බයිබලයෙන් පිළිතුරු සොයමු
දෙවිට සංවිධානයක් තිබෙන්නේ ඇයි?
මෙම ලිපිය සකස් කර තිබෙන්නේ ප්‍රශ්නෝත්තර ක්‍රමයටයි. ප්‍රශ්නවලට පිළිතුරු සොයාගැනීමට උපකාරවත් වන බයිබල් පද මෙහි සඳහන් කර තිබෙනවා. මෙම ලිපියේ සඳහන් තොරතුරු ගැන ඔබ සමඟ තවදුරටත් සාකච්ඡා කිරීමට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් කැමැත්තෙන් සිටිනවා.
1. දෙවි ඊශ්‍රායෙල්වරුන්ව කණ්ඩායමක් ලෙස සංවිධානය කළේ ඇයි?
ආබ්‍රහම්ගෙන් පැවත එන අයට දෙවි නීති ලබා දුන් අතර කණ්ඩායමක් ලෙස ඔවුන්ව සංවිධානය කළා. දෙවි ඔවුන්ව ඊශ්‍රායෙල් ලෙස හඳුන්වා සැබෑ නමස්කාරය වෙනුවෙන් පෙනී සිටින ජාතිය ලෙස පත් කළා. ශුද්ධ ලියවිල්ල ආරක්ෂා කිරීමේ වගකීමත් ඔවුන්ට ලබා දුන්නා. (ගීතාවලිය 147:19, 20) එමගින් සියලුම ජාතීන්ට ප්‍රයෝජන ලැබී තිබෙනවා.—උත්පත්ති 22:18 කියවන්න.
දෙවි තම සාක්ෂිකරුවන් ලෙස තෝරාගත්තේ ඊශ්රායෙල්වරුන්වයි. ඔවුන් දෙවිගේ නීතිවලට කීකරු වූ විට බොහෝ ප්‍රයෝජන අද්දැක්කා. (ද්විතීය කතාව 4:6) ඔවුන් ගැන අධ්‍යයනය කරන විට අපට සැබෑ දෙවි ගැන බොහෝ දේ ඉගෙනගත හැකියි.—යෙසායා 43:10, 12 කියවන්න.
2. සැබෑ ක්‍රිස්තියානීන් සංවිධානය වී සිටින්නේ ඇයි?
අතීතයේදී ඊශ්‍රායෙල්වරු දෙවිගේ සාක්ෂිකරුවන් ලෙස ක්‍රියා කළා. නමුත් පසුව ඔවුන්ගේ අකීකරුකම නිසා ඔවුන්ට දෙවිගේ අනුමැතිය අහිමි වුණා. දෙවි ඔවුන් වෙනුවට ක්‍රිස්තියානි සභාව පිහිටෙව්වා. (මතෙව් 21:43; 23:37, 38) යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ලෙස වර්තමානයේ ක්‍රියා කරන්නේ සැබෑ ක්‍රිස්තියානීනුයි.—ක්‍රියා 15:14, 17 කියවන්න.
ශුභාරංචිය ප්‍රකාශ කරන ආකාරයත් සෑම ජාතියකටම අයත් මිනිසුන්ට තම ගෝලයන් වෙන්න උපකාර කරන ආකාරයත් යේසුස් තම අනුගාමිකයන්ට ඉගැන්නුවා. (මතෙව් 10:7, 11; 24:14; 28:19, 20) දැන් අප ළඟා වී සිටින්නේ එම කාර්යයෙහි අවසානයටයි. යෙහෝවා දෙවි සෑම ජාතියකටම අයත් මිලියන ගණනක්ව සැබෑ නමස්කාරය තුළ එකමුතු කර තිබෙනවා. (එළිදරව් 7:9, 10) සැබෑ ක්‍රිස්තියානීන් එලෙස සංවිධානය වී සිටින නිසා එකිනෙකාව දිරිගන්වන්නත් එකිනෙකාට උපකාර කරන්නත් හැකි වී තිබෙනවා. ලොව පුරා ක්‍රියාත්මක වන එකම අධ්‍යාපන වැඩසටහනකින් ඔවුන් ප්‍රයෝජන ලබනවා.—හෙබ්‍රෙව් 10:24, 25 කියවන්න.
