1914හි සැබෑ වැදගත්කම
හතරවන පිටුවේ අඟවා ඇති පරිදි, “මෙම සඟරාව, 1914හි සිද්ධීන් දුටු පරම්පරාව පහව යෑමට පෙර, සාමකාමී එමෙන්ම සුරක්ෂිත නව ලොවක් ගැන වූ මැවුම්කරුවාණන්ගේ පොරොන්දුව කෙරෙහි නිසැකභාවය ගොඩ නංවයි.”
එම ප්‍රකාශය අපගේ පාඨකයන්ගේ පුදුමයට හේතුවක් බවට සැකයක් නැත. එසේ වුවත්, 1879 දෙසැම්බර් මාසය තරම් අතීතයේදී—එනම් 1914ට අවුරුදු 35කට පමණ කලින්—(සයන්ස් වොච් ටවර් ඇන්ඩ් හෙරල්ඩ් ඔෆ් ක්‍රයිස්ට්ස් ප්‍රෙසන්ස් යනුවෙන් හඳුන්වනු ලැබූ) මුරටැඹ සඟරාවෙහි 1914 විශේෂිත වර්ෂයක් වන්ට යන බව ඔප්පු කරමින් බයිබල් සාක්ෂි ඉදිරිපත් කෙරිණ. මීට කලින් පවා—එනම් 19වන ශතවර්ෂයේ මැදභාගයේදී—1914 යන්න බයිබල් අනාවැකිවල සලකුණු කරන ලද වර්ෂයක් බවට බයිබලයේ වෙනත් ශිෂ්‍යයන් විසින් අඟවා තිබුණි.a
අනාවැකි වනාහි කල් ඇතිව ලියන ලද ඉතිහාසය යනුවෙන් විස්තර කොට තිබේ. බයිබලයේ මෙම විශේෂාංගය ඊට දිව්‍යමය මූලාරම්භයක් තිබෙන බවට සාක්ෂි දරයි. ඉදිරියට සිදුවන්ට තිබෙන දේ ගැන පැවසීමට අමතරව, බයිබලය ඇතැම් විට යම් දෙයක් සිදුවීමට කලින් ඒ සඳහා ගත විය යුතු කාලය සඳහන් කරයි. මෙම විශේෂිත අනාවැකිවලින් සමහරක් දින ස්වල්පයකටත්, සමහරක් වර්ෂවලටත්, තවත් සමහරක් ශතවර්ෂවලටත් යොමු දක්වයි.
මෙසියස්ගේ ප්‍රථම පෙනී සිටීමේ කාලය ගැන අනාවැකි ඉදිරිපත් කළ දානියෙල්, “අන්තිම කාලය” යයි හඳුන්වනු ලබන කාලයේදී මෙසියස් සිය “පැමිණ සිටීම” සඳහා නැවත එන බවද හෙළි කළේය. (දානියෙල් 8:17, 19; 9:24-27) මෙම බයිබල් අනාවැකිය දීර්ඝ කාලයක් පුරා පැතිර යයි, එනම් නිකම්ම ස්වල්ප වර්ෂ සිය ගණනකට නොව, නමුත් අවුරුදු දෙදහසකටත් වඩා වැඩි කලකටය—එනම් අවුරුදු 2,520කටය! ලූක් 21:24හි [NW] යේසුස්වහන්සේ මෙම කාලපරිච්ඡේදය හඳුන්වන්නේ “ජාතීන්ගේ නියම කරන ලද කාලවල්” යනුවෙනි.b
1914 පීඩාකාරි කාලයකට මුලපුරයි
බයිබල් අනාවැකිවල ඉටුවීම, 1914 පටන් අප අන්තිම කාලයේ ජීවත්වී තිබෙන බව අඟවයි. මෙම කාලය ‘ගාවිනාවල පටන්ගැන්ම’ ලෙස යේසුස්වහන්සේ විස්තර කළසේක. (මතෙව් 24:8) එළිදරව් 12:12හි අපට මෙසේ කියවන්ට තිබේ: “ගොඩටත් මුහුදටත් දුක්වේ! මක්නිසාද යක්ෂයා තමාට ඇත්තේ ස්වල්ප කාලයක් බව දන්න බැවින්, මහත් උදහසින් යුක්තව නුඹලා වෙතට බැස ගියේය.” වර්ෂ 1914 පටන් ලෝකය වඩාත් කලබලකාරි තත්ත්වයක පැවතීමට හේතුව මින් පැහැදිලි කෙරේ.
