‘පොළොව උරුම කරගන්න’ ඔයා ලෑස්තිද?
“මෘදු ගුණැති අය සන්තෝෂවත්. මන්ද ඔවුන්ට පොළොව උරුම වෙයි” කියලා යේසුස් දුන්න පොරොන්දුව ඉටු වෙන කල් අපි ආසාවෙන් ඉන්නවා. (මතෙ. 5:5) ඒ දේ අභිෂේක ලත් අය සම්බන්ධයෙන් ඉටු වෙන්නේ එයාලා යේසුස් එක්ක ස්වර්ගයේ රජකම් කරද්දී. (එළි. 5:10; 20:6) ඒත් අපෙන් ගොඩක් අය බලාගෙන ඉන්නේ පරිපූර්ණත්වයට ඇවිල්ලා හැමදාම මේ පොළොවේ සාමයෙන්, සතුටින් ජීවත් වෙන්න. හැබැයි ඒකට මේ පොළොවේ ජීවත් වෙන අය කරන්න ඕන දේවල් තුනක් අපි බලමු. (1) පොළොව පාරාදීසයක් කරන එක. (2) නැවත නැඟිටින අයට අවශ්‍ය දේවල් දීලා එයාලට උදව් කරන එක. (3) නැවත නැඟිටින අයට උගන්වන එක. ඒ දේවල් කරන්න ලොකු ආසාවක් තියෙනවා කියලා පෙන්නන්න ඔයාට දැන් කරන්න පුළුවන් මොනවාද කියලත් අපි බලමු.
පොළොව පාරාදීසයක් කරන එක
යෙහෝවා දෙවියන් මුල් යුවළට කිව්වා “මුළු පොළොව පුරාම මනුෂ්‍යයන්ව පදිංචි කර එය රැකබලා ගන්න” කියලා. (උත්. 1:28) දවසක පොළොව පාරාදීසයක් වෙනවා කියලා ඒකෙන් පැහැදිලියි. දෙවියන් කියපු ආඥාව ඉටු කරන්න පොළොවේ ජීවත් වෙන අයට අවස්ථාව තියෙනවා. ඒත් ඒක හිතන තරම් ලේසි නැහැ. මොකද ආදම්ටයි, ඒවටයි හරි ලේසියෙන් ඒදන් උයනෙන්ම ඒ වැඩේ පටන්ගන්න තිබුණා. හැබැයි ඉස්සරහට පොළොවේ ජීවත් වෙන අයට නම් විනාශ වෙලා තියෙන තැන් හරිගස්සලා මුල ඉඳන්ම පොළොව පාරාදීසයක් කරන්න ගොඩක් මහන්සි වෙන්න වෙයි.
බැබිලෝනියෙන් නිදහස් වෙලා ආපු ඊශ්‍රායෙල්වරුන්ටත් ඒ වගේම වැඩ කොටසක් කරන්න සිද්ධ වුණා. අවුරුදු 70ක් පුරාම ඊශ්‍රායෙල් දේශය පාළුවට ගිහිල්ලයි තිබුණේ. හැබැයි යෙහෝවා දෙවියන් යෙසායා මාර්ගයෙන් මේ වගේ අනාවැකියක් කිව්වා. “ඇගේ කාන්තාර ඒදන් උයන මෙන්ද ඇගේ පාළු බිම් යෙහෝවා දෙවි වන මාගේ උයන මෙන්ද සරුසාරව වැඩෙන්න සලස්වන්නෙමි.” (යෙසා. 51:3) කිව්වා වගේම යෙහෝවාගේ උදව්වෙන් පාළුවට ගිහිල්ලා තිබුණ ඊශ්‍රායෙල් දේශය ආයෙත් ලස්සන තැනක් කරන්න එයාලට පුළුවන් වුණා. ඒ වගේම අනාගතයේදීත් මේ පොළොව උරුම කරගන්න අයට පුළුවන් දෙවියන්ගේ උදව්වෙන් මේ පොළොව ලස්සන පාරාදීසයක් කරන්න. ඒ වැඩේට හවුල් වෙන්න ඔයාත් ආසද? ඒකට දැන් ඉඳන්ම කරන්න පුළුවන් දේවල් තියෙනවා.
