ජීවිත කතාව
දිලිඳු වුණත් පොහොසත්
මං ඉපදුණේ මෝල්දාවියාවේ උතුරු පළාතේ ගමක. ඒ 1939 දෙසැම්බර් මාසේ. එතකොට මගේ අම්මයි තාත්තයි හිටියේ බාගෙට හදපු ගේක සීයත් එක්ක. ඒගොල්ලෝ 1930 ගණන්වල මුල් කාලෙදී තමයි යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් වෙලා තියෙන්නේ. ගමේ හිටපු පූජකයාට වඩා සීයා බයිබලේ ගැන දන්නවා කියලා තේරුණට පස්සේ අම්මත් සාක්ෂිකරුවෙක් වෙන්න තීරණය කළා.
මට අවුරුදු තුනේදී තාත්තවයි, සීයවයි, බාප්පවයි බර වැඩ ගත්ත කඳවුරුවලට අරගෙන ගියා. එහෙම කළේ එයාලා යුද්ධවලට සම්බන්ධ වුණේ නැති නිසයි. දෙවෙනි ලෝක මහා යුද්දේ ඉවර වුණාට පස්සේ 1947 දිවි ගලවගෙන ආපහු ගෙදර ආවේ තාත්තා විතරයි. ඒ එද්දී තාත්තගේ කොන්ද කැඩිලා තිබුණට විශ්වාසය නම් පොඩ්ඩක්වත් පලුදු වෙලා තිබුණේ නැහැ.
අපේ ජීවිත උඩු යටිකුරු වුණා
වර්ෂ 1949 ජූලි 6වෙනිදා අපිවයි මෝල්දාවියාවේ හිටපු සාක්ෂිකරුවන් සිය ගණනක්වයි සත්තු ගෙනියන කෝච්චි පෙට්ටිවල පටවලා සයිබීරියාවට පිටුවහල් කළා. දවස් 12ක් තිස්සේ කිලෝමීටර් 6,400කට වඩා දුරක් ගිය අපි අන්තිමට නතර වුණේ ලෙබ්යට්සා දුම්රියපොළේ. අපි එනකම් දුම්රියපොළට වෙලා බලාගෙන හිටපු පොලිස් නිලධාරීන් අපිව කණ්ඩායම්වලට වෙන් කරලා ඒ ප්‍රදේශය පුරා විසුරුවාහැරියා. ඒ වෙද්දී අපි හිටියේ හොඳටම හෙම්බත් වෙලයි. අත්හැරලා දාපු ඉස්කෝලයක් තමයි අපිට සෙවණක් වුණේ. අපි අතරේ හිටිය වයසක සහෝදරියක් දෙවෙනි ලෝක මහා යුද්දෙ කාලේ සාක්ෂිකරුවෝ ලියපු ගීයක් ගයන්න පටන්ගත්තා. ඊටපස්සේ හැමෝම එයාත් එක්ක ඒ ගීය කිව්වා.
“පිටුවහල් කළා සහෝදරයන් රැසක් දුර ඈතට.
රැගෙන ගියා ඔවුන්ව උතුරට නැඟෙනහිරට.
නියම කළේ දඬුවම්, කළ නිසයි සේවය දෙවිඳුන්ට, ගියත් මරණයේ අභියසට නෑ පාවා දුන්නේ විශ්වාසය.”
ටික දවසකට පස්සේ අපිට පුළුවන් වුණා සාක්ෂිකරුවන්ගේ රැස්වීම්වලට යන්න. රැස්වීම් තිබුණේ අපි හිටපු තැනට කිලෝමීටර් 13ක් විතර එහායින්. ශීත කාලෙදී උෂ්ණත්වය සෙල්සියස් අංශක ඍණ 40ට බහිනවා. ඒ කාලෙදී අපි ඉරිදා පාන්දරින්ම නැඟිටලා සීතලේ ගැහිගැහී ඉණ ළඟට විතර වෙනකම් තිබුණු හිමේ බැහැගෙනයි රැස්වීම් ගියේ. වර්ග අඩි 200ක විතර ප්‍රමාණයේ කාමරයක අපි පනස්දෙනෙක් විතර රැස් වුණා. රැස්වීම පටන්ගත්තේ ගීතිකා දෙක තුනක් කියලයි. යාච්ඤාවක් කිව්වට පස්සේ බයිබලේ තියෙන යම් විෂයක් ගැන පැයක් විතර සාකච්ඡා කළා. ඊටපස්සේ අපි ආපහු ගීතිකා කියලා බයිබල් සාකච්ඡාව දිගටම කරගෙන ගියා. අපි හැමෝගෙම විශ්වාසය ශක්තිමත්ව තියාගන්න රැස්වීම් මොන තරම් පිටුවහලක් වුණාද!