කෙසේවෙතත්, මෙම අවසාන කාලය සාපේක්ෂ වශයෙන් කෙටි කාලපරිච්ඡේදයක් වනු ඇත—එය එක පරම්පරාවක කාලයක් පුරා පැතිර යයි. (ලූක් 21:31, 32) අප දැනට 1914 සිට අවුරුදු 80කට ඔබ්බෙන් සිටින බවට වූ සාධකය අඟවන්නේ දෙවියන්වහන්සේගේ රාජ්‍යය ගෙනෙන්ට යන ගැළවීම අපට ළඟදී බලාපොරොත්තු විය හැකි බවය. මින් අදහස් කරන්නේ “මිනිසුන්ගෙන් ඉතා පහත් කෙනෙකු”—එනම් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ—“මනුෂ්‍යයන්ගේ රාජ්‍යය” කෙරෙහි සම්පූර්ණ බලය ලබාගැනීමත් සාමකාමී මෙන්ම යුක්තිසහගත නව ලොවක් ඇති කිරීමත් අප විසින් දකිනු ලබන බවයි.—දානියෙල් 4:17, නව අනුවාදය.
[පාදසටහන්වල]
a වර්ෂ 1844දී, ඊ. බී. එලියට් නමැති බ්‍රිතාන්‍ය ජාතික දේවගැතිවරයෙක්, දානියෙල් 4වන පරිච්ඡේදයේ සඳහන් “කාලවල් සත” අවසන් විය හැකි දිනයක් වශයෙන් 1914ට අවධානය යොමු කළේය. වර්ෂ 1849දී, ලන්ඩනයේ රොබර්ට් සීලි, සමානාකාරයකින් එම විෂය හැසිරුවේය. එක්සත් ජනපදයේ, ජෝසෆ් සයිස් 1870දී පමණ සම්පාදනය කරන ලද ප්‍රකාශනයක විශේෂ දිනයක් වශයෙන් 1914ට යොමු දැක්වූයේය. වර්ෂ 1875දී, හෙරල්ඩ් ඔෆ් ද මෝර්නිං නමැති ඔහුගේ සඟරාවේ නෙල්සන් එච්. බාර්බර් ලීවේ, යේසුස්වහන්සේ විසින් “ජාතීන්ගේ නියම කරන ලද කාලවල්” යනුවෙන් හඳුන්වන ලද කාලපරිච්ඡේදයක අවසානය 1914න් දැක්වූ බවයි.”—ලූක් 21:24, NW.
b දානියෙල්ගේ අනාවැකිය පිළිබඳව සවිස්තර පැහැදිලි කිරීමක් සඳහා, වොච්ටවර් බයිබල් ඇන්ඩ් ට්‍රැක්ට් සොසයටි ඔෆ් නිව් යෝර්ක්, ඉන්ක්., මගින් ප්‍රකාශයට පත් රීසනිං ෆ්‍රොම් ද ස්ක්‍රිප්චර්ස්, පිටු 95-7 බලන්න.
