්වලින් යටපත් වෙලයි හිටියේ. අමරණීය ආත්මය කියන ඉගැන්වීම ඒ අතරින් එකක්. කොහොමවුණත් 1850 ගණන්වලදී බයිබලය උනන්දුවෙන් අධ්‍යයනය කරපු සමහර අය තේරුම්ගත්තා ඒ ඉගැන්වීම බයිබලයට එකඟ නැහැ කියලා. සාතන් පතුරුවලා තියෙන ඒ ඉගැන්වීම අමූලික බොරුවක් කියලා පැහැදිලි කරන්න හෙන්රි ගෲ, ජෝර්ජ් ස්ටෙට්සන් සහ ජෝර්ජ් ස්ටෝර්ස් කියන අය ඒ ගැන ලිපි ලිව්වා, දේශනත් දුන්නාa මේ දේවල් නිසා සත්‍යය ගැන තව තවත් හොයන්න සී. ටී. රසල් සහ එයාගේ කිට්ටු මිතුරන් පෙලඹුණා.

8 අමරණීය ආත්මය කියන ඉගැන්වීමට සම්බන්ධ අනිත් ඉගැන්වීම්වලටත් කිසිම පදනමක් නැහැ කියලා බයිබල් ශිෂ්‍යයන් තේරුම්ගත්තා. උදාහරණයකට හොඳ අය මැරුණාම ස්වර්ගයට යන්නේ නැහැ කියලත් දුෂ්ට අය මැරුණාම දෙවි ඒ අයව අපායට දාලා පුච්චන්නේ නැහැ කියලත් ඒ අය තේරුම්ගත්තා. ඒ නිසා රසල් සහ එයාගේ මිතුරන් ඒ ගැන නිර්භීතව කතා කළා. ඒ ගැන ලිපි පළ කළා. පොත්, පත්‍රිකා ප්‍රකාශයට පත් කළා.

9. ත්‍රිත්වය කියන ඉගැන්වීම බොරුවක් කියලා ‘මුරටැඹ’ සඟරාව හෙළි කළේ කොහොමද?

9 ඒ වගේම ත්‍රිත්වය කියන ඉගැන්වීමත් බොරුවක් කියලා බයිබල් ශිෂ්‍යයන් හෙළි කළා. 1887 ‘මුරටැඹ’b සඟරාවක සඳහන් වුණ දේ බලන්න. “යෙහෝවා දෙවි සහ යේසුස් පුද්ගලයන් දෙන්නෙක් කියලත් ඒ දෙන්නා අතරේ තියෙන්නේ මොන වගේ බැඳීමක්ද කියලත් බයිබලයේ පැහැදිලිවම සඳහන් වෙනවා. දෙවි ත්‍රිත්වයක් කියන බොරු ඉගැන්වීම මේ තරම් ප්‍රචලිත වෙලා තියෙන්නේ කොහොමද කියලා හිතාගන්නවත් බැහැ. කොහොමවුණත් සතුරා බොරු ඉගැන්වීම් පල්ලිවල පතුරුවද්දී පූජකයන් සුව නින්දක ඉඳලා තියෙන බව නම් පැහැදිලියි.”

10. 1914 විශේෂ අවුරුද්දක් කියලා ‘මුරටැඹ’ සඟරාව හෙළි කළේ කොහොමද?

10 ‘මුරටැඹ’ සඟරාවේ මුල් නමට ක්‍රිස්තුස් පැමිණ සිටින කාලය ගැන දැනුම් දීම කියන අදහස ඇතුළත් වුණා. (“සයන්ස් වොච් ටවර් ඇන්ඩ් හෙරල්ඩ් ඔෆ් ක්‍රයිස්ට්ස් ප්‍රෙසන්ස්”) ඒකෙන් පැහැදිලි වෙනවා ‘මුරටැඹ’ සඟරාව වැඩි අවධානයක් දුන්නේ ක්‍රිස්තුස් පැමිණ සිටින කාලයට අදාළ අනාවැකිවලට කියලා. ඒ සඟරාවට ලිපි ලියන්න හවුල් වුණු අභිෂේක ලත් අය තේරුම් අරන් හිටියා දානියෙල් පොතේ තියෙන “කාලවල් හත” ගැන අනාවැකියෙන් දෙවිගේ රාජ්‍යය පිහිටුවන නිශ්චිත කාලය තේරුම්ගන්න පුළුවන් කියලා. ඒ “කාලවල් හත” අවසන් වෙන්නේ 1914දී කියලා 1870 ගණන්වල ඉඳලම ඒ අය සඳහන් කළේ ඒ නිසයි. (දානි. 4:25; ලූක් 21:24) ඒ අවුරුද්දේදී සිද්ධ වෙන්නේ මොනවාද කියලා හරියටම දැනගෙන හිටියේ නැති වුණත් ඒගොල්ලන් බයිබලයෙන් ඉගෙනගත්ත සත්‍ය තොරතුරු ගැන හැමෝටම දැනුම් දුන්නා.

11, 12. (අ) තමන් ඉගැන්වූ සත්‍ය ඉගැන්වීම් ගැන රසල් ප්‍රශංසා කළේ කාටද? (ආ) 1914ට කලින් ඉඳලම රසල් සහ ඔහුගේ මිතුරන් කරලා තියෙන දේවල් අතිවිශිෂ්ටයි කියලා කියන්න පුළුවන් ඇයි?

11 බයිබලයේ තියෙන සත්‍ය ඉගැන්වීම් නිවැරදිව පැහැදිලි කරලා දෙන්න රසල් සහ එයාගේ මිතුරන් දායක වුණත් කවදාවත් ඒ අය අනිත් අයගේ ප්‍රශංසාව තමන්ට ලබාගත්තේ නැහැ. තමන්ට කලින් බයිබලයේ තියෙන දේවල් ගැන අධ්‍යයනය කරන්න වෙහෙසුණු අයව රසල් නිතරම ප්‍රශංසා කළා. කොහොමවුණත් සත්‍ය ඉගැන්වීම් අවබෝධ කරගන්න පුළුවන් වුණු එක ගැන රසල් වැඩියෙන්ම ප්‍රශංසා කළේ යෙහෝවා දෙවිට. යෙහෝවා දෙවි තමයි නියමිත කාලයේදී සත්‍ය ඉගැන්වීම් ගැන තම සෙනඟව දැනුවත් කරන්නේ. බොරු ඉගැන්වීම් අතරින් සත්‍ය ඉගැන්වීම් හරියටම තේරුම්ගන්න රසල් සහ එයාගේ මිතුරන් වෑයම් කරද්දී යෙහෝවා දෙවි ඒ අයට ආශීර්වාද කළා. කාලයත් එක්කම ක්‍රිස්තියානියයි කියාගන්නා අය සහ දෙවිගේ සැබෑ සේවකයන් අතරේ මොන තරම් වෙනසක් තියෙනවාද කියලා පැහැදිලිවම දැකගන්න පුළුවන් වුණා.

චාල්ස් ටේස් රසල් මිතුරන් සමඟ කතා කරමින්

සහෝදර රසල් සහ ඔහුගේ මිතුරන් බයිබල් සත්‍යයන් ගැන හැම කෙනෙක් එක්කම කතා කළා

12 සත්‍ය ඉගැන්වීම් නිවැරදිව අවබෝධ කරගත්තාට පස්සේ ඒවා ගැන හෙළි කරන්න 1914ට කලින් ඉඳලම බයිබල් ශිෂ්‍යයන් දරලා තියෙන වෙහෙස අතිවිශිෂ්ටයි. ඒ ගැන 1917 නොවැම්බර් 1 ‘මුරටැඹ’ සඟරාවේ මෙහෙම සඳහන් වුණා. “අපාය සහ වෙනත් බොරු ඉගැන්වීම් නිසා බියෙන් සිටි මිලියන ගණන් අය දැන් ලොකු සහනයක් අද්දකිනවා. . . . මීට අවුරුදු හතළිහකට පෙර සිටම බොරු ඉගැන්වීම් යටපත් කරගෙන ඉදිරියටම නැඟුණු සත්‍ය ඉගැන්වීම් නමැති රළ පහර අදටත් මුළු ලෝකය පුරාම ඉතාමත් වේගයෙන් පැතිරී යනවා. ඒ යෝධ රළ පහර නතර කරන්න විරුද්ධවාදීන් උපරිමයෙන් උත්සාහ කළත් ඔවුන්ට ජය ගන්න ලැබෙන්නේ නැහැ.”

