ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • bh 4 පරි. 37-46 පි.
  • යේසුස් ක්‍රිස්තුස් කවුද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • යේසුස් ක්‍රිස්තුස් කවුද?
  • බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • විශේෂ පැවරුමක්
  • යේසුස්ගේ ජීවිතය ඇරඹුණේ මේ පොළොව මතද?
  • යේසුස් මොන වගේ පුද්ගලයෙක්ද?
  • මරණය දක්වාම විශ්වාසවන්තව
  • යේසුස් ක්‍රිස්තුස් කවුද?
    බයිබලයේ ඉගැන්වීම් සරලව තේරුම්ගමු
  • යේසුස් කියන්නේ කවුද?
    හැමදාටම සතුටින් ජීවත් වෙන්න! - ඒ කොහොමද කියලා බයිබලයෙන් දැනගන්න
  • යේසුස් ක්‍රිස්තුස් දෙවි පිළිබඳ දැනුමට යතුර
    සදාකාල ජීවනයට මඟ පෙන්වන දැනුම
  • යේසුස් ක්‍රිස්තුස්—ඔහු කවුද?
    2005 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු
bh 4 පරි. 37-46 පි.

4වෙනි පරිච්ඡේදය

යේසුස් ක්‍රිස්තුස් කවුද?

  • යේසුස්ට ලැබුණු විශේෂ පැවරුම කුමක්ද?

  • යේසුස්ගේ ජීවිතය ඇරඹුණේ මේ පොළොව මතද?

  • යේසුස් මොන වගේ පුද්ගලයෙක්ද?

1, 2. (අ) පුද්ගලයෙකුව හොඳින් හඳුනනවා කියා පැවසිය හැක්කේ කෙසේද? (ආ) යේසුස් ගැන සමහරුන් සිතන්නේ මොනවාද?

ප්‍රසිද්ධ පුද්ගලයන් ඕනෑම ප්‍රදේශයක හෝ රටක සිටිනවා. සමහරුන් ලොව පුරාම ප්‍රසිද්ධයි. එවැනි අයව නමින් හඳුනාගත්තත් ඔවුන් ඇත්තටම මොන වගේ පුද්ගලයන්ද කියා අපි බොහෝ දුරට දන්නේ නැහැ.

2 යේසුස් කියන්නෙත් ලොව පුරා ප්‍රසිද්ධ කෙනෙක්. ඔහු ජීවත් වුණේ මීට අවුරුදු 2,000කට පමණ පෙර වුණත් ඔහු අදටත් ප්‍රසිද්ධයි. නමුත් ඔහු පිළිබඳ සැබෑ තොරතුරු බොහෝදෙනෙක් දන්නේ නැහැ. සමහරුන් සිතන්නේ ඔහු පොළොව මත ජීවත් වූ තවත් යහපත් මිනිසෙකු පමණක් බවයි. තවත් අය සිතන්නේ ඔහු බලවත් ක්‍රියා කළ කෙනෙකු බවයි. තවත් සමහරුන් යේසුස් දෙවියන් කියා විශ්වාස කරනවා. එවැනි අය සිතන්නේ අපේ නමස්කාරය ඔහුට දිය යුතු බවයි. එසේනම් යේසුස් පිළිබඳ සත්‍යය කුමක්ද? බයිබලය විශ්වාසවන්ත පොතක් නිසා යේසුස් පිළිබඳ සැබෑ තොරතුරු අපට එයින් සොයාගත හැකියි.

3. යෙහෝවා දෙවිව සහ යේසුස්ව හොඳින් දැන හඳුනා ගැනීම වැදගත් දෙයක් වන්නේ ඇයි?

3 යේසුස් ගැන සැබෑ තොරතුරු දැනගැනීම ඉතා වැදගත්. මන්ද බයිබලයේ මෙසේ පවසනවා. “සදාකාල ජීවනය ලබාගැනීමට ඔවුන් කළ යුතු දේ නම් එකම සැබෑ දෙවි වන ඔබවත් ඔබ එවූ තැනැත්තා වන යේසුස් ක්‍රිස්තුස්වත් දැන හඳුනා ගැනීමයි.” (යොහන් 17:3) ඒ අනුව යෙහෝවා දෙවිවත් යේසුස් ක්‍රිස්තුස්වත් හොඳින් දැන හඳුනා ගැනීම පාරාදීස පොළොවක සදාකල් ජීවත් වීමට මඟ පෑදිය හැකියි. (යොහන් 14:6) එමෙන්ම අප ජීවත් විය යුතු ආකාරය ගැන හා අන් අයට සැලකිය යුතු ආකාරය ගැන හොඳම ආදර්ශය තබන්නේ යේසුස්. යේසුස් ගැන වඩාත් හොඳින් දැනගැනීමට එය තවත් හේතුවක්. (යොහන් 13:34, 35) මේ පොතේ මුල් පරිච්ඡේදයේදී අප දෙවි ගැන සැබෑ තොරතුරු ඉගෙනගත් ලෙසම බයිබලයේ යේසුස් ගැන සඳහන් වන දෙය දැන් සලකා බලමු.

