පාඩම් ලිපිය 49
යෙහෝවා දෙවියන් මගේ යාච්ඤා අහනවාද?
“ඔබ මා වෙතට හැරී මට හඬගසනු ඇත. මට කන්නලව් කරනු ඇත. එවිට මම ඔබට සවන් දෙන්නෙමි.”—යෙරෙ. 29:12.
ගීතිකාව 41 අසනු මැන මාගේ යාච්ඤාව
මේ ලිපියෙන්a
1-2. සමහර වෙලාවට යෙහෝවා අපේ යාච්ඤාවට උත්තර දෙන්නේ නැහැ කියලා අපිට හිතෙන්න පුළුවන් ඇයි?
“යෙහෝවා දෙවිව ඔබේ ජීවිතයේ සතුට කරගන්න. එවිට ඔබේ සිතේ ආශාවන් ඔහු ඉටු කරනු ඇත.” (ගීතා. 37:4) ඒක කොච්චර වටින පොරොන්දුවක්ද! හැබැයි එහෙමයි කියලා අපි ඉල්ලන හැම දෙයක්ම ඒ වෙලාවෙම යෙහෝවා දෙන්න ඕනෙ කියලා අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්ද? මේ උදාහරණ ටික බලන්න. තනිකඩ සහෝදරියක් ශුභාරංචිය ප්‍රකාශ කරන්නන්ගේ පාසැලට සහභාගි වෙන්න එයාට තියෙන ආසාව ගැන යාච්ඤා කරනවා. හැබැයි අවුරුදු ගාණක් ගියත් එයාට ඒකට ආරාධනාවක් ලැබුණේ නැහැ. තරුණ සහෝදරයෙක් හුඟක් ආසාවෙන් ඉන්නවා සභාවේ තව වැඩියෙන් සේවේ කරන්න. හැබැයි බරපතළ අසනීපයක් නිසා එයාට ඒක කරගන්න බැහැ. ඒ නිසා එයා යෙහෝවාට යාච්ඤා කරනවා එයාගේ අසනීපය සුව කරන්න කියලා. හැබැයි ඒක හොඳ වෙන පාටක් පේන්න නැහැ. යුවළක් යෙහෝවා දෙවියන්ගෙන් ඉල්ලනවා එයාලාගේ දරුවාව දිගටම සත්‍ය මාර්ගයේ ගෙනියන්න කියලා. හැබැයි පස්සේ එයාලාගේ දරුවා දෙවියන්ට සේවේ කරන එක නතර කරනවා.
2 සමහර වෙලාවට ඔයාත් යෙහෝවාගෙන් ඉල්ලපු දේකට තාමත් උත්තරයක් ලැබිලා නැතුව ඇති. ඒ නිසා ඔයා හිතනවා ඇති ‘යෙහෝවා අනිත් අයගේ යාච්ඤාවලට නං උත්තර දෙනවා, මගේ ඒවා තමයි අහන්නේ නැත්තේ’ කියලා. යෙහෝවා ඔයාගේ යාච්ඤා අහන්නේ නැත්තේ ඔයාගේ අතින් වුණ වැරැද්දක් නිසා කියලා ඔයාට හිතෙන්නත් පුළුවන්. සහෝදරි ජැනිස්ටත්b හිතුණේ ඒ විදිහටමයි. බෙතෙල් එකට යන්න තිබ්බ ආසාව ගැන එයායි, එයාගේ මහත්තයායි දිගටම යෙහෝවාට යාච්ඤා කළා. එයා මෙහෙම කියනවා. “අපි යාච්ඤා කරපු තරමට මං නං හිතුවේ අද හෙටම බෙතෙල් එකෙන් කතා කරයි කියලා.” හැබැයි මාස ගණන්, අවුරුදු ගණන් ගියත් එයාලට ආරාධනාවක් ලැබුණේ නැහැ. ජැනිස් මෙහෙම කියනවා. “ඒ ගැන හිතද්දී මට ගොඩක් අප්සෙට් ගියා. මොනවා කරන්නද කියලා මට හිතාගන්න බැරුව හිටියේ. යෙහෝවා මගේ යාච්ඤාවලට උත්තර දෙන්නේ නැත්තේ මගේ අතින් මොකක් හරි වරදක්වත් වුණ නිසාද කියලා මං හිතුවා. මගේ ආසාව ගැන නිශ්චිතවම කියලා මං කොච්චර යාච්ඤා කළාද! ඇයි ඔහු මගේ යාච්ඤාවට උත්තර දුන්නේ නැත්තේ?”