13, 14. (අ) “පණිවිඩකරු” ක්‍රිස්තුස් වෙනුවෙන් මාර්ගය සූදානම් කිරීමේ කාර්යය ඉටු කළේ කොහොමද? (ආ) බයිබල් ශිෂ්‍යයන්ගෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

13 දැන් ටිකකට මේ ගැන හිතන්න. යෙහෝවා දෙවි සහ යේසුස් කියන්නේ පුද්ගලයන් දෙන්නෙක්, අමරණීයභාවය කියන උතුම් වරප්‍රසාදය ලැබෙන්නේ දෙවි තෝරාගන්න කිහිපදෙනෙක්ට විතරයි, දෙවි වැරදි කරන අයව අපායක දාලා දුක් විඳින්න ඉඩහරින්නේ නැහැ. ඒ සත්‍ය ඉගැන්වීම් හරියට අවබෝධ කරගත්තේ නැත්නම් ක්‍රිස්තුස් පැමිණ සිටින කාලය පටන්ගද්දී ඒකට සූදානමින් ඉන්න දෙවිගේ සෙනඟට පුළුවන් වෙයිද? බැහැ. දෙවිගේ සෙනඟට සූදානමින් ඉන්න පුළුවන් වුණේ බයිබල් ශිෂ්‍යයන් ඒ සත්‍ය ඉගැන්වීම් හොඳින් පැහැදිලි කරපු නිසයි. “පණිවිඩකරු” හැටියට බයිබල් ශිෂ්‍යයන් ක්‍රිස්තුස් වෙනුවෙන් මාර්ගය සූදානම් කිරීමේ කාර්යය හොඳින්ම ඉටු කළා කියලා ඒකෙන් පැහැදිලියි.

14 අවුරුදු 100කට කලින් ජීවත් වුණු බයිබල් ශිෂ්‍යයන්ගෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද? ඒ අය කළා වගේ අපිත් උද්‍යෝගයෙන් බයිබලය අධ්‍යයනය කරන්න ඕනේ. (යොහ. 17:3) දෙවිගේ වචනයේ තියෙන දේවල් ගැන හොයලා බලන්න මේ ලෝකයේ ඉන්න මිනිසුන්ට නම් කිසිම වුවමනාවක් නැහැ. ඒ වුණත් බයිබලයේ තියෙන දේවල් ගැන තව තවත් උනන්දුවෙන් ඉගෙනගන්න අපිට තියෙන ආශාව අපි දිගටම වර්ධනය කරගමු.—1 තිමෝති 4:15 කියවන්න.

“ඇයව අත්හැර පිටතට එන්න”

15. බයිබල් ශිෂ්‍යයන් තේරුම්ගත්තේ මොනවාද? (පාදසටහනත් බලන්න.)

15 පල්ලිවලින් සම්පූර්ණයෙන්ම ඉවත් වෙන එක මොන තරම් වැදගත්ද කියලා බයිබල් ශිෂ්‍යයන් පැහැදිලි කළා. 1879 ‘මුරටැඹ’ සඟරාවක “බැබිලෝනියට අයත් පල්ලි” ගැන සඳහන් වුණා. රෙපරමාදු ආගම්වලට අයිති අය හිතුවේ බයිබලයේ සඳහන් කරලා තියෙන බැබිලෝනියෙන් සංකේතවත් වෙන්නේ රෝමානු කතෝලික සභාව කියලයි. හැබැයි ඒ ගැන හොයලා බැලුවට පස්සේ බයිබල් ශිෂ්‍යයන් තේරුම්ගත්තා ක්‍රිස්තියානියයි කියාගන්නා හැම ආගමක්ම බැබිලෝනියෙන් සංකේතවත් වෙනවා කියලා. මොකද ඒ හැමෝම මිනිසුන්ට ඉගැන්නුවේ බයිබලයට පටහැනි දේවල්.c වැඩි කාලයක් යන්න කලින් සත්‍යය දැනගන්න අවංක උනන්දුවක් තියෙන අය බැබිලෝනියට අයිති පල්ලිවලින් සම්පූර්ණයෙන්ම අයින් වෙන එක මොන තරම් වැදගත්ද කියලා අපේ ප්‍රකාශනවල පැහැදිලිවම සඳහන් වුණා.

16, 17. (අ) බොරු උගන්වන ආගම්වලින් ඉවත් වෙන එක මොන තරම් වැදගත්ද කියලා ‘සහස්‍රයේ උදාව’ කියන පොතෙත් ‘මුරටැඹ’ සඟරාවෙත් පැහැදිලි කළේ කොහොමද? (ආ) සමහර අය ඒක සැහැල්ලුවට ගත්තේ ඇයි? (පාදසටහන බලන්න.)

16 උදාහරණයකට 1891දී ‘සහස්‍රයේ උදාව’d කියන පොත් කාණ්ඩයේ 3වෙනි වෙළුමේ සඳහන් වුණු දේ බලන්න. “බැබිලෝනියට අයිති හැම පල්ලියක්ම දෙවි ප්‍රතික්ෂේප කරලයි තියෙන්නේ. පල්ලිවල, උගන්වන දේවල් සහ කරන දේවල් වැරදියි කියලා තේරුම් අරන් ඉන්න හැමෝම පල්ලිවලින් සම්පූර්ණයෙන්ම ඉවත් වෙන්න ඕනේ.”

17 සත්‍යය මොකක්ද කියලා තේරුම් අරන් හිටියත් පල්ලි සාමාජිකත්වයෙන් අයින් වෙන්නේ නැතුව නිදහසට කරුණු කියපු අයට 1900 ජනවාරි ‘මුරටැඹ’ සඟරාවේ මෙහෙම කියලා තිබුණා. “එක කකුලක් බැබිලෝනියෙත් අනිත් කකුල ඒකෙන් එළියෙත් තියාගෙන ඉන්න එක හරිද? දෙවි අපෙන් බලාපොරොත්තු වෙන්නේ ඒ විදිහේ කීකරුකමක්ද? නැහැ. කෙනෙක් පල්ලියක සාමාජිකයෙක් වෙද්දී ඒ කෙනා පල්ලියත් එක්ක ගිවිසුමකින් බැඳෙනවා. ඒ නිසා පල්ලියේ සාමාජිකයෙක් හැටියට ඉන්න තාක් කල් ඒ ගිවිසුමට එකඟව ජීවත් වෙන්න එයාට සිද්ධ වෙනවා.” ඒ කාලේ ඉඳලා අසත්‍යය උගන්වන ආගම්වලින් සම්පූර්ණයෙන්ම අයින් වෙන එක මොන තරම් වැදගත්ද කියලා දෙවිගේ සේවකයන් පැහැදිලිවම කියන්න පටන්ගත්තා.e

18. මහ බැබිලෝනියෙන් පිටතට එන එක වැදගත් වුණේ ඇයි?

18 මහ බැබිලෝනියෙන් පිටතට එන්න කියලා දිගින් දිගටම අනතුරු ඇඟෙව්වේ නැත්නම් ක්‍රිස්තුස් ස්වර්ගයේ රජ හැටියට පත් වෙද්දී මේ පොළොවේ ඔහුටම කියලා වෙන් වුණු අභිෂේක ලත් කණ්ඩායමක් ඉඳියිද? නැහැ. මහ බැබිලෝනියෙන් සම්පූර්ණයෙන්ම පිටතට ආවේ නැත්නම් යෙහෝවා දෙවි “ලබා දෙන මඟ පෙන්වීමට හා ඔහු එළිදරව් කරන සැබෑ දැනුමට එකඟව” නමස්කාර කරන්න ඒ අයට පුළුවන් වෙන්නේ නැහැ. (යොහ. 4:24) එහෙමනම් අපි ගැන කියන්න පුළුවන් මොනවාද? මහ බැබිලෝනියට සම්බන්ධ කිසිම දෙයකට හවුල් නොවී ඉන්න අපිත් අපේ උපරිමය කරනවාද? “ඇයව අත්හැර පිටතට එන්න” කියලා දෙවි දීලා තියෙන උපදෙසට අපි දිගටම කීකරු වෙමු.—එළිදරව් 18:4 කියවන්න.

නමස්කාරය වෙනුවෙන් එකට එකතු වීම

19, 20. එකට රැස් වෙන්න කියලා දෙවිගේ සේවකයන්ට ‘මුරටැඹ’ සඟරාවල දිරිගන්වලා තිබුණේ කොහොමද?

19 දෙවිගේ සේවකයන් එකට එකතු වෙලා දෙවිට නමස්කාර කරන්න ඕනෙ කියලා බයිබල් ශිෂ්‍යයන් කිව්වා. සැබෑ ක්‍රිස්තියානීන් අසත්‍යය උගන්වන ආගම්වලින් පිටතට එන එක වගේම එකට එකතු වෙලා දෙවිට නමස්කාර කරන එකත් හුඟක් වැදගත්. එහෙම කරන්න කියලා ‘මුරටැඹ’ සඟරාව මුල ඉඳලම දිරිගන්වලා තිබුණා. සහෝදර රසල් දේශන ඉදිරිපත් කරමින් ගිය සංචාරයක් ගැන 1880 ජූලි ‘මුරටැඹ’ සඟරාවේ තිබුණු ලිපිය ඒකට හොඳ උදාහරණයක්. ඒ ගමනේදී එකට එකතු වෙලා රැස්වීම් පවත්වපු එකෙන් මොන තරම් දිරිගැන්වුණාද කියලා සඳහන් කරපු රසල් රැස්වීම් පවත්වන්න කියලා ‘මුරටැඹ’ සඟරාවේ පාඨකයන්ව උනන්දු කළා. ඒ වගේම රැස්වීම්වල අලුත්ම තත්වය ගැන ලියලා එවන්න කියලත් ඒ අතරින් කිහිපයක් ‘මුරටැඹ’ සඟරාවේ පළ කරනවා කියලත් සඳහන් කළා. ඒකට හේතුව ඔහු පැහැදිලි කළේ මෙහෙමයි. “එකට එකතු වෙලා රැස්වීම් පවත්වද්දී ස්වාමීන් ඔයගොල්ලන්ට ආශීර්වාද කරලා තියෙන විදිහ ගැන හැමෝටම දැනගන්න පුළුවන් වෙයි.”

