ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • දෙවියන්ගේ රාජ්‍යය කියන්නේ මොකක්ද?
    හැමදාටම සතුටින් ජීවත් වෙන්න! - ඒ කොහොමද කියලා බයිබලයෙන් දැනගන්න
    • 31වෙනි පාඩම. ස්වර්ගයේ යෙහෝවා ඉදිරියේ ඉන්න, දේවරාජ්‍යයේ රජ වන යේසුස් ක්‍රිස්තුස්.

      31වෙනි පාඩම

      දෙවියන්ගේ රාජ්‍යය කියන්නේ මොකක්ද?

      බයිබලය පුරාම කතා කරලා තියෙන්නේ දේවරාජ්‍යය ගැනයි. ඒක තමයි බයිබලයේ ප්‍රධානම පණිවිඩය. යෙහෝවා ඔහුගේ රාජ්‍යය මාර්ගයෙන් තමයි මේ පොළොව පාරාදීසයක් කරන්නේ. දෙවියන්ගේ රාජ්‍යය කියන්නේ මොකක්ද? ඒකේ පාලනය දැනටමත් පටන් අරන් කියලා අපි දන්නේ කොහොමද? ඒකෙන් දැනටමත් කරලා තියෙන්නේ මොනවාද? අනාගතයේදී කරන්න යන්නේ මොනවාද? ඒ ප්‍රශ්නවලට උත්තර අපි මේ පාඩමෙනුත් ඊළඟ පාඩම් දෙකෙනුත් බලමු.

      1. දෙවියන්ගේ රාජ්‍යය කියන්නේ මොකක්ද? ඒකේ රජ කවුද?

      දෙවියන්ගේ රාජ්‍යය කියන්නේ යෙහෝවා දෙවියන් පිහිටවපු ආණ්ඩුවක්. ඒකේ රජ යේසුස් ක්‍රිස්තුස්. ඔහු පාලනය කරන්නේ ස්වර්ගයේ ඉඳන්. (මතෙව් 4:17; යොහන් 18:36) බයිබලයේ කියනවා යේසුස් “සදහටම පාලනය කරනවා” කියලා. (ලූක් 1:32, 33) දෙවියන්ගේ රාජ්‍යයේ රජ විදිහට අනාගතයේදී යේසුස් පොළොවේ ඉන්න හැමෝවම පාලනය කරනවා.

      2. යේසුස් එක්ක පාලනය කරන්නේ කවුද?

      මේ පොළොව පාලනය කරන්න යන්නේ යේසුස් විතරක් නෙමෙයි. “හැම ගෝත්‍රයකම ඉන්න, හැම භාෂාවක්ම කතා කරන, හැම ජනවර්ගයකටම සහ ජාතියකටම අයිති අය අතරෙන්” තෝරගන්න පිරිසකටත් දෙවියන් මේ පොළොවේ රජකම භාර දෙනවා. (එළිදරව් 5:9, 10) යේසුස් එක්ක පාලනය කරන්න කීදෙනෙක් හවුල් වෙනවාද? යේසුස් මේ පොළොවට ආව දවසේ ඉඳන් මේ වෙන කල් මිලියන ගාණක් ඔහුගේ අනුගාමිකයන් වෙලා තියෙනවා. ඒත් ඒ අයගෙන් 1,44,000දෙනෙක් විතරයි ඔහුත් එක්ක ස්වර්ගයේ පාලනය කරන්නේ. (එළිදරව් 14:1-4 කියවන්න.) යේසුස්ගේ අනිත් අනුගාමිකයන් හැමෝම දේවරාජ්‍යයේ පාලනය යටතේ මේ පොළොවේ ජීවත් වෙනවා.—ගීතාවලිය 37:29.

      3. දෙවියන්ගේ ආණ්ඩුව මිනිස්සුන්ගේ ආණ්ඩුවලට වඩා උසස් කියන්නේ ඇයි?

      සමහර පාලකයන් උත්සාහ කරනවා හොඳ දේවල් කරන්න. ඒත් ඒ හැම දේම කරන්න එයාලට හැකියාව නැහැ. ඒ වගේම කාලයක් ගියාම එයාලා වෙනුවට මිනිස්සු ගැන හිතන්නේ නැති පාලකයන් පත් වෙන්න ඉඩ තියෙනවා. ඒත් දෙවියන් පිහිටුවලා තියෙන ආණ්ඩුව “කවදාවත් විනාශ වෙන්නේ නැති රාජ්‍යයක්.” (දානියෙල් 2:44) ඒ නිසා ඒකේ රජ වන යේසුස්ව පාලනයෙන් අයින් කරන්න කාටවත් බැහැ. යේසුස් මේ මුළු පොළොවම පාලනය කරන්න යනවා. එදාට ඔහු හැමෝටම එක වගේ සලකනවා. ඔහු හැමෝටම ආදරෙන්, කරුණාවෙන්, සාධාරණව සලකනවා. ඒ විදිහටම අනිත් අයට සලකන්න ඔහු මිනිස්සුන්ට කියලා දෙනවා.—යෙසායා 11:9 කියවන්න.

      තවත් හොයමු

      දෙවියන්ගේ ආණ්ඩුව මිනිස් ආණ්ඩුවලට වඩා උසස් කියලා කියන්න තියෙන තවත් හේතු බලන්න.

      ස්වර්ගයේ සිංහාසනයේ ඉඳගෙන ඉන්න යේසුස් පොළොව පාලනය කරනවා. ඔහු පිටිපස්සේ ඉඳගෙන ඉන්නේ ඔහුත් එක්ක පාලනය කරන අභිෂේක ලත් අය. ඒ හැමෝගෙම පිටිපස්සේ යෙහෝවා දෙවියන්ගේ තේජස, බලය දකින්න තියෙනවා.

