ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w15 5/15 31-32 පි.
  • ප්‍රේමයේ අවන්හල

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ප්‍රේමයේ අවන්හල
  • 2015 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • උපමාතෘකා
  • “කෑම කන්නෙත් හිටගෙන”
2015 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w15 5/15 31-32 පි.
සමුළුවක තිබුණු අවන්හලක සතුටින් වැඩ කරන පිරිසක්

අතීතයෙන් බිඳක්

ප්‍රේමයේ අවන්හල

යෙහෝවා දෙවිගෙන් ඉගෙනගන්න ලැබෙන අවස්ථා විශාල භෝජන සංග්‍රහයන් වගේ. දෙවිගේ සෙනඟ සතුටින් සමුළුවලට යන්නේ ඒ නිසයි. අතීතයේදී සමුළුවලට ආපු අය වෙනුවෙන්ම පිළියෙල කරපු රසවත් ආහාර ඒ සතුට තවත් වැඩි කළා.

1919 ඇමරිකාවේ ඔහයෝ ප්‍රාන්තයේ සීඩා පොයින්ට්වල පවත්වපු දින අටේ සමුළුවට දුර පළාත්වලින් එන අයට නවාතැන් සහ ආහාර සැපයීම භාර දීලා තිබුණේ හෝටල්වලට. ඒත් බලාපොරොත්තු වුණාට වඩා දහස් ගණනින් සෙනඟ ආපු නිසා එයාලට කරගන්න දෙයක් නැති වුණා. වේටර්වරු හුඟදෙනෙක් රස්සාව දාලා ගියා. අපහසුතාවට පත් වුණ හෝටල් කළමනාකරුවෙක් සහෝදරයන්ගෙන් ඇහුවා ආහාර පාන පිළිගන්වන්න කැමතිද කියලා. හුඟක් අය කැමැත්තෙන්ම ඉදිරිපත් වුණා. සෙයිඩි ග්‍රීන් මෙහෙම කියනවා. “එදා තමයි මං ජීවිතේ පළවෙනි වතාවට වේටර් වැඩේ කළේ. ඒකෙන් මං හුඟක් සතුටු වුණා.”

සියරා ලියොන්වල සහෝදරියක් ලොකු කෑම භාජනයක් හැඳිගාමින්

සියරා ලියොන්වල, 1982

ඊටපස්සේ අවුරුදුවලදී සමුළුවලට එන අයට ආහාර පාන සපයන්න සහෝදරයන් සැලසුම් කළා. ඒ සඳහා ඔවුන් සමුළු පවත්වපු තැනම තාවකාලික අවන්හල් සකස් කළා. අවන්හලේ සේවය කරන්න හුඟක් අය ඉදිරිපත් වුණා. ඒක ඔවුන්ට ලොකු දිරිගැන්වීමක් වුණා. 1937දී අවන්හලක සේවය කරපු ග්ලැඩස් බෝල්ටන් මෙහෙම කියනවා. “හුඟක් පැතිවලින් ආපු අයව එතනදී මට හම්බ වුණා. එයාලට තිබුණු අභියෝග ගැන, ඒවා ජය ගත්ත විදි ගැන අහලා පුරෝගාමියෙක් වෙන්න මටත් ආසාවක් ඇති වුණා.”

“හැමෝම කැප වෙලා වැඩ කරපු නිසා හැම දේම වෙලාවට කලාවට සිද්ධ වුණා” කියලා සහෝදරියක් කියනවා. අභියෝග තිබුණේ නැතුවමත් නෙමෙයි. 1969දී ආන්ජෙලූ මනෙරා සමුළුවට සහභාගි වෙන්න ලොස් ඇන්ජලීස්වලට ආවට පස්සෙයි දැනගත්තේ අවන්හල භාරව වැඩ කරන්න පත් කරලා තියෙන්නේ ඔහුව කියලා. “මට දැනුණේ නිකං කරකවලා අතඇරියා වගේ” කියලා ඔහු කියනවා. අවන්හලට ගෑස් ගේන්න බටයක් වළලන්න හැතැප්ම 1⁄4ක විතර දිග කාණුවක් කපන්නත් ඔවුන්ට සිද්ධ වුණා.

ජර්මනියේ ෆ්රැන්ක්ෆර්ට්වල තිබුණු සමුළුවක විශාල භාජනවල කෑම පිසිමින්

ජර්මනියේ ෆ්රැන්ක්ෆර්ට්වල, 1951

සියරා ලියොන්වල සහෝදරයෝ 1982දී සමුළුවේ අවන්හල හැදුවේ වත්තක් සුද්ද කරලා ඒ අවටින් හොයාගත්ත දේවල් යොදාගෙනයි. 1951 ජර්මනියේ පැවැත්තුව සමුළුවට සහෝදරයන් දුම්රිය එන්ජිමක් කුලියට ගත්තා. ඒ එන්ජිමේ හුමාලය යොදාගෙන විශාල භාජන 40ක ඔවුන් කෑම ඉව්වා. එදා පැයක් ඇතුළත 30,000කට කෑම බෙදලා දුන්නා. පිඟන් හෝදන අංශයේ 576දෙනෙක් වැඩ කළා. ඒ අයගේ කාර්යය ලේසි කරන්න සමුළුවට ආපු හුඟදෙනෙක් හැඳි ගෑරුප්පු ගෙදරින් ගෙනාවා. මියන්මාරයේ සමුළුවකට වෙනත් රටවලින් හුඟක් අය ආපු නිසා ඒ අයට පිළිගන්වපු කෑමවලට මිරිස් අඩුවෙන් දාන්න අමතක කළේ නැහැ.

