ලෝකය දෙස බැලීම
ලතින් අමෙරිකාවේ පැහැරගෙන යෑම්
ආම්බීටෝ ෆිනාන්සියේරෝ නම් ආර්ජන්ටීනියානු ප්‍රවෘත්ති පත්‍රයට අනුව, පැහැරගෙන යෑම්, ලතින් අමෙරිකාවේ ඩොලර් මිලියන ගණන් වටිනා ව්‍යාපාරයක් වී ඇත. වර්ෂ 1995 තුළ පැහැරගෙන යෑම් 6,000ක් පමණ එහිදී සිදු වී ඇති බවට වාර්තා විය. මෑතකදී කළ අධ්‍යයනයකින් අනාවරණය වුණේ, 1995දී වැඩිම පැහැරගැනීම් සංඛ්‍යාව වන 1,060ක් කොලොම්බියාවෙන් වාර්තා වී ඇති බවත්, මෙක්සිකෝවෙහි, බ්‍රසීලයෙහි සහ පේරූහි එම කාලය තුළ එවැනි සිදුවීම් සිය ගණන බැගින් සිදු වී ඇති බවත්ය. කප්පම් වශයෙන්, සෑම වසරකම, කොලොම්බියානු පැහැරගෙන යන්නන්ට ඩොලර් මිලියන 300ක් පමණ ගෙවනු ලැබේ. වර්ෂ 1995දී, පැහැරගෙන යන්නන් සඳහා ගෙවන මුදල තුන් ගුණයකින් වැඩි වී ඇත; එය මුළු එකතුව වශයෙන් ඩොලර් බිලියනය දක්වා ඉහළ ගොස් ඇත. මෙයට ගොදුරු වන්නේ, ධනවත් සහ ජනප්‍රිය හෝ සාමාන්‍ය විදේශිකයන් හෝ සාමාන්‍යයෙන් අඩු ආදායමක් ඇති පවුල්වලින් පැමිණෙන ගෘහණියන්ය. සමහර අවස්ථාවලදී, පැහැරගෙන යන්නන්, එම කප්පම කොටස් වශයෙන් ලබාගැනීමට පවා කැමතිය. පසුව නැවතත් පැහැරගෙන යාවි යන භය නිසා ඉන් නිදහස් වී පැමිණි පසුවත්, ගොදුරු වූවන් විසින්, කොටස් ගෙවීම දිගටම කරගෙන යනු ලැබේ.
සුභවාදී වීම සෞඛ්‍යයට හිතකර විය හැකියි
අසුභවාදීභාවය, මානසික සහ ශාරීරික අසනීප සඳහා අවදානම වැඩි කළ හැකි බවටත්, සුභවාදීභාවය හොඳ සෞඛ්‍යයට හේතු විය හැකි බවටත් තිබෙන විශ්වාසය මෑතකදී කරන ලද ෆින්ලන්ත අධ්‍යයනයක් මගින් තවදුරටත් තහවුරු විය. අවුරුදු 42 සිට 60 දක්වා වයස්වල සිටින පුරුෂයන් 2,500දෙනෙකුව, අවුරුදු 4ක සිට 10ක තරම් වූ කාලයක් පුරා මේ සඳහා නිරීක්ෂණයට ලක් විණ. සයන්ස් නියුස් සඟරාවට අනුව විද්‍යාඥයන් පවසන්නේ මෙසේය: “අපේක්ෂා ඇති සහ අඩු අනපේක්ෂිතභාවයක් ඇති අයට වඩා දෙතුන් ගුණයකින් . . . අධික අනපේක්ෂිතභාවයේ සිටින මිනිස්සු මියයති; මෙම කණ්ඩායමට අයත් මිනිසුන්ට නිතර නිතර පිළිකා සහ හෘදයාබාධද වැළඳේ.”