      4. මුළු පොළොවම පාලනය කරන බලවත් ආණ්ඩුවක්

      මේ වෙන කල් පාලනය කරලා තියෙන අනිත් හැම පාලකයෙක්ටම වඩා යේසුස් හුඟක් බලවත්. මතෙව් 28:18 කියවලා මේ ප්‍රශ්නය ගැන කතා කරන්න.

      • මිනිස් පාලකයන්ට වඩා යේසුස් හුඟක් බලවත් කියලා කියන්නේ ඇයි?

      තියෙන ආණ්ඩු පෙරළිලා අලුත් ආණ්ඩු පත් වෙන එක නිතරම වගේ දකින්න තියෙන දෙයක්. ඒ වගේම පාලකයෙක්ට පාලනය කරන්න හම්බ වෙන්නේ එක රටක් නැත්නම් පළාතක් විතරයි. දෙවියන්ගේ රාජ්‍යයත් ඒ වගේද? දානියෙල් 7:14 කියවලා මේ ප්‍රශ්න ගැන කතා කරන්න.

      • දෙවියන්ගේ රාජ්‍යය ‘කවදාවත් විනාශ වෙන්නේ නැති’ එක හොඳයි කියලා ඔයා හිතන්නේ ඇයි?

      • දෙවියන්ගේ රාජ්‍යයෙන් මුළු පොළොවම පාලනය කරන එක හොඳ දෙයක් වෙන්නේ ඇයි?

      5. මිනිස් ආණ්ඩු වෙනුවට දෙවියන්ගේ ආණ්ඩුව

      මේ පොළොව පාලනය කරන්න ඕනෙ මිනිස් ආණ්ඩු නෙමෙයි දෙවියන්ගේ ආණ්ඩුවයි. එහෙම කියන්නේ ඇයි? වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නය ගැන කතා කරන්න.

      වීඩියෝ: ‘දේවරාජ්‍යය කියන්නේ මොකක්ද? - කෙටි වීඩියෝව’ (1:41)

      • මිනිස්සුන්ගේ ආණ්ඩු නිසා වෙලා තියෙන්නේ මොනවාද?

      දේශනාකාරයා 8:9 කියවලා මේ ප්‍රශ්න ගැන කතා කරන්න.

      • මිනිස් ආණ්ඩු වෙනුවට දෙවියන්ගේ ආණ්ඩුව මේ පොළොව පාලනය කරන්න ඕනෙ කියලා ඔයා හිතනවාද? ඔයා එහෙම හිතන්නේ ඇයි?

      6. අපිව තේරුම්ගන්න පුළුවන් පාලකයන්

      අපේ රජ යේසුස් මිනිසෙක් විදිහට ජීවත් වුණ නිසා “අපේ දුර්වලකම් තේරුම්ගන්න” ඔහුට පුළුවන්. (හෙබ්‍රෙව් 4:15) යේසුස් එක්ක පාලනය කරන 1,44,000දෙනාටත් අපිව තේරුම්ගන්න පුළුවන්. මොකද ඒ විශ්වාසවන්ත පුරුෂයන්ව සහ ස්ත්‍රීන්ව තෝරගන්නේ “හැම ගෝත්‍රයකම ඉන්න, හැම භාෂාවක්ම කතා කරන, හැම ජනවර්ගයකටම සහ ජාතියකටම අයිති අය අතරෙන්.”—එළිදරව් 5:9.

      • යේසුස්ටයි, ඔහුත් එක්ක පාලනය කරන අයටයි මිනිස්සුන්ව හොඳින් තේරුම්ගන්න පුළුවන් කියලා දැනගන්න ලැබුණ එක ඔයාට සහනයක්ද? එහෙම කියන්නේ ඇයි?

      විවිධ කාලවලදී ජීවත් වුණ, විවිධ පසුබිම්වලින් ආපු අභිෂේක ලත් පුරුෂයන් සහ ස්ත්‍රීන්.

      යේසුස් එක්ක පාලනය කරන්න යෙහෝවා දෙවියන් හැම පසුබිමකින්ම එන පුරුෂයන්ව සහ ස්ත්‍රීන්ව තෝරගෙන තියෙනවා

      7. දෙවියන්ගේ ආණ්ඩුවෙන් පනවන නීති ගොඩක් වෙනස්

      සාමාන්‍යයෙන් මිනිස්සුන්ට ආරක්ෂාවක්, යහපතක් වෙයි කියලා හිතාගෙන ආණ්ඩුවලින් නීති පනවනවා. දෙවියන්ගේ ආණ්ඩුවටත් නීති මාලාවක් තියෙනවා. 1 කොරින්ති 6:9-11 කියවලා මේ ප්‍රශ්න ගැන කතා කරන්න.

      • දෙවියන්ගේ නීතිවලට හැමෝම කීකරු වෙද්දී ඒක කොයි වගේ කාලයක් වෙයිද?a

      • දේවරාජ්‍යයේ පාලනය යටතේ ජීවත් වෙන අය ඔහුගේ නීතිවලට කීකරු වෙයි කියලා යෙහෝවා බලාපොරොත්තු වෙන එක සාධාරණයි කියලා ඔයා හිතනවාද? ඔයා එහෙම හිතන්නේ ඇයි?

      • දෙවියන්ගේ නීතිවලට අනුව ජීවත් වෙන්නේ නැති අයට වුණත් ජීවිත වෙනස් කරගන්න පුළුවන්ද? එහෙම කියන්නේ ඇයි?—11වෙනි පදය බලන්න.

      පොලිස් නිලධාරියෙක් වාහන නවත්තලා මිනිස්සුන්ට පාර පනින්න ඉඩ දෙනවා. විවිධ වයස්වල ඉන්න අය පාර පනිනවා.

      මිනිස්සුන්ගේ යහපත සහ ආරක්ෂාව වෙනුවෙන් ආණ්ඩුවලින් නීති පනවනවා. දෙවියන්ගේ ආණ්ඩුවේ නීතිවලින් මිනිස්සුන්ට ඊට වඩා ආරක්ෂාවක් ලැබෙනවා. යහපතක් වෙනවා

      සමහරු මෙහෙම අහයි: “මොකක්ද ඔය දේවරාජ්‍යය කියන්නේ?”