1909දී ඩෙන්මාර්කයේ කෝපන්හේර්ගන්වල බයිබල් ශිෂ්‍යයන් කණ්ඩායමක්

චාල්ස් රසල් 1909දී ඩෙන්මාර්කයේ කෝපන්හේර්ගන්වල බයිබල් ශිෂ්‍යයන් එක්ක

20 එකට රැස් වෙන එකේ වැදගත්කම ගැන 1882 ‘මුරටැඹ’ සඟරාවක මෙහෙම සඳහන් වුණා. “දිරිගැන්වීමක් ලබන්නත්, ඉගෙනගන්නත් එකට රැස් වෙන්න. ඔබ අතරේ උගත්, බුද්ධිමත් අයත් ඇති. හැබැයි හැමෝම බයිබලයක්, කොළයක් සහ පැන්සලක් අරන් එන්න. බයිබල් වචනවල සූචියක් තියෙනවා නම් ඒකත් අරන් එන්න. මුලින්ම විෂයක් තෝරගන්න. ඊටපස්සේ ඒක තේරුම්ගන්න දෙවිගේ බලය ඉල්ලලා යාච්ඤා කරන්න. තොරතුරු කියවලා ඒ ගැන හොඳට හිතන්න. බයිබල් පද එකින් එක සන්සන්දනය කරන්න. එහෙම කරද්දී ඔබට පුළුවන් වෙයි සත්‍යය මොකක්ද කියලා අවබෝධ කරගන්න.”

21. රැස්වීම් පැවැත්වීම සහ එක් එක් කෙනා ගැන සැලකිලිමත් වීම අතින් පෙන්සිල්වේනියාවේ තිබුණු සභාව හොඳ ආදර්ශයක් වුණේ කොහොමද?

21 බයිබල් ශිෂ්‍යයන්ගේ මූලස්ථානය තිබුණේ ඇමරිකා එක්සත් ජනපදයේ පෙන්සිල්වේනියාවේ ඇලගනිවලයි. එහේ හිටිය අය බයිබලයේ දීලා තියෙන මඟ පෙන්වීමට එකඟව, එකට එකතු වෙලා රැස්වීම් පැවැත්වුවා. (හෙබ්‍රෙව් 10:24, 25 කියවන්න.) ඒක අනිත් අයටත් හොඳ ආදර්ශයක් වුණා. පොඩි කාලේ ඉඳලම ඒ රැස්වීම්වලට ගිය චාල්ස් කේපන් කිව්වේ මෙහෙමයි. “සමුළු ශාලාවේ බිත්තියේ ගහලා තිබුණු මේ බයිබල් පදය මට කවදාවත් අමතක වෙන්නේ නැහැ. ‘ඔබට සිටින්නේ එකම ගුරුවරයෙක්. ඔබ සියලුදෙනාම සහෝදරයෝයි.’ යෙහෝවා දෙවිගේ සේවකයන් අතරේ පූජකයන් කියලා වෙනම කට්ටියක් නැහැ.” (මතෙ. 23:8) ඒ රැස්වීම්වලින් ලබපු දිරිගැන්වීම ගැනත් සභාවේ හිටිය එක් එක් කෙනාව මුණගැහිලා ඒ අයව දිරිගන්වන්න සහෝදර රසල් කොයි තරම් මහන්සි වුණාද කියලත් කේපන් මතක් කළා.

22. රැස්වීම් පවත්වන්න කියලා මඟ පෙන්වීම් ලැබුණාම විශ්වාසවන්ත අය කළේ මොනවාද? ඒ කාලයේදී දෙවිට විශ්වාසවන්තව හිටිය අයගෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

22 ඒ අයගේ ආදර්ශය දෙවිට විශ්වාසවන්තව හිටිය තවත් අය අනුගමනය කළා. ඒ වගේම ඔවුන් තමන්ට ලැබුණු මඟ පෙන්වීම් අදාළ කරගන්නත් අමතක කළේ නැහැ. වැඩි කාලයක් යන්න කලින් ඔහයෝ සහ මිචිගන් කියන ප්‍රාන්තවලත් මුළු උතුරු ඇමරිකාව පුරාත් සභාවන් පිහිටෙව්වා. ටිකකට මේ ගැන හිතන්න. එකට රැස් වෙන්න කියලා බයිබලයේ තිබුණු උපදෙස අනුගමනය කරන්න දෙවිගේ සෙනඟව පුහුණු කරලා තිබුණේ නැත්නම් ක්‍රිස්තුස් පැමිණ සිටින කාලය පටන්ගද්දී ඒකට සූදානමින් ඉන්න ඒ අයට පුළුවන් වෙයිද? බැහැ. ඒකෙන් අපිට ඉගෙනගන්න පුළුවන් දෙයක් තියෙනවාද? ඔව්. එකට රැස් වෙලා දෙවිට නමස්කාර කරන්නත් එකිනෙකාව දිරිගන්වන්නත් තියෙන අවස්ථාවන් අතපසු නොකරන්න අපි වගබලා ගමු.

උද්‍යෝගයෙන් ශුභාරංචිය දේශනා කිරීම

23. අභිෂේක ලත් අය අනිවාර්යයෙන්ම දේශනා සේවයේ හවුල් වෙන්න ඕනෙ කියලා ‘මුරටැඹ’සඟරාව පැහැදිලි කළේ කොහොමද?

23 අභිෂේක ලත් අය අනිවාර්යයෙන්ම ශුභාරංචිය දේශනා කරන්න ඕනෙ කියලා බයිබල් ශිෂ්‍යයන් ඉගැන්නුවා. 1885 ‘මුරටැඹ’ සඟරාවක මෙහෙම සඳහන් වුණා. “දෙවි අපිව අභිෂේක කරලා තියෙන්නේ ශුභාරංචිය ප්‍රකාශ කරන්න කියලා අපි කවදාවත් අමතක කරන්න හොඳ නැහැ. (යෙසා. 61:1) අපිව කැඳවලා තියෙන්නේ ඒ වැඩේට.” ඒ වගේම 1888 ‘මුරටැඹ’ සඟරාවක සඳහන් වුණේ මෙහෙමයි. “අපේ වගකීම මොකක්ද කියලා අපි හොඳින්ම දන්නවා. ඒ වගකීම ඉටු කරන්නේ නැතුව අපි නිදහසට කරුණු කියනවා නම් අපි හරියට කිසි කමකට නැති කම්මැළි දාසයන් වගේ. එහෙම වුණොත් අපිව අභිෂේක ලත් අය විදිහට හඳුන්වන්නත් බැහැ.”

24, 25. (අ) ශුභාරංචිය දේශනා කරන්න හැමෝවම දිරිගන්වනවාට අමතරව රසල් සහ ඔහුගේ මිතුරන් කළේ මොනවාද? (ආ) ඒ තරම් වාහන තිබුණේ නැති කාලයකදී වුණත් තමන් කරපු සේවය ගැන “කෝල්පෝටර්” කෙනෙක් කිව්වේ මොනවාද?

24 සහෝදර රසල් සහ ඔහුගේ මිතුරන් ශුභාරංචිය දේශනා කරන්න හැමෝවම දිරිගැන්නුවා විතරක් නෙවෙයි පත්‍රිකාත් ප්‍රකාශයට පත් කළා. ඊටපස්සේ ඒවා ‘මුරටැඹ’ පාඨකයන්ට දීලා කිව්වා මුදලක් අය කරන්නේ නැතුව ඒවා අනිත් අයටත් බෙදන්න කියලා.

‘මම ජීවිතයේ මුල් තැන දීලා තියෙන්නේ දේශනා සේවයටද?’

25 ඒ කාලයේ පූර්ණකාලීන දේවසේවකයන්ව හැඳින්නුවේ “කෝල්පෝටර්” කියන නමින්. කලින් සඳහන් කරපු චාල්ස් කේපන් ඒ අයගෙන් කෙනෙක්. එයා මෙහෙම කිව්වා. “පෙන්සිල්වේනියාවේ දේශනා සේවයේ යන්න තිබුණු ප්‍රදේශය හොයාගන්න මම එක්සත් ජනපදයේ භූ විද්‍යා දෙපාර්තුමේන්තුවෙන් හදලා තිබුණු සිතියම් පාවිච්චි කළා. ඒ නිසා ඕනෙම තැනකට යන විදිහ හොයාගන්න මට අමාරු වුණේ නැහැ. සමහර දවස්වලට මම දවස් තුනක්ම පයින් ඇවිදන් ගිහින් ‘ශුද්ධ ලියවිලි පිළිබඳ අධ්‍යයනය’f කියන පොත් ගන්න කැමති අයගේ නම් ලියාගත්තා. ඊටපස්සේ මම අශ්ව කරත්තයක් කුලියට අරගෙන පොත් ඉල්ලපු අයට ඒවා ගිහින් දුන්නා. ඒ කාලේ අද තරම් වාහන තිබුණේ නැහැ. හුඟක් වෙලාවට මම රෑට නතර වුණේ ගොවිපොළවල්වල.”

