ඇයට ජීවිතේ තිත්ත වෙලයි තිබුණේ!
ජෝජ් හා මැනොන් නෙදර්ලන්තයේ සිටින සාක්ෂිකාර යුවළක්. දවසක් ඔවුන් සේවයේ යද්දී ඔවුන්ට රී නමැති මහලු කාන්තාව මුණගැසුණා. නමුත් ඇය සුහදව කතා කරන්න කැමති වුණේ නැහැ. ඇය දෙවරක් විවාහ වෙලා තිබුණා. ඇගේ ස්වාමිපුරුෂයන් දෙදෙනාත් එක පුතෙකුත් මිය ගොස් තිබුණා. ඒ මදිවට ඇය දරුණු ආතරයිටිස් රෝගයකින්ද වේදනා විඳිමින් සිටියා. ටිකක් කතාබහ කළත් ඇය කිසි හිතවත්කමක් පෙන්නුවේ නැහැ.
හැම දෙයක්ම එපා වෙලා දුකෙන්, තනිකමෙන් සිටි ඇයව ආයෙත් සැරයක් ගිහින් බලන්න ඒ යුවළ තීරණය කළා. එසේ යද්දී ඇය ආස වෙයි කියා සිතා ඔවුන් මල් පොකුරකුත් රැගෙන ගියා. එය දැකීමෙන් රී සතුටට පත් වුණත් ඒ අවස්ථාවේදී කතා කරන්න වෙලාවක් නැති නිසා ඔවුන් නැවත ඇවිත් ඇයව හමු වෙනවාට ඇය කැමති වුණා. නමුත් කියපු දවසේ ඔවුන් ගියත් ඇය ගෙදර හිටියේ නැහැ. කීප වතාවක්ම ගියත් ඇය නොසිටි නිසා ඇය ඔවුන්ව මඟහරිනවා කියලා සහෝදර යුවළ සිතුවා.
ඒත් දවසක් ඇය ගෙදර හිටියා. තමන් ගෙදර හිටියේ නැත්තේ ඉස්පිරිතාලේ නතර වෙන්න සිද්ධ වෙච්ච නිසා කියා පැවසූ ඇය මෙහෙමත් කිව්වා. “ඔයාලා දන්නැති වුණාට ඔය දෙන්නා ඇවිල්ලා ගිය දවසේ ඉඳලා මම බයිබලය කියවන්න පටන්ගත්තා.” පසුව ඇය බයිබල් පාඩමක් කරන්නත් කැමති වුණා.
ජීවිතේ තිත්ත වෙලා සිටි ඇය පාඩම් කරන්න පටන්ගත්තාට පස්සේ සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. ඇය සතුටින් ඉන්නත් හැමෝටම කරුණාවෙන් සලකන්නත් පටන්ගත්තා. අසනීපය නිසා ගෙදරටම කොටු වෙලා හිටියත් වැඩි කල් යන්න කලින් ඇයව බලන්න එන හැමෝටම ඇය යෙහෝවා දෙවි ගැන කිව්වා. හැම රැස්වීමකටම යන්න බැරි වුණත් සහෝදර සහෝදරියන් ඇයව බලන්න එනවට ඇය ගොඩාක් සතුටු වුණා. ඇය බව්තීස්ම වෙද්දී වයස අවුරුදු 82යි.
ඇය බව්තීස්ම වෙලා මාස කීපයකට පසුව මිය ගියා. ඇය ලියා තිබුණු කවියක් ඊට ටික කලකට පසුව හම්බ වුණා. මහලු කෙනෙක් අද්දකින තනිකම, පාළුව කොයි තරම්ද කියලත් කරුණාව පෙන්වීම කොතරම් වැදගත්ද කියාත් ඇය එහි සඳහන් කර තිබුණා. “ඒ කවිය මගේ හිතට තදින් කාවැදුණා. ඇයට කරුණාව පෙන්වන්න අපිට අවස්ථාව දුන්නාට අපි යෙහෝවා දෙවිට ස්තුතිවන්ත වෙනවා” කියා මැනොන් කිව්වා.
දෙවි අපිට හුඟක් ආදරෙයි. අපිට සලකන්නේ කාරුණිකවයි. අපිත් දෙවිව ආදර්ශයට ගනිමු. (එෆී. 5:1, 2) ‘දෙවිගේ සේවකයන් හැටියට කරුණාවන්තව කටයුතු කර’ දේවසේවයෙන් උපරිම පල නෙළාගනිමු.—2 කොරි. 6:4, 6.