3. අපි මේ ලිපියෙන් බලන්නේ මොනවා ගැනද?
3 සමහර වෙලාවට ඔයාටත් හිතෙයි ඔයාගේ යාච්ඤාවට යෙහෝවා උත්තර දෙන්නේ නැහැ කියලා. හැබැයි දුක් වෙන්න එපා. මොකද අතීතයේ හිටපු විශ්වාසවන්ත අයටත් එහෙම හිතිලා තියෙනවා. (යෝබ් 30:20; ගීතා. 22:2; හබ. 1:2) ඒත් යෙහෝවා අනිවාර්යයෙන්ම ඔයාගේ යාච්ඤාවලට උත්තර දෙනවා කියලා ඔයාට සහතික වෙන්න පුළුවන් කොහොමද? (ගීතා. 65:2) ඒක තේරුම්ගන්න මේ ප්‍රශ්න තුන ගැන බලමු. (1) යාච්ඤා කරද්දී අපිට යෙහෝවාගෙන් බලාපොරොත්තු වෙන්න පුළුවන් මොනවාද? (2) යෙහෝවා අපෙන් බලාපොරොත්තු වෙන්නේ මොනවාද? (3) සමහර වෙලාවට යාච්ඤාවෙන් ඉල්ලන දේ අපි වෙනස් කරන්න ඕනෙ ඇයි?
අපිට යෙහෝවාගෙන් බලාපොරොත්තු වෙන්න පුළුවන් මොනවාද?
4. යෙරෙමියා 29:12 යෙහෝවා දෙන පොරොන්දුව මොකක්ද?
4 අපේ යාච්ඤාවලට ඇහුම්කන් දෙනවා කියලා යෙහෝවා පොරොන්දු වෙනවා. (යෙරෙමියා 29:12 කියවන්න.) අපේ යෙහෝවා දෙවියන් අපිට හුඟක් ආදරෙයි. ඒ නිසා කවදාවත් අපි යාච්ඤා කරද්දී ඔහු අහක බලන්නේ නැහැ. (ගීතා. 10:17; 37:28) හැබැයි එහෙමයි කියලා ඒකෙන් අදහස් වෙන්නේ නැහැ අපි ඔහුගෙන් ඉල්ලන ඉල්ලන හැම දෙයක්ම ඔහු අපිට දෙනවා කියලා. මොකද අපේ සමහර ඉල්ලීම් ඔහු ඉටු කරලා දෙන්නේ පාරාදීසේදී. එතකල් අපිට ඉවසීමෙන් බලන් ඉන්න වෙනවා.
5. අපේ යාච්ඤාවලට ඇහුම්කන් දෙද්දී යෙහෝවා සැලකිල්ලට ගන්නේ මොනවාද? පැහැදිලි කරන්න.
5 අපේ ඉල්ලීම් කොච්චර දුරට තමන්ගේ අරමුණට සම්බන්ධ වෙනවාද කියලා යෙහෝවා සැලකිල්ලට ගන්නවා. (යෙසා. 55:8, 9) තමන්ගේ පාලනයට කැමැත්තෙන්ම යටත් වෙන මිනිස්සුන්ගෙන් මේ පොළොව පුරවන එක යෙහෝවාගේ අරමුණට සම්බන්ධ එක දෙයක්. හැබැයි සාතන් චෝදනා කළා මිනිස්සුන්ට සතුටින් ඉන්න දෙවියන්ව ඕනෙ නැහැ, එයාලට පුළුවන් එයාලවම බලාගන්න කියලා. (උත්. 3:1-5) ඉතින් සාතන්ගේ චෝදනාව බොරුයි කියලා ඔප්පු කරන්න යෙහෝවා දෙවියන් මිනිස්සුන්ව පාලනය කරන්න මිනිස්සුන්ටම ඉඩ හැරියා. මිනිස් පාලන නිසා තමයි අද මෙච්චර ප්‍රශ්නවලට අපි මුහුණ දෙන්නේ. (දේශ. 8:9) ඒ ප්‍රශ්න හැම එකක්ම මේ කාලේදී ඔහු අයින් කරන්නේ නැහැ කියලා අපි දන්නවා. මොකද එහෙම කළොත් සමහර අය හිතයි මිනිස්සුන්ගේ පාලන සාර්ථකයි කියලා.