අශ්ව කරත්තයක් අසල සිටින “කෝල්පෝටර්” කෙනෙක්

“කෝල්පෝටර්” කෙනෙක්. “කාල වකවානු ගැන සටහන” කරත්තේ පැත්තක ඇඳලා තියෙනවා

26. (අ) ක්‍රිස්තුස් පැමිණ සිටින කාලය පටන්ගද්දී ඒකට සූදානමින් ඉන්න නම් දෙවිගේ සේවකයන් දේශනා සේවයේ හවුල් වෙන එක හුඟක් වැදගත් වුණේ ඇයි? (ආ) අපි හිතලා බලන්න ඕනෙ මොන ප්‍රශ්න ගැනද?

26 ඒ වගේ කාලෙක ශුභාරංචිය දේශනා කරන්න නම් නිර්භීතකමත් උද්‍යෝගයත් තියෙන්නම ඕනේ. දේශනා සේවයේ වැදගත්කම ගැන සැබෑ ක්‍රිස්තියානීන්ට කාවද්දලා තිබුණේ නැත්නම් ක්‍රිස්තුස් පැමිණ සිටින කාලය පටන්ගද්දී ඒකට සූදානමින් ඉන්න ඒ අයට පුළුවන් වෙයිද? බැහැ. මොකද ක්‍රිස්තුස් පැමිණ සිටින කාලයේදී සිද්ධ වෙන කැපීපෙනෙන අංගයක් තමයි දේශනා සේවය. (මතෙ. 24:14) ඒ නිසා මිනිසුන්ගේ ජීවිත ගලවන ඒ වැඩේට මුල් තැන දෙන්න දෙවිගේ සේවකයන් සූදානමින් ඉන්න එක හුඟක් වැදගත් වුණා. දැන් මේ ගැන හිතන්න. ‘මම ජීවිතයේ මුල් තැන දීලා තියෙන්නේ දේශනා සේවයටද? ඒ සේවය සම්පූර්ණයෙන්ම ඉටු කරන්න මම කැප කිරීම් කරනවාද?’

දෙවිගේ රාජ්‍යය පිහිටුවීම

27, 28. යොහන් දර්ශනයකින් දැක්කේ මොනවාද? දෙවිගේ රාජ්‍යය පිහිටුවපු අවස්ථාවේදී සාතන් සහ ඔහුගේ භූතයන් කළේ මොනවාද?

27 දෙවිගේ සේවකයන් ආශාවෙන් බලන් හිටිය ඒ විශේෂ වසර උදා වුණා. මේ පරිච්ඡේදයේ මුලදී සඳහන් කරපු විදිහට 1914දී ස්වර්ගයේ වුණු ඒ වැදගත් සිද්ධිය කිසිම මිනිසෙක් දැක්කේ නැහැ. හැබැයි යොහන් ඒ ගැන දර්ශනයක් දැක්කා. ඔහු දැක්කේ ස්වර්ගයේ “මහත් ලකුණක්.” දෙවිගේ “ස්ත්‍රිය” ගැබ්ගෙන පුතෙකු බිහි කළා. (“ස්ත්‍රියගෙන්” නියෝජනය වෙන්නේ දෙවිගේ සංවිධානයේ ස්වර්ගයේ තියෙන කොටස) “ඔහු යකඩ දණ්ඩකින් සියලු ජාතීන්ව පාලනය කිරීමට නියමිත කෙනෙකි. ඇගේ දරුවා දෙවි වෙතටත් ඔහුගේ සිංහාසනය වෙතටත් ඔසවාගනු ලැබුවා.” දර්ශනය අවසානයේදී ස්වර්ගයෙන් ඇහුණු මහත් හඬකින් කියපු මේ දේත් යොහන්ට ඇහුණා. “බලන්න, අපගේ දෙවි මිනිසුන්ට ගැලවීම ලබා දී ඇත. ඔහුගේ බලය තහවුරු වී ඇත. ඔහුගේ රාජ්‍යයද පිහිටුවා හමාරය. ඔහුගේ ක්‍රිස්තුස්ගේ බලය මෙතැන් සිට ක්‍රියාත්මක වේ.”—එළි. 12:1, 5, 10.

28 යොහන් ඒ දර්ශනයෙන් දැක්කේ දෙවිගේ රාජ්‍යය ස්වර්ගයේ පිහිටුවපු විදිහ. ඒක හරිම විශේෂ අවස්ථාවක්. හැබැයි සාතන් ඒ ගැන පොඩ්ඩක්වත් සතුටු වුණේ නැහැ. ඒ නිසා ඔහු භූතයන් එක්ක මිකායෙල් (ක්‍රිස්තුස්) සහ අනිත් දේවදූතයන්ට විරුද්ධව සටනට ගියා. ඊටපස්සේ වුණු දේ ගැන බයිබලයේ තියෙන්නේ මෙහෙමයි. “ඒ මහත් මකරාව පහතට හෙළනු ලැබුවේය. ඒ මකරා නම් යක්ෂයා කියාද සාතන් කියාද හඳුන්වන මුළු පොළොවම නොමඟ යවන මුල් සර්පයාය. ඔහුව පොළොවට හෙළන ලදි. ඔහුගේ දූතයෝද ඔහු සමඟ පහතට හෙළනු ලැබුවෝය.”—එළි. 12:7, 9.

දෙවිගේ රාජ්‍යයේ රජු ලෙස ක්‍රිස්තුස් පැමිණ සිටීම

1914දී ක්‍රිස්තුස් පැමිණ සිටින කාලය ආරම්භ වුණා කියලා බයිබල් ශිෂ්‍යයන් තේරුම්ගත්තා

29, 30. (අ) දෙවිගේ රාජ්‍යය පිහිටුවීමත් එක්කම පොළොවේ තත්වය වෙනස් වුණේ කොහොමද? (ආ) දෙවිගේ රාජ්‍යය පිහිටුවීමත් එක්කම ස්වර්ගයේ තත්වය වෙනස් වුණේ කොහොමද?

29 බයිබල් ශිෂ්‍යයන් පැහැදිලිවම කියලා තිබුණා 1914 ඉඳන් භයානක කාලයක් උදා වෙනවා කියලා. ඒක අකුරටම ඉටු වෙද්දී ඔවුන්ට කොහොම හැඟෙන්න ඇද්ද! ස්වර්ගයේ ඇති වුණු යුද්ධයෙන් පස්සේ වෙන දේ ගැන යොහන් කිව්වේ මෙහෙමයි. “පොළොවටත් මුහුදටත් මොන තරම් දරුණු විපතකට මුහුණ දෙන්න සිදු වේද! මන්ද තමාට ඉතුරු වී ඇත්තේ ඉතා කෙටි කාල පරිච්ඡේදයක් බව දැන සිටින යක්ෂයා, මහත් කෝපයෙන් ඔබ වෙතට බැස ඇවිත් සිටියි.” (එළි. 12:12) 1914දී පළවෙනි ලෝක මහා යුද්ධය පටන්ගත්තා. ඒත් එක්කම ලොව පුරාම සිද්ධ වුණු දේවලින් දෙවිගේ රාජ්‍යයේ රජු වන ක්‍රිස්තුස් පැමිණ සිටින කාලය හඳුනාගන්න දීපු ලකුණ ඉටු වෙන්න පටන්ගත්තා. එදා ඉඳන් මේ සමාජයේ “අවසාන කාලය” ආරම්භ වුණා.—2 තිමෝ. 3:1.

30 සාතන්වයි භූතයන්වයි පොළොවට දැම්මාට පස්සේ ස්වර්ගයට ප්‍රීතිමත් කාලයක් උදා වුණා. “ස්වර්ගයද එහි වාසය කරන සියල්ලන්ද ප්‍රීති වන්න!” කියලා යොහන්ගේ වාර්තාවේ සඳහන් වෙන්නේ ඒ නිසයි. (එළි. 12:12) දෙවිට විරුද්ධව කැරලිගහන්න කිසිම කෙනෙක් ඉතුරු වුණේ නැති නිසා ස්වර්ගය පවිත්‍ර වුණා. ඊටපස්සේ දෙවිගේ රාජ්‍යයේ රජු වන යේසුස් මුළු අවධානයම යොමු කළේ පොළොවේ හිටිය දෙවිගේ සේවකයන්ට. මේ පරිච්ඡේදයේ මුලදී සඳහන් වුණු විදිහට “ගිවිසුමට සම්බන්ධ දූතයා” වන ක්‍රිස්තුස් මුලින්ම කළේ දෙවිගේ සේවකයන්ව පවිත්‍ර කරන එක. ඔහු ඒක කළේ කොහොමද?

විශ්වාසය සෝදිසියට ලක් වුණු කාලයක්

31. දෙවිගේ සේවකයන්ව පවිත්‍ර කරන කාලය ගැන මලාකි කලින්ම කිව්වේ මොනවාද? ඒක ඉටු වුණේ කොහොමද? (පාදසටහනත් බලන්න.)

