හර්–මගෙදොන් දුෂ්ටකමට නිමාවක්
‘භූතයන්, මුළු ලොව පුරාම සිටින රජුන්ව හර්–මගෙදොන් නමැති ස්ථානයට රැස් කළා.’—එළිදරව් 16:14, 16.
හර්–මගෙදොන් යන වචනය බයිබලයේ සඳහන් කර තිබෙන්නේ යම් සිද්ධියක් එනම්, යුද්ධයක් ඇඟවීමටයි.
හර්–මගෙදොන් යන්නෙන් අදහස් කරන දේ
හෙබ්‍රෙව් භාෂාවෙන් හර්–මගෙදොන් යන වචනයෙන් අදහස් කරන්නේ “මෙගිද්දෝ කන්ද” යන්නයි. එම වචනය භාවිත කර තිබෙන්නේ කන්දක් හැඳින්වීමට නොව යම් ස්ථානයක් හැඳින්වීමටයි. පුරාණ ඊශ්‍රායෙල්වරු ජීවත් වූ ප්‍රදේශයේ වයඹ දෙසට වෙන්නට ඇති ප්‍රධාන මහාමාර්ග දෙකක් එකිනෙකට යා වෙන ස්ථානයක් එම නමින් හැඳින්නුවා. ඒ අසල බොහෝ යුද්ධ සිදු වුණා. ඒ නිසා යුද්ධ ගැන සඳහන් කරන විට මෙගිද්දෝ යන වචනයත් බොහෝවිට කියැවුණා.a
මෙගිද්දෝ පිහිටා තිබුණේ යෙහෝවා දෙවි ඊශ්‍රායෙල්වරුන්ට ලබා දුන් දේශයේයි. (නික්මයාම 33:1; යොෂුවා 12:7, 21) ඊශ්‍රායෙල්වරුන්ගේ සතුරන් නිතරම ඔවුන්ට විරුද්ධව යුද්ධයට පැමිණියා. නමුත් දෙවි ඔවුන්ව ආරක්ෂා කරන බවට පොරොන්දු වී තිබූ අතර ඔහු එම පොරොන්දුව ඉටු කළා. (ද්විතීය කතාව 6:18, 19) ඒ නිසා ඊශ්‍රායෙල්වරුන්ට විරුද්ධව වෙනත් ජාතීන් යුද්ධ කළ විට දෙවි ඊට මැදිහත් වී ඔවුන්ව බේරාගත්තා. එවැනි බොහෝ යුද්ධ සිදු වුණේ මෙගිද්දෝ අසලයි. උදාහරණයකට, සිසෙරාගේ කානානීය හමුදාව පරාජය කර දෙවි තම සෙනඟව ගලවාගත්තේ එම ස්ථානයේදියි.—විනිශ්චයකරුවෝ 4:14-16.
බොහෝවිට මෙගිද්දෝ යන වචනය යුද්ධය හා සම්බන්ධව කියැවුණු නිසා මෙගිද්දෝ කන්ද යන අදහස ඇති හර්–මගෙදොන් යන වචනය යුද්ධයක් විස්තර කිරීමට බයිබලයේ යොදාගෙන තිබෙනවා.
හර්–මගෙදොන් යන වචනය බයිබලයේ සඳහන් වී තිබෙන්නේ එළිදරව් පොතෙයි. අනාගතයේදී සිදු වන දෙයක් ගැන එම පොතේ විස්තර කරනවා. එහි සඳහන් ලෙස දෙවිගේ සෙනඟට විරුද්ධව ක්‍රියා කරන්න සාතන් සහ ඔහුගේ භූත සේනාව, ලෝකයේ ඇති සියලුම ආණ්ඩු පොලඹවනවා. ඒ අනුව දෙවිගේ සෙනඟ හා ඔවුන්ගේ ක්‍රියාකාරකම් සහමුලින්ම නැති කර දැමීමට එම ආණ්ඩු පියවර ගන්නවා. ඔවුන් එම පියවර ගන්නා විට දෙවි තම සෙනඟ වෙනුවෙන් මැදිහත් වෙනවා. එවිට දෙවිගේ සෙනඟට විරුද්ධව ක්‍රියා කරන මිලියන ගණනක් දුෂ්ට මිනිසුන්ව දෙවි විනාශ කරනවා.—එළිදරව් 19:11-18.