6. යෙහෝවා හැම වෙලාවෙම ආදරණීයව, සාධාරණව වැඩ කරනවා කියලා සහතික වෙන්න පුළුවන් ඇයි?
6 එකම ඉල්ලීමට වුණත් යෙහෝවා විවිධ විදිවලින් උත්තර දෙනවා. උදාහරණෙකට හෙසකියා රජ බරපතළ විදිහට අසනීප වෙලා ඉද්දී එයා යෙහෝවාගෙන් ඉල්ලුවා එයාව සනීප කරන්න කියලා. ඉතින් යෙහෝවා එයාව සනීප කළා. (2 රාජා. 20:1-6) හැබැයි පාවුල් එයාට තිබුණ කටුවක් හා සමාන පීඩාව අයින් කරන්න කියලා කීපවතාවක්ම ඉල්ලුවත් යෙහෝවා ඒක අයින් කළේ නැහැ. (2 කොරි. 12:7-9) සමහරවිට ඒ කටුව පාවුල්ට තිබුණ අසනීපයක් වෙන්න ඇති. තවත් උදාහරණයක් බලන්න. හෙරොද් රජට ඕනෙ වුණේ යාකොබ්වයි, පේතෘස්වයි මරන්න. ඉතින් පේතෘස් වෙනුවෙන් වගේම යාකොබ් වෙනුවෙනුත් සභාවේ අය ගොඩක් යාච්ඤා කරන්න ඇති. හැබැයි අන්තිමේදී හෙරොද් යාකොබ්ව මැරුවා. ඒත් දෙවියන් පේතෘස්ව ආශ්චර්යවත් විදිහට බේරුවා. (ක්‍රියා 12:1-11) සමහර වෙලාවට අපිට හිතෙන්න පුළුවන් ‘ඇයි යෙහෝවා පේතෘස්ව බේරලා යාකොබ්ට මැරෙන්න ඉඩ හැරියේ’ කියලා. ඒ ගැන බයිබලේ හරියටම කියලා නැහැ.c හැබැයි ‘දෙවියන් අතින් කිසිම අසාධාරණයක් නම් වෙන්නේ නැහැ’ කියලා අපිට සහතික වෙන්න පුළුවන්. (ද්වි. 32:4) ඒ වගේම අපි දන්නවා පේතෘස්ට වගේම යාකොබ්ටත් දෙවියන්ගේ අනුමැතිය තිබුණා කියලා. (එළි. 21:14) මොකක්ද පාඩම? සමහර වෙලාවට අපේ යාච්ඤාවලටත් අපි හිතපු විදිහටම උත්තර ලැබෙන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි අපිට එක දෙයක් ගැන සහතිකයි. යෙහෝවා හැම තිස්සේම වැඩ කරන්නේ ආදරෙන්. ඒ වගේම සාධාරණ විදිහට. ඒ නිසා අපේ යාච්ඤාවලට ඔහු උත්තර දෙන විදිහ ගැන අපි කවදාවත් ප්‍රශ්න කරන්නේ නැහැ.—යෝබ් 33:13.
7. අපි කරන්න හොඳ නැත්තේ මොනවාද? ඒ ඇයි?
7 අපි කවදාවත් අපි මුහුණ දෙන දේවල් අනිත් අය මුහුණ දෙන දේවල් එක්ක සන්සන්දනය කරන්න හොඳ නැහැ. හිතන්න සමහර වෙලාවට අපි අපිට ඕන දෙයක් නිශ්චිතවම යෙහෝවාගෙන් ඉල්ලනවා. හැබැයි අපි ඉල්ලපු දේ ලැබෙන්නේ නැහැ. පස්සේ අපිට දැනගන්න ලැබෙනවා තවත් කෙනෙක් ඒ වගේම දෙයක් දෙවියන්ගෙන් ඉල්ලලා තියෙනවා කියලා. හැබැයි එයාගේ ඉල්ලීම නම් යෙහෝවා ඉටු කරලා තියෙනවා වගෙයි පේන්න තියෙන්නේ. සහෝදරි ඇනාට වුණෙත් ඒ වගේම දෙයක්. එයාගේ මහත්තයා මැතිව්ට පිළිකාවක් තිබුණා. ඉතින් මහත්තයාව සනීප කරන්න කියලා ඇනා යෙහෝවාගෙන් ඉල්ලුවා. ඒ කාලේදීම එයා දන්න වයසක සහෝදරියන් දෙන්නෙක්ටත් පිළිකා තිබුණා. ඇනා ඒ දෙන්නා වෙනුවෙනුත් සෑහෙන්න යාච්ඤා කළා. පස්සේ ඒ සහෝදරියන් දෙන්නා සනීප වුණා. හැබැයි ඇනාගේ මහත්තයා මැරුණා. ‘ඒ සහෝදරියන් දෙන්නා සනීප වුණේ යෙහෝවා උදව් කරපු නිසාද? එහෙමනම් ඇයි මගේ මහත්තයාට ඔහු උදව් කළේ නැත්තේ’ කියලා ඇනා මුලින් කල්පනා කළා. ඒ සහෝදරියන් දෙන්නා සනීප වුණේ මොකක් නිසාද කියලා ඇත්තටම අපි දන්නේ නැහැ. හැබැයි අපි එක දෙයක් දන්නවා. ඒ තමයි අපේ දුක් වේදනා හැම එකකටම යෙහෝවා ළඟ ස්ථිර විසඳුමක් තියෙනවා කියන එක. අපෙන් වෙන් වුණ ආදරණීයන්ව ආයෙත් නැගිට්ටවන්න ඔහු ආසාවෙන් ඉන්නවා.—යෝබ් 14:15.