31 දෙවිගේ සේවකයන්ව පවිත්‍ර කරද්දී ඒක ඒ අයට ලෙහෙසි දෙයක් වෙන්නේ නැහැ කියලා මලාකි කලින්ම කියලා තිබුණා. මලාකි ඒ ගැන කිව්වේ මෙහෙමයි. “ඔහු පැමිණෙන දවසේදී විඳදරාගනිමින් ස්ථිරව සිටිය හැක්කේ කාටද? මන්ද ඔහු ලෝහ පිරිසිදු කරන ගින්නක් මෙන්ද රෙදි සේදීමට භාවිත කරන සබන් මෙන්ද ක්‍රියා කරනු ඇත.” (මලා. 3:2) 1914 ඉඳන් සිද්ධ වෙලා තියෙන දේවල් දිහා බලද්දී මලාකි කියපු ඒ දේ මොන තරම් ඇත්තක්ද කියලා පැහැදිලි වෙනවා. පළවෙනි ලෝක මහා යුද්ධය පටන්ගත්තාට පස්සේ බයිබල් ශිෂ්‍යයන් දරුණු පීඩාවලට මුහුණ දුන්නා. සමහර අයව හිරේටත් දැම්මා.g

32. 1916න් පස්සේ සංවිධානය ඇතුළේ සිද්ධ වුණේ මොනවාද?

32 සංවිධානය ඇතුළෙත් ප්‍රශ්න පටන්ගත්තා. 1916දී සහෝදර රසල් මැරුණාම බයිබල් ශිෂ්‍යයන්ට ඒක ලොකු කම්පනයක් වුණා. එතකොට එයාට අවුරුදු 64යි. රසල්ගේ මරණයත් එක්කම තේරුණා සමහර අය එයාව සැලකුවේ දෙවි කෙනෙක්ට වගේ කියලා. හැබැයි සහෝදර රසල් කවදාවත් ඒ වගේ දෙයක් බලාපොරොත්තු වුණේ නැහැ. සමහර අය හිතුවා රසල් මැරුණාට පස්සේ සත්‍යය එළිදරව් වෙන එකත් නතර වෙයි කියලා. තවත් අය සංවිධානයත් එක්ක ඉදිරියට යන්න කැමති වුණේ නැහැ. ඒ අය කැරලිගහන්නත් පටන්ගත්තා. ප්‍රතිඵලයක් විදිහට සංවිධානය ඇතුළෙම බෙදීම් ඇති වුණා.

33. දෙවිගේ සේවකයන්ගේ බලාපොරොත්තු ඉටු නොවුණු නිසා ඒ අතිනුත් ඔවුන්ව සෝදිසියට ලක් වුණේ කොහොමද?

33 දෙවිගේ සේවකයන්ගේ බලාපොරොත්තු සුන් වුණු නිසා ඒ අතිනුත් ඔවුන්ව සෝදිසියට ලක් වුණා. 1914දී වෙනත් ජාතීන්ගේ පාලනය අවසන් වෙනවා කියලා ‘මුරටැඹ’ සඟරාවේ කියලා තිබුණත් ඒ අවුරුද්දේ හරියටම වෙන්නේ මොනවාද කියලා සහෝදරයන්ට අවබෝධයක් තිබුණේ නැහැ. (ලූක් 21:24) ඒ අය හිතාගෙන හිටියේ 1914දී ක්‍රිස්තුස් අභිෂේක ලත් අයව දෙවිගේ රාජ්‍යයේ පාලකයන් හැටියට ස්වර්ගයට ගනියි කියලයි. හැබැයි එහෙම වුණේ නැහැ. 1917 ‘මුරටැඹ’ සඟරාවක සඳහන් වුණා අවුරුදු 40ක අස්වැන්න කපන කාලය 1918දී අවසන් වෙනවා කියලා. ඒත් දේශනා සේවය අවුරුදු 40කින් නතර වුණේ නැහැ. අස්වැන්න කපන කාලය අවසන් වුණත් අස්වැන්න එකතු කරන කාලය තවමත් අවසන් වෙලා නැහැ කියලා ‘මුරටැඹ’ සඟරාවේ සඳහන් වුණේ ඒ නිසයි. ඒ වුණත් තමන්ගේ බලාපොරොත්තු ඉටු නොවුණු එක ගැන අධෛර්යය වුණු හුඟක් අය යෙහෝවා දෙවිට සේවය කරන එක නතර කළා.

34. 1918දී සිද්ධ වුණේ මොනවාද? බයිබල් ශිෂ්‍යයන් මුළු ලෝකයෙන්ම තුරන් වෙලා යයි කියලා ක්‍රිස්තියානියයි කියාගත්ත පූජකයන් හිතුවේ ඇයි?

34 1918දී බයිබල් ශිෂ්‍යයන් තවත් දරුණු අභියෝගයකට මුහුණ දුන්නා. සී. ටී. රසල් වෙනුවට මූලිකත්වය අරගෙන වැඩ කරපු ජේ. එෆ්. රදෆර්ඩ්වත් තවත් සහෝදරයන් 7දෙනෙකුවත් බොරු චෝදනා පිට දිගු කාලයකට හිර දඬුවම් නියම කරලා ජෝර්ජියාවේ ඇට්ලන්ටාවල හිර කඳවුරකට දැම්මා. බැලූ බැල්මට පෙනුණේ දෙවිගේ සේවකයන්ගේ වැඩකටයුතු නතර වෙලා කියලයි. මූලස්ථානය වහලා, මූලිකත්වය අරගෙන වැඩ කරපු අයව හිරේ දාලා, ඇමරිකාවේ සහ යුරෝපයේ දේශනා සේවයට තහංචි පනවලා. ඒ නිසා ආයේ කවදාවත් බයිබල් ශිෂ්‍යයන්ට ඔළුව උස්සන්න බැරි වෙයි කියලා හිතපු පූජකයන් ඒ ගැන හුඟක් සතුටු වුණා. ඒ අය හිතුවේ බයිබල් ශිෂ්‍යයන් මුළු ලෝකයෙන්ම තුරන් වෙලා යයි කියලයි. (එළි. 11:3, 7-10) ඒත් ඒක එහෙම වුණේ නැහැ.

සේවය ආයෙත් පටන්ගත්තා

35. යේසුස් තම සේවකයන්ට ඒ තරම් පීඩාවලට මුහුණ දෙන්න ඉඩහැරියේ ඇයි? යේසුස් ඒ අයට උදව් කළේ කොහොමද?

35 යෙහෝවා දෙවි “රිදී උණු කර පවිත්‍ර තත්වයකට පත් වන තුරු ඒ දෙස බලා සිටින රන්කරුවෙකු” වගේ ක්‍රියා කළා. (මලා. 3:3) තම සෙනඟට පීඩාවලට මුහුණ දෙන්න යේසුස් ඉඩහැරියේ ඒ නිසයි. ඒ විශ්වාසවන්ත සේවකයන් හුඟක් පීඩාවලට මුහුණ දුන්නාට පස්සේ කලින් හිටියට වඩා පවිත්‍ර වෙනවා කියලත්, දෙවිගේ රාජ්‍යයේ රජු වෙනුවෙන් සේවය කරන්න වඩාත් සුදුසු තත්වයකට පත් වෙනවා කියලත් යෙහෝවා දෙවි සහ යේසුස් හොඳින්ම දැනගෙන හිටියා. හැබැයි දෙවිගේ සෙනඟට පීඩා කරපු අය ඒ කිසිම දෙයක් දැනගෙන හිටියේ නැහැ. දෙවිගේ සෙනඟට ආපහු කවදාවත් ඔළුව උස්සන්න බැරි වෙයි කියලා සතුරන් හිතුවත් දෙවිගේ බලයේ උපකාරයෙන් ඔවුන් ආයෙත් සේවය පටන්ගත්තා. 1919 ඉඳන් සිද්ධ වෙලා තියෙන දේවලින් ඒක හොඳින්ම පැහැදිලි වෙනවා. (එළි. 11:11) ඒ කාලයේදී ක්‍රිස්තුස් අවසාන කාල පරිච්ඡේදය හඳුනාගන්න දීලා තිබුණු අනාවැකියට අයත් තවත් දෙයක් ඉටු කළා. ඔහු අභිෂේක ලත් කිහිපදෙනෙක්ව “විශ්වාසවන්ත නුවණ ඇති දාසයා” විදිහට පත් කළා. ඒ අය නියමිත වෙලාවට අවශ්‍ය පෝෂණය දෙවිගේ සෙනඟට දෙන්න මුල් වෙලා කටයුතු කරනවා.—මතෙ. 24:45-47.

මුල්ම රාජ්‍ය සේවාවේ සහ මුල්ම පිබිදෙව්! සඟරාවේ කවර

36. දෙවිගේ සෙනඟ ආයෙත් ක්‍රියාත්මක වුණා කියලා කියන්න පුළුවන් ඇයි?

36 නොහිතපු විදිහට සහෝදර රදෆර්ඩ්ව සහ ඔහුගේ මිතුරන්ව 1919 මාර්තු 26වෙනිදා හිරෙන් නිදහස් කළා. ඒ නිසා සැප්තැම්බර් මාසයේ සමුළුවක් පවත්වන්නත් වැඩකටයුතු සූදානම් කරන්න පටන්ගත්තා. ඒ අවුරුද්දේම තමයි ‘මුරටැඹ’ සඟරාවට අමතරව ‘පිබිදෙව්!’ සඟරාවත් ප්‍රකාශයට පත් කරන්න පටන්ගත්තේ. එදා ඒ සඟරාව හැඳින්නුවේ ‘රන්වන් යුගය’ (“ද ගෝල්ඩන් ඒජ්”) කියලයි. ඒක මූලිකවම පාවිච්චි කළේ දේශනා සේවයට.h ඒකට අමතරව උද්‍යෝගයෙන් දේශනා සේවයට හවුල් වෙන්න උදව් වෙන තොරතුරු සඳහන් වෙන “බුලටින්” විදිහට එදා හඳුන්වපු ‘ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත’ ප්‍රකාශයට පත් කරන්න පටන්ගත්තා. වෙන කවරදාටත් වඩා 1919 ඉඳන් ගෙයින් ගෙට සේවයට වැඩි අවධානයක් දීලා තියෙනවා කියලා ඒ හැම දේකින්ම පැහැදිලි වෙනවා.