අධිබර දරුවෝ
ද වීකෙන්ඩ් ඕස්ට්‍රේලියන් නමැති පුවත්පතට අනුව, පෝෂණය පිළිබඳ මහජන සෞඛ්‍ය වෛද්‍ය ෆිලිප් හාවි මෑතකදී නිවේදනය කළේ, “ඕස්ට්‍රේලියානු දරුවන් ස්ථූල වෙමින් සිටිනවා පමණක් නොව එය ඉතා වේගයෙන් සිදුවෙනවා” කියාය. මේ පිළිබඳ ඔහුගේ සැලකිල්ල භාජන වී තිබුණේ, පසුගිය අවුරුදු දහය තුළ ඕස්ට්‍රේලියාවේ අධිබරැති දරුවන්ගේ ප්‍රමාණය දෙගුණයකින් වැඩිව තිබූ බව මෑතක අධ්‍යයන තුළින් පෙනීයෑම මතය. ඔවුන්ගේ බර පිළිබඳ ගැටලු නිසා අවුරුදු 9ත් 15ත් අතර ළමුන්ගෙන් සියයට 10කට පමණ වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍යය. මීළඟ වසර 10 තුළදී අධිබරැති ළමුන්ගේ ප්‍රතිශතය නැවතත් දෙගුණයකින් වැඩි විය හැකි බව වෛද්‍ය හාවි විශ්වාස කරයි. පුවත්පත විස්තර කරන ආකාරයට, වැඩිහිටියන්ට සැබෑවක් වන්නාක් මෙන් ළමුන්ටද ව්‍යායාම් අඩුවීම මෙම ස්ථූලභාවයට මූලිකව හේතු වී ඇති අතර, මේද අධික ආහාර ගැනීමත් අමතර සාධකයක් වේ.
අහිතකර වායුව
රථවාහනවලින් පිට වන පිළිකා ඇති කළ හැකියයි සැක කරන විෂ වායුවක් වන බෙන්සීන්වලින් රෝමය දූෂණය වී ඇතැයි ලෝක වනසත්ව අරමුදල (ලෝවඅ) නිගමනය කර ඇත. ලෝක වනසත්ව අරමුදලේ පර්යේෂකයෝ, වයස අවුරුදු 8ත් 18ත් අතර වයසේ පසු වන ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ යෞවනයන් 400කට බෙන්සීන් අනාවරක උපකරණ සපයා දුන්හ. වායුගෝලයේ අඩංගු විය යුතු බෙන්සීන් ප්‍රමාණය ඝන මීටරයට මයික්‍රොග්‍රෑම් 15ක් යනු නීත්‍යනුකූල සීමාවයි; එහෙත් රෝමයේ, එම සීමාවට වඩා බොහෝ සෙයින් වැඩි ප්‍රමාණයක් වන, “වායු ඝන මීටරයට බෙන්සීන් මයික්‍රොග්‍රෑම් 23.3ක සාමාන්‍යයක් අඩංගු” බව අධ්‍යයනය තුළින් අනාවරණය විය. මෙම අධ්‍යයනය පදනම් කරගෙන විද්‍යාඥයන් විස්තර කරන්නේ, රෝමයේ ඇති දූෂිත වායුව දිනක් තුළදී ආශ්වාස කළොත්, එය දුම්වැටි 13ක් පානය කළා හා සමානය කියාය යනුවෙන් ඉතාලියේ පුවත්පතක් වන ලා රිපූබ්ලිකා වාර්තා කළේය.