විශේෂ පැවරුමක්

4. “ක්‍රිස්තුස්” යන වචනයේ තේරුම කුමක්ද?

4 යේසුස් ඉපදෙන්න බොහෝ කාලයකට පෙර දෙවි මිනිසෙකුව තෝරා ඔහුට විශේෂ පැවරුමක් භාර දෙන බව බයිබලයේ සඳහන් වී තිබුණා. ඒ පැවරුම ලබන තැනැත්තාව ග්‍රීක බසින් හඳුන්වා තිබෙන්නේ “ක්‍රිස්තුස්” ලෙසයි. (හෙබ්‍රෙව් බසින් “මෙසියස්”) ක්‍රිස්තුස් යන වචනයේ තේරුම “විශේෂ පැවරුමක් ඉටු කිරීමට පත් කළ තැනැත්තා” යන්නයි. ක්‍රිස්තුස් ලෙස පත් වන තැනැත්තාට ලැබෙන ඒ විශේෂ පැවරුම කුමක්ද? දෙවි පොරොන්දු වී තිබූ සෑම දෙයක්ම සම්පූර්ණයෙන්ම ඉටු කිරීමේ වගකීමයි. ඒ දේවල් තේරුම්ගත් බොහෝදෙනෙක් ක්‍රිස්තුස් ලෙස දෙවි පත් කරන්නේ කාවද කියා කල්පනා කළා.

5. යේසුස් ගැන ඔහුගේ ගෝලයන් තේරුම්ගත්තේ කුමක්ද?

5 යේසුස් මේ පොළොවේ ජීවත් වූ කාලයේ ඔහු දෙවි තෝරාගත් ක්‍රිස්තුස් බව ඔහුගේ ගෝලයන් තේරුම්ගත් අතර ඔවුන්ට ඒ ගැන කිසිම සැකයක් තිබුණේ නැහැ. (යොහන් 1:41) සීමොන් පේතෘස් නම් එක් ගෝලයෙක්, “ඔබ ක්‍රිස්තුස්” කියා යේසුස්ට කෙළින්ම පැවසුවා. (මතෙව් 16:16) ක්‍රිස්තුස් ලෙස තෝරාගත් තැනැත්තා යේසුස් බව ඔහුගේ ගෝලයන් දැනගත්තේ කෙසේද?

6. ක්‍රිස්තුස්ව හඳුනාගැනීමට දෙවි උපකාර කළේ කෙසේද? පැහැදිලි කරන්න.

6 යේසුස් ඉපදෙන්න බොහෝ කලකට කලින් දෙවිගේ විශ්වාසවන්ත සේවකයන් විසින් ක්‍රිස්තුස් ලෙස තෝරගන්නා තැනැත්තාව හඳුනාගැනීමට අවශ්‍ය තොරතුරු බයිබලයේ වාර්තා කර තිබුණා. දෙවිගේ මඟ පෙන්වීමෙන් ලැබුණු ඒ තොරතුරු සියල්ලක්ම යම් පුද්ගලයෙකුට අදාළ වන විට ඒ තැනැත්තා දෙවි තෝරාගත් ක්‍රිස්තුස් බව හඳුනාගත හැකියි. උදාහරණයකට මේ ගැන සිතන්න. කවදාවත් දැක නැති කෙනෙකුව හමු වීමට ඔබ සෙනඟ පිරුණු බස් නැවතුම්පොළකට හෝ දුම්රියපොළකට හෝ ගියායයි සිතන්න. ඒ තැනැත්තා ගැන යම් විස්තර ඔබ කලින් දැනගෙන සිටියා නම් ඔබට ඔහුව හඳුනාගැනීම වඩාත් පහසු වෙයි. ඒ හා සමානව ක්‍රිස්තුස් ගැන කලින් පවසා තිබූ තොරතුරු ඔහුව හඳුනාගැනීමට උපකාරවත් වුණා.