8. (අ) යෙසායා 43:2 කියන විදිහට යෙහෝවා අපිට උදව් කරන්නේ කොහොමද? (ආ) ප්‍රශ්නවලට මුහුණ දෙද්දී යාච්ඤාව අපිට උදව් වෙන්නේ කොහොමද? (‘ප්‍රශ්න දරාගන්න යාච්ඤාව උදව්වක්’ කියන වීඩියෝ එක බලන්න.)
8 ඕනම වෙලාවක යෙහෝවා අපේ උදව්වට ඉන්නවා. අපේ ආදරණීය තාත්තා විදිහට ඔහු කවදාවත් කැමති නැහැ අපි වේදනාවෙන් ඉන්නවා දකින්න. (යෙසා. 63:9) ඒ වුණත් ජල ධාරා, ගිනි ජාලා වගේ එන හැම ප්‍රශ්නයක්ම ඔහු වළක්වන්නේ නැහැ. (යෙසායා 43:2 කියවන්න.) ඒ වෙනුවට ඔහු අපිට පොරොන්දු වෙන්නේ ඒවා ‘මැදින් යන්න’ අපිට උදව් කරනවා කියලා. අපිට ඔහුත් එක්ක තියෙන බැඳීමට හානියක් වෙන්න දෙවියන් කවදාවත් කිසිම දේකට ඉඩ තියන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි අපිට විඳදරාගන්න ඔහුගේ අතිමහත් බලයත් ඔහු දෙනවා. (ලූක් 11:13; ෆිලි. 4:13) ඒ නිසා මොන දේ වුණත් දිගටම විඳදරාගෙන විශ්වාසවන්තව ඉන්න ඕන කරන හැම දේම යෙහෝවා අපිට දෙනවා කියලා කිසිම සැකයක් නැහැ.d
යෙහෝවා අපෙන් බලාපොරොත්තු වෙන්නේ මොනවාද?
9. යාකොබ් 1:6, 7 කියන විදිහට දෙවියන් අපිට උදව් කරනවා කියලා අපි විශ්වාස කරන්න ඕනෙ ඇයි?
9 අපි යෙහෝවාව විශ්වාස කරයි කියලා ඔහු බලාපොරොත්තු වෙනවා. (හෙබ්‍රෙ. 11:6) අපිට හිතෙන්නේ අපිට තියෙන සමහර ප්‍රශ්න තරණය කරන්න බැරි කඳු වගේ කියලා. කවදාවත් ඒකෙන් ගොඩ ඒමක් නැහැ වගෙයි පේන්නේ. ඒ නිසා දෙවියන් ඇත්තටම අපිට උදව් කරයිද කියලා අපේ හිතේ සැකයක් ඇති වෙන්න පුළුවන්. හැබැයි බයිබලේ අපිට සහතික කරනවා දෙවිගේ බලයේ උදව්වෙන් අපිට “මහා පවුරකට” වුණත් නඟින්න පුළුවන් කියලා. (ගීතා. 18:29) ඒ නිසා ප්‍රශ්න එද්දී සැක ඇති කරගන්න එපා. යෙහෝවා දෙවියන් අනිවාර්යයෙන්ම ඔයාගේ යාච්ඤාවලට උත්තර දෙනවා කියන විශ්වාසයෙන් හිතේ තියෙන හැම දේම ඔහුට කියන්න.—යාකොබ් 1:6, 7 කියවන්න.