බටහිර අප්‍රිකාවේ මෙනින්ජි ප්‍රදාහය පැතිරීම
මතක ඇති කාලයක බටහිර අප්‍රිකාව පුරා පැතිරී ගිය දරුණුම බෝවෙන රෝගයකට 1,00,000කට අධික පිරිසක් අසනීප වී ඇති අතර, 10,000කට වැඩි ගණනක් මරු වැලඳගත්හයයි ඉන්ට’නැෂනල් හෙරල්ඩ් ට්‍රිබියුන් වාර්තා කරයි. බැක්ටීරිය මෙනින්ජි ප්‍රදාහය තදින් බලපවත්වා තිබෙන්නේ, ආශ්වාස කිරීමෙන් ඇති වන බෝවෙන රෝග පොදුවේ පවතින, වියළි මෙන්ම දූවිලි අධික ප්‍රදේශයක් වන සහරා කාන්තාරයේ ටිකක් දකුණට වන්ට තිබෙන කොටසේය. මෙම රෝගය මගින්, මොළයේ සහ කොඳු ඇට පෙළෙහි පටල ඉදිමීම සිදු කරයි. එය වාතයෙන් බෝවේ—එනම් කැස්සක් හෝ කිවිසුමක් මගින් එය බෝ විය හැක. රෝගය එන්නත් මාර්ගයෙන් සුව කළ හැකි අතර, විශේෂයෙන් රෝගයේ මුල් අවස්ථාවේදීම, ප්‍රතිජීවක මාර්ගයෙන් සුව කළ හැක. දේශ සීමා නැති වෛද්‍ය සංගමයේ නියෝජිතයෙකු කීවේ, “අප්‍රිකානු සහරාවට පහළින් පිහිටි ප්‍රදේශයෙහි මෙතෙක් දුටු දරුණුතම වසංගත රෝගය වූයේ 1996 ඇති වූ මෙනින්ජි ප්‍රදාහය වසංගතයයි” කියාය. ඔහු තවදුරටත් මෙසේ කීවේය: “මරණ සංඛ්‍යාව නොකඩවා වැඩි වෙමින් පවතී.”
බිම්බෝම්බවලට තහනමක් නැත
ස්විට්සර්ලන්තයේ, ජිනීවාහි වසර දෙකක් පුරා පැවති සාකච්ඡාවලින් පසුවත්, බිම්බෝම්බ පිළිබඳ සමස්ත ලෝක තහංචියක් පනවාගැනීමට ජාත්‍යන්තර සාකච්ඡාකරුවන්ට නොහැකි විය. සමහරක් බෝම්බ වර්ග තහනම් කරන්ට සහ තවත් සමහරකට තහංචි පනවන්ට ඔවුන් තීරණය කර ඇත. කෙසේවෙතත්, සියලුම බෝම්බ වර්ගවලට තහනමක් පැනවීම සඳහා, වර්ෂ 2001දී පැවැත්වීමට නියමිත ඊළඟ සම්මේලනය තෙක් බලාසිටීමට සිදු වේ. එක් තක්සේරුවකට අනුව, ඒ අතර, එම වසර පහ තුළ, බිම්බෝම්බවලින් තව 50,000ක් මියයනු ඇති අතර, 80,000ක් අංග විකල බවට පත් වනු ඇත—ඉන් බොහෝදෙනෙක් රටවැසියෝය. ද වොෂින්ටන් පෝස්ට්හි කර්තෘ වැකිය එම තීරණය ගැන මෙසේ කනගාටුව ප්‍රකාශ කළේය: “බිම්බෝම්බ වැළලීමට හේතු වූ ගැටුම සමථයකට පත් වූවායින් පසුව පවා, සාමාන්‍ය වැසියන් විශාල සංඛ්‍යාවක් දිගටම කෲර ලෙස ඒවාට ගොදුරු වුවත්, බිම්බෝම්බ විශාල තොගයක් සතු ජාතීහු මෙම ආයුදවලට පුදුමාකාර ඇල්මක් දක්වති.” එක්සත් ජාතීන් කර තිබෙන තක්සේරුවලට අනුව, දැනට රටවල් 68ක වළලා ඇති බිම්බෝම්බ සංඛ්‍යාව මිලියන සියයකි.
නගරවල ශීඝ්‍ර වර්ධනය
ද ස්ටේට් ඔෆ් ව’ල්ඩ් පොපියුලේෂන් නයින්ටීන් නයින්ටි-සික්ස් යන එක්සත් ජාතීන්ගේ ප්‍රකාශනය වාර්තා කළේ, මිනිසුන් තව තවත් නගරවලට ඇදෙමින් සිටින බවයි. මීළඟ වසර දහය තුළ ලොව වටා සිටින නාගරිකයන් ගණන බිලියන 3.3ක් වන අතර, එය යෝජිත ලෝක ජනගහනය වන බිලියන 6.59න් අඩක් පමණය. වර්ෂ 1950දී, ජනගහනය මිලියනය ඉක්මවූ නගර තිබුණේ, 83ක් පමණි. අදදින එය 280කටත් වඩා වැඩි වන අතර, වසර 2015දී එය දෙගුණයක් වේයයි බලාපොරොත්තු වෙයි. වර්ෂ 1950දී, මිලියන 10කට වඩා ජනගහනයක් සිටියේ නිව් යෝර්ක් නගරයේ පමණක් වූ අතර, අද එවැනි නගර 14ක් ඇත. මින් ඉදිරියෙන්ම සිටින්නේ, මිලියන 26.5ක් සිටින ටෝකියෝ නගරයයි.