“කෑම කන්නෙත් හිටගෙන”

අවන්හලේ දිග පෝළිම් තිබුණ නිසා හුඟක් අයට අව්වේ හිටගෙන ඉන්න වුණා. ඒක ලේසි දෙයක් නොවුණත් 1950 ඇමරිකාවේ තිබුණ සමුළුවකට සහභාගි වුණ ඇනි පෝගන්සි කියනවා එයා ඒකෙන් ලොකු ප්‍රයෝජනයක් ලැබුවා කියලා. “මාත් එක්ක පෝළිමේ හිටපු සහෝදරියන් දෙන්නා කියපු දේවල් මට ලොකු දිරිගැන්වීමක් වුණා. ඒගොල්ලෝ යුරෝපයේ ඉඳන් ඇවිත් තිබුණේ බෝට්ටුවෙන්. සමුළුවට සහභාගි වෙන්න යෙහෝවා දෙවි උදව් කරපු විදිහ ගැන එයාලා කතා කළේ හරිම සතුටින්. අව්වේ, දිග පෝළිමේ ඉන්න වුණු එක ගැන එයාලට ගානක්වත් තිබුණේ නෑ.”

කොරියාවේ සියෝල්වල සමුළුවට ආපු අය හිටගෙන කෑම කමින්

කොරියාවේ සියෝල්වල, 1963

සමුළුවල තිබුණ අවන්හල්වල මේස හදලා තිබුණේ ටිකක් උසට. එතකොට හිටගෙනම කාලා ඉක්මනින් එතනින් පිට වෙලා අනිත් අයටත් අවස්ථාව දෙන්න පුළුවන්. ඒ විදිහට කළේ නැත්නම් විවේක කාලය අතරතුර දහස් ගණනකට කෑම කන්න පුළුවන් වෙයිද? සාක්ෂිකරුවෙක් නොවන කෙනෙක් ඒක දැකලා මෙහෙම කිව්වා. “මේක හරිම පුදුම ආගමක්. ඒගොල්ලෝ කෑම කන්නෙත් හිටගෙන.”

සමුළුවල ආහාර අංශයේ වැඩ සංවිධානය කරලා තියෙන විදිහ දැකලා ඒ වැඩ පරීක්ෂා කරන්න ආපු හමුදා සහ සිවිල් නිලධාරීන් පුදුම වුණා. නිව් යෝර්ක්වල තිබුණ සමුළුවකට ගිය ඇමරිකානු හමුදා නිලධාරියෙක් බ්‍රිතාන්‍යයේ හිටපු හමුදා මේජර්වරයෙකුට කිව්වා එහේ සමුළුවක අවන්හලකුත් පරීක්ෂා කරලා බලන්න කියලා. ඒ නිසා 1955දී ඒ මේජර්වරයාත් ඔහුගේ බිරිඳත් එංගලන්තයේ තිබුණ සමුළුවකට ගියා. අවන්හල පරීක්ෂා කළාට පස්සේ ඔහු කිව්වේ මේක නම් ආදරේ පිරුණු අවන්හලක් කියලයි.

අවුරුදු ගණනක් පුරා සහෝදරයන් සමුළුවලදී මිලෙන් අඩු, පෝෂණයෙන් වැඩි කෑම දෙන්න මහන්සි වෙලා වැඩ කළා. ඒත් එහෙම කරන්න හුඟක් අයට පැය ගණනක් මහන්සි වෙන්න වුණා. අවන්හලේ වැඩ නිසා සමුළුවේ සමහර කොටස් නැත්නම් මුළු සමුළුවම අහන්න ඒ අයට බැරි වුණා. ඒ නිසා 1970 ගණන්වල අවසන් කාලයේදී සමුළුවල කෑම සපයන සැලැස්ම හුඟක් රටවල සරල කළා. 1995 ඉඳන් තමන්ගේ කෑම ගෙදරින්ම අරන් එන්න කියලා සමුළුවලට එන අයට දිරිගැන්නුවා. ඒ නිසා කෑම උයන්න, ඒවා පිළිගන්වන්න හවුල් වුණු අයටත් සමුළුවලින් සම්පූර්ණ ප්‍රයෝජන ගන්න පුළුවන් වුණා.a

ඒ කාලයේ තමන්ගේ සහෝදර සහෝදරියන් වෙනුවෙන් වෙහෙසුණු අයව යෙහෝවා දෙවි කොයි තරම් නම් අගය කරන්න ඇද්ද! අවන්හල්වල සේවය කරපු අයට ඒ සොඳුරු අතීතය මතක් වෙද්දී පොඩි දුකක් දැනෙනවා ඇති. එදා වගේ අද සමුළුවල අවන්හල් නැහැ තමයි. ඒත් එක දෙයක් නම් ස්ථිරයි. සහෝදරයන් අතරේ තියෙන ආදරේ නම් පොඩ්ඩක්වත් අඩු වෙලා නැහැ.—යොහන් 13:34, 35.

a ආහාර අංශය නැති වුණාට කැමැත්තෙන් ඉදිරිපත් වෙලා සේවය කරන්න තව හුඟක් අංශ සමුළුවල තියෙනවා.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න