10. අපේ යාච්ඤාවලට එකඟව වැඩ කරන්න පුළුවන් විදිහ ගැන උදාහරණෙකින් පැහැදිලි කරන්න.
10 යාච්ඤාවලට එකඟව අපි වැඩ කරයි කියලා යෙහෝවා බලාපොරොත්තු වෙනවා. උදාහරණෙකට සහෝදරයෙක් යාච්ඤා කරලා දෙවියන්ගෙන් ඉල්ලනවා තුන්දින සමුළුවට යන්න නිවාඩුවක් ගන්න උදව් කරන්න කියලා. යෙහෝවා එයාගේ යාච්ඤාවට කොහොම උත්තර දෙයිද? සමහර වෙලාවට බය නැතුව නිවාඩුවක් ඉල්ලන්න ඔහු ඒ සහෝදරයාට ධෛර්යය දෙයි. එහෙමවුණත් ඒ සහෝදරයාගේ පැත්තෙනුත් කරන්න දෙයක් තියෙනවා. එයාත් නිවාඩු ඉල්ලන්න බොස් ගාවට යන්න ඕනේ. සමහර වෙලාවට කීපවතාවක්ම බොස් එක්ක කතා කරන්න වෙයි. නැත්නම් එයා වෙනුවට එදා දවසේ වැඩ කරන්න පුළුවන්ද කියලා වෙන කෙනෙක්ගෙන් අහන්න වෙයි. එහෙමත් නැත්නම් එදා දවසේ පඩිය කපාගෙන එයාට නිවාඩු දෙන්න පුළුවන්ද කියලා අහන්නත් වෙයි.
11. අපේ හිතට බරක් වෙන දේවල් ගැන අපි ආයේ ආයේ යාච්ඤා කරන්න ඕනෙ ඇයි?
11 අපේ හිතට බරක් වෙන දේවල් ගැන ආයේ ආයේ අපි යාච්ඤා කරයි කියලා යෙහෝවා බලාපොරොත්තු වෙනවා. (1 තෙස. 5:17) යේසුස් කියපු දේවල්වලින් අපිට තේරුම්ගන්න පුළුවන් අපි කරන සමහර ඉල්ලීම්වලට ඒ වෙලාවෙම උත්තර ලැබෙන්නේ නැහැ කියලා. (ලූක් 11:9) ඒ නිසා අත්හරින්න එපා. දිගටම වුවමනාවෙන් යාච්ඤා කරන්න. (ලූක් 18:1-7) ඒ විදිහට අපි යාච්ඤා කරද්දී යෙහෝවා දකිනවා අපි ඉල්ලන දේ ලබාගන්න අපිට කොච්චර ලොකු වුවමනාවක් තියෙනවාද කියලා. ඒ වගේම ඒ දේ ඉටු කරන්න ඔහුට පුළුවන් කියලා අපිට විශ්වාසයි කියන දේත් අපි ඒකෙන් පෙන්නනවා.
ඉල්ලන දේ වෙනස් කරන්න වෙන්නේ ඇයි?
12. (අ) අපි අපෙන්ම අහගන්න ඕන ප්‍රශ්න මොනවාද? ඒ ඇයි? (ආ) යාච්ඤා කරද්දී අපි දෙවියන්ට ගෞරව කරනවා කියලා පෙන්නන්න පුළුවන් කොහොමද? (“මගේ ඉල්ලීම්වලින් මං යෙහෝවාට ගෞරව කරනවා කියලා පේනවාද?” කියන කොටුව බලන්න.)