7. ක්‍රිස්තුස් ගැන කලින් පවසා තිබුණේ මොනවාද? එයින් ඔප්පු වන්නේ කුමක්ද?

7 ක්‍රිස්තුස් ගැන කලින් පවසා තිබූ තොරතුරු අතරින් කාරණා දෙකක් දැන් සලකා බලමු. (1) ඔහු යූදා දේශයේ කුඩා නගරයක් වූ බෙත්ලෙහෙමේ ඉපදෙන බව මීකා නම් තැනැත්තා එය සිදු වීමට අවුරුදු 700කට කලින් සඳහන් කළා. (මීකා 5:2) ඔහු පැවසූ ලෙසම යේසුස් ඉපදුණේ ඒ නගරයේමයි. (මතෙව් 2:1, 3-9) (2) ඔහු තම පැවරුම ආරම්භ කරන අවුරුද්ද ගැන දානියෙල් අවුරුදු 500කට කලින් සඳහන් කළා. (දානියෙල් 9:25) ඒ අවුරුද්ද නම් ක්‍රිස්තු වර්ෂ 29යි.a ඒ කාරණා දෙක ඇතුළුව තවත් බොහෝ තොරතුරු යේසුස්ට අදාළ වූ නිසා ඔහු දෙවි තෝරාගත් ක්‍රිස්තුස් බව පැහැදිලිව ඔප්පු වුණා.

යේසුස් බව්තීස්ම වුණ අවස්ථාවේදී දෙවිගේ බලය පරෙවියෙක් වගේ ආපු එකෙන් පැහැදිලි වෙන්නේ ගැලවුම්කරු යේසුස් කියන එකයි

ක්‍රිස්තුස් ලෙස යේසුස්ව පත් කළේ ඔහු බව්තීස්ම වූ අවස්ථාවේදීයි

8, 9. යේසුස් බව්තීස්ම වූ අවස්ථාවේදී ඔහු ක්‍රිස්තුස් බව පැහැදිලි වුණේ කෙසේද?

8 යේසුස්, දෙවි තෝරාගත් ක්‍රිස්තුස් බවට තවත් සාක්ෂියක් ක්‍රි.ව. 29වෙනි අවුරුද්දේ අවසාන භාගයේදී පැහැදිලිව දක්නට ලැබුණා. යේසුස් තම නෑයෙකු වූ යොහන් ළඟට ගොස් යොර්දාන් ගඟේ බව්තීස්ම වුණේ ඒ අවුරුද්දේදීයි. (බව්තීස්මය යනු විශේෂ චාරිත්‍රයක්. එහිදී පුද්ගලයෙකුව ජලයේ ගිල්වා නැවත ඔසවනවා.) ක්‍රිස්තුස්ව හඳුනාගැනීමට යොහන්ට ලකුණක් දෙන බවට යෙහෝවා දෙවි පොරොන්දු වී තිබුණා. යේසුස් බව්තීස්ම වූ අවස්ථාවේදී ඒ ලකුණ යොහන් දුටුවා. බයිබලයේ ඒ ගැන සඳහන් වන්නේ මෙසේයි. “යේසුස් බව්තීස්ම වී දියෙන් උඩට මතු වෙනවාත් සමඟම අහස විවර විය. දෙවිගේ බලය පරෙවියෙකුගේ ස්වරූපයෙන් ඔහු පිටට පැමිණි ආකාරය යොහන් දුටුවේය. ඒ අවස්ථාවේදී, ‘මේ මාගේ ප්‍රේමණීය පුත්‍රයාය, මම මොහුව අනුමත කළෙමි’ කියා පැවසූ හඬක් ස්වර්ගයෙන් නික්මුණේය.” (මතෙව් 3:16, 17) ඒ අවස්ථාවේදී ඇසූ දුටු දේ නිසා යොහන් පැහැදිලිව වටහාගත්තේ යේසුස්, දෙවි තෝරාගත් ක්‍රිස්තුස් බවයි. (යොහන් 1:32-34) යේසුස්ට දෙවිගේ බලය ලැබුණු මොහොතේ සිට ඔහු දෙවි තෝරාගත් ක්‍රිස්තුස් බවට පත් වුණා. එතැන් සිට ඔහු පෙනී සිටියේ අනාගත රජු හා නායකයා ලෙසයි.—යෙසායා 55:4.