එක දෙයක් තමයි ඔයාගේ ගේ දොර, වත්ත පිටිය පිරිසිදුව, පිළිවෙළකට තියාගන්න එක. අහළ පහළ අය කළේ නැතත් ඔයා ඒක කරන්න. ඒ වගේම නමස්කාර මධ්‍යස්ථාන, සමුළු ශාලා පිරිසිදු කරන සහ නඩත්තු කරන වැඩවලටත් හවුල් වෙන්න ඔයාට පුළුවන්. පුළුවන් නම් ආපදාවලට මුහුණ දීපු අයට උදව් කරන්නත් ඉදිරිපත් වෙන්න. ඒකට ඒ වෙනුවෙන් තියෙන ෆෝම් එක පුරවන්නත් ඔයාට පුළුවන්. මේ ගැනත් හිතන්න. ‘පාරාදීසේදී ප්‍රයෝජනවත් වෙන දක්ෂතාවයක්, හැකියාවක් දැන් ඉඳන්ම දියුණු කරගන්න මට පුළුවන්ද?’
නැවත නැඟිටින අයට උදව් කරන්න
යේසුස් යායිරස්ගේ දුවව නැවත නැඟිට්ටපු ගමන්ම එයාට මොනවා හරි කන්න දෙන්න කියලා කිව්වා. (මාක් 5:42, 43) අවුරුදු 12ක පුංචි දුවෙක්ට කන්න දෙන එක නම් ලොකු දෙයක් නෙවෙයි. හැබැයි හිතලා බලන්න ‘සොහොන් ගෙවල්වල ඉන්න හැමෝටම යේසුස්ගේ හඬ ඇහිලා’ නැවත නැඟිටලා එද්දී එයාලව බලාගන්න මොන තරම් වැඩ කොටසක් කරන්න තියෙයිද කියලා. (යොහ. 5:28, 29) බයිබලේ ඒ ගැන ගොඩක් විස්තර නැතත් අපිට හිතන්න පුළුවන් නැවත නැඟිටින අයට කෑම බීම, ඇඳුම් පැළදුම්, ඉන්න හිටින්න තැනක් හොයාගන්න අපෙන් ගොඩක් උදව් ඕන වෙයි කියලා. එයාලට උදව් කරන්න ඔයාගේ හිතේ ලොකු ආසාවක් තියෙනවා කියලා ඔයාට දැන් ඉඳන්ම පෙන්නන්න පුළුවන් කොහොමද? ඒකට මේ ප්‍රශ්න ගැන හිතලා බලන්න.
පොළොව උරුම කරගන්න ලෑස්තියි කියලා ඔයාට දැන් පෙන්නන්න පුළුවන් කොහොමද?
චාරිකා සේවක ඔයාගේ සභාවට එද්දී එයාට කෑම වේලක් දෙන්න ඔයා ඉදිරිපත් වෙනවාද? බෙතෙල් සේවකයෙක්ගේ හරි චාරිකා සේවකයෙක්ගේ හරි පැවරුම ඉවර වෙලා එයා ඔයා ඉන්න පළාතට ආවොත් එයාට නවාතැනක් හොයලා දෙන්න ඔයාට පුළුවන්ද? සමුළුවකට කලින් නැත්තම් පස්සේ ඒ වැඩවලට හවුල් වෙන්න ඔයාට පුළුවන්ද? එහෙම නැත්නම් විශේෂ සමුළුවකට එන අමුත්තන්ව පිළිගන්න ඔයාට පුළුවන්ද?