12 අපි හිතපු විදිහටම අපේ යාච්ඤාවට උත්තර ලැබුණේ නැත්නම් අපිට අපෙන්ම අහගන්න පුළුවන් ප්‍රශ්න තුනක් තියෙනවා. ඒකෙන් පළවෙනි එක තමයි “මං මේ යාච්ඤා කරලා ඉල්ලන දේ හරිද” කියන එක. හුඟක් වෙලාවට අපි හිතනවා අපිට ඕන හොඳම දේ දන්නේ අපි කියලා. අපි එහෙම හිතුවාට සමහර වෙලාවට අපි ඉල්ලන දෙයින් ඇත්තටම අපිට හොඳක් වෙන්නේ නැති වෙන්න පුළුවන්. අපි ප්‍රශ්නයක් ගැන යාච්ඤා කරනවා නම් සමහර වෙලාවට අපි හිතන විසඳුමට වඩා හොඳ විසඳුමක් තව තියෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් අපි ඉල්ලන දේ යෙහෝවාගේ කැමැත්තට එකඟ නොවෙන්න පුළුවන්. (1 යොහ. 5:14) උදාහරණෙකට පළවෙනි ඡේදයේ කතා කරපු දෙමාපියන් ගැන හිතන්න. එයාලා යෙහෝවා දෙවියන්ගෙන් ඉල්ලුවේ එයාලාගේ දරුවාව සත්‍යයේ ගෙනියන්න කියලා. බැලූ බැල්මට එයාලා ඉල්ලපු දේ වරදක් නැහැ. ඒත් අපි මතක තියාගන්න ඕනෙ දෙවියන් කවදාවත් ඔහුට සේවය කරන්න කාටවත් බල කරන්නේ නැහැ කියලා. අපේ දරුවෝ ඇතුළුව අපි හැමෝම ඔහුට කැමැත්තෙන්ම නමස්කාර කරනවා දකින්නයි ඔහුට ඕනේ. (ද්වි. 10:12, 13; 30:19, 20) ඒ නිසා දරුවාව සත්‍යයේ ගෙනියන්න කියලා ඉල්ලනවා වෙනුවට දෙමාපියන්ට පුළුවන් දරුවාගේ හිතේ යෙහෝවා ගැන ආදරයක් ඇති කරන්න එයාලා ගන්න මහන්සියට ආශීර්වාද කරන්න කියලා ඉල්ලන්න.—හිතෝ. 22:6; එෆී. 6:4.
13. හෙබ්‍රෙව් 4:16 කියන විදිහට යෙහෝවා දෙවියන් අපිට උදව් කරන්නේ කොයි වෙලාවේද? පැහැදිලි කරන්න.
13 දෙවෙනි ප්‍රශ්නේ තමයි “යෙහෝවා මගේ යාච්ඤාවලට උත්තර දෙන්න හරිම වෙලාව මේකද” කියන එක. සමහර වෙලාවට අපිට හිතෙයි අපි යාච්ඤා කරපු හැටියෙම අපිට උත්තරයක් ලැබෙන්න ඕනෙ කියලා. හැබැයි අපිට උදව් කරන්න හොඳම වෙලාව මොකක්ද කියලා දෙවියන් දන්නවා. (හෙබ්‍රෙව් 4:16 කියවන්න.) සමහරවිට අපි යාච්ඤා කරපු හැටියෙම උත්තරයක් ලැබුණේ නැති වුණාම අපිට හිතෙන්නේ අපි ඉල්ලපු දේට යෙහෝවා දෙවියන් “බෑ” කියනවා කියලා. හැබැයි සමහර වෙලාවට යෙහෝවා අපිට කියන්නේ “බෑ” කියලා නෙවෙයි “පොඩ්ඩක් ඉන්න” කියලයි. මොකද අපේ යාච්ඤාවට උත්තර දෙන්න තව කල් තියෙනවා වෙන්න පුළුවන්. දැන් අපි පළවෙනි ඡේදයේ කතා කරපු තරුණ සහෝදරයා ගැන පොඩ්ඩක් හිතමු. එයා ඉල්ලුවේ එයාගේ අසනීපය සුව කරන්න කියලා. හැබැයි යෙහෝවා එයාව ඒ වෙලාවේ සනීප කළා නම් සාතන් චෝදනා කරයි එයා සේවේ කරන්නේ දෙවියන් එයාව සනීප කරපු හින්දයි කියලා. (යෝබ් 1:9-11; 2:4) ඒ වගේම අපි මතක තියාගන්න ඕනෙ යෙහෝවා අපේ හැම අසනීපයක්ම සනීප කරන්න මේ වෙද්දීත් කාලයක් නියම කරලයි තියෙන්නේ කියලා. (යෙසා. 33:24; එළි. 21:3, 4) ඒ නිසා ඒ කාලේ එන කල් අපිව සනීප කරන්න යෙහෝවා ආශ්චර්යවත් විදිහට දේවල් කරයි කියලා අපිට බලාපොරොත්තු වෙන්න බැහැ. ඉතින් ඒ තරුණ සහෝදරයාට පුළුවන් ඒ අසනීපය දරාගෙන සතුටින්, විශ්වාසවන්තව දෙවියන්ට දිගටම සේවය කරන්න ශක්තිය දෙන්න කියලා ඉල්ලන්න.—ගීතා. 29:11.