“සොබාදහම හොඳ හැටි දනී”
නිව් සයන්ටිස්ට් සඟරාව මෙසේ වාර්තා කරයි: “තෙල් කාන්දු වීමකින් පසු එය පවිත්‍ර කරන්ට සොබාදහම හොඳ හැටි දනී.” උතුරු ප්‍රංශයේ, බ්‍රිටනි වෙරළෙහි 1978දී විනාශ වූ අමෝකෝ කාඩිස් තෙල් නැව හේතුවෙන් පරිසරයට මහා විපත්තියක් සිදු වෙයි කියා පරිසරවේදීහු බිය පළ කළහ. එක් ප්‍රදේශයක තෙල් ටොන් දහස් ගණනකින් දූෂිත වූ මඩ සහ වගුරු බිම් අස් කිරීමට ප්‍රාදේශීය අධිකාරීහු මාස හයක් ගත කළහ. අධික ලෙස දූෂිත වූ තවත් ප්‍රදේශයක් අපවිත්‍රවම පැවතිණ. මෙම ප්‍රදේශ දෙක සසඳද්දී දැන් හෙළි වී ඇත්තේ, පරිසරය පවිත්‍ර කළ කණ්ඩායම් කෙතරම් මඩ සහ වගුරු බිම් ප්‍රදේශ අස් කළාද කිවහොත්, වගුරු බිම් ශාකවලින් සියයට 39ක් නැවත වැඩීමට අසමත් වී තිබෙන බවය. පිරිසිදු කිරීමට අත නොගැසූ ප්‍රදේශයේ ඇති මඩ, මුහුදු රැළි මගින් කෙතරම් හොඳින් පිරිසිදු කර තිබුණාද කිවහොත්, තෙල් කාන්දු වීමට පෙර වැවුණාට වඩා සියයට 21කින් එහි ශාක වැවෙන බවද සොයාගැනිණ. වගුරු බිම් සහමුලින්ම යථා තත්වයට පැමිණ ඇති අතර, තෙල් දූෂණයක හෝඩුවාවක්වත් වසර කිහිපයක සිට සොයාගත නොහැකි වී ඇත.
නොසැලකිලිමත්ව ජල යතුරුපැදි පැදීම
පෞද්ගලික ජල රථ, එනම් වැඩිදෙනා හඳුන්වන පරිදි ජලතරණය සඳහා මෝටරයක් සවි කරන ලද යතුරු පැදි එක්සත් ජනපදයේ එන්ට එන්ටම ජනප්‍රිය වෙමින් පවතී. මෙම පුංචි ඔරුවලට පැයට කිලෝමීටර් 100ක් දක්වා වේගයකින් ගමන් කළ හැකි අතර, හැසිරවීමේදී යතුරු පැදියක් හා සමානය. මෙම රථවලට සම්බන්ධ බරපතළ, සමහරවිට මාරාන්තික හදිසි අනතුරු සංඛ්‍යාව වැඩිවීම, සියලුදෙනාගේ ඉමහත් සැලකිල්ලට භාජන වී තිබේ. ද වෝල් ස්ට්‍රීට් ජ’නල්ට අනුව “අනතුරුවලින් සියයට 60ක්, එම රථ කුලියට ගන්නවුන් අතින් සිදු වන” බව තක්සේරු කර තිබේ. ඒවා පදවන බොහෝදෙනා නීතියෙන් ඉල්ලා සිටින පරිදි ජීවිතාරක්ෂක ජැකට්ටු ඇන්දත්, බොහෝදෙනෙකුට බෝට්ටු පැදවීමේ ක්‍රම සහ විධි ගැන ඇත්තේ අඩු අද්දැකීමක් වන අතර, නොසැලකිලිමත් ලෙස ඒවා හසුරුවයි. වෙරළාරක්ෂක නිලධාරීහු මෙසේ කරුණු දක්වති: “පැ.කි.මී. 80ක වේගයෙන් ඒක පදවන කෙනෙක්, ජල කඳේ හැපෙද්දී ඇති කරන ඝට්ටනය, එම වේගයෙන්ම යන යතුරු පැදියක් ගොඩනැඟිල්ලක හැප්පෙනවා හා සමානයි.”