3. මෑත ඉතිහාසයේදී යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ආරම්භය සිදු වුණේ කොහොමද?
එය සිදු වුණේ 1870 ගණන්වලයි. බොහෝ කාලයක් පුරා තේරුම්ගැනීමට අපහසු වූ බයිබල් සත්‍යයන් එක්තරා කණ්ඩායමක් විසින් අවබෝධ කරගත්තා. යේසුස් ක්‍රිස්තියානි සභාව සංවිධානය කළේ ශුභාරංචිය ප්‍රකාශ කිරීමේ මූලික අරමුණ ඇතුව කියා ඔවුන් අවබෝධ කරගත්තා. ඒ නිසා ඔවුන් ශුභාරංචිය ප්‍රකාශ කිරීමේ ජාත්‍යන්තර වැඩසටහනක් ආරම්භ කළා. එවකට බයිබල් ශිෂ්‍යයන් ලෙස තමන්ව හඳුන්වා දුන් ඔවුන් 1931 සිට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් යන නම භාවිත කළා.—ක්‍රියා 1:8; 2:1, 4; 5:42 කියවන්න.
4. අද දින සාක්ෂිකරුවන් සංවිධානය වී සිටින්නේ කොහොමද?
යේසුස්ව ක්‍රිස්තියානි සභාවේ නායකයා ලෙස පිළිගත් කිහිපදෙනෙකුගෙන් සමන්විත පාලක මණ්ඩලයක් පළමු ශතවර්ෂයේ සිටියා. ඔවුන්ගේ මඟ පෙන්වීම්වලට අනුව ක්‍රියා කළ ක්‍රිස්තියානි සභාව බොහෝ ප්‍රයෝජන අද්දැක්කා. (ක්‍රියා 16:4, 5) යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ද යේසුස්ව සභාවේ නායකයා ලෙස පිළිගන්නවා. (මතෙව් 23:9, 10) අද දිනද සාක්ෂිකරුවන්ගෙන් සමන්විත පාලක මණ්ඩලයක් සිටිනවා. එම පාලක මණ්ඩලය ලොව වටා තිබෙන සභා 1,00,000කට අධික සංඛ්‍යාවකට අවශ්‍ය බයිබලය මත පදනම් උපදෙස් හා දිරිගැන්වීම් ලබා දෙනවා. ඒ සෑම සභාවකම සුදුසුකම් ලත් පුරුෂයන් වැඩිමහල්ලන් ලෙස සේවය කරමින් දෙවිගේ රැළ රැකබලා ගන්නවා.—1 පේතෘස් 5:2, 3 කියවන්න.
ශුභාරංචිය ප්‍රකාශ කරන්නත් බයිබලයේ සඳහන් තොරතුරු අන් අයට උගන්වන්නත් සාක්ෂිකරුවන් සංවිධානය වී සිටිනවා. සෑම තැනකම සිටින ජනයාට උපකාර කිරීම සඳහා ඔවුන්ගේ ප්‍රකාශන භාෂා 500කින් පමණ පරිවර්තනය කර, මුද්‍රණය කර බෙදාහරිනවා. ඔවුන් ශුභාරංචිය ප්‍රකාශ කරන මූලික ක්‍රමය වන්නේ ගෙයින් ගෙට ගොස් දේශනා කිරීමයි. (ක්‍රියා 20:20) බයිබලය ගැන ඉගෙනගැනීමට කැමති අය ළඟටම ගොස් ඔවුන් එය කියා දෙනවා. ඔවුන් මූලික අවධානය දෙන්නේ දෙවිව සතුටු කරන්න සහ අන් අයට උපකාර කරන්නයි. ඒ නිසා දෙවිගේ සංවිධානය තුළ සිටින සියලුදෙනාම සන්තෝෂය අද්දකිනවා.—ගීතාවලිය 33:12; ක්‍රියා 20:35 කියවන්න.
වැඩි විස්තර සඳහා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්රකාශනයක් වන බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු නමැති පොතේ 19වන පරිච්ඡේදය බලන්න.