[11වන පිටුවේ කොටුව]
1914 සහ ඉන්පසු කාලය ගැන අදහස්
“සමහර විට නොවැළැක්විය හැකි ලෝක යුද්ධ දෙකකට පසුව, න්‍යෂ්ටික අවි ආයුධවල නිෂ්පාදනය, මහත් ජාතීන් අතර තුන්වන ඝට්ටනයකින් අපව ආරක්ෂා කර, පොදු සාමයේ වඩාත්ම දීර්ඝ කාලපරිච්ඡේදය හඳුන්වා දුන් අවවාදාත්මක දීමනාවක් විය හැකිය, කෙසේවෙතත් එය වික්ටෝරියා පාලන සමය පටන්, භීෂණයෙන් යුත් සාමයක් වී ඇත. . . . මිනිස් සංහතිය සම්බන්ධයෙන් වැරදී ගොස් තිබෙන්නේ කුමක්ද? දහනවවන ශතවර්ෂයේ අපේක්ෂා සුන් බුන් බවට පත්වූයේ මන්ද? විසිවන ශතවර්ෂය භයංකර, නැතහොත් ඇතමෙකු පවසන පරිදි නපුරු යුගයක් බවට හැරී තිබුණේ මන්ද?”—ඒ හිස්ටරි ඔෆ් ද මොඩර්න් වර්ල්ඩ්—ෆ්‍රොම් 1917 ටු ද 1980ස්, (නවීන ලෝකය පිළිබඳ ඉතිහාසයක්—1917 සිට 1980 ගණන් දක්වා) පෝල් ජොන්සන් විසිනි.
“යුරෝපියානු පිළිවෙළේ කම්පිත කරවන වෙනස්වීම් සියල්ල ගත් කල, ආර්ථික වශයෙන් සහ සමාජීය වශයෙන්, එමෙන්ම ඊට සමානව දේශපාලනමය වශයෙන් අතීතය සමඟ තියුණුම වෙන්වීම ඇති කරන ලද්දේ මහ යුද්ධය සහ සාම ගිවිසුම මගිනි. . . . නිදහස්ව ක්‍රියාත්මක වෙමින් තිබූ එම ඵලදායී පිළිවෙළේ ප්‍රසන්න ශ්‍රී විභූතිය යුද්ධයේ විපත්ති හේතුවෙන් අතුරුදහන් වී ගොස් තිබුණි. ඒ වෙනුවට, ආර්ථික පිරිහීම සහ සර්ව ආර්ථික අවුල්සහගතභාවය සමඟ කටයුතු කිරීමට යුරෝපයට සිදුවිය. . . . ඉන් සිදුවූ හානිය කොතරම් විශාල එකක් වූවාද කිවහොත් ඊළඟ ලෝක යුද්ධය හටගැන්වීමට පෙර යුරෝපීය ආර්ථිකය උදාසීන තත්ත්වයෙන් සහ අස්ථිරභාවයෙන් යථා තත්ත්වයට නැවත පත්වූයේ නැත.”—ද වර්ල්ඩ් ඉන් ද කෘසිබල් 1914-1919, (පීඩිත ලෝකය 1914-1919) බර්නඩාට් ඊ. ෂ්මිට් සහ හැරල්ඩ් සී. වෙඩලර් විසිනි.
“දෙවන ලෝක යුද්ධයේදී මිනිසා හා මිනිසා අතර තිබූ සෑම බැම්මක්ම විනාශ වන්ට නියතව තිබුණි. ජර්මන් ජාතිකයන් කැමැත්තෙන් යටත් වූ හිට්ලර්ගේ ආධිපත්‍යය යටතේ මිනිස් ඉතිහාස වාර්තාව අඳුරු කර තිබෙන, පරිමාණයෙන් හා දුෂ්ටකමින් ඊට සමාන නොවන තරම් අපරාධ ඔවුන් විසින් සිදුකර තිබේ. ජර්මානු ඝාතන කඳවුරුවල පුරුෂයන්, ස්ත්‍රීන් සහ දරුවන් මිලියන හයක් හෝ හතක් ක්‍රමානුකූල ක්‍රියාමාර්ග යොදවා විශාල පරිමාණයෙන් ඝාතනය කිරීම ජෙන්ගිස් කාන්ගේ රළු නමුත් වහාම සිදුකළ දරුණු ඝාතනවල භයංකරභාවය ඉක්මවා යයි, එමෙන්ම ප්‍රමාණයෙන් ඒවා ඉතා අල්ප ලෙස පෙනෙන්ට සලස්වයි. පෙරදිග යුද්ධයේදී ජර්මනිය සහ රුසියාව යන දෙපිරිස විසින් හිතාමතා මුළු ජනගහන වනසා දැමීම අදහස් කරනු ලැබූ අතර, එම අදහස ක්‍රියාත්මක විය. කලින් ශතවර්ෂවලදී සිතෙහි මවාගත නොහැකි තරම් වූ දසුනකින් එනම් ද්‍රව්‍යමය විනාශය සහ සදාචාරමය බිඳවැටීම සහිත දසුනකින් අපි අවසානයේදී මතුවී සිටිමු.”—ද සෙකන්ඩ් වර්ල්ඩ් වෝර්,හි 1වන වෙළුම වන ද ගැදරිං ස්ටෝර්ම්, වින්ස්ටන් එස්. චර්චිල් විසිනි.