      • ඔයා මොන වගේ උත්තරයක්ද දෙන්නේ?

      ඉගෙනගත්ත දේ

      දෙවියන්ගේ රාජ්‍යය ස්වර්ගයේ තියෙන ඇත්ත ආණ්ඩුවක්. ඉස්සරහට ඒ ආණ්ඩුවෙන් මුළු පොළොවම පාලනය කරනවා.

      ඔයා හිතන්නේ මොකක්ද?

      • දෙවියන්ගේ රාජ්‍යයේ පාලකයන් කවුද?

      • මිනිස්සුන්ගේ ආණ්ඩුවලට වඩා දෙවියන්ගේ ආණ්ඩුව උසස් කියලා කියන්නේ ඇයි?

      • දේවරාජ්‍යය යටතේ ජීවත් වෙන අයගෙන් යෙහෝවා බලාපොරොත්තු වෙන සමහර දේවල් මොනවාද?

      ඔයාට කරන්න දෙයක්

      තව දැනගන්න

      දෙවියන්ගේ රාජ්‍යය තියෙන්නේ කොහෙද? ඒ ගැන යේසුස් කියපු දේ දැනගන්න.

      “දේවරාජ්‍යය මිනිසුන්ගේ හිත්වල තියෙන දෙයක්ද?” (වෙබ් ලිපිය)

      යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් මිනිස් ආණ්ඩුවලට වඩා දෙවියන්ගේ ආණ්ඩුවට පක්ෂව ඉන්නේ ඇයි?

      ‘අපි ළැදි වුණේ දේවරාජ්‍යයටයි!’ (1:43)

      යෙහෝවා යේසුස් එක්ක පාලනය කරන්න තෝරන 1,44,000දෙනා ගැන බයිබලයේ කියන්නේ මොනවාද කියලා දැනගන්න.

      “ස්වර්ගයට යන්නේ කවුද?” (වෙබ් ලිපිය)

      හැමෝටම සාධාරණය ඉටු කරන්න පුළුවන් දෙවියන්ට විතරයි කියලා හිරේ හිටපු කාන්තාවක් විශ්වාස කරන්න පටන්ගත්තේ ඇයි?

      “අයුක්තියට විසඳුමක් මට ලැබුණා” (2011 නොවැම්බර් ‘පිබිදෙව්!’)

      a ඒ සමහර නීති ගැන 3වෙනි කොටසෙන් දැනගන්න පුළුවන්.

  • දේවරාජ්‍යයේ පාලනය පටන් අරන්!
    හැමදාටම සතුටින් ජීවත් වෙන්න! - ඒ කොහොමද කියලා බයිබලයෙන් දැනගන්න
    • 32වෙනි පාඩම. රාජ යෂ්ටියක් අතේ තියාගෙන ඉන්න දේවරාජ්‍යයේ රජ යේසුස් මේ පොළොව පාලනය කරයි.

      32වෙනි පාඩම

      දේවරාජ්‍යයේ පාලනය පටන් අරන්!

      දෙවියන්ගේ රාජ්‍යය ස්වර්ගයේ පාලනය කරන්න පටන්ගත්තේ 1914දියි. ඒත් එක්කම තමයි අන්තිම කාලය ඒ කියන්නේ මිනිස් පාලනයේ අන්තිම කාලය පටන්ගත්තේ. කොහොමද අපි ඒක දන්නේ? ඒක තේරුම්ගන්න අන්තිම දවස් ගැන බයිබලයේ තියෙන අනාවැකි කීපයක් බලමු. ඒ වගේම 1914 ඉඳන් ලෝකේ වෙන සිද්ධීන් ගැනත් ඒ කාලයේ ඉඳන් මිනිස්සු තුළ දකින්න තියෙන ගතිලක්ෂණ ගැනත් බලමු.

      1. බයිබලයේ තියෙන අනාවැකිවලින් පැහැදිලි වෙන්නේ මොනවාද?

      දෙවියන්ගේ රාජ්‍යය පාලනය කරන්න පටන්ගන්නේ “කාලවල් හතක්” විදිහට හඳුන්වන කාල පරිච්ඡේදයක් අවසානයේදී කියලා බයිබලයේ කියනවා. (දානියෙල් 4:16, 17) ඒක ලියලා සියවස් ගාණකට පස්සේ යේසුස් ඒ කාල පරිච්ඡේදය හැඳින්නුවේ “ජාතීන් වෙනුවෙන් නියම කරලා තියෙන කාලය” විදිහටයි. (ලූක් 21:24) ඒ වගේම ඒ වෙද්දීත් ඒ කාල පරිච්ඡේදය අවසන් වෙලා නැහැ කියලා ඔහු ඉගැන්නුවා. ඒ කාලවල් හත අවසන් වුණේ 1914දියි. එහෙම කියන්නේ ඇයි කියලා අපි මේ පාඩමෙන් බලමු.

      2. 1914 ඉඳන් ලෝකේ සිද්ධ වෙන දේවල් සහ මිනිස්සු තුළ දකින්න තියෙන ගතිලක්ෂණ මොනවාද?

      යේසුස්ගේ අනුගාමිකයන් යේසුස්ගෙන් ඇහුවා “ඔබ ආයෙත් පැමිණෙන කාලය දැනගන්නත් පවතින සමාජයේ අවසාන කාලය පටන් අරන් කියලා දැනගන්නත් මොකක් හරි ලකුණක් තියෙනවාද” කියලා. (මතෙව් 24:3) දේවරාජ්‍යයේ පාලනය පටන්ගත්තාට පස්සේ ලෝකේ සිද්ධ වෙන්න යන හුඟක් දේවල් ගැන යේසුස් එයාලට කිව්වා. යුද්ධ, කෑම හිඟය, භූමිකම්පා ඒවායින් කීපයක්. (මතෙව් 24:7 කියවන්න.) “අන්තිම දවස්වලදී” ජීවත් වෙන මිනිස්සුන්ගේ නරක ගති නිසා ඒක “ජීවත් වෙන්න අමාරු කාලයක්” වෙනවා කියලත් බයිබලයේ කියනවා. (2 තිමෝති 3:1-5) ඒ නරක ගතිලක්ෂණ සහ යේසුස් කියපු සිද්ධීන් 1914 ඉඳන් පැහැදිලිවම දකින්න තියෙනවා.