9 බයිබලයේ සඳහන් තොරතුරු යේසුස්ට අදාළ වීමෙන් හා යේසුස් බව්තීස්ම වූ අවස්ථාවේ යෙහෝවා දෙවි දුන් සාක්ෂිවලින් පැහැදිලිව පෙනී යන්නේ ඔහු ක්‍රිස්තුස් බවයි. යේසුස් ක්‍රිස්තුස් ගැන මතු වන ප්‍රශ්න දෙකක් දැන් සලකා බලමු. එනම් ඔහුගේ ජීවිතය ඇරඹුණේ මේ පොළොව මතද? ඔහු මොන වගේ පුද්ගලයෙක්ද?

යේසුස්ගේ ජීවිතය ඇරඹුණේ මේ පොළොව මතද?

10. යේසුස් කලින් ස්වර්ගයේ සිටි බව පැවසිය හැක්කේ ඇයි?

10 බයිබලයේ සඳහන් වන්නේ යේසුස් පොළොවට පැමිණීමට කලින් ස්වර්ගයේ සිටි බවයි. උදාහරණයකට ක්‍රිස්තුස් බෙත්ලෙහෙමේ ඉපදෙන බව පැවසූ මීකා, ඔහුගේ ‘පටන්ගැන්ම ඈත අතීතයට දිව යන’ බවද පැවසුවා. (මීකා 5:2) යේසුස් පවා අවස්ථා කිහිපයකදීම පැවසුවේ තමන් මිනිසෙකු ලෙස ඉපදීමට කලින් ස්වර්ගයේ සිටි බවයි. (යොහන් 3:13; 6:38, 62 කියවන්න; 17:4, 5) ස්වර්ගයේ සිටි යේසුස් ගැන බයිබලයේ පවසන්නේ කුමක්ද?

11. යේසුස් දෙවිගේ කිට්ටුම පුත්‍රයා බව පැවසිය හැක්කේ ඇයි?

11 යේසුස්ව හඳුන්වා තිබෙන්නේ, “දෙවිගේ කුලුඳුල් නිර්මාණය” ලෙසයි. ඉන් අදහස් වන්නේ දෙවි අන් සියලු දේ සෑදීමට පෙර මුලින්ම සෑදූ තැනැත්තා යේසුස් බවයි. (කොලොස්සි 1:15) එමෙන්ම ඔහුව දෙවිගේ “එකම පුත්‍රයා” ලෙසද හඳුන්වා තිබෙනවා.b (යොහන් 3:16) ඉන් අදහස් කරන්නේ දෙවි තනිව නිර්මාණය කළ එකම තැනැත්තා යේසුස් බවයි. දෙවි අන් සියලු දේ නිර්මාණය කිරීමට හවුල් කරගත් එකම තැනැත්තාද යේසුස්. (කොලොස්සි 1:16) යේසුස්ව “ ‘වචනය’ නමැති තැනැත්තා” කියාද හඳුන්වනවා. (යොහන් 1:14) ඉන් අදහස් කරන්නේ දෙවිගේ පණිවිඩ ප්‍රකාශ කරන ප්‍රධානතම තැනැත්තා ඔහු බවයි. දෙවි ස්වර්ගයේ හා පොළොවේ සිටින තම සේවකයන්ට පණිවිඩ හා මඟ පෙන්වීම් ලබා දෙන්නේ යේසුස්ව යොදාගෙනයි. ඒ සියල්ලෙන් පැහැදිලි වන්නේ යේසුස් යෙහෝවා දෙවිගේ කිට්ටුම පුත්‍රයා බවයි.

12. යේසුස් දෙවිට සමාන නොවන බව අප දන්නේ කෙසේද?

12 සමහරුන් විශ්වාස කරන්නේ යේසුස් දෙවිට සමාන බවයි. නමුත් එවැනි දෙයක් නම් බයිබලයේ සඳහන් වී නැහැ. කලින් ඡේදයේ පැහැදිලි කළ ආකාරයට යේසුස්ව සෑදුවේ දෙවියි. ඒ නිසා යේසුස්ට පටන්ගැන්මක් තිබෙනවා. නමුත් යෙහෝවා දෙවිට පටන්ගැන්මක්වත් අවසානයක්වත් නැහැ. (ගීතාවලිය 90:2) යේසුස් තම පියාණන්ට සමාන වීමට කවදාවත් සිතුවේ නැහැ. බයිබලයේ පැහැදිලිව සඳහන් වී තිබෙන්නේ පියාණන් පුත්‍රයාට වඩා උතුම් බවයි. (යොහන් 14:28 කියවන්න; 1 කොරින්ති 11:3) “සියලු බලැති දෙවි” යෙහෝවා පමණයි. (උත්පත්ති 17:1) ඔහුට සමාන කිසිවෙක් නැහැ.c

13. කොලොස්සි 1:15හි සඳහන් දෙයින් අදහස් කරන්නේ කුමක්ද?