‘දයාන්විත, ප්‍රේමණීය මෙන්ම කෝප වීමට ඉක්මන් නොවන’ යෙහෝවා දෙවි එතරම් විශාල සෙනඟක්ව විනාශ කර දමන්නේ ඇයි? (නෙහෙමියා 9:17) ඊට පිළිතුර දැනගැනීමට වැදගත් කරුණු තුනක් අවබෝධ කරගැනීම අත්‍යවශ්‍යයි. (1) යුද්ධය පටන්ගන්නේ කවුද? (2) දෙවි ඊට මැදිහත් වන්නේ ඇයි? (3) පොළොවටත් එහි ජීවත් වන අයටත් ඉන් සිදු වන්නේ කුමක්ද?
1. යුද්ධය පටන්ගන්නේ කවුද?
හර්–මගෙදොන් ලෙස හඳුන්වන යුද්ධය පටන්ගන්නේ දෙවි නොවෙයි. එය ආරම්භ කරන්නේ “මුළු ලොව පුරාම සිටින රජුන්” එනම්, ලෝක පාලකයන් බව බයිබලයේ සඳහන් වෙනවා. ඔවුන් සියලුදෙනාම එක් රැස් වී යුද්ධ කරන්නේ දෙවිගේ සෙනඟ වන සැබෑ ක්‍රිස්තියානීන්ට විරුද්ධවයි. ඔවුන් එසේ කරන්නේ ඇයි? සාතන් එසේ කිරීමට ඔවුන්ව පොලඹවන නිසයි. දෙවි ඒ අවස්ථාවේදී තම සෙනඟව විනාශ කරන්න මාන බලමින් සිටින අයගෙන් ඔවුන්ව ආරක්ෂා කිරීමට පියවර ගන්නවා.—එළිදරව් 16:13, 14; 19:17, 18.
ආගමික නිදහස හා අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය තහවුරු කිරීමට ආණ්ඩු වැඩි අවධානයක් යොමු කරන මේ කාලයේදී එය සීමා කිරීමට හෝ එය සම්පූර්ණයෙන් නැති කිරීමට ඔවුන් උත්සාහ කරයිද? බැලූ බැල්මට එවැනි දෙයක් සිදු වෙයි කියා සිතන්න බැහැ. කෙසේවෙතත් විසිවෙනි සියවසේදී එවැනි දෙයක් සිදු වූ අතර වර්තමානයේදීද එවැනි දේවල් සිදු වෙනවා.b නමුත් හර්–මගෙදොන් යුද්ධය ඊට වඩා වෙනස්. ඊට එක් හේතුවක් වන්නේ හර්–මගෙදොන් යුද්ධය මුළු පොළොවටම බලපෑමයි. දෙවෙනි හේතුව වන්නේ දෙවි තම සෙනඟ වෙනුවෙන් මීට පෙර කිසි දිනක මැදිහත් නොවූ ආකාරයෙන් හර්–මගෙදොන් යුද්ධයේදී මැදිහත් වීමයි. (යෙරෙමියා 25:32, 33) බයිබලයේ එය හඳුන්වන්නේ “සියලු බලැති දෙවිගේ මහත් දවසේදී සිදු වන යුද්ධය” ලෙසයි.
2. දෙවි ඊට මැදිහත් වන්නේ ඇයි?
සතුරන්ට පවා ප්‍රේම කරමින් සියලුදෙනා සමඟ සමාදානයෙන් සිටින්න කියා යෙහෝවා දෙවි ඔහුට නමස්කාර කරන අයට උපදෙස් දී තිබෙනවා. (මීකා 4:1-3; මතෙව් 5:43, 44; 26:52) ඒ නිසා හර්–මගෙදොන් යුද්ධයේදී තමන්ට විරුද්ධව එල්ල වන ප්‍රහාරයට එරෙහිව දෙවිගේ සෙනඟ අවි අතට ගන්නේ නැහැ. දෙවි ඊට මැදිහත් වන්නේ ඒ නිසයි. ඔහු එසේ කළේ නැත්නම් සතුරන් දෙවිගේ සෙනඟව සම්පූර්ණයෙන්ම පොළොවෙන් නැති කර දමාවි. ප්‍රේමණීය, යුක්තිසහගත මෙන්ම බලවත් දෙවි කෙනෙක් වන යෙහෝවා දෙවි ඊට ඉඩහරියිද? කිසිසේත් නැහැ.—ගීතාවලිය 37:28, 29.