      3. දේවරාජ්‍යයේ පාලනය පටන්ගත්තාට පස්සේ ලෝකේ තත්වය මෙච්චර නරක අතට හැරිලා තියෙන්නේ ඇයි?

      යේසුස් දේවරාජ්‍යයේ රජ වුණ ගමන්ම වගේ ඔහු සාතන් සහ භූතයන් එක්ක ස්වර්ගයේ යුද්ධයක් කළා. ඒ යුද්ධයෙන් සාතන් පැරදුණා. බයිබලයේ කියනවා ඊටපස්සේ සාතන්ව ‘පොළොවට හෙළුවා. එයාගේ දූතයොත් එයා එක්කම පහතට හෙළුවා’ කියලා. (එළිදරව් 12:9, 10, 12) සාතන් දන්නවා දෙවියන් එයාව ඉක්මනටම විනාශ කරනවා කියලා. එයා ඉන්නේ ලොකු කේන්තියකින්. ඒ නිසා එයා පුළුවන් තරම් මේ පොළොවේ ඉන්න අයට දුක් කරදර ඇති කරනවා. මේ ලෝකේ තත්වය මෙච්චර නරක අතට හැරිලා තියෙන්නේ ඒ නිසයි. ඒත් දේවරාජ්‍යයෙන් ළඟදීම ඒ හැම දුකක්ම නැති කරනවා.

      තවත් හොයමු

      1914දී දේවරාජ්‍යයේ පාලනය පටන්ගත්තා කියලා අපි දන්නේ කොහොමද? අපි ඒක දැනන් ඉන්න එක වැදගත් වෙන්නේ ඇයි?

      4. පාලනය පටන්ගත්තේ 1914දී කියලා කියන්නේ ඇයි?

      වීඩියෝ එක බලන්න.

      වීඩියෝ: ‘දේවරාජ්‍යයේ පාලනය 1914දී ඇරඹෙයි!’ (5:02)

      අතීතයේදී බැබිලෝනියේ හිටපු නෙබුකද්නෙෂර් රජට අනාගතයේදී වෙන්නේ මොනවාද කියලා දෙවියන් හීනයක් මාර්ගයෙන් පෙන්නුවා. ඒ හීනේ ගැන සහ ඒකේ තේරුම ගැන දානියෙල් කිව්ව දේ අපිට බයිබලයෙන් කියවන්න පුළුවන්. බයිබලයේ තියෙන ඒ දේවලින් පැහැදිලියි ඒ හීනේ සඳහන් වෙන්නේ නෙබුකද්නෙෂර්ගේ පාලනය ගැන සහ දේවරාජ්‍යයේ පාලනය ගැන කියලා.—දානියෙල් 4:17 කියවන්න.a

      දානියෙල් 4:20-26 කියවන්න. ඊටපස්සේ වගුව පාවිච්චි කරලා මේ ප්‍රශ්නවලට උත්තර හොයාගන්න.

      • (1) නෙබුකද්නෙෂර් හීනෙන් දැක්කේ මොනවාද?—20 සහ 21 පද බලන්න.

      • (2) ගහට මොනවාද වෙන්නේ?—23 පදය බලන්න.

      • (3) “කාලවල් හත” අවසානයේදී වෙන්නේ මොනවාද?—26 පදය බලන්න.

      හීනෙන් දැකපු ගහෙන් අදහස් කරන දේ

      අනාවැකිය (දානියෙල් 4:20-36)

      පාලනය

      (1) විශාල ගහක්

      ගොඩක් උසට වැවිලා තියෙන විශාල ගහක්.

      පාලනය නවතියි

      (2) ‘ගහ කපලා දාන්න.’ ඊටපස්සේ ‘කාලවල් හතක් යන කල් ඒක තියෙන්න ඉඩහරින්න’

      ගහේ කඳ යකඩ සහ තඹ පටිවලින් බැඳලා තියෙනවා.

      පාලනය ආයෙත් පටන්ගනියි

      (3) “ඔබේ රාජ්‍යය ආයෙත් ඔබට ලැබෙනවා”

      ගොඩක් උසට වැවිලා තියෙන විශාල ගහක්.

      අනාවැකියේ පළවෙනි ඉටු වීම

      • (4) ගහෙන් නියෝජනය වුණේ කාවද?—22 පදය බලන්න.

      • (5) එයාගේ පාලනය නැවතුණේ කොහොමද?—දානියෙල් 4:29-33 කියවන්න.

      • (6) “කාලවල් හත” අවසානයේදී නෙබුකද්නෙෂර්ට වුණේ මොනවාද?—දානියෙල් 4:34-36 කියවන්න.

      මුල් ඉටු වීම

      පාලනය

      (4) බැබිලෝනියේ රජ වුණ නෙබුකද්නෙෂර්

      අහංකාර විදිහට බලාගෙන ඉන්න නෙබුකද්නෙෂර් රජ.

      පාලනය නවතියි

      (5) ක්‍රි.පූ. 606න් පස්සේ නෙබුකද්නෙෂර්ගේ සිහිය විකල් වෙලා අවුරුදු හතක් එයාට පාලනය කරන්න බැරි වුණා

      නෙබුකද්නෙෂර් බිම දිගා වෙලා සතෙක් වගේ තණකොළ කනවා.