13 යේසුස් දෙවිගේ කුලුඳුල් නිර්මාණය වන නිසා අහස හා පොළොව සෑදීමට බොහෝ කාලයකට පෙර සිට එනම්, අවුරුදු බිලියන ගණනක් පුරා ඔහු දෙවි සමඟ සිටියා. ඒ නිසා ඔවුන් අතරේ කිට්ටු බැඳීමක් මෙන්ම ගැඹුරු ප්‍රේමයක් තිබුණා. (යොහන් 3:35; 14:31) ඒ කාලය පුරා ඔහු දෙවි ගැන බොහෝ දේවල් ඉගෙනගත්තා. යේසුස්ගේ පෞද්ගලිකත්වයේ දෙවිගේ ගතිලක්ෂණ කැපීපෙනෙන අයුරින් දක්නට ලැබුණේ ඒ නිසයි. බයිබලයේ, “නොපෙනෙන දෙවිගේ සැබෑ ස්වභාවය පිළිබිඹු වන්නේ [යේසුස්] තුළින්” කියා පැවසීමෙන් ඒ කාරණය තහවුරු කර තිබෙනවා. (කොලොස්සි 1:15) එය තේරුම්ගැනීම එතරම් අපහසු දෙයක් නොවෙයි. මන්ද සාමාන්‍යයෙන් පුතෙක් ඔහුගේ පියාගේ ගතිලක්ෂණ විදහාපෙන්වනවා.

14. දෙවිගේ කුලුඳුල් පුත්‍රයා මිනිසෙකු ලෙස ඉපදුණේ කෙසේද?

14 ස්වර්ගයේ ජීවිතය කැමැත්තෙන්ම අත්හැර මිනිසෙකු ලෙස පොළොවට පැමිණියේ දෙවිගේ ඒ කුලුඳුල් පුත්‍රයායි. නමුත් ස්වර්ගයේ සිටි කෙනෙක් මිනිසෙකු ලෙස ඉපදුණේ කෙසේද? යෙහෝවා දෙවි ඒ දේ කළේ ආශ්චර්යයක් මගිනුයි. ස්වර්ගයේ සිටි තම කුලුඳුල් පුත්‍රයාව මරියා නම් යුදෙව් කන්‍යාවකගේ ගර්භාශයේ ඔහු වැඩෙන්න සැලැස්වූවා. ඒ පිළිසිඳගැනීමට කිසි මිනිසෙක් සම්බන්ධ වුණේ නැහැ. ඒ නිසයි ආදම්ගේ පව්කාර ස්වභාවය උරුම කර නොගත් දරුවෙකුව බිහි කිරීමට මරියාට හැකි වුණේ. ඇය ඔහුට යේසුස් යන නම තැබුවා.—ලූක් 1:30-35.

යේසුස් මොන වගේ පුද්ගලයෙක්ද?

යේසුස් උගන්වමින්

15. යේසුස් මොන වගේ පුද්ගලයෙක්ද කියා දැනගැනීම වැදගත් වන්නේ ඇයි?

15 යේසුස් මොන වගේ පුද්ගලයෙක්ද කියා හොඳින් දැනගැනීම ඉතා වැදගත්. එසේ කිරීමෙන් අපට යෙහෝවා දෙවිව වඩාත් හොඳින් දැන හඳුනා ගත හැකියි. මන්ද අප කලින් සලකා බැලූ ආකාරයට දෙවිගේ සැබෑ ස්වභාවය පිළිබිඹු වන්නේ යේසුස් තුළිනුයි. යේසුස් පවා, “මාව දැක ඇති තැනැත්තා පියාණන්වත් දැක තිබෙනවා” කියා පැවසුවේ ඒ නිසයි. (යොහන් 14:9) යේසුස් මොන වගේ පුද්ගලයෙක්ද කියා දැනගැනීමට නම් ඔහු ගත කළ ජීවිතය ගැනත් ඔහුගේ ගුණාංග හා ඔහු කළ දේවල් ගැනත් සොයා බැලිය යුතුයි. බයිබලයේ මතෙව්, මාක්, ලූක් හා යොහන් යන පොත් හතර එසේ කිරීමට අපට උපකාරවත් වෙනවා.

16. යේසුස් ප්‍රධාන වශයෙන් ඉගැන්වූයේ කුමක් ගැනද? ඔහු ඉගැන්වූයේ කාගේ අදහස්ද?

