මුල් පිටුවෙන් | දෙවියන්ගේ මිතුරෙක් වෙන්න ඔබට පුළුවන්ද?
ඔබ දෙවියන් එක්ක කතාබහ කරනවාද?
හොඳ යාළුවෝ මුණගැහිලා හරි, නැත්නම් ෆෝන් එකෙන්, ඊ-මේල්වලින්, ලියුම්වලින් හරි නිතරම අදහස් හුවමාරු කරගන්නවා. දෙවියන්ගේ කිට්ටු මිතුරන් වෙන්න නම් අපිත් නිතරම ඔහු එක්ක කතාබහ කරන්න ඕනේ. ඒක කරන්නේ කොහොමද?
යාච්ඤා කරලා දෙවියන් එක්ක කතා කරන්න අපිට පුළුවන්. ඒත් එහෙම කරන්න ඕන සාමාන්‍යයෙන් යාළුවෙක් එක්ක කතා කරන විදිහට නෙමෙයි. අපි යාච්ඤා කරන්නේ අපිව නිර්මාණය කරපු මුළු විශ්වයේම මහෝත්තම දෙවියන්ට කියලා මතක තියාගන්නවා නම් ගෞරවනීය හැඟීමකින් ඔහුට යාච්ඤා කරන්න අපි පෙලඹෙයි. ඔහු අපේ යාච්ඤා පිළිගන්න නම් අපි කරන්න ඕන දේවල් කීපයක් තියෙනවා. දැන් ඒවායින් තුනක් බලමු.
1. අපි යාච්ඤා කරන්න ඕන යෙහෝවා දෙවියන්ටයි. යේසුස්ටවත් සාන්තුවරයන්ටවත් රූපවලටවත් නෙමෙයි. (නික්මයාම 20:4, 5) “කිසි දෙයක් ගැන කනස්සලු නොවන්න. ඒ වෙනුවට යාච්ඤාවෙන් හා කන්නලව්වලින් ඔබේ සියලු ඉල්ලීම් දෙවිට පවසන්න. එමෙන්ම ඔහුට ස්තුති කිරීමටද අමතක නොකරන්න” කියලා බයිබලයේ පැහැදිලිව කියනවා. (ෆිලිප්පි 4:6) 2. යාච්ඤා කරන්න ඕන දෙවියන්ගේ පුතා වන යේසුස් ක්‍රිස්තුස් තුළිනුයි. යේසුස්ම ඒ ගැන මෙහෙම කිව්වා. “මා තුළින් මිස කිසිවෙකුට පියාණන් ළඟට යා නොහැකියි.” (යොහන් 14:6) 3. අපි යාච්ඤා කරන්න ඕන දෙවියන්ගේ කැමැත්තට එකඟවයි. බයිබලයේ කියන්නේ ‘දෙවිගේ කැමැත්තට එකඟව අප යමක් ඉල්ලා යාච්ඤා කරන විට දෙවි ඒ සෑම දෙයකටම සවන් දෙනවා’ කියලයි.a—1 යොහන් 5:14.
කිට්ටු මිතුරන් අතරේ හොඳ අදහස් හුවමාරුවක් තියෙනවා
එක් කෙනෙක්ම තොරතෝංචියක් නැතුව කතා කරනවා නම් මිතුදමක් වැඩි කල් තියෙන්නේ නැහැ. කිට්ටු මිතුරන් අතරේ හොඳ අදහස් හුවමාරුවක් තියෙනවා. ඒ වගේ, දෙවියන්ව කිට්ටු මිතුරෙක් කරගන්න නම් ඔහු අපිට කතා කරද්දී අපි ඔහුට ඇහුම්කන් දෙන්න ඕනේ. ඔහු අපිට කතා කරන්නේ කොහොමද කියලා දන්නවාද?
දෙවියන් අපිට කතා කරන්නේ බයිබලය තුළිනුයි. (2 තිමෝති 3:16, 17) ඒක දැනගන්න උදාහරණයක් බලමු. කිට්ටු මිතුරෙකුගෙන් ලියුමක් ලැබුණා කියලා හිතන්න. ඒක කියවලා ඔබ සතුටින් අනිත් අයට කියයි “මගේ යාළුවා මට මේ වගේ දෙයක් කිව්වා” කියලා. ඒත් ඔහු ඒක ඔබට කටින් කිව්වේ නැහැ ලියලායි එව්වේ. ඒ වගේ, ඔබ බයිබලය කියවනවා නම් ඔබට කතා කරන්න යෙහෝවා දෙවියන්ට ඉඩහරිනවා. මුල් ලිපියේ සඳහන් කරපු ජීනා මේ දේත් කිව්වා. “දෙවියන් මාව යාළුවෙක් හැටියට සලකන්න නම් මම බයිබලය කියවන්න ඕනේ. ඒක ඔහු අපිට එව්ව ලියුමක් වගෙයි.” ඒ වගේම “හැමදාම බයිබලය කියවන නිසා මම ඔහුට තවත් කිට්ටු වුණා.” ඔබත් හැමදාම බයිබලය කියවලා ඔබට කතා කරන්න දෙවියන්ට ඉඩහරිනවාද? එහෙම කරනවා නම් ඔබ දෙවියන්ට තවත් කිට්ටු වෙලා කියලා ඔබට දැනෙයි.
a යාච්ඤාවෙන් දෙවියන්ට ළං වෙන විදිහ ගැන වැඩි විස්තර දැනගන්න ‘බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු’ කියන පොතේ 17වෙනි පරිච්ඡේදය බලන්න. එය යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්රකාශනයක්.