      පාලනය ආයෙත් පටන්ගනියි

      (6) නෙබුකද්නෙෂර් පියවි සිහියට ඇවිත් ආයෙත් පාලනය කරන්න පටන්ගත්තා

      අත් දෙක ඉහළට උස්සන් ස්වර්ගය දිහා බලාගෙන ඉන්න නෙබුකද්නෙෂර් රජ.

      අනාවැකියේ දෙවෙනි ඉටු වීම

      • (7) ගහෙන් නියෝජනය කළේ කාවද?—1 ලේකම් 29:23 කියවන්න.

      • (8) ඒ පාලනය නතර වුණේ කවදාද? යේසුස් පොළොවේ ඉද්දීත් ඒ පාලනය පටන් අරන් තිබුණේ නැහැ කියලා අපි දන්නේ කොහොමද?—ලූක් 21:24 කියවන්න.

      • (9) ඒ පාලනය ආයෙත් පටන්ගත්තේ කවදාද? කොහෙදීද?

      දෙවෙනි ඉටු වීම

      පාලනය

      (7) දෙවියන්ගේ පාලනය නියෝජනය කරපු ඊශ්‍රායෙලයේ රජවරු

      සිංහාසනවල ඉඳගෙන ඉන්න ඊශ්‍රායෙලයේ රජවරු. එයාලා මතට ආලෝකය විහිදෙනවා.

      පාලනය නවතියි

      (8) යෙරුසලමේ විනාශයත් එක්කම ඊශ්‍රායෙලයේ රජවරුන්ගේ පාලනය අවුරුදු 2,520කට නතර වුණා

      ක්‍රි.පූ. 607දී යෙරුසලම ගින්නකින් විනාශ වෙනවා. ඊටපස්සේ අවුරුදු 2,520 ගත වෙනවා.

      පාලනය ආයෙත් පටන්ගනියි

      (9) දේවරාජ්‍යයේ රජ විදිහට යේසුස් ස්වර්ගයේ පාලනය කරන්න පටන්ගත්තා

      ක්‍රි.ව. 1914දී යේසුස් ස්වර්ගයේ ඉඳන් පාලනය කරනවා. ඔහු වටේටම ආලෝකය විහිදෙනවා.

      කාලවල් හත කොච්චර දිගද?

      බයිබලයේ තියෙන සමහර පදවල අදහස තේරුම්ගන්න ඒකේ තියෙන තවත් පද උදව් වෙනවා. උදාහරණෙකට බයිබලයේ එළිදරව් පොතේ කියනවා කාලවල් 3 1/2ක් කියන්නේ දවස් 1,260ක් කියලා. (එළිදරව් 12:6, 14) එහෙම බලද්දී කාලවල් 7ක් කියන්නේ දවස් 2,520යි. බයිබලයේ සමහර වෙලාවට එක දවසක් ගැන කියද්දී ඒකෙන් අදහස් වෙන්නේ එක අවුරුද්දක්. (එසකියෙල් 4:6) දානියෙල් පොතේ කතා කරන කාලවල් හතටත් ඒක අදාළයි. ඒ කාලවල් හතෙන් නියෝජනය වෙන්නේ අවුරුදු 2,520ක්.

      5. 1914 ඉඳන් මේ ලෝකේ වෙනස් වෙලා

      වීඩියෝ එක බලන්න.

      වීඩියෝ: ‘1914 ඉඳන් ලෝකයේ වාතාවරණය වෙනස් වෙලා!’ (1:10)

      යේසුස් තමන් රජ වුණාට පස්සේ ලෝකේ සිද්ධ වෙන්න යන දේවල් ගැන කලින්ම කිව්වා. ලූක් 21:9-11 කියවලා මේ ප්‍රශ්නය ගැන කතා කරන්න.

      • මේ පදවල කතා කරන මොන දේවල්ද ඔයා දැකලා හෝ අහලා තියෙන්නේ?

      මිනිස් පාලනයේ අන්තිම කාලයේදී ජීවත් වෙන මිනිස්සු තුළ දකින්න තියෙන ගතිලක්ෂණ ගැන පාවුල් කතා කළා. 2 තිමෝති 3:1-5 කියවලා මේ ප්‍රශ්නය ගැන කතා කරන්න.

      • මෙතන කතා කරන ගතිලක්ෂණ මිනිස්සු තුළ ඔයා දැකලා තියෙනවාද? ඒ මොන වගේ ඒවාද?

      අන්තිම දවස්වල පොළොවේ සිද්ධ වෙන දේවල් පින්තූරවලින් පෙන්නනවා. 1. හමුදා නායකයෙක් වේදිකාවක් උඩ ඉඳන් අත් දෙකත් උස්සගෙන කෑගහනවා. 2. භූමිකම්පාවක් නිසා කඩන් වැටුණු ගොඩනැඟිලි. 3. ප්‍රහාරක ගුවන් යානා. 4. මුඛ ආවරණ දාගෙන ඉන්න මිනිස්සු. 5. ත්‍රස්ත ප්‍රහාරයට අහු වුණ නිව් යෝර්ක්වල නිවුන් කුලුණු ගිනි ගන්නවා. 6. කෙනෙක් මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා. 7. සැමියෙක් හයියෙන් කෑගහලා බිරිඳට ගහන්න ලෑස්ති වෙනවා. 8. එක එක වර්ගයේ මත්පැන් සහ මත්ද්‍රව්‍ය. 9. අලුත්ම විලාසිතා ඇඳගෙන ඉන්න කාන්තාවන් දෙන්නෙක් එකට ඉඳන් සෙල්ෆියක් ගන්නවා. 10. සංගීත සංදර්ශනයකදී පෙරමුණ ගන්න ඩීජේ කෙනෙක්. 11. කෝලහලයකට සම්බන්ධ වෙලා ඉන්න කෙනෙක් පෙට්‍රල් බෝම්බයක් වීසි කරනවා.

      6. දෙවියන්ගේ රාජ්‍යය ඔයාට හුඟක් වැදගත් කියලා ඔයා පෙන්නන්නේ කොහොමද?