16 යේසුස් ප්‍රසිද්ධව සිටියේ ‘ගුරුවරයෙක්’ ලෙසයි. (යොහන් 1:38; 13:13) ඔහු ප්‍රධාන වශයෙන් මිනිසුන්ට ඉගැන්වූයේ කීකරු මිනිස් වර්ගයාට නිමක් නැති ආශීර්වාද භුක්ති විඳීමට අවස්ථාව ලබා දෙන දෙවිගේ “රාජ්‍යයේ ශුභාරංචිය” ගැනයි. අපි කලින් දැනගත් ලෙස ඒ රාජ්‍යය ස්වර්ගයේ පිහිටුවා තිබෙන ආණ්ඩුවක්.d (මතෙව් 4:23) නමුත් ඔහු ඉගැන්වූ ඒ දේවල් ඔහුගේම අදහස් නොවෙයි. මන්ද, “මා උගන්වන්නේ මගේ අදහස් නොව මාව එවූ තැනැත්තාගේ අදහස්” කියා ඔහු පැවසුවා. (යොහන් 7:16) මිනිසුන් රාජ්‍යයේ ශුභාරංචිය ගැන දැනගන්නවාට යෙහෝවා දෙවි කැමති බව යේසුස් හොඳින් දැන සිටියා. සැමවිටම ඔහුගේ ඉගැන්වීම් දෙවිගේ රාජ්‍යය මත පදනම් වුණේ ඒ නිසයි.

යේසුස් මාළු අල්ලන කෙනෙකුට දේශනා කරමින්

17. යේසුස් මිනිසුන්ට ඉගැන්වූයේ මොන වගේ තැන්වලද? කාලයක් හා ශ්‍රමයක් වැය කරමින් ඔහු මිනිසුන්ට ඉගැන්වූයේ ඇයි?

17 යේසුස් මිනිසුන් සිටි ඕනෑම තැනකට එනම් නගරවලට, ගම්වලට, වෙළඳපොළවලට හා නිවෙස්වලට ගොස් ඉගැන්වූවා. මිනිසුන් තමන් ළඟට එන තෙක් ඔහු බලා සිටියේ නැහැ. ඔහු ඔවුන් ළඟට ගොස් ඉගැන්වූවා. (මාක් 6:56; ලූක් 19:5, 6) එතරම් කාලයක් හා ශ්‍රමයක් වැය කරමින් ඔහු මිනිසුන්ට ඉගැන්වූයේ ඇයි? එසේ කිරීමට එක් හේතුවක් නම් එය දෙවිගේ කැමැත්ත බව ඔහු දැන සිටීමයි. යේසුස් සැමවිටම කළේ තම පියාගේ කැමැත්තයි. (යොහන් 8:28, 29) තවත් හේතුවක් නම් මිනිසුන් සිටි අන්ත අසරණ තත්වය ගැන යේසුස්ට මහත් අනුකම්පාවක් දැනීමයි. (මතෙව් 9:35, 36 කියවන්න.) මන්ද දෙවි ගැනත් ඔහුගේ අරමුණු ගැනත් මිනිසුන්ට ඉගැන්වීමේ වගකීම ආගමික නායකයන්ට පැවරී තිබුණත් ඔවුන් එය ඉටු කළේ නැහැ. ඔවුන් ජනයා කෙරෙහි කිසිම සැලකිල්ලක් දැක්වූයේ නැහැ. ඒ නිසා දේවරාජ්‍යය ගැන මිනිසුන් දැනගැනීම කොතරම් වැදගත් දෙයක්ද කියා යේසුස් දැන සිටියා.

18. ඔබේ සිත් ගත්තේ යේසුස්ගේ කුමන ගතිගුණද?