37. සමහර අය 1919න් පස්සේ දෙවිගේ සෙනඟට ද්‍රෝහි වුණේ කොහොමද?

37 දේශනා සේවයෙන් ක්‍රිස්තුස්ගේ සේවකයන්ව තවත් පවිත්‍ර වුණා. ඒ කොහොමද? තමන් ගැන වුවමනාවට වඩා හිතපු උඩඟු අය දේශනා සේවයේ යන්න කැමති වුණේ නැහැ. මූලිකත්වය අරන් වැඩ කරපු සහෝදරයන්ට සහාය වෙනවා වෙනුවට ඒ අය හිතුමතේට දේවල් කරන්න පටන්ගත්තා. 1919න් පස්සේ ඒක හොඳින්ම පැහැදිලි වුණා. සමහර අය දෙවිගේ විශ්වාසවන්ත සේවකයන්ට නින්දා අපහාස කරන්න පුළුවන් හැම දේම කළා, දෙවිගේ සෙනඟට පීඩා කරපු අය එක්ක එකතු වුණා.

38. දෙවිගේ සේවකයන් ලබලා තියෙන දියුණුව දිහා බලද්දී පැහැදිලි වෙන්නේ මොනවාද?

38 කොයි තරම් පීඩා ප්‍රශ්නවලට මුහුණ දෙන්න සිද්ධ වුණත් ක්‍රිස්තුස්ගේ අනුගාමිකයන් දෙවිට විශ්වාසවන්තව හිටියා. දෙවි එක්ක තිබුණු මිත්‍රත්වය තවත් ශක්තිමත් වුණා. ඒ කාලේ ඉඳන් ඒ අය ලබලා තියෙන දියුණුව දිහා බලනකොට දෙවිගේ රාජ්‍යයේ පාලනය දැන් ඇරඹිලා කියලා අපිට පැහැදිලියි. සාතන්ගෙනුත් මේ දුෂ්ට සමාජයෙනුත් මොන තරම් විරුද්ධවාදීකම් ආවත් නොසැලී ඉන්න ඒ පුංචි කණ්ඩායමට පුළුවන් වුණේ යෙහෝවා දෙවි ඔහුගේ රාජ්‍යය සහ පුත්‍රයා මාර්ගයෙන් ඒ අයට මඟ පෙන්වීම් දීලා, ආශීර්වාද කරපු නිසයි.—යෙසායා 54:17 කියවන්න.

ජේ. එෆ් රදෆර්ඩ් 1919දී බයිබල් ශිෂ්‍යයන් පවත්වපු සමුළුවක දේශනයක් ඉදිරිපත් කරමින්

හිරෙන් නිදහස් වෙලා මාස කිහිපයකට පස්සේ සමුළුවක කතාවක් ඉදිරිපත් කරන සහෝදර රදෆර්ඩ්

39, 40. (අ) මේ පොත සකස් කරලා තියෙන්නේ කොහොමද? (ආ) ඒ තොරතුරු අපිට ප්‍රයෝජනවත් වෙන්නේ කොහොමද?

39 මේ පොතේ එක් එක් කොටසින් පැහැදිලි කරලා තියෙන්නේ දෙවිගේ රාජ්‍යයට සම්බන්ධව මේ පොළොවේ සිද්ධ වෙන විවිධ කාර්යයන් ගැනයි. දෙවිගේ රාජ්‍යය ස්වර්ගයේ පිහිටෙව්වාට පස්සේ ඒ රාජ්‍යය මාර්ගයෙන් පොළොවේ ඉටු කරලා තියෙන දේවල් ගැන ඉදිරි පරිච්ඡේදවල සඳහන් වෙනවා. හැම පරිච්ඡේදයකම අන්තිමට ප්‍රශ්න කිහිපයක් සඳහන් කොටුවක් තියෙනවා. ඒවා සකස් කරලා තියෙන්නේ දෙවිගේ රාජ්‍යය ඇත්ත ආණ්ඩුවක් විදිහට සලකනවාද කියලා හිතලා බලන්න ඔබට උදව් කරන්නයි. ළඟදීම දෙවිගේ රාජ්‍යය මේ දුෂ්ට සමාජය විනාශ කරලා මුළු පොළොවම පාරාදීසයක් කරන කාලයේදී අපිට මොන වගේ දේවල් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද කියලා මේ පොතේ අන්තිම පරිච්ඡේදවලින් තේරුම්ගන්න පුළුවන්. මේ තොරතුරු ඉගෙනගන්න එක අපි එක් එක් කෙනාට ප්‍රයෝජනවත් වෙන්නේ කොහොමද?

40 දෙවිගේ රාජ්‍යය ගැන අපේ විශ්වාසය නැති කරන්න සාතන් පුළුවන් හැම දේම කරනවා. ඒත් ඒ රාජ්‍යය ගැන අපිට තියෙන විශ්වාසය ශක්තිමත් කරගන්න ඕන කරන දේවල් යෙහෝවා දෙවි අපිට දෙනවා. මොකද දෙවි හොඳින්ම දන්නවා ඒ විශ්වාසය අපිට ආරක්ෂාවක් කියලා. (එෆී. 6:16) ඒ නිසා මේ පොතේ හැම පරිච්ඡේදයක්ම හොඳින් කියවලා තේරුම්ගන්න කියලා අපි ඔබට ආරාධනා කරන්න කැමතියි. ඒ දේ කරන්න දෙවිගෙන් උපකාර ඉල්ලන්න අමතක කරන්න එපා. නිතරම මේ ප්‍රශ්නය ගැන කල්පනා කරන්න. ‘මම දෙවිගේ රාජ්‍යය ඇත්ත ආණ්ඩුවක් විදිහට සලකනවාද?’ දැන් ඉඳලම දෙවිගේ රාජ්‍යය සැබෑ දෙයක් විදිහට සලකනවා නම් අනාගතයේදී ඒ රාජ්‍යය මේ පොළොව පාලනය කරද්දී ඒ රාජ්‍යයට සහාය වෙමින් ජීවත් වෙන්න ඔබටත් පුළුවන් වෙයි.

a හෙන්රි ගෲ, ජෝර්ජ් ස්ටෙට්සන් සහ ජෝර්ජ් ස්ටෝර්ස් ගැන තවත් දැනගන්න 2000 ඔක්තෝබර් 15 ‘මුරටැඹ’ සඟරාවේ 25-30 පිටු සහ Jehovah’s Witnesses—Proclaimers of God’s Kingdom පොතේ 45-46 පිටු බලන්න.

b 1879දී මේ සඟරාව හැඳින්නුවේ “සයන්ස් වොච් ටවර් ඇන්ඩ් හෙරල්ඩ් ඔෆ් ක්‍රයිස්ට්ස් ප්‍රෙසන්ස්” කියලයි. ඒ සඟරාවේ නම විටින් විට වෙනස් වෙලා තිබුණත් දැන් ඒක හඳුන්වන්නේ “වොච්ටවර්” කියලයි. ඒ සඟරාව සිංහලෙන් හඳුන්වන්නේ ‘මුරටැඹ’ කියන නමින් නිසා මේ පොත පුරාම පාවිච්චි කරන්නේ ඒ නමයි.

c අසත්‍යය උගන්වන ආගම්වලින් සම්පූර්ණයෙන්ම අයින් වෙන්න ඕනෙ කියලා බයිබල් ශිෂ්‍යයන් දැනගෙන හිටියා. ඒත් යේසුස්ගේ ජීවිත පූජාව විශ්වාස කරනවා කියලත් දෙවිට කැප වෙලා ඉන්නවා කියලත් කියපු අනිත් ආගම්වල අයව අවුරුදු ගාණක් යන කල්ම ක්‍රිස්තියානි සහෝදරයන් විදිහට සැලකුවා.

d ඉංග්‍රීසියෙන්.

e ඒ කාලේ දීපු පැහැදිලි මඟ පෙන්වීම් හුඟක් අය සැහැල්ලුවට ගත්තේ ඒවා 1,44,000දෙනාට විතරක් අදාළ වෙනවා කියලා හිතපු නිසයි. 1935ට කලින් බයිබල් ශිෂ්‍යයන් හිතුවේ එළිදරව් 7:9, 10 සඳහන් වෙලා තියෙන “මහත් සමූහයට” ක්‍රිස්තියානියයි කියාගන්නා ආගම්වල බොහෝදෙනෙක් අයිති වෙනවා කියලයි. ඒ අය ස්වර්ගයට ගියත් ඔවුන් 1,44,000දෙනා තරම් වටින්නේ නැහැ කියලත් ඒ අය හිතුවා. ඒ ගැන මේ පොතේ 5වෙනි පරිච්ඡේදයේ තවත් විස්තර සඳහන් වෙනවා.

f ඉංග්‍රීසියෙන්

g කැනඩාවේ, එංගලන්තයේ, ජර්මනියේ සහ ඇමරිකාවේ අපේ සහෝදරයන් යුද්ධය තිබුණු කාලයේදී මුහුණ දීපු දරුණු පීඩා ගැන සඳහන් කරලා 1920 සැප්තැම්බර් මාසයේ ‘පිබිදෙව්!’ (“ද ගෝල්ඩන් ඒජ්”) සඟරාවේ විශේෂ කලාපයක් නිකුත් කළා. පළවෙනි ලෝක මහා යුද්ධයට කලින් ඒ වගේ දරුණු පීඩා ගැන අහන්න ලැබුණේ හරිම කලාතුරකින්.

h අවුරුදු ගාණක් යන කල්ම ‘මුරටැඹ’ සඟරාවේ මූලිකවම සඳහන් වුණේ අභිෂේක ලත් අයට ප්‍රයෝජනවත් වෙන තොරතුරු විතරයි.