      මතෙව් 24:3, 14 කියවලා මේ ප්‍රශ්න ගැන කතා කරන්න.

      • දේවරාජ්‍යයේ පාලනය පටන් අරන් කියලා පැහැදිලි වෙන්නේ ලෝකේ පුරාම සිද්ධ වෙන මොන වැදගත් වැඩෙන්ද?

      • ඒ වැඩේට හවුල් වෙන්න ඔයාට පුළුවන් කොහොමද?

      දෙවියන්ගේ රාජ්‍යයේ පාලනය දැන් ස්වර්ගයේ ඇරඹිලයි තියෙන්නේ. ළඟදීම ඒ රාජ්‍යයෙන් මේ මුළු පොළොවම පාලනය කරනවා. හෙබ්‍රෙව් 10:24, 25 කියවලා මේ ප්‍රශ්නය ගැන කතා කරන්න.

      • “ඒ දවස ළඟ ළඟම එනවා” කියලා තේරෙන නිසා අපි එක් එක් කෙනා කරන්න ඕනෙ මොනවාද?

      1. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් එක්ක බයිබලය ගැන ඉගෙනගන්න කෙනෙක් රැස්වීමකට සහභාගි වෙනවා. 2. ඒ කෙනාම එයා ඉගෙනගන්න දේවල් ගැන අඳුරන කෙනෙක් එක්ක කතා කරනවා.

      අනිත් අයගේ ජීවිත බේරගන්න උදව් වෙන දෙයක් ගැන ඔයා දැනගත්තොත් ඔයා මොකද කරන්නේ?

      සමහරු මෙහෙම අහයි: “ඇයි ඔයාලා ඔච්චර ඔය 1914 ගැන කතා කරන්නේ?”

      • ඔයා ඒකට දෙන්නේ මොන වගේ උත්තරයක්ද?

      ඉගෙනගත්ත දේ

      බයිබලයේ සඳහන් අනාවැකි සහ ලෝකේ සිද්ධ වෙන දේවලින් තේරෙනවා දේවරාජ්‍යයේ පාලනය පටන් අරන් කියලා. දේවරාජ්‍යය ගැන දේශනා කරද්දී, රැස්වීම්වලට හවුල් වෙද්දී අපි පෙන්නන්නේ අපි ඒක විශ්වාස කරනවා කියලයි.

      ඔයා හිතන්නේ මොකක්ද?

      • කාලවල් හත අවසානයේදී වුණේ මොකක්ද?

      • 1914දී දේවරාජ්‍යයේ පාලනය පටන්ගත්තා කියලා ඔයා විශ්වාස කරන්නේ ඇයි?

      • දේවරාජ්‍යය දැනටමත් පාලනය කරනවා කියන දේ ඔයාට විශ්වාසයි කියලා පෙන්නන්නේ කොහොමද?

      ඔයාට කරන්න දෙයක්

      තව දැනගන්න

      1914 ඉඳන් මේ ලෝකේ වෙනස් වෙලා තියෙන විදිහ ගැන ඉතිහාසඥයන් සහ වෙනත් අය කියන දේවල් දැනගන්න.

      “සදාචාරයේ බිඳවැටීමේ කඩඉම” (2007 අප්‍රියෙල් ‘පිබිදෙව්!’)

      මතෙව් 24:14 සඳහන් අනාවැකිය ගැන දැනගත්තාට පස්සේ කෙනෙක් එයාගේ ජීවිතේ වෙනස් කරගත්තේ කොහොමද කියලා දැනගන්න.

      “බේස්බෝල් තමයි මගේ ජීවිතේ අංක එක වෙලා තිබුණේ” (2017 අංක 3 ‘මුරටැඹ’)

      දානියෙල් 4වෙනි පරිච්ඡේදයේ සඳහන් අනාවැකියේ කතා කරන්නේ දේවරාජ්‍යය ගැනයි කියලා අපි දන්නේ කොහොමද?

      “දෙවිගේ රාජ්‍යය පාලනය කරන්න පටන්ගත්තේ කවදාද? (1වෙනි කොටස)” (2014 ඔක්තෝබර් 1 ‘මුරටැඹ’)

      රාජ යෂ්ටියක් අතේ තියාගෙන ඉන්න දේවරාජ්‍යයේ රජ යේසුස් මේ පොළොව පාලනය කරයි.

      දානියෙල් 4වෙනි පරිච්ඡේදයේ සඳහන් “කාලවල් හත” ඉවර වුණේ 1914දී කියලා අපි දන්නේ කොහොමද?

      “දෙවිගේ රාජ්‍යය පාලනය කරන්න පටන්ගත්තේ කවදාද? (2වෙනි කොටස)” (2014 නොවැම්බර් 1 ‘මුරටැඹ’)

      a මේ පාඩමේ “තව දැනගන්න” කියන කොටස යටතේ තියෙන අන්තිම ලිපි දෙක බලන්න.

  • දෙවියන්ගේ රාජ්‍යයෙන් කරන්න යන්නේ මොනවාද?
    හැමදාටම සතුටින් ජීවත් වෙන්න! - ඒ කොහොමද කියලා බයිබලයෙන් දැනගන්න
    • 33වෙනි පාඩම. පාරාදීස පොළොවේ ජීවත් වෙන මිනිස්සු.

      33වෙනි පාඩම

      දෙවියන්ගේ රාජ්‍යයෙන් කරන්න යන්නේ මොනවාද?

      දෙවියන්ගේ රාජ්‍යය දැනටමත් පාලනය කරන්න පටන් අරන්! ළඟදීම ඒ රාජ්‍යයෙන් මේ පොළොවේ හුඟක් වෙනස්කම් කරන්න යනවා. දේවරාජ්‍යයෙන් මේ පොළොව පාලනය කරද්දී ඔයාට ලැබෙන්න යන හොඳ දේවල් ගැන අපි දැන් බලමු.