අලුත් මුහුණුවරකින් ආ අභියෝග
වර්ෂ 1974 ජංකොයි දුම්රියපොළේදී
පිටුවහල් කරලා හිටපු සාක්ෂිකරුවන්ට 1960දී නිදහස ලැබුණා. අපිට ඒ හැටි සල්ලි තිබුන්නැතත් නිදහස ලැබුණම මම ආපහු මෝල්දාවියාවට ගියා. නීනාව මට මුණගැහුණේ එහෙදියි. නීනාගේ දෙමාපියන් විතරක් නෙමෙයි එයාගේ ආච්චියි සීයයි දෙන්නත් සාක්ෂිකරුවන්. අපි විවාහ වුණාට පස්සේ ආයෙත් සයිබීරියාවට ගියා. අපේ දුව ඩීනා (1964) හා පුතා වික්ටර් (1966) ඉපදුණේ එහෙදියි. පුතා ඉපදිලා අවුරුදු දෙකකට පස්සේ අපි යුක්රේනයේ ක්‍රිමියා අර්ධද්වීපයේ ජංකොයි ප්‍රදේශයේ තිබුණු පුංචි ගෙදරක පදිංචියට ගියා.
ක්‍රිමියාව ඇතුළුව සෝවියට් පාලනය යටතේ තිබුණු හැම පළාතකම වගේ සාක්ෂිකරුවන්ගේ වැඩ තහනම් කරලයි තිබුණේ. ඒත් ඒ තහනම අපිට එච්චර තදේට බලපෑවේ නැහැ. විරුද්ධවාදිකම් එල්ල වුණෙත් නැහැ. ඒ නිසා මෙහේ හිටපු සාක්ෂිකරුවන්ගෙන් සමහරදෙනෙක්ට සේවය සඳහා තිබුණු උද්‍යෝගය ටිකක් අඩු වුණා. එයාලා හිතුවා සයිබීරියාවේ හිටපු කාලේ දුක් විඳපු නිසා හොඳට වැඩ කරලා සල්ලි හම්බ කරගෙන සුවපහසුවට ජීවත් වෙන්න ඕන කාලේ තමයි දැන් උදා වෙලා තියෙන්නේ කියලා.
බාධා ජය ගත් සමුළුවක්
සෝවියට් පාලනයෙන් සාක්ෂිකරුවන්ට පනවලා තිබුණු තහනම 1991 මාර්තු 27වෙනිදා ඉවත් කළා. නිදහස ලැබුණු ගමන් යුක්රේනය පුරා දෙදින සමුළු හතක් පවත්වන්න කටයුතු සැලසුම් කළා. අපිට යන්න තිබුණේ අගෝස්තු 24වෙනිදා ඔඩෙස්සාවල තියෙන සමුළුවටයි. ඒක පවත්වන්න සැලසුම් කරලා තිබුණේ පාපන්දු ක්‍රීඩාංගණයක. කරන්න වැඩ ගොඩක් තිබුණු නිසා මම මාසෙකට කලින් එහෙට ගියා.
අපි දවස තිස්සේ හුඟක් මහන්සි වෙලා වැඩ කළා. රෑ නිදාගත්තේ ක්‍රීඩාංගණයේ තිබුණු බංකුවලයි. ක්‍රීඩාංගණය කොච්චර සුද්ද කරන්න තිබුණද කියනවා නම් ටොන් 70ක විතර කුණු කන්දරාවක් සුද්ද කළා. සමුළුවට 15,000ක් විතර එයි කියලා බලාපොරොත්තු වුණ නිසා නවාතැන් භාරව කටයුතු කරපු අය නගරේ අස්සක් මුල්ලක් නෑර ගිහින් නවතින්න කාමර හෙව්වා.