දෙවිගේ රාජ්‍යය ඇත්තක් කියලා ඔබට විශ්වාසද?

  • දෙවිගේ රාජ්‍යය ස්වර්ගයේ පිහිටුවන්න කලින් යේසුස්ගේ අනුගාමිකයන්ව ඒ දේට සූදානම් කළේ කවුද?

  • දෙවිගේ රාජ්‍යයේ පාලනයට සැබෑ ක්‍රිස්තියානීන්ව සූදානම් කළේ කොහොමද?

  • දෙවිගේ රාජ්‍යය සැබෑ ආණ්ඩුවක් කියලා කියන්න තියෙන හේතු මොනවාද? (“දෙවිගේ රාජ්‍යය - සැබෑ ආණ්ඩුවක්” යන කොටුව බලන්න.)

  • දෙවිගේ රාජ්‍යයට සහාය දීම ගැන බයිබල් ශිෂ්‍යයන්ගෙන් ඉගෙනගන්න පුළුවන් මොනවාද?

දෙවිගේ රාජ්‍යය - සැබෑ ආණ්ඩුවක්

දෙවිගේ රාජ්‍යය සැබෑ ආණ්ඩුවක්ද? ඒක තේරුම්ගන්න මුලින්ම දෙවිගේ රාජ්‍යයේ තියෙන මූලික ලක්ෂණ කිහිපයක් අපි බලමු. ‘දෙවිගේ රාජ්‍යය සැබෑ ආණ්ඩුවක් කියලා තේරුම්ගන්න ඒ ලක්ෂණ උදව් වෙන්නේ කොහොමද’ කියලා හිතලා බලන්න.

  • සිංහාසනයේ සිටින රජෙක්

    පාලකයෙක්

    1914දී රජ වුණු යේසුස් ක්‍රිස්තුස් බලවත්, යුක්තිගරුක, ප්‍රඥාවන්ත, දයානුකම්පිත කෙනෙක්. ඔහු යෙහෝවා දෙවිට යටත්ව ඉන්නවා. (යෙසා. 9:6, 7; 11:1-3) බෙදුණු පාර්ලිමේන්තු, තමන්ට ඕන දේ කරගන්න අනිත් අයව පොලඹවන අය සහ යම් දේවල් වෙනුවෙන් නැඟී ඉන්න කණ්ඩායම් නිසා මිනිස් පාලකයන් ප්‍රශ්න අද්දකිනවා. ඒත් ක්‍රිස්තුස් පාලනය කරද්දී ඒ වගේ ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ. ඔහුව වරදට පොලඹවන්න කාටවත්ම බැහැ.

  • නීති පැනවීමේ සහ විනිශ්චය කිරීමේ බලතල

    යේසුස්ගේ ආදර්ශය පරිපූර්ණ නීතියකට පදනමක් සැපයුවා. ඒ තමයි “ක්‍රිස්තුස්ගේ නීතිය.”—ගලා. 6:2; 1 පේතෘ. 2:21.

    යෙහෝවා දෙවි විනිශ්චය කිරීමේ සම්පූර්ණ බලතල යේසුස්ට පවරලා තියෙනවා. (යොහ. 5:22) යේසුස් තරම් දක්ෂ විදිහට විනිශ්චය කරන්න කිසිම මිනිසෙකුට බැහැ.

  • හවුල් පාලකයන්

    පරිපාලකයන්

    ඉදිරියේදී යේසුස් එක්ක හවුල් වෙලා මුළු පොළොවම ධර්මිෂ්ඨකමින් පාලනය කරන්න තවත් 1,44,000දෙනෙක් හවුල් වෙනවා. මිනිසුන්ව දෙවි එක්ක සමාදාන කරන එක යේසුස්ගේ පාලනයේ මූලික අරමුණක් නිසා ඔහුත් එක්ක පාලනයට හවුල් වෙන අය පූජකයන් විදිහටත් සේවය කරනවා.—එළි. 14:1; 20:6.

  • කඩු අතැතිව සිටින බලවත් දේවදූතයන්

    බලවත් සේනාවක්

    යෙහෝවා දෙවි යටතේ ඉන්න බලවත් දේවදූත සේනාවේ නායකයා යේසුස්. ඒ තරම් බලවත් සේනාවක් තවත් නැහැ. ළඟදීම ඒ බලවත් සේනාව දුෂ්ටකම නිමා කරනවා.—ගීතා. 45:1, 3-5; එළි. 19:11, 14-16.

  • පාලන මධ්‍යස්ථානයක්

    යේසුස්ගේ සිංහාසනය තියෙන්නේ ස්වර්ගයේ, ඔහුගේ පියාණන් අසලමයි. ස්වර්ගය හඳුන්වලා තියෙන්නේ යෙහෝවා දෙවිගේ “තේජසින් පිරි ශුද්ධ වාසස්ථානය” කියලා. (යෙසා. 63:15) ඒක ඇත්ත තැනක්ද? ඔව්. ඕනෙම ආණ්ඩුවක තියෙන අගනුවරකට හෝ ගොඩනැඟිල්ලකට වඩා ඒක ශ්‍රේෂ්ඨයි. මොකද ඒක කවදාවත් විනාශ වෙන්නේ නැහැ.—මතෙ. 6:20.

  • පොළොව

    පාලනය කරන්න ප්‍රදේශයක්

    යේසුස්ගේ යටත්වැසියන් වන අපි හැමෝටම දෙවි රටක් හා සමාන සංවිධානයක් දීලා තියෙනවා. ඒ සංවිධානයේ සාමාජිකයන් හැටියට අපේ රජු වන ක්‍රිස්තුස්ගේ කැමැත්ත ඉටු කරන්න අපිට පුළුවන්. (යෙසා. 60:2; 66:8) ළඟදීම ඔහුගේ රාජ්‍යය මුළු පොළොවම පාලනය කරන්න පටන්ගන්නවා.—ගීතා. 72:8.

  • ඉදිරි සැලසුම්

    මේ දේවලට අමතරව දෙවි දීලා තියෙන අනිත් හැම පොරොන්දුවක්ම ඉටු වෙන්නේ දෙවිගේ රාජ්‍යය මාර්ගයෙනුයි.—ගීතා. 72:16; යෙසා. 2:3; 33:24; 35:6; 65:21.

    • නිරෝගී දැරියක්

      නිරෝගී සෞඛ්‍යය

    • ලස්සන නිවසක්

      නිවාස

    • මිනිසෙක් ඉදි කිරීම් වැඩවල යෙදෙමින්

      කෑම බීම

    • නැවුම් එළවළු සහ පලතුරු

      අධ්‍යාපනය

    • මිනිසෙක් අධ්‍යයනය කරමින්

      තෘප්තිමත් වැඩ

  • යටත්වැසියන්

    බයිබලයේ මෙහෙම සඳහන් වෙනවා. “රජෙකු යටතේ බොහෝ පුරවැසියන් සිටින්නේ නම් ඔහුට මහත් ගෞරවයක් හිමි වෙයි. එහෙත් යටත්වැසියන් අඩු වූ විට පාලකයෙකුගේ බලය බිඳ වැටෙයි.” (හිතෝ. 14:28) දැනට දෙවිගේ රාජ්‍යයට පක්ෂපාත යටත්වැසියන් මිලියන හතහමාරකටත් වඩා ඉන්නවා.—ගීතා. 72:8; යෙසා. 60:22.

    විවිධ ජාතීන්ට අයිති මිනිසුන්

දෙවිගේ රාජ්‍යය පිහිටුවන්න කලින් ඊට සූදානම් වීම

දෙවිගේ රාජ්‍යය පිහිටුවන්න කලින් දෙවිගේ සෙනඟව ඒකට සූදානම් කරලා තියෙන්නේ කොහොමද? ඒක තේරුම්ගන්න 1914ට කලින් සිද්ධ වුණු වැදගත් දේවල් කිහිපයක් ගැන බලමු.