      1. දේවරාජ්‍යයෙන් අසාධාරණය නැති කරලා පොළොව පුරාම සාමය ඇති කරන්නේ කොහොමද?

      දේවරාජ්‍යයේ රජ වන යේසුස් අර්මගෙදොන් යුද්ධයේදී දුෂ්ට මිනිස්සු සහ මිනිස් ආණ්ඩු විනාශ කරලා දානවා. (එළිදරව් 16:14, 16) “තව ටික කාලෙකින් දුෂ්ටයන් නැති වෙනවා” කියලා බයිබලයේ දීලා තියෙන පොරොන්දුව එදාට සම්පූර්ණයෙන්ම ඉටු වෙනවා. (ගීතාවලිය 37:10) ඊටපස්සේ දේවරාජ්‍යයෙන් මේ පොළොවේ ඉන්න හැමෝටම යුක්තිය ඉටු කරලා දීලා පොළොව සාමකාමී තැනක් කරනවා.—යෙසායා 11:4 කියවන්න.

      2. දෙවියන් කැමති දේ පොළොවේ ඉටු වෙද්දී ඒ කාලය මොන වගේ එකක් වෙයිද?

      දේවරාජ්‍යය පොළොව පාලනය කරද්දී “ධර්මිෂ්ඨයෝ පොළොව උරුම කරගන්නවා. ඔවුන් ඒකේ සදාකාලයටම ජීවත් වෙනවා.” (ගීතාවලිය 37:29) එදාට ජීවත් වෙන්නේ යහපත් අය විතරයි. එයාලා යෙහෝවා දෙවියන්ටත් එකිනෙකාටත් ආදරේ කරන අය. එදාට කිසි කෙනෙක් ලෙඩ වෙන්නේ නැහැ. හැමෝම හැමදාටම ජීවත් වෙනවා. ඒ කාලය හිතින් මවාගන්න ඔයාට පුළුවන්ද?

      3. දුෂ්ට මිනිස්සුන්ව විනාශ කළාට පස්සේ දේවරාජ්‍යයෙන් කරන්නේ මොනවාද?

      දුෂ්ට මිනිස්සුන්ව විනාශ කළාට පස්සේ යේසුස් මේ පොළොව අවුරුදු 1,000ක් පාලනය කරනවා. එදාට යේසුස් සහ ඔහු එක්ක පාලනය කරන 1,44,000දෙනා මිනිස්සුන්ට පාපයෙන් සම්පූර්ණයෙන්ම නිදහස් වෙන්න උදව් කරනවා. අවුරුදු 1,000 ඉවර වෙද්දී මේ පොළොව ලස්සන පාරාදීසයක් වෙනවා. හැමෝම දෙවියන්ගේ නීතිවලට කීකරු වෙන නිසා එයාලා ගොඩක් සතුටින් ඉන්නවා. යේසුස් ආයෙත් ඔහුගේ තාත්තා වන යෙහෝවාට පාලනය භාර දෙනවා. ඒ වෙද්දී යෙහෝවාගේ නමට ඇති වෙලා තියෙන කැළල අයින් වෙලා තියෙයි. ඒ නිසා ඔහුගේ ‘නම හැමදාටම ශුද්ධව පවතියි.’ (මතෙව් 6:9, 10) යෙහෝවා හැමෝටම ආදරෙන් සලකන, යහපත් පාලකයෙක් කියන දේ එදාට ඔප්පු වෙනවා. අන්තිමේදී යෙහෝවා සාතන්වත් භූතයන්වත් ඒ අයගේ පැත්ත අරන් දෙවියන්ගේ පාලනයට විරුද්ධ වෙන මිනිස්සුන්වත් විනාශ කරනවා. (එළිදරව් 20:7-10) මිනිස්සුන්ගේ යහපත වෙනුවෙන් දේවරාජ්‍යයෙන් කරන හැම දෙයක්ම සදාකාලයටම පවතිනවා.

      තවත් හොයමු

      දෙවියන් ඉස්සරහට අපිට දෙන්න පොරොන්දු වෙලා තියෙන හැම දෙයක්ම දේවරාජ්‍යය මාර්ගයෙන් ඉටු කරයි කියලා අපිට විශ්වාස කරන්න තියෙන හේතු බලන්න.

      4. දේවරාජ්‍යය මිනිස්සුන්ගේ හැම ආණ්ඩුවක්ම නැති කරනවා

      “මිනිසා තමන්ගේ බලය පාවිච්චි කරලා තියෙන්නේ අනිත් අයට හානියක් වෙන විදිහටයි.” (දේශනාකාරයා 8:9) යෙහෝවා දේවරාජ්‍යය මාර්ගයෙන්, මිනිස් ආණ්ඩුවලින් ඇති කරලා තියෙන හානිය සම්පූර්ණයෙන්ම නැති කරලා මිනිස්සුන්ට සාධාරණය ඉටු කරනවා.

      දානියෙල් 2:44 සහ 2 තෙසලෝනික 1:6-8 කියවලා මේ ප්‍රශ්න ගැන කතා කරන්න.

      • පාලකයන්ට සහ එයාලට සහය දක්වන අයට යෙහෝවා දෙවියන් සහ යේසුස් කරන්නේ මොනවාද?

      • යෙහෝවා සහ යේසුස් ගැන ඔයා ඉගෙනගෙන තියෙන තොරතුරුවලින් ඒ දෙන්නා කාටවත් අසාධාරණයක් කරයි කියලා ඔයා හිතනවාද? එහෙම කියන්නේ ඇයි?

      යේසුස් ස්වර්ගයේ ඉඳන් පොළොව පාලනය කරයි.