14. ජැනිස්ගේ අද්දැකීමෙන් අපි ඉගෙනගන්නේ මොකක්ද?
14 කලින් සඳහන් කරපු ජැනිස්ව මතකද? එයා බෙතෙල් එකේ සේවේ කරන්න ඉල්ලලා සෑහෙන්න යාච්ඤා කළා. හැබැයි යෙහෝවා එයාගේ යාච්ඤාවට උත්තර දුන්න විදිහ තේරුම්ගන්න එයාට අවුරුදු පහක්ම ගියා. එයා ඒ ගැන මෙහෙම කියනවා. “ඒ කාලේ පුරාම දෙවියන් මට ඉගැන්නුවා, මාව පුහුණු කළා, ගුණාංග හදාගන්න මට උදව් කළා. දැන් තමයි තේරෙන්නේ මට ඒ කාලේ යෙහෝවා ගැන තිබුණ විශ්වාසේ අඩුවක් තිබුණා කියලා. පෞද්ගලික අධ්‍යයනය පැත්තෙනුත් මට දියුණු වෙන්න තිබුණා. නියම සතුට රැඳිලා තියෙන්නේ මගේ පැවරුමේවත් මගේ තත්වයන් මතවත් නෙවෙයි කියලා ඒ කාලේ මං හරියට තේරුම් අරන් හිටියේ නෑ.” පස්සේ කාලෙක ජැනිස්ටයි, එයාගේ මහත්තයාටයි චාරිකා සේවේ යන්න අවස්ථාව ලැබුණා. ආපහු හැරිලා බලද්දී ජැනිස් මෙහෙම කියනවා. “යෙහෝවා මගේ යාච්ඤාවට උත්තර දුන්නා. ඒත් ඒ මං හිතපු විදිහටම නෙවෙයි. ඇත්තටම ඔහු මගේ යාච්ඤාවලට උත්තර දුන්නේ හොඳම විදිහටයි කියලා තේරුම්ගන්න මට හුඟක් කල් ගියා. හැබැයි යෙහෝවා ආදරය, කරුණාව පෙන්නපු විදිහ ගැන හිතද්දී දැන් මට ඔහු ගැන ඇති වෙන්නේ ලොකු ආදරයක්.”
ඔයාගේ යාච්ඤාවට උත්තර ලැබුණේ නැහැ කියලා ඔයාට හිතුණොත් ඉල්ලන දේ වෙනස් කරලා බලන්න (15 ඡේදය බලන්න)f
15. සමහර වෙලාවට යාච්ඤාවෙන් ඉල්ලන දේ ටිකක් වෙනස් කරන්න වෙන්නේ ඇයි? (පින්තූරත් බලන්න.)
15 තුන්වෙනි ප්‍රශ්නේ තමයි “යාච්ඤාවෙන් ඉල්ලන දේ මට ටිකක් වෙනස් කරන්න වෙයිද” කියන එක. ඇත්ත, අපි දෙයක් නිශ්චිතව ඉල්ලලා යාච්ඤා කරන එක හොඳයි. හැබැයි අපි ගැන යෙහෝවාගේ කැමැත්ත මොකක්ද කියලා අපි හරියටම දන්නේ නැති හින්දා අපි යාච්ඤාවෙන් ඉල්ලන දේවල් සමහර වෙලාවට නිශ්චිත නොවෙන එකත් හොඳයි. ශුභාරංචිය ප්‍රකාශ කරන්නන්ගේ පාසැලට යන්න ඉල්ලලා යාච්ඤා කරපු තනිකඩ සහෝදරියව මතකද? ඒ පාසැලට එයාට යන්න ඕනෙ වුණේ ප්‍රචාරකයන් අඩු පැත්තකට ගිහින් සේවේ කරන්න එයාට ලොකු ආසාවක් තිබුණ නිසයි. ඉතින් ඒ පාසැලට යන්න ඉල්ලලා යාච්ඤා කරන ගමන්ම එයාට එයාගේ සේවේ තව වැඩි කරන්න පුළුවන් කොහොමද කියලා තේරුම්ගන්න උදව් ඉල්ලලා යාච්ඤා කරන්නත් පුළුවන්. (ක්‍රියා 16:9, 10) ඊටපස්සේ එයා කරපු යාච්ඤාවට එකඟව එයා වැඩ කරන්නත් ඕනේ. උදාහරණෙකට පුරෝගාමීන්ගේ අවශ්‍යතාවයක් තියෙන ළඟ සභාවක් තියෙනවාද කියලා චාරිකා සේවකගෙන් එයාට අහන්න පුළුවන්. එහෙමත් නැත්නම් සේවය පැත්තෙන් තව උදව් ඕනෙ සභාවක් තියෙන්නේ කොහෙද කියලා අහලා ශාඛා කාර්යාලයකට ලියුමක් ලියන්නත් පුළුවන්.e
16. අපිට සහතික වෙන්න පුළුවන් මොකක් ගැනද?