  1. 1850 ගණන්වල

    හෙන්රි ගෲ, ජෝර්ජ් ස්ටෙට්සන් සහ ජෝර්ජ් ස්ටෝර්ස් බයිබලය අධ්‍යයනය කරලා අමරණීය ආත්මය කියන ඉගැන්වීම බොරුවක් කියලා හෙළි කළා

  2. 1868 හෝ 1869

    පල්ලිවල උගන්වන දේවල් ගැන අධ්‍යයනය කළාට පස්සේ චාල්ස් ටී. රසල් ඒ දේවල් බයිබලයට පටහැනියි කියලා තේරුම්ගත්තා. දුර්වල වෙලා තිබුණු රසල්ගේ විශ්වාසය ශක්තිමත් කරගන්න ඇඩ්වෙන්ටිස්ට් දේවගැතිවරයෙක් වුණු ජෝනස් වෙන්ඩ්ල්ගේ දේශනය උදව් වුණා

  3. 1870

    සහෝදර රසල් කිහිපදෙනෙක් එක්ක එකතු වෙලා සැලැස්මකට අනුව බයිබලය ගැන අධ්‍යයනය කරන්න පටන්ගත්තා

    1870 ගණන්වල කණ්ඩායමක් බයිබලය අධ්‍යයනය කරමින්
  4. 1870-1875

    ආත්මය කියන ඉගැන්වීම, යේසුස්ගේ ජීවිත පූජාව සහ ක්‍රිස්තුස් පැමිණ සිටින කාලය ගැන සත්‍යය තේරුම්ගත්තා

  5. 1876

    1914දී වෙනත් ජාතීන්ගේ පාලනය අවසන් වෙනවා කියලා සඳහන් කරපු සී. ටී. රසල්ගේ ලිපියක් සඟරාවක (“බයිබල් එග්සැමිනර්”) පළ වුණා

  6. 1877

    ක්‍රිස්තුස් පැමිණ සිටින කාලය ගැන සත්‍ය තොරතුරු පහදලා දෙන්න ‘ස්වාමීන් නැවත පැමිණෙන හේතුව සහ පැමිණෙන ආකාරය’ කියන පොත ප්‍රකාශයට පත් කළා

  7. 1879

    ‘මුරටැඹ’ සඟරාව මුලින්ම ප්‍රකාශයට පත් කළා

    මුල්ම මුරටැඹ සඟරාවේ කවරය

    ක්‍රිස්තියානියයි කියාගන්නා හැම ආගමක්ම මහ බැබිලෝනියට අයිතියි කියලා තේරුම්ගත්තා

  8. 1880

    සහෝදර රසල් එක්සත් ජනපදයේ ඊසානදිග පළාත්වල හිටිය බයිබලය ගැන අධ්‍යයනය කරපු කණ්ඩායම් මුණගැහිලා ඒ අයව දිරිගැන්නුවා

  9. 1881

    ප්‍රකාශයට පත් කරපු පත්‍රිකා ‘මුරටැඹ’ පාඨකයන්ට දීලා කිව්වා ඒවා අනිත් අයට නොමිලේ බෙදන්න කියලා. සමහර පත්‍රිකාවල පිටු 100කට වඩා තිබුණා

    පෙන්සිල්වේනියාවේ ඇලගනිවල පවත්වන යේසුස්ගේ මරණය සිහි කිරීමට එන්න කියලා ‘මුරටැඹ’ සඟරාව පාඨකයන්ට ආරාධනා කළා

    පුරෝගාමි සේවය පටන්ගත්තා

    “දේශනාකරුවන් 1,000ක් අවශ්‍යයි” සහ “අභිෂේක කළේ දේශනා කරන්නයි” යන ලිපිවලින් දේශනා සේවයේ යන්න දිරිගැන්නුවා

    රැස්වීම් පවත්වන්න පටන් අරන් තිබුණේ නැති අයට එහෙම කරන්න කියලා දිරිගැන්නුවා

  10. 1882

    ත්‍රිත්වය කියන ඉගැන්වීම වැරදියි කියලා ලිපියක් පළ වුණා

  11. 1885

    මහාද්වීප 5ක ඉන්න අයට ‘මුරටැඹ’ ප්‍රකාශන ලැබුණා

  12. 1886

    ‘යුග පිළිබඳ දිව්‍ය සැලැස්ම’ කියන පොත ප්‍රකාශයට පත් වුණා. ඒක ‘ශුද්ධ ලියවිලි පිළිබඳ අධ්‍යයනය’ කියන පොත් කාණ්ඩයේ පළවෙනි වෙළුමයි

    යේසුස්ගේ මරණය සිහි කිරීමෙන් පස්සේ පවත්වන්න සැලසුම් කරලා තිබුණු දවස් තුනක රැස්වීමකට එන්න කියලා ‘මුරටැඹ’ පාඨකයන්ට ආරාධනා කළා. වාර්ෂිකව සමුළු පවත්වන්න පටන්ගත්තේ ඒ විදිහටයි

  13. 1889

    පෙන්සිල්වේනියාවේ ඇලගනිවල මූලස්ථානය හදලා ඒක බයිබල් නිවස කියලා හැඳින්නුවා

  14. 1891

    සත්‍යය තවත් ව්‍යාප්ත කරන්න සහෝදර සී. ටී. රසල් පිටරටවලත් සංචාරය කරන්න පටන්ගත්තා

  15. 1894

    සභාවල හිටිය අයව දිරිගන්වන්න සංචාරක සේවකයන්ව (“ටවර් ට්‍රැක්ට් සොසයිටි රෙප්‍රසෙන්ටටිව්ස්”) යවන්න පටන්ගත්තා

  16. 1895

    සමහර අය පුංචි කණ්ඩායම් (“ඩෝන් සර්කල්ස්”) විදිහට එකතු වෙලා බයිබලයේ තියෙන දේවල් අධ්‍යයනය කරන්න පටන් අරන් තිබුණා. හැමෝටම ඒ විදිහට එකතු වෙන්න කියලා ‘මුරටැඹ’ සඟරාව දිරිගැන්නුවා

  17. 1896

    සහෝදර සී. ටී. රසල් ‘නිරය ගැන ශුද්ධ ලියවිල්ලේ සඳහන් වෙන්නේ මොනවාද?’ කියන පොත ප්‍රකාශයට පත් කළා

    “වොච් ටවර් සොසයිටි” එකෙන් රොදහැම්ගේ බයිබලය ප්‍රකාශයට පත් කළා. මුද්‍රණය කෙරුවේ වෙනම මුද්‍රණ සමාගමක් යොදාගෙන

  18. 1900

    එංගලන්තයේ ලන්ඩන්වල පළවෙනි ශාඛා කාර්යාලය පිහිටෙව්වා

    දේශනා සේවය රටවල් 28ක පටන් අරන් තිබුණා

  19. 1903

    ඉරිදා දවස්වල පල්ලිවලට කිට්ටුවෙන් තිබුණු පාරවල්වල පත්‍රිකා බෙදනවාට අමතරව ගෙයින් ගෙටත් ගිහින් පත්‍රිකා බෙදන්න පටන්ගත්තා

    රසල්ගේ දේශන පුවත්පත්වල දිගටම පළ වෙන්න පටන්ගත්තා

  20. 1909

    “වොච් ටවර් සොසයිටි” එකේ මූලස්ථානය නිව් යෝර්ක් නරගයේ බෘක්ලින්වල පිහිටෙව්වා

  21. 1910

    බයිබල් ශිෂ්‍යයන් “ඉන්ටර්නැෂනල් බයිබල් ස්ටුඩන්ට්ස් ඇසෝසිඒෂන්” කියන නම පාවිච්චි කරන්න පටන්ගත්තා

  22. 1911-1912

    සී. ටී. රසල් තවත් හයදෙනෙක් එක්ක දෙවිගේ සේවකයන් කරන සේවය ගැන හොයලා බලන්න කි.මී. 56,000ක දුරක් ගෙවාගෙන ලොව වටා සංචාරය කළා. චීනය, ඉන්දියාව, ජපානය සහ පිලිපීනය ඒ අතරින් කිහිපයක්

  23. 1914

    ජනවාරි 11වෙනිදා ‘දෙවිගේ නිර්මාණ පිළිබඳ ඡායාරූප සහ දර්ශන ඇතුළත් වැඩසටහන’ (“ෆොටෝ ඩ්‍රාමා ඔෆ් ක්‍රියේෂන්”) මුල්ම වතාවට නිව් යෝර්ක්වල පෙන්නුවා. ඊළඟ මාසයේ තවත් නගර පහක පෙන්නුවා. අවුරුද්දේ අන්තිම වෙද්දී උතුරු ඇමරිකාව, යුරෝපය, ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය වගේ රටවල හිටිය මිනිසුන් 90,00,000කට විතර ඒක බලන්න ලැබුණා

    “ඡායාරූප සහ දර්ශන ඇතුළත් වැඩසටහන” පෙන්වමින්

    ඔක්තෝබර් මාසයේදී සී. ටී. රසල් බෙතෙල් පවුලේ අයට මේ නිවේදනය කළා. “ජාතීන් සඳහා නියම වූ කාලය දැන් අවසානයි. ලෝක පාලකයන්ට හිමි වී තිබුණු කාලය අවසන්!” එදා එතන හිටිය සහෝදරියක් කිව්වා සහෝදර රසල් මෙහෙමත් කිව්වා කියලා. “ඊළඟට අපිට වෙන්න යන්නේ මොනවාද කියලා අපි දන්නේ නැහැ”

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න