      5. ඉන්න පුළුවන් හොඳම රජ යේසුස්

      දේවරාජ්‍යයේ රජ වන යේසුස් මිනිස්සුන්ගේ සතුට වෙනුවෙන් ගොඩක් දේවල් කරන්න යනවා. වීඩියෝ එක බලලා මිනිස්සුන්ට උදව් කරන්න යේසුස් ආසාවෙන් ඉන්නවා කියලත් ඒකට ඕනෙ කරන බලය දෙවියන් ඔහුට දීලා තියෙනවා කියලත් යේසුස් පෙන්නලා තියෙන විදිහ දැනගන්න.

      වීඩියෝ: ‘දේවරාජ්‍යයෙන් ලැබෙන ආශීර්වාද යේසුස් කලින්ම පෙන්නුවා’ (1:13)

      යේසුස් කරපු ආශ්චර්යයන්වලින් ඔහු පෙන්නුවා දේවරාජ්‍යයෙන් ඉස්සරහට පොළොවේ කරන්නේ මොන වගේ දේවල්ද කියලා. ඔයා ආසාවෙන් බලන් ඉන්නේ මෙතන තියෙන මොන ආශීර්වාදය අද්දකින්නද? ඒ ආශීර්වාද ගැන සඳහන් කරලා තියෙන බයිබල් පද කියවන්න.

      පොළොවේ ඉද්දී යේසුස් කරපු දේවල්

      ස්වර්ගයේ ඉඳන් යේසුස් කරන්න යන දේවල්

      • ස්වාභාවික බලයන් පාලනය කළා.—මාක් 4:36-41.

      • පරිසරයට වෙලා තියෙන හානිය හරිගස්සනවා.—යෙසායා 35:1, 2.

      • ආශ්චර්යවත් විදිහට දහස් ගාණකට කන්න දුන්නා.—මතෙව් 14:17-21.

      • කෑම හිඟය නැති කරනවා.—ගීතාවලිය 72:16.

      • අසනීපෙන් හිටපු හුඟක් අයව සුව කළා.—ලූක් 18:35-43.

      • හැම අසනීපයක්ම නැති කරනවා.—යෙසායා 33:24.

      • මැරුණු අයට ආයෙත් ජීවිතේ දුන්නා.—ලූක් 8:49-55.

      • මැරුණු අයට ආයෙත් ජීවිතේ දෙනවා. මරණය නැති කරනවා.—එළිදරව් 21:3, 4.

      6. දේවරාජ්‍යයෙන් දෙන්න යන ලස්සන අනාගතය

      යෙහෝවා දෙවියන් මුලින්ම අදහස් කරපු විදිහට දේවරාජ්‍යයෙන් මුළු පොළොවම පාරාදීසයක් කරනවා. එදාට ඒ පාරාදීස පොළොවේ මිනිස්සු හැමදාටම ජීවත් වෙනවා. වීඩියෝ එක බලලා යෙහෝවා යේසුස් මාර්ගයෙන් ඔහුගේ අරමුණ ඉටු කරන්නේ කොහොමද කියලා දැනගන්න.

      වීඩියෝ: ‘අනාගත ආශීර්වාදවලින් බිඳක්’ (4:38)

      ගීතාවලිය 145:16 කියවලා මේ ප්‍රශ්නය ගැන කතා කරන්න.

      • යෙහෝවා ‘පණ ඇති සියල්ලන්ගේ ආශාව තෘප්තිමත් කරනවා’ කියලා දැනගත්තාම ඔයාට කොහොමද දැනුණේ?

      සමහරු මෙහෙම කියනවා: “හැමෝම එකතු වුණොත් ලෝකේ ප්‍රශ්න විසඳන්න පුළුවන්.”

      • පාලකයන්ට විසඳන්න බැරි මොන ප්‍රශ්නද දේවරාජ්‍යයෙන් විසඳන්න යන්නේ?

      ඉගෙනගත්ත දේ

      දේවරාජ්‍යයෙන් දෙවියන් කැමති හැම දෙයක්ම ඉටු කරනවා. මේ මුළු පොළොවම පාරාදීසයක් කරනවා. පාරාදීසයේ ජීවත් වෙන අය සදාකාලයටම යෙහෝවාට නමස්කාර කරනවා.

      ඔයා හිතන්නේ මොකක්ද?

      • දේවරාජ්‍යයෙන් යෙහෝවාගේ නමට ඇති වෙලා තියෙන කැළල ඉවත් කරන්නේ කොහොමද?

      • බයිබලයේ තියෙන පොරොන්දු දේවරාජ්‍යයෙන් ඉටු කරනවා කියලා අපිට විශ්වාස කරන්න පුළුවන් ඇයි?

      • ඔයා ආසාවෙන් ඉන්නේ දේවරාජ්‍යයෙන් ඉටු කරන මොන දේ දකින්නද?

      ඔයාට කරන්න දෙයක්

      තව දැනගන්න

      අර්මගෙදොන් කියන්නේ මොකක්ද කියලා දැනගන්න.

      “හර්–මගෙදොන් යුද්ධය කියන්නේ මොකක්ද?” (වෙබ් ලිපිය)

      යේසුස් “මහත් පීඩාව” විදිහට හඳුන්වපු කාලය අතරතුරේදී සිද්ධ වෙන දේවල් ගැන දැනගන්න.—මතෙව් 24:21

      “මහත් පීඩාව කියන්නේ මොකක්ද?” (වෙබ් ලිපිය)

      පවුලක් විදිහට එකතු වෙලා දේවරාජ්‍යයෙන් ලැබෙන ආශීර්වාද ගැන හිතන්න පුළුවන් කොහොමද කියලා බලන්න.

      ‘පාරාදීසයේදී මොනවාද කරන්න කැමති?’ (1:50)

      රජයට විරුද්ධව කැරලිගහපු කෙනෙක්ට තිබුණ ප්‍රශ්නවලට උත්තර ලැබුණ විදිහ දැනගන්න “මම ගොඩක් දේවල් ගැන කල්පනා කළා” කියන කොටස කියවන්න.

      “ජීවිත වෙනස් කළ පොතක්” (2012 ජනවාරි 1 ‘මුරටැඹ’)

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න