නැවත නැඟිටින අයට උගන්වන්න
ක්‍රියා 24:15 කියවද්දී අපිට හිතන්න පුළුවන් බිලියන ගාණක් දෙනා නැවත නැඟිටියි කියලා. ඒ අයගෙන් වැඩිදෙනෙක් කලින් යෙහෝවා දෙවියන් ගැන දැනන් හිටපු නැති අය. එයාලට ඔහු ගැන ඉගෙනගන්න අවස්ථාව ලැබෙන්නේ නැවත නැඟිට්ටාට පස්සේ.a එයාලට උගන්වන වගකීම තියෙන්නේ ඒ වෙද්දීත් පොළොවේ ජීවත් වෙන දෙවියන්ගේ විශ්වාසවන්ත සේවකයන්ටයි. (යෙසා. 11:9) යුරෝපයේ, දකුණු ඇමරිකාවේ සහ අප්‍රිකාවේ සේවේ කරලා තියෙන සහෝදරි ශාලට් මෙහෙම කියනවා. “ඉස්සර කාලේ හිටපු කෙනෙක් ගැන කියවද්දී මං ගොඩක් වෙලාවට හිතනවා ‘අනේ මේ කෙනා යෙහෝවා ගැන දැනන් හිටියා නම් එයාගේ ජීවිතේ කොච්චර වෙනස් වෙන්න තිබුණාද’ කියලා. නැවත නැඟිටින අයට උගන්වන්න, කලින් වෙච්ච දේවල් ගැන කියන්න මං බලන් ඉන්නේ හරිම ආසාවෙන්.”
යේසුස්ට කලින් මේ පොළොවේ හිටපු විශ්වාසවන්ත අයටත් ඉගෙනගන්න ගොඩක් දේවල් තියෙයි. ටිකකට දානියෙල් ගැන හිතන්න. එයා ලියපු සමහර අනාවැකි එයාටවත් තේරුණේ නැහැ. (දානි. 12:8) ඒ දේවල් ඉටු වුණ විදිහ එයාට පැහැදිලි කරලා දෙන එක කොච්චර සතුටක්ද! එතකොට රූත් සහ නායොමි? ගැලවුම්කරුගේ පෙළපතට එයාලගේ පවුලේ අය සම්බන්ධ වුණ විදිහ ගැන එයාලට කියන කල් එදාට අපිට ඉවසිල්ලක් නැති වෙයි. ඒ කාලේදී සාතන්ගේ ලෝකෙන් කිසි බලපෑමක්, පීඩනයක් එන්නේ නැහැ. ඒ නිසා එදාට සිද්ධ වෙන දැවැන්ත ඉගැන්වීමේ වැඩසටහනට හවුල් වෙද්දී අපිට කොච්චර සතුටක් දැනෙයිද!
ඒකට හවුල් වෙන්න ඔයාගේ හිතේ ලොකු ආසාවක් තියෙනවා කියලා ඔයාට පෙන්නන්න පුළුවන් කොහොමද? එක විදිහක් තමයි ඔයාගේ ඉගැන්වීමේ හැකියාව දියුණු කරගෙන දැන් සිද්ධ වෙන දේශනා කිරීමේ වැඩේට ඔයාගේ උපරිමයෙන් හවුල් වෙන එක. (මතෙ. 24:14) ඔයාගේ වයස, තත්වයන් නිසා දැන් ඔයාට කරන්න පුළුවන් දේවල් සීමිත වුණත් ඔයා ඔයාගේ උපරිමය කරනවා නම් ඔයා පෙන්නන්නේ ඉස්සරහට නැවත නැඟිටින අයටත් උගන්වන්න ඔයාගේ හිතේ තියෙන ආසාවයි.
පොළොව උරුම කරගන්න ඔයා ඇත්තටම බලන් ඉන්නේ නොඉවසිල්ලෙන්ද? පොළොව ලස්සන තැනක් කරන්න, නැවත නැඟිටින අයට අවශ්‍ය දේවල් දීලා උදව් කරන්න, එයාලට උගන්වන්න ඔයා ඉන්නේ ගොඩක් ආසාවෙන්ද? පාරාදීසේදී වගේම දැනුත් ඔයාට කරන්න ගොඩක් දේවල් තියෙනවා. ඒ දේවල්වලට ඔයා උපරිමයෙන් හවුල් වෙද්දී ඔයා පෙන්වන්නේ ඔයා ඇත්තටම පරාදීසේ ජීවත් වෙන්න ලෑස්තියි කියලයි.
a 2022 සැප්තැම්බර් ‘මුරටැඹ’ සඟරාවේ “ධර්මිෂ්ඨ ජීවිතයක් ගත කරන්න හුඟදෙනෙක්ට උදව්” කියන ලිපිය බලන්න.