“සියලු ජාතිවල, දේශවල සහ ගෝත්‍රවල ජනයාගේ මානව අයිතිවාසිකම් පිළිගැනීමක් දැන් සිදුවේ; එසේවුවත්, ඒ අතරතුරේදීම පංති අතර සටන්, ජාතිවාදය සහ වර්ගවාදයේ කිසිදා අසා නැති තරම් ගැඹුරකට අපි ගිලී ගොස් සිටිමු. මෙම අයහපත් වූ බලවත් ආශාවන් ඉතා දරුණු, විද්‍යාත්මකව සැලසුම් කරන ලද කුරිරුකම්වලින් ප්‍රකාශ වේ; එමෙන්ම අනුකූල නොවන ස්වභාවයන් දෙක වන මනස හා හැසිරීමේ මිමි එක්ව තිබෙන අයුරු අදදින දක්නට ලැබෙන්නේ, එකම ලෝකය තුළ පමණක් නොව, නමුත් ඇතැම් විට එකම රට තුළ සහ එකම පුද්ගලයෙකු තුළ පවා දක්නට ලැබේ.”—සිවිලයිසේෂන් ඔන් ට්‍රයල්, ආර්නල්ඩ් ටොයන්බී විසිනි.
“නියමිත කාලයට වඩා රැඳී සිටියා වූ හොල්මනක් මෙන්, දහනවවන ශතවර්ෂය—එයට අනිවාර්ය වූ ක්‍රමවත් බව, ආත්ම-විශ්වාසය සහ මිනිස් ප්‍රගතිය කෙරෙහි වූ විශ්වාසය සමඟින්—1914 අගෝස්තු දක්වා පැවතුණි, එවිට ප්‍රධාන යුරෝපීය බලවේග, සමස්තයක් වශයෙන් මානසික ව්‍යාකූලත්වයෙන් පහර ලැබූ අතර, මෙය එක පරම්පරාවක සිටි හොඳම තරුණයන් මිලියන සංඛ්‍යාවකගේ අනිසි ඝාතනයට මඟ පෑදුවේය. අවුරුදු හතරාමාරකට පසු, මහා යුද්ධයේ ප්‍රබල ව්‍යසනයේ බලපෑමෙන් පසු ලෝකය යළිත් යථා තත්ත්වයට පැමිණීමට වෙර දරද්දී, එවකට සිටි බොහෝ (ඇත්තෙන්ම සෑම කෙනෙකුට නොවේ) නිරීක්ෂකයන්ට පැහැදිලි වූයේ පරණ ක්‍රමයේ පැවතැවිත් තිබූ අවසාන අංශුමාත්‍ර අතුරුදහන් වී ගොස් තිබූ බවත්, මිනිස් සංහතිය සෑහෙන දුරට විමර්ශනය කිරීමේ හා මිනිස් අසම්පූර්ණකම්වලට සමාව දීමේ ස්වභාවයෙන් අඩු නව යුගයකට පා තැබූ බවත්ය. සාමය මගින් වඩාත් යහපත් ලොවක් බිහි වේ යයි බලාපොරොත්තු වූ අය 1919දී තමන්ගේ බලාපොරොත්තු කඩ කරනු ලැබූ බව දැනගත්හ.”—1919—ද යියර් අවර් වර්ල්ඩ් බිගෑන්, නමැති පොතේ පෙරවදන, විලියම් කේ. ක්ලිඟමන් විසිනි.
[10වන පිටුවේ පින්තූරය]
බැවේරියානු කඳුකරය