18 යේසුස් යහපත් ගතිගුණවලින් පිරුණු පුද්ගලයෙක්. ඔහු ඉතා ප්‍රේමණීය, කරුණාවන්ත කෙනෙක්. ඒ නිසා කිසිම කෙනෙකුට ඔහු වෙතට යන්න බියක් දැනුණේ නැහැ. කුඩා ළමුන් පවා ඔහු සමඟ කල් ගෙවීමට ප්‍රිය කළා. (මාක් 10:13-16) යේසුස් සියලුදෙනාටම එක හා සමානව සැලකූ පුද්ගලයෙක්. ඔහු අයුක්තිය, අසාධාරණය දැඩි ලෙස හෙළාදුටුවා. (මතෙව් 21:12, 13) එදා සමාජයේ ස්ත්‍රීන්ට තිබුණේ සීමිත අයිතිවාසිකම්. ඔවුන්ට කිසි ගෞරවයක් ලැබුණෙත් නැහැ. නමුත් යේසුස් ඔවුන්ට ගෞරවයෙන් සැලකුවා. (යොහන් 4:9, 27) යේසුස් නිහතමානී කෙනෙක්. ඔහුගේ නිහතමානිකම බොරු මවාපෑමක් නොවෙයි. එක් අවස්ථාවකදී ඔහු තම ගෝලයන්ගේ පාද පවා සේදුවා. ඒ කාලයේ සාමාන්‍යයෙන් එවැනි දෙයක් කරන්නේ මෙහෙකරුවන් විසිනුයි.

යේසුස් අසනීප අයව සුව කරමින්

මිනිසුන් සිටි ඕනෑම තැනකට ගොස් යේසුස් දේශනා කළා

19. අන් අයගේ දුක් වේදනාව යේසුස් හොඳින් තේරුම්ගත් බව පැහැදිලි වන්නේ කුමන සිද්ධියෙන්ද?

19 යේසුස් අන් අය අද්දකිමින් සිටි දුක් වේදනා හා ඔවුන්ගේ අවශ්‍යතා හොඳින් තේරුම්ගත්තා. දෙවිගේ බලයෙන් ඔහු ලෙඩුන්ව සුව කළ අවස්ථාවලදී ඒ බව පැහැදිලි වුණා. (මතෙව් 14:14) එක් අවස්ථාවකදී ලාදුරු රෝගියෙක් යේසුස් ළඟට ඇවිත්, “ඔබ කැමති නම් ඔබට පුළුවන් මාව පවිත්‍ර කරන්න” කියා ඔහුගෙන් අයැද සිටියා. ඒ මිනිසා විඳිමින් සිටි වේදනාව යේසුස් තේරුම්ගත් අතර ඔහු ගැන අනුකම්පාවක් ඇති වී, අත දිගු කොට ඔහුව ස්පර්ශ කර, “මා කැමතියි. පවිත්‍ර වෙන්න” කියා පැවසුවා. එවිට ඔහු සුව වුණා. (මාක් 1:40-42) ඒ මිනිසාට මොන තරම් සතුටක් දැනෙන්න ඇද්ද!

මරණය දක්වාම විශ්වාසවන්තව

20, 21. දෙවිට කීකරු වීම සම්බන්ධයෙන් යේසුස් විශිෂ්ට ආදර්ශයක් තැබුවේ කෙසේද?

20 දෙවිට කීකරු වීම සම්බන්ධයෙන් යේසුස් විශිෂ්ට ආදර්ශයක් තැබුවා. ඉතා අසීරු අවස්ථාවලදී පවා ඔහු දෙවිට විශ්වාසවන්තව සිටියා. ඔහුට බොහෝ ප්‍රශ්න ගැටලුවලට මුහුණ දෙන්න සිදු වුණා. සාතන් හැකි සෑම අවස්ථාවකදීම උත්සාහ කළේ ඔහුව වරදට පොලඹවන්නයි. නමුත් ඔහු නොසැලී සිටියා. (මතෙව් 4:1-11) ඔහු දෙවිගේ පුත්‍රයා බව ඔහුගේ පවුලේ අයගෙන් සමහරදෙනෙක් පිළිගත්තේ නැහැ. ඔවුන් පැවසුවේ, “ඔහු සිහිවිකල් වී” සිටින කෙනෙකු බවයි. (මාක් 3:21) නමුත් යේසුස් ඔවුන්ගේ බලපෑම්වලට හසු වුණේ නැහැ. දෙවි ඔහුට දුන් කාර්යයේ ඔහු දිගටම නිරත වුණා. බොහෝ නින්දා අපහාසවලට මුහුණ දීමට සිදු වුණත් ඔහු කෝප වුණේ නැහැ. ඔහුට විරුද්ධව ක්‍රියා කළ අයට එකට එක කරන්න ගියෙත් නැහැ.—1 පේතෘස් 2:21-23.