සොයාගත්තා—වසර 2,000ක් පැරණි බෝට්ටුවක්
වර්ෂ 1986දී, ගලීල මුහුදෙහි වාර්තා වූ අඩුම ජල මට්ටමේදී, යේසුස්වහන්සේගේ කාලයේ සිට තිබූ බෝට්ටුවක් සොයාගනු ලැබිණ. එදා පටන්, එහි දිරාපත් වීම අඩු කිරීම සඳහා එය ආරක්ෂක ද්‍රව්‍යවල බහා තිබූ අතර, නැෂනල් ජියෝග්‍රැෆික් වාර්තා කරන්නේ, දැන් එය ආරක්ෂක ද්‍රව්‍යවලින් ඉවත් කර මග්දලා නගරය අසල ප්‍රදර්ශනයට තබා ඇත කියාය. “ඒක මීටර් අටක් විතර දිගයි; මාදැලකුත් පාවිච්චි කරල තියෙනවා; ඒක පදවන්න හබල්කරුවන් හතරදෙනෙකුත් සුක්කානම්කරුවෙකුත් ඉන්න ඇති. පරණ බෝට්ටුවල ලී කැබලිත් ඇතුළුව, අඩුම තරමින් ලී වර්ග හතක්වත් පාවිච්චි කරල තියෙනවා. එක්කො ලී දුර්ලභයි නැත්නම් අයිතිකාරයා හරිම දුප්පත්” යයි පැහැදිලි කරන්නේ, කැණීම් මෙහෙය වූ ෂෙලී වොක්ස්මන්ය.
සාමාන්‍ය වර්ධනය සහතික කිරීම
සෝනල් ඩො බ්‍රාසිල්හි එක් වාර්තාවක් කීවේ, ළමයෙකුගේ වර්ධනයට නිකම්ම ප්‍රවේණි සැකැස්මට වඩා වැඩි යමක් බලපාන බවයි. “නිසි වර්ධනයට ප්‍රධාන සහතිකය නම්, හොඳ පෝෂණයක් ලැබීම” කියා පවසන පුවත්පත, තවදුරටත් විස්තර කරන්නේ, මධ්‍යම පංතියේ පවුල්වල පවා ඌන පෝෂණය පොදුවේ දැකිය හැකි බවයි. “නිතිපතා ව්‍යායාම්වල නියැලීම, වර්ධනය සඳහා තවත් මූලික උත්තේජකයක්” බව අන්තරාසර්ග විද්‍යාව පිළිබඳ මහාචාර්ය ආමෙල්‍යෝ ගෝඩෝයි මාටෝස් නිරීක්ෂණය කළේය. “පැය ගණනාවක විවේකී නින්ද වර්ධනය සහතික කරනවා. මොකද, වර්ධක හෝමෝන වෑහෙන්නේ දරුවෙකු නිදාගෙන ඉන්න කොට විතරයි” කියා ඔහු පවසයි. ඒ හා සමානව, චිත්තවේගීය ගැටලුද දරුවෙකුගේ වර්ධනය බාල කළ හැකිය. අන්තරාසර්ග වෛද්‍ය වාල්මිර් කෝටින්යූ කියන විදිහට, “පැය ගණනක් තිස්සේ දිගටම රූපවාහිනිය බලන එක, විශේෂයෙන්ම සාහසික චිත්‍රපට බලන එක, දරුවෙකුගේ නින්දට හානිකර වන අතර, සෞඛ්‍යසම්පන්න වර්ධනයට බාධා පමුණුවන්න පුළුවන්.”