මිනිසුන් විනාශ වෙනවාට දෙවි කැමති නැහැ. ඒ නිසා අනාගතයේදී සිදු කරන්න යන දේවල් ගැන ඔහු කලින්ම පවසා තිබෙනවා. (2 පේතෘස් 3:9) අතීතයේදී දෙවිගේ සෙනඟව විනාශ කරන්න සතුරන් උත්සාහ කළ අවස්ථාවලදී දෙවි මැදිහත් වී ඔවුන්ව බේරාගත් බව බයිබලයේ සඳහන් වෙනවා. (2 රාජාවලිය 19:35) අනාගතයේදීත් යක්ෂයා සහ ඔහුගේ පිරිස දෙවිගේ සෙනඟට එරෙහි වන විට දෙවි ඔවුන්ව ආරක්ෂා කිරීමට මැදිහත් වන බව එහි සඳහන් වෙනවා. දුෂ්ටකම් කරන සියලුදෙනාවම මේ පොළොවෙන් ඉවත් කරන බව දෙවි බොහෝ කාලයකට කලින් පවසා තිබෙනවා. (හිතෝපදේශ 2:21, 22; 2 තෙසලෝනික 1:6-9) අනාගතයේදී එය සිදු වන විට තමන් සටන් කරන්නේ විශ්වයේ සියලුම බලය හිමි තැනැත්තා සමඟ බව දෙවිගේ සෙනඟට සතුරුකම් කරන අය දැනගනීවි.—එසකියෙල් 38:21-23.
3. පොළොවටත් එහි ජීවත් වන අයටත් සිදු වන්නේ කුමක්ද?
හර්–මගෙදොන් යුද්ධයේදී මිලියන ගණනකගේ ජීවිත ආරක්ෂා වන අතර ඔවුන්ට පොළොවේ සාමකාමී ජීවිතයක් ගත කිරීමට අවස්ථාව ලැබෙනවා.—එළිදරව් 21:3, 4.
“මහත් සමූහයක්” එම යුද්ධයෙන් බේරෙන බව බයිබලයේ සඳහන් වෙනවා. (එළිදරව් 7:9, 14) යෙහෝවා දෙවි මිනිසුන් වෙනුවෙන් අරමුණු කළ ආකාරයට පොළොව පාරාදීසයක් කිරීමට දෙවි එම යුද්ධයෙන් බේරෙන අයට අවස්ථාව ලබා දෙනවා.
එම යුද්ධය ආරම්භ වන්නේ කවදාද?
[පාදසටහන්වල]
a යුද්ධ ගැන කතා කරන බොහෝ අවස්ථාවලදී දරුණු යුද්ධ සිදු වූ නගර ගැන සඳහන් කිරීම අදටත් සිදු වෙනවා. න්‍යෂ්ටික බෝම්බයක් නිසා විනාශ වී ගිය ජපානයේ හිරෝෂිමා නගරය ඊට එක් උදාහරණයක්.
b නාට්සි පාලන කාලයේදී සිදු වූ සමූලඝාතන ඊට එක් උදාහරණයක්. ඒ වගේම සෝවියට් පාලන සමයේ ආගමික කණ්ඩායම් සම්පූර්ණයෙන් පාලනය කිරීමට ආණ්ඩුව උත්සාහ කළා. වර්ෂ 2011 මැයි 1 මුරටැඹ කලාපයේ පළ වූ “තම නාමය වෙනුවෙන් නැඟී සිටින සෙනඟක්” යන ලිපිය බලන්න.
[6වන පිටුවේ පින්තූරය]
අතීතයේදී දෙවි තම සෙනඟව ආරක්ෂා කිරීමට ඔවුන්ගේ සතුරන්ව පරාජය කළා
[7වන පිටුවේ පින්තූරය]
අනාගතයේදී දෙවි තම සෙනඟව ආරක්ෂා කරනවා