ඒත් සමුළුව අත ළඟටම ඇවිත් තියෙද්දී අපිට ලැබුණේ දුක්බර ආරංචියක්! නිවාඩුවකට යුක්රේනයට ඇවිත් හිටිය ජනාධිපති මිහායිල් ගොර්බචොෆ්ව අගෝස්තු 19වෙනිදා අත්අඩංගුවට ගත්තා. ඒක වුණේ සමුළුවට හරියටම දවස් පහකට කලින්. ඒ සිද්ධිය නිසා සමුළුව පවත්වන්න අපිට ලැබිලා තිබුණු අවසරය අවලංගු කළා. ගොඩක් අය ඒ වෙන කොට සමුළුවට එන්න සූදානම් වෙලයි හිටියේ. ඒ නිසා එයාලා වෙන් කරගත්ත බස් හා දුම්රිය ටිකට්වලට මොකද කරන්නේ කියලා සමුළු සංවිධායකයන්ගෙන් කෝල් කරලා අහන්න පටන්ගත්තා. මේ ගැන හුඟක් යාච්ඤා කළාට පස්සේ සමුළු සංවිධායකයන් එයාලට කිව්වා “කමක් නෑ ඔයගොල්ලෝ එන්න” කියලා.
විවිධ ප්‍රදේශවලින් කට්ටිය සමුළුවට එන්න පටන්ගත්තා. සහෝදරයෝ එයාලව පිළි අරගෙන එයාලට සූදානම් කරලා තිබුණු නවාතැන්වලට එක්කගෙන ගියා. සමුළු සංවිධායක කමිටුවේ හිටපු අය සමුළුව පවත්වන්න අවසර ලබාගන්න හැමදාම උදෙන්ම නගරයේ උසස් නිලධාරීන්ව හම්බ වෙන්න ගියා. දවස් ගාණක් තිස්සේ ගියත් අනිත් අයට කියන්න හොඳ ආරංචියක් නම් එයාලට ලැබුණේ නැහැ. ඒත් ඒ ගැන යාච්ඤා කරන එකවත් සමුළුවට අවශ්‍ය දේවල් සූදානම් කරන එකවත් අපි නතර කළේ නැහැ.
අපේ යාච්ඤාවලට දෙවියන් සවන් දුන්නා
අගෝස්තු 22වෙනි බ්‍රහස්පතින්දා ඒ කියන්නේ සමුළුවට දවස් දෙකකට කලින් සමුළුව තියන්න අපිට අවසර ලැබුණා. මුල්ම ගීතිකාව කියලා යාච්ඤාවකින් සමුළුව පටන්ගද්දී අපිට දැනුණේ නිම් හිම් නැති සතුටක්. ජීවිතේ විඳින්න සිදු වෙන දුෂ්කරම පීඩා අද්දැක්ක, දෙවිට විශ්වාසවන්තව හිටපු සාක්ෂිකරුවන් විශාල පිරිසක් එකම තැනක රැස් වෙලා! එදා වැඩසටහන ඉවර වුණාට පස්සේ නවාතැන්වලට යන්න කාටවත් ලොකු හදිස්සියක් තිබුණේ නැහැ. මොකද හැමෝම වගේ හවස් වෙනකම් කතා කරකර හිටියා.
වර්ෂ 1991 ඔඩෙස්සාවේ සමුළුව
ඒ සමුළුවෙන් පස්සේ ගෙවුණු මේ අවුරුදු 22 පුරා සාක්ෂිකරුවන් අද්දැකලා තියෙන වර්ධනය මොන තරම්ද! යුක්රේනය පුරා නමස්කාර මධ්‍යස්ථාන හුඟක් ඉදි කරලා තියෙනවා. වර්ෂ 1991දී හිටියේ ප්‍රචාරකයන් 25,000ක් විතරයි. අද ප්‍රචාරකයන් 1,50,000කට වඩා වැඩියෙන් ඉන්නවා.
දෙවිගේ ආශීර්වාදවලින් නම් අඩුවක් නැහැ
මායි මගේ පවුලේ අයයි තාම ජීවත් වෙන්නේ ජංකොයිවල තියෙන අපේ පුංචි ගෙදර. මෙහේ 40,000ක් විතර මිනිසුන් ඉන්නවා. අපි 1968දී සයිබීරියාවේ ඉඳලා මෙහෙට එද්දී හිටියේ සාක්ෂිකරුවන් කීපදෙනෙක් විතරයි. හැබැයි දැන් මෙහේ සභා හයක් තියෙනවා.
ඒ විතරක් නෙමෙයි මගේ පවුලේ අයත් දැන් ගණනින් වැඩි වෙලා. දරු මුනුපුරන්ගේ දරුවන්වත් දැකගන්න අපිට පුළුවන් වෙලා තියෙනවා. පවුලක් විදිහට එකට යෙහෝවා දෙවිට නමස්කාර කරන්න ලැබිලා තියෙන එක මම සලකන්නේ ලොකු ආශීර්වාදයක් විදිහටයි. එහෙම බලද්දී මම හරිම පොහොසත් කෙනෙක්!