21 තම සතුරන් අතින් ඉතාමත් වේදනාසහගත මරණයක් අද්දකින්න යේසුස්ට සිදු වුණා. නමුත් ඔහු මරණය දක්වාම දෙවිට විශ්වාසවන්තව සිටියා. (ෆිලිප්පි 2:8 කියවන්න.) මිහිපිට ඔහු ගත කළ අවසාන දවසේදී ඔහුට මුහුණ දීමට සිදු වූ දේවල් ගැන ටිකක් සිතා බලන්න. ඔහුව අත්අඩංගුවට ගත්තා. ඔහුට විරුද්ධව බොරු සාක්ෂි ඉදිරිපත් කළා. යුක්තිය හරියට ඉටු නොකළ විනිසුරුවන් ඔහු වරදකරුවෙකු බව තීන්දු කළා. බොහෝදෙනෙක් ඔහුට සමච්චල් කළා. හේවායන් ඔහුට වධ හිංසා කළා. අන්තිමේදී ඔහුව වධකණුවක ඇණ ගැසුවා. ඒ සියල්ල විඳදරාගත් ඔහු, අවසන් හුස්ම හෙළමින්, “ඔබ පැවසූ සෑම දෙයක්ම මම ඉටු කළා” කියා දෙවිට පැවසුවා. (යොහන් 19:30) ඔහුගේ විශ්වාසවන්තකමට දෙවි ඔහුට ආශීර්වාද කළා. දවස් තුනකට පසු දෙවි ඔහුව නැවත නැඟිට්ටෙව්වා. (1 පේතෘස් 3:18) ඉන් දවස් 40කට පසු ආපසු ස්වර්ගයට ගිය ඔහු, රජකම් කිරීමට තමාට බලය ලැබෙන තෙක්, ‘දෙවිගේ දකුණු පැත්තේ ඉඳගත්තා.’—හෙබ්‍රෙව් 10:12, 13.

22. යේසුස් මරණය දක්වාම දෙවිට විශ්වාසවන්තව සිටීමේ ප්‍රතිඵලය කුමක්ද?

22 යේසුස් මරණය දක්වාම දෙවිට විශ්වාසවන්තව සිටි නිසා පාරාදීස පොළොවක සදාකල් ජීවත් වීමේ ප්‍රස්තාව අපට උදා වුණා. යෙහෝවා දෙවිගේ මුල් අරමුණ වුණෙත් එයයි. යේසුස්ගේ මරණය අපට සදාකාල ජීවිතයකට මඟ සලසන්නේ කෙසේද? ඒ ගැන අපි ඊළඟ පරිච්ඡේදයේදී සලකා බලමු.

a වැඩි විස්තර දැනගන්න උපග්‍රන්ථයේ “ගැලවුම්කරු ගැන දානියෙල් පැවසූ දේ” කියන ලිපිය බලන්න.

b යෙහෝවා දෙවිව පියාණන් ලෙස හඳුන්වන්නේ ඔහු සියල්ලේ නිර්මාතෘ වන නිසයි. (යෙසායා 64:8) යේසුස්ව නිර්මාණය කළේ දෙවියි. ඒ නිසා ඔහුව දෙවිගේ පුත්‍රයා කියා හඳුන්වනවා. දෙවිට තවත් පුත්‍රයන් සිටිනවා. ඒ අයට ස්වර්ගයේ සිටින දේවදූතයන්ද ඇතුළත්. ආදම්ව පවා දෙවිගේ පුත්‍රයෙකු ලෙස හඳුන්වා තිබෙනවා.—යෝබ් 1:6; ලූක් 3:38.

c වැඩි විස්තර දැනගන්න උපග්‍රන්ථයේ “පියා, පුත්‍රයා හා ශුද්ධාත්මය පිළිබඳ සත්‍යය” කියන ලිපිය බලන්න.

d ඒ ගැන වැඩි විස්තර අටවෙනි පරිච්ඡේදයේදී සලකා බලමු.

බයිබලයේ උගන්වා තිබෙන ආකාරයට

  • යේසුස් දෙවි තෝරාගත් ක්‍රිස්තුස් බව ඔහු ගැන කලින් පවසා තිබූ දේවලින් හා දෙවිම දුන් සාක්ෂිවලින් පැහැදිලි වෙනවා.—මතෙව් 16:16.

  • යේසුස් පොළොවට පැමිණීමට බොහෝ කලකට පෙර දෙවි සමඟ ස්වර්ගයේ ජීවත් වුණා.—යොහන් 3:13.

  • යේසුස් ගුරුවරයෙක්. ඔහු යහපත් ගතිගුණවලින් පිරුණු පුද්ගලයෙක්. එමෙන්ම දෙවිට විශ්වාසවන්තව සිටීම සම්බන්ධයෙන් විශිෂ්ටතම ආදර්ශය සපයන්නේ ඔහුයි.—මතෙව් 9:35, 36.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න