16 අපි බලපු විදිහට යෙහෝවා හැම තිස්සේම අපේ යාච්ඤාවලට උත්තර දෙන්නේ හරිම ආදරණීය සහ සාධාරණ විදිහට. (ගීතා. 4:3; යෙසා. 30:18) හැබැයි සමහර වෙලාවට අපි හිතපු විදිහටම අපිට උත්තර ලැබෙන්නේ නැහැ. එහෙමයි කියලා ඒකෙන් අදහස් වෙන්නේ නැහැ ඔහු අපේ යාච්ඤා ගණන් ගන්නේ නැහැ කියලා. මොකද ඔහු අපිට ගොඩක් ආදරෙයි. කවදාවත් ඔහු අපිව අත්හරින්නේ නැහැ. (ගීතා. 9:10) ඒ නිසා “සැමවිටම දෙවි කෙරෙහි විශ්වාසය තියලා” දිගටම ඔයාගේ හිතේ තියෙන හැම දෙයක්ම ඔහුට යාච්ඤාවෙන් කියන්න.—ගීතා. 62:8.
ගීතිකාව 43 ස්තුති දීමේ යාච්ඤාව
a යෙහෝවා දෙවියන් අපේ යාච්ඤාවලට හැම තිස්සේම උත්තර දෙන්නේ හරිම ආදරණීයව වගේම සාධාරණ විදිහට. ඒ ගැන තියෙන විශ්වාසය වැඩි කරගන්න මේ ලිපිය උදව් වෙයි.
b සමහර නම් වෙනස් කර ඇත.
c 2022 පෙබරවාරි ‘මුරටැඹ’ සඟරාවේ තියෙන “යෙහෝවා දෙවියන්ගේ තීරණ සැක කරන්න එපා!” කියන ලිපියේ 3-6 ඡේද බලන්න.
d ප්‍රශ්නවලට මුහුණ දෙන්න යෙහෝවා දෙවියන් අපිට උදව් කරන විදිහ ගැන තවත් තොරතුරු දැනගන්න jw.org වෙබ් අඩවියේ තියෙන ‘ප්‍රශ්න දරාගන්න යාච්ඤාව උදව්වක්’ කියන වීඩියෝ එක බලන්න.
e වෙනත් ශාඛා කාර්යාලයකට අයිති ප්‍රදේශයක සේවය කරන්න නම් ඔයා කරන්න ඕනෙ මොනවාද කියලා දැනගන්න ‘යෙහෝවා දෙවිගේ කැමැත්ත කරන්න සංවිධානය වූ සෙනඟක්’ පොතේ 10වෙනි පරිච්ඡේදයේ 6-9 ඡේද බලන්න.
f පින්තූරවල අදහස: ශුභාරංචිය ප්‍රකාශ කරන්නන්ගේ පාසැලට යන්න අවස්ථාව ඉල්ලලා සහෝදරියන් දෙන්නෙක් යාච්ඤා කරනවා. එක් කෙනෙක්ට ඒකට ආරාධනාව ලැබෙනවා. අනිත් කෙනාට ලැබෙන්නේ නැහැ. ආරාධනාව ලැබුණේ නැති සහෝදරිය ඒ ගැන ඕනෑවට වඩා දුක් නොවී එයාගේ සේවේ තව වැඩි කරන්න පුළුවන් කොහොමද කියලා තේරුම්ගන්න යෙහෝවාගෙන් උදව් ඉල්ලනවා. ඊටපස්සේ එයා ප්‍රචාරකයන් අඩු පැත්තකට ගිහිල්ලා සේවේ කරන්න කැමතියි කියලා ශාඛා කාර්යාලයට ලියුමක් ලියනවා.